එදා විරහව කලාවක් අද වැඩියෙන් ඇසෙන්නෙ අද වැඩියෙන් ඇසෙන්නෙ

ප්‍රකට ලේඛක / ගේයපද රචක උපාලි කුමාරවංශ
පෙබරවාරි 2, 2023

 

ප්‍රතිභාපූර්ණ ලේඛයකු, ගීත රචකයකු, කවියකු වේදිකා නාට්‍ය රචයකු මෙන්ම නාට්‍ය නිෂ්පාදකයකු හා අධ්‍යක්ෂවරයකු වන උපාලි කුමාරවංශ, මේ දිනවල සිය පොඩි හාමුදුරුවෝ ළමා නවකතාව ඇසුරෙන් නිර්මාණය වන ටෙලි නිර්මාණයේ පිටපත රචනා කිරීමේ යෙදී සිටී. එහිදී අත්දැකීම් බහුල ලේඛකයකු ලෙස වර්තමානයේ නිර්මාණකරුවන් මුහුණ දෙන අභියෝග මෙන්ම එදා නිර්මාණකරුවකුට සිය නිර්මාණ කාර්යය උදෙසා වූ පෝෂණීය වටපිටාව අතර වෙනස පිළිබඳ දැක් වූ අදහස් ඇසුරෙන් සැකසුණ ලිපියකි මේ.

 

මේ ක්ෂේත්‍රයේ ඔබේ ගමන් මඟ පිළිබඳ ප්‍රථමයෙන් කතා කරමු ද?

මම මුලින්ම ලේඛන කලාවට යොමු වුණේ පාසල් අවධියේදීමයි. මම පාසල් දෙකක අධ්‍යපනය ලබා තියෙනවා. ඒ තලපත්පිටිය සිද්ධාර්ථ විද්‍යායේත්, ඒ වගේම කොළඹ ලුම්බිණි විදුහලේත්. පාසල් අවධියේ මට මතකයි මං බිත්ති පුවත්පතක් කළා, ධාරණ නමින්. ඒ වාගෙම පාසල් කාලයේ මට මතකයි අභ්‍යාස පොතක අතින් ලියු කෙටි කතා එකතුවක් නිකුත් කළා. පසුව ඒ අවධියේම වාගෙ ලංකාවේ පළමු කාන්තා පුවත්පත් කීපයකටත් කෙටි කතා, නිසඳැස් ආදි ලියන්න පටන් ගත්තා. ඒ විදියටයි ලේඛන කලාවේ ආරම්භය සිදුවුණේ. ඒ කාලෙ මම හොඳ චිත්‍රපට, නාට්‍ය එහෙමත් බලන්න පුරුදු වී සිටියා. ඒ වගේම පසු කාලයේදී මම වේදිකා නාට්‍ය නිර්මාණයටත් යොමු වුණා.

ඒ අවධිය ලංකාවේ වේදිකා නාට්‍යයේ ලොකු ප්‍රබෝධයක් තිබුණු අවධියක්. මට ආර්.ආර්. සමරකෝන් මහත්මයාගෙ ‘අහසින් වැටුණු මිනිස්සු’ වේදිකා නාට්‍යයේ දර්ශන වාර දෙකක් සංවිධානය කරන්න ලැබී තිබුණු අවස්ථාවක මටත් ලොකු කැමැත්තක් ඇතිවුණා, නාට්‍යයක් නිෂ්පාදනය කරන්න. ඒ අනුව මම ලියුවා ‘පරෙයි කිරිල්ලි’ කියලා පිටපතක්. ඒක බලන්න දුන්නෙ ධර්මසිරි ගමගේ මහත්මයටයි. ඒක බලපු ගමගේ මහත්මයා එය ගොඩක් අගය කළා. ඒ වගේම කිව්වා ආර්.ආර්. සමරකෝන් මහත්මයාගෙන් පස්සේ දැකපු හොඳම දෙබස් දැක්කේ මේ පිටපතෙයි කියාත්. ඉතින් මට ඒ අනුව හැකිවුණා මගෙ පරෙයි කිරිල්ලි නාට්‍යයේ දර්ශනවාර දොළහක් විතර පවත්වන්නත්.

මගේ මුල්ම නවකතාව ‘වසන්තයේ සටහනක්’ කියන නවකතාවයි. ඒකෙන් පස්සෙ මා වටා රසික පිරිසක් ඇතිවුණා. ඒ අතර කවි ළමා නවකතා ආදී පොත් ගණනාවක් නිකුත් කළා. ඒ අතර මීට අවුරුදු දෙකකට විතර කලින් සුවිශේෂ ග්‍රන්ථයකුත් නිකුත් වුණා. ඒ ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවල් මහත්මයාගෙ ජීවිත කතාව. කීර්ති පැස්කුවල් මහත්මයා විසින් දරුවන් සඳහා පවත්වන සංගීත පන්තියේ දරුවන්ගේ ගායන හැකියා ඔපවත් කිරීම උදෙසා නිකුත් කළ සංගත තැටි සඳහා මා කළ ගීත රචනා දුටු ලතා වල්පොල මහත්මියගේ බාල පුතු චමින්ද වල්පොල මගේ පද රචනා ගෙන ගීත කීපයක් කළා. මගේ නිර්මාණ ජීවිතයේදී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇසුරේ ලද අත්දැකීම් මට මේ කාර්යයේ දී විශාල පිටිවහලක් වුණා. වික්ටර් රත්නායක මහතාගෙ ගුරුහරුකම් තමයි එහිදී වැඩියෙන්ම ලැබුණෙ.

මේ දිනවල ඔබ විශේෂ කටයුත්තක් සමඟ වැඩිදුරටත් කාර්ය බහුල වී සිටිනවා නේද?

මේ දිනවල මගේ වැඩි අවධානය යොමු වී තිබෙන්නේ මගේ පොඩි හාමුදුරුවෝ ළමා නවකතාව ඇසුරෙන් නිර්මාණය වන ටෙලි නාට්‍යයේ පිටපත ලිවීමේ කටයුතු සඳහායි. එය කොටස් 40කින් පමණ කරන්න සැලසුම් කර තිබෙන ටෙලි නාට්‍යයක්. එය අධ්‍යක්ෂණය කරන්න භාර දී තිබෙන්නේ ඒ පිළිබඳ පළපුරුදු අධ්‍යක්ෂවරයකු වන චන්න පෙරේරාටයි. එය නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවෙන් සිටින්නේ දැනට අමෙරිකාවේ වෙසෙන මගේ මිතුªරෙක් වන ශාන්ත පෙරේරා සහ ඔහුගේ බිරිඳ සෞම්‍යා පෙරේරා විසිනුයි.

කලා ක්ෂේත්‍රයේ අංශ ගණනාවක් නියෝජනය කර ඇති නිර්මාණකරුවකු ලෙස වර්තමාන ප්‍රවණතා පිළිබඳ ඔබ දරන අදහස මොකක්ද?

අද කලාවට ලෙස බොහෝ දෙනකු හඳුනාගන්නේ සින්දු කියන එක එහෙම නැතිනම් ගීත ගායනයයි. බොහෝ දෙනෙක් කලාව කියන්නේ මේකටයි කියා ලඝු කර තියෙනවා. එහිදී ලේඛකයන්ට ලැබෙන ධෛර්යය අඩුයි. නමුත් සරසවිය පුවත්පත එහිදී ඉතා සාධනීය කාර්යභාරයක් ඉටු කරනවා. සරසවිය ලේඛකයාට පාඨකයා සමඟ සම්මුඛ වීමට පාලමක් සාදා දෙනවා. ඒ පිළිබඳ විශාල ගෞරවයක් තියෙනවා. මේ ක්ෂේත්‍රයේ වසර විසිගණනක අත්දැකීම් සහිත නිර්මාණකරවකු ලෙස මම තෘප්තිමත්. එසේ තෘප්තිමත් වන්නේ මගේ නිර්මාණ රසිකයන් පිළිගත් නිසයි.

එදා ඔබ නිර්මාණ කටයුතුවල නිතර වීමේදී තිබු නිදහස් වටපිටාව අද එලෙසම තියෙනවාද?

ඒ කාලයේ ක්ෂේත්‍රයේ අපට මඟ පෙන්වන්න හැකි, ගනුදෙනු කළ හැකි බොහෝ නිර්මාණකරුවන් සිටියා. හැබැයි ඔවුන් බොහෝ දෙනෙක් අද නිහඬවයි සිටින්නේ. ඒ වගේම එකල හොඳ කියවන සමාජයක් තිබුණා. අද කියවනවාට වඩා තියෙන්නේ නරඹන සමාජයක්. සමාජයේ කොතනක හරි අතරමං වීමක් දකිනවා. ලේඛනය පැත්තෙන් ගත්තොත් කියවන පිරිසක් සිටිනවා. හැබැයි ඒ අර අපිත් එක්ක සිටි පිරිසම කියලයි මට හැඟෙන්නේ. පුස්තකාල පරිහරණය කරන පිරිස පවා සැලකිය යුතු ලෙස අඩු වී තියෙනවා. පුවත්පත් පවා සැලකිය යුතු ලෙස පාඨකයාගෙන් ඈත් වී තියෙනවා. හැබැයි ඒ වෙනුවට වෙනත් මාධ්‍ය ඉදිරියට පැමිණ තියෙනවා. ටෙලි නාට්‍ය කලාව බැලුවත් ඒකාකාරි බවක් දකිනවා. සමහරවිට කුමන නාලිකාවේ බැලුවත් එකම ආකාරයේ කතා වගෙම එකම පිරිසකුත් තමයි නිතරම අපි දකින්නේ. හැම කලාවක්ම වාගෙ එහෙමයි. චිත්‍රපට කලාවත් එහෙමයි. හැබැයි එදා ඒවායේ හරි අපුර්වත්වයක් තිබුණා. අදටත් මගෙ ආසම චිත්‍රපටය ‘පරසතු මල්’. මං එය විසි තිස් වතාවක් පමණ නරඹා ඇති. එවැනි නිර්මාණයක් නරඹද්දී රංගනය වේවා, කතාව වේවා, ගීත වේවා ඒ ඕනෑම එකකින් විශාල දැනුමක් ලැබුණා. එයින් කලාව පිළිබඳ අප තුළ විශාල ඇල්මක් ඇති වුණා. ඒවායින් ලද දැනුම, දැක්ම තමයි අපව මේ ක්ෂේත්‍රයට යොමුකරන්න මහඟු බලපැමක් කළේ. අද මේ හැම කලාවක් වාගේ යම් පසුබැස්මකට ලක් වී තිබෙනවා. පේ‍්‍රක්ෂකයන් ඒවායින් යම් පමණකට ඈත් වී තියෙනවා.

ඔබ හිතන විදියට ඒ ඈත් වීමට බලපෑ හේතු මොනවාද?

එක පැත්තකින් නව පරපුරට අද අත්දැකීම් ලබාගන්න ඉඩක් නෑ. ඒවාගෙම අද ඔවුන්ගේ නිර්මාණවල විවිධත්වය අවමයි. අද ගීත අමුවේම එක පාරටම අතාරින ස්වභාවයක් තියෙන්නේ. ඒ කාලයේ විරහව කලාවක් ලෙසයි ඉදිරිපත් කර තිබුණේ. අද වැඩියෙන් ඇසෙන්නේ ප්‍රේම අඳෙීනා. සාහිත්‍ය ගුණයත් නැතිම තරම්. අපි එදා රසවිඳි ගීත අද පරපුර හැඟීමකින් තොරව ගායනා කරනවා. ඒක ලොකු වේදනාවක්. අද බොහෝ දෙනෙක් සාහිත්‍යය හෝ පත පොත ඇසුරු නොකිරීම නිසා සමහර වචනවල තේරුම් දන්නෙ නෑ. පාරිභාෂික වචන පිළිබඳ අවබෝධයක් නෑ.

පේ‍්‍රමයේදී සඳයි, කඳුළුයි කියන වචන දෙක තමයි බොහෝවිට යොදන්නේ. අද පරිපූර්ණ නිර්මාණයක් කරන්න ඉන්න තරුණ පරපුර ඉතා අවමයි. එබඳු දැනුමකින් සන්නද්ධ වීම පහසු නෑ. ඒ සඳහා සෙවිය යුතුයි. කියවිය යුතුයි. හැබැයි අද පරපුරේ ඇසුර බොහෝ විට ෆෝන් එක හා ටැබ් එක සමඟයි. පුස්තකාල පරිහරණයක් ඇත්තෙන්ම නැති තරම්. මේවා ඉතා වැදගත් සාධක. ඕනෑවට වඩා තාක්ෂණයට ළංවීම නිසාත් පිරිසක් අතරමං වෙලා තියෙනවා. කලාව පමණක් නොවෙයි මුළු සමාජයම පරිහානියට ලක් වී තියෙන අවධියක් මේ. බොහෝ විට දැනුම සොයා යෑමකට වඩා දැනුම කොල්ල කෑමක් විදියටයි අද සෙවීම හඳුනාගන්න පුළුවන්. අපි ඉස්සර යමක් ලියද්දි ඒ ලියන්න පෙර පුස්තකාලය පරිහරණය කළා. අද එහෙම දකින්නෙ හරි අඩුවෙන්. බොහෝ විට මේ කටයුතු මෙහෙයවන අය නිද්‍රාශීලිව පසුවන නිසාත්, අයාලේ යන්න ඉඩ දී තිබෙන නිසාත් ඒ අයාලේ යන පිරිසට රැකවරණය හා තල්ලුව දෙන්න ජනමාධ්‍යයක් බිහි වී තිබෙන නිසාත් දක්ෂයන් බොහෝ විට අසරණ වී තිබෙනවා. එදා වචනවලින් ලියූ දේ කොච්චර හිතට වැදුණද, අද ඉහළම තාක්ෂණය භාවිත කර හදන නිර්මාණ එපමණට හිතට දැනෙවාද කියා බලන්නකො. පරසතුමල් වැනි චිත්‍රපටයක් ගත්විට අද එය කළා නම් ඇත්තටම එය වැඩිහිටියන් සඳහා පමණක්ම වන්න තිබුණා. නමුත් ගාමිණී ෆොන්සේකා ඊට සිය රංගන දායකත්වය දෙන ආකාරය වගෙම කාන්තා නිරුවත් දර්ශන නැතිව, යහන්ගත දර්ශන නැතිව ඒ නිර්මාණය කර තිබෙන ආකාරය කොච්චර විශිෂ්ට ද. එයින් ඒ කතා තේමාවට කොතැනකදීවත් හානි වුණේ හෝ අපට එය අවබෝධ කරගන්න බැරි වුණේ නෑ. අද එවැනි චිත්‍රපටයක් කළා නම් අපටත් එය බලන්න බැරි වෙයි.

ඒකයි මම කිවුවේ එදා අපට දැනුමින් සන්නද්ධ පිරිස් ඇසුරු කරන්න ලැබුණු නිසා එය විශාල පිටිවහලක් වුවායි කියා. අද හැමෝම නොවුණත් වැඩි පිරිසක් අනවබෝධයෙන් කටයුතු කරමිනුයි සිටින්නේ. ඒ නිසා ඔවුන්ව ආභාසයට ගන්න පිරිසටත් අයාලේ යන්න සිදු වී තියෙනවා. ඒක තමයි තේරුම් ගන්න තිබෙන ඇත්ත.

කලාව ජීවනෝපායක් විය නොහැකි ද?

අතීතයේදී පවා එය එසේ නූනා නොවෙයි. නමුත් ඔවුන් එය කළේ කැපවීමෙන් පරිස්සමින්. සමාජයට වැදගත් යමක් දීලයි. අපි දෙන්න ඕනෑ මිනිස්සු ඉල්ලන දේම නොවෙයිනේ. අපි ජනගත කරන්න ඕනෑ මිනිස්සු යම් ප්‍රපාතයක වැටී සිටිනවා නම් එයින් ගැළවීමට අදාළ දේයි. මුදල් මත කලාව යැපීම ආරම්භ වුණොත් සැබෑ දක්ෂයන් අසරණ වනවා. සමහරවිට හොඳ සාහිත්‍යයක්, හොඳ ගීත කලාවක්, හොඳ සිනමාවක්, හොඳ වේදිකාවක් රසවින්ද අන්තිම පරම්පරාව අපි වෙන්න පුළුවන්.

ගීත කලාවේ එදා සහ අද වෙනස්කම් ඔබ දුටුවේ කොහොමද?

විශාල වෙනසක් තියෙනවා. අපි උදාහරණයක් ගනිමු. එදා අපි සංගීත ප්‍රසංගයක් නරඹන්න ගියා නම් අපි ඒ ගායකයා සමඟ හදවතින්ම සම්බන්ධ වීමක් සිදු වුණා. නැතිනම් ඒකාග්‍ර වීමක් සිදු වුණා. අද මුළු ප්‍රසංගයම අලෝකකරණයෙන් වැසිලා. අපට එහිදී අහන්නයි, බලන්නයි දෙකම කරන්න සිදු වෙලා. අද ගීත රචනා සඳහා රූප රචනා ඉදිරිපත් කළත් අපි එදා ගුවන් විදුලියෙන් ගීත අහනකොටම මැවුණා හරි ලස්සන චිත්‍රයක්. ඒ වාගෙම අතීතයේ චිත්‍රපට ගීතයක් ගත්තොත් අදත් ඒ චිත්‍රපටයෙන් බැහැරව ගීතය රසවිඳිය හැකියි. අද එසේ අපට කළ හැකි ද? ඉතින් ඒ ආකාරයේ විශාල පසුබෑම් රාශියක් මේ කුමන අංශය දිහා බැලුවත් දකින්න පුළුවන්.

 

[email protected]