පුරෝගාමී සදාදරණීය පෙම්වතිය 1923-2023

රුක්මණියගේ 100 වැනි ජන්ම දිනය වෙනුවෙනි
ජනවාරි 12, 2023

 

සිංහල චිත්‍රපට වංශයේ විශිෂ්ටම ගායිකාව

 

ලාංකේය සිනමාවේ පළමු තාරකාව

 

 

කථානාද වෘත්තාන්ත සිනමාපටයක් නිපදවීම සඳහා සිරිලක සිනමාව දැරූ පළමු වෑයමේ ඵලය 'කඩවුණු පොරොන්දුව' නො වේ. එනමුදු 'කඩවුණු පොරොන්දුව' ප්‍රදර්ශිත පළමු කථානාද වෘත්තාන්ත සිනමාපටය සේ සිරිලක සිනමා වංශයේ සනිටුහන් වන්නේ අදින් වසර 76 කට පෙරාතුවයි. එවක සිනමා රූ ගත කිරීම් හා පසු නිපැයුම් කටයුතු සිදු කරලනු පිණිස යා යුතු පහසු ම තැන් පිහිටියේ ඉන්දියානු සිනමා කලාපයේ ය. සිරිලක පළමු සිනමා තාරකාව වන රුක්මණී දේවි සිය දිවි සැරිය අවලෝකනයට පිවිසෙමින් සිය පළමු සිනමා සහභාගීත්වය වන 'කඩවුණු පොරොන්දුව' ට අදාළ ව මේ අත්දැකීම සමාන කරන්නේ ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඇමරිකානු දේශය සොයා ගිය ගමනට ය. ඉන් පෙර දැක නොතිබුණු , එතෙක් සිහිනයක් ව පැවති ආශ්චර්යමත් අලුත් දෙය නිපදවීමට ගිය ඓතිහාසික ගමනක් ලෙස ඇය එම අත්දැකීම තව දුරටත් විස්තර කරයි.

(මගේ ජීවන විත්ති, පි.41)

මෙසේ 'කඩවුණු පොරොන්දුව ' ත් සමඟ ලාංකේය සිනමා කලාපයේ සිය මුද්‍රාව සනිටුහන් කරන්නට එක රැයකින් සමත් වූ රුක්මණී උපන්නේ හරියට ම මීට සිය වසකට පෙරාතුව ය. නුවරඑළියේ රම්බොඩ ෆ්‍රොටොෆ්ට් වතුයායේ කුඩා රෝහලක දී 1923 වසරේ ජනවාරි මස 15 දා උපන් මේ කුඩා දැරිය හඳුන්වා දෙන්නේ ඩේසි රාසම්මා ඩැනියෙල්ස් මැයෙනි. ඇගේ පියා ජෝන් ඩැනියෙල් ය. මව හෙලන් රෝස් ය. ඩේසි රාසම්මා ඩැනියෙල්ස් විසි වසරක් ගතවෙත්ම සිරිලක ආලෝකමත් කරන සුපිරි කතක වේ යැයි කිසිවෙකුත් නො සිතන්නට ඇත.

'කඩවුණු පොරොන්දුව' 1947 වසරේ ජනවාරි මස 21 වන දා කොළඹ කිංස්ලි සිනමාශාලාවේදී මුල් වරට ප්‍රදර්ශනය කරන්නේ රුක්මණී විසි හතර හැවිරිදි යෞවනියකව සිටියදී ය. ඒ වන විටත් ඇය සිරිලක වේදිකා නාට්‍යයේ ජනාකර්ෂණය දිනූ නිළියක ය යන්න නොරහසකි. එසේම ඇය ජනකාන්ත ග්‍රැමෆෝන් ගායිකාවක ද වූවා ය. වත්මනෙහි ඇය හඳුනා ගත හැක්කේ ගායනයට, වේදිකා හා සිනමා රංගනයට අවතීර්ණ වෙමින් සුවහසක් රසික ජනයා අමන්දානන්දයට පත් කළ සැඟවුණු කුසලතා බොහොමයකින් සපිරි කලාකාරියක ලෙසිනි.

වැල්ලවත්තේ ශාන්ත ක්ලෙයාර් හා දෙමටගොඩ ශාන්ත මැතිව්ස් විදුහල් ද්විත්වයේ දී සිප් සතර හදාරන සමයේ ම ඇය විවිධ ප්‍රසංග ආදියට එක් වෙමින් සිය සමත්කම් විදහා පාන්නට වූයේ අවිඥානකව වුව සිය අනාගත දිවි සැරිය පිළිබඳ ඉඟි පළ කරමිනි. ශාන්ත මැතිව් විදුහලේ ආචාර්යවරියක වූ ද,සුප්‍රකට නෘත්‍යාංගනාවක වූ ද චන්ද්‍රලේඛා ඇය කෙරෙහි බලපෑ පළමු කලාකාරිය බව වරක් සුනිල් මිහිඳුකුල කියා සිටියේ ය.

(රුක්මණී දේවි නිළිය, ගායිකාව හා ජනප්‍රිය සංස්කෘතිය, පි.15)

වෝල්ටර් අබේසිංහ නිපැයූ 'රාමායණය' ඇය ප්‍රසිද්ධ වේදිකාව තරණය කළ පළමු අවස්ථාවයි. වේදිකා නාට්‍ය රංගනයට තමා පිවිසෙන අවධියේ පැතිර ගිය අමනෝඥ අදහසක් දෙස පසුකාලීනව උපේක්ෂා සහගතව බලන්නට ඇය පසුබට නො වූ වග පෙනේ. රඟපෑම නූගත් හා පහත් අයට සීමා වූවක් ලෙස එකල මහජනයා තුළ හැගීමක් තිබූ බව ද, දුසිරිත මත්පැන් හා හූ කීම වේදිකා නාට්‍යයෙන් ඉවත් කළ නොහැකි ලක්ෂණයක් යැයි බොහෝ දෙනා සිතූ බව ද, නිළියන් ගැන කතා කරන විට 'මොනවද ඔය ටීටර් කාරියෝ' යැයි මහජනයා මත පළ කළ බව ද ඇය සිය දිවි සැරිය අවලෝකනයේදී සඳහන් කරයි.

(මගේ ජීවන විත්ති, පි 11/12)

එහෙත් රුක්මණී, බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නගේ මූලිකත්වයෙන් යුතු වූ මිනර්වා ආධුනික නාට්‍ය සංගමයට එක්ව සිය වේදිකා නාට්‍ය රංගන කුසලතාව ගෙන හැර පාන්නට වූයේ යථොක්ත පසුගාමී ආකල්පය මුළුමනින්ම නොතකා හරිමිනි. මෙහිලා ඇය එක්තරා ආකාරයකින් රඟපෑම යන්න විෂයෙහි වූ පුරුෂ ආධිපත්‍යය ජය ගත් වග ද සිහිකටයුතු ය. කෙසේ නමුදු මෙතැනින් ඔබ්බට යාමේ අවකාශයක් ඈ වෙත උදා නොවූ බව ද කිව යුත්තකි. මන්ද ඊට ඇවැසි කොන්දේසි හා සාධක සම්බන්ධයෙන් ඈ තුළ ප්‍රමාණවත් වැටහීමක් නොවූ නිසා ය. ඇය ඉවෙන් මේ ජයග්‍රහණ සාක්ෂාත් කර ගත් නිසා ය.

රුක්මණීගේ වේදිකා හා සිනමා රූපණ පිළිබඳ අදහස් දක්වමින් ජේ. උයන්ගොඩ පැවසූ කරුණු මෙතැනදී අවධානයට ලක් කළ හැකිවේ. රුක්මණී මුහුණ දුන් තියුණු සීමාවන් බොහොමයක් ඈ ජීවත් වූ යුගය විසින් ආරෝපණය කරනු ලැබූ ඒවා බවත් , එම විලංගු පුපුරුවා ගෙන ස්වාධීන රංග විලාසයක් ගොඩ නංවා ගන්නට ඇය සතුව ශක්‍යතාවක් නොතිබීම සැබැවින්ම ඛේදනීය වූවක් බවත්, අගේ ආත්ම ප්‍රකාශනය ගායනය වීම නිසා රූපණයේ දී සිය කලාත්මක විඥානය ඊට යොදවනු පිණිස දැනුවත් උත්සාහයක් දැරූ වග නොපෙනෙන බවත් ඔහු සඳහන් කරයි.

(රුක්මණී දේවි, මිථ්‍යාව හා යථාර්ථය , කලාව හා සමාජය - ලංකා ගාඩියන් ප්‍රකාශන 1, පි.08)

මෙයින් ධ්වනිත කරන සුවිශේෂ කාරණයක් වනුයේ රුක්මණී ගායිකාවක සේ වඩා සාර්ථක ය යන්න යි. මෙය සනාථ කර ගැනීමට රුක්මණී තමා නිරූපණය කරන චරිතයට අදාළව ගැයූ සිනමා ගීත තුලනාත්මකව සැසඳීම ප්‍රමාණවත් ය. නොගැඹුරු හා නොපැසුණු තිරනාටක මත ගොඩ නැංවෙන පැතලි චරිත සඳහා වුව ගායනයේ දී දෘශ්‍යමාන වටිනාකමක් හෝ ගෙන එන්නට ඇය සමත් වූ වග පෙනේ. සිනමා රංගනයේ මුල් සමයේ දී ඇයට ලැබුණු චරිත බොහොමයකම දුක් මුසු අවස්ථා බහුලව තිබිණි. එවක දුක් මුසු අවස්ථා කියා පෑමේදී ගීත ද භාවිතයට ගැනුණු බව පැහැදිලි ය. රුක්මණීගේ වේදනාබර හඬ එහිදී මහෝපකාරී වූයේ සැලකිය යුතු අභියෝග නොමැති වීම ප්‍රමුඛ හේතුවක් වූ පසුබිමක යි. 'කඩවුණු පොරොන්දුව' සේම 'කපටි ආරක්ෂකයා', 'වැරදුණු කුරුමානම',' හදිසි විනිශ්චය','දෛවයෝගය' , 'මංගලිකා', 'සැමියා බිරිඳගේ දෙවියාය' වැනි සිනමාපට ගණනාවක් මෙහිලා නිදසුන් සේ ඉදිරිපත් කළ හැකි ය.

මහාචාර්ය සුනිල් ආරියරත්න රුක්මණීගේ මේ ගායන කුසලතාව අගයන්නේ උක්ත නිදසුන් මත විචාරාත්මකව රැඳෙමිනි. රුක්මණී දේවි සිංහල චිත්‍රපට වංශයෙහි විශිෂ්ටතම ගායිකාව ද වන බව ඔහු අවධාරණය කරයි. ඒ හුදෙක් නිවැරදි ස්වර ස්ථාන හා තාල මත රැඳුණු නිවැරදි උච්චාරණය සහිත ගායනයක් මතු නොව භාවාත්මක බවින් පිරිපුන් ගායනයක් බව පවසමිනි.

(සිංහල චිත්‍රපට ගීතාවලිය 1947-1956, පි.27/28)

ලාංකේය සිනමාවේ පළමු තාරකාව වන්නේ රුක්මණී දේවි ය යන්න පවසන්නේ ඇය පළමු ලාංකේය කථානාද වෘත්තාන්ත සිනමාපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළ නිසාම නොවේ. 'කඩවුණු පොරොන්දුව' අතිමහත් රසික සහභාගීත්වයක් සපුරා ගත් සිනමාපටයක් වීම ද ඒ පසුපස පවතින හේතුවකි. එක අතකට එය එසේ සිදු නොවුණා නම් පුදුම සහගත ය. ගාමිණී වේරගම කියා සිටින්නේ 'කඩවුණු පොරොන්දුව' හි පිටපත් පහක් ප්‍රදර්ශනය සඳහා නිකුත් කළ බවත් , ආරම්භක සිනමා ශාලාවේ (කිංස්ලි ) දින 127 ක් එය එක දිගට ප්‍රදර්ශන කළ බවත්, රු. 325,000.00 ක වැයකින් නිපදවූ එයට පළමු ප්‍රදර්ශන වාරයේ දී රු. ලක්ෂ 22ක ආදායමක් හිමි වූ බවත් ය.

(දේශීය සිනමා වංශය - ප්‍රථම කාණ්ඩය 1898- 1969 , පි.40)

පළමු සිනමාපට කිහිපයේදී රුක්මණී නිරූපණය කරන්නේ සදාදරණීය පෙම්වතියගේ චරිතය ම නොවන වග ද අමතක නොකළ යුතු කාරණයකි. 'කඩවුණු පොරොන්දුව' හි දී ඇය චපල පෙම්වතියකගේ චරිතය නිරූපණය කරයි. ඒ පෙම්වතුන් දෙදෙනෙකු එකවර ඇසුරු කරන්නියක ලෙසිනි. 'පෙරළෙන ඉරණම' හි දී ද ඇය පෙම්වතකු සිටියදී ම අනෙකෙකු හා විවාහ වන්නියකගේ චරිතය නිරූපණය කරයි. 'උමතු විශ්වාසය' හි දී ඇය මිනිසකු ඝාතනය කරන චරිතයකට පණ පොවයි.

කෙසේ වුවද ඇය පමාවකින් තොරව ම සදාදරණීය පෙම්වතියගේ චරිතය හසු කර ගන්නට අවස්ථාව සලසා ගනී. තරුණ විය ඉකුත් වන තෙක්ම රුක්මණී හඳුනා ගැනෙන්නේ සදාදරණීය පෙම්වතිය වශයෙනි. වරෙක පරමාදර්ශී පෙම්වතිය වශයෙනි. සිය පෙම්බරයා වෙනුවෙන් කවර දුකක් හෝ විඳ දරා ගන්නට සූදානම් පෙම්වතියක වශයෙනි.

රුක්මණී තිරයේ සදාදරණීය පෙම්වතිය වන්නේ ෆ්ලොරිඩා ජයලත් , අයේෂා වීරකෝන්,රීටා රත්නායක,ක්ලැරිස් ද සිල්වා, කාන්ති ගුණතුංග වැනි තාරකා දීප්තිමත්ව බබලමින් තිබූ සමයක ය. ඔවුන'තරින් රුක්මණී වඩාත් ම කැපී පෙනුණේ ගායන කුසලතාව නිසාම ය. එසේම රුක්මණී, ෆ්ලොරිඩා ජයලත් හෝ කාන්ති ගුණතුංග මෙන් විවාදාත්මක චරිත නිරූපණයට උත්සුකනොවීම ද මෙහිදී සඳහන් කළයුත්තකි. වෙසෙසින්ම පවුලේ සිනමා රසිකයන් අපේක්ෂා කළේ සාධු ගුණැති ස්ත්‍රී පුරුෂ චරිත සිනමාවේදී ජයගනු දැකීම ය. රුක්මණී එය තහවුරු කළේ කිසිදු මතභේදයකින් තොරව යි.

තාරුණ්‍යය ඉක්මවා යාමත් සමඟ ම රුක්මණී වැඩිහිටි කාන්තාවන්ගේ චරිත නිරූපණයට සූදානම් වූයේ සිනමාව සිය ජීවිතය ම බව පසක් කරමිනි. ලාංකික සිනමාවේ ස්වර්ණමය යුගය සේ සැලකෙන 1970 දශකයේදී නිර්මිත ආනන්දජනක විනෝදාත්මක සිනමාපට ගණනාවක ම ඇය වැඩිහිටි චරිත නිරූපණය කළා ය.මේ වන විට සිනමා රූපණය අතිශයෝක්තියෙන් තොර තාත්වික ලක්ෂණ සහිතව තහවුරු වී තිබිණි. එනමුදු රුක්මණී තවදුරටත් තමා පෙරදී අනුදත් රූපණ විලාසය මුළුමනින්ම අත හැර නොදැමූ වග පැහැදිලි ය. 'හොඳට හොඳයි', 'දිනුම් කණුව' ,'සූකිරි කෙල්ල' ,'උන්නත් දාහයි මළත් දාහයි' ,'සරදියෙල්ගෙ පුතා' හා 'සුදු පරෙවියෝ' යන සිනමාපට ඊට නිදසුන් කිහිපයකි.

සිනමාව කලාත්මක හා සම්භාවනීය ප්‍රකාශන මාධ්‍යයක් සේ ඇදහූ සිනමාකරුවන්ගේ තෝරා ගැනීමට රුක්මණී ලක් නො වූයේ මේ හේතුව ද නිසාවෙනි. මේ ඉරණමට ම මුහුණ දුන් තවත් අය ද රුක්මණීට සමකාලීනව හඳුනා ගත හැකි ය.

රුක්මණී මේ ඉරණම සිනමාව විෂයෙහි ජය ගන්නේ එක් වතාවකදී පමණි . ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ විශිෂ්ටතම සිනමාපටයක් සේ සැලකෙන 'අහසින් පොළොවට' හි දී යි. එහිදී ද ඇගේ සුපුරුදු රූපණ විලාසය දක්නට ලැබෙන බව රහසක් නොවේ. කෘතහස්ත සිනමාකරුවන්ගේ අධීක්ෂණයට ඉඳ හිට හෝ ලක් වූයේ නම් ඇයට මෙම තත්ත්වය ජය ගත හැකිව තිබිණි.

සිනමාවේදී තරමට ම වේදිකා නාට්‍යයේදී ද ජනාදරය නො අඩුව ලැබුවත් විචාරක සැලකිල්ලට පාත්‍ර වන හරවත් නාට්‍ය හා එක්වන්නට රුක්මණී වෙත අවස්ථා උදා නොවූ තරම් ය. කෙසේ වුවත් 1966 වසරේදී ධම්ම ජාගොඩ විසින් නිපදවන ලද 'වෙස්මුහුණු' වේදිකා නාට්‍යය හා රූපණයෙන් එක් වන්නට රුක්මණී අවස්ථාව උදා කර ගත්තාය. ඉනික්බිතව වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය හරහා ඵලදායී ඉදිරි ගමනක නිරත වන්නට ඇය වෑයම් නොදැරුවේ සිනමාව වෙතින් ආ ඉල්ලුම නිසා වන්නට වුව පුළුවන.

රුක්මණී ගේ වර්ණවත් කලා ජීවිතය තුළ දී හමුවන පොප් ගායිකාව පිළිබඳ යමක් සනිටුහන් කිරීම ද අවශ්‍ය වේ. නෙවිල් ප්‍රනාන්දු ප්‍රමුඛ ලොස් කැබරලොස් පොප් සංගීත කණ්ඩායම ඇගේ ගායන දිවියේ දෙවන අදියර සම්පූර්ණ කරයි. ලොස් කැබරලොස් යනු සිරිලක පොප් සංගීතයේ වඩාත් ම කැපී පෙනෙන සංගීත කණ්ඩායමකි. මහාචාර්ය සුනිල් ආරියරත්න පවසන්නේ 'ලොස් කැබරලොස්' සිංහල ගීත ගැයීම අරඹන්නේ සිංහල කණ්ඩායම් ගීය ඇරඹුණු 1964 වසරේ සිට බව යි. 1970 දශකය කරා ලොස් කැබරලොස් පැමිණෙන්නේ සිය ප්‍රධාන ගායිකාව රුක්මණී බවට පත් කර ගෙන ය. නෙවිල් ප්‍රනාන්දු බටහිර පොප් ගීතය ලාංකීයකරණය සම්බන්ධයෙන් දැක්වූ සාධනීය අවධානය සමඟ රුක්මණීගේ හඬ ගැළපෙන්නේ නිරායාසයෙනි. 'මල්බර හිමිදිරියේ', 'මැණිකේ ඔබේ සිනාවේ', 'සඳක් නැඟී සඳක් ගිලෙයි සාගරේ' නිදසුන් කිහිපයකි.

මේ ගී රුක්මණී ගයන්නේ සිය සිනමා ගායනය පිළිබඳ මතකය ඈත් කරමිනි. සිනමා ගී ගායනයේ දී මතුවූ වේදනාබර ලකුණු පොප් සංගීතය සමඟ ආ වේගරිද්ම ගීයට නො ගැළපෙන බව ඇය තරමක් දුරට හෝ වටහා ගෙන සිටින්නට ඇත. එනමුදු පොප් ගීයට යටින් ඇගේ වේදනාබර හඬ නො ඇසෙනවා ම නො වේ. සමකාලීන නාගරික තරුණ සංගීත ලෝලීන් සිංහල පොප් ගීත ප්‍රිය කළ ද ,ඒවා ගැයූ වැඩි දෙනෙකු තරුණ වියේ පසුවුව ද රුක්මණී ගෙවා දමමින් සිටියේ සිය මැදිවියේ අපර භාගය යි. ගායිකාවක සේ ඇය ලද ජනප්‍රියත්වයට මෙය බාධාවක් නොවී ය.

රුක්මණී ගේ සියවැනි ජන්ම දින සැමරුම වෙසෙසින් හුවා දැක්විය හැකි කරුණු කිහිපයක් අවධාරණය කරයි. ඒවා ඇගේ නොසිඳෙන ජනප්‍රියත්වය වර්තමානයේ සිට අනාගතය දක්වාම ගෙන යන සුලු ය.

පළමු කොටම ඈ ලාංකේය සිනමාවේ සිංහල මූලික බව සිංහල භාෂිත සිනමාවෙන්ම අභියෝගයට ලක් කළා ය. දෙවනුව ඈ සිංහල බස මනාව නොදැන සිටිය ද සිංහල බස මනාව හැසිරවූ ගායිකාවක ද, වේදිකා හා සිනමා රූපණවේදිනියක ද වූවා ය. ඈ එක්වූ ලිඛිත ස්වරූපයේ දෙබස් අඩංගු සිනමාපට ප්‍රති විවරණයකදී මෙකරුණ සනාථ කර ගත හැකිවේ. තෙවනුව එන්නේ ඈ අවිඥානකව වුව සිනමාවේ පුරුෂ මූලික බව නොතකා හරින්නට සමත් වූවා ය යන්න ය. පුණ්‍යා හීන්දෙණිය බඳු සමකාලීන සිනමා තාරකා කලාත්මක සිනමා අම්බරයේ පායද්දී ඒ කරා යන්නට කිසිදු වෑයමක් ඈ නොදැරුවා ය. අනෙක් අතට ඈ සිනමාවේ, වේදිකා නාට්‍යයේ හා සංගීත ක්ෂේත්‍රයේ පුරුෂ මූලික බව ජය ගන්නට සමත් නොවූ බව ද සඳහන් කළ යුත්තකි. ඉන් පෙනී යන්නේ ඈ අතිමහත් නො සිඳෙන ජනප්‍රියත්වයක් සිනමාව, වේදිකා නාට්‍ය හා සංගීතය නොතකා හරින පාර්ශ්ව වෙතින් පවා ලබා ගත් ප්‍රතිවිරෝධතා සහිත චරිතයක් ය යන්න ය. ස්ත්‍රියට නිසි තැන නොව සම තැන ඇවැසි ය යන්න එයින් අවධාරණය කළ වග ය.

 

[email protected]