වර්ෂ 2023 ක්වූ September 26 වැනිදා Tuesday
අම්මා කේන්තියෙන් හිටපු දවසක් අපි දුටුවේ නෑ

‘අපේ අම්මා රටට සම්මානිත නිළියක්, එය ඇත්තක්මනෙ. ඒත් අපට ගෙදරට, නැදෑයිනට, සමාජයට අපේ අම්මා ඊටත් එහා ගිය සම්මානනීය කුල කාන්තාවක්මයි.’
“සමාජයේ ජිවත්වන සැටි, ගැටලුවකදී ඉවසන සැටි, මනස සමබරව තබාගන්නා සැටි අපි දරුවන් පස්දෙනාට අපුරුවට කියාදුන්නා වගේම අද අපේ ජිවිතවල සාර්ථකත්වයේ රහසත් අපේ අම්මා.”
සිනමාව, රූපවාහිනිය සේම වේදිකා රංගනයෙන් ද සම්මානිත රූපණවේදනිය ලියෝනි කොතලාවල මහත්මියගේ පුතුන් ම පස්දෙනාගෙන් දෙවන පුතු තුෂාර කොතලාවල මහතා අප පිළිසඳරට මුල පුරමින් එසේ කීවේ සරසවිය පුවත්පත ද අගැයුමට බඳුන් කරවමිනි.
කොළඹ, කොටහේන ප්‍රදේශයේ ඩෙන්සිල් වීරසිංහ සහ ඉඩීන් වීරසිංහ මවුපිය දෙපළට දූ දරුවන් සිව් දෙනෙකි. ඇන්ටන් වීරසිංහ අයියා ය. අක්කා අයෝනි වීරසිංහය. තෙවැන්නිය මොනිකා වන අතර අද අපේ කතාවේ සොඳුරුතම කතා නායිකාව වන්නේ, එම පවුලේ (බඩපිස්සිය) බාලම දැරිය වූ ලියෝනි කොතලාවල මහත්මියයි.
1943 වසරේ සැප්තැම්බර් මස 18 වන දා උපත ලද ඇයගේ ළමා කාලය ගෙවුණේ කොටහේනේය. ඕ ඉගෙනුම ලැබුවේ කොටහේන යහපත් එඩේරාගේ කන්‍යාරාමයේය. තම දූ පුතුන් අතර තම බාලම දියණිය ලියෝනි තුළ කැපී පෙනුණු කුසලතාවන් සේම ගති පැවතුම් පිළිබඳව ද එම මව්පියන්ගේ හිත් තුළ ඇති වුයේ කිව නොහැකි තරමේ සතුටක්මය.
‘ඉතිං... අපේ අම්මා කුඩා වියේ ඉඳලාම රඟපෑමට කලා කටයුතුවලට බොහොම කැමැත්තකින් ඉඳලා තියෙනවා. අපේ අම්මාගේ අම්මා අපේ ආච්චි ඉඩීන් සෑහෙන්ඩ අපේ අම්මාට ඒවාට සීමා පවුරු පනවල තියෙනවා, කොහොම හරි පාසලේ ගුරු භවතුන් පවා අම්මාට බැණ වැදිල තියෙනවා. ඒ කාලෙ හරියට තහංචි වැඩියි කියල අපේ අම්මා අපට කීවා මතකයි.”
“ඉතින්, පාසලේ නාට්‍යයකට අපේ අම්මාව තෝරාගෙන තියෙනවා. ආච්චි අම්මා එතරම් කැමැත්තක් නොතිබුණාට අපේ සීයා, අම්මාගේ තාත්තා ඩෙන්සිල් සීයා තමයි අම්මාගේ තනි නොතනියට ඕනම ගමනකදී යන්නේ සීයා අපේ අම්මා ව තනියෙන් යවලාම නැහැ.”
තමන් ඉගෙනුම ලබනා පාසලේ වේදිකාවේ රඟදක්වන්නට යෙදුණු ‘සාමා’ වේදිකා නාට්‍යයට ඕ තේරුණේ එහි ප්‍රධාන චරිතයටය. රංගන ප්‍රතිභාව උපතින්ම ගෙන ආ නිසාදෝ අපේ ලියෝනි මහත්මිය එම පාසල් වේදිකා නාට්‍යයේ රඟපෑමෙන් හොඳම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නට භාග්‍යවන්තියක වූවාය.
නිම්හිම් නැති සතුටකට පත් වූ ඕ තොමෝ ඉන් තවත් අපමණ සතුටකට පත් වුයේ එම වේදිකා නාට්‍ය ‘සාමා’ සිනමා සිත්තමක් ලෙසින් නිපදවන බව ඇසීමෙනි. පසුව සාමා රිදී තිරයට එක්විය. එහි රඟ පෑ ඈ ඉන් අනතුරුව රඟපැවේ ‘පිපෙන කුමුදු’ චිත්‍රපටයේය. වේදිකාවෙන් සිනමාවට ද පියමං කළ ඈ ඊළඟට පා තැබුවේ ගුවන් විදුලියට ය.
‘අපේ අම්මා අපිත් එක්ක මේ වග විස්තර කියද්දී අපේ අම්මාගේ මුහුණෙ ඉතිරුණු සතුට මට දැනුත් මැවි මැවී පේනවා. ඒ කාලෙ ඉතින් රූපවාහිනියක් කියලා දෙයක් නැහැනෙ. ඒ නිසා මිනිස්සු පුදුම විදිහට ගුවන් විදුලිය එක්ක සමීප වෙලා සිටියෙ.වැඩේ කියන්නේ අපේ අම්මාට වැඩිපුරම ලැබුණේ ඒ ගුවන් විදුලි නාට්‍යවල රණ්ඩුවෙන චරිතමයි. වජිරා, මුවන්පැලැස්ස, ගුවන් විදුලි රංගමඬල ආදී නාට්‍යවල විවිධ චරිත නිරූපණයට අම්මාගෙ කට හඬ දුන්නා. ඒ කාලෙ මිනිස්සුන්ගේ හදවත් තුළ එම ශිල්පින් ශිල්පිනියන්ගේ හඬ තැන්පත් වී තිබුණාය. කීවොත් වඩාත් හරි”
ගුවන් විදුලි නාට්‍ය වැඩසටහන් වලදී තම මෑණියන් එහි ප්‍රධානීන්ගේ බැණුමට ද ලක් වු අවස්ථා ඇති බවද තුෂාර මහතා කියන්නේය. ඉන් අනතුරුව ඕ තොමෝ තවත් පියවරක් ඉදිරියට තැබුවාය. ඒ රූපවාහිනී නාට්‍යයට ය. පළමු වරට එහි හා පුරා කියා ඈ රඟපෑවේ ලුෂන් බුලත්සිංහල, අනුලා බුලත්සිංහල සමඟිනි. ඒ ‘සෝමාගේ සිහිනය’ ටෙලි සිත්තමේය.
“එතකොට මට වයස අවුරුදු දහයක් විතර ඇති. මාවත් අපේ අම්මා එක්කගෙන යනවා මට මතකයි. මොකද, අපේ තාත්තා අම්මාව කවදාවත් තනි මග කොහේවත් යවන්නේ නැහැ. ඉතින් එහි අපේ අම්මා රඟපෑවේ අනුලා බුලත්සිංහල ඇන්ටිගේ අම්මාගේ චරිතයයි. කුමාරිහාමි ටෙලිනාට්‍යයේ මේරි චරිතය නිරූපණය කළා. එතකොට චරිත තුනක්, චකබ්ලාස්, සිරසෙ පාං බට්ටා ටෙලි නිර්මාණවලත් අපේ අම්මා රඟපෑවා. අම්මා චිත්‍රපටයේ අපේ අම්මා මැරෙන චරිතයක් කළේ. නමුත් ඒ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණේ නැහැ. අම්මාගේ සිනමා ගමනේ හැම පින්තුරයක්ම ගත්තේ අපේ තාත්තා. අපේ තාත්තාත් විශිෂ්ට චරිතයක්.”
අපේ කතා නායිකාවගේ අතගත්තේ එවක ඡායාරූප ක්ෂේත්රයේ ඉහළම තැනක පසු වු ඡායාරූප ශිල්පියකු වන තිස්ස ජගත්පාල කොතලාවල මහතාය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඡායාරූප අංශයේ ප්‍රධානියකු වන එතුමා තරමක දැඩි සිත් ඇත්තෙකි. හැමදේම ක්රමානූුකූලව තිබිය යුතුය. පිළිවෙළකට සිදුවිය යුතුය. එවක ජනාධිපතිවරුන් තිදෙනෙකු ගේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා වන තිස්ස මහතාගේ කැමරා කාචයේ හැර අන් කිසිවකුගේ කැමරාවකින් ප්‍රධානීන් සටහන් වුයේ නැති.
සිනමාවට ද සම්බන්ධව පසු වු එතුමා නිශ්චල ඡායාරූප ශිල්පියකු ද වුයේය. අසුන්තා ලියෝනි මෙන්ඩිස් වීරසිංහ හෙවත් අපේ ලියෝනි කොතලාවල රූපණවේදිනිය එතුමා හා විවාහ වුයේ 1966 ජුනි මස 12 වනදාය.
‘අපේ අම්මා තාත්තාට දරුවන් පස්දෙනෙක්නෙ. ඔක්කොමලා පුතාලා. ලොකු අයියා හිරාන්, දෙවැන්නා මම තුෂාර, තුන්වැන්නා බිමල්, විමෝද් හතරවැනියා, පස්වැනියා පවුලේ බඩපිස්සා කෝෂල අපේ අම්මා කතෝලික. අපේ තාත්තා බෞද්ධ අපේ අම්මා පල්ලි යනවාට නම් තාත්තා එතරම් කැමැත්තක් දැක්වුයේ ම නැහැ. අම්මා පල්ලියේ ගීතිකා වලටත් සම්බන්ධව ඉඳල තියෙනවා. සහජ කුසලතා කිහිපයක්ම අපේ අම්මා ට බද්ධ වෙලා තිබුණෙ.”
“මට පැහැදිලිවම කියන්න පුළුවන් අපේ අම්මාට කිසියම් චරිතයකට ප්‍රවිෂ්ට වෙන්නට එහෙමට කාලයක් ගතවන්නේ ම නැහැ. ක්ෂණිකවම අදාළ චරිතයට ආරූඪ වෙනවා. අපේ අම්මාට අපි පුංචි කාලෙ විවේකයක් කියලා දෙයක් නම් තිබුණේම නැහැ.”
“අපේ අම්මා ඉතාම නැණවත් කාන්තාවක් කියලා කියන්න පුළුවන් ගුණාංග රැසක්ම තිබුණා. ඉවසීමේ ගුණය ඉන් පළමු ගුණාංගය. දැන් හිතන්නකෝ, තමන්ගේ ස්වාමියාත් ටිකක් තදයි. හැමදෙයක් ම පිළිවෙළටම තියෙන්න ඕනා එයාට. එතකොට දරුවන් පස් දෙනෙක්ගේ වගකීම්, තව ගෙදර දොර වැඩ කටයුතු. පවුලේ සමගිය, සතුට කියන දේට අපේ අම්මා දිවිහිමියෙන් කැප වී හිටි හැටි මං අදටත් ආදරයෙන් මතක් කර කර සතුටු වෙනවා.
මේ සියල්ලටම අපේ අම්මා ළඟ තිබුණු ඉවසීමේ ගුණය - අනුකම්පාව, සංවේදීකම අනුන් ගැන දයාබරව හිතන ජන්ම ගතිය තමා මුල් වුණේ.අපේ අම්මා කවදාවත් මං නිළියක්, මං ජනප්‍රිය කාන්තාවක් කියන හැඟීම නම් හිත් අහලකවත් ගෑවිලාවත් තිබුණේ නැහැ.”
“අපි පුංචි කාලයේ පදිංචිව උන්නේ ඇල්විටිගල ෆ්ලැට් එකේ. අපට එහෙමට වත්කම් කියලා දෙයක් තිබුණේම නැහැ. තාත්තාගේ පඩියෙන් තමා ගෙදර හැමදෙයක්ම. අනික අපේ තාත්තාත් කවදාවත් මුදල් පසුපස්සේ හඹා ගියෙ නම් නැහැ.”
තුෂාර කොතලාවල පුතු වරෙක නිහඬවම මදෙස බලා හිඳීයි. වරෙක සිවිලිමේ කැරකෙන විදුලි පංකාව දෙසම නෙත් යොමා සිටී. තවත් වරෙක මට රහසේ දෑස පිස දමයි. තවත් වරෙක තම උගුරේ යමක් පැටලුණාක් මෙන් උගුර පාදයි. අවසානයේ දිගු සුසුමක් හෙළයි. මේ හැමදේටම හේතුව මට පැහැදිලිය.
“ අපේ අම්මාගෙයි මගෙයි අතර තිබුණෙ මහා පුදුම බැඳීමක්. අනික් අය ළඟ ආදරය නොතිබුණා නම් නෙමෙයි. අපේ අම්මාට අපි පස්දෙනාම එකයි. තාත්තාත් අපට හරිම ආදරෙයි. ඒත් අපේ තාත්තා ඒ ආදරය අපට පෙන්වුයේම නැහැ. හිතේ තියන් උන්නෙ. අපේ අම්මාගේ ආදරය අපි පස්දෙනාම හොඳට දැක්කා. කවදාවත් සැර වුණ දවසක් නෑ. කවදාවත් අම්මා අපට තරවටු කළ දවසක් නෑ. හැම වචනයක්ම ආදරයෙන්මයි. හැබැයි අපේ මොකක් හරි දඩබ්බර වැඩකදි තාත්තාට කියනවා, තාත්තා ආපුදෙන්කො, මම නම් දන්නේ නෑ. තාත්තා ආවාම ඔයාලා බලා ගන්ඩ, මට නම් කරන්න දෙයක් නැහැ ඔන්න ඔහොමයි අම්මා අපට නිතර කියන්න වුණේ.”
ලියෝනි කොතලාවල මහත්මිය රංගන ජිවිතයද ගෙදර දරුමල්ලන් හා ජිවිතය ද කෙසේ සමබරව ගෙන ගියේ දැයි වරෙක පුදුමය දනවයි. කිසිදිනෙක ඇයට තරහ ගිය දවසක් දැක නැතිමයැයි පුතු තුෂාර කියන්නේය. ඕ තොමෝ අතිශයින් ම නිවුණු තැනැත්තියක්මය. කිසිවකුගේ දොසක්, වරදක් නොදකින ඈ දන්නා නොදන්නා සෑම දෙනාටම හදවතින්ම පෑයේ කරුණාවය. මුදු මොලොක් හිතවත්කමය.
‘අපේ තාත්තා ඒ කාලෙ ‘දවස’ පත්තරෙත් වැඩ කළානෙ. පසුව තවත් පත්තරවල වැඩ කළා. ඒ කාලේ හැම චිත්‍රපටයකම වාගෙ නිශ්චල ඡායාරූප ශිල්පියා වුණේ අපේ තාත්තාමයි කියලා මං කිව්වානෙ. මාලිනි ෆොන්සේකා මහත්මියගේ මුල්ම, මුල්ම යුගයෙ අපේ තාත්තා ගත්ත පින්තූර තමයි ජනප්‍රිය වුණේ. එක එක ඉරියව්වට, එක එක හැඩ තලයට මාලිනිගේ ගත් පින්තූර කොතෙක්ද කියලා නම් කියන්න බැරි තරම්.”
ඒ වගේමයි අපේ අම්මාගෙත් පින්තුර ගත්තේ අපේ තාත්තාමයි. ජනාධිපතිවරුන්ගේ ඡායාරූප ශිල්පියා හැටියට සමහර අවස්ථාවල අද ගත් පින්තූර හෙට ඒ ඇල්බමය බාර දිය යුතු වෙනවා. අද වගේ දියුණු තාක්ෂණයක් තිබුණත් නැහැනෙ. ඒ හැම වැඩක්ම කරදෙන්න තාත්තා ළඟ දක්ෂකමක් තිබුණා.”
‘අපේ තාත්තාගේ රස්සාව නැති වූ දවසෙ නම් අම්මා මානසිකව වැටුණ තරම මට අද වගේ මතකයි. අප හැමෝම අසරණ වුණා. දංකුඩ ටික කාලා” පුතේ ඔයාලාගෙ බඩ පිරුණාද පුතේ කියලා අපේ අම්මා එදා අපෙන් අහපු හැටි මට තවමත් ඇහෙනවා වගේ.”
පුතු තුෂාර තම දෑතෙහි ඇඟිලි එකට අමුණා කිටි කිටියේ තබා සිටින්නේය. මැල වී ගියාක් මෙන් වූ තම මුහුණෙහි ආයාසයෙන් සිනාවක් නඟා ගන්නට තැත් කරන්නාසේ ද මට පෙනෙයි. ඔව්, ඔහු ආයාසයෙන් මෙන් සිනාසෙන්නේය.
“අපේ අම්මා උතුම් කාන්තාවක්” තුෂාර බිම බලා සෙමින් කියන්නේය. ඒ හඬ වචන බරය. තවත් වේලාවක් නිහඬවම පසු වූ තුෂාර මදෙස බලා සිටියේය.
අපි ෆ්ලැට්ස්වල ඉන්නකොට එහි සිටි පුංචි දරු දැරියන් එකතු කරගෙන ඒ පුංචි බිම් කැබැල්ලෙ වෙසක් නාට්‍යයක් නොවරදවාම රඟ දක්වනවා. අධ්‍යක්ෂණය වගේම සියලු කටයුතු අම්මාගෙන්. වෙසක් නාට්‍යය පිටපත ලියන්නෙ ඒ ෆ්ලැට් එකේම හිටිය පූෂ්කර වන්නිආරච්චි අයියා ග්ලැට් දෙකක් අතරෙ තියෙන්නෙ පුංචි බිම් කොටසන්නෙ. එතැන තමා වෙසන් නාට්‍යය පෙන්වන්නෙ. අම්මාගෙ ඒ වෙසක් නාට්‍ය හරියට ප්‍රසිද්ධ වුණා. එතකොට ඒ 1979 අවුරුද්දෙ. අපේ තරුණ විය ගෙවුණෙත් ෆ්ලැට් එකේ. අපේ ෆ්ලැට් එකේ කලාකරුවන් ගොඩක් උන්නා. රජ පෙළ පතේ බෞද්ධ සාහිත්‍යයේ කතන්දර තමයි වන්න ආරච්චි අයියා ලියලා අම්මාට දෙන්නෙ.”
සිය සැමියා සමඟ මහගෙදර සිටියදී නෑනලාගේ පරස්පර ගති පැවතුම් මැද අසමගිය ලියලන්නට නොමදී තම මව සමබරව ඉවසීමේ ගුණයෙන් හොඳ හිත පවත්වාගත් අයුරු ද තුෂාරට මතක් වෙයි.
ඕ ගෙදර දොරේ වැඩ කටයුතු පවුලේ කාටවත්ම පැවරුවේ නැති. රඟපෑමේ, ගුවන් විදුලියේ කාර්ය බහුල ජීවිතය ඉදිරියේ තාත්තාගේ ද හිත නරක් වන්නට මොහොතක්වත් ඉඩක් නොතබා තනිව ගෙදර වැඩ කටයුතු අනලස්ව කරගන්නට සමත් වූ අයුරු ද ඔහුට මතක් වෙයි.
“ඒ තරම් අවිවේකී බවක් අම්මාගෙන් මං දකිද්දී මම තේරුම් ගත්තා මං අම්මා ළඟ සිටිය යුතුයි. උදව් දිය යුතුමයි කියලා. අම්මාගේ වැඩ කටයුතු වලින් බොහොමයක් කටයුතු මා කළා. එයින් අපේ අම්මාගෙ පීඩනය බොහෝම අඩු වූ බවක් මට එදා දැනුණා.
“අනේ මගේ පුතේ ඔයාට පින් සිද්ධ වෙනවා. පුතේ කිය කියා සියවරක් අම්මා මට කියනවා. එහෙම අපේ අම්මා මට කියද්දි මං අවබෝධ කරගත්තා මගෙන් අම්මාට සහනයක් ලැබුණාය කියලා.” මාව අම්මාට සහනයක් වුණා. තාත්තාට ප්‍රශ්නයක් මතු නොවනා තුරාවට අපේ අම්මාට ප්‍රශ්නයක් එන්නෙම නැහැනෙ.”
තම පුතුන් පස්දෙනා සමඟ බිම හිඳගන්නා ඕ දරුවන්ට ඉවසීමේ ගුණය පහදා දෙන්නීය. තවත් දවසකදී වැඩක කැපවීම ගැන කියා දෙන්නීය. තව දවසෙක සමාජය ගැන හොඳ නරක දෙක ගැන පහදා දෙන්නීය.
“මගේ පුතාලා හැම තිස්සෙම හිතේ තියාගෙන ඉන්න අම්මා මට මෙහෙම කියලා දුන්නා නේද කියලා. ආත්ම ගරුත්වය, මනුස්සකම, අනුන්ගේ හොඳම දැකීම, තමන්ට වෛර කළ ද තමන් හැමවිටම මෛත්‍රී කළ යුතුය. මේ තම දරුවනට ඇය කියා දුන් පාඩම් අතර ඉන් කිහිපයකි.
“ඉතින් අපේ තාත්තාගේ වැඩ තහනමකට ලක්වුණා. එය නම් හරිම දුක් බරයි. අපේ අම්මා කතෝලික කාන්තාවක්. ගෙදර ඉඳන් යාඥා කළෙත්. අම්මා පල්ලි යනවාට තාත්තා අකමැති නිසානෙ. ඒත් ගෙදර බුදු පහනට මල්, පොල්තෙල් අපේ අම්මාගේ අතින්මයි.”
“දැන් ගෙදර හරිම නිශ්චලයි කතා සද්ද නෑ. ගෙදර ආදායම ගැන ප්‍රශ්නයක්. තාත්තා ගෙදර. අම්මා ලෑස්ති වුණා පන්සල් යන්න අපටත් ලෑස්තිවෙන්න කිව්වා. දවස් විසි එකක් අපේ අම්මා නොකඩවාම තාත්තාගේ රස්සාව ගැන කියලා බෝධි ජූජා තිබ්බා.සමහරදාට මහ වැස්ස. අපි අම්මාට කියනවා අද නොගිහින් ඉමු කියලා. මේ වැස්ස අපට බාධා කරන්නෙ නැහැ පුතේ කියනවා. අපි බෝධි පූජාවට යනවා. අම්මා කිව්ව වගේම කවදාවත් බාධාවක් වෙලාම නැහැ. අපේ අම්මා කතෝලික වුනත් වැඩිපුර ගියේ පන්සලට. ලොකු විශ්වාසයක් තිබුණා බුදු දහම, බෝධි පූජා ගැන. තාත්තා කවදාවත් පන්සල් ආවෙ නැහැ. අසනිපයක් හැදිල වුණත් අපේ අම්මා බෝධි පූජාවට යනවා. ඒ කැපවීම ඉහළයි.”
‘මං අම්මාගේ පැත්තෙන් හිතා බලා අම්මේ අපි පල්ලි යං කිව්වා. තාත්තා අකමැති බව දන්න නිසා අම්මා පල්ලි ගියේ නැහැ. මං කිව්වනෙ අම්මා හැම තිස්සේම පවුලේ සමබරතාවය ආරක්ෂා කළා කියලා. අම්මාගෙ ඒ සතුටට තාත්තා විරුද්ධයි කියලවත් ඒ හිතේ තාත්තා ගැන අහිතක් හිත් අහලකවත් නැහැ. එහෙමයි අපේ අම්මාගේ හැටි’
‘අපේ අම්මා හැමවිටම සාමදානයටමයි. ඒ කරුණාබර හිත මං අම්මා ව දුටු දවසෙ ඉඳලා හැමදාමත් දැක්කා. ඒක අව්‍යාජයි. සමහර වෙලාවට අනුන් වෙනුවෙන් කතා කරල අන්තිමේදී ද අම්මා දොස් අහපු අවස්ථාවලුත් තියෙනවා.’
තුෂාරගේ ඇස් දෙකත් මුවත් සිනහවක ගිලිණි. ඔහු හිඳ සිටි සැප පහසු අසුනේ සතුටින් හරිබරි ගැහී මෙතුවක් නොපෙන්වූ සිනාවකින් මුව සරසා ගත්තේය.
එදවස 24 දා වන දවසකි. පල්ලි යාම තහනමකට ලක් ව සිටි අපේ කතා නායිකාව සිය හිමි හා දරුවන් සමඟ සුපුරුදු ලෙන්ගතුකමිනි. ඕ සියල්ල ඉවසා දරා සිටීමෙහි සමත් කාන්තාවකි.
එදා 24 දා මහ රාත්‍රියේ 25 වනදා පසුදා නත්තල් උදාවන අසිරිමත් මොහොත සිය බිරිඳගේ සතුට වෙනුවෙන්ම සැදි පැහැදී සිටි තිස්ස මහතා ගෙමැද නත්තල් ගසක් තැනුවේය. සියල්ලෝම මවිතයෙනි. තම බිරිඳගේ සතුටට ඉඩහසර දෙමින් ඔහු ගෙතුළ නත්තල වෙනුවෙන් විසිතුරු කළේය. ඉන් වරෙක පුදුමයට පත් බිරිඳ සිය හිමි පිළිබඳ උතුරායන ස්නේහයෙන් ඔහු දෙස බලා සිටියාය. පල්ලියට යනවාට විරුද්ධ වූ සැමියාගේ අතින්ම නිවසේ නත්තල් සැමරුමක්!
ඕ ලහි ලහියේ සැරසී පල්ලියට යන සැටි ඇයගේ සැමියා සිනාමුසු මුහුණින් යුතුව බලා සිටියා මිස අකමැත්තක් කීවේම නැත.
‘හිතාගන්න පුළුවන් නේද අපේ අම්මාගේ ඉවසීමේ ගුණය නිසාම එතුමිය ලැබූ සතුට...”
‘අපේ අම්මා කොහිවත් තනිපංගලමේ යන්න කැමැත්තක් නැහැ. රූපවාහිනි වැඩ වලදිත් ගියේ අපි එක්කයි. තාත්තත් කැමති නැහැ අපේ අම්මා තනිව යනවාට. කොහොම හරි අපි තනියට යන නිසා සමහරු අම්මාට සෑහෙන්න දොස් කියල තියෙනවා. පවුලම එක්කගෙන එනවා කියලා. එහෙම ගරහලත් තියෙනවා.’
‘එත් කිසිම දවසක කිසිම අවස්ථාවක අපේ අම්මා කිසිම කෙනෙකුට ද්වේශ කරලා නැහැ. තරහ අරන් නැහැ. තමන්ට නින්දා අපහාස කළ කෙනකු ගැන පවා අපේ අම්මා තව තැනෙක දොසක් කියන්නෙ නැහැ. දරාගැනීමේ ශක්තියෙන් අපේ අම්මා ඉහළයි. අම්මාට බොහෝ අය ඉරිසියා කළ වගත් අපි දන්නවා. අපේ අම්මාට නින්දා අපහාස කළ අයටත් අම්මා ඒ බව දැන දැන උදවු උපකාර කළ බවත් අපි දන්නවා.’
‘අපේ අම්මා වැඩිපුරම කැමැත්ත තිබුණෙ වේදිකා නාට්‍යවල රඟපාන්න ඒක ඇඟට දැනෙන දෙයක් කියල අපේ අම්මා නිතර කියනවා. ඉතින් මේ අහන්නකො. අපේ අම්මා නාට්‍ය වලට දුර පළාත්වලටත් යනවා. කල් ඇතිවම ගෙදර කතාබහේ දී අපේ අම්මා තාත්තාට වේදිකා නාට්‍යයෙන් ලැබෙන ගනුදෙනුව ගැන කියනවා නේ ඉතින්, සමහරදාට දුර නාට්‍ය පෙන්වුවාට සමහරදාට විවිධ ගැටලු නිසා ගෙවීම් එහා මෙහා වෙනවා. දැන් ගෙදරට කියන්නේ මොනවද කියල අපේ අම්මා බයවෙනවා.’
එවිට දී ඕ තොමෝ ණයක් කොහෙන් හෝ සොයා ගන්නීය. ගෙදරට කියා ගිය ආදායම පෙන්වන්නීය. පසුව ගත් ණය වෙනත් මඟකින් පියවා දමන්නීය. ‘එකත් අපේ අම්මා පවුලේ සාමය ආරක්ෂා කරදීමක්’ තුෂාර පුතු කියන්නේය. රඟපෑම ඇදහීමක් සේ සලකා කටයුතු කරන ඈ ඒ වෙනුවෙන් කැපවෙද්දී ගෙදර දොර කටයුතු වෙනුවෙන් ඊට නොදෙවැනි කැපකිරීමක ද යෙදෙන්නීය. ලැබෙන දෙයක් වේ ද එය කා සමඟත් බෙදා හදා ගෙන ජීවත්වෙන්න පුරුදු වන්න. ඒ ඇය තම දරුවනට කියාදුන් තවත් ඔවදනකි.
“දුකක් හිතේ තිබුණත් ඒ දුක තමන්ගේ හිත ඇතුළේ විතරක් තියාගෙන ඉන්න අම්මා දන්නවා. හැබැයි දැන් මට හිතෙනවා අම්මා රහසින් හැඬුවාය කියලා. ඇත්තම කියනවා නම් අපේ අම්මා අපේ ගෙදර මුදුන් පරාලය තමා. අපට බඩ පිරෙන්න කන්න දීලා අපේ අම්මා දංකුඩ කාලා හිනාවෙන් හිටිය හැටි අප දන්නවා. ඒ වගේමයි පිටස්තර කෙනකුට කන්න දෙන එක අම්මාගෙ ලොකු සතුටක්. තාත්තාට තමයි මුලින්ම කෑම බෙදල දෙන්නෙ. සමහරදාට අපේ අම්මා වතුර විතරක් බීලා ඉන්නවා. ඒ බව අප දන්නෙත් නැහැ.”
“අපි හිටපු ෆ්ලැට් එකේ හැමදේකදිම අසල් වැසියන්ට අපේ අම්මා ව ප්‍රධානයි. පුදුම ගෞරවයක් අපේ අම්මා ගැන ඒ අය ළඟ තිබුණෙ. ඉතින් මං අපේ අම්මා එක්කල ගමන් යන්න අකමැතියි. හරිම වදයක්. මඟ දී අම්මාට යන ගමන යන්න බැහැනෙ. අත අල්ලන් ඉන්නවා. ෆොටෝ ගන්නවා. එක එක්කෙනාට උත්තර දි දී ඉන්නවා. ඒ හන්දා මං අම්මා එක්ක ගමන් යන්න කැමැති නැහැ. ඒත් අපේ අම්මාට තිබුණෙ හැමෝම එක්ක කතා කරන සතුට.
“මං කැමති නැහැ අපේ අම්මාගෙ නම ඉස්සරහට දාගෙන ජීවත් වෙන්න. ඒ නම විකුණාගෙන ඉන්න මං කැමතිම නැහැ. අම්මාගෙ නමින් බැබළෙන්නෙ මොටද.”
දරුවන් අම්මාගේ ඉහ වහා ගිය තරමේ කරුණාදයා ගුණය මැනවින් දනිති. ඒ නිසාම දඟකාරකම් වැඩියි. තාත්තා ගෙදර ඉන්නා විට නම් දරුවන් බොහෝ තැන්පත්ය. සෙල්ලමට දඟලන දරුවන් දෙස බලා තාත්තා කියන්නේ එකම දෙයකි.
“ඕන තරම් දඟලන්ඩ මං රිපෝට් එක බලනවා හොඳේ.”
එතැනින්ම දරුවෝ පොත පතෙහි වැඩය. තාත්තා ඉන්නා විට රූපවාහිනිය නැරඹීම ද දරුවෝ අමතක කර දමති.
“අපේ අම්මා දුක් වුණ අවස්ථා දෙකයි මං දැක්කේ.” තාත්තාගේ රස්සාව නැති වූ දවස දරුවන් පස්දෙනා එක්කම එදා අපේ අම්මා හරියට කම්පා වුණා. දෙවන දවස තමයි මං ශල්‍ය කර්මයකට බඳුන් වූ දවස. අම්මාට ළඟින්ම හැම වැඩකදීම අත ළඟින්ම උන්නේ මං නිසා අම්මාට දුක උහුලන්නට බැරිවෙන්ඩ ඇති. මගේ තුන්වැනි මල්ලිත් හරියටම අපේ අම්මාගේ ගතිගුණමයි. “
“තාත්තා අකටයුතුකම් ඉවසන්නෙම නැති කෙනෙක්. හොඳට හොඳයි. නරකට නරකයි. අපිත් වෙලාවට වැඩ කරන්න පුරුද්ද ලැබුවෙ තාත්තාගෙන්. තාත්තා අපට දඬුවම් කරනවා. පුදුම බයක් අපි අපේ තාත්තාට තිබුණේ. ඉතින් තාත්තා දඬුවම් කළාම අම්මාට හරිම හිතට අමාරුයි. ඉතින් අපේ අම්මා තාත්තා අපට දඬුවම් කළ හැටි ගැන තාත්තා එක්ක කියනවා. තාත්තා හුම් නැතිව අහගෙන ඉන්නවා. පසුදා අපිට තාත්තා රසවත් කෑම අරන් ඇවිත් අපට දෙනවා.”
“තාත්තාගෙ ඡායාරූපකරණය ගැන හිතද්දී ඒ කාලෙ තාත්තා ගැන රටේම තිබුණෙ උසස් පිළිගැනීමක්. රටේ සමහර අඩුපාඩු තැන් ගැන ඡායාරූපයක් හරහා තාත්තා පත්තරේට දැමුවාම එදා උන්නු ජනාධිපතිවරු පවා ඒ ගැන උනන්දු වී ඒ අඩු තැන් පිළිසකර කර දුන් අවස්ථා ද තියෙනවා. තාත්තා අති දක්ෂ ඡායාරූප ශිල්පියෙක්.”
“අපේ තාත්තා ඡායාරූපකරණයේ විශිෂ්ටයකු නිසාම ජපානයේ ඡායරූප ප්‍රදර්ශනයක දී විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයකු හැටියට ද කටයුතු කර තිබෙනවා. විවිධ අවස්ථාවලදී රාජ්‍ය තාන්ත්‍රික සංචාර වගේම ආසියානු පැසිෆික් උළෙලේදීත් සම්මානිත වී තියෙනවා.
කරුණා දයා ගුණ පිරිපුන් කතා නායිකාව වූ අපේ ලියෝනි කොතලාවල රූපණවේදිනිය 1962 වසරේදී හොඳම නිළිය ලෙසින් ද සම්මානිත වුවාය.
තවත් සම්මාන ගණනාවකින් පිදුමට බඳුන් වූ ඕ තොමෝ ඕ.සී.අයි.සී. සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.
“අපේ අම්මාටවත් තාත්තාටවත් සිහින තිබුණේම නැහැ. මිල මුදල් පස්සේ හඹා ගියේම නැහැ. කොතරම් අගහිඟකම් තිබුණත් අත ඇතිදේ අනුනගේ දුකකදී දීලා සතුටු වන හිතක් මේ දෙන්නාටම තිබුණෙ. ඇඳගෙන ඉන්න ඇඳුම පවා තව කෙනෙකුට දීලා සතුටු වන හිතක් තාත්තාට තිබුණෙ.”
ඕ තොමෝ වරින් වර අසනීප වන්නීය. දරුවන් පස්දෙනාම ඇයගේ ඇඳ වටා පෙල ගැසී සුව දුක් විමසති. එහෙත් මා හා කතා කරන ආදරණීය පුත් තුෂාරට එය හිතට වදයක් වී ඇති කරුණෙකි. ඔහු තම මව වෙත යන්නේය.
“අම්මේ... අම්මට මං ඉන්නවා. ඒක අම්මා දන්නවනෙ. අම්මා අසනීපයෙන් බවත් මං දන්නවා. අනේ අම්මේ තරහ නැතිව අපි ගෙදරට එනකොට විතරක් අසනීප තිබුණත් ඇඳේ හිනාවෙලා වාඩිවෙලා ඉන්ඩකෝ.”
එතැන් සිට තුෂාර පුුතුගේ ඉල්ලීමට අනුව යමින් දරුවන් ගෙට එන හඬ ඇසුණු විගස ඕ තොමෝ කෙතරම් අසනීපව සිටිය ද තම දරුවන්ගේ සතුට පතා ඇඳ මත වාඩි වී දයාබරිත සිනාවෙන් මුව සරසාගෙන දරුවන් දෙසම බලා හිඳින්නීය.
“අපේ අම්මාට ක්ෂේත්රයේ අයගෙන්ම ගොඩක් කෙනහිලිකම් තිබුණා. ඒවා මටත් තේරුණා. ඒ වෙලාවෙදි අම්මා සන්සුන්ව කිවෙ එයාලා කරන දේ එයාලා ගෙනියාවි. අපේ හොඳ අප ළඟ තියේවි කියලමයි.’
තමන් පෙරටත් වඩා නිතර නිතර අසනීප වන බව දැනසිටි ඕ දෙවියන්ට කන්නලව් කළාය. ජපමාලය ද අතින් බැහැර වුයේ නැති.
රට පරසිදු දවස, විසිතුර ආදී පුවත්පත් ගණනාවක හා ප්රවෘත්තී දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නායකයින්ගේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා වූ දෙස් විදෙස් සම්මානිත තිස්ස කොතලාවල මහතා අක්මාගත රෝගයකින් පෙළෙන්නට විය. සුවපත් නොවනා තැනටම පත් වූ හෙතෙම 2000 වසරේ ජනවාරි මස 31 වනදා සැඳෑයාමයේදී යළි නොඑනා ගමනක යෙදුණේය.
ඉන් අපේ කතා නායිකාව සසලව ගියාය. ලොකු පුතු ද මේ වන විට ඇමෙරිකාවේය. ඕ බලා ගත් අත බලා සිටින්නීය. දෑසින් කඳුළු රූ රා හැලෙයි.
“තාත්තා යන්නම ගියා. අපේ අම්මා මානසිකව වැටුණා. තමන්ට ආරක්ෂකයා නැති වුණාය කියා කියන්නට වුණා. අම්මා නිතරම මගේ අත අල්ලන් හැමෝටම කිව්වේ මේ තමා මගේ පොඩි තාත්තා කියලා. ඕනම වෙලාවට මට මේකා ඉන්නවා කිය කිය අන් අය ඉදිරියේදී අපේ අම්මා මාව පෙන්වනවා. අපේ අම්මා ඈ අතින් රටට කලාවට සිදු වූ සේවය ගැන අම්මා අපට නිතර කිව්වා.
තුෂාර තම ඉහ මත මහ බරක් තබා ඇතිවාසේ මට හැඟෙයි එතරම් ඒ මුහුණ ද කටහඬ ද මලානිකය.
නැක්සලයිට් චෝදනාවට සිරගත කර හිටපු විජය කුමාරතුංග මහත්තයා ෆ්ලැට් එකට ආවා. කවුරුවත් ළඟට යන්නේ නැහැ. විජය මහත්තයා දුර ඉන්න අයට අතක් ඔසවා ආචාර කරනවා. මොකද ඒ මනුස්සය ළඟට ගියොත් වෙනත් අය වැරදියට හිතාවී කියල හිතල වෙන්නැති. විජය මහත්තයා තනිවෙලා. අපේ අම්මා එතුමා ළඟට දුවගෙන ගිහින් අතක් අල්ලගෙන දුක සැප කතා කළා. අපේ අම්මා තමයි මුලින්ම එතුමා ළඟට ගියේ, මෙන්න ඊට පස්සේ දුරට වෙලා බලන් උන්න ඈයො එතුමා ළඟට ආවා.”
“එතුමා නැක්සලයිට් චෝදනාවට සිරගත කර සිටිද්දී අපේ තාත්තා නිතර එතුමා බලන්ඩ ගියා.”
“අද කලා ක්ෂේත්රයම මනුස්සකම නැති තැනක් බවට පත්වෙලා. ඉස්සර එහෙම නැහැ. ඔක්කෝම එක අම්මාගේ දරුවො වගේ” අද එහෙම නැහැනෙ.”
අපේ සොඳුරුතම කතා නායිකාව මේ වනවිට බොහොම දුර්වලය. කන ඇසීම ද නැති, පෙර තිබු දහිරිය ද නැති. දොස්තරවරු නිවසට කැඳවුහ. එතුමියගේ වයසින් අවුරුදු 79ට තෙමසක් තිබිය දී 2022 ජූනි මස 18 දා තමන් උපයා ගත් රැකගත් පිවිතුරු හොඳ නාමය ද සමඟින් සියල්ලනගෙන් සමුගෙන යන්නටම ගියාය.
“අපි දරුවන් හතර දෙනා පමණක් අපේ අම්මාගෙ මෘත කලේබරය සිව් කොනින් ඔසවාගෙන අප නිවසින් පිටවුණේ. අපේ අම්මා ගේ ඒ බරවත් කාටවත් දුන්නෙ නැහැ. අපි එයාගේ දරුවෝ. ඒක මං මගේ අම්මාට කියා තිබුණා. ඒ මගේ අම්මාට මං දුන් පොරොන්දුව මම ඉටු කළා. අපේ අම්මාගේ බර ඔසවන්නවත් මම කාටවත් ඉඩක් දුන්නෙ නැහැ. අපේ අම්මා කුල කාන්තාවක්. නම රැකගත් කලාකාරියක්. එතුමිය යහපත් තැනෙක ඉඳන් අප දිහා බලා ඉන්න බව මට හොඳටම විශ්වාසයි.”