එයාව ප්‍රතික්ෂේප නොකර හදාගත්තා නම් හොඳයි කියලා අද මට හිතෙනවා

බන්දු මුණසිංහ ගේ බිරිය ජයන්ති පුෂ්පලතා කියයි
ජනවාරි 5, 2023

හොලිවුඩ් පෙණුමැති නළුවා ලෙසින් ප්‍රකටව සටන් නළුවකු ලෙසින් ද සිනමා රසිකයන්ගේ හද දිනූ ආරෝහ පරිනාහ දේහ සම්පත්තියට හිමිකම් කී අපේ අද කතා නායකයාණෝ මුණසිංහ ආරච්චලාගේ දොන් බන් දුසේනය.

ගෙදරට, නෑ හිතවතුනට ‘සෙක්ටස්’ නම් වු හෙතෙම සුවහසක් රසික දනන් හට හුරු පුරුදු නමින් හේ බන්දු මුණසිංහය.

අපේ බන්දු මුණසිංහයන් පිළිබඳ යටගිය දවස් ගැන සරසවිය පාඨක ඔබට කියන්නට පන්නිපිටියට නුදුරු කලල්ගොඩ නිවසට ගිය මොහොතේදී බිරිඳ ජයන්ති පුෂ්පලතා මහත්මිය ද සමඟින් අප හා සුහද පිළිසඳරට එක්වෙමින් එසේ බිඳුණු ස්වරයෙන් කීවේ ප්‍රියමනාප පෙනුමකින් හෙබි අප කතා නායකයාගේ දෙවන පුතු සුමින්ද මුණසිංහ හෙවත් අපේ බන්දුගේ සුදු පුතාය.

‘ඇත්තෙන්ම අපේ රටේ මිනිස්සුන්ගේ හදවත් වල ජීවත්වුණු කලාකරුවන් ගැන මෙහෙම ඇවිත් හරි කතා බහ කරන එකත් සරසවිය පත්තරේ ප්‍රතිපත්තියට අපි ස්තූතිවන්ත වෙනවා.’

ආගන්තුක සත්කාරයට වඩාත් පේවී පසුවන ඒ අම්මා ද ඒ සුදු පුතා ද අප සමඟ පිළිසඳරට එක් වුයේ මහත් සතුටකින් යැයි දැනුදු මට හැගෙයි.

නිහඬවම මදෙස බලාහුන් ජයන්ති පුෂ්පලතා මහත්මිය කටහඬ අවදි කළාය.

‘බන්දු එයාගේ ජීවිතේ එයාම වරද්දා ගත්ත කෙනෙක් එයාට හරි කියල හිතෙන දේ එයා කළේ. එයාව එදා හදාගත්තා නම් කියලා මට අද දහස්වරක් හිතෙනවා. එහෙම කරන්න තරම් පුළුවන් කෙනෙක්. සමාජයට දඩබ්බර ගති තිබුණාට අපට එයාගෙන් කිසිම හිරිහැරයක් වුණේ නැහැ. මට කවදාවත් අතක් උස්සලා නැහැ. එයාගේ වැරදි මං එයාට පෙන්වල දෙනකොට සද්ද නැතිව අහගෙන ඉඳලා ආයෙත් ඒ වැරදිම කරනවා.’

ඕ බිම බලාගත්වනමය. තම අම්මා දෙස බලා හුන් සුමින්ද කතාව පටන් ගත්තේ ‘බොරු කියල මොටද - ඇත්තම කියන්නම්’ යැයි පවසමිනි.

‘අපේ තාත්තට පුතාලා ම දෙන්නයි. මම දෙවැනියා මට තාත්තා කතා කළේ සුදු පුතා කියලා. නියපිටින් පහරක් ගහල නැහැ අපේ තාත්තා. මගේ අයිය දුමින්ද ධම්මික මුණසිංහ, මට හරියටම වයස අවුරුදු හයේදි අපේ තාත්තා අපිවයි අම්මවයි දාල ගෙදරින් ගියේ. සුමින්ද මඳකට කතාව නවතයි. නිහඬවම හිඳියි. තව බොහෝ දේ ඔහුට කියන්නට ඇති බවක් මට හැඟෙයි.

අපේ කතා නායකයා උපන්නේ රත්නපුෙර්ය. බස් රථ හිමිකරුවකු වන සෝමපාල මුණසිංහ මහතා සහ ඩොටී ගනේගොඩ මහත්මියට උපන් එකම දරුවා අපේ බන්දුය.

ඔහුගේ කුඩාවියේදීම සිය මව හා පියා අතර සිදු වු යම් යම් අසමගිකම් හා නොහොඳ නෝක්කඩුකම් ආදියෙහි අවසාන ප්‍රතිඵලය වුයේ තම හිමි අතැරදා තම කුඩා පුතු ද කැටුව තම මවුපියන් වෙසෙන බොරැල්ල කොටා පාරේ ඇයගේ මහගෙදරට පැමිණ නතර වීමය. දින සති මාස ගත වී ගිය ද තම සැමියා තමා සහ එකම පුතු බලන්නට හෝ තම මහගෙදරට පැමිණේ යැයි සිතා සිටිය ද සැමියාගේ නොපැමිණීම ද සමඟින් කාලයාගේ ඇවෑමෙන් එය ද ඇයට අමතකව ගියාය.

කොටා පාරේ සුවිසල් නිවසට අමතරව කාසල් වීදියේ ද තවත් නිවසක් හිමි සීයා ඉංගී‍්‍රසි පන්නයට හැඩ ගැසුණු ජෝන් පෙරේරා මහතාට අඩුවක් පාඩුවක් නොතිබිණි. තම දියණිය ඩොටී පවුලේ ආරවුලක් මත තම පිළිසරණ පතා පැමිණිමෙන් වඩාත් සතුටට පත්වුයේ බන්දුගේ මවගේ සොහොයුරා වන සුගතදාස ගනේගොඩ මහතාය. ඒ ඔහුට දරුවන් නොමැති වීමෙනි. සියලු රැකවරණය ද ආදරය ද නිතැතින්ම හිමිවුයේ අපේ කතා නායකායටය. හපන් ක්‍රීඩකයකු බොක්සිං හා සටන් ක්‍රම ද ප්‍රගුණ කළ අපේ කතා නායකයා. ගුවන් හමුදාවේ සේවයට යොමු කරවුයේ සුගතදාස මාමාය.

මම ජයන්ති පුෂ්පලතා මහත්මියට සවන් දෙමි.

‘ඉතින් බන්දු ගුවන් හමුදාවට ගියා කියමුකො. ඔන්න ටික කාලෙකින්ම ගෙදරට ලියුම් ලියා එවනවලු. මට මෙහෙ ඉන්න බැහැ. ලණු දිගේ නගින්ඩ කියනවා. පාන්දරට දුවන්න කියනවා. මට තවත් මෙහේ ඉන්න නම් බැහැ. මාව ගෙදර එක්ක යන්ඩ. ඇවිත් ගෙදර එක්ක යන්ඩ. යන්ඩය කියලා.’

ඒත් දැන් වගේ නොවෙයිලු ඒ කාලේ හමුදාවේ නීතිරිති. බඳවාගත් කෙනෙක් ඉවත් කර ගෙන ගෙදර එක්ක යනවා නම් රුපියල් 12,000ක් හමුදාවට ගෙවන්න ඕන. අනේ ඉතින් අඬ අඬ එවන ලියුං කරදහි බලාපු බන්දුගේ සීයා රුපියල් 12,000ක් ගෙවල බන්දුව ගෙදරට එක්ක ඇවිත් තියෙන්නේ. ඒ තරම් බන්දුට ආදරෙයි.’

සුමින්ද තම තාත්තා ගැන තවත් දේ කියන්නට වුයේය.

‘දන්නවද අපේ තාත්තා ගෙදරට කරදර නොකළාට සමාජයට දඩබ්බරයි. අපේ තාත්තාත් හරියට ගාමිණී අන්කල් වගේ දවසකට සිගරට් සියයක් බොනවා. ගාමිණී අන්කල් වගේම සිගරට් එකෙන් බාගයයි බොන්නේ. මට මතකයි අපි පුංචිම කාලෙ හිස් සිගරට් පැකට් ගෙදර ගොඩ ගහලා ඉතිං ඒවයින් තමා අයියයි මමයි එක එක සෙල්ලම් කළේ.’

ගුවන් හමුදා රස්සාවෙන් ද ඉවත්ව පැමිණි අපේ සෙක්ටස් හෙවත් බන්දු තම සීයා විසින් පිටකොටුවේ ශාන්ත ජෝන් පරිශ්‍රයේ තම මාලු ව්‍යාපාරයට සම්බන්ධ කරගත්තේය. යහළු මිත්‍රයන් ද මුදල් හදල් ද කිසිත් අඩුවක් නැතිවම ඔහු පසුවුයේය. රබර් පටියකින් ගැට ගසන ලද නෝට්ටු මිටි ගණනින් ඔහුගේ අල්මාරිය නිතර පිරී පවතී. ඇතැම් විට ඒ නෝට්ටුවල තැවරුණු මාලුන්ගේ කොරපොතුය. දුඟදය.

දිනෙක බොක්සිං පුහුණුවකට ගොස් නිවසට යමින් සිටියදී බන්දුට හමුවුයේ චිත්‍රපට ක්ෂේත්‍රයේ නම් දැරූ සිරිසේන විමලවීර මහතාය. චිත්‍රපටයක රඟපෑමට කැමැතිදැයි හෙතෙම විමසූ සැණින් කැමතියි’ යැයි ඔහුගේ එකම පිළිතුර විය.

‘මට මතක හැටියට එයාගෙ මුල් ම චිත්‍රපටය ‘මා ආලය කළ තරුණිය’ ඒ කීවේ ජයන්තිය.

අපේ කතා නායකයා විවාහ වුයේය. එනම් ඔහුට වයසින් අවුරුදු විසිඑකේදීය. ඒ විවාහයෙන් දියණියන් දෙදෙනකුගේම පියකු වූ හෙතෙම සීයාගේ මාළු ව්‍යාපාරයේම යෙදී සිටිමින් චිත්‍රපට වල රඟපෑමට ද ගියේය.

‘මට තවමත් මතකයි. මට දැනගන්නට ලැබුණු කතාවක් බන්දුගේ ඒ මුල්ම විවාහයනෙ. එයාගේ ඒ බිරිඳ මාළු වෙළදාම කරල ගෙදරට බන්දු එනකොට ඒ කාලේ තිබුණනෙ ගේ පිටුපස දිය නාන්නට හදාපු ටැංකියක්. ඉතින් එයා හවස බන්දු එන වෙලාවට ඒ ටැංකියට වතුර පුරවනවා. එතකොට ගෙයි තිබිල තියෙනවා සුවඳ ගහන සෙන්ට් වර්ග බෝතල් පෙට්ටි ගණන් ගොඩ ගහලා. ඉතින් එයා වතුර ටැංකියට අර සෙන්ට් බෝතල් වලින් ටැංකිය පිරෙන්නම දමනවාලු.

‘මොකද දන්නවද බන්දුගේ ඇඟේ මාළු ගඳ යවන්ඩ එහෙම නාවල තමයි බන්දුව ගෙට ගන්නේ. දැන් බන්දු මුණසිංහ කියන නමත් චිත්‍රපට වලින්ම රටම දන්නවනෙ. අනේ ද කියන්නෙ. ඒ විවාහය අතරමඟ දමල ගහල එයා යන්ඩ ගිහින්. හේතුව නම් අප අදටත් දන්නේ නැහැ.’

තම මවගේ කතාව අසා සිටි සුමින් ද මවෙතට නැඹුරු වුයේය. ඔහුගේ දෑසේ ප්‍රශ්නාර්ථයකි.

‘මට ඔයා උදව්වක් කරන්න අයියේ.’

‘කියන්න මොකක්ද මං කරන්න ඕනෙ.’ මම ඇසීමි. මේ තියෙන්නේ 0776695457 මගේ දුරකතන අංකය. අපේ තාත්තාගේ ඒ මුල් විවාහයේ දියණියන් දෙන්නෙක් ඉන්නව කියල අම්මත් කිව්වනෙ. අනේ ඒ මගේ අක්කලනෙ. එක්කෙනෙක් රමණී අනික් අක්කා ලක්මිණි කරුණාකරල ඒ මගේ අක්කලා දෙන්නව සරසවිය පත්තරේට දමල මට හොයලා දෙන්න. ලොකු උදව්වක්මයි. එයාලා දැන් කොහේ ඉන්නවද මොනවා කරනවාද ජීවතුන් අතර ද මේ මුකුත් මම දන්නේ නැහැ. මට සොයල දෙන්න.’

සුමින්ද මා අතක් තරයේ අල්වා එලෙස කීවේ බිඳුණු ස්වරයෙනි.

අපේ කතා නායකයා මිතුරන් ම අතෙර්ය. දුම් වැටියෙන් මත්පැනින් සේම සීයාගේ මාළු ව්‍යාපාරයට පින්සිදුවන්නට අත පුරා ලැබෙන මුදලින් කැසිනෝ සෙල්ලමේය. නැතහොත් අශ්ව රේස් සුදූවේය.

දැන් දැන් ව්‍යාපාරයෙන් උපයන තම මුදල් තම ලාච්චුවෙන් අතුරුදන් වීම ද නොරිස්සුු තැන දී සීයා ඔහුට තරයේ අවවාද කළේය. බැරිම තැන දී මාළු ව්‍යාපාරය ද ඔහු අත්හැර දැමුවේ සීයාගේ දැඩි දෝෂාරෝපණය මධ්‍යයේය.

දැන් මතකද, ගැටවරයෝ, හිතට හිත, සුගන්ධි, රජගෙදර පරෙවියෝ, ශ්‍රී මදාරා ආදී තවත් චිත්‍රපට රැසකටම රංගනයෙන් දායක වූ බන්දු මුණසිංහයන් වැඩිපුරම රඟපෑවේ සටන් නළුවකු ලෙසිනි. උප ප්‍රධාන චරිත නිරූපණයට ද හෙතෙම අවස්ථාව ලද්දේ වී නමුදු ගැටවරයෝ හී ගාමිණී ෆොන්සේකා සමඟ කළ සටන් දර්ශන පෙළ පිළිබඳව රසිකයා අදටත් කතා බහ කරති.

‘අපේ තාත්තගේ රඟපෑම් දෙස බලද්දී ඉහළ කැපැසිටි එකක් තිබුණාය කියල මම නම් හිතන්නේ නැහැ. ඇත්ත කියන්න ඕනනෙ. එයාගේ දුෂ්ට චරිතය එයාගේ සටන් ශෛලීය හොඳට කළා. චරිතාංග නළුවකු ද කියන්න මම නම් දන්නේ නැහැ.’

‘ගාමිණී අන්කලක්ටත් අල්ලල ගිිහින් තිබුණේ අපේ තාත්තාව ඒ දෙන්නගේ හොඳ සබඳතාවක් තිබුණා. මරදාන ශාලිමාර් බාර් එකට ගිහින් බොන්න. ගාමිණි අන්කල් අපේ තාත්තාටයි බොනිපස් අන්කල්ටයි වෙනම එකවුන්ට් එකක් ඕපන් කරල දීල තිබුණා.

‘අපේ තාත්තා ගාව ඕනම වෙලාවක සිගරැට් ටින් එකක් තිබිල තියෙනවා. එයාගේ මුල් කාලේ ඕන කෙනෙකුට ඒකෙන් සිගරට් එකක් දෙනවා. හැබැයි අපේ තාත්තාට කවුරු හරි බන්දු මහත්තයා කීවොත් ඒ මනුස්සයට තාත්තා සිගරට් දෙකක් ම දෙනවා.’

සුමින්ද සිනාපිරි මුවින් කී කතාව අසා සිටි අම්මාට ද සිනා පහළ වුවාය.

අපේ කතා නායක තෙමේ වයසින් අවුරුදු 31 දී නැවතත් විවාහ දිවියකට පා තැබුවේ දැන් මා හමුවේ සිටින ජයන්ති පුෂ්පලතා මහත්මිය සමඟය.

‘අපේ ගම කොලොන්නාව එතකොට මට වයස අවුරුදු 18ක් විතර ඇති. මමයි අපේ නංගි කෙනෙකුයි තව මගේ මිතුරියන් කිහිප දෙනකුත් එක්කල අපි ගියා. බොරැල්ල රිට්ස් සිනමාහලට ආපෝ එදා උන්නු සෙනඟක්. අපි බලන්ඩ ගියේ ‘ජන්වර්’ කියන හින්දි චිත්‍රපටයක්. අපට හැරෙන්ඩවත් ඉඩක් නැති තරමට චිත්‍රපටය බලන්න ආපු අය.’

‘රිට්ස් හෝල් එකේ මැනේජර් මේසය ළඟ කෙනෙක් මං දිහා බලනවා. බලනවා ඉවරයක් නැහැ. පස්සේ ඒ මනුස්සයා අපේ නංගිගෙන් අහලා තියෙනවා ෆිල්ම් එක බලන්න ටිකට්ස් දෙන්න ද කියලා. අපි හා කිව්වාම මෙන්න එයා අපිට ටිකට්ස් එව්වා මනුස්සයෙක් අතේ. ඉතින් අපි සල්ලිත් දීලා චිත්‍රපටයක් බලා එයාට අපි ස්තූති කරලා ගෙදර ගියා.’

‘ඉතිං ඒ දවස්වල මම ටයිපින් ක්ලාස් යනවා බොරැල්ලේ. දවසක් මගේ ක්ලාස් එක ඉවරවෙලා ගෙදර යන්න බස් හෝල්ට් එකේ ඉන්නකොට කොහෙන්දෝ මන්දා එකපාරටම මේ මනුස්සයා මං ළඟට පාත්වුණානේ. අනේ මගේ කැරමෙට ද උරුමෙට ද මං දන්නේ නැහැ. මටත් කතා කරන්න හිතුණා.’

‘දැන් ඉතින්, එයා මාව ඇරලවන්න හැමදාම මාත් එක්කම කොලොන්නාව හන්දියටම එනවා. දවසක් මගෙන් ඇහුවා මං ගෙදරටම ඇවිත් අහන්න ද කියලා. මාත් කිව්ව තාත්තගෙන් අහන්න කියලා.’

‘අපේ තාත්තගේ වැඩ පොළක් තිබුණා. ඔන්න දවසක් එයා මං ගැන තාත්තාගෙන් අහන්න වැඩ පොළට ඇවිත් තියෙන්නේ පැට්ට්‍රික් කියල කියන ගණන් කාරයෙක් එක්කගෙන. ඉතින් මගේ තාත්තත් ආ මේ මනුස්සයත් කොළඹම කෙනෙක් නෙ කියල මගෙනුත් අහල කැමැත්ත දුන්නා. ඉතින් ඔහොමයි අප දෙන්නා විවාහ වුණේ.’

ජයන්ති පුෂ්පලතා මෙනවිය හා විවාහ වු අපේ බන්දු තම මනාලිය කැඳවා ගියේ කොටා රොඩ් හි පිහිටි තම අම්මාගේ මහගෙදරටය. ඒ විවාහයෙන් හෙතෙම පුතුන් දෙදෙනකුගේ පියකු විය.

ඔහුගේ යම් යම් නුසුදුසු ක්‍රියා නිසාම ඒ වන විට සීයා ඔහු අතැර දමා තිබුණි ද ඔහුගේ මාමා සුගතදාස බෙහෙවින්ම ඔහුට ආදරය පෑයේය.

පුතුන් දෙදෙනාගෙන් තාත්තාට වඩාත් සමීපව සිටියේ දෙවන පුතු සුදු පුතා සුමින්දය.

‘පස්සේ එයාගේ පවුලේ අයගෙන් එයාට තිබුණු උදව් නැති කරගත්තේ එයාගෙම වරදින්. සූදූව අපි කාටවත් ඉවසන්න බැරිව ගියානෙ. පස්සේ අනේ අපේ තාත්තා තාත්තාගේ ව්‍යාපාරයට බන්දුව හවුල් කරගත්තා. ඒත් එයාගෙ නොමනා වැඩ එකක්වත් නතර කළේ නැහැ. මගේ වැඩේම බනින එක. ඉවසන්නම බැහැ. ඒත් එයා හුම් කියන්නේ නැහැ. හොරා වගේ සද්ද නැතිව අහගෙන ඉඳලා ආයෙත් කරන්නෙම වැරදිමයි.’

සතිස්චන්ද්‍ර එදිරිසිංහ, සිරිල් වික්‍රමගේ, ඩබ්ලිව්. ජයසිරි, මෙයාගෙ යාළුවෝ නිතර ගෙදර එනවා. මීවිත තොල ගානවා. ඉවරයක් නැතිව කතා කරනවා.’

‘අනේ එයාට සින්දු කියන්න නම් බැහැමයි. එයාගෙ යාළු නළුවන් අපි එක්කත් සුහදයි. ඔය රවීන්ද්‍ර රන්දෙණියගෙ, සෝනියා දිසාගෙ ඔය තවත් ගොඩක් අයගෙ විවාහ උත්සව, පි‍්‍රය සම්භාෂණ වගේ උත්සව වලටත් බන්දු අපිවත් එක්කගෙන යනවා. මාලිනිත් මා එක්ක ඉතාම සුහදයි.’

‘තැනකට මාව එක්කගෙන ගියාමත් දන්න කෙනෙක්ව මා ළඟ තියල තමයි එයා යාළුවෝ එක්ක එකතු වෙලා විනෝදයෙන් ඉන්නෙ. මාව එහෙමත් ආරක්ෂා කළා.’

‘අනේ ඒකනේ, විජය කුමාරතුංග එක්ක නම් බන්දු කොහෙත්ම ඇයි හොඳයියක් තිබුණෙම නැහැ. ඒකට එහෙම වෙන්න හේතුවකුත් තිබුණා. පුරන් අප්පු කියල චිත්‍රපටයකට විජය පුහුණුවීම් කරද්දී අපේ බන්දුත් විජය එක්ක රඟපාන්න වැටුණා. මොකක් හරි මෙයා විජය එක්කල පටලැවිල්ලක් කරගෙන විජය මෙයා එක්ක එදා තරහ වුණා. වුණාමයි. ඉන් පස්සේ විජය කවදාවත් බන්දු එක්ක මිතුරුකමක් තිබ්බෙම නැහැ.’

ජයන්ති මහත්මිය එලෙසින් කීවේ මා ඇගෙන් විමසූ පැනයකදීය.

‘මේ මනුස්සයගෙ පපුවේ ආදරයක්, කරුණා දයාවක් සංවේදී බවක් රැදෙන්නෙ නැත්තේ ඇයි කියලා නම් මං අදටත් දන්නෙම නැහැ. හැබැයි එයාගෙයි මගෙයි වැඩිහිටියන්ට බන්දු ළඟ පුදුම ගෞරවයක් තිබුණා. එයාලා යමක් කිව්වාමත් හොඳට අහන් ඉන්නවා. පස්සේ ඒව අමතකයි. වැරැද්දම කරනවා.

මේ කතාව අතරට යළි එක් වූ සුමින්ද මෙලෙස කිවේය.

‘තාත්තා ගැන ගොඩක් දේ කියන්න මමත් දන්නේ නැහැ. එයා අපිව දමල යද්දි මට වයස හයක්නෙ. ඒත් මට මතකයි අපේ පුංචිම සන්දියෙ තාත්තා ගෙයි බිම වැටිල ඉන්නවා. අයියයි මමයි තාත්තාගෙ පිට උඩ නැගගෙන ගහනවා. අපට විනෝදයි. එයාගෙ වරදට අම්මා බනිනව සැරෙන් බනිනවා. ඒත් කිසිම හිරිහැරයක් කරන්නේ නැහැ. නිහඬවම ඉන්නවා.’

‘කිව්වාම මොකද මං බන්දු එක්ක ගමන් බිමන් යන්න බයයි. ඕන වෙලාවක රණ්ඩුවක පැටලෙන්නයි බලන්නෙ. ඉතින් ගෙදරදිම පොරොන්දු කරවා ගන්නව ගමන් ගිහින් ගෙදරට එනතුරු පාරෙ කා එක්කවත් සණ්ඩු සරුවල් කරන්නේ නැහැ කියලා.’ ඒ ජයන්ති කී කතාවකි.

කොටාරෝඩ් හී විසූ බන්දුගේ සීයා වියපත්ව මියගියේය. දරුවන් නැති සුගතදාස මාමා බන්දුට ළඟය. බන්දුගේ දරුවනට ද හෙතෙම ආදරය කළේය. සීයාගේ ආදරය කෙතරම් ද යත් ඔහු බන්දුට ෆොක්ස්වැගන් රථයක් ද රැගෙන දී තිබුණේය. එහෙත් ඒ හැම හිතක්ම රිදෙන තැනටම ඔහුගෙන් ප්‍රතිචාර දැක්විණි.

‘අනේ ඇත්ත කතා කරන්න ඕනනෙ. මගේ පුතාලා දෙන්නව නම් වඩාගෙන හුරතල් කරල එහෙමවත් තියෙනවා. ඒත් එයාගෙ මුල් විවාහයේ දුලා දෙන්නව එයා වඩාගෙනවත් නැහැ කියලා. කලින් බිරිඳත් බන්දුත් මා එක්කල කියල තියෙනවා.’

සිනාවකට හේතුවන කාරණයක් ද ඇය මුවින් කියැවුණේ මව - පුතු දෙදෙනා සමඟ මට ද සිනාපහළ වූ යටගිය සිදුවීමක් කියාපෑමෙනි.

ඒ මෙසේ යැ! අපේ කතා නායක බන්දු කුඩා වියේදී ද දඩබ්බරයෙකි. නාහෙට නාහන එකෙකි. දිනක් ඔහු පොහොය දිනෙක සිය මාමාගේ ඉල්ලීමක් ඉවතට දැමීම කළ නොහැකි වුයේ සීයා හා මාමාගේ උදව් නැතිව යාවි යන බිය නිසාම විය යුතුය.

අකමැත්තෙන් ද වුවද ඔහු ඊට සවන් දෙමින් පොහොය දා, පෙරවරුවේ සිල් සමාදන් වන්නට සුදෝ සුදු වතින් සැරසී නිවසින් පාරට පැමිණියේ පන්සලට යාමටය. මහ ගෙදර ඉදිරිපිට පාරෙන් එහා පැත්තේ පලතුරු කඩයකි.

ඒ වනවිට කඩයේ කෙසෙල් කැනක් එල්ලමින් පසු වූ ප්‍රැන්සිස් මුදලාලිට සිල් ඇඳුමින් සැරසී සිටි කුඩා බන්දු ‘මාමේ මං සිල්ගන්ඩ යනවා’ යැයි කී සැණින් බිරාන්තව මෙන් සිහිඑළවාගත නොහී කෙසෙල් කැන ද සමඟ ප්‍රැන්සිස් මුදලාලි ද බිම ඇද වැටුණු අයුරු කීවේ උස් හඬින් සිනාසෙමිනි.

කාලය ගත වී ගියේය. පුතුන් දෙදෙනාටත් බිරියටත් ඔහු පිළිබඳව කිසිත් නෑසී ගොසිනි. ඉඳහිටවත් දක්නට නොවිණි.

දුමින්ද ලොකු පුතුගේ විවාහය පිළිබඳව දැනුම් දුන්නද ඔහු ඊට ද පැමිණියේ නැති. සුමින්ද පුතු විදේශ ගත වී පැමිණියේය.

කෙසේ නමුදු වසර ගණනාවක් යනතුරා එකිනෙකා දුටුවේ ද හමුවුයේ ද නැති. රත්නපුරයේ බන්දුගේ තාත්තා පිහි ඇනුමකින් මියගිය පුවතක් ද මේ අතරේ දී දැනගන්නට ලැබිණි.

මවගේ සොහොයුරා සුගතදාස මාමාට කොටාරෝඩ් පිහිටි නිවසට අමතරව කොළඹ කාසල් වීදියේ පිහිටි තවත් නිවසක් ද තිබිණි. කොටාරෝඩ් නිවස බන්දුගේ දරුවනට යැයි සුගතදාස මාමා කල්තියා පවසා තිබුණි ද අපේ කතා නායකයාගේ අදුර්දර්ශී බව හේතුවෙන් එම දේපල පිටස්තරයනට ම සින්නව ගිය බවක් ද කියැවිණි.

‘මගේ තාත්තා රටට අයිති කෙනෙක්. මම නිතරම හිතුවේ එහෙමයි.’ සුදු පුතා කියන්නේය. ඕ යටගියාවන් මතකයට නංවාලන්නට මෙන් බිම බලාගත්වනමය. වරෙක මට පහදා කියන්නට මව හා පුතු අතර කෙටි සංවාදයකි.

තවත් කලක් ගතවිණි. අහඹුව සුමින්ද පුතු සරසි නම් කලා සඟරාවක් මිල දී ගෙන ගෙදර ගියේය. එය අම්මාට ද පෙන්වුයේය.

‘හොලිවුඩ් පෙනුමැති නළුවා අද අසරණයි.’

එහි ලියැ වී තිබිණි. ඔහු අසනීපයෙනි. තාත්තාගෙන් සුව දුක් විමසූ පුතු සුමින් ද බෙහෙත් රැගෙන ගියේය. වරින් වර බේත් රැගෙන ගියේය. ඔහු ලොකු පුතු දුමින්ද ගැන ද විමසා ‘අම්මාට කොහොමද අම්මා මාව මතක් කරනවා දැයි’ අසන්නට ද අමතක නොකළේය. නැවතත් ජයන්ති කතාවට එකතු වන්නීය.

‘අනේ ඔව්. මා ගැනත් පුතාගෙන් අහල තිබුනා. එයාට හැම අතින්ම උදව් කරපු සීයාගෙ අවමඟුලටත් බැප්ටිස්ට් එක්කමයි ආවේ. ඒ ආපු වෙලේ ඉඳන් සැරින් සැරේට මා දිහා බලනවා. මං එයා එක්ක හිනාවෙයි ද කියල වෙන්නැති. හත් දවසෙ පින්කමටත් එයා ඇවිත් ගියා.

සුමින්ද පුතු තම තාත්තා සාධාරණීය කරයි. තරහ සිතක් ද නැති. අපේ කතා නායක බන්දු මුණසිංහයන් ඉපදුණේ පවුලේ එකම දරුවා විලසය. එහිදී මවුපිය ගැටුමින් පිය සෙනෙහස හැර පියා තම මවු සමඟ පැමිණියේ අම්මාගේ මහගෙදරටය. එහිදී ඔහු හැදුණේ වැඩුණේ තනිවමය. උපතින්ම පිහිටි දඩබ්බර ගති පැවතුම් වලදී වැඩිහිටියන් තාත්තාව නිවැරදි කරවන්නට වෑයම් නොකිරීම ගැන ආච්චි අම්මා (තාත්තාගේ ආචිච්) ට ද පුතු සුමින්ද දොස් පවරයි. තාත්තාට හිතවත්කමට ළං වුයේ සිතන්නට දන්නා අය කීප දෙනකු පමණක් බවට ද ඔහු හා වෙලී සිටියේ තාත්තාට වරදකදී උඩගෙඩි දෙන අයවලුන්ම බවද පුතු කියයි.

‘මහගෙදර සිටියදී කවුද තාත්තාව හම්බ වෙන්න ඇවිත් ළඟම උන්න කළුවාට තාත්තා කීව කඩෙන් තේ දෙකක් ගෙන්ඩ කියලා ඉතින් කලුවා ගියා තේ ඉල්ලන් එන්ඩ. කළුවා එක්ක තරහට දෝ මුදලාලි තේ දෙන්ඩ බැහැ කියලා.’

තාත්තා නැගිට්ටා. ඇඳ අස්සේ තිබ්බ ගත්තා කඩුව. සරම වලාපොට ගහගත්තා. ගියානෙ තේ කඩේට. මාර වැඩේ. ඒ තත්පරේට ඒ කඩ පේළියම තාත්තාට බයෙන් වහගත්තා.’

පුතුගේ මුවෙහි සිනාවකි. මව ද පුතු අනුගමනය කරයි.

‘තාත්තා ළඟම උන්නේ නෙවිල් මහප්පා වගේම මහප්පාගෙ පුතා සජිත් එයාලා තාත්තා එක්ක යාළුවන් වගේ උන්නෙ. සජිත් තාත්තා හරහා කලාකරුවන් ගොඩක්ම දැන හඳුනාගෙන එයාලට ළඟින්ම හිටියා.

අපේ බන්දු පැනමා ඉන් හෝටලයෙන් අතුරුදන්විය. තවත් වසරක් පමණ තාත්තා ආ ගිය අතක් නොවූ බව පුතු කියයි.

‘දවසක් මට තාත්තා කතා කළා. ලිපිනයකුත් දිල කීවා සුදු පුතා එන්න කියලා. ඒ ඇඹිලිපිටියේ කොළඹගෙ ආර පැත්තෙ ලිපිනයක්. මම නෑයෙක් එක්කල ගියා. මමත් ඒ දවස්වල එන්ගේජ් වී සිටියේ තාත්තා ඉන්න තැන හොයාගත්තා. දැකල නැති ගැහැනු ළමයෙක් එළියට ආවා. මං ඇහුව කෝ බන්දු මහත්තයා ඉන්නවද කියලා එක පාරටම ඒ ගෑනු ළමයා මගෙන් ඇහුවා මේ සුමින්ද අයියා නේද කියලා. එයා මට කිව්ව තාත්තා රත්නපුර රෝහලේ කියලා. මම ඒ ගමන්ම රත්නපුර රෝහලට ගියා.’

‘මට අදහගන්ඩ බැරිවුණා. අයියෙ. දියවැඩියාව රෝගයත් උත්සන්න වෙලා තාත්තාගෙ දකුණු කකුල කුණුවෙලා. යටිපතුලෙන් ඇටකටු පේනවා. මාව දැකපු ගමන් තාත්තා අත්දෙක එකතු කරලා මට වැන්දා සුදු පුතා අනේ මාව බේරාගන්න කිය කිය මට වැන්දා’

කම්පිතව ගිය හදින් පුතු සුමින්ද වහා තාත්තා ජයවර්ධනපුර රෝහල වෙත කැඳවාගෙන ආයේය. ‘දොස්තර ගාමිණි ගුණතිලක මහතා ලවා තාත්තාට ප්‍රතිකාර කෙරෙව්වේ එතුමා මට කීව මේව ලෙඩාට කියල වැඩක් නැහැ. ඔයාගේ තාත්තාව තව ටික කලක් හරි ජීවත් කරවා ගන්න ඕන නම් අත්සන් කරන්න තාත්තගේ දකුණු කකුල කපන්න වෙනවා. කිව්වා. මං අත්සන් කළා. ‘තාත්තාගේ දකුණු කකුල කපලා හිටගත්තාම විසිවෙනවා. කාසල් වීදියේ ගෙදරට තාත්තාව එක්ක ගෙන ආවා. ඒක එපාර්ට්මන්ට් එකක්. උඩට යන්න ඕනා. ගෙදර ඉඩකඩ අනුව රෝද පුටුව හරස් කර කර යන්න අපහසුයි.’

‘මං විවාහ වූ එක්කෙනා අයියේ රටේ නම ගිය ගායන ක්ෂේත්‍රයේ ජනපි‍්‍රය ගායිකාවක්. ඇගේ කුසලතා හැඳිනගෙන ගායනයට මඟ පාදා දුන්නෙත් ඇයට මමයි. අප දෙන්නා දැන් වෙන්වෙලා ඉන්න නිසා ඒ මගේ බිරිඳගේ නම කියන්න දැන් අවසර නෑ. සමාවන්න අයියෙ මං අදටත් ඇයට ගරු කරනවා. ඇය ඇයගේම තාත්තාට වගේ මගේ තාත්තාට ඇගේ අත්දෙකින්ම එදා සැලකුවා. ඇත්තමයි ඈ තාත්තාගේ කැතකුණු පවා ඇද්දා. කිසිම හිරිකිතයක් නැතිවම තාත්තාව පිරිසිදු කළා. මට අදත් ඒවා මතකයි. අදත් ඒ ඇයගේ උතුම් ගුණයට මම හදවතින්ම කෘතවේදී වෙනවා.’

‘ඔව් ඒ දවස්වල මාක් සැම්සන්, ශාන්ති අබේසේකර සරත් සන්දනායක වගේ කලාකරුවන් ආවා. බන්දුව බලන්න. ඇලෙක්ස් රොබින් රෝයි - සුමනා ඇවිත් ගියා. කොහොමත් ඉන් පස්සේ ඒ කාලෙ තාත්තාට බලු බල්ලෙක්වත් නැතිව ගියා. මං විතරමයි.’

‘තවත් දෙයක් වුණානෙ. තාත්තගේ නරක වෙලාවට යටිබඩේ ශල්‍යකර්මයක් කරල වැරදීමකින් තාත්තාගෙ මුත්‍රා නහරයක් කැපිලා. මුත්‍රා පිටවෙන්න බෑගයක් එල්ලගෙන ඉන්නත් තාත්තාට සිද්ධ වුණා.

‘සුදු පුතේ මට වැරදුණා. පුතේ. මට ජීවිතේටම වැරදුණා පුතේ. මං ඕවර් ගියා. සුදු පුතා කවදාවත් දුම් බොන්න එපා. මං වගේ රේස් කැසිනෝ වලට යන්ඩ එපා. මං පුතාට වඳිනවා.’

තාත්තා දැන් එක්කර පුතුට වැඳ වැද අපහසුවෙන් මෙන් සෙමින් වචන ගළපමින් එසේ නිතර කියන්නේය. හෙතෙම මෙසේ ද කියන්නේය.

‘මගේ ලොකු පුතා මාව බලන්නවත් ආවේ නැහැ. මගෙන් පුතාගේ අම්මාට වැරදි ගොඩක් වුණා. මට සමාවෙන්න.’

පුතු සුමින්දගේ හඬ මලානිකය. මෙතුවක් උනන්දුවෙන් කතා කළ ජයන්ති මහත්මිය ද කිසිවක් නොකියයි. දෙදෙනාගේ ම හිස මත බරක් පැටවුවාක් මෙනි.

තාත්තා මාවත් අයියවත් රඟපෑමට යොමු කළා. ඒත් එහෙමට මට ඒ පැත්ත ඇල්ුලුවේ නැහැ. අසරණ වුනොත් කවුරුවත්ම නැහැ.

‘ඩේසි අක්කාගෙ (රුක්මණී දේවි) ගේ ගෙදර කාමරයට තට්ටුවක් නොකර යන්න අවසර තිබුණෙ. දෙන්නකුට විතරයි ඒ ගාමිණී අන්කල්ටයි අපේ තාත්තටයි විතරයි.’

වයසින් අවුරුදු 69 පෙනී පෙනී දුබලව රෝද පුටුවකට දවසම බර දී හිතේ හටගත් විඩාව ද ජිවිතය පිළිබඳ විඩාව ද ඇතිව පසු වූ අපේ කතා නායකයා හුදෙකලා වුයේය.

තාත්තා මට කිව්ව මෙහෙ ඉන්න මට අමාරුයි. පරිසරය අනුව. මාව ඇඹිලිපිටිය ගෙදරට එක්ක යන්න කියලා. අපි තාත්තාගේ කැමැත්තට අනුව ඇඹිලිපිටියේ කොළඹ ගෙදර ගෙදරට එක්ක ගිහින් ඇරලවා ආවා. තාත්තගේ වියදමට මං මාසිකව රු.10.000 ක් ගානේ යැව්වා.’

එක් පාදයක් ද අහිමිව තවත් මාස හයක් පමණ ඔහු මහත් අපහසුවෙන් කල්ගෙවා දැමුවේය.

‘ආපහු තාත්තාට අමාරුවෙලා කොළඹ රෝහලට ගෙනාවා. මගේ මිතුරන් විතරයි ළඟ සිටියේ. නිසල් කියල පුතෙක් තාත්තා ළඟ තිබ්බා. තාත්තා ගෙවපු ජීවිතය ගැන ඒ වෙද්දී එයාටම තිත්ත වෙලා.

හොලිවුඩ් තිරයේ නළුවකු බඳු පෙනුමැති තම ජීවිතයේ දිගු කලක් කිසිවකුගේ බසක් නොඅසාම තනිව හිතුමතයේ ජීවිතය වින්දනය කළ සිනමා වංශ කතාවට සිය නාමය ද එකතු කර ලන්නට සමත් වූ අපේ කතානායක බන්දු මුණසිංහයන් 2005 ක් වු පෙබරවාරි මස 05 වනදා එනම් 69 වන වියෙහි දී යළි අවදි නොවනා දිගු නින්දකට වැටුණේය.

බන්දු මුණසිංහයන්ගේ නිසල දේහය අබිමුව සිට අවමඟුලට පැමිණි කලාකරුවන් පිරිසක් එක්ව රන් පවුමක් බන්දේසියක තබා බිරිඳ ජයන්ති මහත්මියට පිළිගැන්වුහ.

හිස් ටින් එකක් වාගෙයි

අපේ මේ ජීවිතේ මල්ලී

කිසි වාසියක් නෑ හාමතේ

නැත්තම් අතේ සල්ලී

කාටවත් බය නෑ

අපි තිබුණත් නැතත් සල්ලි

එදා ‘දැන් මතකද’ සිනමා සිත්තමේ මේ ගීතයට පණ පොවමින් සේනාධීර රූපසිංහ, ඇන්තනී. සී පෙරේරා සමඟ අපේ කතා නායක බන්දු මුණසිංහයන් රැඟු අන්දම මා මතක තිරයේ දිස්වන සඳ එම ගීතයත් ඔහුගේ සැබෑ ජීවිතයත් අතර වැඩි පරතරයක් නැතැයි මට හැඟිණි.

 

 

[email protected]