වර්ෂ 2023 ක්වූ September 25 වැනිදා Monday
සොඳුරු මිනිසකු ගැන මගේ මතකය

චිත්‍රපට සංස්ථාවේ සේවයට ගොස් මුල් කාලයේ එක්තරා දවසක නුගේගොඩ මංසන්දියේ පාර අයිනේ බිම බලාගෙන ගමන් කරන පුද්ගලයෙකු මම දුටිමි. ඔහු මට පෙන්වූයේ අපේම සංස්ථාවේ මා සමඟ සේවය කරන හිතවත් සේවිකාවකි.
“අර යන්නෙ බණ්ඩාර කේ විජේතුංග! අපේ සංස්ථාවේ වැඩ කළේ, දැන් වැඩ තහනම් කරල ඉන්නේ!” ඇය ඔහු පෙන්වා එසේ ප්‍රකාශ කළ අතර බාගෙට පැසුනු සුදුරැව්ලක් සහිත ඔහු දුටු සැණෙකින් මගේ මතකයට ආවේ අපි පාසල් සමයේ ගුවන්විදුලියෙන් ඇසූ සුගතපාල සිල්වාගෙ “මකරාගේ තානායම” ගුවන්විදුලි නාට්‍යයේ ‘සුදු රැව්ලා’ ගේ චරිතයයි.
මා මනසින් දුටු සුදු රැව්ලා මෙසේ විය හැකියැයි සිතුවෙමි.
කාලය ගෙවී ගොස් මාස කීපයක් ගතවූ විට බණ්ඩාර කේ විජේතුංගයන් නැවත චිත්‍රපට සංස්ථාවේ සේවයට එක් විය. ඔහුට හිමි වූ කාර්යාල මේසයක් පුටුවක් මට මඳක් දුරින් තිබුණත් බණ්ඩාරයන් මගේ මේසය ඉදිරිපස පුටුවේ නිතරම වාඩිවී සිටීමට පුරුදුවිය.
ඒ වෙන කිසිවක් නිසා නොව එකල මා චිත්‍රපට ප්‍රචාරක කටයුතු සදහා පුවත් පත් දැන්වීම් සක්ස්කරමින් සිටි නිසාය.
එම කාර්‍යයට ආධුනිකයකු වූ මාහට නිර්මාණාත්මකව එම කාර්‍යය ඉටු කරන අයුරු කියා දුන්නේ බණ්ඩාර කේ විජෙතුංගයන් ය.
බොහෝ දෙනෙක් ඔහු ඇමතුවේ බණ්ඩාර අයියා කියාය. මා ද එසේම විය.
දිනක් මම ඔහුට මෙසේ කීවෙමි.
“බණ්ඩාර අයියේ මම ඔයාව මුලින්ම දැක්කේ නුගේගොඩ දී. ඔයාව දැක්ක ගමන් මට මතක් වුණේ මකරාගේ තානායමේ ‘සුදු රැව්ලා’ ”.
මම කිසි විටකත් බලාපොරොත්තු නොවුම් වචන කීපයක් ඔහුගේ මුවින් පිටවිය.
“ඉතින් යකෝ මම නෙ ‘සුදු රැව්ලා’. මම තමයි ඒ නාට්‍යයේ සුදු රැව්ලාගේ චරිතයට හඬ දුන්නේ.”
මම කිසිදාක නොසිතුවෙමි. සුදු රැව්ලා චරිතයට ගැඹුරු හඬ දුන් ඒ ගුවන්විදුලි ශිල්පියා මට හමුවේතැයි කියා. සේවය නිමවී ගෙදර ගිය පසු මම මගේ මවටද මේ හමුවීම කීවෙමි. ඇයද එම ගුවන්විදුලි නාට්‍ය ඉතා උනන්දුවෙන් ශ්‍රවණය කළ කෙනෙකි.
ඉන් පසු මෙම සුවිශේෂී කලාකරුවා මිය යනතුරුම ළඟින් ඇසුරු කරන්නට මට අවස්ථාව ලැබුණි. බණ්ඩාර කේ. විජේතුංගයන් කලා ලෝකයේ පැති ගණනාවක දක්ෂතා දැක්වූ කලාකරුවෙකි. ඔහු දක්ෂ ගීත රචකයෙකි. දක්ෂ නිවේදකයෙකි. චිත්‍රපට ප්‍රචාරක කලාවේ විශිෂ්ටයෙකි.
ඉතා සංවේදී පුද්ගලයෙකු වූ ඔහු තදින් මත් පැනටත් දුම් වැටියටත් ඇලුම්කල කෙනෙකු බව ඔහු හඳුනන ඕනෑම කෙනෙකු දනී.
රටම භීෂණයෙන් වෙළාගත් අසූව දශකය අග භාගය වන විට මා සේවයට පැමිණියේ මාගේම යතුරු පැදියෙනි.
සෑම දිනකම සේවය නිමාවන වෙලාවට පෙර ආයතනයෙන් පිටව යාමට අවස්ථාව ලැබුණි. ඒ රටේ පැවති තත්වය නිසාය.
මගේ යතුරු පැදියෙන් බණ්ඩාර අයියව නිවසටම ගෙන ගොස් ඇරලවා ගෙදර යාම මගේ දින චරියාවේ කොටසකි.එහෙත් ආයතනයෙන් පිටවී පැමිණි විට අපේ පළමු නවාතැන්පළ තිඹිරිගස්යාය “රන්දෝලි” අවන්හලයි. මෙම අවන්හලට එකල ගොඩනොවූ කලාකරුවෙකු නැතිතරම් ය. ලාල් දිසානායක මහතාට අයත් සිලෝන් ස්ටූඩියෝ එකට ආසන්නව පිහිටි මෙම අවන්හළට සිලෝන් ස්ටූඩියෝ එකට එක් වන කලාකරුවන් මධුවිත පානයට එක්වන්නේ මෙම රන් දෝලි අවන්හලේය.
දෙවන නැවතුම්පළ නුගේගොඩත් තුන්වන ස්ථානය මහරගමත් බණ්ඩාර අයියාගේ නැවතුම්පළවල් ය.
මෙම ස්ථානයන් තුනෙන් එකක නොනැවතී නිවසට යන්නේ නැත. එම ස්ථානයන් එකක හෝ නවතින්නේ නැතුව ගියහොත් ඇති වන්නේ ගැටුමකි.
මම හැම විටම උත්සහ කළේ ඔහුගේ මහරගම පමුණුව පාරේ තිබෙන නිවසට ආසන්න මහරගම නගරයේ අවන්හලේ ගතකර නිවසට රැගෙන යාමටයි.මත් පැන් පානයෙන් පසු යතුරු පැදියේ රැගෙන යාමට තිබෙන අපහසුතාවය නිසාය.
මත්පැන් පානයටත් දුම් පානයටත් ඇලුම්කළ බණ්ඩාර අයියා තවත් උනන්දුවෙන් කළ කාර්යයක් තිබේ. තමාට හමුවන දුර්ලබ ගණයේ ඡායාරූප හෝ සිතුවම් රාමුකර තම නිවසේ කාමරයේ එල්ලා තැබීමයි. මෙම ඡායාරූප රාමුකර ගැනීමට ඔහුට බම්බලපිටියේ තෝරාගත් ස්ථානයක් තිබේ. එම ස්ථානයේ සේවකයින්ද ඔහුව හොඳීන් හඳුනයි.
බණ්ඩාර අයියාගේ කාමරයේ එල්ලා තිබෙන පිංතූර අතර අනුරාධපුරයේ වනාන්තර වල ජීවත්වන වඳුරෙකුගේ මුහුණේ සමීප ඡායාරූපයක් තිබුණි.
සුදු සහ කළු මිශ්‍ර රැව්ලක් තිබුණ එම වදුරාගේ රැව්ල මතින් බණ්ඩාර කේ විජෙතුංග කියා ලියා තිබුණි. එය ඔහුගේ සුපුරුදු අත්සනට සමානවිය.
එය ප්‍රථම වරට දුටු මම “මේ මොකද බණ්ඩාර අයියේ” කියා ඇසූ විට ඔහුගේ පිළිතුර වූවේ
“ඒ බණ්ඩාර කේ. විජේතුංග”.
ඒ දෙස අවදානයෙන් බැලූ විට බණ්ඩාර අයියාගේ රැව්ලත් වදුරාගේ රැව්ලත් එක සමාන විය.
බණ්ඩාරයන් ගේ මෙම කාමරයට ඇතුළු වූ විට නිසි පරිදි අවබෝධයෙන් නරඹන්නේ නම් මෙම ඡායාරූප නැරඹීමට සෑහෙන වෙලාවක් ගත වනු ඇත. හැම ඡායාරූපයකටම කිසියම් විශේෂතාවයක් ඇත. ඡායාරූපවලට පහතින් බිත්තියේ තුන් පැත්තකම තිබුණේ තට්ටු තුනක පොත් රාක්කයකි. මේ පොත් රාක්කයටත් ඡායාරූප වලටත් බොහෝ සේ ඇලුම් කළ බණ්ඩාර අයියා වැලිවිටියේ සෝරත හිමියන්ගේ ශ්‍රී සුමංගල ශබ්දකෝෂය ඉතා සුරක්ශිතව පරිහරණය කළේය.
ඔහු සෑම දිනකම පාන්දර 4.00ට අවදි වී 7.00 වන තුරු පොතක් කියවන බව මා අසා තිබුණත් මට එය දැකගන්නට නොලැබුණි.
එහෙත් සමහර දිනවල උදෑසන ඔහුගේ නිවසට යනවිට බාගෙට කියවූ පොතක් මුනින් අතට හරවා මේසය මත තිබෙනු මම දැක තිබේ.
දිනක් මා සමඟ බම්බලපිටියේ පොත්හලකට ඇතුළු වූ බණ්ඩාර අයියා ඉංග්‍රීසි පොතක් මිලදී ගත් අතර එය මා හට පෙන්වමින් “මේ සැරේ මම වැඩක් දෙන්නේ මේකෙන්” කියූවිට මම එය අතට ගෙන බැලුවෙමි. “ද ලාස්ට් ලයන්ස් ඔෆ් ශ්‍රී ලංකා” නම් ඒ පොතෙහි ඉතිහාසයේ අපේ වීරයන් වූ කැප්පැටිපොල, වීර පුරන්අප්පු වැනි වීරයන් ගැන ලියවී තිබුණි.
පොත මිලදී ගෙන ටික දිනකින් ඔහුගෙ කටහඬින් චිත්‍රපට දැන්වීමක් ඇසෙන්නට විය.එය මෙසේ මගේ මතකයේ තිබේ.
“අචල, අභීත, අපරාජීත
බලපරාක්‍රමයේ සංකේතය ‘සිංහයා’
ජීවන්
රන්දෙණිගල සිංහයා
ජීවන් කුමාරතුංග නිෂ්පාදනයක්
රංජිත් සිරිවර්ධන අධ්‍යක්ෂණයක්
රන්දෙණිගල සිංහයා
දැන් දිවයින පුරා”
ඔහුගේ අවසන් සිංහල චිත්‍රපට ප්‍රචාරයයි.
මටත් වඩා උදෑසනින්ම සේවයට එන බණ්ඩාර අයියා දිනක් පෙනෙන්නට නොසිටි නිසා මම ඔහු ගැන සොයා බැලූවිට දැන ගන්නට ලැබුනෙ වසන්ත ඔබේසේකරයන්ගේ ‘කැඩපතක ඡායා’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පඨය පටිගත කරන්නට ගොස් තිබෙන බවයි.
පෙ.ව.11.00 ට පමණ වන විට සුදුපාට කුරුතා වර්ගයේ කමිසකයකින් සැරසී මධුවිත පානය කළ මුහුණින් යුතුව මගේ මේසය අසල පුටුවක වාඩිවී සිටින බණ්ඩාර අයියව මම දුටිමි.
ඔහු සමඟ කාර්යාලයේම කීප දෙනෙකු කථාකරමින් සිටි අතර මම ද එය ආසන්නයට ගියෙමි. බස් ටිකෙට් රෝලක් වැනි කුඩා කඩදාසි රෝලක් ඔහු අත තිබුණි. පූර්ව ප්‍රචාරක පටයේ වචන මාලාව විය හැකි බව මම විශ්වාස කළෙමි.
එහෙත් මට ඒ ගැන ඇසිය නොහැකිය. කෙතරම් හිතවත් වුවත් කාතාකරන්නට ගොස් වචනයක් වැරදුණොත් හොඳීන් අසාගත හැකි බව මම දනිමි.
පිරිස අතරින් මා දුටු ඔහු
“ආ රත්නසිරි....මේක තියාගන්නව.
තමුන්ට තමා මේක හරියන්නේ”
කියා එය ලබා ගන්නේ කෙසේදැයි සිතමින් සිටින විට බණ්ඩාර අයියා විසින්ම මා අතට පත්කළේය.
එම ප්‍රචාරක පඨයේ සඳහන් කොටසක් තවමත් මගේ මතකයේ තිබේ.
“දෙනෙතින් අප දකින දෙය
සිව් කොනකින් අපට පෙන්වන චායා
කැඩපතක චායා
අපේ කාලයේ සිනමාකරු
වසන්ත ඔබේසේකරගේ නිර්මාණයක්.
කැඩපතක ඡායා”
සුනිල් එදිරිසිංහයන් ගායනා කරන මගේ සෙනෙහස ගීතය කැසට් පටයක් ලෙස එළිදක්වා එය ගුවන්විදුලියෙන් ද ප්‍රචාරය වන විට මම එය බණ්ඩාර අයියා ලියූ ගීතයක් බව දැන ගතිමි.
එය දැනගත් මා “බණ්ඩාර අයියේ ‘මගේ සෙනෙහස’ ලියල තියෙන්නේ බණ්ඩාර අයියා නේද” මම ඇසුවෙමි.
“ඔව් මම ලිව්වේ”
“මොකක්ද සම්පූර්ණ සින්දුව?”
“මට මතක නෑ” ඔහුගේ පිළිතුර විය.
දිනක් මා සේවයට පැමිණි විට බණ්ඩාර අයියා මගේ අසලට පැමිණ “රත්නසිරි ඊයේ මට සරස්වතිය පිහිට වුණා” කියා කියූවිට “ඒ මොකක්ද” කියා මම ඇසුවෙමි. පෙම්වතිය අතහැර ගිය රජයේ ආයතනයක විධායක නිලධාරියකු රන්දෝලි අවන්හලේ මධුවිත තොල ගාමින් සිටින විට බණ්ඩාර අයියව හඳුනාගන්නට ලැබී ඇත. මගේ සෙනෙහස ගීතය ලියා තිබෙන්නේ ඔහු වෙනුවෙන්ම යැයි කියා බණ්ඩාර අයියාගේ බිලත් ගෙවා ඔහුව මහරගම නිවසට ඇරලවන්නට ත්‍රීවිල් රථයකට ද මුදල් ගෙවූ බව මා සමඟ පැවසීය. බණ්ඩාරයන්ගේ නිර්මාණවලට ඇලුම් කළ රසිකයින් බණ්ඩාර යන්ට ද ආදරය කළේය.
දිනක් චිත්‍රපට සංස්ථාවට පැමිණි එක්තරා චිත්‍ර කතා පත්තරයක ප්‍රචාරක නිලධාරිවරයෙක් බණ්ඩාර අයියා ලියනවනම් චිත්‍ර කථාවක් පළකරන්නට මට අවස්ථාව ලබා දෙන බව පැවසීය.
චිත්‍ර කතාවට අවශ්‍ය රූප සටහන් කීපයක් ඇඳ එහි නම ලෙස “මගේ සෙනෙහස” ලෙස යොදා මම බණ්ඩාර අයියාට පෙන්නුවෙමි.
එදා තරම් ඔහුට කේන්ති ගිය දවසක් මම නොදුටුවෙමි. ඔහු මට තදින් බැන වැද වහාම එය ඉවත්කරන ලෙස දැන්වූවා. පසුදා මම “කියන්න චූටි අහන්නම්” කියා නමක් යොදා ඔහුට පෙන්වූ විට බණ්ඩාර අයියාගේ ඇස්වල කඳුළු පිරෙනු මම දුටුවෙමි. මගේ අත් දෙකෙන් අල්ලා ගෙන “උඹ උඹ වෙයන්. උඹ මම වෙන්න එපා. මොන තරම් ලස්සන නමක් ද දාල තියෙන්නේ ” කියලා කිව්ව. ඉන් පසු කවදාවත් අනුන්ගේ අකුරක් වත් නොගන්න මම තීරණය කළා.
මම චිත්‍රපට දැන්වීමක් නිර්මාණය කරන විට මගේ මේසය ඉදිරිපස වාඩිවෙලා බණ්ඩාර අයියා බලාගෙන ඉන්නවා. දවසක් මම හදපු දැන්වීමක කෙස් ගහක තුඩක ප්‍රමාණයේ තීන්ත බිංදුවක් තිබුන. මගෙන් බණ්ඩාර අයියා ඇහුවා “මේ මොකක්ද” කියලා. මම කිව්වා ඒක මකන්න ඕන කියල.” “ඉතින් දැන් මකනවා”. ඒක ඔහුගේ නියෝගයයි.
බණ්ඩාර කේ. විජේතුංගයන් ට අඩුපාඩුවක් තියෙන්න බෑ. හේතු දක්වන්න බෑ. ඒ ඔහුගේ හැටි. බණ්ඩාර අයියා මට කිව්ව දෙය ඔහුගේම වචන වලින් කියනව නම්,
“කරනව නම් හරියට කරපන්
නැත්නම් නිකන් හිටපන් ඕන බල්ලෙකුට කරගන්න කියල.
හැබැයි කරපු දේ තවකෙනෙකුට පහු කරන්න තියල කරන්න එපා.”
බණ්ඩාර කේ. විජෙතුංගයන් ප්‍රතිපත්ති ගරුක පුද්ගලයෙක්. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගෙ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කරන වේලාවේදී කලාකරුවො එකතුවෙලා පෙත්සමක් අත්සන් කර තිබෙනවා ඒක කරන්න එපා කියල.ඒ නිසා බණ්ඩාර කේ. විජේතුංගයන් ඇතුළු කලාකරුවන් පිරිසකට ගුවන්විදුලියේ දොර වැහුණා. විවිධ අය විවිධ ක්‍රම මගින් තමන්ගේ අවස්ථාව ගත්තා. සමහරු කිව්වා මොකක්ද කියලා බලන්නේ නැතුව අත්සන් කළා කියලා . බණ්ඩාර අයියා මාත් එක්ක කිව්වා “මුළු ජීවිතේටම ගුවන්විදුලි ය තහනම් කළත් මම කියනව මම හොඳට කියවල බලල සිහි බුද්ධියෙන් අත්සන් කළේ කියල.”
ඒකයි මම කිව්වේ ඔහු ප්‍රතිපත්ති ගරුක පුද්ගලයෙක් කියලා .
චිත්‍රපට සංස්ථාවේ රැකියාව නැවත ලැබුනත් ගුවන්විදුලියෙ දොර බණ්ඩාර අයියාට ඇරුනෙ නැහැ. “ජය අපටයි” චිත්‍රපටයට දින සියය පිරුණු වෙලාවෙ තිබුණ උත්සවයේ නිවේදන කටයුතු කරන්න සුනිල් ටී. ප්‍රනාන්දු, බණ්ඩාර කේ. විජේතුංගයන් ට භාර දුන්නේ. ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වුණේ එදා අගමැතිව සිටි රණසිංහ ප්‍රේමදාස මහතායි. බණ්ඩාර අයියගෙ නිවේදන කටයුතූ පිළිබඳව පැහැදුණ ප්‍රේමදාස මහතා බණ්ඩාර අයියා ගැන විමසල තිබෙනව. ඔහුට ගුවන්විදුලිය තහනම් බව දැනගත් ප්‍රේමදාස අගමැතිතුමා වහාම අවශ්‍ය කටයුතු කර නැවත අවස්ථාව ලබාදෙන ලෙස අදාළ නිලධාරීට නියෝග කර තිබෙනව.
ඒ අනුව තමයි බණ්ඩාර කේ. විජෙතුංගයන් නැවත ගුවන්විදුලියට පැමිණ නිවේදන කටයුතු අරඹන්නෙ.
ඒත් ඔහුට වැඩි දිනක් කරන්න ලැබෙන්නේ නෑ.
මගේ මතකයේ හැටියට නැවත කටහඬ අනුමැතිය ලැබුණට පස්සේ ඔහු කල එකම සිංහල චිත්‍රපටය “රන්දෙණිගල සිංහයා” චිත්‍රපටයයි. චිත්‍රපට සංස්ථාව නැවත හින්දි චිත්‍රපට ආනයනය කර ප්‍රදර්ශනය කරන්න තීරණය කර තිබුණෙ.
බණ්ඩාර අයිය ආදරය කල “අභිමාන්” චිත්‍රපටය පළමුව තිරගත කරන්න තීරණය කර තිබුණේ. ඔහු ඒකට කැමැත්තෙන් හිටිය. ඒත් ඔහුට ඒ අවස්ථාව අහිමි වුණා.
1990 වසර උදාවුණා. ජනවාරි 01 දා අපි එකිනෙකාට ආයතනය තුළ සුබ පතා ගත්ත.බණ්ඩාර අයියත් ඇවිත් හිටිය.මම කිව්වා “බණ්ඩාර අයියේ අපි අනූවටත් හිටිය නේද” කියල. “ඔව් බං” කියල ඔහු කිව්ව.
ජනවාරි 02 වනදා නිවසටම ගෙනවිත් ඇරලුවේ මම. ජනවාරි 03 වනදා මොලේ නහරයක් පිපිරීමෙන් ඔහු මිය ගියා.
මහරගම පමුණුව වනාත පාරේ ජීවත් වූ බණ්ඩාර කේ. විජෙතුංගයන් බිරිඳ කල්‍යාණි විජේතුංග දුව උමා ඉන්දීවරී විජෙතුංගගෙන් සමුගෙන කලාභවනට ගොස් බොරැල්ල කනත්තෙන් අවසන් ගමන් ගියා.
ගුණකථනයන් කළ පිරිස අතරින් ආචාර්ය මාලිනි ෆොන්සේකා බණ්ඩාර අයියා ගැන මෙසේ ප්‍රකාශ කළා.
“ඉස්සෙල්ලම මගෙ නම මාලිනි සෙනෙහෙලතා ෆොන්සේකා කියල ගුවන්විදුලියෙන් කිව්වෙ බණ්ඩාර අයිය. බණ්ඩාර අයිය හැමෝටම ආදරය කළා. ඒත් බණ්ඩාර අයියා තමන්ට ආදරය කළේ නැහැ. බණ්ඩාර අයිය බණ්ඩාර අයියට ආදරය කළා නම් තව ටික කලක් හරි අපිත් එක්ක ඉන්න තිබුණා.”