තාත්තාගේ එකම සිහිනය වුණේ අනාගත පරපුරට සිනමාව සංරක්ෂණය කිරීමයි

තිස්ස නාගොඩවිතාන ගේ පුත් හරේන් නාගොඩවිතාන කියයි
දෙසැම්බර් 29, 2022

 

කොටින්ම කියනව නම් අපේ තාත්තාට තිබුණේ චිත්‍රපට පිස්සුවක්. ඒ නළුවෙක් අධ්‍යක්ෂවරයෙක් වීමේ සිහිනයක් නම් නෙවි. අපේ සිනමාවේ පැරැණි චිත්‍රපට නව පරපුරට සේම මතු පරපුරටත් ආරක්ෂා කරදිය යුතුයි කියන සිහිනයක් අපේ තාත්තාට තිබුණේ. ඒ අධිෂ්ඨානයෙන් ම කැපවීමකින් ආපු දුර ගමනකින් පැරණි චිත්‍රපට සංරක්ෂණය කෙරෙන තිස්ස නාගොඩ විතාන ෆිල්ම්ස් පුද්ගලික සමාගම බිහි වුණේ’ යැයි සරසවිය වෙනුවෙන් අප සමඟ සුහද පිළිසඳරකට පි‍්‍රයමනාප ලීලාවෙන් එක් වූ තිස්ස නාගොඩවිතානයන්ගේ ආදරණීය පුතුන් තිදෙනාගෙන් එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ දෙවන පුතු හරේන් කනිෂ්ක නාගොඩවිතාන මහතා පැවසුවේය.

තම ආදරණීය පියාණන් පිළිබඳව ඔහු හද මෝදුවන ඉහළම භක්තිය හා ගෞරවය මොනවට පැහැදිලි වෙයි. තම පියාණන් සමඟ මේ මොහොතේ හෙතෙම මනසින් ආ මඟට එබී බලන සැටි වරෙක දැඩි නිහඬතාවෙන් ද මට හැඟෙයි. බිමට ම යොමාගත් තම දෙනෙත එකම තැනෙක තත්පර ගණනාවක් රඳවා තබා පපුවට දැනුණු බරක් මුදා හරින්නට මෙන් හෙතෙම සුසුමක් පිට කරන්නේය.

මේ අතරේදී ඔහු දෑස් අග කඳුළු බිඳක් දුටිමි. 1942 වසරේ ජනවාරි මස 10 වනදා ගාල්ලේ යමක් කමක් ඇති ධනවත් පීටර් විල්කින් නාගොඩවිතාන සහ බිරිඳ නන්දාවතී සේදර නාගොඩවිතාන යුවළට පුතකු ලැබිණි. සරත් නාගොඩවිතාන, කීර්ති නාගොඩවිතාන, මහින්ද නාගොඩවිතාන, රම්‍යා නාගොඩවිතාන, මානෙල් නාගොඩවිතාන දූ පුතුන් අතර දෙවැන්නා වුයේ තිස්ස මහනාම නාගොඩ විතාන නම් අද අපේ කතාවේ සොඳුරුතම නායකයාය.

‘අපේ දෙවන පුතු තිස්ස මතු දිනෙක රට ම දන්නා සුවිශේෂී පුරවැසියෙකු වේ යැයි මවුපියන්ට යන්තමින් හෝ හැඟෙන්නට වුයේ සෙසු දූ පුතුනට වඩා ඉදිරියෙන් සිට මවුපියන්ගෙන් ද කිසිවක් බලාපොරොත්තු නොවන තරමට තමන්ගේ දේවල් තමන් විසින්ම කරගැනීමේ සවිමත් ආත්ම ශක්තිය නිරතුරුවම දුටු නිසාවෙනි. මම ආදරණීය හරේන් දෙස බලමි.

‘අපේ තාත්තා ළමා වියේ දි පවා හැමදෙයක්ම එයාම තනියෙන් කරගත්තා කියලා අහල තියෙන්නේ. එත් තාත්තා හරි ම දඩබ්බරයි. සමීප අය සමඟ පවා බොහෝ අවස්ථාවල දබරයට පවා යනවලු. එයාම හිතල එයාට හරියි කියල හිතෙන දේ මොකක්ද ඒ දේ තාත්තා කරන ගතියක් තිබුණා.’

‘අපේ තාත්තා ඉගෙනුම ලැබුවේ ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙනුමටත් හරිම දක්ෂයි. හැබැයි ඒ කාලයේ පටන් ම අපේ තාත්තාට පුදුම විදිහට චිත්‍රපට පිස්සුවක් තිබුණා. එකම විනෝදංශය චිත්‍රපට නැරඹීම එකක්වත් අතාරින්නේම නැහැ. හැබැයි චිත්‍රපට පස්සේම දුවන අයගේ සාමාන්‍ය තත්ත්වයට වඩා ඒ චිත්‍රපට පිස්සුව තුළ ලොකු දැක්මක් තිබිලා තියෙනවා. මට තවමත් මතකයි, අපි ටිකක් ලොකු මහත් වෙලා එනකොට තාත්තා අපට කිව්ව කතාවක්.

‘මං චිත්‍රපටයක් බලන බලන ගානේ මගේ හිතේ තිබුණේම අනේ මේ චිත්‍රපට දවසක නැතිවෙලා ම යාවි. අනාගතයේ අයට මේ චිත්‍රපට දැකගන්න නොලැබී යාවි. අන්න එහෙමලු අපේ තාත්තාට නිතර හිතිල තියෙන්නේ. ඉතින් තාත්තා ඒ අදහස හිතේ තියන් තමයි පාසල් කටයුතුත් සාර්ථකව කරගෙන ගිහින් තියෙන්නේ.

‘අපේ තාත්තා ආර්ථික විද්‍යාව පිළිබඳව විශේෂ උපාධියකින් පිදුම් ලැබුවා. තාක්ෂණය ගැනත් තාත්තාගේ හිතේ ප්‍රබල විදිහට අධිෂ්ඨානයක් තිබිලත් තියෙනවා.’

චිත්‍රපට පිළිබඳව බොහෝ කරුණු කාරණා ඔහු සිත්හි පැලපදියම්ව තිබුණ ද සිය ජන්මයෙන් ලද කුසලතාවකට ඉඩහසර ලබාදෙමින් ඔහු ජනපි‍්‍රය ගායකයකු වුයේය. ඔබත් මමත් එදා ගුවන් විදුලියෙන් නිතර ශ්‍රවණය කළ ‘වාසනා ලොවක් ගෙනාව දිව්‍ය ලෝකෙ ඉඳල ආපු කෙල්ලේ. සුරූපී කෙල්ලේ.’

‘සුදු මුදු සුමුදු ශි‍්‍රයා’ සහ ‘ ඕමාර් ඛයිසාමි’ යන ගීතයන් ද ඔහුගේමය.

හරේන් සිනාපිරි මුවින් කතා කරයි.

‘තාත්තා මුලින්ම අත ගැසුවේ ගායනයට. ගීත 12ක් විතර ගායනා කළා. ඉතිං අපේ තාත්තා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් කොළඹ විශ්ව විද්‍යාලයට තේරුණා. කලා ක්ෂේත්‍රයේ විවිධ මානයන් පරිශීලනය කළත් තාත්තාගේ එකම සිහිනය චිත්‍රපට ආරක්ෂා කරන්නේ කොහොමද කියන එක තදින්ම හිතේ තිබිල තියෙනවා.’

අපේ පේ‍්‍රමණීය මෙහි කතානායක තිස්ස නාගොඩ විතානයන් සිය කුලුඳුල් හදපිරි ආදරය පිළිගන්වන ලද්දේ විශ්වවිද්‍යාලයට යනෙන සමයේමය. එතුමාගේ ජිවන ගමන් මඟේ සවිමත් අත්වැල වන්නට තරම් පේ‍්‍රමණීය වූ ඕ තොමෝ එතුමාගේ ජීවන සහකාරිය වුවාය. ඕ නමින් කුමාරි නාගොඩවිතාන මහත්මියය.

‘අපේ තාත්තා යම් සාර්ථකත්වයක් ලැබුවා නම් ඒ හැමදෙයක් ම වෙනුවෙන් දිවා රෑ කැපවීමකින් තාත්තාගේ දකුණු අත වගේ සවියට උන්නේ අපේ අම්මා. අදටත් අම්මා අපට කියනව තාත්තාගේ නොපසුබස්නා උත්සාහය කැපවීම ගැන. තාත්තත් අපට නිතර කියල තියෙනවා අම්මාගෙ කැපවීමම නිසයි මේ හැමදේ උඩටම ගත්තේ කියල.’

අපේ තිස්ස නාගොඩවිතානයන් සැබැවින්ම දුරදක්නා නුවණින් හෙබි අයකු යැයි සිතේ. මේ ගතවන්නේ 70දශකයේ මැදය. ඒ වන විට රූපවාහිනියක් රටට හඳුන්වා දී නැති සමයක ධ්ඊව් නමින් රූපවාහිනි විකාශනයක් බිහිවීමට සැලසුම් ඇති කතාවක් සවනක වැකුණු එතුමා තුළ නිදන්ව පැවැති සිහිනයට පණදෙන්නට ඉටා ගත්තේය. පැරණි චිත්‍රපට අභාවයට යා නොදී මතු පරපුරට රැක දිය යුතුය යන මතයේම එල්බ සිටි අපේ කතා නායකයාණන් මතු දිනෙක ඇරඹෙන රූපවාහිනි තිරයට ද පැරැණි චිත්‍රපට යොමු කොට රූපවාහිනි පේ‍්‍රක්ෂකයාට ද නැවතත් චිත්‍රපට නැරඹීමේ අවස්ථාව උදා කර දිය හැකි බවට ද කල්තියාම සිතන්නට වුයේය.

‘ඉතින්, අපේ තාත්තා 1977 වසරේ දී මුලින්ම මිල දී ගත්තේ මනුෂ්‍යත්වය කියන චිත්‍රපටයයි. ඒ වෙද්දි රූපවාහිනියක් කියා දෙයක් ලංකාවේ නැහැනේ. අයි.ටී.එන් එක 1979 දී ආරම්භ වුණා. දැන් තාත්තා වරින් වර වරින් වර මිල දී ගත් පැරණි චිත්‍රපට සියයක් විතර එකතු කරගෙන තිබුණා. අවුරුදු ගාණක් තිස්සේ මිල දී ගත් චිත්‍රපට එදා සැලසිනේ මැෂින් ආධාරයෙන් සිංගප්පුරුව, ඉන්දියාව වගේ රටවලටත් ගිහින් වැඩිදුරටත් කටයුතු කළා.

‘තාත්තා ගාල්ලෙන් කොළඹ ආවේ තනිවම. පස්සේ අපි මුලින්ම පදිංචිව හිටියේ නුගේගොඩ. ඉන් පසුව කොල්ලුපිටියට ආවා. පසුව බත්තරමුල්ලට ආවේ. අපේ කාර්යාලය කොල්ලුපිටියේ. ඉතින් තාත්තා ටෙලිසිනේ වැඩ කටයුතු කළේ ගෙදරමයි. මුලින්ම සැලසිනේ ආයතනයට ගියා. පස්සේ කැමරා සිස්ටම් තාත්තා ගත්තේ. අපම මුදල් වියදම් කරල ඉන්දියාවට ගිහින් අපි කරගෙන ආපු සිංහල චිත්‍රපට ගොඩක් තියෙනවා.

‘මම ඇමෙරිකාවේ සිටියදිත් තාත්තා නිතර කිව්ව කතාවක් මට මතකයි. පැරණි සිනමාව රැකගන්න ඔයාලගේ දරුවන්ට වගේම රටේ අනාගත දරුවන්ටත් ආරක්ෂා කරල දෙන්න. ඒකමයි නිතර අපට කීවෙ Archived Gold  කියලා. සී.ඩී. වර්ගයක් අමෙරිකාවේ තිබුණා. මම තාත්තාට ඒවා එව්වා. අද නම් ඒවා නැහැ.

‘ඇත්තටම තර්ටි ෆයිව් (මි.මි.35) සෙලෝලයිඩ් සේයා පටි කල් පවතින්නේ නැහැ. අනික අපේ තාත්තා මිල දී ගත් පැරැණි චිත්‍රපටවල ඉරි, පලුදු තැන් වැඩියි. ඉතින් ඒවා පිරිපහදු කරල ඕනා අලුත් තත්ත්වයටම ගන්න. ඒක ලෙහෙසි පහසු කාර්යයකුත් නෙමෙයි. ඉතින්, මි.මි. 35 සෙලෝලයිඩ් පටි කල් තියාගන්න බැහැ කියල මම කිව්වනෙ. ඒ නිසා අපි යුමැටික් - බීටා කෑම්වලට මාරු කළා. ඒ අතරේ දීම කල් පවත්වාගන්නට (සංරක්ෂණය) සංයුක්ත තැටියට චිත්‍රපට ගත්තා.’

‘තාත්තා තැටි එක එක විදිහට ගැහුවා. මිනිස්සු ඔන්න කියන්න ගත්ත තාත්තා සී.ඩී. ගහනවා කියලා. මුල දී සී.ඩී ලොකු දෙයක්. පස්සේ, තමයි අපි උසස්ම තාක්ෂණයෙන් යුතු බිලුරේ තැටි හරහා මිල දී ගත්තේ. ඒත් තාත්තාගෙ හිතට හරි නැහැ. මොකද කල් පැවැත්ම ගැන සැකයි. ඔන්න L.T.O සිස්ටම් ආවා. ඉන්පසුව තාත්තා චිත්‍රපට ඩිජිටල් L.T.O මිලට ගත්තා. මේ කොයි එකත් වසර සියයක් කල් පවත්වා ගන්න පුළුවන් කිව්වාට සැකයිනේ.’

මේ මා සමඟ සුහදව පසුවන්නේ තිස්ස නාගොඩවිතාන ෆිල්ම්ස් පුද්ගලික සමාගම පිළිබඳ ආරම්භය පවසන එතුමාගේ දෙවන පුතු හරේන් මහතාය. සිය පියාණන් අඩිතාලම් දැමු දැවැන්ත ව්‍යාපාරයට උරදුන් එතුමාගේ පුතුන් තිදෙනා වන වෛද්‍ය කුමාර චමිල මහතා වෛද්‍යවරියක වන නදීකා රත්නමලල පි‍්‍රය බිරිඳ සමඟින් ස්කොට්ලන්ඩ් දේශයේ පදිංචිව සිටිය ද තම පවුලේ ව්‍යාපාරයට ද අධ්‍යක්ෂවරයකු ලෙසින් එකසේ බැඳී සිටී.

මා හා කතාබහ කරන ආදරණීය හරේන් කනිෂ්ක හිරු ටී.වී. සේවයේ අධිපති රෙනෝ සිල්වා මහතාගේ නැගණියක වන දිලිනි සිල්වා මෙනවිය සමඟ විවාපත්ය. පියාගේ මෙම ව්‍යාපාරයට සමගාමීව තවත් ව්‍යාපාරයකට ද හරේන් කනිෂ්ක අත ගසා ඇත්තේය.

චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන බෙනට් රත්නායක මහතාගේ දියණියක වන භාග්‍යා රත්නායක මෙනවිය සමඟ විවාහ වුයේ චරිත් අභිෂේක මහතාය.

ඔවුහු එකාවන්ව සිය ව්‍යාපාරය හිණිපෙත්තටම ගොඩනැඟු සැටියකි.

හරේන් සමඟ මම තවමත් කතාබහේය.

‘කොහොම හරි අපේ පැරණි චිත්‍රපට 800ක් 900ක් ආසන්න ප්‍රමාණයක් දැන් අප සතුයි. ටෙලිසීන් මැෂින් ආධාරයෙන් 80 දශකයේ දී තමයි තාත්තා මේ තරම් දුරක් එන්නට ආරම්භය ගත්තේ. හැම වැඩකදීම තාත්තා අපි තුන්දෙනාවත් හවුල් කරගත්තා. ඒ අපට අවබෝධයක් දෙන්නයි. ඉතින්, අපට නොදැනීම තාක්ෂණික අවබෝධය අපි තුන් දොනටම ලැබුණා. ඡ්ඤඪබඪදඨ දැනුම පවා අප සතුයි. පුදුමයි කියන්නේ, අපි තුන්දෙනාටම එක වාගේ ආසාවකුත් ඇතිවුණා. මේ කාර්යයන් ගැන.”

‘රිදී රූපවාහිනියත් අපේමයි. එදා සිනමාවේ පතාක යෝධයන් බඳු වූ ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න ආදීන්ගේ නිර්මාණ පවා එයින් අප ප්‍රදර්ශනය කරනවා.

‘ඉතිං අයි.ටී.එන්. ආවා 1979 දී ඒ තුළින් අපේ චිත්‍රපට අප පෙන්නුවා. එදා ඒක තාත්තාගෙ හිතේ තිබුණු සිහිනයක් සැබෑවීමක්. තාත්තා වින්ද සතුටත් මට තවම මතකයි. පස්සේ තාත්තා ටික ටික එක එක ක්‍රම අනුව චිත්‍රපට පිටපත් කළා. හැබැයි අදත් ඒවා ගැන අප නිතරම නිරික්ෂණයෙන්. තාත්තාගේ සිහිනය සැබෑවුණා. ඇත්තම කීවොත් තාත්තා ළඟ තිබුණු මේවා මතුවටත් ආරක්ෂා විය යුතුයි කියන තැන සිටයි අප කටයුතු කරන්නේ.’

‘මං කලින් කිවා වගේ ම අපට ලැබුණු රීල් පලුදු තැන් බොහොමයි. ඒ ඉරි සහිත තැන් පලුදු ඉවත් කරන විදිහ අප හොයා ගත්තා. ලොකු වියදමක් දරන්න වුණා. කොටින්ම අලුත් වැඩියාව අපෙන්. තාත්තා එදා කිව්වා වගේම මෙය නොනැසී පවත්වාගෙන යා යුතුමයිනෙ. ඇත්තෙන්ම අද අපේ නව පරපුර අපේ පැරණි සිනමාව ගැන ලොකු උනන්දුවක් තියෙනවා. ඒක සතුටට කාරණයක්.’

‘අධ්‍යාපන කටයුතු, විශ්වවිද්‍යාලවල ඉන්න අයගේ විභාග නිබන්ධන කටයුතුවල දී අපේ පැරැණි චිත්‍රපට ඒ අයට අවශ්‍ය බව කියන අවස්ථා බොහොමයි. එය සුබසාධනය සේ සලකා අප නොමිලේම සිසුන්ට අවශ්‍ය පහසුකම් ලබාදෙනවා. ව්‍යාපාරයක් කිව්වාට අප මානුෂීය පැත්තෙන්ද සුබ සාධනයක පිහිටා කටයුතු කළ යුතුමනේ.’

‘තව පිරිසක් ඉන්නවා ලංකාවේ එදා තිබුණු පරිසරය අද දැකගන්නට නැති නිසා පැරැණි චිත්‍රපට ඇසුරින් රටේ එදා පරිසරය දැකගන්න උනන්දු වන අයත් ඉන්නවා. එය හරිම වටිනවා.

‘අප හිතනවාටත් වඩා නව පරපුර අපේ සිනමාව ගැන ඇති උනන්දුව දකින විට මේ අපේ කර්මාන්තය රැකගැනීමේ ආසාවන් අපේ බලවත් වෙලා. තව තවත් අප තාක්ෂණය සොයනවා.’

‘සමහර මි.මි.35 පටි එකපාරටම ගිනි ගන්නා අවස්ථාත් තියෙනවා. ඒ වගේම රිල් වලට කාලගුණය විශේෂයෙන් බලපානවා. ඔය මි.මි. 18 එච්චර ප්‍රසිද්ධ නැහැ. කොහොම හරි ලංකාවේ කියල මුලින්ම අයි.ටී.එන් රූපවාහිනිය එනවිට චිත්‍රපට ලොකු ප්‍රමාණයක් අප අරන් තිබුණා.

හරේන්ගේ කතාව මෘදුය. මිත්‍රශීලිය. රූපවාහිනි තිරය මත දිස්වන චිත්‍රපටයේ ති.නා. පිළිබඳව ද මම විමසුවෙමි.

‘ආ.. අපේ තාත්තා ඔය රූපවාහිනියට හෝ කුමන ප්‍රදර්ශනයක් සඳහා හෝ අප සතු නිර්මාණ අලෙවි කිරීමේදී ඒවායින් හොරාට පිටපත් කරගැනීමක් තිබුණා. සමහරුන්ට තාත්තා නඩුත් දැම්මා. ඉතින්, මුල් යුගයේදී යෙදුවේ අයිතිය තිස්ස නාගොඩ විතාන කියලා පස්සෙ, එය කෙටි කරල ති.නා කියා රූපවාහිනි තිරයේ දකුණු පැත්තේ පහළ යෙදුවා.’

‘ඉතින් එය දැකපු ඩිල්මන් ජයරත්න අන්කල් ගේ පුතා ප්‍රවීන් ජයරත්න අපේ තාත්තාට යෝජනා කළා. තිස්ස අන්කල් ඔය තියෙන ති.නා. කළු කොටුවකින් වහල තව කෙනකුට කොපි කරගන්න පුළුවන්නේ. ඒ නිසා ති.නා. අකුරු දෙක රූපවාහිිනි තිරය මත ක්‍රමයෙන් පහළ සිට ඉහළට යන ක්‍රමයකට හදා ගනිමු කියලා. ප්‍රවීන්ගෙ ඒ අදහසට අනුව දැන් ති.නා. ඉහළට ඇදී යන්නේ එහෙමයි. එක් අතකින් මේවා පිටපත් කරන් ගෙදර බලන්න තියාගන්නට කමක් නැහැ. ඍඩ්ඉ ආවා. මිනිස්සු අපේ චිත්‍රපට හිතේ හැටියට ගහගත්තා. අන්තිමේදී අපෙන් පිටපත් කරන් එයාලා ව්‍යාපාර කරන්නත් පටන් ගත්තනෙ.’

‘පැහැදිලිවම කියන්නම්. අප රටේ මිනිසුන් තවමත්...තවමත් බුද්ධිමය දේපළ හා නීතිය කියන්නේ මොකක්ද කියලා තවම දන්නේ නැහැ. දැනුම්වත් නැහැ.

හරේන් මුව විදහා සිනහවක් පෑවේය. සිනාවෙන්ම මදෙස බැලු ඔහු මෙසේ කීවේය.

‘ඔයා දන්නවා ද අපි නිකම් හිතමු චිත්‍රපටයක එකම එක රූප රාමු කැබැල්ලක් තාත්තාට පෙන්නුවා කියලා. සත්ත සහතිකයි. සියයට 99.9%ක් ඒ පොඩි රූප කෑල්ලකින් එය අදාළ මුළු චිත්‍රපටය, එහි ගීත, අදාල ජවනිකාව මේ ඔක්කොම තාත්තා කටපාඩමින් කියාවි. ඒ තරම් පැහැදිලි මතකයක් තාත්තාට තිබුණා අපේ චිත්‍රපට ගැන.’

තිස්ස නාගොඩවිතානයන් අතිශයින් කඩවසම් රුවකට හිමිකම් කියන්නෙකි. එහෙත් එතුමාගේ චිත්‍රපට පිස්සුව මුදා හැර ඇත්තේ රසකාමී ජනතාවකගේ වින්දනය උදෙසාමය. ඊට පුතුන් ද උිර දී පසුවෙති.

‘නෑ අපේ තාත්තාට ඕනෑ වුණේ තිරයෙන් පිටුපස සිට මහා මෙහෙවරක් කරන්නයි. අප නළුවන් වෙනවාවටත් අකැමැති වුණා වගේම තාත්තාත් නළුවකු වුණේ නැහැ.’

අපේ සොඳුරු කතානායකයා චිත්‍රපට තුනක් නිෂ්පාදනය කළේය. ටයිටස් තොටවත්තයන් සමඟ මරුවා සමග වාසේ. කැකිල්ලේ රජ්ජුරුවෝ, සහ කෝලංකාරයෝ ඒ නිර්මාණ තුනය.

පියාණන් මඟ යමින් අපේ හරේන් මහතාද ගුත්තිල සහ රයිගමයයි ගම්පලයයි තැනුවේ එම චිත්‍රපට නිර්මාණයන්ය. තාත්තාගේ උපදෙස් නොඅඩුවම ලද බව පැවසු ඔහු කීයේ ආතතියට පත්ව සිටින මිනිසුන් වෙනුවෙන් තමන් විකට චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බවය. ඇතැම් විට එය නිර්මාණ දෙක තුනක් විය හැකි බව ද කිවේ මහත් සතුටකිනි.

‘ඔව්. මේ ටික කියන්නම ඕනේ. ඔව්. තාත්තා උදවු කළ අවස්ථා එමටයි. කර කියා ගන්න දෙයක් නැතිව අසරණ වූ අය ළඟට ගිහින් උපකාර කළ අවස්ථා දන්නේ අපත් තාත්තාත් විතරයි. මං අරයට මෙච්චරක් දුන්නා. අරයට උදව් කළා. කියන ප්‍රසිද්ධියට උදව් කරන පුරුද්දක් තාත්තා ළඟ තිබුණේම නැහැ. දකුණු අත දුන් දේ වම් අත දන්නේ නැහැ වගේ ඒ විතරක් නෙව් පත්තරේකට තාත්තාගෙ පින්තුර ගන්නවාටත් තාත්තා කැමැති නැහැ. තාත්තා කියන්නේ පින්තූර පලක් නැහැනෙ. මගේ නම ඉදිරියට ගියාම ඇති කියලමයි.’

තමන් ඇරඹු සුවිසල් ව්‍යාපාරය පවත්වාගෙන යාමෙහි තම පුතුන් සමත් බව වටහාගත් එතුමා කිසිදු කාර්යයකට අතක් නොතබා ගෙතුළ රූපවාහිනිය සමීපයට වී කල් හැරියේය.

‘උපදෙස් අවශ්‍ය වූ විටෙක පමණක් මා වෙතට එන්න.’ එය එතුමා දරුවනට කියූ දේමය.

එතුමා තුළ නිතරම පාහේ බලවත් කනස්සලක් ද විය. එය පිය බිරිඳට ද පුතුනට ද සමීපතමයිනට ද නිතර කී කතාවක් විය. එක් අතකින් මේද තාත්තා මැවූ තවත් සිහිනයක් යැයි ද හරේන් පුතු කියන්නේය.

‘අප තාත්තා නිතර හිතේ අමාරුවෙන් කී දෙයක් තමයි අපේ සිනමාවට දර දිය ඇද්ද ලයිට් එක පවා අල්ලපු රඟපාපු බොහෝ දෙනෙක් පසුකාලෙ අන්ත අසරණව පසුවෙනවා. එයාල වෙනුවෙන් ඉක්මණින් යමක් කළ යුතුමයි කියලා. අප සමඟ නිතර ඒ ගැන තාත්තා සාකච්ඡා කළා’.

‘මහමඟ අද්දර සිට කැටයකට මුදල් එකතු කරලා අසරණ වූ කලාකරුවා අත තැබීම කලාකරුවාට කරන මහා නින්දාවක් බව තාත්තා නිතර කීවා. ඒ වැඩ පිළිවෙළත් පමාවක් නැතිවම අප ක්‍රියාත්මක කරනවා. මොකද තාත්තාගෙ සිහින සැබෑ කරන්න අප බැඳී ඉන්නවා. අප තුන්දෙනාම’

හරේන් මහතා එය තව දුරටත් පැහැදිලි කරයි.

‘තාත්තාගේ ව්‍යාපාරය අපි එකතු වෙලා ශක්තිමත් කළා වගේම අසරණ වුවන් වෙනුවෙන් තාත්තා තුළ තිබුණු අදහස ද මුදුන්පත් කරවන්න අපි දැනටමත් සැලසුම් කරනවා. ඒ මෙහෙමයි. එදා ඒ අය තම කාර්යයන් කළේ රස්සාවකට වඩා ආත්ම තෘප්තියකට. අද වගේ එදා අය මුදල් පසුපස හඹා ගියේ නැහැනේ. ඒ නිසා පසුකල ඔවුන් අසරණ වෙලා.’

‘අපේ තාත්තා බොහෝ දෙනෙකුට අසනීප වලදී ශල්‍යකර්මයන් වෙනුවෙන් පවා මුදලින් උපකාර කර තියෙනවා. ඒවා තාත්තා කාටවත් කීවෙත් නැහැ. කවුරුවත් දන්නෙත් නැහැ.’

‘අපි තිස්ස නාගොඩවිතාන නමින් ඇප් එකක් තාත්තා ඉන්න කාලෙමයි හැදුවේ. ඉතිං ඒ ඇප් එක හරහා දෙස් විදෙස් ශ්‍රී ලාංකීකයනට එදා ඒ ඒ නිර්මාණ දැකගන්න පුළුවන්. හැම පැත්තෙන්ම දායක වූ ශිල්පීන් ශිල්පිනියන් ගේ නිර්මාණ අප ඇප් එක තුළින් ප්‍රදර්ශනය කරවනවා. ඉන් ආදායමක් ලැබෙනවා. සැහෙන්න මුදලක් අපට සොයන්නට පුලුවන්. මේ ඇප් එකේ නම තිස්ස නාගොඩ විතාන පදනම. ඒ නමින් වෘත්තිකයන් වෙනුවෙන් මෙම සද්කාර්යය සිදු කෙරෙන්නේ.

‘දෙස් විදෙස් ලාංකීකයෝ එම නිර්මාණ මුදල් ගෙවා නැරඹිය යුතුයි. ඉන් ලැබෙන ආදායමින් චෙක්පත් මඟින් ඒ ඒ නිර්මාණවලට දායක වූ අසරණ අය ළඟටම ගිහිල්ලා මේ ඔබේ දායකත්වයට ලාංකිකයන් ගෙන් ලද පරිත්‍යගයක් කියා ගෞරවාන්විතව අප ප්‍රදානය කරනවා. මේ සද්කාර්යය තාත්තත් අපත් කතිකා කරගත් දෙයක්. තාත්තාගේ ඒ තිබු ආසාව තමා අප ඉටුකරන්න ලෑස්තිවන්නේ.’

‘දැන් ඉතින් සිනමාවන් කියා දෙයක් නැති තරම්. දැන් රැකි්යාවක් නැහැනෙ. ඇත්තෙන්ම දැන් චිත්‍රපට සීමිත ප්‍රමාණයක් තියෙන්නේ. සමහර ඒවා විනාශ වුණා. සමහර ඒවා අතුරුදන් වෙලා සමහර ඒවා මුලදීම අභාවයට ගියා. කොහොමත් පැරණි චිත්‍රපට වැඩිම අයිතිය තියෙන්නේ අපටයි.’

‘ඇයි අප තරඟකාරිත්වයට බයවෙන්නේ’ යැයි මා විමසු පැනයකට පිළිතුරු දෙමින් එලෙස පෙරළා විමසු හෙතෙම ‘සුළු සුළු වශයෙන් මේ ව්‍යාපාරවල නිරත අය ඉන්නවා. තරඟකාරිත්වයකුත් තියෙනවා. අප හා ඔවුන් අතර ඉතා මිත්‍රශිලී තරඟකාරී බවක් තියෙනවා. ඒ වගේම අප සුහදව සාකච්ඡා කරනවා.’

“ඔව්. ඔව්. තිස්ස නාගොඩවිතාන නාමය මතු මතුත් පවතිනවා. කොහොත්ම ඉවත්ව යන්නේ නැහැ. ඇයි අමල් මතකද එක කාලයක (හ.නා.) කියල හරේන් නාගොඩ කියල මගේ නමින් යොදපු චිත්‍රපටත් ප්‍රදර්ශනය කළේ කොහොමත් ති.නා. නාමය එලෙසමයි. ‘ඔහු තිර හඬකින් කියන්නේය.

‘කොටින්ම අපේ බ්‍රැන්ඩ් එක ති.නා. තමයි. මේ නමින්ම යමු කියලා දවසක් තාත්තා එක්ක මම කිව්වා.’

ඔහුගේ මුහුණුවර පෙර සේ නොවේ. අඳුරු වලා පලටයකින් වැසී ගියාක් වැන්න. දැඩි නිහඬතාවකය. හේ සුසුමක් හෙළා ළය සැහැල්ලු කරගත්තාක් මෙනි. මා දුටු මුව සිනාවද අතුරුදන්ය.

ඒ හඬ දැන් දුබලය.

‘අපේ තාත්තා ගැන හිතනකොට පුදුමයකුත් දැනෙනවා. එයා හිතන පතන විදිහ ශුරත්වය ඉලක්කය, උත්සාහය, නොවැටී සිටීමේ කුසලතාවය, අපේ තාත්තාගෙන් ඕනෑම කෙනකුට යමක් ජිවිතයට එකතු කරගන්න දෙයක් තිබුණා.’

අපේ සොඳුරු තිස්ස නාගොඩවිතානයන් හමුවන්නට මිතුදමට සනත් ගුණතිලකයන්, සුනිල් සෝම පීරිස්,ටයිටස් තොටවන්තයන්, විජය කුමාරතුංගයන්, ආරියසිරි විතානගේ, ටී.ඇම්. සංඝදාස, සුනිල් ටී. ප්‍රනාන්දු, පේ‍්‍රමසිරි කේමදාස නිතර නිතර ගෙදරට එති. ප්‍රියසාද පවත්වති. එහෙත් අපේ කතානායකයා මීවිතට එතරම් ඇල්මක් නොදැක්වු නිසාදෝ, හැමවිටකදීම මීවිත ඉතා සුළු ප්‍රමාණයකින් සන්තර්පණය වුවා විනා වෙරිමතට ඇද වැටුණු දවසක් නම් ඇත්තේම නැති.

එතුමාගේ පිය බිරිඳ කුමාරි මහත්මිය ඔහුගේ සෙවණැල්ලය. තම සැමියා නිපද වු චිත්‍රපට රූගත කිරිම් වල දී ඊට දායකත්වය ලබාදෙන සියලු දෙනාටම සංග්‍රහ සත්කාර කරන්නට ඕ අපමණ වෙහෙසක් දැරුවාය.

තම සාර්කථත්වයේ රහස අම්මාගේ අප්‍රමාණ සහයෝගය හා කැපවීම යැයි ද එතුමා තම පුතුන් තිදෙනාට නිතර කියූ කරුණක්මය.

මේ එළැඹී ඇත්තේ අප කතානායකයා ගේ කාර්ය බහුල දිවියේ සැඳෑ සමයය. තව ව්‍යාපාරය දෙස ඇහැකොනකිවත් නොබැලු එතුමා සියල්ලෙන්ම තමන් නිදහස් වූ සිතකින් ගෙදරටම වී සිටියේය. සිය බිරිය සමඟින් වැඩිපුර අල්ලාප සල්ලාපයේය.

එතුමාට කාලය ගෙවාලන්නට රූපවාහිනිය කදිම ඔසුවක් නිසාදෝ රූපවාහිනිය අසලින් මෑත් වුයේ අත්‍යවශ්‍ය කාරණයකට පමණකි.

තම පුතුන් තිදෙනා පිළිබඳ විශ්වාසය නම් අහස උසටය.

සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා මහතා පිළිබඳ උපහාර වැඩසටහන ‘රජ දැක්ම‘පවත්වන්නට ද අපේ කතානායකයා මුල් වුයේය. ඒ එතුමාගේ කෘතවේදී ගුණයය.

අපේ හරේන් යමක් කියන්නට සැරසෙයි.

‘ඇත්තටම මේක භයානක ෆීල්ඩ් එකක්. බොහොම සීරු මාරුවෙන් කටයුතු කළ යුතුවෙනවා. අපේ මීටින් වලදිත් අපේ අම්මා අප සමඟ ඉන්නවා. සතියකට වරක් අධ්‍යක්ෂ මණ්ඩලය වන අප එකතුව හැමදේ ගැනම සාකච්ඡා කරනවා. සූම් තාක්ෂණය ඔස්සේ ලොකු අයියාත් විදේශයේ සිට අපට සම්බන්ධ වෙනවා.’

අපේ කතානායකයා අසනීප වුයේය. මහා රෝහලේ ගත කෙරිණි. වෛද්‍යවරු කියා සිටියේ එතුමා පිළිකා කාරකයට බඳුන්ව ඇති බවකි. වැඩිම වුණොත් අවුරුදු දෙකක් විතර ජීවත් වෙවි. ‘ඒ වෛද්‍ය මතයය.

පිළිකා රෝගයට පිළියම් සොයා සිංගප්පුරුවේදී ශල්‍ය කර්මයන් දෙකකට ද බඳුන් විණි.

ඉන් අනතුරුව එතුමා තවත් වසර 12ක්ම බිරිය හා දරුවන් සමඟ සතුටින් පසුවුයේය.

‘කල් තියාම තාත්තා කියා දුන් ශාස්ත්‍රය අපි තුන්දෙනාම මනාව හදාරා තාත්තාට නිදහසේ ඉන්න ලබාදුන් සතුට අපි තුන්දෙනා ළඟ තවමත් තියෙනවා.’

2020 වසරේ මාර්තු මාසයේ 25 වන දින එළැඹියේය.

එතුමා එතුවක් පසු වූ සැහැල්ලු පිළිවෙළ තරමකට වෙනස් වන සුලු විය. සිය බිරිඳ අතින් දුන් සිසිල් පැන් වීදුරුව ද අතට ගත් එතුමා අපහසුවෙන් මෙන් බිඳුණු ස්වරයෙන් කීවේ. මම රෝහලට ගියොත් හොඳයි’ කියාය.

එසැණින් වහා රෝහලට ඇතුළත් කෙරිණි. ඒ වන විට ද අතැතිව තිබුණේ ජීවිතයේ හැම තැනකදීම සෙවණැල්ල සේ පසු වු තම ආදරණීය බිරිඳ කුමාරි දුන් සිසිල් පැන් වීදුරුවය.

තවත් විනාඩි විස්සක් ගත වී ගියේය.

හෙළ සිනමා වංශ කතාවට කුඩා වියේ සිටම හදවතින්ම ආදරය කරමින් අපේ නිර්මාණයන් වැනසී යා නොදී මතු මත්තේ ද සුරැකිව තබන්නට ඇප කැප වී ඒ යුතුකම මනාව ඉටුකළ අපේ සොඳුරුතම කතානායක තිස්ස මහානාම නාගොඩවිතානයන් (ති.නා) අවදි නොවනා නින්දකට තම දෑස පියාගත්තේය.

 

[email protected]