දිවි සිනමාවෙන් සමුගත් අසහාය සහාය අධ්‍යක්ෂවරයා

-ඇන්ටන් ග්‍රෙගරි
දෙසැම්බර් 29, 2022

සිනමාවේ යහ පැවැත්ම හා ප්‍රගමනය තහවුරු කෙරෙන ප්‍රමුඛතම සාධක අතරින් සිනමා විචාරයට හිමි වන වටිනාකම සුළු කොට තැකිය හැකි නො වේ. කෙසේ නමුදු සිනමා විචාරයද හැසිරෙන්නේ නා නා විධ පරිවර්තන, පසුබෑම් හා ප්‍රශ්න කිරීම් මධ්‍යයේ ය. මෙහිලා දත හැකි ඌනතා සමුච්චය අතර කැපී පෙනෙන්නේ සිනමාපට කේන්ද්‍රීය සිනමා විචාරය යි. එනම් නිශ්චිත සිනමාපටයක් වියුක්ත කොට ගෙන විචාර කාර්යයයෙහි නිරත වීම ය. එසේම ඇතැම් අනුශාංගික අංග සිනමා විචාරයේ සැලකිල්ලට හා අවධානයට ලක් නොවීමද නො සලකා හැරිය යුතු නැති ඌනතාවකි. මෙහෙයින් විශිෂ්ටතා සේම සමත්කම්ද නොපැකිළව ප්‍රකට කරන පාර්ශ්ව නො තකා හැරෙන්නේ කනගාටුදායක අන්දමිනි. මෙතැනට පැමිණෙන පාර්ශ්ව අතර සහය අධ්‍යක්ෂවරයාට මුල් තැනක් හිමිවේ.

සිනමාව තවදුරටත් හඳුනා ගැනෙන්නේ අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශනයක් සේ ය. ඔහු සිනමාවේ සියලු අනුශාංගික අංග මෙහෙයවමින් හා හසුරුවමින් සාමූහික ක්‍රියාවලියක අවසන් ප්‍රතිඵලය සේ සිනමාපටයක් නිර්මාණය කරයි. කෙසේ නමුදු සිනමාපටයක කවර ආකාරයක හෝ සාර්ථකත්වය පසුපස එහි අධ්‍යක්ෂවරයා මෙන්ම ඔහුගේ සහායකයන් සිටින වගට නිදර්ශන ඕනෑ තරම් ඉදිරිපත් කළ හැකිය. එක අතකින් සිනමාපටයක අධ්‍යක්ෂවරයාගේ ආධිපත්‍යය කරා ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ගෙන එන්නේ මේ සහායක පාර්ශ්ව යි.

76 වසරක ලාංකේය වෘත්තාන්ත සිනමාව විෂයෙහි හමුවන විශිෂ්ටතම සහායකයකු පසුගියදා නිහඬවම සිය දිවි සැරියට සමු දුන්නේ සිනමා අධ්‍යක්ෂවරයාගේ හා සිනමා සහය අධ්‍යක්ෂවරයාගේ භූමිකා පිළිබඳ ප්‍රති කියැවීමකට ද නිමිත්තක් සපයමිනි. මේ වසර හතළිහකට අධික කාලයක් මුළුල්ලේ වෘත්තාන්ත සිනමාපට හතළිහකට අධික සංඛ්‍යාවක සහය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ඇන්ටන් ග්‍රෙගරි ය. සිනමාව තුළ තාරකා බවට පත්විය යුත්තේ සිනමා අධ්‍යක්ෂවරුන්, නළු නිළියන් හෝ අනුශාංගික අංග ප්‍රධානීන් පමණක් ම නො වන බවත්, සහය අධ්‍යක්ෂවරයකුට ද තාරකාවක් විය හැකි බවත් ඉඟි කළ ලාංකේය සිනමාවේ පුරෝගාමී සහය අධ්‍යක්ෂවරයා වන්නේ ඇන්ටන් ග්‍රෙගරි ය. මේ ඉඟිය ඔහු පළ කරන්නේ සෘජුවම නොවේ. සිය කාර්යභාරය ඔස්සේ ය.

වසර හැත්තෑ අටක් ආයු වලඳා ඇන්ටන් ග්‍රෙගරි නික්ම යන්නේ දස වසරකට අධික කාලයක නිහඬතාවකින් අනතුරුව යි. ලාංකේය සිනමාවේ කළු සුදු සමය සපුරා ම අතීතයට එක්වන්නේ මෙසමයේය. එසේම ලාංකේය සිනමාව මි.මී.35 පටල පටයෙන් ඩිජිටල් අවදියට පැමිණෙන්නේ ද මෙසමයේය. දැවැන්ත සිනමා ශාලා වෙනුවට කුඩා ප්‍රමාණයේ අති නවීන සිනමාශාලා ගොඩ නැංවෙන්නේ ද මෙ සමයේ ය. දැවැන්ත සිනමා ශාලා ගණනාවක් ම බිමට සමතලා වීම ඉක්මන් වන්නේ ද මෙ සමයේ ය. විදේශීය සිනමාපට ආගමනය වේගවත් වන්නේද මෙ සමයේ ය. ග්‍රෙගරි මේ සකලවිධ පරිවර්තන දෙස උපේක්ෂා සහගතව බලා සිටින්නට ඇත. තමා බෙහෙවින් ප්‍රිය කළ සිනමාව දෑස් ඉදිරිපිටම කඩා වැටෙන අන්දම දැක ඔහු කම්පා නොවන්නටද ඇත. මන්ද ඔහුගේ සිනමා ආගමනය හා සිනමාව තුළ හැදී වැඩුණු ආකාරය විෂයෙහි පරිවර්තන රැසක්ම දක්නට ලැබෙන හෙයිනි.

ඇන්ටන් ග්‍රෙගරි අතිශයින්ම සාර්ථක සිනමා සහාය අධ්‍යක්ෂවරයකු වන්නේ සිනමා අධ්‍යක්ෂවරයකු ද වෙමිනි. සිනමාපට පහකින් ඔහුගේ සිනමා අධ්‍යක්ෂණ භූමිකාව සමන්විත ය. මේ එකිනෙකට වෙනස් සිනමාපට ය යන්න පැහැදිලි ය. සහය අධ්‍යක්ෂවරයකු වශයෙන් කළු සුදු සිනමාවේ ජවය හා ශක්තිය ඔප් නැංවූ ග්‍රෙගරි, අධ්‍යක්ෂවරයකු සේ වර්ණ සිනමාපට සතරක් ම ගෙන හැර පාන්නේ කළු සුදු සමය නිමාවන වග මැනැවින් වටහා ගෙන ය. සරත් රූපසිංහ සමඟ අධ්‍යක්ෂණය කළ 'සංඛපාලි' අතීත වීරයකු විෂය කර ගනී. 'කිරි සුවඳ' වර්තමානය මත දිව ගිය සිනමාපටයකි. 'පාරමිතා' ග්‍රෙගරිගේ සිනමා අධ්‍යක්ෂණ සමත්කම් මනාව ප්‍රකට කළ අවස්ථාවක් වේ. මනුෂ්‍ය සම්බන්ධතා දෙස ඔහු දයාබරව බලන්නට 'පාරමිතා' තුළින් යත්න දරා තිබිණි. ග්‍රෙගරි 'සූර සරදියෙල්' නිර්මාණය කරන්නේ පුළුල් තිර වර්ණ සිනමාපටයකට උචිත පරිදි ය. ග්‍රෙගරිගේ එකම කළු සුදු සිනමාපටය ප්‍රකට චිත්‍ර කතාවක් ඇසුරෙන් නිර්මිත 'යළි පිපුණු මලක්' ය. මේ හැරුණු කොට ඔහු කාර්මික අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සිනමාපට කිහිපයක් ම ලාංකේය සිනමා වංශය පිරික්සීමේදී හමුවේ.

සිනමා අධ්‍යක්ෂවරයකු වුව ද ග්‍රෙගරි සහය අධ්‍යක්ෂවරයාගේ භූමිකාවෙන් දුරස් නො වීමෙන් අදහස් කළේ සහය අධ්‍යක්ෂවරයා, අධ්‍යක්ෂවරයා තරමට ම වැදගත් වන බව යි. කෙසේ නමුදු ලාංකේය සිනමා වංශය පිරික්සන විට ඇන්ටන් ග්‍රෙගරි යන නාමය සනිටුහන් වන්නේ ම ප්‍රවීණ, පළපුරුදු හා ක්‍රියාශීලී සහය අධ්‍යක්ෂවරයකු සේ ය .සිනමා සහය අධ්‍යක්ෂවරයකු සේ ග්‍රෙගරිගේ දායකත්වය බොහෝ කොටම ලැබුණේ විනෝදාත්මක සිනමාවට ය. මෙයට මූලිකම හේතුවක් වූයේ ග්‍රෙගරි සීමාසහිත සිනමාස් සමාගම නියෝජනය කිරීම යි. ඔහුගේ තෛ‍්‍රෛභාෂා දැනුම සීමාසහිත සිනමාස් හි අපේක්ෂා ඉහළ නංවන්නට ඇත.විනෝදාත්මක සිනමාවේ දැවැන්තයන් කිහිප දෙනෙකුගේම විශ්වසනීය සහය අධ්‍යක්ෂවරයා වන්නට ඔහු අවකාශ සලසා ගත්තේ මේ උරුමය මහෝපකාරී කොට ගෙන ය. මේ අතර කැපී පෙනෙන්නේ එම්. මස්තාන්, ලෙනින් මොරායස් හා නීල් රූපසිංහයි. 1960 දශකයේ මධ්‍යයේ සිට 1970 දශකයේ අග භාගය දක්වාම ලාංකේය විනෝදාත්මක සිනමාව වාණිජමය වශයෙන් සාර්ථකත්වයට රැගෙන යාමට ග්‍රෙගරිගේ සහභාගීත්වය තීරණාත්මක වූ බව යි ඉන් පෙනී යන්නේ . ග්‍රෙගරි, මස්තාන්ගේ 'අල්ලපු ගෙදර', 'සූර චෞරයා' හා 'ආත්ම පූජා' හි සහය අධ්‍යක්ෂවරයා වෙමින් පළ කළ සමත්කම් බොහෝ ය. ලෙනින් මොරායස්ගේ සිනමාපට ගණනාවක ම සහය අධ්‍යක්ෂවරයා වෙමින් ග්‍රෙගරි සිය සිනමා දැනුම පුළුල් කර ගත්තේ සතතාභ්‍යාසය අතිශයින්ම වැදගත් ය යන්න අවධාරණය කරමිනි. 'සූරයන්ගෙත් සූරයා', 'එදත් සූරයා අදත් සූරයා', 'ඔන්න බබෝ බිල්ලෝ එනවා', 'ඔන්න මාමෙ කෙල්ල පැනපි',' සූරයා සූරයාමයි', 'උන්නත් දාහයි මළත් දාහයි' හා 'හිතුවොත් හිතුවාමයි' ග්‍රෙගරිගේ සහය අධ්‍යක්ෂණයෙන් නිර්මිත ලෙනින්ගේ සිනමාපට කිහිපයකි. නීල් රූපසිංහගේ 'දැන් මතකද', 'හතර දෙනාම සූරයෝ', 'යකඩයා' හා 'අමල් බිසෝ' ද ග්‍රෙගරිගේ සහය අධ්‍යක්ෂණයෙන් ප්‍රේක්ෂක අවධානය දිනා ගත් සිනමාපට ය. මෙයින් 'අල්ලපු ගෙදර', සූරයන්ගෙත් සූරයා; හා 'හතර දෙනාම සූරයෝ' ලාංකේය විනෝදාත්මක සිනමාවේ හැරවුම් ලක්ෂ්‍ය වන බව නිරන්තරයෙන්ම කියැවේ. වසර තිස් හතකට පසු 'හතර දෙනාම සූරයෝ' ප්‍රතිනිර්මාණය කෙරෙන්නේ ද ග්‍රෙගරිගේ සහය අධ්‍යක්ෂණය සහිතව ය.

උක්ත සිනමාකරුවන්ගේ මෙන්ම කේ.වෙන්කට්, ටයිටස් තොටවත්ත, සිරිල් පී.අබේරත්න, තිමති වීරරත්න, දයා විමලවීර, ජෝ දේව් ආනන්ද් හා ගාමිණී ෆොන්සේකා යන සිනමාකරුවන්ගේ විශ්වසනීයම සහය අධ්‍යක්ෂවරයා බවට පත් වූයේද ග්‍රෙගරි ය.

විනෝදාත්මක සිනමාවේ කැපී පෙනුණ ද කලාත්මක ගුණාංග කෙරෙහි සැලකිලිමත් වූ විවාදාත්මක ලක්ෂණ ද සහිත සිනමාපට කිහිපයකම සහය අධ්‍යක්ෂ ධුරය දරන්නට ග්‍රෙගරි අවස්ථාව උදා කර ගත්තේ තමා කවර මාදිලියේ සිනමාපටයකට වුව සාධාරණය ඉටු කරලන්නට සූදානම් බව අවධාරණය කරමිනි. මේ අතර ටයිටස් තොටවත්තගේ 'හාරලක්ෂය' විශේෂයෙන් කැපී පෙනේ. එසේම නීල් රූපසිංහගේ 'අමල් බිසෝ' ද , ගාමිණී ෆොන්සේකාගේ 'කොටි වලිගය හා 'නොමියෙන මිනිසුන්' ද ග්‍රෙගරිගේ නිර්මාණශීලීත්වය සහතික කළ සිනමාපට වේ. විචාරක අවධානය මේ සිනමාපට කෙරෙහි යොමු වීමෙන් කියැවෙන්නේ ග්‍රෙගරි සාර්ථක හා කුසලතා සපිරි සහය අධ්‍යක්ෂවරයකු ද වන බව යි. මෙතැනට ඇන්ඩෲ ජයමාන්නගේ 'සිගරට් කොටය' කෙටි සිනමාපටය ද එක් කළ යුතු ය.

ග්‍රෙගරි සිය සහය අධ්‍යක්ෂක භූමිකාව තවත් අදියරකට රැගෙන යන්නේ දෙමළ භාෂිත සිනමාවට ද එක් වෙමිනි. මෙයින් දකුණු ඉන්දියානු සිනමාකරු ඒ.සී. තිරුලෝගචන්ද්‍රන් අධ්‍යක්ෂණ කළ 'පයිලට් ප්‍රේමනාත්' සැලකෙන්නේ ලාංකේය ශිල්පීන් ද සහභාගී වූ ඉන්දු - ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයක් ලෙසිනි. ජෝ දේව් ආනන්ද් අධ්‍යක්ෂණය කළ 'රත්තත්තින් රත්තමේ' ද එවැන්නකි. හවුල් නිෂ්පාදන කිසියම් සිනමා කලාපයක වාණිජමය සාර්ථකත්වයට මහෝපකාරී වන ප්‍රවේශයක් සේ සැලකේ.

ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, විජය කුමාරතුංග, සන්ධ්‍යා කුමාරි, සේනාධීර රූපසිංහ හා ඇන්තනි සී. පෙරේරා වැනි මුල් පෙළේ නළු නිළියන් ලද අතිමහත් ජනප්‍රියත්වය පසුපස සිටින වගකිවයුත්තන් කිහිපදෙනා අතර ද ග්‍රෙගරි සිටින බව සත්‍යයකි. අභාග්‍යයකට නළු නිළි ජනප්‍රියත්වය අළලා දිගු අදහස් දකින බොහෝ තැන් හි දී ග්‍රෙගරි බඳු තිරෙන් පිටුපස යෝධයන් නොතකා හැරෙන බව කිව යුතුම ය.

සිනමා සහය අධ්‍යක්ෂවරයකු ලෙස කීර්තියක් දිනා සිටි සමයේදී ම ග්‍රෙගරි ටෙලි නාටකයට ද එක් වන්නේ තමා ඊටත් සුදුසු වන වග ශපථ කරමිනි. මේ ලාංකේය ටෙලි නාටකයට අපූර්වත්වයක් එක් කළ ටයිටස් තොටවත්තගේ 'රන් කහවණු ' ය. සිනමා තිරයේ ජනාදරප්‍රාප්ත නළු නිළියන් සමඟ පැමිණි 'රන් කහවණු' ,ග්‍රෙගරිගේ ටෙලි නාටක සහභාගීත්වය තහවුරු කළ බව පෙනේ. එනමුදු ඔහු ටෙලි නාටකය තමාගේ විෂය පථයෙන් දුරස් කළේ සමහරවිට දෙවරක් නොසිතා ය.

දීර්ඝ කාලීන සිනමා සහය අධ්‍යක්ෂණ කාර්යයෙහි නිරත වුව ද ග්‍රෙගරි වෙත ජාතික මට්ටමේ ඇගැයීම් ප්‍රමාණවත්ව ලැබුණේදැයි යන්න සැක සහිත ය. වහා ජනප්‍රිය විය හැකි , විදග්ධ සමාජයේ ගෞරවයට පාත්‍ර විය හැකි සිනමා ශිල්පීන් අතර සහය අධ්‍යක්ෂ යනු නොසලකා හැරෙන භූමිකාවක් වන්නේ ය යන්න යි ඉන් කියැවෙන්නේ. සිනමාවේ අනුශාංගික අංග හමුවේ වුව සහය අධ්‍යක්ෂවරයා යටපත් වන අවස්ථා සුලබ ය. කෙසේ වුව ද 1987 වසරේදී පැවැත්වූ ශ්‍රී ලංකා ජාතික කතෝලික සිනමා පර්ෂදයේ උත්තමාචාර සිනමා සම්මාන උලෙළේ දී සහාය අධ්‍යක්ෂවරයකු ලෙස සිනමාපට විශාල සංඛ්‍යාවක් නිර්මාණය කිරීමට දායක වෙමින් ලාංකේය සිනමා කර්මාන්තය වෙනුවෙන් කළ මහඟු සේවාව උදෙසා විශේෂ සම්මානයක් ග්‍රෙගරි වෙත පිරිනැමිණි. එසේම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 2006 වසරේදී පැවැත්වූ කලා භූෂණ සම්මාන උළෙලේදී ද ග්‍රෙගරි සම්මාන ලාභියකු කළ වග අමතක නොකළ යුතු ය. මේ හැරුණු කොට ප්‍රාදේශීය වශයෙන් ඔහු වෙත ගෞරව සම්මාන ගණනාවක් ම පිරිනමා තිබේ.

සිය සිනමා දිවියට අපමණ වටිනාකමක් එක් කරමින් ග්‍රෙගරි නික්ම යන්නේ සිනමා සහාය අධ්‍යක්ෂ ධුරය පිළිබඳ නව කතිකාවක් ඉස්මතු කරමිනි. වර්තමානය වන විටසිනමා සහය අධ්‍යක්ධුරයේ කටයුතු කළ යුත්තේ පෙරදා මෙන් නො වේ. එමෙන්ම සිනමාපට නිෂ්පාදනය , බෙදා හැරීම හා ප්‍රදර්ශනය සම්බන්ධයෙන් පවතින්නේ ද එක්තරා ව්‍යාකූල තත්ත්වයකි. එනමුදු කාර්යක්ෂම හා දැනුම්වත් සහය අධ්‍යක්ෂවරයකුගේ සේවය අත්‍යන්තයෙන්ම වැදගත් බව නොපිළිගන්නා සිනමාකරුවකු හෝ සිනමා නිෂ්පාදකවරයකු හමු නො වන සුලු ය. ඉන් අදහස් කෙරෙන්නේ සිනමා නිර්මාණකරණය තවමත් සංකීර්ණ ක්‍රියාවලියක් වන බවයි. ලෙස්ටර් ජේම්ස් පීරිස් මේ යථාර්ථය වටහා ගෙන සිටියේ මීට බොහෝ කලකට පෙරාතුව ය. උපාලි පෙරේරා, ලෙස්ටර්ගේ සහය අධ්‍යක්ෂවරයා ලෙස සැලකිය යුතු කාලයක් කටයුතු කළේ එහෙයිනි. අද දවසේ වඩාත්ම කාර්යබහුල සහාය අධ්‍යක්ෂවරයා වන්නේ ඩොනල්ඩ් ජයන්ත විය යුතු ය. ග්‍රෙගරි මහත් වැර වෑයමෙන් ගොඩ නඟා ගෙන තහවුරු කළ සහය අධ්‍යක්ෂ ධුරය අනාගතය දක්වා රැගෙන යාමේ වගකීම පැවරෙන්නේ ඩොනල්ඩ් හා දමින්ද මඩවල බඳු සිනමාව හැර නො යන වර්තමාන සහය අධ්‍යක්ෂවරුන්ට ය.

 

[email protected]