‘ලොකු අම්ම’ට පුදුම මතක ශක්තියක් තිබුණා

දෙනවක හාමිනේ ගේ මිනිබිරිය විචිත්‍රා ජයසූරිය කියයි
දෙසැම්බර් 22, 2022

 

හෙළ සිනමා වංශ කතාවේ සුවිශේෂී ස්ථානයකට හිමිකම් කියන ඕ තොමෝ සිය ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම පිවිසෙන්නට තරම් භාග්‍යවන්තියක වූවාය. එනමුදු ඕ සිනමා නිළියක වූයේ සැබැවින්ම ඇයගේ වයසින් අවුරුදු 60 වැනි දීය.

දෛවෝපගතව තම ජිවිතයට එවන් භාග්‍යයක් හිමිවේ යැයි නොසිතු ඇය ඇයගේ ළමා වියේදිවත් තමන් මතුයම් දිනයක නිළියක වන්නේ යැයි හිත් කොනක සිහිනයක මාත්‍රාවක් හෝ ඇයට නොතිබිණි. එහෙත් වයසින් අවුරුදු 60 දී රංගනයට පිවිසි ඕ සිනමාව, රුපවාහිනිය සේම වේදිකාව මතද ජයකෙහෙළි නංවන්නට සමත් වූවාය. පළමුවෙන්ම වේදිකා නාටය රංගනයට පිවිසි ඈ ඒ තුළින් සිනමාවට පිවිසියාය. නිසග කුසලතා මහිමයෙන් සිය රංගන ප්‍රතිභාවෙන් අවස්ථා රැසකදිම සම්මාන බහුමානයට පාත්‍රව අනතුරුව රුපවාහිනි තිරයේ රංගන ප්‍රතිභාවෙන්ද සම්මානිත වන්නට තරමේ වාසනාවන්තියක වූවාය. සිය දිවි සැරියේ සැදෑ සමයේදී ප්‍රතිභාපූර්ණ රූපණවේදිනියක ලෙසින් රටත් , ලොවත් දිනූ ඕ තොමෝ අන් කිසිවකු නොව දෝන ජෝර්ජියානා මෙරායා හෙවත් අපේ විශිෂ්ට රංගනවේදිනිය දෙනවක හාමිනේ මහත්මියයි.

එතුමියගේ ජිවන තතු සොයා සරසවිය වෙනුවෙන් කතා බහ කරන්නට අපට හමු වූයේ එතුමියගේ නොමද ආදරයට පාත්‍ර වූ එතුමියගේ මිනිබිරිය ස්වාධීන රූපවාහිනි ආයතනයේ සේවයේ නිරතව සිටි විචිත්‍රා ජයසූරිය මහත්මියයි. ‘‘රටම දන්නේ දෙනවක හාමිනේ කියලනේ ඒ මගේ අම්මාගේ අම්මා. ඒ කියන්නේ මගේ ආචිචි. ඒත් කවරදාවත් මම එතුමියව ආච්චී කියලා අමතන්න හුරුවෙලා හිටියෙම නෑ. ආච්චි කියනවා වෙනුවට අපි හුරුවුණේ ලොකු අම්මා කියලා අමතන්නට. ඉතිං එතුමිය අපිව හැරදාල යන දවස වෙනකම් ම ඈ අපේ ලොකු අම්මා. මට නම් හිතෙන්නෙම එතුමියත් ලොකු අම්මා කියලා අමතනවාට අකමැත්තක් තිබුණෙම නෑ කියලයි. විචිත්‍රා මහත්මිය ප්‍රිය මනාප සිනාමුසු මුහුණින් යුතුව කතාබහේ නිරත වන්නීය. ආච්චී හෙවත් තම ලොකු අම්මා පිළිබඳව විචිත්‍රාගේ සිතේ ඇත්තේද අප්‍රමාණ ගෞරවය මුසු හැඟිමක් යැයි මට සිතිණි. විචිත්‍රා යටගිය දවස් සිහිපත් කරන්නේද මහත් සොම්නසකින් යැයිද සිතේ. 1906 වසරේ පෙබරවාර් මස 20 වැනිදා ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදි උපත ලද දොන ජෝර්ජියානා මෙරායා හෙවත් අපේ දෙනවක හාමිනේ සිය තුරුණු වියේහි ගුරු වෘත්තියෙහි නිරතව සිටියාය. පසු කලෙක ගම්පහ වතුරුගම ප්‍රදේශයට පැමිණි ඕ එහි ජීවත් වූවාය. මෙපවත්ද කිවමනාය. එදා දවස අද අප ගෙවනා සමාජ යාන්ත්‍රණයට වඩා සහමුලින්ම වෙනස් වූ පරිසරයකි. විශේෂයෙන්ම ගැහැනු දරුවෙකු වටා

එකල නිර්මාණය වී තිබුණේ ම තහංචි යැයි කිවහොත් වඩාත් නිවැරැදිය. අද තරුණියකට මෙන් නිදහස එදා තරුණියනට සහමුලින්ම අහිමිය.

පාර තොට ගමන වැඩිහිටියකු සමඟ විනා තනිව ගමනට තහංචිය.

ප්‍රදේශයේ පිළිගත් පවුලක් ලෙසින් කිර්තිනාමයකට බඳුන් වූ එගම අපේ විශිෂ්ට කතා නායිකාව ඇමතුවේ ‘ කළු හාමිනේ‘ යන ආදර නාමයෙනි. කළු හාමිනේ හෙවත් අපේ දෙනවක හාමිනේ සමඟ අතිනත ගත්තේ විනිෆ්‍රඩ් කාලිංග මහතාය.

විචිත්‍රා මහත්මිය යළි කටහඬ අවදි කරන්නීය ‘‘ඉතින් අපේ ලොකු අම්මා (ආච්චි) ට එකම එක දුවයි ඊනිඩ් විනිෆ්‍රඩ් කාලිංග. ඒ එකම දුව. ඇය විවාහ වුණාට පස්සේ ඊනිඩ් විනිෆ්‍රඩ් සෙනරත් යාපා වුණා.

ඒ තමයි මගේ අම්මා.

කළු හාමිනේ හෙවත් දෝන ජෝර්ජියානාට නැගණියක්ද සිටියාය. ඇයගේ නම දෝන ඇල්බටිනාය. ගුරුවරියක ලෙසින්ද කටයුතු කරමින් සිටි ඕ ගමේ ඉඳහිට වේදිකා ගත වු නාට්‍ය කිහිපයකද විවිධ චරිත නිරූපණයෙන් නමක් දිනා ගන්නට සමත් වූවාය.

නාට්‍යයකට අවැසි අඩුපාඩු චරිතයකට කාන්තා චරිතයක් සොයමින් රැලෙක්ස් රණසිංහ නම් මාධ්‍යවේදියකු ඈ වෙසෙන ගමට පැමිණියේ මේ අතරවාරයේදීය.

මම චිත්‍රා මහත්මිය දෙස බැලුවෙමි.

‘ ඔව් රැලෙක්ස් රණසිංහ මහත්මයා එක්ක නාට්‍යවේදියකු විදියට ඒ කාලේ ප්‍රසිද්ධ ජි. ඩී. එල්. පෙරේරා කියන මහත්මයකුත් ගමට ආව කියලා තමයි මට මතක මං අහල තියෙන්නේ. ඉතින් අපේ ලොකු අම්මා (ආච්චි) ව දැකලා එයාලගේ ‘ සාමා‘ කියන වේදිකා නාට්‍යයට අපේ ලොකු අම්මාට කතා කරලා තියෙනවා.‘

ඉතිං ඒ කාලෙ ඒවාට නිදහසක් නැති වුණත් කොහොම හරි ගෙදරට වදෙන් පොරෙන් අපේ ලොකු අම්මා (ආච්චි) ඒ සාමා වේදිකා නාට්‍යයේ රඟපාල තියෙනවා. ඉන් පස්සේ ඒ සාමා වේදිකා නාට්‍යය චිත්‍රපටයක් බවට පත්වුණා. අපේ ලොතු අම්මත් එහි රඟපෑවා.

ඒ 1965 වසරේදියි. ඒ වනවිට අපේ කතා නායිකාවට වයසින් අවුරුදු 60ට ආසන්නය. තුරුණු වියෙහි සිටම වේදිකා නාට්‍ය රැසක විවිධ චරිතයනට පණ පෙවූ එතුමිය ගේ සිනමා ආගමනය පිළිබඳ එවක විවිධ පුවත්පත් ඈ පිළිබඳ තතු මවන්නට විය. වයසින් අවුරුදු 60දී සිනමාවට එක්වි සිනමා සිත්තම් එකකින් දෙකකින්ම සිනමා රසික හද ඇද බැඳ තබා ගන්නට සමත් වීමෙන් ඇයට නිතැතින්ම හිමිවන්නට වූයේ නොතිත් ආකර්ෂණයකි. ජනප්‍රියත්වයකි.

‘ ඉතිං අපේ ලොකු අම්මා දෝන ජෝර්ජියානා මෙරායා ගමට කළු හාමිනේ මේ නම් එකක් වත් අපේ ලොකු අම්මගේ රංගන ජිවිතයට ගැළපෙන්නේ නැහැ කියලා අර මම ඉස්සරවෙලා කියපු රැලෙක්ස් රණසිංහ මහත්තයා කළු හාමිනේ කියන නමේ කළු කියන නම අහකට දමලා දෙනවක හාමිනේ කියන නම දුන්නේ. එදා පටන් අපේ ලොකු අම්මා දෙනවක හාමිනේ මයි.

එතුමියගේ සිනමා සම්ප්‍රාප්තියද සමඟින් චිත්‍රපට එක දිගට ගලා එන්නට වීඇය හෙළ සිනමාවට නැතුවම බැරි නිළියක බවට පත් වූයේ ඇයගේම පුරුවේ වාසනා මහිමයක් නිසාම යැයි විචිත්‍රා ජයසුරිය මහත්මිය මා සමඟ කීයේ හිත පිරුණු සතුටකිනි.

‘‘ මගේ පු‘චි කාලේ මම හරිම ආසයි අපේ ලොකු අම්මා ළඟ නිදන්න. සමහරදාට මම මහ රෑට ඇහැරෙනවා. අනේ ඒ වෙලාවෙත් එයාට නින්දක් නෑ.

මගේ හිස අතගගා ඉන්නවා. මට හරිම ආදරෙයි.‘

අපේ ලොකු අම්මට මං හිතන්නේ වයස කියන්නේ ඉලක්කමක් විතරක් වෙන්නැති. මොකද ලොකු අම්මා හැම තිස්සෙම තඩිසරයි. ඇත්තම කියනවා නම් අපේ ලොකු අම්මට උණත් හෙම්බිරිස්සාවක් හැදිල හිටිය දවසක් ඇත්තෙම නෑ. ඒ තරම්ම නීරෝගීයි.‘

මේ අපේ පිළිසඳරට වරින් වර එකතු වෙන්නේ විචිත්‍රාගේ දියණිය ටනීෂාය. ටනීෂාගේ හිත තුළද ඇත්තේ එතුමිය පිළිබඳ මහත් වූ ආදරයකි.

මෙම ආදරණිය සටහන ලියන්නට මඟ හෙළි පෙහෙළි කළ අපේ කතා නායිකාවගේ ආදරයටම බඳුන් වූ විචිත්‍රා ජයසූරිය මහත්මියගේ ආදරණිය සැමියා වන ස්වාධීන රූපවාහිනි ආයතනයේ සේවයේ නියුතු ජනිත ජයසුරිය සහෘදයන්ද වරින්වර අප සමිපයටම පැමිණ එතුමිය පිළිබඳ මතක තොරතුරු පැවසීමද අගනේය.

විචාත්‍රා හදිසියේ යමක් මතක් වුවාක් මෙන් අසුනෙහි හරිබරි ගැසුණාය. ඇය සිනාසෙන්නීය.

‘අපේ ලොකු අම්මා ජිවිතේටම සිල් සමාදන් වෙලා තියෙන්නේ එකම එක දවසයි. අපේ ගෙදර ඉඳන් සිල් ඇඳුමින් සැරසිලා පාන්දරින් පන්සලට ගියා.

අනේ එතැන උන්න සිල් ඇත්තන් අපේ ලොකු අම්මව වට කරගෙන එක එක විස්තර අහනවා. පස්සේ ලොකු අම්මා ගෙදර ඇවිත් කිව්වා ආයෙනම් මං සිල් සමාදන් වෙන්න පන්සලට යන්නෙ නම් නෑ. මං ගියාම ඒ ඇත්තන් ගේ සීලයත් බිඳෙනවා කියලා. එදායින් පස්සෙ සිල් ගත්තේ නෑ.

ඇගේ සිනාවට ටනීෂා දියණියද එකතු වෙයි.

‘ අපේ ලොකු අම්මට තිබුණු මතක ශක්තිය ගැන නම් දන්න හැමෝම පුදුම වෙනවා. පුංචි කාලෙදිත් එහෙමලු. ලොකු අම්මට වයස අවුරුදු 90 පැන්න කියලා නෑ පුංචි කාලෙ පටන් හැමදේම හොඳටම මතකයි.

ඇයි අම්මා ආච්චිගේ ගණිත දැනුම? ඒ කීවේ නටාෂා දියණියයි.

‘ ඔව්නේ අපේ ලොකු අම්මට ඕනෑම චක්කරයක් හොඳට කට පාඩම්. මනෝමයෙන් ගණන් හදලා කියන හැටි හරිම පුදුමයි. දවසක් දා මට හොඳටෝම දතේ කැක්කුමක්. මං කෑගහලා අඬනවා. ලොකු අම්මා ලෑලි කැබැල්ලක් ගෙනාවා. වටේටම අකුරු වගයක් ලිව්වා. ඇණයක් අතට අරන් ඇණේ ලෑල්ල උඩ වටේට කොට කොට යනවා. දත කැක්කුම නැති වුණා. හරියටම ඇණය නවත්තපු තැනටම ඇණය ගහලා හිනා වුණා. ‘

ඒ වගේ කෙම් ක්‍රමත් ලොකු අම්මා දැන උන්නානේ. මැහුම් ගෙතුම් හොඳටම පුළුවන්. ෂූවිං වලට නොයන දවස්වලට ලොකු අම්මාට ගෙදර කාර්ය බහුලයි. මට ගවුම් මහලා දුන්නෙත් එයාමයි. මට මහන්න පුළුවන් වුණේත් ලොකු අම්මා නිසාමයි. ලොකු අම්මගේ හැට්ටය කවුරු මැහුවත් එයාට හරි නෑ. ඒ හින්දා එයාමයි හැට්ට මහන්නේ. පාසල් වියේදී ඉගෙනුමට ද හපනියක වන අපේ දෙනවක හාමිනේ සියලු විෂයන් පිළිබඳ පෙන්වූ ඉහළම සාමාර්ථ නිසාම තුනේ පන්තියේ සිට හතරවන පන්තියට නොව පස්වැනි පන්තියට (ඩබල් ප්‍ර‍මෝෂන්) සමර්ථ්‍යය ලැබුවා.ය. ඇය එකොඩියන් වාදනයෙහිද සමර්ථ්‍යය. පිනට දහමට ළැදියාව කෙතරම්ද යත් භික්ෂූන් වහන්සේලා නිවසට වඩම්මවා දාන මාන දුන් වාර ගණනද ඉහළය. රූපගත කිරිම් හමාර කොට පෙරළා නිවසට පැමිණියද රඟපෑම වෙනුවෙන් අයකළ මුදල් එතුමිය අත නැත. ඒවා මඟදීම කාට කාට හෝ බෙදා දී හමාරය. තමන් අතට ගත් බත් පත තවෙකකුට දී සතුටු වන සිතකින් පසුවූ ඈ හිත උණුවුණ ගැහැනියක් යැයිද විචිත්‍රා මහත්මිය කීවේ බිඳුණු ස්වරයෙනි.

දීලා සතුටු වෙන හිතක්මයි ආච්චිට තිබුණේ.

ඒ කීවේ ටනීෂාය.

අපේ ලොකු අම්මා එක්ක අපට කිසි තැනකට යන්න බෑ. හැම තැනකදිම මිනිස්සු වට කර ගන්නවා. කතා කරනවා, ඉඹිනවා. මිනිස්සු පුදුම ගෞරවයකින් අපේ ලොකු අම්මට සැලකුවේ. ඇත්තෙන්ම ලොකු අම්මා අපට හරිම ආඩම්බරයක්.

ඔය චිත්‍රපටවල නපුරු චරිත කළාට අනේ ඒ හිතේ නපුරුකම ගෑවිලාවත් නෑ. හරිම කරුණාවන්තයි. උදව් කරන්නමයි ලොකු අම්මට ඕන වුණේ. තමන්ගේ හරි අනුන් හරි එයාට කමක් නෑ දීලා සතුටු වුණා.‘ දෙනවක හාමිනේ මහත්මියගේ පවුලේ අය සර් ජෝන් කොතලාවල පරපුරේ අය සමඟ පැවැති ඥාති සබඳතාවයද මතකයට නැඟූ විචිත්‍රා පැවසුවේ පුංචිකාලේ නිතර සර් ජෝන් කොතලාවල මහතාගේ කඳවල පිහිටි නිවසට ලොකු අම්මා සමඟ ආ ගිය බවද කිවාය. ඕ තොමෝ සිත සවිමත් ගැහැනියකි. වියපත් බව රුවින් හා ඉලක්කමෙන් පමණි. කාර්යයෙහි කඩිසරය. මගේ මහත්තයා ජනිතට ලොකු අම්මා හරිම ආදරෙයි. අපි කසාද බැන්ද දවසෙත් ලොකු අම්මා අපත් එක්කමයි. මගේ මහත්තයට කතා කරන්නේ සුදු මහත්තයා කියලා. කොච්චර හිත ධෛර්යවන්තද කියනවා නම් ඇස් පෙනීම දුර්වල වුණා. පස්සේ ඇස් ඔපරේෂන් කළා. අනේ ඉන් පස්සෙත් රඟපාන්න ගියානේ. ඕ අතිශයින් විනෝදකාමි චරිතයකි. හැම මොහොතේම සිටියේ සැහැල්ලු සිතකිනි. එය චිත්‍රපටිවල දකින කෙනා නෙමෙයි ගෙදර ඉන්නේ. ඇත්තටම පරම්පරාවන් තුනක් දකින්නට අපේ ලොකු අම්මා පින් කළා කියලයි මට හිතෙන්නේ. වේදිකාව සිනමාව සහ රූපවාහිනියද ජය ගත් අපේ දෙනවක හාමිනේ හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතා අතින් කලාශූරි සම්මානයෙන්ද පිදුම් ලැබුවාය.

චිත්‍රපට හා ටෙලි රංගනය වෙනුවෙන් අවස්ථා රැසකදී ම ජනාධිපති සම්මානයෙන්ද සරසවිය සම්මානයෙන්ද හොඳම නිළියට හිමි විශිෂ්ට සම්මානයෙන්ද, ස්වර්ණ සිංහ සම්මානයෙන්ද පිදුම් ලද අපේ විශිෂ්ට කතා නායිකාව යටගිය රාජ්‍ය නායක කාරකාදීන්ගේද නොමඳ බුහුමනට පාත්‍ර වූවාය. ඕ තොමෝ අති විශිෂ්ට රුපණවේදිනියක බව විවිධ චරිත නිරූපණයන් තුළින් අපට පසක් කළාය. ඩබල් ක්වීන් යැයි එඩි ජයමාන්න මහතා කීවේ ඒ නිසා විය යුතුය. මේ උදා වූයේ 2002 වසරේ දෙසැම්බර් මාසයයි. තමනට වයස තම කටයුතුවලට කොහෙත්ම බාධාවක් නැති බව ම ඇය අපට පෙන්වූ අපේ දෙනවක හාමිනේ නම් අපේ විශිෂ්ට රූපණවේදිනිය සතියක් දෙකක් පමණ තිස්සේ පන්නිපිටිය , මොරකැටිය නිවෙසෙහි කාමරයක නිදියහන මතය.

දැන් එතුමියට වයසින් අවුරුදු 96කි. ගත සවිබල නැතිමුදු සිත තවමත් පෙර සේම අවදිවෙනි. තමන් සමඟ කතා ක්ෂේත්‍රෙයහි පසු වූ හිතවන්තයින් වැල නොකැඩී සුවදුක් බලන්නට , අසන්නට පැමිණියේය. කතා බහේදී ඕ ඉඳහිට විහිළුවක්ද කියයි. ‘‘මං බය නෑ . මං බොහොම පින් කරලා තියෙනවා. සිනාවෙන් (එතුමිය සමිපව සිටිනා අයට දැස් පුංචි කර සෙමින් කියන්නට වූවාය) දෙසැම්බරයේ 09 වැනි දින එළඹිණ. තම ලොකු අම්මා (ආච්චි) ගේ ඇඳ සමිපයටම උදෑසන තේ කෝප්පයද අතැතිව ගිය මිණිබිරිය විචිත්‍රා

ගේ තේ කෝප්පය දෙනවක හාමිනේ මාතාව, අපේ හෙළ සිනමාවේ මිත්තණිය එදවස හිමිදිරියේ ඈ වෙතින් පිළිනොගත්තාය. මිණිබිරිය චිචිත්‍රා එතුමියගේ ඇඳ පාමුල වැටී මහ හඬින් හඩා වැලපෙන්නට වූවාය.

 

[email protected]