මා ලියූ ගීත අතරින් වඩාත් ජනප්‍රිය වුණේ තනුවට ලියූ ගී

ප්‍රවීණ ගේය පද රචක කුමාරදාස සපුතන්ත්‍රි
දෙසැම්බර් 15, 2022

 

“සපුමල සුවඳමය” උපහාර උලෙළ හෙට

අවුරුදු පනහකට වැඩි කාලයක් ගිත රචකයකු ලෙස කටයුතු කළ කාලය තුළ ඉටු  වූ මගේ සේවය අගය කරමින් කළුතර දිස්ත්‍රික්කයේ මගේ හිත මිතුරන් ඥාති මිත්‍රාදීන් එක්ව  මා වෙනුවෙන් උපහාර උළෙලක් සූදානම් කර තියෙනවා. එය පැවැත්වෙන්නේ මේ මාසයේ දහසය වැනි සිකුරාදා කළුතර නගර ශාලාවේදී. එය ආරම්භ වෙන්නේ හවස හයයි තිහටයි. එහිදී වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, බණ්ඩාර අතාවුද, දීපිකා ප්‍රියදර්ශනී, ආනන්ද වීරසිරි, සුදත් සමරසිංහ, විහඟ විජේසේකර, ඇතුළු දස දෙනකු ගායනයෙන් එක් වෙනවා. ඒ අතරතුර මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර විසින් පවත්වන කෙටි දෙසුමක් ද සහිතයි. එහි සංගීතය මෙහෙයවනු ලබන්නේ සුසිල් අමරසිංහයි.

 

අත්දැකීම් බහුල ගේය පද රචකයකු ලෙස සුභාවිත ගීතය පිළිබඳ ඔබේ අදහස මොකක්ද ?

සුභාවිත ගීය කියා අපි අදහස් කරන සම්ප්‍රදාය අද  දකින්නෙ අඩුවෙන්. නව පරපුරේ හුඟ දෙනෙක් ගීත රචනයට හා ගායනයට පෙලඹී සිටියත් ඔවුන් අතින් සුභාවිත ගී  රචනා වෙනවා දකින්න අමාරුයි. අපි ඒ කාලයේ නම් හැකි තරම් මහන්සි වී එබඳු රචනාවලට පෙලඹුණා. ඒ සම්ප්‍රදායන්  ආරක්ෂා කළා. අද එය දකින්නේ හරි අඩුවෙන්. හුඟක් දුරට අද හැම රචනයක්ම පාහේ ප්‍රේම ගීතයටම සීමා වී තියෙන්නේ. උදෑසන අවදි වූ වෙලාවේ සිට දවස පුරාම මෙන් ඇහෙන්නේත් ඒවායි. ප්‍රේම ගීයත් සුභාවිත ගීයක් තමයි. ඒත් එකම විදියට රචනා වෙන, එකම විදියට ගැයෙන ගීත ඇසෙන විට එය  අසන්නාට අපහසුවක් කියායි මා හිතන්නේ.  

 

එදා ඔබ සුභාවිත ගීතයක් නිර්මාණය කරද්දී තිබූ වටපිටාව අද නැතැයි කියාද අදහස් කරන්නේ ?

නෑ ඒ වටපිටාව එහෙමම තියෙනවා. රචකයා එය හරියාකාර අවබෝධ කර නොගැනීමයි ගැටලුව වෙන්නේ. ඔහු එය හරියට දකිනවාද කියායි සොයන්න ඕනෑ. අවට පරිසරය ගහකොළ, ගංගා, කඳුවැටි, ඇළ දොළ, එහෙමම තියෙනවා වාගෙම සොබාදහමෙන් අවශ්‍ය අමුද්‍රව්‍යත් සපයනවා.  නමුත් රචනාවකදී ඒවා හරියට භාවිත වී නෑ කියා පෙනෙනවා.  ගීත රචකයකු වන්න නම් මුලින්ම ගීත අහන්න ඕනෑ. ගී පද රචනාත්  කියවිය යුතුයි.ඉස්සර නම් බොහෝවිට පත්තරවල තමයි ගී පද රචනා පළ වුණේ. දැන් නම් පොත් වශයෙනුත්  ඕනෑතරම් තියෙනවා. ඒවායිනුත් අත්දැකීම් ප්‍රමාණයක් කෙනකුට ගන්න පුළුවන්. මම නම් පුන පුනා කියන්නේ ගීත රචකයකු වන්න කැමැති නම් පුළුවන් තරම් කියවන්න කියලයි. ගී පද රචනා පොත් පත් ගැනම නොවේ මා කියන්නේ, අනිකුත් හැම ආකාරයකම පොත් පත් කියවන්න කියලයි.  ඒ දැනුමින් තමයි කෙනකු කවි, ගී රචනයට ඉඩහසර හදා ගන්න පෙළඹෙන්නේ. ඒ වගේම ගීත රචකයකුමයි හඳුනගන්න ඕනෑ තමා පවතින්න ඕනෑ ක්‍රමය කුමක්දැයි කියා. නිර්මාණවලින් තමයි කෙනකුව තේරුම් ගන්නේ. මේ කාරණා හරියට තෝරා බේරා ගෙන අවබෝධයෙන් ගීත රචනා කරනවා නම් ගී පද රචකයකු ලෙස සාර්ථක වෙන්න පුළුවන්.

සමාජය ඉල්ලන දේයි දෙන්න ඕනෑ කියන අදහස සමාජගත වී තිබෙන පසුබිමක ප්‍රවීණයකු ලෙස ඒ ගැන ඔබේ  අදහස මොකක්ද ?

 ඇත්තටම අපි කතා බහ නොකළාට එහෙම වටපිටාවක් ගොඩනැඟී තියෙනවා තමයි. ඔබ ඇසූ ලෙස ඉල්ලන දේද දෙන්න ඕනෑ, එය නොදී කර්මාන්තයට පවතින්න බැරිද, ඇයි එකම ආකාරයේ නිර්මාණ බිහිවෙන්නෙ ආදි දේ ගැන හිතන්න බොහෝ දේ තියෙනවා. අපි ගීත රචනා කළ අවදියේ හරිම සුබදායක වටපිටාවක් තිබුණේ. ඒ වටපිටාව තුළ අපට සුභාවිත ගීත රචනා කරන්න අවස්ථා සැලසුණා. ඒ වගේම හොඳ ශ්‍රාවක පිරිසක් අපට හිටියා. ඒ පසුබිමේ තමයි හොඳ නිර්මාණ  බිහි වුණේ හා ජනප්‍රිය වුණේ. අනික ඒ කාලෙ ජාතික ගුවන් විදුලිය විතරයි තිබුණේ. කොච්චර ලස්සන ගීත ද ඒ කාලෙ ඇසුණෙ. අද මාධ්‍යවල බහුලත්වය හා එයින් ප්‍රචාරය වන දේ නිසයි මෙසේ වෙන්නේ.  ඒකයි ඒ අය කියන්නේ ඉල්ලන ආකාරයට සැපයුම දෙන්න ඕනෑ කියා. ඉල්ලීම එන්නෙ බාල දේට නම්, හැමෝම ඉල්ලන්නෙ ඒවා නම් මාධ්‍ය ප්‍රචාරය කරන්නෙ ඒවායි.  ඒ නිසයි මං මුලින්ම කතා කරන විට කීවේ පුළුවන් තරම් අත්දැකීම් සම්භාරයක් ඇතිව රචකයකු වන්නැයි කියා.  මුලින්ම කියවීම අවශ්‍යයි.  ඊළඟට හැකි තාක් පරිසරය  විඳීය යුතුයි. ඒ අනුවයි සිතන්න ඕනෑ.  ඒ හිතීම උඩ තමයි නිර්මාණකරුවකු වන්න පසුබිම කෙනකුට සකස් වෙන්නේ.

 

එදා ගුවන් විදුලියට ගීතයක් තෝරා ගනිද්දී වූ ප්‍රමිතීන් මොනවාද ?

හැම අවස්ථාවකම මූලික ව ඒ රචනය නිරීක්ෂණය කළා.  එහි භාෂාව නිරීක්ෂණය කළා. ඒ වගේම එහි සාහිත්‍යමය ගුණය බැලුවා.  ඒකෙන් සෙව්වේ මොන වගේ පසුබිමක සිට ද මේ ගීය ලියා තියෙන්නේ කියායි. ඊළඟට ගීතයේ තනුව පිළිබඳත් සැලකිලිමත් වුණා. එපමණක් නොවේ ඒ නිර්මාණයට යොදා ගන්නා සංගීත භාණ්ඩ පිළිබඳ පවා සොයා බැලුවා.  කාලයක් තිබුණා ගුවන් විදුලියේ  බටහිර ආරේ සංගීත භාණ්ඩ භාවිත කරන්න පවා අවසර නොතිබූ.  පසුකාලීනව එය ටිකෙන් ටික වෙනස් වී පුළුල් වටපිටාවක් නිර්මාණය වුණා. පසු කාලයේදී වුණත් හොඳ ගීත නිර්මාණය කරද්දී   විශේෂ වාද්‍ය භාණ්ඩ හැමවිටම භාවිත කළා.

ඒ කාලෙ පුදුම විනයකින් හික්මීමකින් තමයි නිර්මාණකරුවෙක් කටයුතු කළේ.  විශේෂයෙන් ගීත රචකයා, ගායකයා හා සංගීත නිර්මාපකයා  කටයුතු කළේ පුදුම ඉවසීමකින්. එකිනෙකා පරයා යන්න නොවේ හොඳ යහපත් නිර්මාණයක් සමාජයට බෙදා හරින්න ව්තරයි අපට ඕනෑ වුණේ. දහදුක් විඳගෙන සමහර වෙලාවට ඒ කාලෙ ගීත කළේ.  නමුත් ඒවායේ හොඳ ප්‍රතිඵල අපට පසුව ලැබුණා.

ගීත රචකයාට හා සංගීතඥයාට ඇති  ප්‍රතිලාභමය පසුබිම කොයි වගේද ?

අද යම් තරමකට ගීත රචකයා ගැනයි සංගීතඥයා ගැනයි සොයා බැලෙනවා. සමහර ආයතන හා පුද්ගලයන්  ඒ වෙනුවෙන් කටයුතු කරනවා. ඔවුන් යම් විශේෂ වැඩපිළිවෙළ ඔස්සේ මේ පිරිසට ප්‍රතිලාභයක් සලසා දෙන්න කටයුතු කරනවා. ඒක ඇත්තටම අගය කළ යුතුයි.  ගායකයකු හට ප්‍රසංගයක් පවත්වා මුදල් ඉපැයිය  හැකියි. නමුත් ගීත රචකයාට හෝ සංගීතඥයාට එසේ නොවෙයි. ඔවුන් මේ වටපිටාවේ හුදෙකලා වූ දෙදෙනෙක්. නමුත් එසේ විය යුතු නෑ. ගීත රචකයා ගැනත් සංගීතඥයා ගැනත් මීට වඩා අවධානයක් ලැබිය යුතුයි කියා මා සිතනවා. ඒක යුතුකමක්.

 

 ගීතවල අයිතිය පිළිබඳ ලංකාවේ පවතින නෛතික රාමුව සැකසී තියෙන්නේ කොහොමද ?

 ගීතවල අයිතිය පිළිබඳ නෛතික පදනම සැකසී තිබෙන්නේ ගීත රචකයාට හා සංගීතඥයාට ගීතයක අයිතිය හිමිවන පරිදියි.  ගීයක් ගායනා කිරීමේදී ලැබෙන මුදල හා ජනප්‍රියත්වය තමයි ගායකයාට ලැබෙන්නේ. 

 

මේ සම්බන්ධයෙන් දැනට ලංකාවේ පවතින බුද්ධිමය දේපළ පනත කොයිතරම් දුරට ශක්තිමත් ද  ?

දැන් මා පැහැදිලි කළ ආකාරයට කටයුතු ක්‍රියාත්මක වන විට මේ පනත ශක්තිමත් වෙනවා.  මම මුලින් කියු විදියට රචකයා හා සංගීතඥයාටත් සාධාරණ වූ පියවර ක්‍රියාත්මක වන විට එය සාර්ථක හා ශක්තිමත් වෙන්න පසුබිම සැකසෙනවා.

 

ගුවන් විදුලියේ ගත කළ කාල පරිච්ඡේදය නිර්මාණ කාර්යයට  අනුබල සැපයූවේ  කොහොමද ?

ගුවන් විදුලියේ ගෙවුණු  කාල පරිච්ඡේදයේදී බොහෝ පිරිසක් මුණ ගැසුණා. වැඩසටහන් නිෂ්පාදකවරයකු, උපදේශකවරයකු මෙන්ම  ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ අවධිවලදී  මුණගැසුණු පිරිස විශාලයි.  ගායක ගායිකාවන් සමඟ සමීපව ඇසුරු කරන්න එහි හොඳ වටපිටාවක් තිබුණා. ඒ අවධියේ  ඔවුන්ගේ ඉල්ලීම් අනුව ගීත ලියන්න පෙලඹුණා. සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි ආදින් තමයි මා අතින් ලියවුණු ගීත වැඩිපුරම ගායනා කළේ.  ඊළඟට වික්ටර් රත්නායක, බණ්ඩාර අතාවුද, ආදිනුත් මගේ බොහෝ  ගී පද  රචනා  ගායනා කළා.

 

සුභාවිත ගීයට වැඩිපුරම පදනම් වන්නේ ප්‍රේම ගීයයි කියා අදහසක් තියෙනවා.

නෑ එහෙම නෑ. තමන්ට  දැනෙන ඕනෑම විෂයක්  හෝ වස්තු බීජයක් හරියට ගොඩනැඟුණ විට සාර්ථක නිර්මාණයක් බිහි කළ හැකියි.  එය අර මා කියූ  කාරණා සියල්ලේම එකතුවෙන් ගොඩනැඟෙන දෙයක්.

 

ගීත රචනයේදී ඔබට බලපෑ ආභාසයන්  කවරාකාර ද ?

බාහිර සාධක වාගෙම කියවීමත්.  කියවීමේ නිමාවක් නෑ. එය කවදාවත් අහක යන්නේ නෑ. ඔබ ඇසුවා දැනෙන විදියට ලියන්න කියවීමත් වැදගත් නේද කියලා.  ඇත්තෙන්ම ඔව්. ඒ වාගෙම සහජ හැකියාවත් එතැනදී ගොඩක් වැදගත්. දෙයක් කියවන විට එය දැනෙනවා කියන්නෙ එය රචකයාගෙ සහජ හැකියාවයි. ඔහුගේ ඇතුළත තිබෙන හැකියාවයි ඒ ඔහු මුදා හරින්නේ.  ඒ වාගෙම  කෙනෙක් එතෙක් සමාජයෙන් පරිසරයෙන් උකහා ගත් දේවල අත්දැකීම් සමඟයි තවදුරටත් වර්ධනය වෙන්නේ. 

 

මෙවැනි තැනකට ළං වූ නව පරපුරේ අය කවුද ?

මේ වනවිට තරුණ පරපුරක් ගොඩනැඟී එන බව පෙනෙනවා.  රජීව් වෙල්ගම කියන්නෙ ඒ වගේ කෙනෙක්. හොඳ රසිකත්වයක් හා හොඳ රුච්කත්වයක් තියෙන රචකයෙක්. තව කීපදෙනෙකු සිටිනවා. ඔවුන් ගැන බලාපොරොත්තු තබාගත හැකියි. ඔවුන් අගය කළ යුතුයි. මාධ්‍යවලට ඔවුන් සම්බන්ධ කර ගත යුතුයි. ඔවුන්  ගැන ලිවිය යුතුයි.  ඔවුන් වාගෙ අය මේ ක්ෂේත්‍රයේ අනාගතය ආලෝකවත් කරන්න දායකත්වයක් දේවි.

 

ඔබේ ගී අතරින්  සැලකිය යුතු ගී ප්‍රමාණයක්  තනුවලට ලියූ ගීතයි. එය පහසු කාර් යයක්ද  අසීරු කාර්යයක් ද ?

අටසියයකට ආසන්න මා ලියූ ගීතවලින් වැඩිපුරම මිනිස්සු වැලඳගත්තේ පෙර යෙදූ තනුවලට  ලියූ ගීතයි. අකුරු මැකී නෑ.කොළ ගැලවී නෑ, චන්ද්‍රමඬල බැද්ද වටින් මෝදු වෙලා,  පාට දේදුනු සේදිලා, එපා සඳේ ඔබේ සිනා මේ රැයේ, ඳොඹ මලින්මලට ඉගිළුණාට සමනලයින් නොවේ, මාරම්බරී ආදි ගීත රාශියක්, හැට හැත්තෑවක් වාගෙ තනුව මුලින් අසා පසුව වචන යෙදූ ගීතයි. ඒක ලේසි වැඩක් නොවේ.  හැබැයි ඒ ගීත ජනතාව අතරට ගියා කියන්නේ  මිනිස්සු හරියට එය තේරුම් ගත්තා කියන එකයි.

එතනදි එහෙන් මෙහෙන් වචන යෙදුවෙ නෑ.  සක්ක පද, කැඩිච්ච වචන යොදා හැඩ ගත්තෙ නෑ. හරියාකාරව නිවැරැදි ලෙස වචන යොදා ගනිමින් හරිම සියුම්ව ඒ නිර්මාණ කළේ.  ඒකයි ඒවා එතරම් සාර්ථක නිර්මාණ වුණේ.

 

 

[email protected]

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න