වර්ෂ 2023 ක්වූ October 01 වැනිදා Sunday
පුරෝගාමී ගුවන් විදුලි හාස්‍ය කලාවක අවසන් පුරුක

රූපවාහිනියේ ආගමනයට පෙරාතුව ජන මාධ්‍ය ක්ෂේත්රයේ ප්රමුඛයාව සිටියේ ගුවන් විදුලියයි. සිනමාව හා වේදිකා නාට්‍යය හැසිරෙමින් සිටියේ ප්රවෘත්ති , විශේෂාංග හා අධ්‍යාපනික වැඩසටහන් සන්නිවේදනයට එපමණ අවකාශයක් ලබා නොදෙමිනි. ඒවායේ කාර්යභාරය අනෙකක්ය යන්න පැහැදිලිය. සාහිත්‍යයේ භූමිකාවද එසේම වූ වග නොරහසකි. ප්රවෘත්ති හා විශේෂාංග සමඟ අධ්‍යාපනික වැඩසටහන් ඉදිරිපත් කරමින් හැදී වැඩුණු ගුවන් විදුලියට වඩාත්ම සමීප වූයේ ප්රවෘත්ති පත්‍රයි.
ගුවන් විදුලියේ සරුසාරම අවධිය දැක ගත හැක්කේ රූපවාහිනී ආගමනයට පෙරාතුව යැයි එක් විටම පැවසිය හැකි නොවේ. රූපවාහිනිය පමණක් නොව අන්තර්ජාල සමාජ ජාලා හා වෙබ් අඩවි ඔස්සේ ප්රවෘත්ති, විශේෂාංග හා අධ්‍යාපනික වැඩසටහන් ගෙන එන වර්තමානයේදීත් ගුවන් විදුලිය ස්වකීය අනන්‍යතාව ආරක්ෂා කර ගනු වස් පෙනී සිටින අවස්ථා බොහෝය. ප්‍රවීණ හා ප්‍රතිභාසම්පන්න ගුවන් විදුලි සන්නිවේදකයෝ ගුවන් විදුලි අනන්‍යතාව වෙනුවෙන් අද දවසේදීත් බලවත් අසීරුතා මධ්‍යයේ හෝ පෙනී සිටිති.
පසුගියදා අනූ තුන්වන වියේදී සිය ජීවිතයෙන් සමුගත් ඇල්ෆ්‍රඩ් පෙරේරා හඳුනා ගැනෙන්නේ බෙහෙවින්ම ගුවන් විදුලියට බර තැබූ , එහි පරිවර්තන පිළිබඳ සවිඥානක නිර්මාපකයකු ලෙසිනි. විශේෂාංග නිර්මාණයට ගුවන් විදුලිය සතු සමත්කම් පිළිබඳ ගැඹුරු හා ප්‍රමාණවත් අවබෝධයකින් යුතු ඇල්ෆ්‍රඩ් පෙරේරා එහිලා තෝරා ගත් ශානරය ඔස්සේ දිගු ගමනක් පැමිණෙන්නේ තරමක් දුරට හෝ වර්තමාන ශ්රාවකයා අමතන වුවමනාවද සහිතවය. එහෙයින්ම ඔහුගේ අභාවය වර්තමාන ගුවන් විදුලි ශ්රාවකයා ද සසල කළ වග පෙනේ.
ඇල්ෆ්‍රඩ් පළමු වටයේදී ම තෝරා ගැනෙන්නේ හා ජනගත වනේ ගුවන් විදුලි හාස්‍යෝත්පාදක වැඩසටහන් නිර්මාණයට යි. ඔහු එබඳු වැඩසටහන් ගණනාවක්ම නිෂ්පාදනය කළේය. ඒවායේ පිටපත් රචනයටද එක්වූවේය. චරිත නිරූපණයද ඔහුට ආගන්තුක නොවීය. මෙහිලා ඔහු එක්තරා පුරෝගාමියකු වන වග රහසක් නොවේ. ඔහුට වුවමනා වූයේම ආනන්දයට මුල් තැනක් දෙමින් ප්‍රඥාව ද උචිත පරිදි කුළුගන්වන්නට ය. එනම් බාල හා නොගැඹුරු හාස්‍යය ඉස්මතු නොවන ආකාරයෙන් කටයුතු කිරීමය. සරල හාස්‍යය සමඟම මනුෂ්‍ය සම්බන්ධතා හා මනුෂ්‍ය හැගීම් පිළිබඳ අදහසක් ශ්‍රවකයා තුළ ජනිත කිරීමය. විචක්ෂණශීලී අතීතානුස්මරණයකදී මේ වග සනාථ කර ගැනීම අපහසු නොවේ.
විසි දෙහැවිරිදි වියෙදීයි ඇල්ෆ්‍රඩ් ගුවන් විදුලියට පා තබන්නේ. ඒ වසරක කාලයක් ඉංග්‍රීසි උප ගුරුවරයකු ලෙස හැඳල වැල්ල කතෝලික පාසලේ සේවය කිරීමෙන් අනතුරුවය. ගුවන් විදුලිය ඔහුගේ අනාගත ජීවිතය සනිටුහන් කෙරෙන කේන්ද්‍රස්ථානය වන්නට ඒ හැටි කාලයක් ගත නොවුණි. පළමුව සහන නිවේදකයකු ලෙස එවක ‘රේඩියෝ සිලෝන්’ ලෙස හැඳීන්වූ ගුවන් විදුලි සේවයට එක්වූ ඇල්ෆ්‍රඩ් සය වසරකට පමණ පසුව ගුවන් විදුලි තරුවක් බවට පත් වන්නේ අතිමහත් ශ්‍රාවක ප්‍රසාදය දිනා ගනිමිනි. ඒ සුප්‍රකට ‘විනෝද සමය’හාස්‍යෝත්පාදක වැඩසටහන නිෂ්පාදනය කරමිනි. එතෙක් ගුවන් විදුලි හාස්‍යෝත්පාදක වැසටහනක් ‘විහිළු තහළු’මැයෙන් නිෂ්පාදනය කළ තවත් ගුවන් විදුලි තරුවක් වූ එච්.ඩී. විජේදාසගේ අනපේක්ෂිත ඉවත්වීම ඇල්ෆ්‍රඩ් අනපේක්ෂිතව ලද වාසියක් විය.
ඇල්ෆ්රඩ්ගේ ‘විනෝද සමය’ වර්ෂ 1957 සිට වර්ෂ 1977 දක්වා මෙරට ගුවන් විදුලියේ ශ්‍රාවක ප්‍රසාදය ඉහළින්ම දිනා ගත් වැඩසටහනක්ය යන්න සත්‍යයකි. එවක ගුවන් විදුලි සේවයේ රාජපාක්ෂික භාවය පිළිබඳ කෙබඳු චෝදනා එල්ල වුවද ඇල්ෆ්‍රඩ් හා ‘විනෝද සමය’ ට එබඳු චෝදනා එල්ල වූ බවක් නොපෙනේ. ඇල්ෆ්‍රඩ් පෙරේරා වර්තමානයේදී හඳුනා ගැනෙන්නේද ‘විනෝද සමය’ සිහිපත් කරමිනි. ඔහු සමඟ ‘විනෝද සමය’ රස ගැන්වූ ඇනස්ලි ඩයස්, සැමුවෙල් රොද්‍රිගු , බර්ටි ගුණතිලක, ස්වර්ණ ශ්‍රී සරත්වීර , ධර්ම ශ්‍රී මුණසිංහ තව දුරටත් ඇගැයීමට ලක් වන්නේද ‘විනෝද සමය’ සමඟය. එවක ගුවන් විදුලියේ ප්‍රකට වැඩසටහන් ද්විත්වයක් වූ ‘මාසික රැඟුම’ හා කම්කරු පැය’ සඳහා ද ඇල්ෆ්‍රඩ් එක්වූයේ හාස්‍ය ප්රමුඛ කොට ගෙන යි.
කෙසේ නමුත් සිය ගුවන් විදුලි ජීවිතය හාස්‍ය රසය උත්පාදනයට පමණක් සීමා නොකළ ඇල්ෆ්‍රඩ් මතක හිටින කාර්යයන් ගණනාවකටම සම්බන්ධ වන්නේ ශ්‍රාවක ප්‍රතිචාර තවත් වටයකින් තහවුරු කර ගනිමිනි. ඉන් ඔහු මෙතෙක් ගොඩනගා ගෙන සිටි ප්‍රතිරූපයට නවාංග එක් කර ගන්නට සමත් වෙයි.
මේ අතර සුවිශේෂ වන අවස්ථා කිහිපයකි. පළමුවැන්න නීල් ආම්ස්ට්‍රෝන්ගේ සඳ තරණයේ අමරිකානු හඬ ගුවන්විදුලි ප්‍රචාරය සිංහල බසින් ගෙන ඒමය. මානව ඉතිහාසයේ යෝධ පියවරක් මෙසේ විශ්වසනීයත්වය සුරකිමින් සන්නිවේදනය කිරීමේ ඇති වගකීම් සහගත බව පිළිබඳ ඇල්ෆ්‍රඩ් තුළ වූ වැටහීම සුළු කොට තැකිය හැකි නොවේ. එසේම දෙවන එලිසබෙත් මහා රැජනගේ ලංකාගමනය පිළිබඳ ගුවන් විදුලි විස්තර කථනය සඳහාද ඇල්ෆ්‍රඩ්ට අවස්ථාව ලැබිණි. සයවන පාවුළු පාප් වහන්සේගේ ලංකාගමනය ලංකාවාසීනට ගෙන හැර පෑමට ගුවන් විදුලිය ඔස්සේ එක් වූයේද ඇල්ෆ්‍රඩ් ය.
ඇල්ෆ්රඩ්ගේ ගුවන් විදුලි ජීවිතයේ කඩඉමක් සලකුණු කරන්නේ පිලිපීනයේ මැනිලාහි සිට විකාශය කෙරුණු වෙරිටාස් ගුවන් විදුලි සේවයේ සිංහල අංශය භාරව කටයුතු කළ සමයයි. වසර ගණනාවක ඔහුගේ මේ කාර්යය නිමාවට පත්වන්නේ 1984 දීය. විදේශයන්හි සිට සිංහල,දමිළ හෝ ඉංග්‍රීසි මාධ්‍ය ඔස්සේ මෙරට ගුවන් විදුලි ශ්රාවකයා සෘජුව ම අමතන ගුවන් විදුලි සේවා සබුද්ධික සුළුතර ශ්‍රාවක කණ්ඩායම් විසින් පිළිගනු ලැබීමේ වාසිය නිරන්තරව අත්පත් කරගත් සන්නිවේදකයන් අතරට ඇල්ෆ්‍රඩ් පැමිණෙන්නේ වෙරිටාස් නිසාවෙනි. වෙරිටාස් සිංහල සේවය බී.බී. සී., මොස්කව් හා චීන ගුවන් විදුලි සිංහල සේවා තරමටම උක්ත ශ්‍රාවක කණ්ඩායම් පිළිගත්තේ සැබැවින්ම විශ්වසනීයත්වය, නිරවද්‍යතාව හා කාර්යක්ෂමතාව යන සාධක පෙරටු කොට ගෙනය.
සිනමාව හා රූපවාහිනියද ඇල්ෆ්රඩ්ගේ සමත්කම් වෙතින් පෝෂණය වූ වාර ගණනාවකි. සිනමාපට දා හතරකට පමණ ඔහු රංගන ශිල්පියකු සේ එක්වන්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාරද දිනා ගනිමිනි. මේ අතර සිංහල සේම දමිළ හා ඉංග්‍රීසි සිනමාපටද තිබිණි. වර්ෂ 1966 දී මුල් වරට ප්‍රදර්ශිත ‘සඳ නැග එද්දී’ ඇල්ෆ්‍රඩ් සිනමාවට එක්වූ පළමු අවස්ථාවයි. අනතුරුව ‘ලයට ලය’, ‘අබුද්දස කාලේ’, ‘ඉඳුනිල ’, ‘ලක්සෙට කොඩිය’, ‘ මරුවා සමඟ වාසේ’ , ‘ගැහැනියක්’ , ‘සඳමඬල’, ‘මධුරි’, ‘රාගිනි’, ‘ජැක් ඇන්ඩ් ජිල්’ හා ‘නුඹ නාඩන් අපට පිස්සු’ යන සිනමාපට ඔහුගේ සිනමා සහභාගීත්වයෙන් රසවත් වූ බව සිහිකටයුතු ය. මේ අතරින් ඉඳුනිල’ හා ‘රාගිනි’ හිදී ඔහු නිරූපණය කළේ හාස්‍ය රසය ගෙන නොඑන චරිතය. ‘ටිල් ඩෙත් ඩූ අස් පාර්ට්’ යන ලාංකේය ඉංග්‍රීසි භාෂිත සිනමාපටය යි ‘රාගිනි’ ලෙස සිංහල භාෂිතව ඉදිරිපත් කළේ . ඔහුගේ රංගනයෙන් ඔපවත් වූ ‘ඉවලුම් ඔරු පෙන්’ , දමිළ දෙබස් සහිත ව ඉදිරිපත් කළ ‘ගැහැනියක් ‘ සිනමාපටයයි.
පසු කලෙක ටෙලි නාටක රංගනයේදී ඇල්ෆ්‍රඩ් ලද ප්‍රේක්ෂක ප්‍රසාදය ඔහුගේ ගුවන් විදුලි ශ්‍රාවක ප්‍රසාදය තරමටම පුළුල් වූ බව කිව යුතු ය. අතිශය ජනාදරප්‍රාප්ත ටෙලි නාටකයක් වූ ‘අසල් වැසියෝ 2’ මෙයට දිය හැකි හොඳම උදාහරණයයි. ‘කන්දේ ගෙදර’ ද ඔහු රංගනයෙන් දායක වූ ප්‍රකට ටෙලි නාටකයකි.
ජනමාධ්‍ය ක්ෂේත්රයේ වගකිවයුතු තනතුරු ගණනාවක්ම දරන්නට ඇල්ෆ්‍රඩ් වෙත අවස්ථාව ලැබිණි. ඔහුගේ ද්වි භාෂික දැනුමත්, විශේෂයෙන්ම ගුවන් විදුලියේ විශිෂ්ටයකු වීමත් මෙයට හේතු වන්නට ඇත. කලක් ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේද හා ප්‍රතිපත්ති සැලසුම් සම්පාදන හා ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ හා දිළිඳු සහන දෙපාර්තමේන්තුවේද භාෂා පරිවර්තකයකු ලෙස සේවය කළේය. එසේම ජාතික රූපවාහිනියේ ප්රවෘත්ති සංස්කාරකවරයකු ලෙස කටයුතු කිරීමේ අවස්ථාවද ඔහුට ලැබිණි. පළාත් සභා හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර (ප්රචාරක) ලේකම්වරයකු ලෙසද ඔහු සේවය කළේය.
ඇල්ෆ්‍රඩ් ජීවිතයෙන් සමුගන්නේ ජීවිතය හොඳ හැටි වින්දනය කළ අයකු විලසිනි. තමා බෙහෙවින් ආදරය කළ ගුවන් විදුලියේ පෙරට ඒම් හා පසුබෑම් දෙස දෙස ඔහු උපේක්ෂා සහගතව බලා සිටින්නට ඇත. අතීතයට සාපේක්ෂව වර්තමානය පිරිහී ඇත්තේ ය යන සම්මත ආකල්පය ඔහුට පීඩාවක් ගෙන නොදුන්නේ යැයි සිතේ. එනමුදු ඔහු කිසිසේත්ම කම්පා නොවූවා විය යුතුය. මන්ද තමා කළ කාර්යභාරය පිළිබඳ නිවැරදි තක්සේරුවක් ඔහු සතුව තිබු හෙයිනි.