ගෙදර ඉන්න දාට තාත්තා අපට කරාටේ පුහුණු කළා

සේනාධීර රූපසිංහ දියණිය නිලූකා සේනාධීර කියයි
නොවැම්බර් 24, 2022

 

(අපේ තාත්තා අදත් උන්නානම් කියල දහස්වර හිතෙනවා.)

දඩබ්බර ගති ඇති තරුණයකු හෝ මංකොල්ලකරුවකු හෝ අන්තර්ජාතික හොරෙක් රිදී තිරයේ දැකගන්නට ලැබුණේ වී නම් ඒ ඔහුමය.

එදා හෙළ සිනමා රිදී තිරය මත තේජාන්විත චරිත රඟ පෑ නිහතමානී මිනිසා වුයේ ද ඔහුමය. ඔහුගේ අපුර්වතම දෙබස් උච්චාරණය තවමත් ප්‍රේකෂකයාට අමතක ව නැති තරම්. ඔහුගේ ජන්මයෙන් ලද කතා විලාසය ද සැබැවින් ම අපුරුය.

පේ‍්‍රක්ෂකයාට අමතකව නොයන චරිතයක් බවට ම පත් වූ ගාමිණි ෆොන්සේකා සමඟින් කරට කර රඟපෑ හෙතෙම අන් කිසිවකු නොව සේනාධීර රූපසිංහ නම් අනර්ඝ රූපණවේදියා ය.

ඔහුගේ ආදරණීය බිරිඳ වුයේ විමලා මංගලිකා මහත්මියය. පුතුන් තිදෙනෙකුගේ ද දියණියන් දෙදෙනෙකුගේ ද ආදරණීය පියකු වූ අද අපේ කතාවේ රූපණවේදී සුන්දර කතා නායකයා පිළිබඳව සරසවිය සමඟ ආදරණීය පිළිසඳරට එක්වුයේ සේනාධීර රූපසිංහයන්ගේ දෙවන දියණිය වන්නිආරච්චිලාගේ නිලූකා සේනාධීර මහත්මියය.

ඕ දිගු කලෙක සිට පදිංචිව සිටින්නේ අමෙරිකාවේය. වීඩියෝ තාක්ෂණය ඔස්සේ අප හා එක් වූ නිලුකා සේනාධීර මහත්මිය යටගියාව ආවර්ජනය කරමින් සිය කටහඬ අවදි කළාය.

‘තාත්තා ෂූටිං ගිහින් ඉස්සර සති, මාස ගණන් ගෙදර නැහැ. ඒව ඉවර කරල ගෙදරට එන්නෙත් මහ රෑට. නැතිනම් මහපාන්දරින් ඉතිං අපි හරිම පොඩියිනේ. අපි පස්දෙනාම හොඳ සුව නින්දෙ. අපේ තාත්තා ගෙදරට පය තිබ්බ ගමන් අපි ඉන්න කාමරයට ඇවිදින් ඔන්න අපි ඔක්කෝම ඇහැරවනවා. අපට ඕනෙ නිදාගන්නයි. ඒත් අපේ තාත්තා වදෙන් පොරෙන් අපිව ඇහැරවලා ඇඳේ එක පේළියට අපි පස්දෙනාව වාඩි කරවනවා.

ඔන්න ඉතින් එයා අපට ගෙනාපු කෑම එයාගෙ අතින්ම අපි පස්දෙනාටම කවනවා. මට තාමත් මතකයි අපි හොඳටෝම නිදිමතේ. මේං මේක මයෙ දුවට. මේං මේ කට මයෙ පුතාට කිය කිය තාත්තා එයාගේ අතින්ම අපට කවනවා.’

ඇයගේ මුවෙහි රැඳුණු සිනහව අතුරුදන් වී මුහුණුවර මලානික වන අයුරු පෙනෙයි. ඈ නෙත කඳුළින් පිරෙයි.

‘අපේ තාත්තා අපට අද නැහැනේ.’ ඕ බිඳුණු හඬින් සෙමින් කියන්නීය. නිහඬවම පසු වූ ඈ යළි කතා කරන්නට වුවාය.

“අපේ තාත්තා චිත්‍රපට වල දුෂ්ට චරිත, දාමරික චරිත, දරුණු චරිත රඟපෑවට අනේ ඇත්තටම අපේ තාත්තා හරිම කරුණාවන්තයි. තාත්තාට යාළුවෝ නම් මදි නොකියන්න හිටියා. හිතවත්කමට තමන්ගේ පණවුනත් දෙන කෙනෙක් අපේ තාත්තා. හරිම මිත්‍රශිලියි කවුරුහරි තාත්තාගෙන් මොනවා හරි ඉල්ලුවොත් ගෙදර තියෙන දේ හරි දෙනවා. නිලුකා බර කල්පනාවකට මැදිවන්නීය. ඕ වරෙක තනිවම සිනාසෙන්නීය. යළි දෑස පිසදා ගන්නීය. යළි මා හා කතාවට එළැඹෙන්නීය.

‘අපේ තාත්තා හරිම විනෝදකාමියි. ඒ විමෝදකාමී චරිතයට අපි හරිම ආසයි. තාත්තා ගෙදර ඉන්න කොට අපටත් හරිම සතුටුයි. හැබැයි ගෙදර ඉන්න කොට තාත්තා කරන්නේ අපට කරාටේ ක්‍රීඩාව පුහුණු කරවන එකමයි.

ඕ තම දෑත් රිද්මයකට පා කරවයි. කුඩා දැරියක සේ සිනාසෙයි. දෑස් උඩ යවමින් මොනවාදෝ සිතයි.

‘අත් යවන්නේ මෙහෙමයි. පාද මාරු කරන්නේ මෙහෙමයි. පස්සට හැරෙන්නෙ මෙහෙමයි. ආපසු පහර දෙන්නේ මෙහෙමයි. පහරක් වළකන්නේ මෙහෙමයි’ ඕ උස් හඬින් සිනාසී ඒ වෙද්දී මමත් හරිම පොඩී නේ...’

‘අපේ තාත්තා අදත් අපිත් එක්ක උන්නා නම්’ අපි පිළිසඳරේදී මතකය අලුත් කරවන වාරයක් වාරයක් පාසා ම ඈ එලෙස කියන්නීය.

‘අපේ අම්මාගෙ පැත්තෙ අයට තාත්තා ගොඩාක් ලැදිව උන්නා. ගොඩාක් උදව් උපකාරත් කරනවා. මට තාමත් මතකයි. අපේ තාත්තා අපි ඔක්කෝම එක්ක නෑදෑ ගෙවල් වලට යනවා. එහෙම ගියාම ගේ ඇතුළෙ පුටුවක වාඩිවෙලා ඉන්නේ හරිම අහම්බෙන් වැඩිපුරම ඉන්න කැමති ගස් සෙවණක පැදුරක් එලාගෙන වාඩිවෙලා අපේ තාත්තා සොබාදහමට ගොඩක්ම ආදරය කළා.’

‘චිත්‍රපටවල අපේ තාත්තා ඔය දුෂ්ට චරිත රඟපෑවට තාත්තා ළඟ තිබුණේ පුදුම නිහතමානීකමක් අපේ තාත්තා මධුවිතට, දුම්වැටියට බොහොමයක් ම කිට්ටු වෙලා හිටිය බව නම් ඇත්ත. හවසට ටිකක් තොල ගා ගන්නවා. කවදාවත් අපේ තාත්තා බීලා වෙරි වෙලා උන්නු දවසක් නම් අපි දැකලාම නැහැ.’

‘හින්දි සින්දු අහන්න හරිම ආසායි හැබැයි අපේ තාත්තාට සින්දු කියන්න නම් බැහැ අපට කතා කරල එයාගෙ ළඟට අරන් අපට කියනව සින්දු කියන්න කියලා. අනේ අපේ තාත්තා අපට හරියට ආදරය කළා.’

වරෙක දෑසෙ නැඟි කඳුළු ඕ අත්ලෙන් පිසලා ගන්නීය. එක එල්ලේ මදෙස බලා හිඳින්නීය. තව වරෙක බිම බලාගත්වනම පසුවන්නීය.

‘අනේ, මට මතකයි ඒ කාලෙ සිනමාවේ නළු නිළියෝ නිතර අපේ ගෙදරට එනවා. තාත්තා එක්ක අපි එක්කත් එයාලා කතා කර කර ඉන්නවා. මට මතකයි ඒ කාලෙ නිතර ඇහුණ කතාවක් තමයි ගාමිණි ෆොන්සේකා මහත්මයා බාර නොගන්න චිත්‍රපට එතුමා අපේ තාත්තාට දෙනවා. ගාමිණි මහත්තයා එක්ක කරට කර රඟපාන්න දක්ෂ අපේ තාත්තයි කියල ඒ කාලෙ පත්තරවලත් තිබුණා මතකයි. ඒ විතරක් නොවෙයි අපේ තාත්තා පොත්පත් කියවන්න ආසා කළා. ලියන්නත් දක්ෂකමක් තිබුණා. ඒ දවස්වල අපේ තාත්තා චිත්‍රපට කතා ලියනවා. ඒ වෙලාවට තාත්තා ඉන්නේ තාත්තාගේම ලෝකෙක කිසිම කතාබහක් නැහැ. දුම්වැටිය අතේමයි. එහාට යනවා. මෙහාට යනවා. ටිකක් නවතිනවා. ලියනවා. හැබැයි ඇවිද ඇවිද තමා ලියන්නේ.’

දඩබ්බර චරිත රඟපාපු නිසා හැමෝම හිතා උන්නෙ අපේ තාත්තා හරිම නපුරු සැර කෙනෙක් කියලානෙ. අනේ තාත්තාට තිබුණේ හරිම සෞම්‍ය හිතක්. මට වෙලාවකට හිතෙනවා තාත්තා මීවිතට මෙතරම් ලොල් වුණේ ඇයි කියලත්.

‘අනේ මෙහෙම හරි අපේ තාත්තා ගැන කතා කරද්දි හිතට පුදුම සතුටක් දැනෙන්නේ ඒ වගේම හරිම දුකක් හිතට එදාට වඩා කියන්න බැරි තරම් අගයක් අපේ තාත්තා ගැන අද දැනෙනවා. අනේ අදත් උන්නානම් කියලා.

‘මුලින්ම අපේ තාත්තා රඟපෑවේ දුෂ්ට චරිතමයි පස්සේ පස්සේ දැන් මතකද? චිත්‍රපටවල වගේ එහෙම රඟපෑවේ නැහැ. තාත්තා හැමදේම කතා කරන්නේ අම්මා එක්කල. මට වයස අවුරුදු පහේදි තාත්තා චිත්‍රපටයකට මාව රඟපාන්න දැම්මා. ඇන්තනී සී. අන්කල් එක්ක.’

‘උදේට තාත්තා ව්‍යායාම කරනවා. රංජනී පෙරේරා මහත්මිය උන්නේ අපේ ගේ කිට්ටුව. මගේ මුල්ම නැටුම් ගුරුවරියක් එතුමියයි. මට තාමත් මතකයි. මං බොරුවක් කියල සත 50ක් තාත්තාගෙන් ඉල්ල ගත්තා. නාට්‍යයක් බලන්න කියලා කිව්වට රංජනි ඇන්ටි කියලා තියෙනවා නැහැ එහෙම නාට්ටියක් ඉස්කෝලෙ නැහැ කියලා. අනේ තාත්තා මට ගැහුවේ නැහැ. අපට හරියට ආදරෙයිනේ. ඇයි බොරු කිව්වෙ කවදාවත් බොරුවක් කියන්න එපා. මගේ දුවේ කියල එදා මගේ තාත්තා මට කියපු හැටි අද වගේ මතකයි.

ඈ මුහුණ විඩාපත්ව සේ මැළ වී ගොසිනි.

‘හරිම දුකයි. එදාටත් වඩා අදයි ඒ ආදරය දැනෙන්නේ.’

‘කුරක්කන් පිටිවලින් කෑම හදල කන්න තාත්තා හරිම ආසයි. අම්මත් තාත්තා කැමති කෑම හදලා දෙනවා. මගෙ නම කැතවෙන විදිහට නම් මුකුත්ම කරන්න එපා කියලා තාත්තා නිතරම කිව්ව කතාවක්. නෑයන්ටත් එහෙමම කිව්වා.

අපිව විමෝද කරවන්න මුහුදු වෙරළට ආචිච් අම්මගෙ ගෙදරට නෑයින්ගේ ගෙවල් වලට චිත්‍රපට මුහුරත් උත්සවවලට තාත්තා අපිව එක්කන් යනවා. තාත්තා එක්ක සෙනඟ ඉන්න තැන්වලට යන්න බැහැ. මිනිස්සු තාත්තාව වටකර ගන්නවා. බදා ගන්නවා සමරු පොත්වලට අත්සන් ගන්නවා.

නිලුකාගේ මුහුණ ප්‍රභාෂ්වර වෙයි. මුවඟ සිනාවෙන් ඔපවෙයි. දෑස් විශාල කරයි. යළි සිනාසෙයි.

‘අපේ අම්මයි තාත්තයි හමුවෙලා තියෙන්නේ සීගිරි කාශ්‍යප චිත්‍රපටයේදී. ශේෂා පලිහක්කාර මහත්තයගෙන් අපේ අම්මා නැටුම් පුහුණු වුණා. ඇත්තටම ඔව්. සේනාධීර රූපසිංහ මගේ තාත්තා නේද කියලා මටත් අපි හැමෝමටත් ලොකු ආඩම්බරයක් තියෙනවා. අපිව දහම් පාසල් යවද්දී එය තාත්තා අපට අනිවාර්ය කරල තිබුණා.

‘මගේ සහෝදර සහෝදරියන් පවා අදටත් තාත්තා ගැන හිතනවා. ලොකු අයියා ඉන්නේ ජපානයේ. එයා විවාහකයි. එයා පි‍්‍රයන්ත දෙවැනි මමයි. ඉන් පස්සේ චමින්ද මල්ලි මංජුල මල්ලි බාලම තමාරා නංගි.’

ආයෙත් ඒ වගේ ලස්සන කාලයක් එන්නේ නැහැ. තාත්තා උපන්නේ 1937 සැප්තැම්බර් මාසේ 15 වැනිදා අපේ තාත්තා අපව තනිකර දාලා යනකොට මට වයස අවුරුදු 11යිනෙ. තාත්තා යන්නම ගියේ 1979 ජුලි මාසෙ 11වනදා. තාත්තා ටික ටික අසනීප වෙන්න පටන් ගත්තා. දියවැඩියාව, වකුගඩු අමාරු තිබුණා. තාත්තාට තාත්තාගේ ජීවිතය ගැන අවදානම් හැඟීමක් තියෙන්න ඇති. එක දවසක් චමින්ද මල්ලිට තාත්තා කියලා තියෙනවා. පුතා මට හදිසියේ යමක් වුණොත් ඔයා අපේ මුළු පවුලම බලා ගන්ඩ ඕනා කියලා. තාත්තටම මොනව හරි හිතෙන්න ඇති. ඈ දෙකොපුල් තල රූරා කඳුළු වැටෙයි. බොහෝ වේලාවක් යනතුරුම නිහඬවම පසු වූ ඕ තොමෝ දෑතින් මුහුණ වසාගෙන හඬන්නට වුවාය. මම නිහඬවම පසුවෙමි.

‘අපේ තාත්තා එකපාරටම ලේ වමනය දැම්මා. දරුවන්ව වාට්ටුව එක්ක එන්න එපාය කියල අම්මාට කියලා තිබුණා. දරුවෝ දුක්වෙයි බයවෙයි කියලා. අනේ දෙයියනේ අපේ රත්තරන් තාත්තා නැතිවෙනකොට මට වයස මට අවුරුදු 11යි.

අපේ තාත්තා ට මිනිස්සු කෙතරම් ආදරය කළාද කියලා අපට දැනුණේ තාත්තා නැතිවුණ දවසේ. ඒ ආඩම්බරය අදටත් අප පස්දෙනාගෙම හිතේ තියෙනවා. එදා අපේ තාත්තා අපව තනිකරල ගියාට පස්සේ අම්මා එක්ක අපි තනිවුණා.’

තාත්තා ගැන විතරක් නෙවෙයි එදා උන්න අනිත් අය ගැනත් හුඟාක් අයට අමතක වෙන්නම ඇරලද කොහෙද කවුරුවත්ම කතා කරන්නේ නැහැනෙ. ඒත් සරසවිය පත්තරයට පැසසුම් පුද කරනවා. මේ කරන උතුම් සත්කාරයට හදවතින්ම ස්තූති කරනවා.’ යැයි ද නිලුකා මහත්මිය එතුවක් කඳුළු පිරි දෑස සඟවා සිනා පිරි මුවින් තිර හඬකින් කීවාය.

 

[email protected]