තාත්තා තවමත් මා ළඟ ඉන්නවා

සෝමසිරි නයනාංජලි දෙහිපිටිය කියයි
නොවැම්බර් 17, 2022

 

“එංගලන්තයේ පදිංචියට යන්න පාස්පොර්ට් එකත් කඩිමුඩියෙම හදාගත්තු අපේ තාත්තා ඒ ගමනටම කියල මහගත්තු ටයිකෝට් ඇඳුම තාත්තාගේ අන්තිම ගමනට අන්දවන්න සිද්ධ වුණේ, කොහොමද කියල අදටත් මට හිතාගන්න බැහැ දෙයියනේ.”

ඕ සුසුමක් හෙළා ලය සැහැල්ලු කරගන්නට වෑයම් කරන්නීය.

ස්වකීය අනන්‍ය වූ රංගන ප්‍රතිභාවෙන්, සිනමාවට පෙම් බැඳි රසික හද ඇද බැඳ තබාගන්නට තරම් සමත් වූ ඔහු විවිධ චරිත නිරූපණයෙන් චරිතාංග රූපණවේදියකු ලෙසින් නමක් දිනා ගත්තේය.

පළමුව අකුරට අතපොත් තැබූ පිළියන්දල වැවල ප්‍ර‍්‍රාථමික විද්‍යාලයේ අනතුරුව ගනේමුල්ල ගලහිටියාව මහා විද්‍යාලයේ කීර්තිමත් සිසුවකු වූ හේ එහි වේදිකා නාට්‍ය රංගනයෙන් සිය කුසලතාව මනාව පෙන්නුම් කරමින් පසුව සිනමා නළුවකු ලෙසින් වසර 15ක් පුරා තම නිසඟ ප්‍රතිභාව විදහා දැක්වුයේය.

හැමදෙනාගේම මුවඟ ආදරණීය ඇමතුම වුයේ ‘සෝමේ’ය. සෝමේ හෙවත් ප්‍රතිභාපූර්ණ සිනමා රංගවේදී සෝමසිරි දෙහිපිටිය මහතාගේ ජීවිතයට එබී බලන්නට ගිය ගමනේ දී සරසවිය වෙනුවෙන් යටගියාව ආවර්ජනය කරමින් එහෙත් බිඳුණු ස්වරයෙන් එසේ කියන්නට වූයේ එතුමාගේ ආදරණීය එකම දියණිය භරත නාට්‍යම් නර්තන ශිල්පිනියක වන නයනාංජලී දෙහිපිටිය මහත්මිය ය.

ඈ දෑසින් වැටුණු කඳුළක් ඈ පිට අත්ල මත වැටිණි. ඕ බිම බලාගෙනම සිට යමක් මතක් වුවක් මෙන් දෑස් මහත් කර මදෙස බැලුවාය.

‘අපේ තාත්තා තවමත් අපත් එක්ක ඉන්නවා කියල මට හොඳටෝම විශ්වාසයි. (ඈ දෙතොල මඳ සිනාවකින් පිරිණි.) අපි අපේ ගෙපැල කපන්න යොදාගෙන තිබුණා. ඉතින්, ගෙපැල කපන කටයුත්ත තිබුණු දවසට කලින් දවසේදී රෑ මට තාත්තාව සිහිනෙන් පෙනුණා.

අනේ අපේ තාත්තා ගෙපැල කපන තැන අපි එක්කලාම එකතුව උන්නා. සුදෝ සුදු ඇඳුමක් ඇඳල උන්නේ. කට පුරාම හිනාවකින් මං ළඟටම ආපු තාත්තා මගෙ පිටට දෙවරක් තට්ටු කරල හිස දෙපැත්තට සොලවා හොඳට හිනා පිරුණු කටින් මා දිහා බලා ඉඳලා එකපාරටම අතුරුදන් වුණා මට එක පාරටම ඇහැරුණා. ගෙපැල කපන වැඩේ හොඳින් කරගන්න. මට සතුටුයි දුවේ කියල වගේ මගේ පිටට තට්ටු කළ විදිය මතක් වෙද්දි මේ දැනුත් මට හිතෙන්නේ.’

‘ඈ යළි කල්පනාවක මෙනි, අපේ සොඳුරුතම කතානායක සෝමසිරි දෙහිිපිටිය රූපණවේදියා විවාහ වූයේ රංගනයට ද කුසලතා පිරි නර්තනාචාරිණියක වන රූපා රණසිංහ මෙනවිය සමඟය. එවකට මහාමාර්ග දෙපාර්තමේන්තුවේ ගබඩා පාලකවරයකු වූ එතුමාට දාව උපන් පුතණුවන් දමිත් සිරිලාල් දෙහිපිටිය මහතා බදුල්ල සම්පත් බැංකුවේ ප්‍රාදේශීය කළමනාකාරවරයාය.

තම පියා රැකියාවත් රංගනයත් සමබරව කරගෙන ගියේ කෙසේ දැයි ඇයට විමතියකි. ඒද ඇත්තකි.

“අනේ අපේ තාත්තා හරිම සංවේදියි. ගෙදර ඉන්න වෙලාවට අපි කවුරුහරි හයියෙන් කතා කරනවා නම් ඒකට තාත්තා අකමැතියි. එයා හරිම නිහඬ මනුස්සයෙක්. ඉතින් අපේ තාත්තා ඔය අවුරුදු 15ට චිත්‍රපට 60කට ආසන්නව විවිධ චරිත රඟපෑවානෙ.

‘එදා මං පොඩියිනේ. අයියට ගොඩක් ආදරෙයි කියල මට හිතුණෙ. මටත් ආදරෙයි ඉතින් තාත්ගේ යාළුවන්ගෙන් ගෙදර අඩුවක් නැහැ. නාමෙල් වීරමුනි, පතිරාජ එල්. එස්. දයානන්ද, සමන් අතාවුදහෙට්ටි, වසන්ත ඔබේසේකර, පියසේන අහංගම, විමල් කුමාර ද කොස්තා. සිරිල් වික්‍රමගේ මේ හැමෝම නිතර අපේ දිහා එනවා යනවා. පතිරාජ අන්කල් පවුලේම කෙනෙක් වගේ’

ඉතින් ඒ දවස්වල හවසට මිදුලේ ගහක් යට කට්ටයම එකතු වෙලා මීවිත තොලගානවා. මං කිව්වනෙ අපේ තාත්තා විනෝදකාමී හරිම සරල කෙනෙක් කියලා. ඉතින් ඒ වෙලාවට සින්දු කියනවා. විනෝද වෙනවා. මගේ අම්මා දැන් වියපත්. ඊයේ පෙරේදත් අම්ම මට කීව තාත්තාගේ කන - බොන විනෝද වෙන කිසිම දෙයකට කොහොමවත් බාධා කළේ නැහැ කියලා.

හෙතෙම පොතපතට පත්තරයට ආදරය කළේ ද තම දරුවනට මෙනි. ඔහුගේ පුස්තකාලයේ සමාජ, දේශපාලනික සේම, බෞද්ධ දර්ශනය පිළිබඳ පොත්පත් ද විය. ඉඩ ලද හැමවිටකදීම පොතෙහි ඇලුණු එතුමා තමන්ගේය කියා තනවා ගත් පුංචි ලියන මේසයේ ලියවිල්ලෙහි හපනකු වුයේය. සිංහල බස සේම ඉංගී‍්‍රසි බස පිළිබඳව ද විශිෂ්ට දැනුමකින් හෙබි අපේ සොඳුරු කතානායකයා බුදු දහම පිළිබඳව ජනපි‍්‍රය සංකල්පනා තුළ සිර නොවී සිටි බව ද ඕ සිනාසෙමින් කියන්නීය.

‘කවදාවත් තාත්තා පන්සලකට ගිහින් නෑ. අල්ලපු වත්තේ පන්සල. ඒත් බුදුදහම ගැන තර්ක විතර්ක ඥනයෙන් ඉහළයි. පවක් කියල දෙයක් අපේ තාත්තා කළෙත් නැහැනේ.

‘අනුන්ට උදව් කරන පුරුද්ද නම් ජීවිතය පුරාම තිබුණා. විජය මහත්තය නිතර අපේ ගෙදර ආවා. විජය මහත්තයා බැඳපු දවසේ තමන්ගේ සහෝදරයෙක් ගේ මඟුලක් වගේ දවස් ගණන් ගිහින් උදව් කළා.

‘මට දැනුයි මතක් වෙන්නේ අපේ තාත්තා ගලහිටියාව ඉස්කෝලේ හැමදේමට ඉදිරිපත් වුණානේ. දවසක් ඩී.ඇස් සේනානානයක මහත්තයා පාසලට ආපු වෙලාවෙ අපේ තාත්තා එතුමාට කියාපු විරිඳු පන්තියක් අහල වෙනම ප්‍රශංසා කරල තියෙනවා. තාත්තාට ඒ වගේම ක්‍රිකට් ලෝලීයෙක්. නොම්මර එකේ බොක්සිං ශූරයෙක්. පදක්කම් පවා දිනල තියෙනවා. ඒත් කිිසිම දවසක මනුස්සයකුට කරුණාව, ආදරය, මනුස්සකම ඉහළින්ම දුන්න මිසක් අතක් උස්සල නැහැ. කවදාවත් එයාට කේන්ති යන්නේ නැහැ. ඒ බව සුමිත්‍රා පීරිස් මහත්මියත් අපට කියල තියෙනවා.

නයනාජංලී මහත්මිය නිහඬවම පසුවෙයි. සිය ආදරණීය පියාණන් පිළිබඳ ආදරණීය සිහිවටනයන් අතර ඕ මනසින් රැඳී පසුවෙනු නිසැකමය. ඈ දෑස නැඟි කඳුළක් ද මට මනාව දිස්වෙයි.

‘මගේ අයියා දමිත් සිරිලාල් ඉගෙන ගත්තේ ආනන්ද විද්‍යාලයනේ. මම ඉගෙන ගත්තේ පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ. මාසයක් ෂුටිංවලට ගිහිල්ල හිටියත් අම්මගෙයි අයියගෙයි මගෙයි සුව දුක් අහන්න නම් තාත්තා අමතක කළේම නෑ.

මගේ වයස අවුරුදු අටේ උපන්දිනයට තාත්තා කිලෝ හතක කේක් එකක් ලස්සනට කෑලි කපල පාසලට එවල තිබුණා. හැමෝම එක්ක මගේ උපන් දිනය සමරන්නන කියලා.’

ඈ කඳුළු සලන්නීය. මම නිහඬවම පසුවෙමි.

‘තාත්තා ගැන මතක් කර කර මෙහෙම කතා කරන එකත් හිතට ලොකු සැනසිල්ලක්’ යි කියමින් පිට අත්ලෙන් ඕ කඳුළු පිසදා ගන්නට වුවාය.

එක්වරම ඈ සිනා පහළ කළාය.

‘දන්නවද සිද්ධ වුණ දෙයක්. තාත්තා ගෙදර ඉන්න දවස්වලට තියෙන පත්තර ඔක්කෝම කොලයක ලියලා දන්න කෙනෙක් අත උදෙන්ම ටවුමට යවනවා. ඒ පත්තර නම් ලැයිස්තුවේ අන්තිමට ලියා තිබුණේ සුකිරි, මී පැණි දෙකත් ගේන්න කියලයි.

ඉතින්, මේ මනුස්සයා ටවුමෙන් පත්තර ටික ගෙනැත් තාත්තාට දීල කිව්ව අනේ මහත්තයා, ලියපු පත්තර ටික නම් අරන් ආවා. පහළින් ලියා තිබ්ච්ච සුකිරි, මී පැණි ගන්න බේත් කඩේ තාම වහලනේ කියලා.’

තාත්තාට හොඳටම හිනා. ඒ කාලේ ළමයින්ට බලන්න තිබුණු ළමා පත්තර දෙකක් තමයි සුකිරි, මී පැණි ඒ පොඩි ළමා පත්තර අපට කියවන්නයි එදා ඒ කතාවට තාත්තා හිනාවුණ හැටි මට දැනුත් මැවී මැවී පේනවා.’

මේ අතරේ දී ඇයගේ සැමියා සජීව බඹරැන්දගේ මහතා මා සමීපයට විත් සිනාවකින් සංග්‍රහකොට ඉවතට ගියේය. ‘අපේ තාත්තා ආයෙත් එනව නම්’ යි ඕ තමාටම කියාගත්තාය.

‘මගේ තාත්තා බේබද්දෙක් කියලා මං කවදාවත් හිතල නැහැ. හැබැයි මී විතට... දුම්වැටියට ගොඩක් ළංවුණා නේද කියල මට දැන් හිතෙනවා. ගාමිණි ෆොන්සේකා මහත්තයාගේ ගෙදර තාත්තා නිතරම යනවා. ගාමිණි මහත්තයා අන් අයට වගේ නෙවි අපේ තාත්තාට ලොකු ගෞරවයක් දැක් වූ බව හැමෝම අපට කියල තියෙනවා. තාත්තගේ සුරාපනය ගැනත් එතුමා නිතර තදින්ම අවවාද කරලත් තියෙනවා.

‘අපේ තාත්තා වැඩ කරපු තැනින් මොකක්දෝ ප්‍රශ්නයකට තාත්තාව සේවයෙන් පහකරල තියෙනවා. අපට ඒ ගැන හුම් කීවෙත් නැහැ. උදෙන් වැඩට යන වෙලාවට ගෙදරින් යනවා. හවස වැඩ ඇරී එන වෙලාවටම ගෙදර එනවා. පස්සේ තමා අපි කතාව දැනගත්තේ. තාත්තටයි එයාගේ යාළුවන්ටයි තිබුණු විනෝද තැන තමයි බ්ලු ෆීල්ඩ් ක්ල්බ් එක. ඒ දවස්වල කාලය ගත කරල තියෙන්නේ. එතැන සමන් අතාවුදහෙට්ටි තමයි මේ කතාව අපට කිව්වේ. පස්සේ නඩුවෙන් දිනල අපේ තාත්තාට ආපහු රස්සාව ලැබුණා.’

ඇයගේ මුවෙහි නැඟි සිනහව එහෙමමය. පෙර තිබු මුහුණෙහි අඳුරු වලාවෝ ඇයගෙන් ඈතටම ගොසිණි.

‘දන්නවද අපේ තාත්තා ගුවන් විදුලියේ විශිෂ්ට ශ්‍රේණියේ බටනළා වාදකයෙක්. ගෙදර බටනළා මහ ගොඩක් තිබුණා. ගෙදර විවේකයේදි ඉතිං පැත්තකට වෙල බටනළාව වයන අපුරුව!

(යමක් මතක් වුවාක් මෙන් ඕ තවත් සිනාවුවාය.)

‘බටනළාවක් අතට ගත්තාම ඒක සිය වාරයක් විතර අතට හරව හරවා බලනවා. සෝදිසි කරනවා. මොකද දන්නවද දවසක් අපේ තාත්තා බටනළාව පිඹ පිඹ තැනින් පත්තෑයෙක් මතුවෙලා.”

ඇය සතුටින් සිනාසෙන්නීය.

‘ඒ වගේමයි අපේ තාත්තා අම්ම එක්ක තිබුණු සමගිය කවදාවත් අම්මගෙ හිත රිදවන වචනයක්වත් කියල නෑ කියල අම්මා අදත් කියනවා. ඩබ්ලිව්. ජයසිරි අන්කල් අපේ ගෙදරට එනකොට මං බයේ හැංගෙනවා. අපේ අයියා ගිහින් තාත්තා යාළුවන් එක්ක කතා කර කර ඉන්න හැටි බලා ඉන්නවා. ඒත් කට්ටිය මී විත පුරණ වෙලාවට නම් අපිව ගෙතුළට යවනවා.

තවත් විනාඩි කිහිපයක්ම නිහඬවම ගතවිණි. ඕ දැස් අග කඳුළකි.

‘එදාටත් වඩා අපේ තාත්තා ගේ අගය දැනෙන්නේ අදයි. එදා එහෙම අවබෝධයක් තිබුණෙම නැහැ. තාත්තා අපට ලෝකයක් නේද කියලා දැනුත් හිතෙනවා. තාත්තාට සහෝදරයෝ දෙන්නෙකුත් උන්නා. චන්ද්‍රසිරි දෙහිපිටියත් කිහිපයක රඟපෑවා. සිරිබෝ අයියා චිත්‍රපටයේ රඟපෑමට තමයි අපේ තාත්තා සම්මානිත වුණේ.

‘තාත්තා එකපාරටම අසනීප වුණා. එතකොට මට අවුරුදු අටයි. අයියට යමක් තේරෙනවා. රෝහල් වාට්ටුවේ තාත්තා ළඟ හිටියෙ අපේ නැන්දගේ පුතෙක්, අනේ තාත්තා හොඳටම කතා බහ කර කර ඉඳලත් තියෙනවා. දොස්තර මහත්තයට කියල තියෙනවා ඩොක්ටර් මට අද හරිම මහන්සියි කියලා.

අපව වාට්ටුව එක්කන් යන්න එපාය කියල තාත්තා අම්මට කියල තියෙනවා. අපට තේරුමකුත් නැහැනේ.

1982 අපේ‍්‍රල් මස 27 වන දිනය එතරම් සෝකී බර දවසක්ම වේයැයි එතුමාට ද දැනුණාදැයි නොදනිමි.

මනුෂ්‍ය ගුණාංගයෙන් පිරිපුන් අව්‍යාජ මිනිසකු ලෙසින් දිවිගෙවූ එතුමා එදින අවසන් නින්දටම වැටුණේය.

කලාකරුවන් මහ පිරිසක් එතුමා වෙනුවෙන් එක් රොක් වුහ. ඒ වනවිට විදේශයක පසු වු ගාමිණි ෆොන්සේකා මහතා එතුමාගේ අවසන් කටයුතු වෙනුවෙන් එතුමාගේ බිරිඳ රූපා මහත්මිය අතට මුදලක් ද එවමින් සිය ශෝකය ද දන්වා තිබිණි.

තම පියාණන්ගේ ආදරය නොඅඩුවම ලද එකම පුතු දමිත් කිසිවක් සිතාගත නොහැකිව පසුවවුද, පුතුට වරින් වර මතකයට ආයේ ගමනක් යන්නට සුදානම් වන තාත්තා සිය ස්කූටරය ගෙන තමන් ද වාඩිකරවා රවුමක් ගෙන ගොස් නැවතත් ගෙදර මිදුලට ඇරලවා තාත්තා තම ගමන් යන්නට පිටත් වූ සැටිය.

‘අපේ තාත්තා මියෙන තුරුම ගියේ බස් එකේ ස්කූටරයක් තිබුණා. ඒකෙන් ඉඳහිට ළඟ ගමනක් ගියා. ලොකු බලාපොරොත්තු තාත්තාට තිබුණේම නැහැ. තාත්තා රඟපාපු චිත්‍රපටවලින් මුදල් අයවෙන්න තිබුණා. අම්මා ඒ ගැන තවත් වෙහෙසුණේ නැහැ.

‘අපි තාත්තා නමින් 40වන ගුණ සමරුව කිසිම අනුග්‍රහයක් නැතිව අයියත් මමත් එකතු වෙල ගිය අපේ‍්‍රල් මස 23 වනදා තරංගනී ශාලාවේදී ගුණසමරුවක් සමඟ සිනමා දැක්මක් ද සංවිධානය කළා.

ඒ වනතුරුම අපේ තාත්තාව කාටවත්ම මතක් වුණේම නැහැ. මෙහෙම සරසවිය පත්තරෙන් ලාංකේය සිනමාවට ඇප කැපවූවත් වෙනුවෙන් කතා බහ කිරීම ද අගය කළ යුතුමයි. ඇත්තටම ලොකු සතුටක්.

වේදිකාවත් සිනමාවත් එකලු කළ චරිතාංග රූපණවේදී සෝමසිරි දෙහිපිටිය මහත්මා නමින් කිසියම් මෙහෙවරක් සිදුවෙයි නම් එය අපිදු අගය කරමු.

ඕ අසුනින් නැගී සිටියාය. දෑස තෙත්ව ඇතිබවක් මට පෙනෙයි.

‘අපෙ තාත්තා ආයෙම.... ආයෙම අපි ළඟට ඒවිමයි කියලා මගේ හිත නිතර කියනවා.’

 

[email protected]