කලාකරුවකු වීම ආශීර්වාදයක්

ප්‍රවීණ අධ්‍යක්ෂ, කැමරා ශිල්පී ඩැනී වොල්ටර් පතිරණ
ඔක්තෝබර් 27, 2022

 

සිනමා ශාලාවකට ගොස් නිර්මාණයත් රසවිඳින ප්‍රේකෂක ජනතාව අතරින් ඒ නිර්මාණයට, දහඩිය, කඳුළු වැගුරු ශිල්පීන් පිළිබඳව සිතන්නේ කීයෙන් කී දෙනාද? සුව පහසු අසුනක වාඩි වී නිර්මාණය රස විඳින අප එය සාර්ථක කර ගැනීමට වෙහෙස මහන්සි වී කටයුතු කළ ඒ ශිල්පීන් පිළිබඳවත් සිතාබැලිය යුතුය. එසේ වෙහෙස මහන්සි වී කටයුතු කර මනස්කාන්ත දර්ශන ඔබ වෙත ගෙන ඒමේදී එහි වැඩි ගෞරවය හිමිවිය යුත්තේ කැමරා ශිල්පියාටමය. අධ්‍යක්ෂවරයා සිතේ මවාගත් රූපය කැමරා ශිල්පියාට නිවැරැදි ලෙස හසුකර ගැනීමට නොහැකි වුවහොත් ඒ නිර්මාණය කොතරම් දුරට සාර්ථක වන්නේ ද යන්න ගැටලු සහගතය. එනම් එය ඉතාමත් භාරදුර කර්තව්‍යයකි. ඒ භාරදුර කර්තව්‍ය ඉතාමත් හොඳින් ඉටුකළ ප්‍රවීණ කැමරා ශිල්පියකු, අධ්‍යක්ෂවරයකු සොයා අප රාජගිරිය ආයුර්වේද රෝහලට ගියේ, රෝහල් ගත වී සිටින ඒ ප්‍රවීණ කැමරා ශිල්පී, චිත්‍රපට අධ්‍යක්ෂ ඩැනී ඩබ්ලිව්. පතිරණ ශිල්පියාගේ සුවදුක් හා ආ ගිය තොරතුරු සොයා බැලීම සඳහාය.

පියාගේ සිහිනය වුයේ ඔබට වගකිය යුතු නිල ඇඳුමක් අන්දවා රටට සේවය කිරීමට සැලැස්වීමයි. එය ඔබ බොඳකළා නේද?

එහෙම නෑ. එකට අකමැත්තක් තිබුණේ නෑ. ඊටත් වඩා කැමැත්ත තිබුණේ කැමරා ශිල්පියෙක් වීම තමයි මගේ තාත්තා ෆ්‍රැන්සිස් පතිරණ. එයා සේවය කළේ ශ්‍රී ලංකා පොලිසියේ, මගේ අම්මා ක්ලේරා තෙරේසා, මට සහෝදරියෝ දෙන්නෙක් සහ මට බාල සහෝදරයෝ හතර දෙනෙක් හිටියා. ඒ හැමෝටම යම් නිල ඇඳුමක් තාත්තා ඇන්ඳුවා. නමුත් මගේ හිත ඇදිලා ගියේ සිනමාවට.

කොහොමද ඔබේ ආරම්භය සිද්ධ වුණේ?

ඒ කාලේ අපි හිටියේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ. තාත්තා පොලීසියේ සේවය කළ නිසා, ලංකාව පුරා තියෙන පාසැල වල ඉගෙන ගන්න සිද්ධ වුණා. යාපනය, මඩකලපුව කියන නගරවල පවා, උසස් පෙළ හැදැරුවාට පස්සේ, මම සිරිසේන විමලවීර මහතාගේ නව ජීවන චිත්‍රාගාරයේ සාමාන්‍ය අධිකාරී හේන්රි පෙරේරා මහතා මුණ ගැහිලා මගේ හිතේ තියෙන අදහස ඔහුට කිව්වා. ඔහු මට අවස්ථාවක් ලබාදුන්නා. ඩබ්ලිව්. ඒ.බී. ද සිල්වා මහතා කැමරා කළ රැන ගිරව් චිත්‍රපටයේ සහායක කැමරා ශිල්පියෙක් හැටියට වැඩ කරන්න.

 

ඔබ කැමරා ශිල්පියෙක් වෙන්නේ, සදහටම ඔබ මගේ චිත්‍රපටිය හරහාද?

ඔව්... ඒ චිත්‍රපටිය හරහා තමයි, ඒ දේ සිද්ධ වෙන්නේ. මගේ මිතුරෙක් වූ සෝමපාල ලීලානන්ද මහතා, මට සේන සමරසිංහව හඳුන්වල දෙනවා. එදා මම. සෝමපාල ලීලානන්ද සරත් දසනායක, ඇතුළු පිරිසක් සේන සමරසිංහ මහතාගේ නිවසේදී මුණ ගැහෙනවා. ඇත්තටම සදහටම ඔබ මගේ චිත්‍රපටයේ කැමරා ශිල්පියා වුයේ මර්සලින් පෙරේරා, නමුත් චිත්‍රපටයේ රූගත කිරීම් අතර මැද දී මට සම්පුර්ණයෙන්ම කැමරාව භාර ගන්න සිද්ධ වෙනවා. එදා පටන් සේන සමරසිංහගේ කස්තුරි සුවඳ, නිල්ල සොයා, චංචලා රේඛා, යළි හමුවෙන්නයි සමඟ පකිස්ථාන චිත්‍රපටවල කැමරා අධ්‍යක්ෂවරයා වුණේ මමයි.

 

ගාමිණි ෆොන්සේකා ඔබ කැමරාකරණයේ දී ඔහුගේ මතය ඔබට කියලා තියෙනවාද?

මට එහෙම කියලා නෑ. නමුත් වෙන අයට කියලා තියෙනවා කියලා මට දැන ගන්න ලැබුණු අවස්ථා තිබුණා.

 

‘ඩැනි ඩබ්ලිව් පතිරණ’ කියන නම එළියට ආවේ ඔබ අධ්‍යක්ෂණය කළ ‘බයිසිකලේ’ චිත්‍රපටිය තුළින් කිව්වොත්?

බයිසිකල් තියෙන්නේ වෙනස් විදිහේ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ කතාව පටන් ගන්නේ චිත්‍රපටයේ රඟපෑ විජය කුමාරතුංගගේ මරණයෙන් පස්සේ, මීට පෙර විජය මිනි පෙට්ටියක ඉන්න දර්ශනයක් කවුරුත් දැකලා තිබුණේ නෑ. එදා රූගත කිරීම් අවසන් වන තුරු විජය මිනිපෙට්ටියේ නිදාගෙන හිිටියේ. ඔහු කිව්වේ හරි සනීපෙට නින්ද ගියා කියලා. ඔහු රගපෑමට සතයක් වත් අරගත්තේ නෑ. අනික් කරුණු තමයි, ග්‍රේෂන් ආනන්ද ගායනා කළ බණ්ඩාර කේ. විජේතුංග පැය 1/2 ලියපු, ‘තරු යායේ ඈතින් ඈතට’ කියන ගීතය. ඒ ගීතය එදා හුඟාක් ජනපි‍්‍රය වුණා. මම ග්‍රේෂන්ට ඒ ගීතය ගායනා කරන්න අවස්ථාව ලබා දුන්නේ. ඔහු මීට පෙර ‘චන්දිරා’ චිත්‍රපටය වෙනුවෙන්, ‘මං රෝමියෝ’ කියන ගීතය හොඳට ගායනා කළ නිසා.

 

ඔබ අධ්‍යක්ෂණය කළ ‘කවුළුව’ චිත්‍රපටයත් සුවිශේෂයි නේද?

‘කවුළුව’ චිත්‍රපටය දින 125ක් පමණ ප්‍රදර්ශනය වුණා. එදා පැවැති සරසවි සම්මාන උලෙළේ දී ජනපි‍්‍රයම චිත්‍රපටය හැටියට සම්මාන දිනාගත්තේ ‘කවුළුව’ චිත්‍රපටයයි. අමරසිරි පීරිස් පසුබිම් ගායනයට එකතු වුණේ, අජන්තා රණසිංහ පද රචනය කළ කේමදාස ශුරීන් සංගීත්වත් කළ කුමර කුමරියන් කියන ගීතය හරහා තමයි.

මෙහි ‘හිරු නොනැගේවා’ කියන ගීය, පසුබිම් කතාවක් තියෙනවා නේද?

ඔව්. නිහාල් සිල්වා. කලින් මගේ චිත්‍රපටවල රඟපාලා තියෙනවානේ, ඉතිං කවුළුව රූගත. කිරීම් අතරතුරදී ඔහු මගෙන් ඇහුවා මට මුකුත් රඟපාන්න නැද්ද කියලා මට ඒ කතාවට පොඩ්ඩක් ඔහු ගැන දුක හිතුණා. ඒක ආහපු විදිහට, ඉතිං ඔහුගේ ‘පුත්තිලා’ නාට්‍ය කණ්ඩායමේ කට්ටිය ගෙනල්ලා රඟපාන්න අවස්ථාව ලබා දුන්නා. ඇත්තටම ජෝතිපාල මේ ගීතය ගායනා කරන්න හිටියේ නෑ. ‘වෙනම සංගීත කණ්ඩායමක් ගායනා කරන්න සුදානම් වෙලා හිටියේ. එදා ශබ්දාගාරයේ පටිගත කිරීම් කරද්දී ජෝතිපාලත් වෙන චිත්‍රපටයකට ගීත පටිගත කරන්න ඇවිල්ලා හිටියා. සංගීත කණ්ඩායම ගායනා කරන අයුරු දැකලා ජෝතිපාල මට කිව්වා. ඩැනි මේ ගොල්ලෝ හරියට සින්දුව කියන්නේ නෑ. කියලා ඊට පස්සේ තමයි, විජය එක්ක ජෝතිපාල ගීතය ගායනා කළේ එදා රූගත කිරීම්වලට ගිය සම්පූර්ණ වියදම දැරුවේ නිහාල් සිල්වා තමයි.

 

‘කවුළුව’ චිත්‍රපටය පිටපත වෙනස් වෙන්නේ ඇයි?

ඔව්... එහෙම කරන්න සිද්ධ වුණේ, දිගටම රඟපෑමට පැමිණිමට ස්වර්ණ මල්ලවආරච්චිට නොහැකි වීම මම හිතන්නේ ඒක ස්වර්ණා මල්ලවආරච්චිගේ පෞද්ගලික ගැටලුවක්. අන්තිමට ස්වර්ණා නැති නිසා සබීතාව ඉදිරියට ගේන්න සිද්ධ වුණා.

මොනවා වුණත් අදටත් මම ගරු කරන නිළියක් තමයි ස්වර්ණා කියන්නේ.

 

ඔබේ කැමරාවට හසු වූ ‘රක්තා’ අජාසත්ත, වැනි චිත්‍රපට තාමත් අපේ මතකයේ තියෙනවා. අද කැමරාකරණය ඔබ දකින්නේ කොහොමද?

එදා කැමරාකරණයේදී උපකරණ වල අඩුපාඩු තිබුණා අද තරම් තාක්ෂණය දියුණු නැනේ. රූගත කිරිම්වල දී සම්පුර්ණ වගකීම තිබුණේ කැමරා ශිල්පියා අතේ. ඔහුට තමයි කැමරාවට හසුවන රාමුව පෙනුණේ. අද එහෙම නෑ. එය ඕනෑ කෙනෙකුට නැරඹීම සඳහා දියුණු උපකරණ තියෙනවා.

නමුත් අද මම දකින දුර්වලතා තමයි ආලෝකකරණයේදී යම් ගැටලු තියෙනවා. රූපරාමු වල යම් යම් දුර්වලතා සමඟ තමයි පේ‍්‍රක්ෂක ජනනතාවට නිර්මාණය නැරඹීමට සිදු වන්නේ.

 

වර්තමාන රංගන ශිල්පීන්, ශිල්පිනියන් ගැන කිව්වොත්?

කවුරුත් මෙහෙම කිව්වාට මාත් එක්ක අමනාප වෙන්න එපා. ගොඩාක් අය එනවා යනවා. එහෙම තමයි මට දැනේනනේ. අද ගොඩාක් දෙනෙක් දන්නේ දෙබස් කියන්න විතරයි. රංගනය කියන්නේ පුලුල් විෂයක්. ඒක හරියකාරව අවබෝධ කරගෙන රඟපෑ යුතුයි.

 

කලාකරුවෙකු වීම ගැන කොහොමද ඔබ දකින්නේ?

කලාකරුවෙකු වීම ආශීර්වාදයක් කියලා මම හිතන්නේ. කලාකරුවා මිනිසුන් අතර හැම වේලේම ඉන්නවා. අද මම රාජගිරිය ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර ලබමින් ඉන්නේ. මා ගැන දැන ගත් බොහෝ දෙනා මට හරිම ආදරෙන් සලකනවා. ඒ ගැන විශාල සතුටක් මට දැනෙන්නේ.

 

ඔබේ නිර්මාණ ළඟදි දකින්න පුළුවන් ද?

මම කැමරා කළ, නිෂ්පාදනය කළ අධ්‍යක්ෂණය කළ ‘පිලිකඩතුරාව’ චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා සුදානම් කරමින් ඉන්නේ. මෙහි රවීන්ද්‍ර රන්දෙනිය සංගීතා වීරරත්න, ඇන්ජලා සෙනෙවිරත්න සමඟ රෙක්ස් කොඩිප්පිලි ඇතුළු නළු නිළියන් පිරිසක් රඟපානවා. නවරත්න ගමගේ තමයි චිත්‍රපටිය සංගීවත් කළේ. චිත්‍රපට 40ක පමණ නිර්මාණ දායකතක්වය ලබාදුන් ඩැලි ඩබ්ලිව්. පතිරණ ක්‍රිශාන් හරේන් සහ වරුණ ප්‍රසාද් පතිරණ ආදරණීය පියාණන්ය. බත්තරමුල්ල මධ්‍යමහා විද්‍යාලයේ ගුරුවරියක් වූ සෝමා දිසානායක නම් වූ ඩැනි මහතා බිරිඳ රෝහල් ගත වී ප්‍රතිකාර ලබන ඔහු පිළිබඳව නිරතුරුවම සොයා බලා ඇප උපස්ථාන කරමින් ඔහුට ඉක්මනින් සුව කර ගැනීමට උත්සාහ දරමින් සිටි.