රන්මුතු දූවට හැට වසරයි

අගෝස්තු 4, 2022

 
 ‘සිංහල කතා කරන බටහිර චිත‍්‍රපටයක්‘ කොහේදි හෝ ඔබත් නැරඹුවා මතකද? එය තිරගත වුණේ හරියටම මීට වසර හැටකට කලින් 1962 අගෝස්තු 10 වැනිදා. ඒ නිසා ඇතැම් විට තරුණ ඔබ එය නරඹන්නට ඇත්තේ සිනමා ශාලාවකදි නොවන්නත් පුළුවන්. ඒත් හෙළ සිනමාවේ මෙන්ම ආසියාතික සිනමාවේ එය වාර්තා පිහිටුවූයේ යළි ලොව කිසිවෙකුට බිඳ හෙළිය නොහැකි ලෙසයි. ඒ තමයි සිංහල සිනමාවේ පළමු වරට මිලිමීටර 35න් තැනූ වෘත්තාන්ත වර්ණ චිත‍්‍රපටය ‘රන්මුතු දූව‘.
 
 මිලිමීටර් ගාණ විශේෂයෙන් සඳහන් කරමින් එය පැවසීමට හේතුවක් තිබෙනවා. අප රන්මුතුදූව මෙරට පළමු වර්ණ චිත‍්‍රපටය ලෙස වාර්තාගත කරන්නේ එය දින සියය ඉක්මවමින් ශාලා රැසක ආදායම් වාර්තා පිහිටුවමින් ප‍්‍රදර්ශනය වූ චිත‍්‍රපටය නිසා. එහෙත් ඊට පෙර මිලිමීටර 16න් කෙරුණු වර්ණ චිත‍්‍රපටයක් ලෙස ‘ගම්බද සුන්දරී‘ රූපගත කොට තිබුණා. ඒ අපේ කථානාද චිත‍්‍රපට කලාව වසර තුනක් වැනි ළදරු අවධියේ පසු වූ 1950 වසරෙදි. එහෙත් රන්මුතු දූව පූර්ණ වශයෙන් සාර්ථක ව්‍යායාමයක් බවට පත්වන්නේ එය නිමවන විට සිංහල කථානාද සිනමාව වයස පහළොවක පමණ අත්දැකීම් සපුරා තිබුණු නිසා වන්නත් පුළුවන්. එසේ නැත්නම් එයට දායක වූ පිරිසගේ තාක්ෂණික හා ශිල්පීය ඥානය මෙන්ම විදේශීය සම්බන්ධතා නිසා වන්නත් පුළුවන්. රන්මුතු දූව අධ්‍යක්ෂණය කළේ කැනඩාවේ උපත ලබා 1955 වගේ කාලේ මෙහි පදිංචියට පැමිණි මයික් විල්සන් නම් තරුණ අධ්‍යක්ෂවරයා තම කුලූ‍ඳුල් සිනමා නිර්මාණය ලෙසයි. එය නිෂ්පාදනය කළ සෙරන්ඩිබ් ආයතනයට ඔහු හා සම්බන්ධ වී සිටියේ මෙරට සිනමාවට සුවිශේෂ දායකත්වයක් දුන් ශේෂා පලිහක්කාර සමඟ ලොව පිළිගත් විද්‍යාඥයකු වන ආචාර්ය ආතර් සී. ක්ලාක්. කෙසේ වුවත් ලංකාවේ එවක ජනගහනයෙන් දහයෙන් එකකට වැඩි ප‍්‍රතිශතයක් එනම් දසලක්ෂය ඉක්මවා ගිය නැරඹුම් සංඛ්‍යාවක ටිකට්පත් අලෙවියක් රන්මුතු දූව මුල් මුදාහැරීමේදීම දකින්න ලැබෙන බව සඳහන්.
 
 එතරම් ජනාකර්ෂණයක් ලද රන්මුතු දූව බටහිර චිත‍්‍රපටයක් සිංහල බසින් කතා කළා වැනි යැයි කියමින් අගය කළේ ලංකාවේ අයෙක් නම් නොවේ. එවක ලෝකප‍්‍රකට ඇමෙරිකානු චිත‍්‍රපට විචාරිකාවක් වූ මාරි සීටන්. එයට ඒ වසරේ ඔක්තෝබර් 21 පළ වූ සන්ඬේ ඔබ්සර්වර් පුවත්පත සාක්ෂි දරන බව, අදාළ පුවත්පත සොයා ගන්න අපහසු අයට ජ්‍යෙෂ්ඨ සිනමා විචාරක ගාමිණි වේරගම විසින් සම්පාදනය කළ හෙළ සිනමා වංශය පළමු කාණ්ඩයෙන් වුණත් දැකබලාගන්න පුළුවන්.


 
 රන්මුතු දූව කතාව සරලව මෙසේයි. පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ ගීතය ගැයෙන අතර වෙසක් අසිරිය විඳිමින් වෙස්මුහුණුද පැලඳගෙන තම මිතුරන් දෙදෙනා වන සේන (ජෝ අබේවික‍්‍රම) සහ රාජු (ෂේන් ගුණරත්න) සමඟ නවාතැනට එන බන්දුට (ගාමිණි ෆොන්සේකා) ඒ රාත‍්‍රියේ සිහිනයෙන් පෙනෙන්නේ සිය මිය ගිය පියා තමන්ගේ කරබැඳි මාලයේ රැඳි රන්කාසියත් ගමත් පිළිබඳ පවසන අයුරුයි. කාසිය මාලයට බැඳුණු කොක්ක අලූ‍ත්වැඩියාවකට ගිය විට රන්බඩු වෙළෙන්දා (ඔස්ටින් අබේසේකර) එය මිල දී ගන්නට තැනුවත් බන්දු ඊට කැමැති නොවන නිසා ඔත්තුකරුවකු ඔවුන් පසුපස බන්දුගේ ගම වන රන්මුතු දූවට යවන්නට වෙළෙන්දා පියවර ගනී. ඔත්තුකරු ගමේ ධනවතා වන මුත්තුසාමි (වින්සන්ට් වාස්) සමඟ කුලූපග වෙයි. රාජුගේ සොයාගැනීමකට අනුව මේ රන්කාසිය 18 වැනි සියවසට අයත් එකක්. බන්දුගේ මාමා (ඇන්තනි සී. පෙරේරා) මුලින් මේ රන්කාසි අයත් නිධානය සෙවීමට අකැමැති වන්නේ බන්දුගේ පියාගේ මරණයටද එය සම්බන්ධ බැව් දන්නා නිසායි. එහෙත් තණ්හාවකින් තොර අයකුට එය සොයාගත හැකි බව සන්‍යාසියා (ශේෂා පලිහක්කාර) පවසයි. බන්දු පිළිබඳ සිත් පහළ වන ධනවත් මුත්තුසාමිගේ දුව කුමාරි (ජීවරාණි කුරුකුලසූරිය) සිය පියාගේත් ඔත්තුකරුවාගේත් උපාය සියල්ල බන්දුට පවසයි. කෙසේ හෝ කාසිය හා සම්බන්ධ නිධානය පිළිබඳ සෙවීමට බන්දු මිතුරන් සමඟ මුහුදු පත්ලේ කිමිදෙයි. මිතුරන් ගොඩ එන විට සතුරන් විසින් කුමාරි බිල්ලකට දීමට මුහුදේ බැඳ දමා තිබෙනු දැක බන්දු ගොස් ඇය බේරා ගනී. සටන්වලදී සතුරන්ට මරණය අත්වෙයි. එසේම නිධානයෙන් සොයාගත් වස්තුව බන්දු නිර්ලෝභීව කෞතුකාගාරයට ගෙනගොස් දෙන්නේ සන්‍යාසියාගේද ආශීර්වාදය ඇතුවයි.
 
 මෙවැනි සරල කතාවක් මෙතරම් වාර්තා පිහිටුවූයේ කෙසේද කියා සිතෙන්නත් පුළුවන්. ඒ වගේම අද චිත‍්‍රපට සමඟ සසඳන අය මේවාත් කතාද කියා කියන්නත් පුළුවන්. ඒත් 1961 වැනි යුගයක මෙරට බිහිවුණු පළමු ටෙක්නි වර්ණ චිත‍්‍රපටය මෙයයි. එහි රසායනාගාර කටයුතු මෙන්ම වර්ණ සංකලන සිදු කර තිබෙන්නේ එංගලන්තයේ ටෙක්නිකලර් රසායනාගාරයේ සහ ආතර් ?න්ක් චිත‍්‍රාගාරයේයි. ගම්බද සුන්දරී චිත‍්‍රපටය චිත‍්‍රාගාර වෙත යවා ඇත්තේ තැපැල් ම`ගින් වුවත් රන්මුතු දූව චිත‍්‍රපටය පෞද්ගලිකවම ආතර් සී. ක්ලාක්, ටයිටස් තොටවත්ත සහ රොඞ්නි ජොන්ක්ලාස් රසායනාගාර වෙත රැගෙන ගිය බව සඳහන්. රොඞ්නි ජොන්ක්ලාස් කියන්නෙත් සාමුද්‍රික ජීවිත සහ විශ්වීය ගවේෂණ පිළිබඳ බෙහෙවින් උනන්දු වූවෙක්. බටහිර සිනමාවේ දක්නට ලැබෙන ්ාඩැබඑමරු හෙවත් වික‍්‍රමාන්විත ගණයට අයත් වුවද පේ‍්‍රම කතාවක්ද රැගත් මෙහි මුහුද යට රූපගත කෙරුණු සටන් දර්ශන පිළිබඳ ආචාර්ය නුවන් නයනජිත් කුමාර සිය ”ගාමිණි:විශ්වීය රූපණවේදයක ආසියානු පුරෝගාමියා” ග‍්‍රන්ථයේ සඳහන් කරන්නේ ‘දේශීය සිනමාවේ මතු නොව මුළුමහත් ආසියානු සිනමාවේම ප‍්‍රථමවරට දක්නට ලැබුණු තාත්වික සටන් දර්ශන‘ රැගත් චිත‍්‍රපටය මෙය බව යි. එසේම මීට පෙර කෘතිවල තිබූ ව්‍යාජ බව, වීරයා අසාමාන්‍ය වීරයකු කිරීම සඳහා කිසිදු පහරක් ඔහුට නොවැදෙන අයුරු දැක්වීම වැනි කරුණුවලින්ද මේ සටන් ජවනිකා විනිර්මුක්ත වී ඇති බවද ඔහු එහි පෙන්වා දෙනවා. එම මුහුද යට දර්ශන පිළිබඳව දේශීය සිනමා වංශය කෘතියේ ගාමිණි වේරගමයන් සඳහන් කරන්නේ ‘රන්මුතු දූවට පෙර මේ අයුරින් ස්වභාවික මුහුදු අභ්‍යන්තරයේ දීර්ඝතම දර්ශන රැගත් වෘත්තාන්ත චිත‍්‍රපටයක් ලොව නිර්මාණය වූ බවට තොරතුරු සොයාගත නොහැකියි‘ යනුවෙනුයි. එසේම රසායනාගාර කටයුතු අතර මේ චිත‍්‍රපටයේ මුහුද යට දර්ශන දුටු ටෙරන්ස් යං අධ්‍යක්ෂවරයා සිය සිව්වැනි ජේම්ස් බොන්ඞ් චිත‍්‍රපටය වූ තන්ඩර් බෝල් සිනමා කෘතියට මුහුද යට දර්ශන යොදා ගැනීමට තීරණය කළ බව ද එහි සඳහන්. එහෙත් එය සිදු කර ඇත්තේ කෘත‍්‍රීමව සැකසූ තටාකයක මිස සැබැවින්ම මුහුදේ කිමිදෙමින් නොවීම රන්මුතු දූවට ලැබෙන වටිනාකම දෙගුණ තෙගුණ කරන බවට සැකයක් නෑ.
 
 අන්තර්ජාතික වශයෙන් වගේම දේශීය වශයෙනුත් මේ සිනමා කෘතිය විශේෂිත වන හේතු කීපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න සිනමා සක්විති ලෙස විරුදාවලිය ලබන්නට තරම් වූ රංගවේදී ගාමිණි ෆොන්සේකා සුපිරි තරුවක් ලෙස මුලින්ම රසිකයන් වැලඳගන්නේ ඔහුගේ පස්වැනි චිත‍්‍රපටය වන රන්මුතු දූවෙන් වීමයි. මෙරට රසිකයන්ට හුරු පුරුදු වූ දෙමළ චිත‍්‍රපටවල රංග රීතියෙන් මිදී ස්වාධීන රූපණ ක‍්‍රමවේදයක් ඔස්සේ අපේම වූ වීරයකු වික‍්‍රමාන්විත කතාවකින් (්ාඩැබඑමරු) සිනමාවට බිහි කරන්නට පළමු වරට බටහිර රීතියට තැනුණු දේශීය චිත‍්‍රපටය වූ රන්මුතු දූවේ බන්දු සමත් වූ බව විචාරක මතයයි.
 
 එමෙන්ම ජෝ අබේවික‍්‍රම ස්වභාවිකත්වයට සමීප හාස්‍යෝත්පාදක රීතියකින් යුතුව රංගනයේ යෙදෙන පුරෝගාමී රූපණවේදියකු බව ඒත්තු ගන්වන්නේ ද රන්මුතු දූවයි. හැටේ දශකයේ ජනාකර්ෂණය සිනමා තාරකාව ලෙස ජීවරාණී කුරුකුලසූරිය කලඑළි දකින්නේද ගාමිණි-ජීවරාණි යුගයක් බිහිවන්නේ ද රන්මුතු දූවේ ඔවුන්ගේ පේ‍්‍රම දර්ශනවලට නිසා බව පැහැදිලියි. ඒ දර්ශනවලට පණ දුන් හඬමුසුව ‘ගලන ගඟකි ජීවිතේ දයාලූ ලෝකයේ ‘ගීතයත් සමඟ අමරණීය මතකයක් බවට පත් කරන්නේ නාරද දිසාසේකර - නන්දා මාලනී ගායක දෙපළයි. ඒ ඔවුන් දෙදෙනාගේම ප‍්‍රථම කේවල සිනමා පසුබිම් ගායනය ලෙසයි. ඒ වෙනුවෙන් 1964 පැවැත්වූ පළමු සරසවිය සිනමා සම්මාන උලෙළේදීම හොඳම ගායකයාට සහ ගායිකාවට හිමි සම්මාන දිනා ගැනීමට ඔවුන් දෙදෙනා සමත් වීමද ඒ ගායනයේ රසයට සාධාරණයක් ඉටු කරනවා. රන්මුතු දූව ගීත තුනක් සහිත පළමු චිත‍්‍රපටය වීම ද විශේෂත්වයක් වන අතර මෙරට පළමු වරට තේමා සංගීතයක් චිත‍්‍රපටයකට යෙදුණේද රන්මුතු දූව වෙනුවෙනුයි. ඒ පණ්ඩිත් අමරදේවයන්ගේ මධුර ස්වර සංකලනයෙන්. චිත‍්‍රපටයේ ඇතුළත් පාරමිතාබල, ගලන ගඟකි ජීවිතේ සහ පිපී පිපී රේණු නටන ගීතත‍්‍රයම ශ‍්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් අතින් ලියැවීමත් ඔහු පාරමිතා බල ගීතය වෙනුවෙන් හොඳම ගීපද රචකයා ලෙස සරසවිය සම්මානයට පාත‍්‍ර වීමත් විශේෂයි.
 
 මේ ගී ලියැවුණු ආකාරය සහ රූගත කෙරුණු ආකාරය පිළිබඳ මෑතකදී චිත‍්‍රපටයේ සහාය අධ්‍යක්ෂ මෙන්ම ගීත රූගත කිරීමේ අධ්‍යක්ෂ ලෙසත් ඉංග‍්‍රීසි පිටපත සිංහලට පෙරළුෑ පරිවර්තක ලෙසත් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ සිනමාවේදී තිස්ස ලියනසූරිය මහතා අපූරු මතකාවර්ජනයක් අප සමඟ කළා.
 
 ”‍පනහ දශකයේ අගභාගයේ අපේ සිනමා කර්මාන්තයේ කාටවත් වැඩ තිබුණේ නෑ. නිෂ්පාදකවරු චිත‍්‍රපට නිෂ්පාදනය අතහැර තිබුණා. ඒත් 1961 වසරෙදි සෙරන්ඩිබ් ආයතනය රන්මුතු දූව නිෂ්පාදනය කරන්න ගත්තා. මයික් විල්සන් මහත්මයා තමයි අධ්‍යක්ෂ. සන්දේශයේ ඇඳුණුම්කමට රන්මුතු දූවත් සංස්කරණය කළ ටයිටස් තොටවත්ත තමයි මාව සහාය අධ්‍යක්ෂණයට ගන්න කියා යෝජනා කර තිබුණේ. ඔහු කතාව ලියා තිබුණේ ඉංග‍්‍රීසියෙන්. මගෙන් ඇහුවා එය සිංහලයට පරිවර්තනය කරන්න පුළුවන්ද කියලා. ඉතින් රන්මුතු දූව සිංහලට හැරුණේ මගේ අතින්.
 
 සෙරන්ඩිබ් ආයතනය සමඟ කටයුතු කරද්දි මට දැනුණේ විදේශීය චිත‍්‍රපටයකට සම්බන්ධ වෙලා ඉන්නවා වගේ. සෙරන්ඩිබ් එකට වෙනම ඇරීෆ්ලෙක්ස් කැමරාවක් තිබුණා. ලයිට් තිබුණා. මුහුදු යට දර්ශන ගන්න මිලිමීටර් 16 බෝලෙක්ස් කැමරාවක් යොදාගත්තා. ඔක්කොම ආම්පන්න විදේශීය චිත‍්‍රපටයක වගේ.
 
 ආතර් සී. ක්ලාක් මහත්තයා කාමරයේ ලියමින් සිට එකවරම නැඟිටලා එළියේ පුටුවක වාඩිවෙලා අහස දිහා බලාගෙන ඉන්නවා. ආපසු ගොස් ලියනවා. ඒක හරිම ආකර්ෂණීය හැසිරීමක්. එතුමා මයික් විල්සන්ට තමන්ගෙ පුතෙකුට සමානව සැලකුවා. එතුමා තමයි කීවේ එංගලන්තයේ සල්ලි තිබෙන නිසා යන වියහියදම් බලාගන්නම් මේ චිත‍්‍රපටය වර්ණයෙන් කරන්න කියලා.
 
 අපි මාස හතඅටක් රූගත කිරීම් සඳහා හිටියේ කෝනේශ්වරම් දේවාලය අසල.
 
 ඉතින් රූපගත කරගෙන යද්දි මයික් විල්සන් කීවා තිස්ස මට ගීත සම්බන්ධව කිසි අදහසක් නෑ. පුළුවන් ද මා වෙනුවෙන් මේ ගීත ටික බාරගෙන කරලා දෙන්න කියලා. පාරමිතා බල ගීතයට සිරිපාදයට ගිහින් අවශ්‍ය දර්ශන රූගත කළා. මයික් විල්සන් හරිම ගුණයහපත් කෙනෙක්. පිපී පිපී ගීතය උස්වැටකෙයියාවේ මුහුදු වෙරළේ මම අධ්‍යක්ෂණය කරද්දි මයික් කීවා අද ඩබ්ලිව්. ඒ. රත්නායක කැමරා ශිල්පියා වෙනුවට මයික්ම කැමරා කටයුතු කරනවා කියලා.
 
 ගලන ගඟකි ජීවිතේ ගීතයට තමයි වඩාත්ම රසවත් සිදුවීම වුණේ.
 
 මේ ගීතය මුලින් පදරචනය කරන අවස්ථාවේ අපි හිටියේ ත‍්‍රිකුණාමලයේ. අපි අමරදේවයි මානවසිංහයි හමුවෙලා කීවා සින්දුවේ ට‍්‍රයල් එකක් රෙකෝඞ් කරලා අපට පටයක් එවන්න කියලා. එහි තිබුණෙ වෙනම පද රචනයක් සහ සංගීතයක්.
 
 පාවෙන උකුළු‍ තලා
 
 තාලෙට සලා සලා
 
 සිපගෙන පුලින තලා
 
 රස පෙම් රහස කියා
 
 ගංගා කොමළ නිළී
 
 හදවත පුබුදු කළා
 
 ලෙසයි එය ලියැවී තිබුණෙ. ඒ ගීතය ලස්සන වුණත් චිත‍්‍රපටයට ගැළපුණේ නෑ. පස්සේ ශේෂාත් මමත් අමරදේවත් ගියා සවස් යාමෙක මානවසිංහ හමුවන්න බොරලැස්ගමුවේ ‘මනිමෙඛලා‘ නිවසට. අපි ඈත සිටම දුටුවා මානවසිංහ ඉස්තෝප්පුවේ ඉඳගෙන මීවිතක රසින් තනිවම සප්පායම් වන හැටි. අපිත් වාඩිවෙලා හෙමින් සීරුවේ ඇහුවා වෙනත් පදමාලාවක් කරගන්න පුළුවන්ද කියලා. ඔහු කීවා ‘මට මෙතැන ඉඳගෙන ලියන්න බෑ. මගේ සුරූපිනියන් ඉන්නවා අර පොකුණ වටා මට ඒ අය ළඟට යන්න ඕනේ‘ කියලා. ඒ වෙද්දි හොඳටම කරුවලයි. පොකුණක් අපට පෙනුණේ නැහැ. ඒ පාර ශේෂා සුමිත්ත අමරසිංහට (හිටපු ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පී) කතා කරලා කීවා පුළුවන් ඉක්මනට පොකුණ අවට ආලෝකවත් කළ හැකි ආකාරයට ලයිට් ටිකක් අරගෙන එන්න කියලා. සුමිත්ත හැකි ඉක්මනින් ආවා. ලයිට් දැම්මාමයි දැක්කේ පොකුණ වටේම නග්න ස්ත‍්‍රී රූප විවිධ හැඩතලවලට පොකුණ වටා අඹා තිබුණ බව. මානවසිංහ තමන් කැමතිම සුරූපිනියගේ උකුළු‍ තලයේ හිඳගත්තා. අමරදේවත් මැන්ඩලීනය අතැතිව තවත් සුරූපිනියක මත වාඩි වුණා. මමයි ශේෂායි පැත්තක ඉඳන් බිරාන්ත වෙලා බලාගෙන හිටියා. දැන් මානවසිංහට හොඳ පදම්. ඔහු අත දිගහැර කීවා ‘ගලන ගඟකි ජීවිතේ‘ කියලා. අමරදේව එය ස්වර කීපයකට නැඟු‍වා. ඊළඟට ‘දයා ලූ ලෝකයේ‘ කීවාම එයත් මැන්ඩලීනයෙන් වැයුණා. ඔයවිදිහට පද පෙළෙන් පෙළ කියද්දි තනුවත් ඒ පදවලට හැදුණා. මැදියම් ? පහුවෙද්දි ගීතය සම්පූර්ණයි. ශේෂලාගේ මාදින්නාගොඩ ඉඩමේ තිබුණු පැරැණි යකඩ පාලමේ, ගොරකානේ, කෝට්ටේ සීඑම්එස් පාසලේ තිබුණු පරිසරය සමඟ ඒ ගීතයෙන් ගාමිණි සහ ජීවරාණි නිරූපණය කළ බන්දු සහ කුමාරිගේ සම්බන්ධය ඇති කළා.”‍
 
 ඔහු එසේ රසවත්ව කී බන්දු - කුමාරි සම්බන්ධයෙන් වශීකෘත වූ පේ‍්‍රක්ෂකයකු එවක සරසවිය පුවත්පත ඔස්සේ ගාමිණි ෆොන්සේකාගෙන් විමසා තිබුණේ රන්මුතු දූව චිත‍්‍රපටයේ මුහුද යට කිමිදෙනකොට බය හිතුණෙ නැද්ද? චිත‍්‍රපටයේ වූ රසවත් සිදුවීම් මොනවාද? යනුවෙන්. කිසි විටෙක ත‍්‍රාසජනක කොටස් සඳහා ආදේශක ශිල්පීන් යොදා නොගත් ගාමිණි එයට මෙසේ පිළිතුරු දී තිබුණා.
 
 ”බය හිතුණා නම් යට යන්න බෑනේ. පිහිනන්න පුළුවන් වුණාට මම ඒ තරම් දක්ෂ කිමිදුම්කරුවෙක් නොවෙයි. සැතපුම් දෙක තුනක් දුර පිහිනුවත් කිමිදෙන්න බැරි අය ඉන්නවා. පීඩනය කියන එක ඔරොත්තු දෙනවද නැත්ද කියන එක තමයි මෙතැනදි බලපාන්නේ. අඩි 30ක් විතර යත්දි සමහරුන්ට නාසයෙන් ලේ ගලනවා. රන්මුතු දූවෙදි අපට සිද්ධ වුණා අඩි 50-60 යට යන්න. ඒ වගේම එවැනි ගැඹුරක ඉඳලා මතුපිටට එන්න වුවමනා නම් සැම අඩි 15දීම මඳක් වතුර යට රැඳෙන්න සිද්ධ වෙනවා. ඒ නයිට‍්‍රජන් වායුව කිමිදීම නිසා ඇඟට ඇතුළු වන නිසයි. එසේ ඇතුළු වන වායුව ඇෙ`ගන් පිට වීම සඳහා අඩි 15න් 15ට එසේ මඳක් රැඳිය යුතුයි. එසේ නොකළ හොත් නයිට‍්‍රජන් වායුව ලේවලට එකතු වීමේ හේතුව නිසා පරලොව යා හැකියි. කිමිදුම්කරුවන්ට මුලදි දෙන පාඩම් මාලාවෙන් ඉතාම වැදගත් පාඩම එයයි කියා මා සිතනවා. සිලින්ඩරයේ හුළං මදි නිසා උන්නත් දාහයි මළත් දාහයි කියලා හිතන අවස්ථා තිබුණා මට. ඒ සඳහා වසර එකහමාරක් විතර ප‍්‍රතිකාර ගන්නත් සිද්ධ වුණා.”‍
 
 ගාමිණි ෆොන්සේකා කිමිදීමට දක්ෂයකු නොවුණද මයික් විල්සන් යනු කෙළපැමිණි කිමිදුම්කරුවෙක්. ඔහු රන්මුතු දූව චිත‍්‍රපටය නිර්මාණය කරන්නෙත් පෞද්ගලික අත්දැකීමක් ඇසුරෙන්. දිනක් හිමිදිරියේ ලංකාවේ ත‍්‍රිකුණාමලය ආශ‍්‍රිත මුහුදේ කිමිදෙන මයික් ගොඩ ආවේ එතුවක් කල් මුහුදු පත්ලෙන් සොයාගත් වටිනාම පෞරාණික කාසි සහ තවත් වස්තු රැසක් අතැතිවයි. ඔහු අතට පත් වූ සෑම කාසියකම ක‍්‍රිස්තු වර්ෂ 1703 සටහන්ව තිබූ අතර මෝගල් අධිරජ ඕරෙන්සෙබ්ගේ පාලන සමයට අයත් කාසි රැසක් එහි තිබුණා. එදා ඔහු සොයාගත් කාලතුවක්කුව සහ කාසි රන්මුතු දූව චිත‍්‍රපටයේ ද දක්නට ලැබීම විශේෂයක් වන අතරම එය ලෝක සිනමා ඉතිහාසයේ පළමුවරට මුහුදු පතුලේ සැඟව තිබී සොයාගත් සත්‍ය වස්තු සහිතව කළ චිත‍්‍රපටය විය හැකි බවටද මතයක් තිබීම වරදක් විය නොහැකියි.
 
 මයික් විල්සන් ඉන්පසුව කළ ගැටවරයෝ චිත‍්‍රපටයට ඇතුළත් වුණේ වේග බෝට්ටු ධාවකයකු වටා ගෙතුණු කතාවක්. ඔහු ජලය සහ කිමිදුම් ආශ‍්‍රිත නිර්මාණ කරන්න වැඩි කැමැත්තක් දක්වන්නේ මුහුදු පත්ලේ සැඟවුණු දෑ පිළිබඳ තිබුණු දැඩි උනන්දුව නිසා කියාත් සමහරු සිතනවා. කෙසේ වුවත් චිත‍්‍රපට කෙරුවාවෙන් පසු ඔහු කතරගම පූජා භූමිය පෙදෙසේ ජීවත් වුණේ ස්වාමි සිව කල්කි නමින්. රන්මුතු දූව කරන සමයේ කිමිදුමකදී ඔහු සොයාගත් ශෛලමය ශිවලිංගය කෝනේශ්වරම් දේවාලයේ පූජාලබන බවත් ඇතැම් තැන්වල සඳහන් වෙනවා. බටහිර ආරට චිත‍්‍රපට කළත් ඒවා දේශීය ඌරුවට ගැන්මේදී රන්මුතු දූව යෙදූ උපක‍්‍රම නිසා එය රසිකයන්ට අපූර්ව අත්දැකීමක් බවට පත්වූවා. මයික් විල්සන් යනු හස්තගත කැමරාව මැනවින් හැසිරවිය හැකි ශිල්පියෙකු බැවින් ඔහු පිපී පිපී ගීතයටත්, සටන් ජවනිකාවලටත් ඒ හැකියාව යොදා ගැනීම නිසා වඩාත් තාත්වික ස්වරූපයක් ඒ දර්ශනවලට ලැබුණා. සුමිත්ත අමරසිංහට අමතරව ලෙනින් මොරායස්, වී. වාමදේවන්, එම්. එස්. ආනන්දන් වැනි කැමරා ශිල්පීන්ගේ සහායත් ඔහු චිත‍්‍රපටයට ලබා ගත්තා. රන්මුතු දූව වෙනුවෙන් ගාමිණි ෆොන්සේකාට එවක රුපියල් 15000ක මුදලක් ද ජීවරාණි කුරුකුලසූරියට රුපියල් 10000ක මුදලක් ද ලබා දුන් බවත් එය දෙවැනි වන්නේ පනහ දශකයේ රුක්මණී දේවිය සහ එඞී ජයමාන්න යුවළගේ අයකිරීම්වලට පමණක් බවත් කියැවෙනවා. දේශීය සිනමාවලියේ සන්ධිස්ථානයක් මවමින් නිමැවුණු රන්මුතු දූව පිළිබඳ තව බොහෝ දේ බොහෝ අය දන්නවා ඇති. ඒ සියලූ‍ රස කතා සත්‍ය සිදුවීම් මෙන්ම අත්දැකීම්, අත්විඳීම් සමඟ දශක හයක් ගත වන විට තාක්ෂණයෙන්, දැනුමෙන්, උපකරණ ආදියෙන් ඉදිරියට ගිය යුගයක සිට වුව අදත් රන්මුතු දූව ඔබ නරඹන්නේ එදා රසිකයන්ගේ සිතෙහි ඇති වූ විස්මයෙන්ම පිරී නොවේද? වසර හැටකට පසුව වුව අදටත් මෙරට සිනමාවට ස්වභාවික මුහුද යට දර්ශන සහිත ජනාකර්ෂණීය චිත‍්‍රපටයක් නිර්මාණය කරන්නට නොහැකි වූයේ කුමන හේතුවක් නිසාද යන පැනය අපට ඉතිරි කරමින් රන්මුතු දූව සිය වාර්තා ඉදිරියටත් එලෙසම රැකගෙන බලා සිටිනු ඇත.