තුන් හිතකින්වත් නිළියක් වීමට බලාපොරොත්තුවක් තිබුණ කෙනෙක් නෙවෙයි

ජානකී කුරුකුලසූරිය
ජූලි 28, 2022


  
 කුරුකුලසූරියගේ වින්සන් ඇන්ටනි ප‍්‍රනාන්දු සහ ජුලියට් ප‍්‍රනාන්දු කුලූඳුලේ උපන් ඔවුන්ගේ දියණියගේ වාසගම වෙනස් කරමින් ඇය කුරුකුලසූරිය ලෙස බෞතීස්ම කරනු ලැබීය. පියාගේ සිත්හි කොනක නිදන්ගත වී තිබූ එක්තරා අහිංසක අපේක්ෂාවක් මුදුන්පත් කර ගැනීම මෙයට හේතුවිය. සිය තාරුණ්‍යය සිනමා නළුවෙක් වන්නට පෙරුම් පිරූ ඔහු වැඩිහිටියන් නෑ හිතවතුන්ගේ විරුද්ධත්වය නිසා ඒ ආශාව මුදුන්පත් කර ගැනීමට නොැහැකි වූව ද එදා ඔහු ජීවිතේ එක්තරා තීන්දුවකට පැමිණියේය. මතු යම් දිනක තමාට ලැබෙන දරුවන් සිනමාවට දායාද කිරීමේ අභිලාෂයයි. ඒ අභිලාෂය ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා පළමුවැනි වෙඩි මුරය ලෙස ඔහුගේ කුලූඳුල් දියණිය ගේ වාසගම වෙනස් කළේය. සිනමාවට උචිත ලෙස ප‍්‍රනාන්දු කුරුකුලසූරිය බවට පත්විය. එපමණක් නොව නිළියක ලෙස පරිපුර්ණත්වයට පත්වීම සඳහා අවශ්‍ය ගායනය, නර්තනය, වාදනය ආදී සකල කලාවන් කුඩා සිටම දියණියට ප‍්‍රගුණ කිරිමට අතහිත දී අක්කා ගිය පාරේ සෙසු සහෝදරියන් ද ඒ මඟ ගෙන යාමට දිරිමත් කළේය. ජීවරාණී, ශිරාණි, ජානකී, මැණික් මේ සොහොයුරියන් සිව් දෙනා සිංහල සිනමාවේ පේ‍්‍රක්ෂක මතකයේ රැඳී සදා නොමියෙන චරිත කිහිපයකට පණ පෙවූ ප‍්‍රකට රංගන ශිල්පිනියන්ය. ඔවුන් ලද තවත් වාසනාවක් වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිනමාපටවලට දායක වීමට මේ සතර දෙනාටම අවස්ථාව හිමිවීමයි.
 
 අද අපේ කතා නායිකාව කුරුකුලසූරිය පරපුරේ තෙවැන්නි වන ජානකී කුරුකුලසූරිය ය.

 
 ජානකී කුරුකුලසූරිය ගේ සිනමා ආගමනය ”සසරක හැටි” චිත‍්‍රපටයේ සුළු නර්තන දර්ශනකි. ඇය පවසන අන්දමට එය රංගනයක් නොව පෙනී සිටීමක් පමණකි. මම අක්කත් එක්ක රූගත කිරිම් බලන්න ආවා. එහිදී නර්තන දර්ශනයකට ගැහැනු ළමයි අවශ්‍ය වෙලා තිබුණා. අධ්‍යක්ෂවරයා මට ආරාධනා කලා ඒ නර්තන දර්ශනයට සහභාගී වන්න කියා. මට කුඩා කල සිටම නර්තන හැකියාවක් තිබුණා. කුඩාකල පටන් අපි නර්තනය හැදෑරුවා, නර්තන පුහුණුවිමීවල යෙදුණා. අපේ තාත්තාට අවශ්‍ය වුණා අපේ සහෝදරියෝ සියලූ‍දෙනාම සිනමාවට දායාදා කරන්න. ඒ අපේක්ෂාව සඵල කරගැනීම සඳහා අප සතර දෙනාම දෙහිවල නාලිනි සමරසිංහ නර්තනාචාර්යතුමියගෙන් නර්තනය හැදෑරීමට සැලැස්වුවා. භරත, කථකලි, උඩරට, ඉන්දියානු මේ සියලූ‍ම නර්තන අපි හැදෑරුවා. චිත‍්‍රපට රඟපෑමේදී නර්තනාංගයන් නිසි ආකාරව ඉදිරිපත් කිරීමට එය පිටිවහලක් වුණා කියා මා විශ්වාස කරනවා.
 
 අක්කා ගිය පාරේ නිළියක් වන්න ද පුංචි කාලේ සිටම අදහස වුණේ?
 
 මම නිළියක් වනවා දකින්න තාත්තාගේ ආශාව වුණත් මම තුන් හිතකින්වත් නිළියක් වන්නට බලාපොරොත්තුවක් තිබුණ කෙනෙක් නෙවෙයි. රඟපාන්නට ආශාවක් ඇල්මක් නෑ. මම රඟපෑවේ කරන්නම් වාලේ මිසක් කිසිදු අවබෝධයකින් අධ්‍යයනයකින් තොරවයි. මම කැමරාව ඉදිරිපිට රඟපානවා. දෙබස් ටික කටපාඩම් කරලා ඉදිරිපත් කරනවා. නමුත් රංගන භුමිකාව පිළිබඳ මට අවබෝධයක් තිබුණේ නැහැ. අද ආපස්සට හැරී බැලීමේදී තමයි මට වැටහෙන්නේ චරිතය පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව රඟපෑවා නම් ක්ෂේත‍්‍රය තුළ ස්ථාරත්වයක් ගොඩනඟාගැනීමට එය මහ`ගු පිටිවහලක් වන්නට ඉඩ තිබුණා නේද කියා.
 
 ඔබ සතර දෙනාටම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත‍්‍රපටවල රඟපෑමේ සුවිශේෂ භාග්‍ය හිමි වුණා නේද?
 
 ඔව්, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා අපේ තාත්තාගේ ඥාතීවරයෙක්. ඔහුගේ චිත‍්‍රපටයකට අක්කාට රඟපාන්න අවස්ථාව සලසා දෙන ලෙස තාත්තා ඔහුට පවසා තිබුණා. ඒ වන විටත් ”සන්දේශය” අඩක් නිමකර අවසන්. නමුත් තාත්තාගේ ඉල්ලීම අහකදාන්නට නොහැකි නිසා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා අක්කා වෙනුවෙන් චරිතයක් ගොඩනඟා ඒ චරිතය චිත‍්‍රපටයට ඇතුළත් කළා. පසුව අප තිදෙනා ඔහුගේ චිත‍්‍රපටවලට සම්බන්ධ කරගත්තා. මම රඟපෑවේ ඔහුගේ ”අක්කර පහ” චිත‍්‍රපටයේ.
 
 ජානකී කුරුකුලසුරිය විශාල චිත‍්‍රපට සංඛ්‍යාවක් රඟපෑ නිළියක් නොවුණ ද ඈ රඟපෑ චිත‍්‍රපට අතළොස්ස ඇය ජනප‍්‍රියත්වය කරා රැගෙන ගොස් තිබෙනවා.
 
 ”පැන පැන එන සෙ`ද් පියගැට පෙළ දිගේ දෙනෙතට සුවය සැදේ රූපය හද මැවේ”
 
 මේ අතිශය ජනප‍්‍රිය ගීතයට ජානකී අපූරු නර්තනයක් ඉදිරිපත් කළේ ඇය ප‍්‍රධාන චරිතය රඟපෑ ගීතා චිත‍්‍රපටයටයි. ඇය සමඟ ප‍්‍රධාන චරිත රඟපෑ නළුවා වුයේ රෝයි ද සිල්වාය.
 
 ඇය රඟ දැක් වූ අනෙකුත් චිත‍්‍රපට අතුරින් සෙනෙහස චිත‍්‍රපටයේ වොලී නානායක්කාර, මී මැස්සෝ චිත‍්‍රපටයේ ආනන්ද ජයරත්න, බඩුත් එක්ක හොරු වොලී නානායක්කාර, කතුරු මුවාත් චිත‍්‍රපටයේ ඔස්වල්ඞ් ජයසිංහ, අක්කර චිත‍්‍රපටයේ මිල්ටන් ජයවර්ධන නිම්වළල්ල නිශ්ශංක අමරසිංහ සමඟ පෙම්වතුන් ලෙස රඟපෑ අතර ඉන් කිහිපයක්ම ප‍්‍රධාන චරිත විය. එහි බොහෝමයක් පේ‍්‍රක්ෂක මනසේ රැඳුණු චරිතය බවට පත්විය.
 
 කොහොමද ඔබේ පාසල් කාලය?
 
 අපි පානදුරේ. අපි හතර දෙනාම ඉගෙන ගත්තේ පානදුර යහපත් එෙඬ්රාගේ කන්‍යාරාමයේ. මගේ පියා කතෝලික මව බෞද්ධ අපි කතෝලික ආගමේ. කුඩාකල පටන් මම නර්තනය හැදෑරීම හේතුවෙන් නර්තනයට මා තුළ තිබුණ සුවිශේෂ දක්ෂතාවයක් . ඒ හේතුව පදනම් කරගෙන පාසලේ නාට්‍ය සංදර්ශනවලට මම නැතුව බැරි ශිෂ්‍යාවක් බවට පත්වුණා. අපි පසුකාලීනව බොරැල්ලට පදිංචියට පැමිණීමත් සමඟම බොරැල්ලේ සියලූ‍ සාන්තුවරයන්ගේ පාසලට අපි ඇතුළත් වුණා. රඟපෑම නිසා අක්කා ගත කළ අතිශයින් කාර්ය බහුල දිවියට පානදුරේ සිට රූගත කිරීම්වලට යාමට අපහසු නිසා පදිංචිය වෙනස් කළා.
 


 කතෝලික පාසලක කන්‍යා සොහොයුරියෝ ඔබට රඟපෑමට අවසර දුන්නද?
 
 නිතරම රඟපෑමට නැවතීමේ ලකුණ තබන ලෙස අපට අණ කළා. නමුත් අවසානයේදී අපි පාසලෙන් සමුගෙන පුර්ණ කාලීනව රංගනයට යොමුවුණා.
 
 සෙනෙහස චිත‍්‍රපටයේ දර්ශනයක් තිබෙනවා ඔබ ඔබගේ සොහොයුරිය ජීවරාණිට කම්මුල් පහරක් ගසනවා. ඒ ගැන පොඞ්ඩක් මතක් කරමු.
 
 සෙනෙහස තමයි මට හා පුරා කියා චරිතයක් ලැබුණු චිත‍්‍රපටය. සමහර චිත‍්‍රපටවල මං පෙනී සිටියා පමණයි. දවසක් අපේ අක්කා රැගෙන යන්නට හර්බට්.එම්. සෙනෙවිරත්න අපේ නිවසට පැමිණියා. එහිදී අපේ අම්මගෙන් විමසා තිබෙනවා ජීව අක්කට නංගී කෙනෙක් සිටිනවාද කියා. ඒ අවස්ථාවේ මම යාළු‍වෝ කට්ටියක් එක්ක සෙල්ලම් කරමින් සිටියේ. අම්මා මට කතා කරලා මාව පෙන්නුවා. ඔහු කැමැති වුණා සෙනෙහස චිත‍්‍රපටයේ ජීවා අක්කාගේ දුවගේ චරිතයට මාව තෝරාගන්න. චිත‍්‍රපට රඟපෑමේදී මට එක්තරා අමිහිරි සිදුවීමකට මුහුණ දෙන්න සිදුවුණා. ජීවරාණි අක්කට සැරෙන් කම්මුල් පහරක් ගැසීමේ දර්ශනයක් තිබුණා. මම මුලින් අදිමදි කළා. නමුත් එය ඇතුළත් විය යුතු නිසා අක්කට කම්මුල් පහරවල් සුළු වශයෙන් කිහිපයක් ගැහුවත් එයට අධ්‍යක්ෂවරයා සෑහීමකට පත්වුණේ නැහැ. අවසානයේදී අක්කා මට කිව්වා නංගි හොඳට හයියෙන් කම්මුල්පාර ගහන්න නැත්තං නැවත නැවත රූපගත කිරීම් කරන්නට සිදු වෙනවා කියලා. අවසානයේදී හයියෙන් අක්කාට කම්මුල් පහරක් ගැහුවා. ඇත්තටම මට ඒ සිද්ධියෙන් පස්සේ මං හරියට කැලඹීමට පත්වුණා. චිත‍්‍රපටයේ වුණත් අක්කට කම්මුල් පහරක් ගහන්න මගේ අත එසවුණේ නැහැ.
 
 කොහොමද ඔබේ පවුලේ තොරතුරු ?
 
 මම විවාහ වුණේ උපාලි වික‍්‍රමසිංහ සමඟ. ඔහුගේ පියා ව්‍යාපාරිකයෙක්. කොළඹ මරදාන ඞීන්ස් පාරේ ඊස්ටන් මෝටර් ගැරේජ් අයිති ඔවුන්ගේ පවුලටයි. උපාලි වික‍්‍රමසිංහ මුණගැසුණේ ජීවා අක්කාගේ මහත්තයා මඟින්. ඔහු අක්කාගේ මහත්තයාගේ හොඳම යාළුවෙක්. අපේ සම්බන්ධයට දෙමව්පියෝ කැමැති වුණා. අපි විවාහ වන්නට තීරණය කළා. විවාහයෙන් පසු රංගනයෙන් ඉවත් වන්නට කියා ඔහු ඉල්ලීමක් කළා. මම ඒකට කැමැති වුණා. හේතුව ඒ වන විටත් මම රංගනයෙන් හෙම්බත් වී සිටියේ. චිත‍්‍රපට රංගනය ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. නිදි වරමින් අව්වේ වේලෙමින් ඉතා මහන්සි වී කැපවීමෙන් කළ යුතු කාර්ය භාර්යක් සමහර දිනවල මේකප් දාගෙන ? එළිවනතුරු සිටින්නට වෙනවා. දවල්ට කට්ට අව්වේ රඟපාන්න සිද්ධ වෙනවා. මේ හේතුන් නිසා රඟපෑම එපා වී තිබූ තැනකයි මම හිටියේ. මහත්තයාගේ ඉල්ලීම එක පයින් කැමති වෙලා රඟපෑමෙන් ඉවත් වුණා. තාත්තා මම රඟපෑමෙන් ඉවත් වෙනවාට වැඩි කැමැත්තක් දැක්වුයේ නැහැ. සමහර අධ්‍යක්ෂවරු මගෙන් බොහෝ ඉල්ලීම් කළා රඟපෑමෙන් ඉවත් නොවන ලෙස.
 


 ඔබ ඕස්ටේ‍්‍රලියාවේ පදිංචියට ගියා නේද?
 
 රඟපෑමෙන් ඉවත් වූ පසු අපි තීරණය කළා ඕස්ටේ‍්‍රලියාවේ පදිංචියට යන්න. ඒ දවස්වල ඕස්ටේ‍්‍රලියාවට පදිංචියට යනවා කියන එක ලොකු වාසනාවක්. ඒ අවස්ථාව බොහෝ දෙනාට හිමි වන්නේ නැහැ. අක්කා ඕස්ටේ‍්‍රලියාවේ හිටපු නිසා අපිට ඒ ගමනට පහසුවක් වුණා. වීසා ඔෆිස් එකේ හිටපු බොහෝ දෙනා මහත්තයාගේ යාළුවෝ නිසා වීසා ගැනීමට අපහසුවක් වුණේත් නැහැ. අපි පදිංචි වුණේ ඕස්ටේ‍්‍රලියාවේ නිව්කාසල්. ආසාවට ඕස්ටේ‍්‍රලියාවට ගියාට එහි පදිංචිය ගැන අපි සෑහීමකට පත්වුණේ නැහැ. අවුරුදු හයකට පස්සේ අපි ලංකාවට ආවා. ඕස්ටේ‍්‍රලියාවට යන්නට පෙර ලංකාවේ තමයි මගේ දුව ලැබුණේ. මුල් අවධියේ ඇය ඕස්ටේ‍්‍රලියාවේ ඉගෙන ගත්තා. පසුව ලංකාවට ඇවිත් මියුසියස් විදුහලේ ඉගෙන ගත්තා. දැන් විවාහකයි. ඇය විවාහ වෙලා සිටින්නේ නීතිඥවරයෙක් සමඟ. සේරම් නීතිඥ සමාගමේ පුතකු වන ප‍්‍රභාෂ් ද සේරම් සමඟ. මට මිනිබිරියක් සහ මුණුබුරන් දෙදෙනෙකු සිටිනවා. මිනිබිරිය කාන්තා විද්‍යාලයේ, මුණුපුරන් දෙදෙනා සාන්ත තෝමස් විදුහලේ ඉගෙන ගන්නවා.
 
 ඔබ රූපලාවණ්‍යාගාරයක් ආරම්භ කළා නේද?
 
 ඔව් ලංකාවට නැවත පැමිණියාට පසු රඟපෑමෙන් ඉවත් වූ නිසා කාලය නාස්ති වීමක් වැනි දෙයක් මට දැනුණා. ඒ හේතුව මතයි මම රූපලාවණ්‍යාගාරයක් ආරම්භ කළේ. තරුණ කාලේ පටන් මටයි ශිරානි අක්කටයි දෙදෙනාටම ලස්සනට මනමාලියක් හැඩගැන්වීමට, කොණ්ඩා මොස්තර දැමීමට. මේකප් කිරීමට හැකියාවක් තිබුණා. ඒ දිනවල අපි දෙදෙනාම එකතු වී මනාලියන් හැඩ ගැන්වුවා. ඒ අයගේ ඉල්ලීම වූයේ නැවතත් රූපලාවණ්‍ය කටයුතුවල නිරත වන ලෙසයි. හැඩගැන්වීම පිළිබඳ මා තුළ තිබූ ඒ ආභාසය නිසා මම රූපලාවණ්‍යගාරයක් ආරම්භ කිරීමට තීරණය කළා. මම පුෂ්පා අහංගම නැමැති රූපලාවණ්‍ය පිළිබඳව විදෙස් පුහුණුව ලත් රූපලාවණ්‍ය ශිල්පිනියගේ සියලූ‍ම රූපලාවණ්‍ය කටයුතු සහ කොණ්ඩා කැපීම කොණ්ඩා සැකසීම ආදී සියල්ලම පිළිබඳ හොඳ දැනුමක් අවබෝධයක් ලබා ගත්තා. පසුව මම ජානකී සැලෝන් නමින් රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන ගියා. දහස් ගණන් මනමාලියන් හැඩ ගැන්වුවා. මගේ රූපලාවණ්‍යා සේවා කාලය අවුරුදු තිහක් වනවා. මම දෙහිවල කළුබෝවිල පදිංචිව සිටියදී මගේ නිවසේම රූපලාවණ්‍යගාරය පත්වාගෙන ගියේ.
 
 වසර තිහකට පසුව මම රූපලාවන්‍ය කටයුතු සියල්ල නවතා දැම්මා. මගේ සැමියා අවුරුදු 10කට පෙර මිය ගියා. ඔහු මිය ගියාට පසුවත් මම කළුබෝවිල නිවසේ අවුරුදු දහයක් තනිවම ජීවත් වුණා. ඒ විශාල නිවසක් නමුත් බය කියන දේ මගේ සිතේ නැහැ. කළුබෝවිල නිවසින් නික්ම ගොසින් මම දැන් ජීවත් වන්නේ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ. මම දරුවන්ගේ මුණුපුරන් මිනිබිරියන් නිතරම මාව බලන්න එනවා. මම ඒ අය බලන්නට යනවා. මම කුඩා කල පටන් සතුටින් නිදහසේ ජීවිතේ ගත කරපු කෙනෙක්.
 
 අදටත් මම නිදහසේ සතුටින් ජීවත් වෙනවා.
 
 
 

 ඡායාරූප - දයාන් විතාරණ