මුලින්ම ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයකට ඉදිරිපත් වුණාට පරීක්ෂණයෙන් අසමත්

ජ්‍යෙෂ්ඨ නිවේදිකා චිත‍්‍රා කුමාරි කළුබෝවිල
ජූලි 21, 2022

 


”වේලාව දහවල් 12.45යි. මේ ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප‍්‍රවෘත්ති. ප‍්‍රකාශය චිත‍්‍රා කුමාරි කළුබෝවිල විසින්.”‍ මේ වැකිය කියවන විටම ඔබට ඒ හඬ ඇසෙනවා වැනි හැඟීමක් මතු වනු නියතය. අඩසිය වසකට ආසන්න කාලයක් පුරා නර්ථනය, රංගනය, ගායනය ආදි විවිධ හැකියාවන් ඔස්සේ කලා ක්ෂේත‍්‍රයේ විවිධ පැතිකඩ ඔස්සේ පැමිණි ඇය අවසානයේ විශේෂිත, ජනප‍්‍රිය චරිතයක් බවට පත් වූයේ නිවේදනයෙනි. ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උලෙළේ හොඳම ප‍්‍රවෘත්ති නිවේදිකාව ලෙස තෙවරක් නොකඩවා සම්මානයට පාත‍්‍ර වීමෙන් වාර්තාවක් පිහිටුවීම පිළිබඳ ඇය අපට දැන් වූ පසු මෙසේ පිළිසඳරකට යොමු වුණෙමු. මේ චිත‍්‍රා කුමාරි කළුබෝවිල නම් ජ්‍යෙෂ්ඨ නිවේදිකාවගේ මෙතෙක් ගමනේ මංසලකුණු කීපයකි.


”අපි හිටියේ මරදානේ ටවර් හෝල් රඟහල ඉදිරිපිට. අපේ වහලේ සිදුරුවලින් උදේට හිරු එළිය ගෙට වැටෙනවා. ?ට සඳ එළිය එබෙනවා. වහිනකොට වැහි බින්දු ගේ තුළට බේරෙනවා. බිත්ති වෙනුවට තිබුණේ ඉටිරෙදි. හැබැයි අපේ අම්මා (ශීලා සරත්කුමාරිහාමි හෙට්ටිආරච්චි) අප්පච්චි (සිමියොන් කළුබෝවිල) අපි වෙනුවෙන් බොහෝ දුක් වින්දා කැප වුණා. අම්මා නුවර. ඔවුන් අපව යොමු කළේ කොළඹ ආනන්ද බාලිකා විදුහලට සහ මරදාන අභයසිංහාරාමයේ ශ‍්‍රී සංඝරාජ දහම් පාසලට. මට පාලි භාෂාව ඉගැන්නුවේ පූජ්‍ය පණ්ඩිත වෙළේගම්මැද්දේ විමලජෝති ස්වාමීන් වහන්සේ. සීලක්කන්ද ස්වාමීන්වහන්සේට කියලා අපට බුද්ධගජ්ජය, සකස්කඩය වැනි පොත් කියෙව්වා. අම්මාට කළ නොහැකි දෙයක් නෑ. වහල හදන්නත් පුළුවන්, සිමෙන්ති වැඩත් පුළුවන්, කෑම උයන්නත් පුළුවන්, මැහුම් ගෙතුම්, ගී ගයන්න, සර්පිනාව වයන්න ආදියත් පුළුවන්. හරි කාරුණිකයි. ඒ වගේම හරිම උගත්, බුද්ධිමත්. අප්පච්චීටත් හොඳට සින්දු කියන්න පුළුවන්. අපි කුඩා කාලේ සමහරදාට හවසට මමයි නෙළුම් නංගියි, ලලිත් සහ සංගීත් මල්ලිලායි ගෙදර පවුලේ පැදුරු පාටි දානවා. ඉතින් අපව කුඩා කාලේ සිටම ගුවන්විදුලි ළමා මණ්ඩපයට යොමු කරලා, වැඩසටහන් ඉවරවෙලා අප එනතුරු අම්මා එළියේ ටැටිං ගොතමින් ඉන්නවා.”‍

ඇය කීවේ මවු පියන්, විශේෂයෙන් මව වෙනුවෙන් උපන් අසීමිත සෙනෙහස වචනවලට පෙරළාගත නොහැකි තරම් හැඟීම්බරවය.

”‍1960 දශකයේ අගභාගයෙන් පසු අපි ළමා මණ්ඩපයේ ගීත ගැයුවා, බෝසත් ළමා ළපැටියෝ, හඳමාමා වැඩසටහන්වලට සම්බන්ධ වුණා, කටහඬ පරීක්ෂණවලින් සමත් වුණා. ළමා සංගීත සන්ධ්‍යාවේ ළමා ගී ගැයුවා.

මම කුඩා කාලෙ ඉඳන් එක එක රැකියා ගැන හීන මැවුවා. පොලිස් කාන්තාවක්, ගුරුවරියක්, නීතිඥවරියක්, ගුවන් සේවිකාවක් වගේ ක්ෂේත‍්‍ර දිගේ ඒ හීන වෙනස් වෙමින් ගියා. තිබුණු ආර්ථික දුෂ්කරතා නිසා වෙනත් තරුණියන්ට ඇති තුරුණු වියේ සිතුවිලිවලට වඩා වෙනස් අභිලාෂයන් තිබුණේ. උසස් අධ්‍යාපනයට යොමු වෙනවාටත් වඩා මේ ගංගාවෙන් එගොඩ වෙලා මඩ ගොහොරුවෙන් මතුවන නෙළුම් මල් වගේ පිපෙන්නෙ කොහොමද? අම්මා අප්පච්චීට රජ සැප නැතත් පුළුවන් විදිහට සලකන්නේ කොහොමද? කියන සිතිවිල්ලයි මට තිබුණේ. මම බුදු හිමියන්ගේ ජීවිතය බෙහෙවින් අධ්‍යයනය කළා. තනිව බුදු වෙනවාට වඩා අනෙක් අයටත් මඟ කියා දෙමින් ගිය ගමන දෙස බලා මගේ ජිවිතය හදාගෙන පවුලේ අයටත් උදවු කරන්න ඕනෙ වුණා. හැබැයි මම කුඩා කාලේ හරි බයයි. බෙලූ‍මක්, රතිඤ්ඤයක් පිපිරුණත්, ගෙරෙව්වත් බයයි, අඬනවා. හැබැයි පසුකාලීනව මම මගේ ආරක්ෂාව උදෙසාම නිර්භයව ඉදිරියට යන්න පුරුදු වුණා.”‍

ඇය පවසන්නේ සිනාමුසු වතිනි.

”‍මම ගුරුවරියගේ සිහිනය සැබෑ කරගෙන අර්ධකාලීන නැටුම් ගුරුවරියක් වශයෙන් මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ සහ වාද්දුව රෝමානු කතෝලික මිශ‍්‍ර පාසලේ සේවයට බැඳුණා. එහිදී සංගීතය උගන්වන්නත් මට සිදුවුණා. ඒ ඒ අංශවල පාසල් තරගවලින් අපේ පාසලේ දරුවන්ට ජය ලබා දෙන්න මට හැකි වුණා. මමත් නෙළුම් නංගිත් යම් මට්ටමකට සංගීතය ඉගෙන ගත්තේ ආචාර්ය දයාරත්න රණතුංග ගුරුතුමාගෙන්. පාසලේදී අපට නැටුම් ඉගැන්නුවේ ධර්මසිරි ගමගේ මහත්මාගේ බිරිඳ සීතා ගමගේ මිස්. නන්දා පී. වික‍්‍රමසිංහ මහත්මිය සංගීතය ඉගැන්නුවේ. මම ඉගැන්වූ පාසල් දෙකේම හිටියේ ධීවර ජනතාවගේ සහ ලී මුදලාලිලාගේ දරුවන්. ඇති නැති පරතරය මම හොඳින් දුටු නිසා, මගේ ජීවිතයේ අත්දැකීම්වලට ඒ අයගේ අත්දැකීම් සමාන නිසා මම ඒ දරුවන්ට බෙහෙවින් ආදරය කළා. මම මුලින්ම ගුරුවරියක් ලෙස යද්දි ගුවන්විදුලියේ සිටි කුසුම් පීරිස්, සුජාතා ගුණවර්ධන අක්කලා තමයි මට සාරියක්වත් තෑගි කළේ. ”‍ ඇයගේ මුහුණේ කෘතඥ පූර්වක හැඟීමකි.

”‍මට නිවේදිකාවක් වීමේ හීනයක් නම් තිබුණේ නැහැ. හැබැයි කලා ක්ෂේත‍්‍රයේ සිටිය යුතු බවට හැඟීමක් අම්මා අපට ඇති කළා. උගතුන්, බුද්ධිමතුන්, කලා ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් ඇසුරු කරන්න අපව පෙලඹුවා. ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් වැනි උගතුන් අපේ ළමා වැඩසටහන්වලට සහභාගී වුණා. අපේ ජ්‍යෙෂ්ඨ නිවේදක නිවේදිකාවන් අපට මුණ ගැහෙන්න අවස්ථාව උදා වුණේ ඒ උනන්දු කිරීම මත අප කටයුතු කළ නිසා. සරස්වතී මණ්ඩපය වැනි වැඩසටහන්වලදි අපට ප‍්‍රතිභාසම්පන්න පිරිස ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා.

ඒ නිසා මටත් කලා ක්ෂේත‍්‍රයේ කොතැනක හෝ රැඳී සිටින්න අවශ්‍ය වූ නිසා වේදිකා නාට්‍යවල ප‍්‍රධාන සහ උප ප‍්‍රධාන චරිත කළා. මුලින්ම බී. සිරිතුංග පෙරේරා මහතාගේ ගිනි කඳු නාට්‍යයේ තමයි මම ප‍්‍රධාන චරිතයක් කළේ. දයානන්ද ගුණවර්ධනයන්ගේ ගජමන් පුවත, දයා වයමන්ගේ අම්මයි පුතයි, ඬේෂන් අමරසිංහගේ කිරිගරුඬ වැනි 12ක පමණ රඟපෑවා. ජර්මන් ජාතික මහාචාර්ය නෝබර්ට් ජේ. මයර් අධ්‍යක්ෂණය කළ අනේ අබ්ලික් නාට්‍යයේ මමයි, නෙළුම් නංගීයි, කමල් අද්දරආරච්චි, ජයන්ත චන්ද්‍රසිරි වැනි අය සමඟ රඟපාන්න අවස්ථාව ලැබුණා. එහිදී ලැබුණු ආශ්වාස ප‍්‍රශ්වාස සහ ශාරීරික අභ්‍යාස, හඬ පුහුණුව වැනි දේ අපට නිවේදිකාවන් ලෙස කටයුතු කිරීමේදී බොහෝ වැදගත් වුණා. එයට අපව තෝරා ගැනීම වෙනුවෙන් මහාචාර්ය තිස්ස කාරියවසම්, ළමා හා යොවුන් නාට්‍ය ආයතනයේ ගාමිණී විජේසූරිය ගුරුවරුන් මතක් කළ යුතුයි. මගේ සේයා රූ ආදිය පත්තරවල පළ වෙනවා ඒ කාලේ හරි ජනප‍්‍රිය වෙන්න පටන් ගත්තා. ඒත් රංගනය පිළිබඳ ඉහළට හදාරන්න රාජ්‍ය මට්ටමේ තක්සලාවක් අපට නොතිබුණු නිසා අපට ඒ පැත්තෙන් ඉහළට යන්න සහ වෘත්තීය මට්ටමක් ඇති කරගන්න බැරි වීම අදටත් පවතින ප‍්‍රශ්නයක්. මම ඒ අතර ගුවන්විදුලි නාට්‍ය, සහන නිවේදන කටයුතු කරනවා. හවස 6.00 සිට 11.15 වනතුරු අපි මැදිරියේ රාජකාරි කරනවා. පසුදා පාසල් යන්නත් ඕනේ. එය ‘කට්ටක්’ නම් මම අදටත් කට්ට කනවා. (සිනාසෙයි) අපේ හීන සැබෑ කරගන්න නම් මට රැකියාවක් අවශ්‍ය වුණා.”‍

කල්පනාවක නිමග්නව සිටි ඇය යළිත් කතාව අරඹයි.

”‍අනෙක් සිහින බොඳ වෙද්දි මම කවදාවත් නොහිතපු සිහිනයක් සැබෑ වුණා. නැටුම් ගුරුවරියක් සහ ගුවන්විදුලි නිවේදිකාවක් යන භූමිකා දෙක කරමින් ඉන්න අතර මට ඒ දෙකින් එකක් තෝරා ගැනීමට අවස්ථාව ආවා. කුසුම් පීරිස් මහත්මියට ස්තුති වන්න මගේ කන මිරිකලා එතුමියම ඉල්ලූ‍ම්පත සකස් කරලා තමයි මම සහන නිවේදිකාවක් බවට පත් වුණේ. නැටුම් ගුරුවරියක් ලෙස සහ නිවේදිකාවක් ලෙස ස්ථිර පත්වීම් සඳහා ලියුම් දෙකම මට ලැබුණේ එකවර. ඉතින් මම අම්මාගෙන් ඇහුවා මොකද කරන්නේ කියලා. ඇය කීවා ‘පුතේ දැන් ඔයාට ප‍්‍රාදේශීය ශිෂ්‍ය පිරිසක් ඉන්නවා. දිස්ත‍්‍රික් ජයග‍්‍රහණ පාසලට ලබා දීලා තිබෙනවා. දැන් ඔයා රටට ලෝකයට යන්න ඕනෙ.‘ කීවා. අම්මා කොච්චර දුර දකින්න ඇත්ද? ඒ තමයි මගේ හඬ ගැන ඇති වුණු විශ්වාසය.”‍ ඇය මවට දක්වන ගෞරවාදරය යළිත් මතුව එයි.

”‍ප‍්‍රසංග වේදිකාවට මගේ දායකත්වය ලැබුණෙත් අහඹු රසවත් සිදුවීමකින්. මම නිවේදනය කළ එක්තරා දැන්වීමක අයිතිකරුවෙක් සංගීත ප‍්‍රසංගයක් කරනවා කියලා එහි නිවේදන කටයුතුවලට මට ආරාධනා කළා. ඒත් මම ඒ වෙද්දි ප‍්‍රසංග වේදිකාවල නිවේදනය කර නැති නිසා බෑ කියලා තරයේ ප‍්‍රතික්ෂේප කළා. පසුව ඔහු කීවා අඩුම තරමේ ඔහුගේ වෙළෙඳ දැන්වීම පමණක් එහි නිවේදනය කරන්න කියලා. එය මට බැහැ කියන්න බෑ. මම ලියලා අවුරුද්දක් පුරා මම නිවේදනය කළ වෙළෙඳ දැන්වීම මට කටපාඩම් නිසා. ඉතින් ෆෝචූන්ස් වාදක කණ්ඩායම සමඟ හේමසිරි හල්පිට මහත්මා ඉදිරිපත් කළ වැඩසටහනේ මමත් ගිහින් පැත්තක ඉඳගෙන හිටියා. වෙළෙඳ දැන්වීම නිවේදනය කරන්න අවස්ථාව ලැබුණාම එය කටපාඩමින්ම කළා. විශාරද නීලා වික‍්‍රමසිංහ මහත්මියගේ ගීත කීපයක් හල්පිට අයියා නිවේදනය කළා. රසිකයන් වන් මෝ කියමින් තවත් ගීත ඉල්ලනවා. ඉන් පසු එකපාරටම ඔහු කීවා ඔව් අප ඇයව යළි කැඳවන්න සූදානම්. ඒ සඳහා නිවේදන කටයුතුවලට වඩාත් සුදුසු චිත‍්‍රා කුමාරි කළුබෝවිලට මම ඒ සඳහා ආරාධනා කරනවා කියලා. මිනිස්සු කමෝන් චිත‍්‍රා ගගා කෑගහන්න ගත්තා. මගේ බඩ පපුව දැවිල්ලයි වගේ. ඒත් මොනවා කරන්නද? ඒ අතර ස්ටැන්ලි පීරිස් මහත්මයා සැක්සෆෝනයෙන් පපර බෑන්ඞ් එකක් ගහන්න ගත්තා මාව උනන්දු කරන්න. මම තක්කු මුක්කු නැතුව ගියා මොනවද කියන්නේ කියලා. හැබැයි ගුවන්විදුලියේ පුස්තකාලය තමයි මට ඒ මොහොතේ තක්සලාවක් වගේ පිහිට වුණේ. නීලා අක්කා සී. ද ඇස්. කුලතිලක මහත්මයාගේ ගුවන්විදුලි පර්යේෂණ ගීවලින් ආ බව සහ කළුදිය දහර චිත‍්‍රපටයේ මාස්ටර් සර් ගීයට ඒ වෙද්දි සම්මාන ගෙන තිබුණු බව මට මතක් වුණා. ඒ ටික වචනවලට පෙරළා කීවා. නීලා අක්කා ආදරෙන් ස්තූති කර ගී ගයන්න ගත්තා. හල්පිට අයියයි, ස්ටැන්ලි අයියායි ඉඟිබිඟි කරගන්නවා දැක්කේ ඊට පස්සේ. මම ඔරවාගෙන ගියා තරහට. ඔවුන් කීවා ඔය වචන ආවේ හොඳට අපට රැව්වාට කියලා. ඒ දෙන්නා කතා වෙලා තමයි පපරෙ වාදනය කළේ මට. ඊළඟට ආවේ ජෝතිපාල මහත්මයා. ගීත හතරකට හල්පිට අයියා නිවේදනය කරලා කියනවා. හැම තිස්සෙම මම නිවේදනය කරලා හරියන්නේ නෑ. ඔබ බලනවා ඇති මේ වගේ නිවේදිකාවක් සිටියදී මම පමණක් නිවේදන කටයුතු කරන්නේ ඇයි කියලා. ජෝතිව නැවත වේදිකාවට කැඳවීමට සඳහා මම චිත‍්‍රා කුමාරි කළුබෝවිලට ආරාධනා කරනවා. පළමු තරම් මගේ ඇඟ ගැහෙන්න ගත්තේ නෑ. මම කීවා ”‍කවදාවත් නොමියෙන, නොමැරෙන අමරණීය අසහාය ගී හඬ කාගෙද කීවොත් කුමක්ද ඔබ කියන්නේ.”‍ කියලා කියාගෙන ගියා. ජෝති අයියා මයික‍්‍රෆෝනය අරගෙන බර හඬින් කීවා ”‍අපේ චූටි චිත‍්‍රා නංගි හරි ලස්සනට එනවුන්ස් කළා. මම ඔයාට සුබ පතනවා. ගහන්න චිත‍්‍රා නංගිට හොඳ අත්පොළසන් පාරක්”‍ කියලා මගේ ඔළුව අතගාලා ආශීර්වාද කළා. එදා ඉඳන් මම ප‍්‍රසංග වේදිකාවේ නිවේදිකාවක් වුණා.” ‍ඇය පවසන්නේ මේ මොහොතේද දැනෙන තිගැස්මක් සමඟිනි.

”කාන්තාවන්ට අභියෝග ආවාම පස්සට යන්න හොඳ නෑ. ඒවාට මුහුණ දෙන තරමට තමයි අපට පන්නරය ලැබෙන්නේ. ඒ වගේම තමන්ගේ විෂයය පිළිබඳව සහ රට තොට පිළිබඳ ඇසූ පිරූ තැන් තිබීම නිවේදන කටයුත්තට අත්‍යවශ්‍යයි. නීල් වර්ණකුලසූරිය සහ නෙල්සන් වාස් තමයි මුලින්ම විදේශීය ප‍්‍රසංග වේදිකාවක මට අවස්ථාව දුන්නේ කුවේට් රාජ්‍යයේ සංගීත ප‍්‍රසංගයක් සඳහා. ඉන්පසු මම රටවල් ගණනාවක සංචාරය කළා.”‍

යළිත් ඇය අතීතයේ මංපෙත් ඔස්සේ ඇවිද යයි.

”මම මුලින්ම ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයකට ඉදිරිපත් වුණාම ඉස්පිල්ලක්වත් නොවැරැදී කීවාට පරීක්ෂණයෙන් අසමත්. සති දෙකකින් පමණ මම ඇහුවා ආරියසේන මිල්ලවිතානාච්චි මහත්මාගෙන් ඇයි මම කිසි වැරැද්දක් නොකර අසමත් වුණේ කියලා. ඔහු එච්. එම්. ගුණසේකර මහත්මයාගේ කාමරයට එක්කගෙන ගියා. ඔහු මට කීවා ‘අනේ පුතේ ඔයා හොඳටම ප‍්‍රවෘත්ති කීවා. කිසිම වරදක් නෑ. හැබැයි පුතේ ඔයාගේ එකම නුසුදුසුකම තාම පුංචි වැඩියි. ඔයාගෙ කටහඬ තවම ප‍්‍රවෘත්තිවලට බර මදි. තව අවුරුදු පහකින් තියෙන පරීක්ෂණයට ඔයා ඉදිරිපත් වෙන්න. එතකල් අනෙක් වැඩසටහන් ඔයා කරනවානේ.‘ කීවා. අවුරුදු පහකට පස්සේ කාන්තාවන්ගෙන් වැඩිම ලකුණු අරගෙන මම ඒ පරීක්ෂණය සමත් වුණා.

දවසක් දිවා ගී වැඩසටහන අවසන් කරමින් සිටියදී කවදාවත් නැතිව මරණ දැන්වීම් 12ක් ඇවිත් තිබුණා. මම ඒ ගැනත් අවධානය යොමු කරගෙන දිවා ගී නිම කරලා තේමා වාදනයත් දාලා ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්න කියලා වැඩසටහන නිමා කළා. එය වෙනත් මැදිරියක කෙරෙන්නෙ. එකපාරටම සංස්කාරකවරියක් වන ජයන්ති මුතුකුමාරණ අක්කා මගේ මැදිරියේ දොර වේගයෙන් ඇරගෙන ඇවිත් ‘අනේ නංගි මේක කියන්න‘ කියලා කොළ වගයක් මගෙ අතට දීලා ගියා. බලද්දි ප‍්‍රවෘත්ති පිටපත. නිවේදකයා ඇවිත් නෑ. මම ප‍්‍රවෘත්තියක්වත් දැකලත් නෑ. අර සීතල කාමරේ මගේ ඉහෙන් කනින් දාඩිය දානවා. මගේ හිතෙන් මම කියනවා ‘මට පුළුවන් මට පුළුවන්‘ කියලා. හැබැයි බඩ ඇතුළෙන් ගැහෙනවා. මුලින්ම ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහත්මයාගේ ප‍්‍රවෘත්තියක්. සංස්කරණය ගැන කියලා. මගේ නමත් කියනවාද නැද්ද කියලා හිතලා ඒ්ත් කිව්වා. මම බලද්දි බීම් එකේ කට්ටිය මැජික් වගේ මගේ දිහා බලන් ඉන්නවා. මම ඒ දිහා නොබලා ප‍්‍රවෘත්තිය කීවා. ජයන්ත රෝහණ අයියා තමයි මට ඔබ මේ සවන්දෙමින් සිටින්නේ දිවා ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයටයි කියලා ‘ස්ටේෂන් කියන්න‘ සංඥාව දුන්නේ. එදා මට මිල්ලවිතාන මහත්තයා ඇතුළු පිරිස හරියට ප‍්‍රශංසා කළා. මාව කෙළින්ම තේවිස් ගුරුගේ සභාපතිතුමා ළඟට ගෙනිච්චාම ඔහු මට කීවා බොහොම හොඳයි කියලා. එදා ප‍්‍රවෘත්ති කියන්න නියමිත පේ‍්‍රම කීර්ති අයියා ජාතික රූපවාහිනියේ පිකටින් එකක ඉඳලා වෙලාව අමතක වෙලා. පස්සේ ඇවිත් මට ස්තුති කළා. ගුවන්විදුලිය බේරාගත්තා කියලා”‍. ඇය අතීත සැමරුම් රැසක් සමඟ තෙත් වුණු දෑසින්ම මුත් සිනාවකින් යුතුව පැවසුවාය. ඉන් පසු ඇගේ හඬ බැ?රුම් ස්වරූපයක් ගති.

”‍තිස් වසරක යුද්ධය පවතිද්දි මමයි, නෙළුම් නංගියි යාපනයේ ගියේ ගුවන් විදුලි සංස්ථාවෙන් කෙරෙන සජීවී වැඩසටහන්වලට නල්ලූර් කන්දසාමි කෝවිල අසල ඉඳගෙන. යාපනයේ සේවයේ පළමුවැනි සිංහල නිවේදිකාව ලෙස මම සේවය කළේ 1994 වසරේ මාර්තු 8 අන්තර්ජාතික කාන්තා දිනය දවසේ. අපි පැය 14ක් පුරා ගියේ ඊපීඞීපී නැවක. ඉන්දියාවේ භූමි මායිම පෙනෙමින් එහෙම ගියේ හෙලිකොප්ටර්වල ගියොත් මිසයිලවලට හසුවෙයි කියා අවදානමක් තිබුණ නිසා. සිහ ශක්ති සංගීත කණ්ඩායම සමඟ. සේන වික‍්‍රමආරච්චි නිවේදක මහත්මයා එහි සේවය කළා. රණ බිමෙන් නිවහනට සහ සන්ධ්‍යා සේවයෙන් වෙනම වැඩසටහන්වලිනුත් අප කතා කළා. සංඝමිත්තා තෙරණිය ගොඩබට මාදගල් ප‍්‍රදේශය අප සියැසින් දුටුවා. එය විශේෂිතයි. ජෙනරල් සුසන්ත මෙන්ඩිස් මහත්මාගේ ආරාධනයෙන් වසර 12ක් වසා තිබූ නල්ලූර් කෝවිල විවෘත කර යාපනයේ දෙමළ ජනතාවට වැඳපුදා ගන්න අවස්ථාවේ සජීව විස්තර ප‍්‍රචාරය මගේ ජීවිතේ කවදාවත් අමතක නොවන බිහිසුණු වගේම සුන්දර ගමනක්. පසුව මම වසරකට සැරයක් දෙමසක් එහි සේවයට සඳහා ගියා. බංකර්වල ඉන්න රණවිරුවන් අපේ වාහනය නවත්වා අපව බලන්න ඕනෙ කියලා කියනවා. කෑම ලෑස්ති කරගෙන හිටියා අපට දෙන්න. බංකර්වල පවා යන්න අවස්ථාව ලැබුණා. ජෙනරල් ලැරී විජේරත්න සමඟ පේදුරු තුඩුව පිළිබඳ වැඩසටහන් කළා. තල් අරණේ චාරිකා වැඩසටහන මගේ සංකල්පයක් අනුව ඇති කළේ. අපි ඊළඟ සතියේ යන ස්ථානය ගැන දැනුම් දුන්නාම ඒ ස්ථානවල සෙබළ සෙබළියන් ගීත ගයන්න, කුඩා නාට්‍ය කොටස් රඟපාන්න සූදානමින් සිටියා. ඒ අත්දැකීම් හරිම සුන්දරයි. ඒත් රණවිරු ¥පුතුන් වින්ද දුක දුටුවාම හරිම සංවේදියි. ගුවන් විදුලි නිවේදිකා ගමන ගැන හැරී බැලූ‍වාම බැලූ‍මක් පිපිරුවත් හැඬුව මම ද ඒ යුදබිමේ බෝම්බ මැදින් ගොස් වැඩසටහන් කළේ කියලා හිතෙන වෙලාවල් තිබෙනවා. අපට හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. අවශ්‍ය වන්නේ ආත්ම ශක්තිය, උත්සාහය සහ කැපවීමයි. කුමන ක්ෂේත‍්‍රයක වුණත් එක රැයින් ජනප‍්‍රිය වෙන්න දෙයක් කළොත් එය අසාර්ථකයි. අප අපේ ආයතනයට, ක්ෂේත‍්‍රයට කරන සේවය හා කැපවීම අනුව රට අප ගැන තීරණය කරනවා. ඒ දේවල්වලට මට නිසි සැලකුම් ලැබුණේ නැති අවස්ථා තිබුණා. ඒත් අපි බෞද්ධයෝ හැටියට ඒ දේවල්වලට සැලෙන්නේ නෑ. අනෙක් ආගම් කර්තෘවරුන්වත් අපට වෛර කරන්න උගන්වලා නෑ.”‍

ඇයගේ වාර්තාගත සම්මාන පිළිබඳ කතාවට එළැඹෙන්නට වේලාවයි.

”‍ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උලෙළ ආරම්භ කළේ එවක සංස්කෘතික අධ්‍යක්ෂවරිය අනූෂා ගෝකුල මහත්මියයි. මේ වන විට එය පවත්වාගෙන යන්නේ වත්මන් අධ්‍යක්ෂිකා තරණි අනෝජා මහත්මිය. 2017,2019,2020 වසරවල මේ තරගය පැවැත්වුණා. 2018 වසරේ එය නොවැළැක්විය හැකි හේතුවක් නිසා පැවැත්වුණේ නෑ. ඒ පැවැත්වුණු වසර තුනේම විශිෂ්ටම ප‍්‍රවෘත්ති නිවේදිකාව වීමේ වාසනාව මට උදා වුණා. 2017 සම්මානය ලබන විට මට මගේ අතීතය සිතුවම් පටයක් සේ මැවී පෙනෙන්න ගත්තා. සිංහල වෙළෙඳ සේවයේ අධ්‍යක්ෂවරිය ලෙස විශ‍්‍රාම ගිය පසුවයි 2019 සහ 20 වසර දෙකේ සම්මාන මම ලැබුවේ. මේ සම්මාන ත‍්‍රිත්වය එක අතකින් වාර්තාවක්. මීට පෙර කිසිම නිවේදිකාවක් එවැනි වාර්තාවක් තබා නැහැ. මගෙන් පසු ගුවන්විදුලියේ නිවේදක ඥානින්ද පෙරේරාට ඒ අවස්ථාව උදාවුණා. මීට පෙරත් මෙවැනි තරගවලින් මම ජයග‍්‍රහණය ලබා තිබෙනවා.”‍ නිහතමානී ආඩම්බරයකින් ඇය පැවසුවාය.

”‍මගේ ගනුදෙනුව තිබෙන්නේ ශ‍්‍රාවකයා සමඟයි. ගුවන් විදුලියේ ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය විශේෂයි. මොකද එය ශ‍්‍රව්‍ය මාධ්‍යයක් පමණයි. වචනය ගිලිහුණු පසු ඇදලා ගන්න බෑ. ඒ නිසා සෑම වචනයක්ම ශ‍්‍රාවකයාට අවබෝධ වන අයුරින් නිවැරැදි උච්ජාරණය, මහප‍්‍රාණ යෙදීම, වාක්‍යයක අර්ථය නිවැරැදිව ගම්‍ය වන අයුරින් පද බෙදීම ඇතිව ප‍්‍රකාශ කළ යුතුයි. රූප මාධ්‍යයේදී මෙය වෙනස්. නිවේදකයා පවසන දේහි රූපය පෙනෙන නිසා පේ‍්‍රක්ෂකයාගේ අවධානය වැඩි වශයෙන් යොමු වන්නේ රූපයට. එහි නිවේදනය පහසුයි කියා නොවේ මම කියන්නේ. එහෙත් ගුවන්විදුලියේ සහ රූපවාහිනියේ ප‍්‍රවෘත්ති ප‍්‍රකාශ වෙනස්.

දක්ෂතාවය ජනප‍්‍රියත්වයට අමතරව අප තුළ නිහතමානීකම තිබිය යුතුයි. මට හොඳින් හිනා වෙන අය සමඟ ඇඳුරුවත් නැතත් මම හිනාවෙනවා. මුදලට ගන්න බැරි එකම දේ සිනාව. සමහර විට අප නොදන්නවාට අපව අඳුනන ගැහැනු පිරිමි අය වෙන්න පුළුවන් ඒ. හැබැයි වැරැදි ලෙස මා දිහා බැලූ‍වොත් යම් කෙනෙක් මම ඔරවනවා. (සිනාසෙමින්) අපේ ආත්ම ගෞරවය රැකගන්න කාන්තාවක් තුළ ඒ අභිමානය තිබිය යුතුයි. අපේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් තුළ නිහතමානී ගුණ තිබුණත් අද අලූ‍ත් පරපුරේ බොහෝ දෙනා තුළ ඒ නිහතමානීකම නැහැ. අපි කවදා හෝ යන්න ඇවිත් ඉන්න බව කුඩා කාලේ සිටම දරුවන්ට ඉගැන්විය යුතුයි. අපේ අම්මා අපි හතරදෙනාට කීවේ සහජීවනයෙන් සිටිය යුතු බවයි. සමාජයේ අනෙක් අයට උදවු කළ යුතු බවයි.”‍

ඇය වර්තමානය සහ අතීතය අතර දෝලනය වෙමින් නිවේදිකාවකගේ භූමිකාව පිළිබඳ කියන්නට වූවාය.

”මම ගෝල්ඩන් වොයිස් මීඩියා ඇකඩමිය මඟින් නිවේදක නිවේදිකාවන් පුහුණු කරමින් සිටියා. විශ්වවිද්‍යාලවලින් වුවත් බොහෝවිට න්‍යායාත්මක කරුණු හැර ප‍්‍රායෝගික දැනුම ලැබෙන්නේ අඩුවෙන්. ඒ නිසා ඔවුන්ටත් නිවේදන කටයුතුවලට කැමැත්තෙන් සිටින පිරිසටයි පවත්වාගෙන ගියේ. කොරෝනා සමයත් සමඟ ඒ කටයුතු අඩාළ වුණා. මගේ ස්වාමි පුරුෂයා චන්දන පුෂ්ප කුමාර පත්තප්පෙරුම ජාතික ගුවන්විදුලියේ ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කාර්යභාර නිලධාරී ලෙසයි කටයුතු කළේ. යාපනයේ අපි සේවය කරද්දිත් ඔහුගේ සහාය මට හොඳින්ම ලැබුණා. අද තාක්ෂණය ඉදිරියට ගොසින්. තනිවමයි සියල්ල කරන්න වන්නේ. එය මටත් පුළුවන්. හැබැයි එය සන්නිවේදකයාට තිබෙන නිදහසට තරමක් බාධයි කියලත් හිතෙනවා.

අපි ගුවන්විදුලියට එන කාලේ අපේ ජ්‍යෙෂ්ඨයන්ට තිබුණේ අඩු වේගී රිද්මයක්. මට හිතුණා එය තරමක් මධ්‍ය ලයකට ගේන්න ඕනෙ කියලා. එනිසා ඒ රිද්මය, ශෛලිය වෙනස් කළ නිවේදිකාවක් මම. මේ වෘත්තිය යුගයෙන් යුගයට අභියෝගාත්මක වන දෙයක්. අලූ‍ත් පරපුර දක්ෂයි. ජනප‍්‍රිය වීම මූලික නොකර තමන් කරන දේ හරියට කරන්න. මම අධ්‍යක්ෂ ලෙස ඉද්දි ගයන ගැයුම් කණ්ඩායම් ගී පර්යේෂණාත්මක වැඩසටහන මඟින් ගුවන්විදුලියට විශාල ආදායමක් ලබා දුන්නා. එය මම මැදිරි නිවේදිකාවක් ලෙස කටයුතු කරන අතර කළ පර්යේෂණ කටයුත්තකින් කරන ලද්දක්. වෙළෙඳ සේවයේ විසපස් වෙනි සංවත්සරයට වෙළෙඳ සේවයෙන් බිහි වූ විසිපස් දෙනකු සහභාගී කරගෙන සංගීතාංජලී ප‍්‍රසංගය කරමින් හන්දියේ ගෙදර සහ මුවන්පැළැස්ස වැඩසටහන්වලින් කෙටි නාට්‍ය රඟදැක්වූවා. එය කළෙත් විශාල අභියෝග රැසක් මධ්‍යයේ. ප‍්‍රසංගය කළේ ගුවන්විදුලියෙන් වියදම් නොකර ගුවන්විදුලියට ලාභයක් ලබා ගැනීමටයි.”‍

මේ සියලූ‍ අත්දැකීම් සමඟ ඇගේ ගමන පිළිබඳ ඇයගේ විශ්ලේෂණය සමඟ අපේ කතාව නිමකරන්නට මොහොත උදා විය.

”මම විශ්වය සමඟ අනුගත කෙනෙක්. අපට එයින් විශාල ශක්තියක් ලැබෙනවා. අභියෝග ජයගන්න අපට විශ්ව ශක්තිය වැදගත් වනවා. මම දෙවරක් මාරයා පැර¥ කෙනෙක්. ආඝාතය නිසා මගේ හිසේ පිපිරුණු නහරය ශල්‍ය කර්මයට පරීක්ෂා කරද්දි ඉබේම පෑහිලා තිබුණා. වෛද්‍යවරු කීවේ මෙය විශ්වකර්ම වැඩක් කියලා. මගේ පෞද්ගලික ජීවිතයේ වගේම රාජකාරී ජීවිතයේත් හැමදාම මුහුණ දුන්නේ අභියෝගවලට. ඒ නිසා මම හිතනවා මම ඉපදිලා ඉන්නේ අභියෝගවලට මුහුණ දෙන්නම තමයි කියලායි.”‍




ඡායාරූප- නිශ්ශංක විජේරත්න