එදා ඔහුට අතදීම මට ආඩම්බරයක්

සිනමාවෙන් සමුගත් තලේ ගැන කේ.ඞී.දයානන්දගේ මතකාවර්ජනා
ජූලි 7, 2022

 

ක්ෂේත‍්‍රයේ අය එම්.වී. හේමපාල වඩාත් හඳුනා ගත්තේ තලේ කියා

කෙළිමඬල චිත‍්‍රපටය සඳහා හොඳම වර්ණ කැමරාකරණය වෙනුවෙන් 1991 දී සරසවිය සම්මානයට පාත‍්‍ර වුණා

සිනමා කැමරාකරණයෙන් රිදී තිරය මත ඔහු පෑ කුසලතාවයන් නිසාවෙන් එදා මෙන්ම අදත් දේශීය සිනමා කලාවේ සොඳුරු සිහිවටනයන් රැසක් අප අතරට එක්විය. කැමරා කාචය හා බද්ධ වූ ඔහුගේ ආත්මීය බැදීම අති ප‍්‍රබල සෞන්දර්යාත්මක රූප රචනයක් කරා පේ‍‍්‍රක්ෂකයා රැගෙන ගියා සේම චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන් නළු නිළියන් රැසක් අපේ සිනමා ලොවේ ඒකාලෝක කිරීමට ඔහු සත්භාවයෙන් කටයුතු කරනු ලැබීය. සිනමාවේ බොහෝ දෙනෙකුට දෙපයින් නැඟී සිටීමට සවිමත් අත්වැලක් සැපයූ යෝධ සෙවණැල්ලකි. කේ.ඞී.දයානන්ද කැමරා අධ්‍යක්ෂවරයකු ලෙසින් ඔහු සිනමාවට දායාද කළ සිනමා සිත්තම් සේ්ම කැමරා අධ්‍යක්ෂවරුන් ද බොහෝය. ඔහුගේ ගුරුහරුකම් ලබමින් කැමරාකරණයේ ඇසූ පිරූ තැන් සොයාගිය ප‍්‍රවීණ සිනමා කැමරා ශිල්පීන් අතරින් කෙනෙක, එම්.වී. හේමපාල. පසුගිය දා අප අතරින් වෙන් වූ සම්මානීය චිත‍්‍රපට කැමරා අධ්‍යක්ෂවරයකු වූ එම්.වී. හේමපාල (තලේ) ගැන අතීතාවර්ජනයක නියැළු‍ණේ කේ.ඞී. දයානන්දයන්ය.

ක්ෂේත‍්‍රයේ අය එම්.වී. හේමපාල වඩාත් හඳුනා ගත්තේ තලේ කියාය. මා සිතනුයේ ඔහුට ඒ ආරූඪ නම පැටබැඳුණේ දෙමාපියන් ඔහුට ආදරයට ඒ නමින් ආමන්ත‍්‍රණය කළ නිසා විය හැකිය. තලේට අවුරුදු 24ක් පමණ වන වකවානුවේ ඔහු කොළඹට පැමිණ තිබුණේ ගාල්ලේ සිටය. ගාලූ‍ පුරවරයේ තිලානේ ගම්පියසේ හැදුණු වැඩුණු තලේ කොළඹ ආවේ තම මාමා ගේ හෝටලයක රැකියාව කිරීමට ය.

 

දෙහිවල ගමගේ හෝටලය අයිතිව තිබුණේ තලේගේ මාමාටය. එහි වේටර් වැඬේ කරන්නට තලේට බාරවිය. එවක රටේ නම් දැරූ කලාකාරයකු වූ සුගතපාල ද සිල්වා බෝඩින් වෙලා සිටියේ දෙහිවල ගමගේ හෝටලය අසලම ඇනෙක්සිකය. සුගත පාල ද සිල්වා කෑම ගැනීමට නිතර ආ ගියේ ගමගේ හෝටලයටය. එහිදී නිතර දකින වේටර් කොලූ‍වා ගැන සුගතපාලයන් නිතර විමසිලි මත්විය. දිනක් මේ වේටර් කොලූ‍වාට කතා කළ සුගතපාල සිල්වා තමන්ගේ නාට්‍ය නිෂ්පාදන කණ්ඩායමට එක් වන්යැයි ඉල්ලීමක් කරනු ලැබීය. රටපුරා නමක් දිනූ සුගතපාලයන් වැන්නකු සමඟ වැඩ කිරීම ගෞරවයක් යැයි සිතූ තලේ නාට්‍ය නිෂ්පාදන කණ්ඩායමේ අත් උදව් කරුවකු ලෙසින් කටයුතු කරනු ලැබුවේ මාමාගේ කඬේ වේටර් රැකියාවට විරාමයක් තබමිනි.

 

මා දවස පත්තරයේ ස්ටීල් ෆොටෝග‍්‍රැෆර් කෙනෙක් ලෙස වැඩකරන අවධියේ එහි ලැබ් එකේ කටයුතු ද මට භාර කර තිබුණේ එවක දවස ආයතනයේ ෆෝටෝ අංශයේ ප‍්‍රධානියා වූ ඞී.බී. ධනපාල මහතාගේ පුත් ඞී.බී. සුරනිමල දිනක් මට පවසා සිටියේ ඞී.බී. නිහාල්සිංහ කියල කෙනෙක් කැමරාවක වැඩක් කරගන්න එයි, ඒක ලැබ් එකට අරන් අවශ්‍ය දේ කරලා දෙන ලෙසය. කියූ දිනයට වේලාවට ඞී.බී. නිහාල්සිංහ මහතා පැමිණියේ අපි එතෙක් පාවිච්චිකර නොතිබු ගණයේ කැමරාවක් සමඟය. මා එය ලැබ් එක තුළට රැගෙන ගොස් අවශ්‍යතාවය ඉටුකර නිහාල් සිංහ මහතා අතට එය පත් කරනු ලැබුවේ මේ ෆිල්ම් කැමරාවක් නේද කියාය. මමත් ආසයි මේ කැමරාව ගැන දැන ගන්න. මා එසේ කීවේ කැමරාවේ ක‍්‍රියාකාරීත්වය ගැන දැන ගැනීමට මා තුළ තිබූ ආශාව නිසාමය.

එවිට නිහාල්සිංහ මහතා මට පවසා සිටියේ ළඟදී වැඩක් කරන්න යනවා ඒ වැඬේ දී මම මේ ගැන කියලා දෙන්නම්. වැඬේ පටන් ගන්න දවස කියල මම පණිවිඩයක් එවන්නම් කියලා. ඒ කියූ ලෙසට ඞී.බී. නිහාල්සිංහයන්ගෙන් මට පණිවිඩයක් ලැබුණේ ඇවිත් හමුවන ලෙසටය. ඒ දවස මාත් ඞී.බී. නිහාල්සිංහයිනුත් එකට හමු වීමේ ෙඓතිහාසික දිනය වුයේ ඒදවසය. මගේ ඉල්ලීම පරිදි ඞී.බී. නිහාල්සිංහයන් මා හට චිත‍්‍රපට කැමරාවේ ක‍්‍රියාකාරීත්වය පටන් එහි ඇණ මුරිච්චියක් දක්වා කරුණු කාරණා කියා දුන්නේ කිසිදු ලෝබයකින් තොරවය. තව දවස් කීපයකින් මම වැඩක් කරනවා. සුගතපාල ද සිල්වාගේ ඒ වැඬේට මට උදව් කරන්න එන්න කැමරාව ගැන බොහොම දේ ඉගෙන ගන්නත් පුළුවන්. චිත‍්‍රපට කැමරාව ගැන ඉගෙන ගැනීමට මා තුළ තිබූ ආශාව නිසාම මමත් ඒ අදහස ඉහමුදුනින් පිළිගත්තේ් රටක් රාජ්‍යයක් දිනුවා සේය. ඞී.බී.නිහාල්සිංහයන් හා මා අතර ගුරුගෝල සබඳතාවය දලූලා වැඩෙන්නට මුලාරම්භය වැටුණේ මේ අයුරින්ය. සුගතපාල ද සිල්වා අපේ කට්ටිය නමින් නාට්‍ය කණ්ඩායමක් බිහිකර තිබුණේය. එහි නාට්‍ය ශිල්පීන් යොදාගනිමින් චිත‍්‍රපටයක් කිරීමට ඔහු සැලසුම් කර තිබුණේ ඞී.බී. නිහාල්සිංහයන් සමඟය. චිත‍්‍රපටය නම්කර තිබුණේ සමනලයෝ නමිනි. එහි ප‍්‍රධාන කැමරා ශිල්පියා ගේ භූමිකාව භාර වී තිබුණේ ඞී.බී. නිහාල්සිංහයන්ටය. මට නිහාල්සිංහයන් ආරාධනා කරනු ලැබුවේ ඔහුගේ කැමරා සහායකයා ලෙස වැඩ කිරීමටය.

 

තලේ මට හා පුරා කියා හමුවනුයේ සමනලයෝ රූපගත කිරීමට පැමිණි මොහොතේ දර්ශන තලයේ දීය. තලේ සුගතපාල ද සිල්වාගේ අපේ කට්ටිය නාට්‍ය කණ්ඩායමේ නිෂ්පාදන අංශයේ සහයකයකු ලෙසින් මෙම කටයුත්තට එක් වී තිබිණි. මගේ මතකයේ් හැටියට ඔය වකවානුව 1965 වර්ෂය විය යුතුය. සමනලයෝ රූප ගත කිරිම ඇරඹිණිි. මටත් මෙය අලූත් අත්දැකීමක්විය. මා නිහාල්සිංහයන්ට කැමරාවේ කටයුතු වෙනුවෙන් සහය ලබාදුන්නේ් ඒ පිළිබඳ මනා අවබෝධයක් මා තුළ ජනිත කර ගනිමිනි.

 

ප‍්‍රඩක්ෂන් එකේ වැඩකරමින් ඉන්නා තලේ නිරන්තරයෙන් උනන්දු වුයේ කැමරාකරණය සිදුකරන ආකාරය පිළිබඳ විමසිලිමත්භාවයෙන් බව මා හට දකින්නට ලැබූ නිසාවෙන් මා ඔහුට යෝජනාවක් ගෙන ආවේ වැඩ නැති වෙලාවට පැත්තකට වෙලා ඉන්නේ නැතුව කැමරාකරණය ගැන ඉගෙන ගන්න මේකට සහයට එන ලෙසය. තලේ මගේ අදහසට එකඟ වී මාත් සමඟ සමනලයෝ චිත‍්‍රපටයේ රූපගත කිරීම් වලට සහය ලබාදුන්නේ ඔහුට ඉඩහසර ලැබෙන පිළිවෙළටය. මසක් පමණ කාලයක් රූපගත කිරීම් වලින් පසු සමනලයෝ චිත‍්‍රපටයේ වැඩ කටයුතු අතරමඟ නතර කරන්නට සිදු වූයෙන් චිත‍්‍රපට නිෂ්පාදනයේ සිදු වූ මූල්‍යමය ගැටලූවක් නිසාවෙනි. එහිදී චිත‍්‍රපටයේ වැඩ කටයුතු අතරමඟ නතර වුයෙන් සුගතපාල ද සිල්වාගේ නාට්‍ය කණ්ඩායම සමඟ තලේ ද මා අතරින් වෙන්ව ගියේ චිත‍්‍රපටය රූප ගත කිරීම් තව දුරටත් සිදුනොවන බව ස්ථිර වූ නිසාවෙන්ය.

 

එකල චිත‍්‍රපට කැමරා හයර් කරන අය කිහිපදෙනෙකු සිටි අතර ඒ අතරින් ඞී.බී.නිහාල්සිංහ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ප‍්‍රධාන විය. නිහාල්සිංහ මහතා ළඟ කැමරා දෙකක් තිබිණි. නිරන්තරයෙන් ඔහු එම කැමරා හයර් කිරීම සිදුකරනු ලැබුවේ මුදලටය. කැමරාවක් හයර් කරනු ලැබු දවසේ මුදල වුයේ රුපියල් සියයකි. දවසට බටා එක විදිහට ලැබුණේ රුපියල් පහකි. නිරන්තරයෙන් නිහාල් සිංහ මහතා සමඟ මා ද කැමරා සමඟ එහෙ මෙහෙ ගියේ රූපගත කිරීම් වල සහය සඳහාය. එහිදී මට සහය කැමරා ශිල්පියා ලෙසින් කටයුතු කිරීමට අවස්ථාව උදා වූ නිසාවෙන් ටික කලක් තුළ ඞී.බී. නිහාල් සිංහයන් ගේ විශ්වාසය දිනාගත් ගෝලයා වීමේ භාග්‍ය මට උදා විය. ඒ නිසාම නිහාල්සිංහ මහතා නිරන්තරයෙන් හයර් එකට ගෙනයන කැමරා මා අත යවා ඒ කටයුත්ත ඉටු කරගැනීමට පටන්ගත් හෙයින් ඔහුගේ සියලූ බාහිර කැමරාකරණයන් මගේ සහභාගිත්වයෙන් සිදුවුයේ නිහාල්සිංහ මහතා ඒ වන විට කාර්යබහුල වීමත් සමඟය.

නිහාල්සිංහයන්ට වැඩ වැඩිවීමත් සමඟ තවත් කෙනෙකු වැඩට ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වූ නිසාම දිනක් මට පවසා සිටියේ ඒ සඳහා හොඳ පුද්ගලයකු සොයා බලන ලෙසයි. එවිට මට මතකයට ආවේ තලේය.

 

සමනලයෝ කරන අවධියේ තලේ කටයුතු කළ ආකාරය මා නිහාල් සිංහයන්ට මතක් කර දෙනු ලැබු අතර ඒ මොහොතේම ඔහු පිළිබඳ සොයා බලා හැකිනම් මේ සඳහා සම්බන්ධ කරගන්නා ලෙස මට පවසා සිටිනු ලැබීය.

 

මා පසුදිනම තලේ කියා තිබූ දෙහිවල ගමගේ හෝටලයට ගියේ නිහාල්සිංහයන්ගේ ආරාධනය ගැන පැවසීමටය. තලේ ආරාධනය පිළිගනු ලැබුවේ මහත් වූ භක්තියකින්ය. ඒ වන විට සිරිගුණසිංහයන්ගේ සත් සමුදුර චිත‍්‍රපටයේ වැඩකටයුතු පටන් ගැනීමට සූදානම් කොට තිබුණේය. එහි ප‍්‍රධාන කැමරාශිල්පියා වූයේ ඞී.බී. නිහාල්සිංහයන්ය. තලේ ගේ පැමිණීමත් සමඟ ඞී.බී. නිහාල්සිංහ ඔහුව සත්සමුදුර චිත‍්‍රපටයට සම්බන්ධ කර ගනු ලැබුවේ සහාය කැමරා ශිල්පියෙකු ලෙසිනි. මාද එම චිත‍්‍රපටයේ සහාය කැමරා ශිල්පියෙක් ලෙසින් කටයුතු කරනු ලැබීය. මම එහි ප‍්‍රධාන කැමරා සහයක ශිල්පියා වූ අතර තලේ දෙවන සහායක කැමරා ශිල්පියා ලෙසින් කටයුතු කරනු ලැබුවේ ඞී.බී.නිහාල් සිංහයන්ගේ ගුරු හරුකම් ලබමිනි. එතැන් පටන් ඞී.බී.නිහාල්සිංහ මහතාට චිත‍්‍රපට වැලක් ගලා ආවේ සියල්ල ඔහු අතින් කැමරා කරගැනීමටය. බිනරමලී, පරා වළලූ‍ ආදී චිත‍්‍රපට රැසක් වෙනුවෙන් තලේ සහය කැමරාකරණයෙන් දායක විය.

 

ඞී.බී. නිහාල්සිංහයන්ගේ කැමරා බඩු හයර් කිරීමේ කටයුත්තේ දී මා සමඟ යාමට ද තලේට අවස්ථාව උදාවිය. තලේ සමඟ ඒ කටයුතු වලට යාමේ දී අපි දෙදෙනාට රුපියල් දහයක් ඞී.බී. නිහාල්සිංහ මහතා දෙනු ලැබුවේ අපේ බටා එක විදියටය. වැඩ වැඩි වූ අවස්ථාවලදී නිහාල්සිංහ මහතා සතුව තිබූ එක් කැමරාවක් තලේ අරන් යාමටත් අනෙක් කැමරාව මා අරගෙන යාමටත් පටන් ගත්තේ තලේත් නිහාල්සිංහ මහතාගේ සිත් දිනාගත් විශ්වාසවන්ත ගෝලයකු වූ නිසාය. මේ හැම කටයුත්තකදීම නිහාල්සිංහ මහතාසේම මා ද තලේට කැමරාකරණය පිළිබඳ ගුරුහරුකම් ලබාදුන්නේ් කිසිදු ලෝභ සිතක් අප තුළ තබානොගෙනය. තලේ ද එම උපදෙස් හොඳින් අවබෝධ කරගත්තා සේම පිළිගනු ලැබුවේ ද අප දෙදෙනා තුළම ගුරු ගෞරවය නොකිලිටිව තබාගෙනය. නිහාල්සිංහ මහතාට සර් කියා ආමන්ත‍්‍රණය කළ තලේ මා හට මුල් අවධියේ කතා කරනු ලැබුවේ දයා අයියා කියාය. පසුව මම තනිවම කැමරා අධ්‍යක්ෂණය කිරීමට පටන් ගත් පසුව තලේ මැරෙන තුරාම මට කතාකළේ කේ.ඞී. මහත්තයා කියාය. මා විසින් කැමරා අධ්‍යක්ෂණය කරනු ලැබු චිත‍්‍රපට සඳහා ද සහාය කැමරා ශිල්පියා ලෙසින් තලේ කටයුතු කරනු ලැබුවේ මා මුල්වරට ප‍්‍රධාන කැමරා ශිල්පියා ලෙසින් කටයුතු කළ ජී.ඞී.එල්. පෙරේරාගේ රෝමියෝ ජුලියට් චිත‍්‍රපටයත් සමඟය. එතැන් පටන් මා කැමරා අධ්‍යක්ෂණය කළ බොහෝ චිත‍්‍රපට වල ඔහු මාත් සමඟ කටයුතු කරනු ලැබීය. මෙරට ප‍්‍රථම සිනමාස් කෝප් චිත‍්‍රපටය වූ වැලි කතර චිත‍්‍රපටයේ සහාය කැමරා ශිල්පියෙකු ලෙසින් ද තලේට අපත් සමඟ වැඩකිරීමට අවස්ථාව උදාවිය.

 

මට ද චිත‍්‍රපට වැඩි වශයෙන් ලැබෙන්නට පටන් ගත් නිසාවෙන් තලේ ඞී.බී. නිහාල් සිංහයන්ගේ කැමරා හයර් කිරීමේ කටයුත්තේ පෙරමුණ ගනු ලැබීය. ඒ වනවිට සිනමා කැමරාකරණය පිළිබඳ ප‍්‍රවීණත්වයක් ලබා සිටි තලේ මුල්වරට ප‍්‍රධාන කැමරා ශිල්පියා ලෙසින් විමලදාස පෙරේරාගේ සමනල කුමරියෝ චිත‍්‍රපටය කැමරා කරණය කරමින් චිත‍්‍රපට කැමරා අධ්‍යක්ෂවරයකු බවට පත්විය. සැණකෙළිය, කෙළිමඩල, පෙම්මල් මාලා, ගිම්හානේ ගී නාදේ, මරුවා සමඟ වාසේ ආදී චිත‍්‍රපට තිහක පමණ තලේ කැමරා අධ්‍යක්ෂවරයා විය. ඔහුගේ පළමු වර්ණ චිත‍්‍රපටය වුයේ ධර්ම ශ‍්‍රී කල්දේරාගේ ගිම්හානේ ගී නාදේ චිත‍්‍රපටයයි. එම චිත‍්‍රපටය සඳහා 1986 දී තලේ හොඳම කැමරා ශිල්පියා ලෙසින් ජනාධිපති සම්මානයට ද පාත‍්‍රාවිය. ඔහුගේ පළමු වර්ණ චිත‍්‍රපට කැමරාකරණයට තලේ සම්මානීය වූවාසේම ඞී.බී. නිහාල්සිංහයන්ගේ කෙළිමඩල චිත‍්‍රපටය සඳහා ද හොඳම වර්ණ කැමරාකරණය වෙනුවෙන් තලේ 1991 දී සරසවිය සම්මානයට ද පාත‍්‍ර වූවා මට මතකය.

 

80 දශකයේ දී පමණ ඞී.බී. නිහාල්සිංහ මහතා ටෙලිසිනේ ආයතනය පටන්ගත් නිසාවෙන් තලේට එහි ප‍්‍රධාන කැමරා ශිල්පියා ලෙසින් වැඩ කිරීමට අවස්ථාව උදාවිය. ලංකාවේ ප‍්‍රථම ටෙලි නාට්‍යය වූ දිමුතු මුතු හි කැමරා අධ්‍යක්ෂවරයා වුයේ ද තලේය. රේඛා, සුළඟ, සුදු සහ කළු ආදී ටෙලි නාට්‍ය දොළහක පමණ කැමරා අධ්‍යක්ෂණය කරනු ලැබුවේ තලේය. පසු කලෙක නිහාල්සිංහ මහතාගේ සෑම නිර්මාණ කටයුත්තකම කැමරා අධ්‍යක්ෂවරයා වූ තලේ නිහාල්සිංහ මහතා චිත‍්‍රපට සෑදීම නතර කිරීමත් සමඟ 1997 දී පමණ එච්. ඞී. පේ‍‍්‍රමරත්න මහතා ගේ ආරාධනයෙන් ස්වර්ණවාහිනී ආයතනයේ ප‍්‍රධාන ආරම්භක කැමරා ශිල්පියා ලෙසින් කටයුතු කළේ වසර එකොළහක් පමණ සිය වෘත්තීය දැනුම බෙදා දෙමිනි.

 

සුගතපාල ද සිල්වා වැන්නකු තලේට එදා කලා ක්ෂේත‍්‍රය සම්බන්ධ කර නොගන්න සමහරවිට තලේ තම මාමාගේ හෝටලයේ වේටර් ලෙසින්ම සිය දිවි මඩලින් සමුගන්නට තිබිණි. එහෙත් ඔහුගේ දෛවය එයට ඉඩ දුන්නේ නැත. ඔහුට මා හමුනොවන්නට කිසි දිනෙක තලේට සිනමාව සිහිනයක් වන්නට තිබිණි. දෛවය එය ද වෙනස් කරනු ලැබීය. සිනමා ක්ෂේත‍්‍රයේ සම්මානනීය කැමරා අධ්‍යක්ෂවරයකු වන්නට ඔහුට අවස්ථාව උදා කරන්නට මට අත්වැලක් වන්නට වීම ගැන මම දහස් වාරයක් සතුටු වෙමි. මෙරට සිනමා ක්ෂේත‍්‍රයේ නමක් තබා නික්ම යාමට යෝධ ශක්තියක් වූ තලේ වැනි නිහතමානී මිතුර ඔබ පැමිණි ගමන්මඟ ගැන මට ඇත්තේ ආඩම්බරයකි. ඒත් සැබෑ මිතුර තලේ ඔබ වෙන්ව යාම පිළිබඳ මට ඇත්තේ අනුවේදනීය හැඟීමකි.