මම ගීත නොගයන්නේ තාත්තාට වුණු පොරොන්දුවක් නිසයි

ලංකා සාන්ත
ජුනි 30, 2022

 

 

තාත්තාගෙ සංගීත ක්‍රමය හඳුන්වා දුන් පසු තමයි මේ රටේ ඉංග්‍රීසි කතා කළ අය සිංහලසින්දු කියන්න පටන් ගත්තේ

 

සුනිල් සාන්ත යනු සිංහල සංගීතයේ අමරණීය සන්නාමයකි. ඕලු පිපීලා විල ලෙළ දෙනවා ගීතය ජීවිතයේ එක්වරක් හෝ නොගයන අයකු මේ සිවු හෙළයේ දක්නට නොලැබෙනු ඇත. 1946 වැනි නිදහසත් නොලද තරම් ඈත යුගයක හෙළ ගී ආරක් මතු කරමින් ඔහු කළ යුග මෙහෙය අසීමිතය. එහෙත් ඔහුට රිසි සේ ඒ මඟ යන්නට හැකි නොවූ බව නොරහසකි. එහෙත් සිය පියාණන්ගේ මෙහෙවර සහ උරුමය රටේ අනාගත පරපුර වෙනුවෙන් ගෙන යන්නට සුනිලුන්ගේ පුත් ලංකා සාන්ත මහත්මා දරන්නා වූ වෙහෙස අතිමහත්ය. මේ ඔහු මවුබිමට පැමිණි මොහොතේ සරසවියට කී කතාවයි...

 

"මම ඇත්තටම එක්තරා විදිහකට තාත්තාගේ ආභාසය වෙනත් ආකාරයකින් බලපා වෙනම ගමනක් ගිය කෙනෙක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මම ඉංජිනේරුවරයෙක් ලෙස පිටවන විට මගේ බිරිඳ කැලිස්ටා රෝහිණී සාන්තත් ඒ සරසවියේම කෘෂිකර්ම විද්‍යා උපාධිය හදාරමින් හිටියේ. ඒත් ටික කලක් මේ රටේ වැඩ කරද්දි මට මෙහෙ හරියන්නේ නෑ කියලා තේරුණා. ඊට පසු මම අපේ අනාගතය සැලසුම් කළා. රෝහිණී උසස් අධ්‍යාපනය සඳහා බැංකොක් සහ ඇමෙරිකාවට ගොස් ආචාර්ය උපාධිය ලබා ගත්තා. අපට ලොකු පුතා ජගත් මනුර සාන්ත ඉපදුණේ ඔය අතර. පුතාට ජගත් කියන නම යෙදුවේ අපට අහිමි වූ අපේ බාල සහෝදරයා සිහිවන්න. මම සිවිල් ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කළා. පසුව අපට සවිනි ලංකා සාන්ත දුව ලැබුණා. අපි ඉගෙන ගත්තේ ටෙක්සාස් ඒඑන්එම්වල. ඇට්ලන්ටාවල තමයි රස්සාව ලැබුණේ. මට දිගටම තිබුණෙ මගේම ආයතනයක් ඇරඹිය යුතුයි කියන සිතිවිල්ල. ටික කලකින් උදාර සුනිල් සාන්ත පුතාත් ලැබුණා. අපි දරුවන්ට නම් තැබුවේ මගේ පියා සහ සහෝදර සහෝදරියන් සිහිවන අයුරින්. තාත්තා අපට නම් තැබුවෙත් ලෝකය රට සහ කලාව සංකේතවත් කරමින්. මම ඉපදෙන්න ඉද්දි ගෑනු ළමයෙක් කියලා හිතලයි ලංකා නම යොදලා තිබුණේ. ඒත් පිරිමි ළමයෙක් කියා දැනගත් පසුවත් ඒ නම ඒ අයුරින්ම තබලා."

ඔහු සිය වපසරිය හකුළා දැක්වූයේ එසේය. ඉන්පසු ජීවිතය ජයගත් ආකාරය පිළිබඳව ද අපට කියන්නට ඔහු මැළි වූයේ නැත.

 

"වර්ණ භේදවාදයේ තරමක බලපෑමක් නිසා මම එරට රැකියාවෙන් ඉවත් වුණා. ඒ අතර මට හමුවුණා ඉන්දියාවේ කොහු ආශ්‍රිත නිෂ්පාදන ඇමෙරිකාවේ අලෙවි කරන කෙනෙක්. ඒ පාපිසි වගේ ලොකු මාගල් තමයි පස සෝදා යෑම වළක්වන්න යොදන්නේ. මම වෙනදා වගේ රෝහිණීට යෝජනා ඉදිරිපත් නොකර කෙළින්ම අදහස කීවා අපටත් මේ වැඩේ කළ හැකියි අපි එය කරනවා කියලා. මට බොහෝම සතුටක් දැනුණා මට අවශ්‍ය‌ දේ හමුවුණා කියලා. පසුව අපි ලංකාවේ අය සම්බන්ධ කරගෙන විවිධ කොහුලනු නිෂ්පාදන හදලා පිටරට යැවුවා. මට අවශ්‍ය වුණේ ඉන්දියානු නිෂ්පාදනවලට වඩා ගුණාත්මක බවින් ඉහළ භාණ්ඩ නිෂ්පාදනය කරන්න."

එය ඔහු කීවේ වෙනත් ස්වරයකිනි. එහි ගැබ්ව තිබුණේ සිය පියාණන් වන සුනිල් සාන්තයන්ගේ හෙළ ගී ආර යටපත් කරමින් ඉන්දියානු සංගීතය ගත් මඟට ඔහු ඔහුගේ වෘත්තියෙන් කළ අභියෝගයක් වැනි ජයග්‍රාහී හැඟීමකි.

 

"මගේ ආචාර්ය උපාධිය මඟ නතර කරලා තමයි මේ ව්‍යාපාරය ඉදිරියට කරගෙන යන්න පටන්ගත්තේ 1993 වසරේ සිට. අද ලොකුවට කතා කරන විදේශ විනිමය අපි දැන් වසර විසිනවයක් පුරා සිට ලංකාවට ගේනවා.

ඉන්දියාවේ කේරළයේ තමයි පොල් කොහු ආශ්‍රිත නිෂ්පාදන මහාපරිමානයෙන් කෙරෙන්නේ. මේ වෙද්දි අපි ඔවුන්ට වඩා හොඳ මට්ටමේ නිෂ්පාදන අපනයනය කරන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. හැබැයි මම කවදාවත් තරග, ප්‍රදර්ශන ආදියට අපේ නිෂ්පාදන යොමු කරලා නැහැ. ඉංජිනේරු අංශයෙන් ඒ රටවලට අවශ්‍ය නව නිපැයුම් රැසක් මම නිෂ්පාදනය කළා. එය මම දකින්නේ

තාත්තා කළ දේම වෙනස් මඟකින් කළා කියන හැඟීමෙන්."

 

ඔහු අතීතය සහ වර්තමානය සසඳන්නට විය.

 

"තාත්තා ඉන්දියාවට ගිහින් හින්දුස්ථානී සංගීතය හොඳීන් හදාරලා මූලික දැනුම ගත්තාට පස්සේ මෙරටට අවශ්‍ය සංගීතය නිර්මාණය කළා. අපේ රටේ මිනිස්සු නැවැත්තුවේ ඒ නිර්මාණය. මමත් ලංකාවේ හිටියා නම් ඒ දේ වෙනවා. මම කලින් නිෂ්පාදනය කළ දේවල් ලංකාවේ නමගිය මහාපරිමාන ආයතනයක් හොරකම් කළා. මම නඩු පවා දැම්මා. අවසානයේ අපි එය අතහැර දාලා වෙනත් නිෂ්පාදන සඳහා ඇමෙරිකාවෙන් පේට්න්ට් බලපත්‍ර පවා ගත්තා. සාමාන්‍යයෙන් අද ඒ සඳහා යන වියදම රුපියල්වලින් කීවොත් ලක්ෂ එකසිය විස්සක්. ඒත් අවුරුදු විස්සක් සඳහා මගේ නිෂ්පාදන සඳහා ආරක්ෂාව තිබෙනවා.

 

තාත්තා අපට වඩා අති දක්ෂයෙක්. තාත්තාගේ අහලකින්වත් අපේ හැකියාවන් තියන්න බැහැ. හැබැයි ඔහුගෙන් රටට ගන්න තිබුණු සේවය නැති වුණා මෙහෙ සිටි නිසා. ඒත් මම කලින්ම තත්ත්වය තේරුම් ගත් නිසා මගේ පවුලත් යහපත් ලෙස සැලසුම් කරගෙන ළමයින්ටත් උගන්වලා රටටත් සේවයක් කරනවා. ඒ සඳහා මම අවදානමක් ගත්තා. මේ රටේදිත් මම අවදානම් ගන්න බය කෙනෙක් නෙවෙයි.

කොහුවලින් කරන නිෂ්පාදන ගැන බොහෝ දෙනා හිතුවේ අවතක්සේරුවෙන්. හැබැයි මම කොහුවලින් අනෙක් අය කරන සාම්ප්‍රදායික නිෂ්පාදන නෙවෙයි කළේ.

තාත්තාත් සංගීතයෙන් පවා කළේ නව නිෂ්පාදන කිරීම. තාත්තාටත් රේඩියෝ, වාහන හැදීම වැනි කාර්මික ඥානය තිබුණා. මට තිබෙන්නේ එයින් දාහෙන් පංගුවක දැනුමක්. මම එයින් ප්‍රයෝජන ගත්තා."

පියාගේ ගමනට හෙළුණු අකුල් දරුවන්ගේ ගමනට මඟ පෑදූ සේය. එසේම සුනිලුන් තැනූ හෙළ ගී ආර යටපත් වීමේ ආදිනව ලංකා සාන්ත පුතු දකින්නේ මෙසේය.

 

"තාත්තා සංගීතයෙන් කළ නව නිර්මාණ අතරමඟ කඩාකප්පල් කළ එක අද සමාජයේ තිබෙන පිරිහීමටත් මුලක් කියන්න පුළුවන්. 1946 වගේ යුගයක තාත්තාගේ ගීත සියල්ල එකවර ජනප්‍රිය වන්නේ සුනිල් ශාන්තයන් සංගීතයේ පළමු සුපිරි තරුව බවට පත්කරමින්. තාත්තා එය කළේ ඔහුට තිබුණු විශිෂ්ට සංගීත දැනුම භාවිතයෙන්. බොහෝ දෙනාට කොතරම් දැනුම ගත්තත් අලුත් දේවල් කරන්න බෑ. සමහරු ඉගෙන නොගත්තත් නව නිර්මාණ කරනවා. තාත්තාගේ දැනුමෙන් ප්‍රයෝජනය නොගත්තේ ඉන්දියාවේ හින්දුස්තානී සංගීතය අපේ සංගීතය විය යුතුයි කියන පිරිස බලවත් වූ නිසයි. ඔවුන් මහා සම්ප්‍රදාය කියා සැලකුවේ උතුරු ඉන්දියානු සංගීතය. ඉන්දියානු අයත් ඔවුන්ගේ ගීත කොපි කළාට කවදාවත් අපට මුකුත් නොකීවේ ඒ බලපෑමේ කොටසක් හැටියටයි. අදටත් රූපවාහිනී නාට්‍යවලිනුත් අඳීන පලඳීන ආකාරය, මඟුල් ගෙවල් සාද පවත්වන ආකාරය පවා ඔවුන්ගේ ක්‍රමයට කරන්න සමාජයේ විශාල පෙලඹීමක් තිබෙනවා."

ඔහු මොහොතක් නිහඬව කල්පනා කරයි. යළි පවසයි.

 

"මම ඇත්තෙන්ම සතුටු වෙනවා ශ්‍රී ලංකාවේ කෙරෙන මගේ නිෂ්පාදන ඉන්දියානු ඒවාට වඩා ගුණාත්මක බවින් වැඩි වීම සම්බන්ධව. තාත්තාට නොසලකා ඉන්දියාව පිළිබඳ ලොකුවට හිතාගෙන හිටියට හරියට හිතුවොත් ඔවුන්ට වඩා හොඳ දේ අපට කළ හැකියි. ඉන්දියානුවන්ට වඩා බොහෝ නිෂ්පාදන මම කරලා තිබෙනවා. ඉන්දියාවටවත් බෑ දැන් සමහර නිෂ්පාදන ඇමෙරිකාවට ගෙනයන්න. මට ඉන්දියාවේත් පේට්න්ට් බලපත්‍ර තිබෙනවා.

අපේ රටේ වැරැද්ද තමයි කවුරු හරි පොඩි කඩයක් දැම්මාම ඒ විදිහේම කඩ එක දිගට දානවා. අන්තිමට සියලු දෙනාම පරාද වෙනවා. මම හිතුවේ ඊට වෙනස් විදිහට."

 

සිය පියාණන්ගේ අපේක්ෂාව මුදුන්පත් කළ පුත්‍රයකු‌ ලෙස ඔහු තවත් යමක් අපට කීවේය.

 

"ලංකාවට මම වසරකට තුන් වතාවක් පමණ එනවා. තාත්තාගේ නිර්මාණ ඉදිරියට ගෙන යෑමේ කටයුතු කරනවා. හැබැයි මම සින්දු කියන්නේ නැහැ. එයට හේතුව එක්තරා පොරොන්දුවක්. ප්‍රතිපත්තියක්. තාත්තාගෙන් අපි පොඩි කාලෙ පත්තරවලින් පවා විමසුවාම කීවේ මගේ දරුවන්ට සංගීතය තහනම් කියලායි. ඒකට හේතුව තාත්තාට අවශ්‍ය වුණේ අපට හොඳට උගන්වන්න. අපි සියලු දෙනා ඒ අපේක්ෂාව තාත්තාට ඉටු කර දුන්නා. සුනිල් අයියා පරිගණක විද්‍යා ආචාර්ය උපාධිය ලබා ගත්තා. නංගි පශු වෛද්‍යවරියක් ලෙසයි කටයුතු කරමින් සිට මෑතක ජීවිතයෙන් සමු ගත්තේ.

තාත්තාට වුණ දේ අප හිතනවාට වඩා බොහොම බරපතළයි. තාත්තා කතෝලික තමයි. හැබැයි අප දන්නා කාලෙක පල්ලියකටවත් ගිහින් නැහැ. තාත්තාගේ සෑම පොතකම පාහේ බෞද්ධ ගීත සහ කිතුණු ගීත සමව තිබෙනවා. ඒත් තාත්තාට පල්ලියේ සංගීතය කියා පහර දුන්නා. ඒත් ඇත්තම කතාව තාත්තාගේ සංගීත ක්‍රමය කතෝලික පල්ලිය අරගත්තා. අදටත් ඔවුන් ගෙන යන්නේ ඒ ක්‍රමය.

සෝල්බරි සාමිගේ දුව .... බෙතම් මහත්මිය පවා දැක්කා මේ සංගීතයේ තිබෙන වෙනස. ඇය ඕළු පිපීලා ගීතයට බොහොම කැමැති වෙලා එය ගයන්න තාත්තාගෙන් අවසර ඉල්ලා තිබෙනවා. පසුව තාත්තා ඇයට එය උගන්වා තිබෙනවා. හියුබත් රාජපක්ෂගේ නිවෙසේ තමයි පුහුණුවීම් කර තිබෙන්නේ.

තාත්තාගෙ සංගීත ක්‍රමය හඳුන්වා දුන් පසු තමයි මේ රටේ ඉංග්‍රීසි කතා කළ අය සිංහල සින්දු කියන්න පටන් ගත්තේ.

ඉන්දියාව කවදාවත් කැමැති නැහැ ලංකාව වෙන මාර්ගයක යනවාට. ඉන්දියානු සංගීතය ලංකාවට ඉහළින්ම ගෙනෙනවාට හින්දුස්තානී සංගීතඥයන් පවා විරුද්ධ වෙලා තිබෙනවා. ඒත් අපේ අය එය බාරගන්න සැදී පැහැදී ඉඳලා. ඉන්දියානුවන්ගේ පැත්තට හරවා ගන්න පහසු වුණු පිරිසක් ඉන්නවා. ඉන්දියාවේ සමහර තහනම් කළ සින්දු රේඩියෝ සිලෝන් එකේ දැම්මාම ඉන්දියානු ජනතාවට අහන්න පුළුවන්. එවැනි ගැති බවක් ඒ යුගයේ ඉන්දියාව කෙරෙහි මේ රටේ සමහරුන්ට තිබුණේ."

 

සුනිල් සාන්ත සංගීතඥයාට මුහුණ දෙන්නට සිදු වූ දෛවෝපගත සිදුවීමක් ඔහුගේ සංගීත ඥානය පිළිබඳ තක්සේරු කළ අයුරු ලංකා සාන්ත මහතා විස්තර කළේ මෙසේය.

 

"පේරාදෙණි ගුරුකුලය තමයි රතන් ජංකර් පඬිතුමාව මෙහි ගෙන්වන්න පවා මුල් වන්නේ. ඒත් ඒ තාත්තාගේ ගුරුවරයා. තාත්තා ඉන්දියාවෙදි සංගීතය හදාරලා බැච්ටොප් වුණේ රතන් ජංකර් යටතේ. එත් ගුවන්විදුලියෙන් ඔහුව ගෙනැත් තැබූ පරීක්ෂණයට තාත්තා සහභාගී වුණේ නැහැ. හැබැයි ගුවන්විදුලියෙන් හින්දුස්තානී ගී ගයන අයට වැඩි මුදලකුත් තාත්තාගේ වගේ ගී ගයන අයට අඩු මුදලකුත් ගෙවන ක්‍රමයක් හැදුවා. එතකොට බොහෝ දෙනා හින්දුස්ථානී ක්‍රමයට යනවානේ.

1952 වනවිට තාත්තා තරම් හින්දුස්ථානී සංගීතය උගත් කිසි කෙනෙක් මේ රටේ හිටියේ නැහැ. ඒ නිසා තාත්තා අර පරීක්ෂණයට යන්න අවශ්‍යත් නැහැ තමයි. හැබැයි එය කාලය විසින් ඔප්පු කර පෙන්නුවා. අවුරුදු පහළොවක් තාත්තාව ගෙදර තිබ්බාට ගුවන්විදුලි ශිල්පියකු නෙවෙයි කියලා, නෙවිල් ජයවීර මහත්මයා සභාපති වූ විට ඔහු තාත්තාට ආරාධනා කළා රතන් ජංකර් පඬිතුමා 1952 කළ පරීක්ෂණය 1967 වසරේ තාත්තාට පවත්වන්න කියලා.

සුනිල් සරත් පෙරේරා වැනි අය කියා තිබුණා ඒ සිදු වුණු දෙයට රටක් ලෙස සුනිල් සාන්තයන්ගෙන් සමාව ගත යුතුව තිබුණා කියා. කොහොම වුණත් තාත්තා ඒ පරීක්ෂණයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ රූපසිංහ මාස්ටර් ආදින් ද සහභාගී කරවාගෙනයි.

1946 වසරේ ගැයූ ඕළු පිපීලා වැනි ගීතවලට සුනිල් සාන්තයන්ට පල්ලියේ ගීත කියා පහර දුන්නාට ඊට පසුව තැනුණු නාඩගම් ගීවල තනු රැගෙන තිබුණෙත් දකුණු ඉන්දියානු පල්ලිවල ගීතිකාවලින් බව කාලයකදි ඔප්පු වුණා.

මම පේරාදෙණියෙන් බිහි වුණු උපාධිධාරියකු ලෙස පේරාදෙණි ගුරුකුලය විවේචනය කරන්න ලැබීමත් දෛවෝපගතයි."

 

ඔහුට ඇත්තේ පියාණන්ට සිදු වූ අසාධාරණයේ වේදනාවට වඩා එය ජය ගන්නට ඔහු දැරූ උත්සාහයේ අභිමානය කැටි වූ හැඟීමකි.

 

"සුනිල් සාන්තයන්ට සැබෑ හතුරුකම් කළේ ශාන්තිනිකේතනයේ සහ භාත්කණ්ඩේ විශ්වවිද්‍යාලයේ ඔහු සමඟ එකට ඉගෙන ගනිමින් තාත්තාගේ දක්ෂකම් දුටු අය වීම තවත් කනගාටුදායක දෙයක්. රජයේ සංගීත විද්‍යාලයේ තාත්තාට අඩු වශයෙන් දේශකයකු ලෙසවත් කටයුතු කරන්න නොලැබෙන්නත් එය හේතුවක් වුණා.

මට ඇහිලා තිබෙනවා ලංකාවේ සෑම සංගීතඥයකුම සීගිරි ගීවල සංගීතයක් නැහැ කියා කියද්දි තාත්තා ඒ ගී ගයා පෙන්වූ විට ඒවා පිළිබඳ පුවත්පත්වල ලිපියක්වත් පළ වන්න ඉඩ නොදීමට පිරිසක් කටයුතු කළ බවට වූ කතා. ඒත් අද පරපුරේ අය ඒවා අගය කරනවා. ලෝකයේ තනි ස්වරයෙන් ගීයක් හැදූ එකම සංගීතඥයා තාත්තායි. බඹර ගීතය එවැන්නක්.

ආරියරත්න ලංකාචන්ද්‍ර මහත්මා තාත්තාගේ ගුණසමරුවකදී කීවා ඊරියගොල්ල මහත්මාගේ ගීතයකට සංගීතඥයන් හයදෙනකුගෙන් තනු සකසා මණ්ඩලයකට ඉදිරිපත් කළ විට ඒ සියලු ගීත අතරින් තාත්තාගේ ගීතයට මනාපය ලැබුණු පසුව තනුව තාත්තාගේ බව දැනගත් විනිසුරුවරයෙක් ඒ බව දන්නවා නම් හොඳයි කියන්නේ නෑ කියූ බව.

මෙවැනි දේට හේතුවක් වන්න ඇත්තේ තාත්තා කිසිවකුට යටත් වන්නේ නෑ. හැබැයි තමන්ට හතුරුකම් කළ අයගෙන් පළි ගන්නෙත් නෑ. තාත්තා ආපසු ගුවන්විදුලියට ගියාම ළඟින් වැඩ කර තිබෙන්නේත් කලින් විරුද්ධ වූ පිරිසමයි. තාත්තා කියා තිබුණා ඒවා අමතක කළා කියලා. සාමාන්‍යයෙන් තාත්තාගේ තිබුණු ඒ ලක්ෂණය මිනිසුන් අතර හරි විරලයි.

තාත්තා පිළිබඳ සරසවිය පුවත්පතේ පළ වූ ලිපියක් දැකලා හිටපු නිවාස ඇමැති ප්‍රේමදාස මහත්මයා නිවෙසක් දෙන්න සූදානම් වුණා. තාත්තා කීවා ගෙයක් දුන්නා කියලා දේශපාලන වේදිකාවලට නඟින්න නම් මට බැහැ කියලා. ඒ පාර තාත්තාට ගෙදර යතුර එවා තිබුණා. ඒ මොහොතේ තාත්තා කියා තිබුණා මගේ ළමයි තාම ඉගෙන ගන්නවා ඒ අය ගෙදර වෙනුවෙන් මුදල් ගෙවයි කියලා. අපිත් තාත්තාගේ වචනය අකුරට ම ඉටු කර ඒ මුදල ගෙවා අවසන් කළා. ඒ නිසා සුනිල් සාන්ත පවුල වෙනස්.

අනෙක තිස්ස අබේසේකර මහත්මයා පවා මට කීවා පියවරුන්ගේ ගීත පුතුන් කී පමණින් ජනප්‍රිය නොවන්නේ ඒ හැකියාව පිහිටන්නේ අදාළ නිර්මාණකරුවාට පමණක් නිසායි කියලා.

මේ මොන දේ වුණත් තාත්තාව වට්ටන්න බැරි වුණා ඒ කිසිම දේකින්. මොකද අතහැරීම කියන දේ තාත්තා හොඳීන් පුහුණු කළ කෙනෙක්. තාත්තාගේ හිත සැලුණේ මල්ලි අකාලයේ මිය ගිය නිසා පමණයි. ඉන්පසු සති කීපයයි තාත්තා ජීවත් වුණේ."

 

ඔහු බරින් වැඩි සුසුමකට අතීතය මුසු කර වර්තමානයට පැමිණියේය.

 

"මම දැන් කැප වී ඉන්නේ අපට අහිමි වී ගිය සුනිල් සාන්ත සංගීතය නැවත ස්ථාපනය කිරීමටයි. තාත්තාගේ සංගීතය රැකීම වෙනුවෙන් අපි විවිධ රැස්වීම සම්මන්ත්‍රණ පවත්වනවා. පාසල් මට්ටමින් සුනිල් ගී රසවින්දනය කිරීමේ අවස්ථාව සලසා දෙනවා. ඔහුගේ ගීත පොත් මුද්‍රණයෙන් නැවත ගේනවා. අපට වැරැදුණු තැන තමයි අපේ සමාජයේ මිනිසුන්ගේ රිද්මය සොයා නොගැනීම. තාත්තා එය සොයාගත්තා. තාත්තා මුල්තැන දුන්නේ කටහඬට.

තාත්තාගේ ගී පදමාලාවල තිබෙන අරුත් මිනිසුන්ගේ ජීවිතයට සරු ලෙස බලපාන ඒවා. අනෙක තාත්තාගේ ගීතවල විවිධ අක්ෂර යොදාගෙන ගීතයේ ඇදී යන කොටස් නිර්මාණය කර තිබෙනවා. ඒවාට හැකියාව ලැබෙන්නේ තාත්තා පාසල් හැර යාමේ විභාගයෙන් ලංකාවේ පළමුවැනියා ලෙස ලකුණු ලැබූ කෙනෙක් වගේම සිංහල පුහුණු ගුරුවරයෙක් ලෙස ඔහුට භාෂාව මැනවින් හසුරුවමින් ගී ලියන්න හැකියාව තිබුණු නිසායි. වරෙන් හීන් සැරේ වැනි ගීත සංකීර්ණයි. දුර්ලභයි.

තාත්තාගෙන් නිර්මාණය වුණු ධනාත්මක ගීත දිගටම නිර්මාණය කෙරුණා නම් මේ තරම් පරාජිත, පිරිහුණු සමාජයක් ඇති නොවෙන්න ඉඩ තිබුණා.

'අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ හඬා ඔහේ යනවා' කියන ගීතයේ වගේ තාත්තාත් මේ සංසාර සාගරයට මුසු වුණා. දැන් මගේ එකම බලාපොරොත්තුව මේ රටේ පුරාවෘත්තයක් බඳු සුනිල් සාන්තයන්ගේ ජීවිත කතාව ඇසුරින් චිත්‍රපටයක් කර අනාගත පරපුරට දායාද කිරීමයි."

 

විශේෂ ස්තූතිය - ප්‍රියාණි එස්. විජේසිංහ මහත්මියට

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න