වර්ෂ 2023 ක්වූ December 06 වැනිදා Wednesday
මගේ දුව මාව ඇස්දෙක වගේ බලාගන්නවා

මා සතුව තිබූ කොම්පඤ්ඤ වීදියේ රියෝ සිනමා අසල පිහිටි නිවස බලහත්කාරයෙන් එක්තරා පිරිසක් අයිති කර ගැනීමට උත්සාහ කරනවා. දැන් එම නිවස නැවත ලබාගැනීමට අපට නඩු කියන්න සිද්ධ වෙලා
සදාකල් පෙම්වතිය නොවී දුෂ්ට චරිත, විවිධ චරිත රඟපෑමට ලැබීම රංගන ජීවිතයේ භාග්‍යයක්
අදින් වසර අසූවකට පෙරාතුව වත්තල මීගමු පාරේ පදිංචිව සිටි විදේශීය යුවළකි. ඔහු පෘතුගීසි ජාතික ඩෝලී පෙරේරාය. ඔහුගේ බිරිඳ ඕස්ටේ්රලියානු ජාතික ෆිලිෂියාය. මේ යුවළට දරුවන් සතර දෙනෙකි. වැඩිමහල් දියණිය මේරී ෆිලිෂියා පෙරේරාය. ඇය සිප් සතර හැදැරුවේ වත්තල ශාන්ත ආනා පාසලෙනි. පාසල් සමයේ නැටුමට, ගැයුමට, වැයුමට පමණක් නොව ක්‍රීඩාවට ද හපන්කම් පෑ දඟකාර කටකාර දැරියක වූ ෆිලිෂියා පාසලේ කන්‍යා සොහොයුරියන් මෙන්ම ගුරුවර ගුරුවරියන්ගේ ආදරය දිනාගත් ශිෂ්‍යාවක් විය. උපතින් කතෝලිකයකු වූ ඇය පුංචි සන්දියේ පටන් නිතර දෙවේලේ වත්තල සාන්ත ආනා දේවස්ථානයට යෑමට අමතක කළේ නැත.
වත්තල සාන්ත ආනා දේවස්ථානයේ වේදිකාගත වූ පාස්කූ නාට්‍යයට ඇය සෝදාදුවෙකුගේ චරිතය රඟපෑවේ පල පුරුපුරුදු දක්ෂ රංගන ශිල්පිනියක ලෙසිනි. කුඩා කළ සිටම ඈ තුළ තිබූ රංගන කෞශල්‍යය හේතුවෙන් පාසලේ සියලුම විවිධ ප්‍රසංග සඳහා නැතිව බැරි ශිෂ්‍යාවක් බවට ඈ පත් විය.
දුටුවන් නෙත් සිත් ඇදගන්නා රූ සපුවකට හිමිකම් කියූ මේ රුවැත්තිය දේහ ලක්ෂණ වලින් පිළිබිඹු වූයේ සිනමා තාරකාවකගේ නාරි ලතා ලාලිත්‍යයි. දිනක් මේරි ෆිලිෂියා තම මිතුරියන් කිහිප දෙනෙකු සමඟ වත්තල සාන්ත ආනා දේව ස්ථානයට යන අතරතුරදී ඇයට අහම්බෙන් එක්තරා පුද්ගලයෙක් මුණ ගැසුණි. වාහනයකින් පැමිණි මේ පුද්ගලයා ඇය දැක වාහනය නවත්වා එක්වරම ඇය හා කතා බහක යෙදුණේය.
නංගි කොහෙද යන්න?
අපි පල්ලියට යනවා අයියේ
නංගි කොහෙද ඉන්නේ?
වත්තල
නංගිගේ අම්මා තාත්තා?
අමිමා ඉන්නවා. තාත්තා මැරිලා.
නංගී. කැමති නැද්ද චිත්‍රපටයක රඟපාන්න?
ෆිලිෂියා එකවරම තුෂ්ණීම්භූත විය. ඇයට සිහි එළවා ගැනීමට තරම් නොහැකිවී ලැජ්ජාවෙන් ඇඹරී සිනාසුණාය.
තමා ජීවිතේ ප්‍රාර්ථනා කළ සිනමා නිළියක වීමේ සිහිනය සැබෑ වන ලකුණු මම නම් කැමැතියි. අම්මා කැමැති වේවි ද දන්නේ නෑ. නංගී එන්න යාළුවොත් එක්ක විජය ස්ටුඩියෝ එකට. නංගිට බලන්න පුළුවන් චිත්‍රපටයක රඟපාන්නේ කොහොමද කියලා.
මේරි ෆිලිෂියා රංගනයට තිබූ ආශාව ඇල්ම කොතෙක් ද කියතොත් සිය මවට ද හොරා විජය ස්ටුඩියෝව මිතුරියන් සමඟ ගියේ චිත්‍රපටයක රඟපාන ආකාරය කෙබඳු දැයි දැක බලා ගැනීමටය. විජය ස්ටුඩියෝ හි චිත්‍රපටිය රූගත වෙමින් තිබුණි. රාත්‍රී සමාජ ශාලාවක සුළු නර්තනයක් ඉදිරිපත් කිරීම සඳහා තිබුණේ නිළියකගේ පුරප්පාඩුවකි. චිත්‍රපටය අධ්යක්ෂවරයා ඇයට ආරාධනා කරමින් පුළුවන් ද නංගිට නර්තනයක් ඉදිරිපත් කරන්න.
ඇගේ සතුට ඉහවහා ගොසිනි. ඇය අපුරුවට නර්තනයක් ඉදිරිපත් කළාය.
රූගත කිරිම් අහවර වී නිවසට පැමිණෙන විට රෑ බෝ වී තිබුණි. මව දස අතේ දියණිය සෙව්වාය. අවසානයේ දී ඇය නිවසට පැමිණියේ චිත්‍රපට කණ්ඩායමකුත් සමඟ වාහනයකින්. අනේ මහත්තයෝ මගේ දරුවා කොහෙද අරන් ගියේ. අම්මා හඬා වැටුණාය. තාත්තාත් නැති දරුවා බයවෙන්න එපා. මම සිනමා නළු ඇන්තනී සී පෙරේරා. අපි දුව චිත්‍රපටයක රඟපාන්නට එක් කරගෙන ගියේ. දුවට කිසි කරදරයක් වෙන්නේ නැහැ. ඒ වගකීම අපි ගන්නවා. ඇන්තනි සී පෙරේරා ගේ වචනය කෙරෙහි විශ්වාසය තැබූ මව තම දියණියට චිත්‍රපට රඟපෑම් අවසර දුන්නාය. ඇන්තනි සී පෙරේරා එදා සිනමාවට සොයා දුන් ඒ රුවැත්තිය සිංහල සිනමා වංශ කතාවේ නොමැකෙන ලාංඡනයක් තැබූ දක්ෂතා පරිපුර්ණ ජනපි‍්‍රය රංගන ශිල්පිනියක මෙන්ම චිත්‍රපට නිෂ්පාදිකාවක් ද, සිනමා ශාලා හිමිකාරිනියක්ද, සිංහල සිනමාවේ ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පිනියක වූ සෝනියා දිසාය.
සෝනියා දිසා වර්තමානය වෙසෙනේනේ ඕස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවර ඇගේ දියණිය හර්ෂනි දිසානායක සමඟනි. පසුගිය ජූනි 7 වැනි අඟහරුවාදා ඇය හැත්ත නම වැනි සැතපුම් කණුවට පා තැබුවාය.
සුබ උපන්දිනයක් වේවා! සෝනියා අක්කේ
කොහොමද ඉතින් සැප සනීප
සතුටින් ඉන්නවා.
සැතපුම් දහස් ගණනක් දුරකින් වුවද වට්ඇප් තාක්ෂණය ඔස්සේ සෝනියා දිසා, කලාශූරී ලතා වල්පොල සහ දම්මිකා වල්පොල ගැයූ ජනපි‍්‍රය ගීත කාණ්ඩයක් මුමුණනු මට ඇසිණි.
මහලු වියේ මා තනි වන දවසේ
වාරු නොමැති පා ඔසවන්නේ
තනි නොතනිය මැද දුවේ නුඹයි මට
එදාට මව් වන්නේ
සෝනියා දිසා කතාව ඇරැඹුවේ මෙලෙසිනි. අද මගේ අම්මා මගේ ආදරණීය දියණිය හර්ෂණී ඒවගේ දුවක් ලබන්නට කොතරම් පෙරුම් පුරන්න ඕනෑ ද අද මගේ රත්තරන් දුව මාව ඇස් දෙක වගේ මට කිසිදු කරදරයක් වෙන්න ඉඩ නොදී රැක බලා ගන්නවා. සෝනියාගේ කටහඬ ගැබ්ව තිබුණේ උතුරා ගිය දරු සෙනෙහසේ ආදරණීය බවයි.
ජීවිතයේ සැදෑ සමය තම දියණියගේ රැකවරණයේ, සෙවණේ ගත කරන්නට ලැබෙන්නේ කීයෙන් කී දෙනාට ද? ඒ වාසනාව සෝනියා භූක්ති විඳිමින් සිටී.
මගේ පුතා ඉන්නේ සිඩ්නිවල පුතා නිතරම මගේ ඕනෑ එපාකම් සොයා බලනවා. රංගන ශිල්පිනියකට පරිබාහිිරව බිරිඳක් මවක් මිත්තණියක ලෙස මගේ සැදෑ සමය මම සතුටින් දරුවන් මිනිබිරියන් රැකවරණය මැද්දේ ගෙවනවා.
ඔබ හා පුරා කියා සිනමාවට පිවිසියේ ටයිටස් තොටවත්ත සූරීන් ගේ චණ්ඩියා චිත්‍රපටයේ මතක් කරමු ඒ අතීතය?
චණ්ඩියා චිත්‍රපටයේ මම රඟපෑවේ සුළු චරිතයක් වුණත් එම චිත්‍රපටය ටයිටස් තොටවත්ත, ගාමිණී ෆොන්සේකා වැනි ක්ෂේත්රයේ දැවැන්තයන්ගේ එකමුතුවක්. එවැනි චිත්‍රපටයක හා පුරා කියා රඟපෑමට ලැබීම භාග්‍යයක්. ඒ සමඟ මට සෙල්වරාජා ගේ ඔහොම හොඳ ද චිත්‍රපටයේ රඟපාන්න අවස්ථාව හිමි වුණා. ඔහොම හොඳද මම රඟපෑවේ ගාමිණී ෆොන්සේකා සමඟ ප්‍රධාන චරිතයයි. එය මගේ දෙවන චිත ්‍රපටය. මේ අතරවාරේ ප්‍රවීණ ඡායාරූප ශිල්පී රැලෙක්ස් රණසිංහ මගේ පින්තූරයක් විසිතුරු පුවත්පතේ මුල් පිටුවේ පළ කළා. එය දුටු තිස්ස අබේසේකර ඔහුගේ කලාමැදිරියෝ චිත්‍රපටයට රඟපාන්නට මාව සොයාගෙන අපේ ගෙදරට ආවා. ෆිලිෂියා නම සිනමාවට නොගැළපෙන බව තිස්ස අබේසේකර පවසා මට අලුත් නමක් දුන්නා ඒ නම තමයි සෝනියා. කලාමැදිරියෝ චිත්‍රපටයේ මම රඟපෑවා. එහෙත් එය තිරගත වුණේ නැහැ. අතරමඟ නැවතුණා.
ඔබ වාසනාවන්තයි. ඔබ රඟ පෑ දෙවැනි චිත්‍රපටිය වන ඔහොම හොඳ ද ප්‍රධාන චරිතය ගාමිණි ෆොන්සේකා සමග රඟපෑමට ලැබීම ගැන. කොහොමද ඒ අත්දැකීම?
ඔහොම හොඳද පමණක් නොවෙයි මම රඟපෑ චිත්‍රපට ගණනාවකට ප්‍රධාන නළුවා වුයේ ගාමිණී ෆොන්සේකා. ප්‍රධාන චරිතය සමඟ දුෂ්ට චරිත ගණනාවක්ම රඟපෑමේ විරල අවස්ථාව මට හිමි වුණා. ආධුනික නිළියක් සිනමාවට පිවිසිමේ දී ගාමිණි ෆොන්සේකා වැනි දැවැන්තයෙක් සමඟ රඟපෑමට අවස්ථාව හිමිවීම භාග්‍යයක්. ඔහු රංගනයේ ගුරුවරයෙක්. ඔහු සමඟ රඟපාමින් මම රංගනය පිළිබඳ විශාල පන්නරයක් ලැබුවා. මම රංගනය හදාරපු කෙනෙක් නෙමෙයි. පාසල් දී සුළු සුළු චරිත රඟපෑවත් රංගනය පිළිබඳ හය හතරක් දන්නේ නෑ. නමුත් ගාමිණී ෆොන්සේකා ඔහු හා කරට කර රඟපෑමට දිරිය ශක්තිය අනුබලය හැමවෙලේම මට ලබා දුන්නා.
ඔහු සෑම මොහොතේම උත්සාහ කළේ මගෙන් උපරීමය චිත්‍රපටයට ලබාගැනීමයි. මගේ අඩුපාඩු මට කියලා දුන්නා. වැරදි හදලා දුන්නා. ඇත්තටම අදත් මම ඔහුට ගරු කරනවා.
චිත්‍රපට රංගනයට දායක වීමත් සමඟම ඔබේ පාසල් ගමන නතර වුණා නේද?
ඔව්. ඒකයි මට තිබෙන එකම දුක. අපේ තාත්තා අපි පොඩි කාලෙම නැති වුණා. අපිට පාසල් යන්න ස්කූල් ෆීස් තිබුණේ නැහැ. නමුත් සිස්ටර්ස් ලා ස්කූල් ෆීස් ගෙවලා මට නොමිලේ උගැන්නුවා. අපි බොහොම දුප්පත් අය. අපේ අම්මට හැකියාවක් තිබුණේ නැහැ. අපේ පවුල නඩත්තු කරන්න. ජීවන වියදම ඉහළට නැඟලා. හම්බ කරන්න හිටපු තාත්තා මිය ගියා. මට වියදම් කරන්න නොහැකි නිසා අම්මා මාව අපේ නැදෑ ගෙදරක නවත්තල තිබ්බේ. ඒ අතරේ දි තමයි මට සිනමාවට සම්බන්ධ වෙන්න ලැබුණේ. මම චිත්‍රපට නිළියක් නොවුණා නම් අද මම කොහේ ඉන්නවද කියා හිතාගන්නත් බෑ.
සිනමාවට පිවිසීමත් සමඟ ඔබ ගත කළ දරිද්‍රතාවයෙන් පිරුණු ජීවිතයට නැවතීමේ ලකුණ තබන්නට ඔබට හැකි වුණා.
ගැහැනියක් හැටියට ඔබ කොහොමද ජීවිතය ජයගත්තේ?
මට වයස අවුරුදු දහ අටේ දී මගේ සැමියා කරු දිසානායක මුණ ගැසුණා.
මට ඔහුව හමු වුණේ වත්තල පල්ලිය මංගල්‍යයේ දී පැවැත්වුණු කානිවල් එකේදි. කරු ඇවිත් අපේ අම්මාගෙන් ඇහුවා. අම්මා කැමති වුණා. ඇත්ත කියනවා නම් මම සිනමාවට පූර්ණ කාලය කැප කිරීමට හැකි වුණේ කරු හා විවාහ වුණාට පස්සේ. කරු මට චිත්‍රපට රඟපෑමට පූර්ණ අවසර ලබා දුන්නා. ඔහු මාව අතිශය උනන්දු කළා. මම සමහර චිත්‍රපට රඟපාන්න අකැමැති වුණත් කරු තමයි මාව බලෙන්ම ඒ සඳහා යොමු කළේ. අපි දෙන්නා බැඳලා මුලින්ම පදිංචි වුණේ කොම්පඤ්ඤවීදියේ නිවසක එතකොට කරු රැකියාව කළේ සිංගර් ආයතනය ක්‍රම ක්‍රමයෙන් මට චිත්‍රපට ගණනාවකට රඟපාන්නට අවස්ථාව ලැබුණා. ජනපි‍්‍රය වුණා. පේ්රක්ෂක ආදරය නොමඳව මට ලැබුණා. චිත්‍රපට ගලාගෙන ඒමත් සමඟම මගේ ආර්ථිකයත් ශක්තිමත් වුණා. මම කළුබෝවිල හත්බෝධිය පාරේ ඉඩමක් ගත්තා. චිත්‍රපටවලින් මම හරි හම්බ කරගත් මුදල් වලින් ඒ ඉඩමේ ලස්සන නිවසක් හැදුවා. පසු කලෙක මහබාගේ ලස්සන නිවසක් හදලා ගේ දුවට තෑගි කළා.
ඔබ එවකට බොහෝවිට රඟපෑවෙත් දුෂ්ට චරිත කොහොමද පේ්රක්ෂක ප්‍රතිචාර?
සූරයන්ගෙත් සූරයා, රත්තරන් කන්ද, හිත හොඳ මිනිහෙක්. සදහටම ඔබ මගේ, මී මැස්සෝ, ප්‍රවේසම්වන්න, එදත් සූරයා අදත් සූරයා, හරිම බඩු තුනක්, සසර, නෑදෑයෝ ආදී චිත්‍රපට කිහිපටයකම මම දුෂ්ට චරිත රඟපෑවේ. සමහර පේ්රක්ෂකයෝ මගේ චරිතය ප්‍රතික්ෂේප කළාට රංග ශිල්පිනියක් ලෙස මට ආදරේ කළා. ඔවුන්ගේ ලිපි වල සඳහන් වුණේ පේ්රක්ෂකයා සෑහීමකට පත්වන පරිදි මම දුෂ්ට චරිත රඟපෑවා කියා. මට හිතෙනවා හැමදාම සදාකල් පෙම්වතිය නොවී දුෂ්ට චරිත, විවිධ චරිත රඟපෑමට ලැබීම රංගන ජීවිතයේ භාග්‍යයක්. රංගනයේ විවිධ ඉසව් ඔස්සේ යමින් ප්‍රේක්ෂකයාට විවිධත්වයක් ලබාදීමට දුෂ්ට චරිත රඟපෑම මගේ රංගන ජීවිතයට පන්නරයක් වුණා. මම නිළියක් ලෙස ස්ථාවරත්වයක් ගොඩනගා ගන්නට එය හේතු සාධයක් වුණා. මා රඟපෑ දුෂ්ට චරිතය පේ්රක්ෂකයා ප්‍රතික්ෂේප කළා නම් එයින් මට හැඟී යන්නේ සිනමාව තුළ එම චරිතයට මා අතින් සාධාරණයක් ඉටු වුණා කියයි. නමුත් බොහෝ දෙනා මා අගය කරමින් මට පැවසුවේ දුෂ්ට චරිතය අතිශයින් සාර්ථක ලෙස ඉදිරිපත් කළ බවත් මගේ රංගන ප්‍රතිභාව ඉහළ මට්ටමක තිබූ බවයි.
සෝනියා දිසා රංගන ශිල්පිනියක් පමණක් නොවෙයි සිංහල සිනමාවට චිත්‍රපට ගණනාවක්ම දායාද කළ චිත්‍රපට නිෂ්පාදිකාවක්. චිත්‍රපට නිෂ්පාදනයට පෙළැඹුණේ කෙලෙස ද?
මගේ සිහිනයක් වුණේ කවදා හෝ චිත්‍රපට නිෂ්පාදිකාවක් වන්නට. ඒ සිහිනය මල්ඵල ගැන්වීමට මම පුර්ණ ශක්තිය යෙදුවා. මම හොඳ ආර්ථිකව සවිමත්ව සිටි නිසා චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට මට පහසු වුණා. මම මගේ නිවස උගස් කරලා බැංකුවෙන් මුදල් ගත්තා පමණක්. චිත්‍රපට සංස්ථාව අපිට මුල්‍යමය ණය ලබා දුන්නා චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීමට, මේ මුල්‍යමය ස්ථාවරය මත මම සුනිල් ටී ප්‍රනාන්දු සමඟ එකතු වී චිත්‍රපට නිෂ්පාදනය ආරම්භ කරන්න පටන් ගත්තා. සිනමා කර්මාන්තය කඩා වැටුණු අවධියක අපි එක් වී චිත්‍රපට නිෂ්පාදන කිරීම ආරම්භ කළේ මං හා පුරා කියා නිෂ්පාදනය කළේ ජය අපටයි චිත්‍රපටිය. අධ්‍යක්ෂණය සුනිල්සෝම පිරිස් ට මං බාර දුන්නා. විජය කුමාරතුංග සමඟ ගීතා කුමාරසිංහ ප්‍රධාන චරිත රඟපෑවේ නොමද ප්‍රේක්ෂක ප්‍රතිචාරය ලබා බොක්ස් ඔෆිස් වාර්තා පිහිටෙව්වා.
ඔබ නිෂ්පාදනය කළේ ජය අපටයි පමණක් නොවෙයි. මාගේ මතක හරි නම් ඔබ චිත්‍රපට 12 නිෂ්පාදනය කර තිබෙනවා. නිෂ්පාදනය කළ චිත්‍රපට බොහොමයක් බොක්ස් ඔෆිස් වාර්තා පිහිටේවා නේද?
මම සුනිල් ටී ප්‍රනාන්දු සමඟ එක් වී සෝනියා දිසා සුනිල් ටී. නමින් චිත්‍රපට සමාගමක් ආරම්භ කළා. මේ සමාගම තමයි චිත්‍රපට නිෂ්පාදනය කළේ. මේ හැම චිත්‍රපටයක වාගේ ආදායම් වාර්තා පිහටවූවා පමණක් නොවේ අපි නිෂ්පාදනය කළ චිත්‍රපට මඟින් අලුත් නළු නිළි පරම්පරාවක් සිනමාවට හඳුන්වලා දුන්නා. ඒක මට ලොකු සතුටක්.
ඔබ චිත්‍රපට ශාලා හිමිකාරිනියක් නේද?
අපි සමාගම මඟින් නිෂ්පාදනයෙන් හරි හම්බ කරගත් මුදල් නැවතත් කර්මාන්ත වෙනුවෙන් යොදවන්නටයි තීරණය කළේ. සුනිල් ටී සමඟ එකතු වී කළුතර සොනියා සහ සුනිල් ටී නමින් චිත්‍රපට ශාලා දෙකක් මිලදී ගත්තා. පොල්ගහවෙල සිනමා ශාලාවක් මිලදී ගත්තා. අනුරාධපුර බුල්නෑවේ සිනමා ශාලාවක් ගත්තා. ඒ දිනවල අපේ චිත්‍රපට ශාලාවල පොදි කකා චිත්‍රපටි නරඹන යුගයක සිංහල සිනමා වෙනුවෙන් නිෂ්පාදන කර්තව්‍යයට අත ගැසීමත් චිත්‍රපට නැරඹීම සඳහා හොඳ මට්ටමේ චිත්‍රපට ශාලා ප්‍රේක්ෂකයන්ට ලබාදීමත් යන අංශ දෙකෙන්ම සිනමාවේ පුනරුදයට දායකත්වය ලබා දුන්නා. සිනමා කර්මාන්තය කඩා වැටෙන අවධියක කර්මාන්තය වෙනුවෙන් ලබා දුන් දායකත්වය පිළිබඳ මා ඉතාම සතුටට පත් වෙනවා. විශේෂයෙන් අප සමාගම නිෂ්පාදනය කළ චිත්‍රපටිවල රවීන්ද්‍ර, සනත්, ජීවන්, ක්ලීටස්, රන්ජන්, මාලිනී, ශි්රයානි, ගීතා, අනෝජා, සබීතා යන සිංහල සිනමාවේ දැවැන්ත චරිත අපේ නිර්මාණවලට දායක කරගත්තා. රුවන්ති මංගලා අනුෂා දමයන්ති රොෂාන් පිලපිටිය, අනර්කලී ආකර්ෂා, සුරේෂ් ගමගේ, දමිත් ෆොන්සේකා, චන්න පෙරේරා ආදී පරපුරක් සිනමාවට හඳුන්වා දුන්නේ අපේ චිත්‍රපටවලින් මම සම නිෂ්පාදනය කළ චිත්‍රපට බොහොමයක මම රඟපෑවේ ප්‍රධාන චරිත නොවෙයි. උප ප්‍රධාන චරිත මට අවශ්‍ය වුණේ මට කැපී පෙනෙන්නට නොවෙයි. චිත්‍රපටයට සාධාරණයක් ඉටු කිරීමටයි.
“මට ආසයි හිනැහෙන්න මේ ජිවිතේ’ මතකද ඔබේ සිනමා දිවියට සතළිස් වසරක් පිරිම නිමිත්තෙන් පැවැත් වූ උපහාර උළෙල?
ඔව් මගේ සිනමා දිවියට සතළිස් වසරක් පිරීම නිමිත්තෙන් ඕර්ධ්ඛ්ඩ් එකේදී උපහාර උළෙලක් පැවැත්වුවා. මේ උපහාර උළෙලේ කටයුතු බොහොමයක් සංවිධානය කළේ සුනිල් ටී ප්‍රනාන්දු. ‘මට ආසයි හිනැහෙන්න මේ ජීවිතේ’ ප්‍රසංගයට මාලිනී ෆොන්සේකා ඇතුළු ජනපි‍්‍රය නිළියන් රාශියක් රංගනයෙන් දායක වුණා. එදා මා වෙනුවෙන් සරසවිය පත්තරයක් සෝනියා උපහාර කලාපය ලෙස නිකුත් කළා. එය මගේ ජීවිතේ සිනමා ගමන තුළ විශාල වටිනාකමක් ඇති කළ සුවිශේෂී අවස්ථාවක්. බොහෝ දෙනාට එම අවස්ථාව හිමිවන්නේ නැහැ. මෙම උපහාර උළෙල සංවිධානය කළ සංවිධායක කමිටුවකට සහ ලේක්හවුස් ආයතනයේ සරසවිය පුවත්පතට මම මගේ හෘදයාංගම ස්තූතිය පිරිනමනවා.
ඔබ නිෂ්පාදිකවක් ලෙස හොඳ ආර්ථික ස්ථාවරවත්වයක් ගොඩනගා ගත් කෙනෙක්. තවදුරටත් සිනමාවේ නිෂ්පාදන කර්තව්‍යයට අත ගැසීමට හැකියාවක් තිබුණා නේද?
චිත්‍රපට නිෂ්පාදනය කළ සමයේ සිනමාව දෙස සුබවාදී බලන්නට හැකියාවක් තිබුණා. පේ්රක්ෂකයා පොදි කකා මම නිෂ්පාදනය කළ චිත්‍රපට නැරඹීම නිසා ආදායම් වාර්තා පිහිටු වීමට මගේ චිත්‍රපට සමත් වුණා. මා ඉතිරි කරගත් මුදල් මුල්‍ය ආයතනයක තැන්පත් කළා. නමුත් ඒ මුල්‍ය ආයතනය බංකොලොත් වී මට මගේ මුදල් අහිමි වී ගියා. අවසානයේ චිත්‍රපට ශාලා පවා නැවත විකුණා දමන්නට සිදුවුණා.
මගේ පෞද්ගලික ජීවිතය මට විශාල කරදරයක් සිදුවුණා.
මා සතුව තිබූ කොම්පඤ්ඤ වීදියේ රියෝ සිනමා අසල පිහිටි නිවස බලහත්කාරයෙන් එක්තරා පිරිසක් අයිතිය කර ගැනීමට උත්සාහ කරනවා. දැන් එම නිවස මා හට ලබාගැනීමට අප නඩු කියන්න සිද්ධ වෙලා. ඇත්තටම මං මේ නිවස දුන්නේ වාසුදේව නානක්කාරට. ඔහුගේ සොයුරු යසපාලිත නානායක්කාර ගේ ඉල්ලීමපිට කන්තෝරුවක් පවත්වා ගැනීම පිණිස. සීමිත කලකට මට අවශ්‍ය වෙලාවට ලබා දෙන පොරොන්දුව පිට පමණයි. නමුත් මට නොදන්වා ඔහු විසින් වික්‍රමබාහු කරුණාරත්නට එම නිවස ලබා දී තිබෙනවා. හිතවත්කමට දුන්දේ අන්තිමට මට අහිමි වන තත්ත්වයකට පත්ව තිබෙනවා. දැන් අවුරුදු දහයක් තිස්සේ මගේ ගෙට මට නඩු කියන්න සිද්ධ වෙලා. කොම්පඤ්ඤ විදියේ එම ස්ථානය විශාල වටිනා කමකින් යුතු ස්ථානයක්. මගේ පුතාට සිදුවෙලා තියෙන්නේ අපේ ඉඩම අපිට ලබා ගන්නට නඩු කියන්න.
ලංකාව අතහැර ඕස්ට්‍රේලියාවේ පදිංචියට ඒමට තීරණය කළේ?
මගේ පුතා සහ දුව ඕස්ට්‍රේලියාවේ පදිංචියට ආවා. ඒ නිසා දුව මට ඉල්ලීමක් කරා දුව ළඟට පදිංචි වෙන්න කියලා. අවසාන මං තීරණය කරා දුව ළඟ ඉන්න. මගේ දුව ඒ වගේම ඇගේ සැමියා මට හරිම ආදරෙයි. දුවට දියණියන් දෙදෙනෙක් සිටිනවා. දුව රැකියාව කරන්නේ ඕස්ට්‍රේලියාවේ රෝහලක හෙද නිලධාරිනියක ලෙස. ඇගේ සැමියා මනුජීත් ලියනගේ ඇවකාඩෝ නැමති ආයතනයේ රාජ්‍ය කළමනාකරුවකු ලෙස සේව ය කරනවා. ඔවුන්ගේ වැඩිමහල් දියණිය කමායා හෙද සේවය පිළිබඳ අධ්‍යාපනය ලබනවා. දෙවෙනි දුව හිමායා තාමත් පාසැල් අධ්‍යපනය ලබනවා.
මගේ පුතා ඉන්නේ සිඩ්නි නුවර. පුතා නිතරම මගේ දුක සැප බලනවා.
පසුගිය කාලයේ මට අසනීප වුණා. ඒ කාලේ මාව ඇස්දෙක වගේ බලාගත්තේ මගේ දුව. නාවලා කවලා පොවලා හැමදේම මට කරලා දුන්නා. අදටත් එලෙසමයි. මගේ දියණිය හර්ෂණී මට අම්මා කෙනෙක්.
ඔබ සැතපුම් දහස් ගණනක් ඈත ජීවත් වන්නේ අදටත් ඔබගේ රසික රසිකාවන් ඔබ අමතනවාද?
ඔව් මගේ මුහුණු පොත හරහා බොහෝ දෙනා මාව අමතනවා. හිතවත් සබඳතා මත මට රසික රසිකාවියන් කතා කරනවා. විශේෂයෙන් මතක් කළ යුතු දෙයක් තමයි නිරන්තරයෙන් මගේ දුක සැප සොයා බලන මට ආදරේ කරන පුතෙක් ඉන්නවා. ඒ තමයි නිල්හාල් සෙනෙවිරත්න. ඔහු කලා ක්ෂේත්රයේ ඇඳුම් නිර්මාණ ශිල්පියකු ලෙස අතිශය ජනපි‍්‍රයත්වයක් දිනා සිටින පුද්ගලයෙක්. මගේ බොහෝමයක් ඇඳුම් නිර්මාණය කර දුන්නේ ඔහුයි.
සිංහල සිනමාව පිළිබඳ පේ්රක්ෂක මතකයන් තුළ සදා නොමැකෙන චරිත කිහිපයක් ඇත. ඒ චරිත අතර සෝනියා දිසා ද අමරණීය චරිතයකි. සිංහල සිනමාව අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දෙමින් සිටි අවධියක කර්මාන්තයක් ලෙස සිංහල සිනමාවේ අභිවෘද්ධිය පිණිස සිය රංගනයෙන් පමණක් නොව ආදායම් වාර්තා තැබූ චිත්‍රපට ගණනාවකට නිෂ්පාදනයෙන් ද දායක වී සිනමාවේ පුනරුදය පිණිස ඈ ඉටු කළ මෙහෙවර විශිෂ්ටත්වයේ ලා සැලකිය යුතුය.
සේයාරූ - දයාන් විතාරණ