විජයට වැරදුණු එකම තැන අමර සිසිල් සිහිපත් කරයි

විජය කුමාරතුංග නම් ගායකයාට විශාල අසාධාරණයක් සිදුවුණා
මැයි 12, 2022

 

මගේ මුණ බලාගෙන මට වෙඩි තියන්න පුළුවන් කාටද?” විජය කුමාරතුංග නම් හෙළ සිනමාවේ අග්‍රගණ්‍ය තරුවක් මෙන්ම කිසිදා වෙනස් නොවූ සිහින කුමරා සිය රසිකයන් කෙරෙහි තැබූ විශ්වාසය එසේ විය. එමෙන්ම විජය නම් දේශපාලනඥයා විශ්වාස කළේ ‘මේ කතාව අවසන් කරන්න ඉස්සෙල්ලා මෙතැනදී මැරුම් කෑවත් ශරීරයෙන් නික්මෙන ලේ බින්දුවක් බින්දුවක් ගානේ ආයෙත් ඉපදෙන දේශපේ‍්‍රමී බලවේගයකින් අපි ඇද වැටුණු තැනින් නැගිටිනු ඇති’ යනුවෙනි. මේ සියල්ල එක මිටට ගෙන විජය කුමාරතුංග නම් උත්තුංග මිනිසාගේ සිනමා දිවියත් දේශපාලන දිවියත් යළි කරළියට ගෙන එන්නට සමත් කෘතියක් නැවත මුද්‍රණයෙන් එළි දැක ඇත.

විජය - සිනමාවේදියා සහ දේශපාලනඥයා නොනිමි ගමනක පියසටහන්, නම් කෘතිය මුලින්ම පාඨකයන් අතට පත් වූයේ 1993 වසරේ දීය. එය වසර දහනවයකට පසු යළිත් මුද්‍රණය කිරීමට නබෝ ප්‍රකාශන ආයතනය පියවර ගෙන තිබේ. කෘතියේ කතුවරයා වන්නේ අමර සිසිල් සම්පත් වේරගොඩය.

 

හික්කඩුවේ උපන් ඔහු අම්බලන්තොට ධර්මාශෝක විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදැරුවෙකි. යන්තම් වයස අවුරුදු 20 සපිරෙන විට ඔහු විවෘත විශ්ව විද්‍යාලයෙන් ජනමාධ්‍ය ඩිප්ලෝමාව හදාරා නිමකර තිබිණි. එය දැනගත් සම්පත් වේරගොඩගේ ඥාතියකු වන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ආරම්භක සාමාජික සරත් ගුණවර්ධන ඇතුළු එවක එම පක්ෂයේ සාමාජිකයන්ව සිටි පිරිස සම්පත් වේරගොඩට යෝජනා කළේ සිය පක්ෂයේ නිර්මාතෘ විජය කුමාරතුංගයන් පිළිබඳ කෘතියක් සම්පාදනය කරන ලෙසය.

විජය වැනි දැවැන්ත සිනමා තරුවක් මෙන්ම දේශපාලන චරිතයක් පිළිබඳ සිය ප්‍රථම කෘතිය සම්පාදනය කරන්නට වේරගොඩ තරුණයා බොහෝ දෙනකුගේ සහාය පැතුවේය. ඒ අතර මහජන පක්ෂයේ සිටි ප්‍රබල සාමාජිකයකු වූ ඔසී අබේගුණසේකර, එවකට ‘සරසි‘ පුවත්පතේ කර්තෘ බන්දුල පද්මකුමාර මෙන්ම,මාදම්පාගම අස්සජි හිමියන්ගේ සහය නොමඳව ලැබිණි. ඒ උපකාර සමඟ මහජන පක්ෂ සංවත්සරය යෙදී තිබු දිනයේ මේ කෘතියේ ප්‍රථම මුද්‍රණය සාමාජිකයන් අතට පත් කරන්නට සම්පත් වේරගොඩට හැකිවිය.

එදා හිරිමල් යෞවනවයකු ලෙස ‘විජය’ කෘතිය සම්පාදනය අභියෝගයක් වූ අයුරු අද ඔහු විස්තර කළේ මෙසේය.

“සරත් ගුණවර්ධන මහත්මා කියන්නේ මගේ බාප්පා වීමත් මම ජනසන්නිවේදන පාඨමාලාව ඒ වන විට නිමකර තිබීමත් නිසා තමයි ඔවුන් මගෙන් මේ කෘතිය කරන ලෙස ඉල්ලන්නේ. ඒ වන විට මට විශාල අවබෝධයක් තිබුණේ නෑ මෙය කළ යුත්තේ කෙසේ ද කියලා එයට මට බොහෝ දෙනෙකුගේ සහාය ලැබුණා.

විජය සිනමාවේදියකු කී විට එහි පැතිකඩ කීපයක් තිබෙනවා. ඔහු නළුවෙක්. ගායකයෙක් වගේම පසුකාලීනව චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. ඔහුට විශාල ජනපි‍්‍රයත්වයක්, සම්මාන රැසක් ලැබුණා වගේම වාරණයකුත් තිබුණා.

ඒ නිසා විජය කුමාරතුංග නම් ගායකයාට විශාල අසාධාරණයක් සිදුවුණා. ඔහුට හොඳම ගායකයා ලෙස සම්මාන පවා ලැබෙන්නේ ඝාතනය වීමෙන් පසුවයි. අද ඔහුගේ ඝාතනයෙන් වසර 29ට පසු ඇසෙන තරම්වත් ගීත එදා අහන්න ලැබුණේ නැහැ.

දේශපාලනඥයකු ලෙස ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වීමේ සිට සිය බිරිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හමුවීම අනුර බණ්ඩාරනායක මහතා හමුවීම, සිරිමාවෝ මැතිණිය සමඟ විරසක වීම හෙක්ටර් කොබ්බෑකඩුව මහත්මාගේ මැතිවරණ සටනට උර දීම. ටී.බී. ඉලංගරත්න, සහ හෙක්ටර් කොබ්බෑකඩුව සමඟ ශ්‍රී ලංකා මහජන පක්ෂය ඇරඹීම සහ පසුව සියලු වමේ පක්ෂ එකතුව එක්සත් සමාජවාදී පෙරමුණ ගොඩනැඟීම දක්වා ඔහුගේ දේශාපාලන ගමන අයත් වෙනවා.

ඊට අමතරව 1945 උපන් විජය කුමාරතුංග නම් දරුවාගේ සිට පොලිසියට බැඳෙන්නට තීරණය කිරිම හා පසුව නිළි රුජින වූ මාලිනි ෆොන්සේකා සමඟ විවාහ ගිවිස ගැනීමට ගොස් එය කඩාකප්පල් වීම, සිරගත විම හා ඔහු ලියූ කියූ දේ ආදි සියලු තොරතුරු මේ පොතට ඇතුළත් කළ යුතු වුණා. ඉන්පසු ඔහු පරිණත දේශපාලනඥයකු වීමට ගත් උත්සාහය ශ්‍රී ලංකාවේ සාම දූතයා ලෙස විරුදාවලිය ලැබීම ආදියත් විජය පිළිබඳ ලිවීමේ දී ඉතා වැදගත්.

අනෙක කිසිදු දේශපාලනඥයකුට නොදැනෙන තරම් මිනිසුන්ගේ දුක දැනුණු ඒ වෙනුවෙන් කැපවුණු මානව හිතවාදියකු ලෙස ඔහුගේ චරිත ලක්ෂණ මෙහි ඉස්මතු කළ යුතුව තිබුණා. ඒ වගේම පීටර් කේනමන්, කොල්වින් ආර්. ද සිල්වා වැනි දේශපාලන පතාක යෝධයන් මෙන්ම උතුරේ දෙමළ දේශපාලන පක්ෂ ඔහුගේ සෙවණ ලැබු හැටි පෙන්වා දිය යුතු වුණා. විවිධ කලාකරුවන් හා ක්‍රීඩකයන් පවා දේශපාලනයට පිවිසියත් විජය කළ කාර්ය භාරය ඔවුන්ට කළ හැකි වුණේ නැහැ.

විජයගේ අසලින් තැබිය හැකි මෑත කාලීන ආසියාතික දේශපාලනඥයා ලෙස මම දකින්නේ ඉම්රාන් ඛාන් පමණයි.

ඒ වගේම ඔහු ඇතැම් විට ගත්තේ ජනපි‍්‍රය තීන්දු නොවේ. උතුරේ ත්‍රස්තවාදීන් හමුවීමට ගියේ දකුණේ දේශපාලන පක්ෂ තදින් මඩ ගසද්දී. එහෙත් එදා ඔහු උතුරට ගියේ සහ උතුරේ ජනතාව කෑ ගැසුවේ කුමන හේතුවට ද යන්න අද අපට දකුණේ දී දැනෙනවා. විජය කුමාරතුංග තව කලක් ජීවත්ව සිටියා නම් මේ රට බොහෝ වෙනස් ගමනක් යන්න ඉඩ තිබුණා.

විජයට වැරදුණු එකම තැන ඔහු සමඟ සිටි දේශපාලකයන් සියල්ල ඔහුමෙන් අවංක යැයි විශ්වාස කිරීමයි.

මේ කෘතිය නිර්මාණයේ දී සංඝයා වහන්සේ දේශපාලනඥයන් හිතවතුන් මෙන්ම සරසවිය, සරසි පුවත්පත් සහ පුස්තකාලසේවා මණ්ඩලයත් මට බොහෝ උදව් වුණා.”

මේ කෘතියෙන් පසු සම්පත් වේරගොඩ ඩිප්ලෝමාධාරී ගුරුවරයකු ලෙස ත්‍රිකුණාමලය ජාතික පාසලටත් ඉන්පසු 2008 වසරේ අධ්‍යාපන පරිපාලන සේවයටත් බැඳී මොරටුව වේල්ස්කුමාර විදුහලේ මෙන්ම කොළඹ ආනන්ද විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිධුරවලටත් පසුව ගාල්ල රිච්මන්ඩ් ආදී විදුහල්වල විදුහල්පතිධුර හා අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂධුරත් දැරුවේය. මේ වන විට හෝමාගම කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්නේ ද සම්පත් වේරගොඩ මහතාය.

විජය කෘතියේ දෙවැනි මුද්‍රණය එළි දැක්වීම පිළිබඳ ඔහු පැවසුවේ මෙසේය.

“මගේ වෘත්තීය කටයුතු නිසා මේ කෘතියේ දෙවැනි මුද්‍රණයක් සිදු කිරිමට අපහසුතා ඇති වෙමින් කාලය ගත වුණා. එහෙත් නබෝ ප්‍රකාශන ආයතනයේ ලහිරු රන්දික ලියනගේ නම් තරුණයාගේ ඉල්ලීම අනුව මෙහි යම් යම් සංශෝධන සහිතව පසුගිය පෙබරවාරි මාසයේ විජය ගුණ සමරු දිනයට සමගාමීව ඉදිරිපත් කරන්න හැකි වුණා.”

ඔහු අවසාන වශයෙන් පැවසුවේ මෙසේය.

විජයගේ සිනමා ජීවිතය ගැන අපට අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. කතා කළ යුතු එකම දේ ඔහුට හිමිවිය යුතු සම්මාන පවා අහිමි කළා කියන දේ විතරයි. එහෙත් දේශපාලනමය වශයෙන් ගත් කල විජය සමාජගත කරන්නට උත්සාහ කළ දේශපාලන දර්ශනය මේ මහපොළොවේ පැළ වුණාද, පැළ වුණත් එය ඉදිරියට ගෙන යෑමේ දෙවැනි පෙළක් ඇති වුණා ද යන්න ප්‍ර‍්‍රශ්නයක්. මේවා පුද්ගල ජනපි‍්‍රයත්වය මත යැපෙන පක්ෂයි. ඒ නිසා මේ වන විට ශ්‍රී ලංකා මහජන පක්ෂය ක්‍රමයෙන් බිඳීගොස් එහි දර්ශනය මේ මහ පොළොවේ රෝපණය වීමට නොහැකි තත්ත්වයට පත්ව තිබෙනවා. විජය කුමාරතුංග තව කෙටි කලක් හෝ ජීවත්ව හිටියා නම් දේශපාලන කරළිය තුළ රට කර වූ බොහෝ නායකයන්ගේ නම් ලැයිස්තුව වෙනස් වන්න තිබුණා.