මට තෑග්ගක් ලැබුණොත් දුව අප්පුඩි ගහනවාද?

දශක හතරක් පුරා නොමැකෙන රූපණවේදියකු පිළිබඳ ආදරණීය මතකයන්
අප්‍රේල් 27 වැනිදාට යෙදෙන සෝමසිරි දෙහිපිටිය ගේ 40 වැනි ගුණසමරුව වෙනුවෙනි
අප්‍රේල් 21, 2022

 

තාත්තා වැඩට යන්න කලින් මාව බයිසිකලේ රවුමක් ගෙනහින් තිබ්බේ නැත්තම් මම අඩනවා

 

අවුරුදු 49ක් වැනි කෙටි ආයු කාලයක් තුළ ඔහු කලා කෙත අස්වද්දන්නට දායක වුයේ එවැනි දසගුණයක කාලයක් ජීවත් වූවකු මෙනි

 

වයස අවුරුදු දහයේ පමණ සිට සිය කලා කුසලතා මොනවට විදහා දැක් වූ සෝමසිරි සිසුවා 1951 දී තම විද්‍යාලයට සපැමිණි එවක අගමැති ඩී.ඇස්. සේනානායක මහතා පිළිගත්තේ විරිදු ගායනයකිනි

සත් සමුදුර චිත්‍රපටයේ පීටර්ට තිබුණේ අලුත් වෙනස් මුහුණකි. තුංමංහංදියේ ජේමිස් ද ඒ හැඩහුරුකම දැරුවත් ඔහුගේ හැසිරීම පීටර්ට වඩා වෙනස්ය. වෙස් ගත්තෝ. අහස් ගව්ව, හාර ලක්ෂෙ, කස්තුරි සුවඳ වැනි චිත්‍රපටවල ද ඒ පෙනුමැති නළුවකු සිටිය ද ඒ ඒ චරිතය අනුව ඔහුගේ ලක්ෂණ වෙනස් වූ නිසා සෝමසිරි දෙහිපිටිය යන චරිතාංග නළුවා හෙළ සිනමාවේ විශේෂිත රංග ශිල්පියකු ලෙස නමක් දරන්නට සමත් විය.

වයස අවුරුදු 49ක් වැනි කෙටි ආයු කාලයක් තුළ ඔහු කලා කෙත අස්වද්දන්නට දායක වුයේ එවැනි දසගුණයක කාලයක් ජීවත් වූවකු මෙනි. වරෙක වේදිකා නළුවකු වන ඔහු තවත් වරෙක ගුවන් විදුලි ශිල්පියෙකි. එසේම රංග වස්ත්‍ර නිර්මාණකරුවෙකි. මෙවැනි බහුවිධ කුසලතා ඔස්සේ අපුර්ව මතක රැසක් කලා ලොවේ රඳවා 1982 වසරේ අපේ‍්‍රල් 27 වැනි දින රඟ මඬලෙන් සමුගත් සෝමසිරි දෙහිපිටිය කලා ශිල්පියාගේ 40 වැනි ගුණානුස්මරණ උත්සවය ලබන 23 වැනිදා සෙනසුරාදා සවස 3.00ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ ඔහු පිළිබඳ මතක අවදි කිරීමකි.

 

 

දෙහිපිටියගේ දොන් සෝමසිරි නම් පුත් කුමරා ඉපදුණේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළ විල්සන් දෙහිපිටිය සහ ඔහුගේ බිරිය වන කැතරින් විංගසිංහ යුවළට 1933 ජනවාරි 29 වැනිදා දිනක කොළඹ දීය. එහෙත් පියාගේ රාජකාරී කටයුතු නිසා මේ දරුවාට පාසල් අධ්‍යපනය ලැබෙන්නේ ගම්පහ ප්‍රාථමික විදුහලෙන් සහ පසුව ගලහිටියාව මධ්‍යමහා විද්‍යාලයෙනි.

වයස අවුරුදු දහයේ පමණ සිට සිය කලා කුසලතා මොනවට විදහා දැක් වූ සෝමසිරි සිසුවා 1951 දී තම විද්‍යාලයට සපැමිණි එවක අගමැති ඩී.ඇස්. සේනානායක මහතා පිළිගත්තේ විරිඳු ගායනයකිනි.

පසුව නාට්‍යකරණයට ද යොමු වූ මේ කලාකාමී සිසුවා 1954 වසරේ පැවැති පාසල් නාට්‍ය තරඟාවලියේදී ඉදිරිපත් කළ ‘මානමුල’ චරිතය වෙනුවෙන් හොඳම නළුවා සම්මානය දිනාගැනීමට සමත් විය.

තරුණ වියට එළැඹුණු සෝමසිරි දෙහිපිටිය ගුවන් විදුලියට පය තැබුවේ හැකියාවන් රැසක් සමඟය. ඔහු වරෙක බටනලා වාදනය කරමින් ද වරෙක ගුවන් විදුලි නාට්‍ය ශිල්පියකු ලෙස ද සිය දක්ෂතා එළි දැක්විය.

මේ තරුණයාගේ හැකියාවන් දුටු ප්‍රවීණ ගුවන් විදුලි ශිල්පී ගැමුණු විජේසුරිය විසින් සෝමසිරි ප්‍රසිද්ධ වේදිකාවට හඳුන්වාදීමට පියවර ගත්තේය. එහි ප්‍රතිඵලය වුයේ ප්‍රවීණ නාට්‍යවේදීන් වන පී. වැලිකලගේ ‘මැටිකරත්තය’, ‘රත්නාවලී’ මහගමසේකරගේ ‘කුණ්ඩලකේශී’, ‘ස්වර්ණහංසී’, මහාචර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘පබාවතී’, ‘එලොව ගිහින් මෙලොව ආවා,’ ‘මනමේ’ දයානන්ද ගුණවර්ධනගේ ‘ඉබි කට්ට’, ඇමැති පට්ටම’, නීල් ශ්‍රී විජේසිංහගේ ‘අනේ මස්සිනේ’ වැනි නාට්‍යවල රංගනයට සම්බන්ධ වීමේ මහඟු අවස්ථාව ඔහුට හිමිවීමයි.

මේ අතර ‘පබාවතී’ නාට්‍යය නැරඹීමට පැමිණි වෛද්‍ය ලීනස් දිසානායක මේ තරුණ නවක නළුවා සිය ‘සත්සමුදුර’ චිත්‍රපටයට වඩාත් සුදුසු යැයි තීරණය කළේය. 1967 එසේ ඇරැඹී සෝමසිරි දෙහිපිටිය රංගන ශිල්පියාගේ සිනමාගමනය චිත්‍රපට හැටපහකට අධික සංඛ්‍යාවක් දක්වා වර්ධනය වුයේ ඔහු චරිතාංග නළුවකු බවට පත් කරමිනි. එහි අග්‍රඵලය ලෙස දැක්විය හැක්කේ 1981 වසරේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සිරිබෝ අයියා’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඔහු හිිමිකරගත් හොඳම සහාය නළුවාට හිමි සම්මානයයි.

රංගනයට පමණක් සීමා නොවු ඔහුගේ කලා හැකියාවන් නිසා ඔහු ‘වෙස්ගත්තෝ’ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේය. ‘කරුමක් කාරයෝ’ චිත්‍රපටයේ ඔහුගේ රංගනයට අමතර භූමිකාවක් වුයේ නිෂ්පාදනයයි. එසේම ‘හාරලක්ෂෙ’ චිත්‍රපටයේ ඔහු ප්‍රචාරක කටයුතු සඳහා ද සිය දායකත්වය දැක්විය. සිය පළමු සිනමා කෘතිය වන සත්සමුදුර මෙන්ම වෙස්ගත්තෝ චිත්‍රපටය සඳහා ද සමරු කලාප නිර්මාණය කිරීමට ද ඔහු නිර්මාණශීලී විය. එමතු ද නොව ඔහු චිත්‍රපට ගීත ගායනයෙන් ද දස්කම් පෑවේය. ඊට හොඳම උදාහරණය ‘වල්මත්වුවෝ’ චිත්‍රපටයේ ‘ශ්‍රී වික්‍රම නරනා’ නාට්‍ය ගීතයයි.

මේ සියල්ලටම ඔහු දායක වුයේ වෘත්තිකයකු ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කරන අතරතුර වීම ද විශේෂත්වයකි.

සෝමසිරි දෙහිපිටිය රංග ශිල්පියා වෙනුවෙන් හතළිස් වැනි ගුණසමරුව සංවිධානය කරන්නේ ඔහුගේ පුතණුවන් දමිත් සිරිලාල් දෙහිපිටිය සහ ඔහුගේ බිරිඳ වගීෂා දෙහිපිටිය සමඟ දියණිය නයනාංජලී දෙහිපිටිය සහ ඇගේ සැමියා වන සජීව බඹරැන්දගේ එකතුවෙනි. එයට ජාතික චිත්‍රපට සංස්ථාවේ ද සහයෝගය ලැබී තිබේ.

සිය පියාණන්ගේ ආදරය සෙනෙහස මේ දරු දෙදෙනාට මෙන්ම දෙහිපිටිය මහතාගේ පි‍්‍රය බිරිය වන රූපා රණසිංහ මහත්මියට ලබන්නට හැකි වුයේ ඉතා කෙටි කලකට පමණි. එහෙත් ඔහුගේ පිතු සෙනෙහස පිළිබඳ සොඳුරු මතක අවදි කරන්නට නයනාංජලී මෙන්ම දමිත් හතළිස් වසක් අතීතයට ගමන් කළේ සරසවිය වෙනුවෙනි.

‘මට හොඳට මතකයි තාත්තාට සම්මානේ ලැබුණු දවස’ නයනාංජලී පැවසුවේ හැඟුම් බරවය. ‘1981 බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ජනධිපති සම්මාන උළෙලට තාත්තා අපිවත් එක්කගෙන ගියා. හැබැයි අපි පුංචි නිසා වෙන්න ඇති තාත්තා කවදාවත් මාව ෂුටින් බලන්න එක්කගෙන ගිහින් නැහැ. ඉතින් තාත්තා සම්මාන උලෙළේ ටික වෙලාවක් ඉද්දී මගෙන් ඇහුවා. ‘මට තෑග්ගක් ලැබුණෙත් දුව අත්පුඩි ගහනවද? කියලා. මම සතුටින් ඔව් කීවා. ඒ වගේම තාත්තාට සිරිබෝ අයියා වෙනුවෙන් සම්මානේ ලැබුණා.

නයනාංජලීට මෙන්ම දමිත් දෙහිපිටිය දරුවන් දෙදෙනාට හොඳින්ම මතකයේ රැඳුණු ගමනක් ඇත. ඒ ධර්මසේන පතිරාජ සිනමාවේදියාගේ නිවෙසට දෙහිපිටිය පවුලේ උදවිය යන ගමනයි. ‘අපි ඔක්කොමලා මාස කීපයකට වතාවක් පතිරාජ අංකල්ලගේ නුවර ගෙදර යනවා. අපිට ඒ තරම් සතුටක් නැහැ. තාත්තලා නම් වෙනම පැත්තක සාද පවත්වනවා. අපි ළමයි ටික එකතු වෙලා සෙල්ලම් කරනවා. ඒක තමයි හැම අවුරුද්දකම අපට මතක හිටිය ට්‍රිප් එක’ එසේ කීවේ නයනාංජලීය. ඇය වෙළෙඳ දැන්වීමේ ප්‍රචාරණ අංශයට මෙන්ම සිනමා ඇඳුම් නිර්මාණයට යොමුව කටයුතු කරන්නීය.

දමිත් දෙහිපිටිය පෞද්ගලික බැංකුවක ප්‍රාදේශීය කළමනාකාරවයෙකි. ඔහු නයනාංජලී නංගීට වඩා වසර තුනකින් වැඩිමල් නිසා පියාණන් සමඟ වැඩි අත්දැකීම් කොටසක් ලබන්නට අවස්ථාව ලැබිණි. ඒ නිසා ඔහුට තාත්තා සමඟ රූගත කිරීම් හා විමෝදාංශවලට සහභාගී වූ අවස්ථා මතකය.

‘තාත්තා අපිව වැඩිය. ෂූටින් බලන්න ගෙනිච්චේ නැති වුණාට මාව ‘බට්ටි’චිත්‍රපටයේ රූපගත කිරීම් බලන්න එක්කගෙන ගියා. හැබැයි ඒ චිත්‍රපටයේ තාත්තා රඟපානවා දැක්කේ නැහැ. තාත්තා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ස්ටෝර් කීපර් කෙනෙක් හැටියට තමයි වැඩ කරලා තියෙන බව කියන්නේ. තාත්තා වැඩට යන්න කලින් මාව බයිසිකලේ රවුමක් ගෙනහින් තිබ්බේ නැත්තම් මම අඩනවා. අපට තාත්තාගේ රැකියාව ගැන වැඩි අවබෝධයක් තිබුණේ නැනේ තාත්තා නැතිවෙද්දී. කොහොම වුණත් තාත්තා ක්‍රිකට් වලට හරිම කැමැතියි. ඒ නිසා බ්ලුම්ෆීල්ඩ් ක්‍රිකට් ක්ලබ් එකේ සාමාජිකයකු වෙලා හිටියා. තාත්තාගේ ක්‍රිකට් මිතුරන් වුණේ අජිත් ද සිල්වා බන්දුල වර්ණපුර වගේ අය. මම තාත්තා එක්ක ක්‍රිකට් මැච් බලන්න ගිහින් තියෙනවා. ඒ වෙලාවට බොහොම විනෝදෙන් යාළු මිත්‍රයන් සමඟ මධුවිතකින් සප්පායම් වෙලා එහෙම තමයි මැච් එක බලන්නේ. 1981 අන්තර්ජාතික ක්‍රිකට් තරඟාවලිය බලන්නත් තාත්තා මා එක්ක ගියා ඒ වෙද්දී තාත්තාට සෙංගමාලය වැලදිලා හොඳ වෙලා තිබුණාට දුර්වල තත්ත්වයෙන් හිටියේ. සැර බීම තහනම් කරලා තිබුණත් ක්‍රිකට් ලෝලීත්වය වැඩිවෙලා තහංචි අමතක වෙලා වැඩිපුර විමෝද වුණා. ඒ තමයි තාත්තා අන්තිමටම බැලුව මැච් එක. ඉන් පස්සේ දිගටම අසනීපය වැඩි වුණා.’ දමිත්ගේ හඬ බිඳී ගියේ ඉන් පසු ඔවුන්ට අහිමි වූ පිතු සෙනෙහසක මතක සමගිනි.

මේ සියල්ල විඳ දරාගෙන සෝමසිරි දෙහිපිටියගේ සෙවණැල්ල මෙන් සිටියේ ඔහුගේ බිරිය රූපා රණසිංහයි. ඇය නැටුම් ගුරුවරියක් ලෙස රජයේ පාසල්වල සේවය කළා. පමණක් නොව ‘ළාදලු’, ‘අක්කර පහ’ ඇතුළු චිත්‍රපට හතරක පමණ නර්තන ශිල්පිණියක ලෙස ද රංගනයෙන් දායක වූ තැනැත්තියකි. මේ වන විට අසුවැනිවියෙහි පමණ පසුවන ඇය වේදනාබර අතීතය මෙනෙහි කරන්නට මහන්සි කළ යුතු නොවේ.

‘අම්මාත් දුෂ්කර පාසල්වල සේවයට එහෙම ගියාම අපිව බලා ගත්තේ තාත්තම්මා.’ ඒ නිසා අපි වැඩියෙන් හැදුණේ වැඩුණේ තාත්තාම්මා ගාව.’ දමිත් සිය කුඩා කල මෙනෙහි කළේ එලෙසිනි. ‘අපේ ගෙදර කලාකරුවන් රැසක් පිරිලා හිටියා ඒ කාලේ. සමහර වෙලාවට ළඟපාත රූපගතකිරීම් තිබෙන කාලෙට මාසයක් විතර අපේ ගෙදර ඒ අය නතර වෙලා ඉන්නවා.” ඔහුගේ මතක අතරින් තවත් එකකි.

‘අපේ අම්මාගෙයි තාත්තාගෙයි විවාහයට අත්සන් තබලා තියෙන්නෙත් ලාල් දිසානායක අංකල්. අම්මයි තාත්තයි ගෙවල්වල අකමැත්තක් තමයි විවාහ වෙලා තියෙන්නේ. ඒ නයනාංජලීගේ මතකයෙන් බිඳකි.

‘තාත්තා අසනීප වුණාම මාලිනී ෆොන්සේකා ජෝ අබේවික්‍රම, සනත් ගුණතිලක, සමන් ආතාවුද හෙට්ටි, චින්තන ජයසේන, සිරිල් වික්‍රමගේ, දයා තෙන්නකෝන් ලාල් දිසානායක ඇතුළු කලාකරුවෝ රැසක් තාත්තාගේ දුක සැප බලන්න ආවා. තාත්තාගේ ළඟින්ම හිටියේ ඩබ්ලිව් ජයසිරි අංකල්. ඒ නිසා තමයි මේ ගුණසැමරුමේ ප්‍රධාන දේශනයත් එතුමාට ලබා දුන්නේ. තාත්තා නැති වෙද්දී මම පිළියන්දල සෝමවීර විද්‍යාලයේ, දෙකේ පන්තියේ හිටියේ. එදා ඉස්කෝලෙ දවසක්. ඔයගොල්ලන්ගේ සරසවිය පත්තරේ කර්තෘ අරුණ ගුණරත්න අයියාගේ නැන්දම්මා කුලවතී ටීචර් අපේ පන්තියට ආවා. වෙනදාට ටීචර්ගේ මුණ හැමතිස්සේම වගේ හිනාවෙන් පිරිලානේ. ඒත් එදා හිනාවක් පේන්න තිබුණේ නෑ. අපේ පන්තිබාර ගුරුතුමියට මොනවද කියලා මට කීවා ‘දුව පොත් ටිකක් ලෑස්ති කරගෙන ගෙදර යන්න එන්න’ කියලා. මම ගියා මට තේරුමක් නෑ මොනවද වෙන්නේ කියලා. හැබැයි අයියාට තේරුමක් තිබුණා ඒ තාත්තා නැතිවෙලා තමයි කියලා.’ නයනාංජලී පැවසුවේ සුසුමකට එක්කළ වදන් පෙළකි.

නයනාංජලී සහ දමිත් දෙදෙනාම අවසන් වශයෙන් පැවසුවේ පොදු කරුණකි. ‘තාත්තා කෙනෙක් නැති වුණාම කුඩා දරුවෝ දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්ගේ ජීවිතේ උඩු යටිකුරු වෙනවා. අපේ පවුලත් ඒ පොදු දේවලට මුහුණ දුන්නා. ඒත් ජීවිතයේ සියලු කඳු පල්ලම් සමඟ දැන් අවුරුදු හතළිහක් ගතවෙලා. අපි දැන් වැඩිහිටියන් හැටියට ජීවිතේ ගෙවනවා. ඒත් කෙටි කාලයකට හරි අපට තාත්තාගෙන් ලැබුණු සෙනෙහස ඒ උණුසුම අපේ හදවත්වලින් මැකී යන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මේ ගුණානුස්මරණ උලෙළ සංවිධානය කළේ තාත්තාට, තාත්තාගේ හැකියාවන් වලට කරන ගරු කිරීමක් ලෙස. 23 වැනි සෙනසුරාදා සවස 3.00 ට චිත්‍රපට සංස්ථාවේ ගුණානුස්මරණ උළෙලට පස්සේ ‘දියමන්ති’ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න කටයුතු යොදා තිබෙනවා. අපේ තාත්තා, සෝමසිරි දෙහිපිටිය රංගන ශිල්පියා පිළිබඳ මතක අවදි කරගන්න මෙය හොඳම අවස්ථාවක් වෙයි කියා අපි විශ්වාස කරනවා.