වර්ෂ 2023 ක්වූ October 04 වැනිදා Wednesday
මැවිලා පෙනේවි රූපේ- රුක්මණී දේවි

හෙළ සිනමාවේ නොබිඳෙන වාර්තාවක් තැබූ රුක්මණී දේවිය මෙරට තිරගත වූ පළමු කථානාද චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුව සමඟ රිදී තිරයේ පෑයු ප්‍රථම ප්‍රධාන නිළිය මෙන්ම සිනමා ගායිකාව ද වන්නීය. තම රංගනය සඳහා වෙනත් කිසිදු ගායිකාවක් යොදා නොගැනීම ඇය තැබූ තවත් වාර්තාවකි. ඇයගේ පළමු ගායනය 1939 දී එච්.එම්. වී. තැටියකට එච්.ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් සමඟ ගැයූ ‘සිරි බුද්ධ ගයා විහාරේ’ ගීයයි.
කඩවුණු පොරොන්දුව සඳහා ඇය ගැයූ සන්ධ්‍යාවේ ශ්රීය රම්‍යා ලෙස පේනා, සුන්දර රූපා රංජනී, පාපේ සාපේ දෝ මේ මාගේ ගීත ඇය පසුබිම් ගායනය කළේ හියුගෝ මාස්ටර් සමඟිනි.
කපටි ආරක්ෂකයා, වැරදුණු කුරුමානම, පෙරළෙන ඉරණම, සැඟවුණු පිළිතුර, උමතු විශ්වාසය, දෛවයෝගය, කැළෑ හඳ, අයිරාංගනී, පෙරකදෝරු බෑණා, මතභේදය, දොස්තර, නළඟන, දස්කොන් වැනි එවක චිත්‍රපට රැසක ප්‍රධාන නිළිය වුයේ ඇයයි.
සිය සැමියා වන එඩී ජයමාන්න සමඟ තම නම එක්කර ‘ජයරුක්’ සමාගම ගොඩනඟා ඇය නිෂ්පාදනය කළ එකම චිත්‍රපටය ‘සිරියලතා’ය.
ඩේසි රාසම්මා ඩැනියෙල්ස් නමින් නුවර එළියේ රම්බොඩ උපන් ඇය රඟපෑමට පිවිසියේ වයස අවුරුදු හතේ පමණ සිටය. ඒ ‘සාත්තුකරුවාගේ බිරිඳ’ නම් නත්තල් නාට්‍යයකිනි. ඉන්පසු මිනර්වා නාට්‍ය කණ්ඩායමට බැදුණු ඇය එහි රංගනයේ නිතර වූවාය.
මෙරට පළමු දීපශිඛා සම්මාන උලෙළේ හොඳම නිළිය ලෙස ද, 1959 ස්වර්ණධාරා සම්මාන උලෙළේ ජනපි‍්‍රයම නිළිය ලෙස ද 1966 හා 69 වසරවල දීපශිඛා සම්මාන උළෙලවල හොඳම ගායිකාව ලෙස ද රුක්මණී සම්මානනීය වූවාය.
ඉන්දියානු නිළි අංජලී දේවී වෙනුවෙන් පතිවත චිත්‍රපටයේ හඬ කැවීම් කළේ ද රුක්මණී දේවීය. එහි මෙන්ම රහස් දූපත, හදවත් නැත්තෝ වැනි චිත්‍රපටවල පසුබිම් ගායිකාව වුයේ ද, ඇයයි. 1947 සිට 1984 දක්වාම ඇය රඟ පෑ චිත්‍රපට මෙරට සිනමාවට එක් විය. ඇයගේ වියෝවෙන් පසු ප්‍රදර්ශනයට එක් වූ චිත්‍රපට අතර මොනරතැන්න, ඇර සොයිසා, අමල් බිසෝ පොඩි මල්ලි වැනි චිත්‍රපට වේ.
1923 ජනවාරි 15 උපන් අය සිය ප්‍රථම ඒක පුද්ගල ගීත ප්‍රසංගය වන ‘ස්වර්ණා ගී’ පැවැත්වීමට දිනකට පෙර එනම් 1978 ඔක්තෝබර් 28 හදිසි අනතුරකින් වියෝ වූවාය. අහසින් පොලොවට චිත්‍රපටය සඳහා ගැයූ ‘දොයි දොයි’ ගීතය සඳහා දක්ෂතම ගායිකාවට හිමි සම්මානය ලබද්දී ඇය ‘මැවිලා පෙනේවි රූපේ’ ගීතයෙන් ගැයූ සේම අපට ඉතිරි කර ගියේ රූ මතකයන් රැසක් පමණි.