ලේක්හවුස් මුල්ම වෘත්තිය සමිති නායක විකට රජතුන්කට්ටුවේ තුන්වැනියා

මාර්තු 10, 2022

සුවහසක් රසිකයන් සිනහවෙන් අමන්දානන්දයට පත්කළ රජ තුන්කට්ටුවේ අවසන් පුරුක වූ බර්ටි ගුණතිලකයන් ඉකුත් 06 වැනිදා සිය දිවි සැරිය නිමා කරනු ලැබුවේ, මෙරට සුවහසක් රසික ජනතාවගේ දෙනෙතට කඳුළු බිඳක් එක් කරමිනි. මෙරට ප්‍රහසන රංග කලාවේ පුරෝගාමියකු මෙන්ම විශිෂ්ට රංග ශිල්පියෙකු වූ බර්ටි ගුණතිලකයන් මිය යන විට 98 වන වියේ පසුවිය.

රෝගාතුරව සතියක පමණ කාලයක් කහවත්ත මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිය දිවි මඩලෙන් සමුගත් බර්ටි ගුණතිලකයන් 1924 අගෝස්තු මස 02 වැනි දින මහනුවර අම්පිට්යේ දී උපත ලැබීය.

මෙරට පරම්පරා ගණනාවක් සිනහ ගඟුලේ ගිල්වමන් මෑතක් වන තුරුම බාල මහලු තරුණ සැමගේ ආදර ගෞරවයට පාත්‍රවෙමින් නිවිතිගල ඇමටිගොඩ සිය නිවසේ සැඳෑසමය ගත කළ බර්ටි ගුණතිලකයන් ප්‍රහසන රංගනයන් තුළින් මෙරට පේ‍්‍රක්ෂකයන් රස සාගරයක් ගිල්ලු අයුරු ඔහු කයෙන් වෙන්ව ගිය ද ඒ සදාදර මතකය සදා ජීවමානව සිත්හි තැන්පත්ව ඇත.

මෙරට ප්‍රහසන කලාවේ රජ තුන්කට්ටුව ලෙස හැඳින්වුණු ඇනස්ලි ඩයස් සැමුවෙල් රොද්‍රිගු හා බර්ටි ගුණතිලකයන් එක්ව කළ ‘විනෝද සමය’ , ‘විහිළු තහළු’ ඇතුළු ගුවන්විදුලි රූපවාහිනී ප්‍රහසන වැඩසටහන් මෙරට ලොකු කුඩා කවුරුත් අතර ඉමහත් ජනපි‍්‍රය විය.

කොට කලිසමකින් සැරසී, කටේ සුප්පපුවක් ගසාගෙන වතුර බෝතලයක් පැන්සලක් පොතක් රැගෙන පාසල් සිසුවකු ලෙස විනෝද සමයෙන් බර්ටි කළ රංගනය අද ද මතකයට නැගෙන වාරයක් පාසා මුවගට සිනහවක් ඇති කරනුයේ නිරායාසයෙන්මය.

ශ්‍රී ලාංකේය හාස්‍යෝත්පාදක කලාවක් බිහි කිරීමේ පුරෝගාමියෝ වූ ඇනස්ලි සැමුවෙල් බර්ටි ත්‍රිත්වය මැවූ හාස්‍ය තුළින් සමාජයට හරවත් යමක් එක් කරනු ලැබීය.

පනස් වසරකට අධික කාලයක් ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් සනිටුහන් කළ බර්ටි සංඝතිස්ස ගුණතිලක 1947 දී සිරි අයියා ගේ ළමා පිටියෙන් ගුවන් විදුලියට සම්බන්ධ විය.

1952 දී තේවිස් ගුරුගේ මහතා විසින් මෙහෙය වන ලද බුෂල්ස් කෝපි වැඩසටහන මඟින් ලංකාවේ පළමුවරට පැවැත් වූ ආධුනික විකට ශිල්පියා තේරීමේ තරඟයෙන් බර්ටි අභිෂේක ලැබීය.

ඕනෑම විකට චරිතයක් තමාට ආවේණික වූ ශෛලියකින් රඟපෑමේ සහජ නිපුණතාවක් බර්ටි සතු විය. ඇනස්ලි, බර්ටි, සැමුවෙල් ත්‍රිමුර්තියේ ශක්තිමත් පුරුකක් වූ බර්ටි විහිළු, තහළු, විනෝද සමය රසගැන්වුවා පමණක් නොව පසුකාලීනව වේදිකාව ගුවන්විදුලි රූපවාහිනි වැඩසටහන් මෙන්ම චිත්‍රපට විශාල ප්‍රමාණයකට ද රංගනයෙන් දායකවිය.

1951 දී ඒ.එස්.එම්. නායගම් නිපද වූ බණ්ඩා නගරයට පැමිණීම චිත්‍රපටයෙන් චිත්‍රපට රංගනයට එක් වූ බර්ටි සමාජ හතුරෝ, බිනරමලී, සිකුරු ලියා, නැව ගිලුණත් බෑන් චූන්, මරුවා සමඟ වාසේ, ජොලි හලෝ, සීත සමීරේ, චුඩා මාණික්‍යය, පෙම්මල් මාලා, වන මෝහිනී, සොමි බෝයිස් ආදී ජනපි‍්‍රය චිත්‍රපට රාශියක රංගනයෙන් දායක විය. බණ්ඩා නගරයට පැමිණිම මෙරට චිත්‍රාගාරයක නිපද වූ ප්‍රථම චිත්‍රපටය වන අතර, මිය යන විට බර්ටි මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම සිනමා නළුවා විය.

මහනුවර අම්පිටිය කනිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථිමික අධ්‍යාපනය ලැබූ බර්ටි වැඩිදුර අධ්‍යක්ෂණය සඳහා මහනුවර සංඝරාජ පිරිවෙනට ඇතුළත් විය. වෙද හෙදකම පිළිබඳ ඉගෙනුමක් ලබාගත් බර්ටි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ද ඇතුළත් විය. පසු කලෙක ඉන් ඉවත්ව ගුරුපත්වීමක් ලැබ කුලියාපිටිය ගල්පොල විද්‍යාලයේ ගුරුවරයකු වශයෙන් සේවය කරන බර්ටි රැකියා බොහොමයක නියැළි පුද්ගලයෙකු විය. පුවත්පත්වලට ලිවීමේ සහජ හැකියාවෙන් පසු වූ බර්ටි පසුකාලීනව සිංහල බෞද්ධයා, සිංහලේ, සිංහල ජාතිය, ලංකාදීප, පුවත්පත්වල සෝදුපත් කියවන්නකු ලෙස සේවය කළේය.

1953 දී ලේක්හවුස් ආයතනයට එක්වන බර්ටි එහි පත්‍ර බෙදා හැරීමේ අංශයේ කනිෂ්ඨ පාලකයෙක් ලෙසින් වසර දොළහක් කටයුතු කළේය. ලේක්හවුස් ආයතනය තුළ වෘත්තීය සමිති ආරම්භ කිරීමේ කටයුතුවල පෙරමුණගත් නායකයකු වූ බර්ටි ගුණතිලකයන්ට එහි වෘත්තීය සමිති අරගලවලට මැදිහත් වීම නිසා රැකියාව අහිමි විය. ඉන්පසු පුර්ණකාලීනව කලා කටයුතුවල නියැළීමට පටන්ගත් බර්ටි ගුණතිලකයන් 80 දශකයේ මැද භාගයේදී විවිධ රූපවාහිනී නාලිකා සමඟින් හාස්‍ය රංගනය තුළින් කරළියට පැමිණියේය.

දෙහිවල හංදිය, හොල්මන්ගෙදර, නගර සෝබනී, දෙකට එකයි, සංවත්සරය, බල්ගිස් නෝනා ආදී වේදිකා නාට්‍ය රැසක ද බර්ටි රංගනයන් ඉදිරිපත් කළේය.

වෘත්තියෙන් ගුරුවරියක වූ ඇමටියගොඩ අලහකෝන් මුදියන්සේලාගේ සෝමා ගුණතිලක සමඟ 1959 දී විවාහ වූ බර්ටි දරුවන් සිව් දෙනෙකුගේ පියෙකි. භාරත, හර්ෂ පුතුන් දෙදෙනාත් ජීවනී, කුමුදුනී දියණියන් දෙදෙනාත් ඔහුගේ දරුවෝ සිව්දෙනා වෙති. 1993 දී තම ආදරණීය බිරිය සෝමා හදිසියේ මිය පරලොව යාමත් සමඟ ජීවනී දියණියගේ රැකවරණය ලබමින් බර්ටි ජීවත් විය.

කලාව වෙනුවෙන් සිදු කළ මෙහෙවර උදෙසා බර්ටි ගුණතිලකයන් කලාකීර්ති, නාට්‍ය ශූරී, දේශබන්දු කලාභූෂණ ආදී සම්මාන රැසකින් ද විශිෂ්ට රාජ්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබීය.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය 2013 වසරේ ඔහුට දේශනේත්‍ර සම්මානය පිරිනැමූ අතර 2014 වසරේ දී රූපවාහිනී රාජ්‍ය සම්මාන උලෙළේ දී ජීවිතයේ එක්වරක් පිදෙන යාවජීව සම්මානයට ද ඔහු පාත්‍ර විය.

සිය අපුර්ව රංග කෞශල්‍යයෙන් මෙරට වේදිකාව දෙවනත් කිරීමටත් ගුවන් විදුලිය රසවත් කිරීමටත් රූපවාහිනිය වර්ණවත් කිරීමටත් සිනමාව අර්ථවත් කිරීමටත් සමත් වූ මේ බර්ටි ගුණතිලක නම් අසහාය රංග ශිල්පියා ඉකුත් 07 වැනිදා මළහිරු බැසයන සැඳෑයාමයේ බොරැල්ල කනත්තේදී මෙතෙක් කලක් තම රංග වපසරියෙන් මේ කලා කේතේ වැපූරු අස්වනු ඉතිරිකොට නික්ම ගියේය.

හාස්‍යය රසයෙන් සුවහසක් රසිකයින් අමන්දානන්දයට පත්කළ බර්ටි ගුªණතිලකයෙනි,

ඔබට නිවන් සුව !

 

චන්දන දයාසිරිවර්ධන
සේයාරුව - ශාන් රඹුක්වැල්ල