ඔවුහු ‘නිම්වළල්ල’සොයා නික්ම ගියහ

මාර්තු 3, 2022

සුනිල් මාධව පේ‍්‍රමතිලක (1944 - 2022) හා බන්ධුල පද්ම කුමාර (1950 - 2022) අද ජීවතුන් අතර නැත. ඔවුන් දෙදෙනා ගැන අනිත් අයට මෙන්ම මිහිරි මතකයක් මට තිබෙන නිසා යමක් ලියන්නට වෑයම් කරමි. ඔවුන් දෙදෙනාම ආදී ආනන්දීයන් වීමත්, ආදී ආනන්දීයකු වන මට ආනන්දය හා ඔවුන් ගැනත්, අප තිදෙනාගේ පි‍්‍රයතම විෂයය වූ සිනමාව හා සාහිත්‍ය ගැනත් පමණක් කතා කිරීමට අදහස් කරමි.

මා ආනන්දට එනවිට සුනිල් ආනන්දය අතහැර ලේක්හවුසියට බැඳිලාය. මේ කියන කාලයේ සුනිල් මාධව පේ‍්‍රමතිලක ගේ නම ලොකු අකුරින් ‘සිළුමිණ’ පත්‍රයේ ද ඔහුගේ ලිපිවල පළ විය. සුනිල් මුල් වරට මා දැක ගත්තේ සිය පියා වූ මීමන පේ‍්‍රමතිලක මහතා අවසන් ගමන් ගිය බොරැල්ලේ කනත්ත සුසාන භූමියේ දීය. එහෙත් ඔහු හඳුනා ගන්නේ මේ සිද්ධියෙන් පසුවය. ඒ අප ආනන්දයේ ‘නිම් වළල්ල” චිත්‍රපටය ගැන මුලික සාකච්ඡා කරන අවස්ථාවේ දීය. ඒ ගැන සුනිල්ගේ වචනයෙන් ලියා ඇති පාඨයක් උපුටා ගත්තේ ඔහු ලියූ ‘නොනිමි ජීවිත කතාව‘ කෘතියෙනි.

“තාත්තාගේ මරණයෙන් ටික කලකට පසු ආනන්ද විදුහලේ ශිෂ්‍යයන් පිරිසක් මා හමුවීමට ලේක්හවුසියට පැමිණියහ. ඒ පණිවුඩය මට කීවේ පහළ ගේට්ටුවේ සිටි කල්දේරා ය.

‘සුනිල් මහත්තයා ඔයාගේ ඉස්කෝලේ ළමයි ටිකක් ඔයාව හම්බවෙන්න ඇවිත් ඉන්නවා.

ආනන්දයට වගේම මම හිටපු ආනන්දීයයන්ටත්, එහි ඉගෙන ගන්නා සිසුන්ටත් මහත් සේ ආදරය කරමි. මා හිතන අන්දම ආනන්දයේ ඉගෙන ගත් හැම කෙනෙකු තුළම ඒ හැඟීම තිබේ. මම පහළට ගියවිට දිග සැටියේ ඉඳගෙන සිටි තරුණයෝ තිදෙනා මා දුටු මොහොතේම නැගිට ඔවුන්ගේ දෑත් දිගුකොට මගේ අත්දෙක අල්ලා ගත්තා. තවම හරියට රැවුලවත් නැති පොඩි කොල්ලෝ කිසිවක් කතා කිරීමට පෙර මා ඔවුන් සමඟ කැන්ටිමට ගොස් දිවුල් කිරි බිව් හැටි අද මෙන් මට මතකය.

‘සුනිල් මම රංජිත් කුමාර, මේ රංජීත් ලාල්, මේ ඩිල්මන් ජයරත්න, අපි ආවේ ලොකු වැඩක් ගැන කතා කරන්න.

“ඒ මොකක්ද බං ලොකු වැඩක් කිව්වේ?

“ඔයාට මතකද ඒ කාලේ ‘වෙර’ කියලා කෙටි චිත්‍රපටයක් හැදුව? ඒක කළෙත් අපි. මේ මේ රංජිත් ලාල් තමයි අධ්‍යක්ෂ අපි තව චිත්‍රපටයක් හදන්න තීරණය කරලා තියෙන්නේ. ඒක කෙටි චිත්‍රපටයක් නොවෙයි.’

‘නියමයි මචං නියමයි. මාත් චිත්‍රපටවලට ආසයි. හොඳ චිත්‍රපට බලල තියෙනවා. සිනමාව ගැන පොතපතුත් කියවල තියෙනවා. ඉතින් උඹලට කෙරෙන්න ඕනේ මොකක්ද? ඕන දෙයක් කියපල්ලා. ආනන්දේ කොල්ලන්ට උදව්වක් කරන්න ලැබීමත් වාසනාවක්.’

ඔවුහු එකිනෙකාගේ මුහුණු බලමින් සිනාසෙන්න පටන් ගත්තා.

‘නැහැ සුනිල් අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම උදව්වක් නෙවෙයි. ඔයත් මේකට සම්බන්ධ වෙන්න ඕන.’ මම පුදුමයෙන් ඔවුන් දෙස බැලුවෙමි.

‘මේකයි ඔයා කතාව ලියල තිර කතාව ලියන්න ඕන. රංජිත් ලාල් ඒක අධ්‍යක්ෂණය කරයි. ඩිල්මන් අපේ කැමරාමන්. එසේ කීවේ රංජීත් කුමාර ය. මේ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂ ඔහු ය.

“අපි ආයෙත් හමුවෙලා කතා කරමු.”

ඉන්පසු කිහිපවරක් අපි හමුවුණෙමු. එහෙත් අප කතා කළේ දිවුල් කිරි බොමින් නොවේ. තම ජීවිතයේ අත්දැකීම් ගැන රංජිත් කුමාර ලියූ ‘කොස්ගස්හන්දිය’පොතේ ඒ ගැන සඳහන් කර තිබුණි.

‘අපිට බියර් බොන්න පුරුදු කළේ සුනිල් තමයි.’

‘නිම්වළල්ල’ නැමැති චිත්‍රපටය කෙසේ හෝ නිමා කෙරිණි. යම් යම් මත ගැටුම් නිසා එක මොහොතක “උඹලා කර ගනිල්ලා’ මම කීවෙමි.

මට අවශ්‍ය වූයේ එහි ප්‍රධාන චරිතයට අමරසිරි කලංසුරිය ගැනීමට ය. ප්‍රධාන නිළි චරිතයට ස්වර්ණා මල්ලාවාරච්චි තෝරා ගැනිණ. චිත්‍රපටය තිරගත වීමෙන් පසු සිනමා සඟරාවක මුල් පිටුවේ ස්වර්ණා මල්ලවාරච්චිගේ ඡායාරූපයක් දමා ‘මෙතෙක් සිංහල සිනමාවට ලැබුණු හොඳම තිර කතාව නිම් වළල්ල බව එක්තරා විචාරකයෙක් කියා තිබිණි. චිත්‍රපටයේ හොඳ ගැන කී වචනයක්ම රංජීත් ලාල්ට හිමි විය යුතු බව මගේ අදහස යි.” සුනිල් මාධව ලියා තිබුණි.

‘නිම් වළල්ල’ තිරගත වීමට මාසයක් යන්නට කලින් මුදලාලිලා තුන් දෙනෙක් සුනිල් මාධව හමුවීමට පැමිණහ. ඔවුන්ට හොඳ තිර කතා ලියා දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ. එසේ වුවද ඔවුන් අන්තිමට කීවේ එකම දෙයයි.

“හැබැයි මහත්තයෝ හොඳ ෆයිට් ටිකකුයි, සින්දු හතර පහකුයි දාන්න ඕනෑ.”

ශ්‍රී ලංකාවේ චිත්‍රපට වලට මගේ සම්බන්ධය එතැනින් අවසන් විය.

වසර දහයකට දොළහකට පෙර රංජීත් ලාල් කොටුවේදී සුනිල්ට හමු වී ඇත. සාමාන්‍ය කතාබහකින් පසු ඔහු සුනිල් ගෙන් ප්‍රශ්නයක් ඇසුවේලු.

‘සුනිල් අපි ෆිල්ම් එකක් කරමු ද? ඔයා කතාව ලිව්වොත් විතරයි මම වැඩ කරන්නේ.

එය සිදු වුණේ නැත. සුනිල්ට රංජීත් ලාල්ගේ මරණය ගැන කීවේ නවරත්න ගමගේය.

ඉන්පසු දවසක පොත් දොරට වැඩීමේ උත්සවයක දී සිගරැට් එකක් බොමින් කොරිඩෝවේ ඇවිදිමින් සිටි සුනිල් වෙත පැමිණි කාන්තාවක් ඔහු වෙත පැමිණ මුහුණ සිප ගත්තාය. ඒ අනෝජා වීරසිංහ නැමැති අති දක්ෂ නිළියයි. සුන්දර ගැහැනියයි. සුනිල් පුදුම විය.

“අයිය පාරේ දී දැක්කත් මේ වගේ ම ඉඹිනවා කියලා මම හිතාගෙන හිටියේ. අයියා ලියන දේවල් මම හරි කැමැතියි.

දෑස් අදහාගත නොහැකිව සුනිල් ඇය දෙස බලා සිටියේය.

“මම අයියව හම්බවෙන්න ළඟදීම එනවා.’

සුනිල්ගේ ගෙදරට එන පාර අසා ගත් ඇය යන්න ගියාය.

“සුනිල් අයියා අපි චිත්‍රපටයක් කරමු. මට අම්මගේ චරිතය දෙන්න. අයියට ඕනෑ විදිහට ලියන්න. අයිය ලිව්වේ නැත්තම් මට වෙන කාටවත් මේ ගැන කියන්නේ නැහැ.

මේ ගැන සුනිල් මෙසේ ලියා තිබුණි.

“ඇත්තෙන්ම එය කාලයට ගැළපෙන අපූරු කතාවක්.

අතුරුදන් වුණු දරුවන් වෙනුවෙන් අරගල කරන අම්මා කෙනෙකුගේ කතාවක්.

“මම ඕනෑ නම් සුමානෙකට පස්සේ අයියා හම්බවෙන්න එන්නම්.”

පෑන් කඩදාසි ගන්න කියලා මට රුපියල් දෙදාහක් දුන්නා.

‘ජාත්‍යන්තර මට්ටමේ වැඩක් කරමු. සෙන්සර් බෝඩ් එක ගැන බය වෙන්න එපා. මට ඕනෑ තරම් නිෂ්පාදකයෝ ඉන්නවා. අපි ලෝකෙටම පෙන්නන්න චිත්‍රපටයක් කරමු.”

එහෙත් මා අතින් ඒ සුවිශේෂ වැඩේ කෙරුණේ නැහැ. ඇය වෙන කිසිවකුටවත් ඒ ගැන කිව්වෙත් නැහැ.”

සුනිල් මාධ්‍ය ගැන කොතෙකුත් දේ මේ වනවිට ලියා ඇත. මේ ලිපියෙන් මා උත්සහ කළේ ඔහු තුළ සැඟ වී සිටි ප්‍රබුද්ධ සිනමා රසිකයා, කලා විචාරකයා මතු කිරීමටය.

සුනිල් ලේක් හවුසියට බැදෙන්නට ඇත්තේ වයස අවුරුදු 18 දී පමණ යයි මම අනුමාන කරමි. තම පියා වූ සිළුමිණ කර්තෘ මීමන පේ‍්‍රමතිලක මහතා යටතේ ආධුනික ලේඛකයකු ලෙස බැදෙන ඔහුට ඇසුරු කිරීමට ලැබෙන්නේ සිනමාව ගැන බොහෝ ඇසූ පිරූ වියතෙකු මෙන්ම යහපත් මනුෂයකු වූ බෙනඩික්ට් දොඩම්පෙගමය. පියා පුතු බාර දෙන්නේ - ‘බෙන් මගේ කොලුවා උඹට බාරයි’ කියාය. දොඩම්පෙගම සුනිලුත් සම්භාව්‍ය චිත්‍රපට බැලීමට ගෙන ගියේය. සිනමා සික්ස්ටීන් සොසයිට් (සොළොස්මාන සිනමා කුණ්ඩලිය) සහ කලම්බු ෆිල්ම් සොසයිට් යන සිනමා සංවිධාන දෙකෙහිම සාමාජිකත්වය ලබා දුන්නේය. එපමණක් නොව ලෝකයේ විශිෂ්ට චිත්‍රපට නරඹන්නට ලයනල් වෙන්ඩ්ට් ශාලාවට ගියේය. ලේක්හවුස් පොත්හල, කේව් පොත්හල කේ.වී.ජී. ද සිල්වා පොත්හල්වලට කැටුව ගොස් සිනමාව ගැන ඉංගී‍්‍රසි පොත පත ද, ‘ෆිල්ම් ඇන්ඩ් ෆිල්ම්ස්’ සයිට් ඇන්ඩ් සවුන්ඩ්’ සඟරාවල දාකයකත්වය ලබා දුන්නේය.

එකල අප හමු වූ විට ඔහු තමාගේ පි‍්‍රය කරන චිත්‍රපටය වූයේ ‘චණ්ඩියා’ බව පුන පුනා කීවේය. ඔහු ‘චණ්ඩියා’ ගැන චිත්‍රපට විචාරයක් ලිව්වේය. ටයිටස් තොටවත්ත මුල්වරට තරුණ අසහනය, විරැකියාව ගැන තේමාවක් මුල්වරට ඉදිරිපත් කළ බව කියා. ඊළඟට අපි - නිම්වලල්ලෙන් ඒකට හේතුවක් තියෙනවා. මචං ටයියයි, අපියි ආනන්දේ කොල්ලොනේ’ කියා සුනිල් කියූ හැටි මට හොඳට මතකය.

පසුගිය දා මියගිය බන්දුල පද්ම කුමාර ‘නිම්වළල්ල’ චිත්‍රපටයට සම්බන්ධ වුයේ සහාය අධ්‍යක්ෂවරයෙකු වශයෙනි. බන්දුල මට මුල්වරට හමුවන්නේ තිස්ස අබේසේකයන්ගේ නිවෙසේදීය.

ඒ 1968 වසරේ දී ය. රෙජී රණසිංහ නම් විශිෂ්ට චිත්‍රපට විචාරකයාගේ හඳුන්වා දීමෙන් පසු තිස්ස අබේසේකරට. මා කිවේ, අප සිසුන් කිහිපදෙනෙකු සමඟ චිත්‍රපටයක් කිරීමට සැලසුම් කර ඇති නිසා එහි තිර නාටක පෙන්වා උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය බවය. ඔහු කීවේ සෙනසුරාදා හවස ගංගොඩවිල විද්‍යෝදය විශ්ව විද්‍යාලය අසල එගොඩවත්තේ නිවසට එන ලෙසය.

ගංගොඩවිල එගොඩවත්ත පාරේ තිස්ස අබේසේකරගේ නිවසට යන විට බිං කරුවල වැටී තිබුණි. තිස්ස අයියා සමඟ කතා බහ කිරීම ඉතා පි‍්‍රය ජනක සිදුවීමක් විය. සිනමාව ගැන බොහෝ ඇසූ පිරූ තැන් ඇති ඔහුගේ කතා විලාසයත් දේහ විලාසයත් අපේ සිත් ගත්තේය. අපෙන් විස්තර අසා තිරනාටකය බලා අඩුපාඩු සකස් කරගන්නා හැටි කියා දුන් ඔහු සිනමාව ගැන කියවන්නැයි උනන්දුකොට අවශ්‍ය පොතපත තම පුස්තකාලයෙන් ලබා ගන්නා ලෙස ද කීවේය. අප වැනි නවකයන්ට තිස්ස අයියා නිර්ලෝභීව උපකාර කළ අවස්ථා බොහෝය. නව පරපුරට අත හිත දෙන අසාමාන්‍ය පුද්ගලයකු වූ තිස්ස අයියාට අප තුළ ඇත්තේ භක්ත්‍යාදරයකි.

තිස්ස අයියාගේ නිවසේ දී සරමකින් හා කමිසයකින් සැරසී සිටි අප වයසේම ගැටයෙකු නිතර එහා මෙහා ඇවිදිනු දක්නට ලැබුණි. ඔහු අත පොතකි.

“මල්ලිලා දන්නවද මෙයාව? ආනන්දෙදි දැකල තියෙනවද? තිස්ස අයියා ඔහු අපට හඳුන්වා දෙමින් කීවේය.

“දැකල පුරුදුයි වගේ. ඒ ලෙවල් පන්ති කිහිපයක්ම තියෙනවනෙ.”

මෙයාගෙ නම බන්දුල පද්ම කුමාර. මගේ ඥාති පුත්‍රයෙක්. මේ ළඟ ඉන්නේ. හුඟාක් පොත පත කියවනවා. එයත් සතුටුයි නිම් වළල්ලට සම්බන්ධ වෙලා වැඩ කරන්න.”

බන්දුල පද්ම කුමාර “නිම් වළල්ල’ චිත්‍රපටයේ දෙවැනි සහාය අධ්‍යක්ෂවරයා ලෙස එක් කිරීමට මට හැකි විය. පළමුවැනි සහාය අධ්‍යක්ෂවරයා වූයේ ආනන්ද සී නිලවීරය. චිත්‍රපට විචාරක හා ලේඛක සංගමය සංවිධානය කළ විදේශීය චිත්‍රපට උලෙළ කිහිපයක් එකල දක්නට ලැබිණ. ‘පැසෙන්ජර්’ නම් පෝලන්ත චිත්‍රපටයට දුටු අපි එයින් අපූරු රසයක් වින්දෙමු. මේ චිත්‍රපටය ගැන අපුරු විචාරයක් ලියූ බන්දුල එය අපට පෙන්නුවේය. “පැසෙන්ජර්” චිත්‍රපටය ගැන පාසල් සිසුන් අතර පැවති රචනා තරඟයක් ගැන අසන්නට ලැබූ අපි බන්දුල ඒ සම්බන්ධයෙන් උනන්දු කළෙමු.

“බන්දු මේ තරඟෙට ඉදිරිපත් වෙන්නම ඕනෑ. උඹට මුල් තැන ලැබේවි.” අපි ඔහු උනන්දු කළෙමු.

ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍ය බන්දුල පද්ම කුමාරට “පැසෙන්ජර්” ආධුනික චිත්‍රපට විචාර තරගයෙන් මුල් තැන හිමි විය.

බන්දුල තම ඥාතියෙකු වූ තිස්ස අබේසේකර ගේ පුස්තකාලයෙන් සිනමා විෂයය ගැන තිබූ හැම පොතපතක්ම සඟරාවක්ම නොතින් ආසාවෙන් කිය වූ බව ඔහු අපට කියා තිබුණි. මේ නිසා සම්භාවනීය චිත්‍රපට නැරඹීමට පි‍්‍රය කළ ඔහු ‘විසිතුර’ පත්‍රයට ඒ චිත්‍රපට ගැන ලියුවේය. ඒ අතර 1968 රූපගත කළ ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘අක්කර පහ’ චිත්‍රපටයේ උප අධ්‍යක්ෂ උපාලි පෙරේරාගේ සාහකයා විය. සිනමා ශිල්පය ගැන ‘අක්කර පහෙන්’ අත පොත තැබූ ඔහු පසු කලෙක උපුල් ශාන්ත සන්නස්ගලගේ ‘සරසවි දියණියෝ’ නවකතාව ඇසුරෙන් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කර නිමාවට පත් කළේය. එහි නිෂ්පාදක ඩන්ස්ටන් ප්‍රනාන්දුගේ අභාවයෙන් පසු චිත්‍රපටය හමස් පෙට්ටියට ගියේය.

1983 වසරේ අපේ‍්‍රල් 16 වෙනිදා ‘සරසි‘ චිත්‍රපට පත්‍රය ඇරඹා බන්දුල වසර 10 වසරක් පවත්වාගෙන ගියේය. මේ ගැන වරක් මෙසේ කියා තිබුණි.

‘ජනපි‍්‍රය සිනමා පුවත්පතක් යනු සිනමා තාරකාවන්ගේ පෞද්ගලික තොරතුරු පළ කරන හරසුන් පුවත්පතක් ලෙස හුවා දක්වන්නෝ වෙති. සිනමා පටයක ජනපි‍්‍රයත්වයට මෙන්ම සිනමා පුවත්පතක ජනපි‍්‍රයත්වයට ද සිනමා නළු නිළියන්ගේ ආකර්ෂණය අවශ්‍ය බවට සැකයක් නැත. ශ්‍රී ලංකාව වැනි රටක ගැඹුරු සිනමා සාහිත්‍යයන් ඇත්තේම නැති තරම්ය.

එබැවින් අඩුපාඩුවෙන් කොටසක් පුරවන්නට ද සිනමා පුවත්පතකට සිදුවේ. ජනපි‍්‍රය ිසිනමා පුවත්පතක පළවන්නෙත් පළ විය යුත්තෙත් සිනමා නළු නිළියන්ගේ ඕපදුප පමණක්ම යනුවෙන් සිතන සමහර ප්‍රබුද්ධයන්ගේ අදහස් වලට එකඟ නොවන බවයි. ‘

මේ අතර බන්දුල තමා සිනමාව වෙත ඇදී ගිය අන්දම ගැන ද මෙසේ අපට කියා තිබුණි.

“සිනමා භක්තිකයන් වැඩි දෙනෙකුගේ මෙන්ම මගේ සිත ද සිනමා මාධ්‍යය නම් වු විචිත්‍ර කලාව කෙරෙහි ඇදී බැඳී ගියේ පාසල් වියේදීයි. මම ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටිය දී මම සිනමා රසිකයෙකු බවට පත් වුයෙමි. එ දවස මා සිටියේ විද්‍යාලයීය නේවාසිකාගාරයේය. පාසලින් කට්ටි පැන හෝ නේවාසිකාගාරයෙන් හොරෙන් පැන බොරැල්ලේ රිට්ස් සිනමා ශාලාවේ නැත්තම් මරදානේ ගාමිණී සිනමා ශාලාවේ ප්‍රදර්ශනය වූ හින්දි චිත්‍රපටයක් නරඹන්නට ලැබීම ගැටවර මට අපුර්ව අත්දැකීමක් විය. රාජ් කපුර් රඟ පෑ “ජීස් දේස් මේ ගංගා ෙබේතී ගේ’ චිත්‍රපටය හයවරක් නැරඹු මම දේවි ආනනද් හා වහිඩා රෙහිමාන් රඟ පෑ අස්ලී නකලී චිත්‍රපටය නැරඹීම සඳහා ගාමිණී සිනමා හලේ පෝලිමේ පැය පහක් බලා සිටියා.

හරවත් සිනමාවට මෙන්ම ජනප්‍රියත්වයටත් පක්ෂපාත බන්දුල 1970 වර්ෂයේ මාත් බන්දුලගේ බාල සොහොයුරෙකු වූ කුමුදු කුසුම් කුමාර (විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු ලෙස විශ්‍රාම ලැබූ) සමඟ සංස්කරණය කළ ‘සමීප රූප” සිනමා සඟරාවේ දෙවැනි කලාපය සංස්කරණය භාර කළේ බන්දුලට හා ඔහුගේ වැඩිමහල් සොහොයුරු ප්‍රභාත් කුමාරට හා ලාල් පියසේන (සම්මානනීය චිත්‍රපට සංස්කරණ ශිල්පී)ටය.

සිනමාවට මෙන්ම ජාතික පුවත්පතක කර්තෘවරයෙකු වීමට බන්දු සිහින මැව්වේය. ‘ලක්බිම’ පත්‍රය අරඹා එහි ජනපි‍්‍රය සංස්කෘතිය වෙනුවෙන් මුල්වරට ‘රිද්ම’ නමින් ටැබ්ලොයිඩ් පත්‍රයක් ආරම්භ කළේය. කවදත් අලුත් අත්හදා බැලීම් වලට කැමති ඔහු ‘මුල් පිටුවට’ රූපවාහිනි වැඩ සටහනේ නිර්මාතෘවරයා ද විය.

බන්දුල විසින් සරසි සිනමා පුවත්පතට ලියූ කතුවැකි එකතුවක් 1995 වසරේ ප්‍රකාශයකට පත්විය. ‘සිනමා වන්දනාවක සටහන්’ නම් මේ කෘතිය ගැන සටහනක් තැබූ ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය පවසා තිබුණේ සිනමාව අරභයා එහි සියලු පැතිකඩ ඇති සියුම් නිරීක්ෂණයට හසු කරගන්නා පර්යේෂණාත්මක නිබන්ධනයක් බවය.

තද කොමියුනිට් ක්‍රියාකාරියකු වූ බන්දුලගේ පියා වූ සුගතපාල ගොඩවත්ත මහතා පුහුණු ගුරුවරයෙකි. විදුහල්පතිවරයෙකි. පළාත් අධ්‍යක්ෂ (මාතර) තනතුරු දරා දේශපාලනයේ යෙදීම නිසා ගුරු වෘත්තියෙන් වැඩ තහනම් වූ සමයේ ‘ඇත්ත’ පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ සේවය කොට ඇත.

1950 ජූනි 02 වෙනිදා මාතර මාපලාන ගමේ උපත ලැබූ ගොඩේවත්ත ආරච්චිගේ බන්දුල පද්මකුමාර මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ මාතර රාහුල විද්‍යාලයෙනි. ගාල්ලේ රිඩ්මන්ඩ් හා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය නිම කළ ඔහුගේ වීරයා වුයේ තම පියාය. “ඇත්ත” පත්‍රයට ලිපි ලියමින් බන්දුල ලේඛන කලාවට පිවිසියේ පාසල් සමයේ දීමය. පසුව පත්‍ර ලෝකයේ පෙරැළි කළ ඔහු විවාහ වුයේ ප්‍රවීණ ලේඛිකාවක වූ සමන්මලී ගුණසිංහ සමඟය. මේ යුවළගේ පුතා හිරු ඇමෙරිකාවේ වෙසෙන අතර දුව මුතු ඉංගී‍්‍රසි බසින් පොත පත ලියන ලේඛිකාවකි.

‘නිම් වළල්ලට’ සම්බන්ධ වූ රන්ජිත් ලාල්, ඩිල්මන් ජයරත්න, ගාමිණී විජේතුංග, මහින්ද අල්ගම අද ජීවතුන් අතර නැත. සුනිල් හා බන්දුල ද ඔවුන් අතරට එක්වූහ.