ඈගේ ඒ නිල් දෑසේ ලියැවී තිබුණේ මගෙ හෙට දවසයි

අශෝක කෝවිලගේ කරළියට ගෙනෙන නවක ගායක රවී ප්‍රනාන්දුගේ හඬින්
පෙබරවාරි 24, 2022

 

සෙනෙහස ඉල්ලා ළියතඹරා ළඟ

හඬා වැටෙනවා මියැසි කැළක්

කපුරු මලක පෙති සිඳබිඳ දැමුවා

මලට වඩා විෂ බඹර තුඩක්

 

අශෝක කෝවිලගේ ගීත රචනා කලාවට පිවිසෙන්නේ මාලිනී බුලත්සිංහලගේ මියුරු හඬින් ගැයුණු මේ ගීතයෙන්. ඒ වන විට ඇය ඔහු හඳුනාගෙන නොහිටියත් ගංගාරමයේදි අහම්බෙන් ලැබුණු මේ පද පෙළෙහි ඇති අර්ථය සහ ගීතවත් බව නිසාම එය පැහැදිලිව ලියා එවන ලෙස මාලිනියගෙන් ඔහුට පණිවිඩයක් ලැබුණා. එච්. එම්. ජයවර්ධනයන්ගේ සංගීතයෙන් ඔප වැටුණු ගීතය දශක තුනකට අධික කාලයක් තිස්සේ තවමත් එක ලෙස රසික සසවන්පත් පිනවනවා. ඉන්පසු අශෝක කෝවිලගේ රචනා කළ බොහෝ ගී පද මෙන්ම ඔහුගේ ගී තනු අතිශය ජනප්‍රිය නිර්මාණ බවට පත්වුණා.

සුනිල් එදිරිසිංහ ගයන පාරුපාලමෙන් එගොඩට, නීලා වික්‍රමසිංහ සහ කමල් අද්දරආරච්චිගේ හඬ යුගල මුසු කළ තුන්සිත දැහැන් ගතවෙනා, ප්‍රියානි විජේසිංහගේ හඬින් ඇසෙන කඳුළ නිවන්නම් වැනි ගීත ඔහුගේ නිර්මාණ ගොන්නෙන් බිඳක් පමණයි. මෑතකදී ඔහු ශෂිකා නිසංසලාට ලියා සංගීතවත් කළ මල් පබලු වැස්සේ සහ තරුදුක මෙන්ම රජීව් සෙබස්තියන් ගයන සමනල තටු මත බිඳ බිඳ විෂ තවරා වැනි ගීත ද නිහාල් නෙල්සන්ගේ අලුත්ම සංයුක්ත තැටියේ ගීත ද ඔබ රසවිඳීනවාට සැක නැහැ. අශෝකගේ ගීපදවැලින් සහ සංගීතයෙන් රසවත් කර උරේෂා රවීහාරිගේ මියුරු නද මුසු වූ ගීත ත්‍රිත්වයක් ඉදිරියේ අපට 'සදහටම මම ආදරරෙයි' චිත්‍රපටයෙන්ද රසවිඳීන්නට හැකි බව ඔහු අපට කීවේ පසුගියදා සරසවියට ගොඩවැදුණු මොහොතේ.

ප්‍රවීණ ගීත රචකයකු සහ සංගීතඥයකු වන අශෝක කෝවිලගේ සරසවියට පැමිණියේ හුදෙක් මේ තොරතුරු කීමට නොවේ නවක ගායකයකු රසිකයන්ට හඳුන්වා දෙන අටියෙන්. ඒ රවී ප්‍රනාන්දු. අශෝක කෝවිලගේ, රවී ප්‍රනාන්දුට ගීත තුනක් ලියා සංගීතවත් කර තිබෙනවා. ඉන් එකක් හැත්තෑව දශකයේ අපට අසන්නට ලැබුණු බටහිර ආරයේ ගීතයක්. එහෙත් එහි ඇත්තේ වර්තමානයේ අප අහන දකින කතාවක්.

 

 

හිමිදිරි උදයේ

කලබල නගරේ

මගෙ නෙත රැඳුණේ

ඇගෙ වත කමලේ

 

දුරකතනයකින්

ඇමතුම් ගනිමින්

බැලුවා නෙතගින්

ඇගෙ නිල් දෙනෙතින්

 

දෑසින්

ඒ නිල් දෑසින්

කී දේ රහසින්

හිත රැඳුණේ

සැණෙකින්

ඒ රුව සැණෙකින්

රිය පෙළ අතරින්

දසුනින් මැකුණේ

 

මගෙ ජීවිතයේ

මෙතුවක් සෙවු දේ

සැඟවී තිබුණා

ඒ නිල් දෑසේ

රිය පෙළ අතරින්

සැඟවුණු ඇයගේ

මුදු රුව ඇඳුණා

හද තුළ මාගේ

 

ඒ නිල් දෙනුවන්

හිමි ඔබ හට නම්

දුරකතනයකින්

මට කිව හැකි නම්

දුරකතනයෙ මං

අංකය දෙන්නම්

ඔබ අමතන කම්

ඉන්නම් ඉවසන්

 

මාගේ මේ සංසාරේ

උරුමය ප්‍රේමේ

මට දැනුණා

ඈගේ ඒ නිල් දෑසේ

ලියැවී තිබුණේ

මගෙ හෙට දවසයි

 

ඔහු ඒ ගීය ගැන විස්තර කළේ මෙසේයි...

"මේ දුරකථනයකින් අමතමින් පාරමාරු වන තරුණියගෙ දෑස මේ තරුණයාගේ දෑසට මුණ ගැසුණු වෙලාවේ ඔහුට දැනෙනවා ඒ ඔහු සංසාරයේ පතාගෙන ආ ප්‍රේමය බව. ඉතින් ඇයට ඔහු ගීයෙන් ආරාධනා කරනවා 'මගේ දුරකතන අංකය දෙන්නම් අමතන්න, ඔබේ නිල් දෑසේ ලියැවී තිබුණේ මගේ හෙට දවසයි' කියලා. මේ ගීතයට නිර්මාණය කළේ බටහිර ආරයේ තනුවක්. ඒ වගේම ඔහු වෙනුවෙන් කළ අනෙක් ගීත දෙකත් බයිලා රිද්මයට අයත්.

මල් රේණු රේණු සිනා සලන යාමේ -රන් තාරකාව පිපී දිලෙන යාමේ- මං රාග තාල අරන් ආවා ඊයේ- සංගීත නාද පටන් ගනිමු ආයේ ඉන් එක් ගීතයක්. අනෙක් ගීතයටත් කතාවක් තිබෙනවා. විනෝදාත්මක බයිලා ගැයූ ගායකයෙක් වයෝවෘද්ධ වෙලා අතීතය මතක් කරන හැටි තමයි එහි කියැවෙන්නේ."

 

ඉලන්දාරි කාලෙ වගේ

හිත තරුණයි තාම මගේ

ඇහෙද්දි රාග තාල

හිත නැටවෙයි තාම මගේ

 

ඉඟසුඟ බයිලා නදට

හොඳට නටවලා

මාත්එක්ක හරිහරියට

නැටුව කැතරිනා

නටද්දි සින්දු කිව්ව

කෙට්ටු රොසලිනා

කොහේද ඉන්නේ මේ සැමා

 

අමතක වෙච්ච බයිලා

මතක් කර දෙනා

ඒවා‌යේ පද හරියට

ගයපු රොසලිනා

දකින්න නැත්තෙ මොකද

කියලා හිතුව මා

කොහේද ඉන්නෙ මේ සැමා

 

මේ ගීතත්‍රය ඇසූ විට නිතැතින්ම නැඟුණු පැනය වූයේ ඒ ගීත තුනම බටහිර සහ බයිලා තනුවලින් නිමවන්න හේතුවයි. ඔහු එය අපූරුවට විස්තර කළේ මෙලෙසයි.

"විවිධ ගායකයන්ට ගැයීමට හැකි විවිධ ශෛලීන් තිබෙනවා. ඒ වගේම ගායනයේදී ශ්‍රැතියට ගැයීම සහ අලංකාර කියන දේ ගුරුවරයකුගෙන් ඉගෙන ගන්න පුළුවන් වුණත් හඬේ අනන්‍යතාව සහ ගීතයේ හැඟුම්බර බව කියන දේ ශිල්පියාට නිසගයෙන් ලැබෙන අනන්‍ය ලක්ෂණ. උදාහරණයකට මිල්ටන් මල්ලවආරච්චි කවදාවත් දේශාභිමානී ගීත ගැයුවේ නෑ. සී.ටී. ප්‍රනාන්දු හෝ එම්.එස් ප්‍රනාන්දු විරහ ගීත ගැයුවේ නෑ. එච්. ආර්. ජෝතිපාලට ශෘංගාරාත්මක මෙන්ම ශෝකී රසය ගෙනෙන ගීත ගයන්න පුළුවන්. පණ්ඩිත් අමරදේවයන්ට ඒ රසයන්ට අමතරව කරුණ රසය මුසු ගීත ගැළපුණා. ඒ නිසා අප ගායකයකුට හෝ ගායිකාවකට ගී තනුවක් නිර්මාණයේදී හඬ පරාසය, ස්වර පරාසය, ශෛලිය ගැන සැලකිලිමත්වනවා වගේම පද රචනයේදී ගැළපෙන පද සැකැස්ම සහ ඒ ඒ ශිල්පියාට උච්චාරණය කළ හැකි - නොහැකි වචන ගැනත් සැලකිලිමත් විය යුතුයි. ඒ අනුව බැලුවාම රවී ප්‍රනාන්දුට වඩාත් ගැළපුණේ බටහිර සහ බයිලා ශෛලීන්වලින් ගැයෙන ගීත. ඒ නිසයි ඔහුගේ ගීත තුනම එවැනි ආරකට නිර්මාණය කළේ."

 

රවී ප්‍රනාන්දු ද එයට රුකුල් දෙමින් අදහස් දැක්වූයේ මෙසේයි. "මම කුරණ ශාන්ත ආනා පාසලේ ඉගෙන ගන්න කාලේ ඉඳන් කැලිප්සෝ සංගීතයට ළැදියාවක් දැක්වූවා. පාසල් සමයෙන් පස්සේ ගිටාර් වාදකයකු ලෙස මීගමුව ප්‍රදේශයේ සංගීත කණ්ඩායම් කීපයකත් වාදනය කළා. සංචාරක හෝටල්වලත් ගීත ගායනය කළා. මේ සියල්ල දැනගෙන සිටි අශෝක කෝවිලගේ මහත්මයා මා සමඟ දින කීපයක් කතා බහ කරමින් විවිධ ගීත ගයන්නට සලස්වමින් මට වඩාත් ඔබින ශෛලිය හඳුනා ගත්තා. ඉන්පසුව තමයි ඔහු සතු ගීපදවැල් අතරින් මේ ගී තුන මට තෝරා දීලා තනු නිර්මාණය කළේ. ගීත සඳහා දැන් රූගැන්වීම් සිදුවෙනවා. ඉදිරි සතිදෙක ඇතුළත ඒ නිර්මාණ තුනම රූපරචනා සමඟ රසවිඳීන්න සියලු දෙනාට හැකියාව ලැබෙනවා."

 

 

සේයාරූ - නිශ්ශංක විජේරත්න