වැලඳගන්න මා ප්‍රියේ මේ රාත්‍රිය යළි ඒවිදැයි දන්නේ කවුරුන්ද මේ සසරේ යළි අප හමුවේදැයි දන්නේ කවුරුන්ද

“ලග් ජා ගලේ කෙ පිර් යේේහසීන් රාත් හෝ නහෝ ශායද් පිර් ඉස් ජනම් මේන් මුලාකාත් හෝ නහෝ...”
ලතා මංගේෂ්කාර්
පෙබරවාරි 10, 2022

 

ඉන්දියාවේ පමණක් නොව මුළු ලොව ආකර්ෂණය දිනාගනිමින් ගීතයෙන් ලෝකයම සැනසූ භාරතයේ ගීත කෝකිලාව නම් ලතා මංගේෂ්කාර් ය. ඇය විසින් ගායනා කරන ලද ගීතයක් කොහේ හෝ යම් අයෙකුට නොඇසෙන මොහොතක් තිබිය නොහැකිය. පසුගිය දශක හත පුරා එය එසේ සිදු විය. දශක හතක් පුරා මිහිරි හඬින් ඇය ලොවම ගීතවත් කළාය. තාලයට පිටින් ගැයීමේ හැකියාවක් ඇයට පිහිටා තිබුණේ නැත. එදා පටන්ම තිරයේ ජනප්‍රිය නිළියන් චිත්‍රපට ගිවිසුම්වලදී ඉල්ලා සිටියේ ඇයගේ ගීතවත් හඬයි. මින් ඉදිරියට ඒ හඬ සජීව ලෙසින් නොඇසෙනු ඇත. බොලිවුඩයේ සොඳුරු පෙම්වතියන් වෙනුවෙන් ගැයූ ඒ ගීත කෝලිලාව මේ වන විට නික්ම ගොසිනි.

 

ලතා මංගේෂ්කාර්, මධුබාලාගේ සිට ප්‍රීති සින්ටා දක්වා නිළි පරම්පරා ගණනාවක ප්‍රේමණීය හඬ බවට පත් වීමට වරම් ලැබුවාය. දශක හතක කාලයක් තුළ ලතා සිය දිව්‍යමය හඬින් ඉන්දියානු චිත්‍රපට 3,000කට වැඩි සංඛ්‍යාවක් සඳහා ගී ගයමින් ආදරණීය තරු රැසකට තිරයේ හඬ ලබා දුන්නාය. දශක ගණනාවක් පුරා භාරත සිනමාව බැබළ වූ දිලිප් කුමාර් වරෙක ලතාගේ කටහඬ හැඳීන්වූයේ "සොබාදහම් නිර්මාණශීලීත්වයේ දෙවියන්ගෙන් ලද ආශ්චර්යයක්" ලෙසිනි. ඇය සාමාන්‍යයෙන් වේදිකාවේ පෙනී සිටියේ සුදු හෝ ක්‍රීම් පාට සාරියකින් සැරසීගෙනය. එය කාගේත් නෙත් සිත් පහන් කරන්නක් විය.

ලතා මංගේෂ්කාර් නාමය බොලිවුඩයේ ස්ථාපිත වූයේ 1949 වසරේ තිරගත වූ 'මැහල්' චිත්‍රපටය සමඟිනි. ඒ වෙනුවෙන් ලතා ගැයූ "ආයේගා ආනේවාලා" ගීතය ඇයගේ මුල්ම ජනප්‍රිය ගීතවලින් එකක් වූ අතර දශක ගණනක් ගත වී ඇති නමුදු අදටද එම ජනප්‍රියත්වයේ අඩුවක් නොමැත්තේය. එදා විසි හැවිරිදි ලතා තම හඬින් ලෝකයක් වශී කරවන බවට වූ ඉඟිය දුන්නේද මෙම ගීතයෙනි. ඛේම්චන්ද් ප්‍රකාශ්ගේ සංගීත අධ්‍යක්ෂණයට ඇය එහි තවත් ගීත දෙකක් ගායනා කළාය. 1964 වසරේ 'වෝ කෞන් ති' චිත්‍රපටය සඳහා ලතා වෙනුවෙන් මදන් මෝහන් විසින් රචනා කරන ලද "ලග ජා ගලේ" ගීතය ද ලතාගේ ජනප්‍රියතම ගීත අතර වේ. "සත්‍යම් ශිවම් සුන්දරම්", සමු ගන්නා තෙක්ම තම රසික රසිකාවන් මෝහනයට පත් කිරීමට ලතා තෝරා ගත් ගීතයයි. ලතාගේ බොහෝ ජනප්‍රිය ගී තනු නිර්මාණය කර තිබෙන්නේ මදන් මෝහන්, එස් . ඩී බර්මන් සහ නවුෂාඩ් විසිනි. නමුත් ශංකර් සහ ජයකිෂන්ගේ නිර්මාණශීලිත්වයද මැණික් මෙන් වටිනා ගීත ලතා වෙත තිළිණ කළේය. 1961 වසරේ 'ජංග්ලි' චිත්‍රපටය වෙනුවෙන් ලතා ගැයූ "එෂාන් තෙරා හෝගා" එයින් එකකි. "මේරේ මෙහ්බූබ් තුජේ" (මේරේ මෙහ්බූබ්), "මේයින් කම්සින් හෝන්" (ආයේ මෙයින් කි බාලා), "තේරි ආන්කෝන් කි සිවා" (චිරාජ්), "තුම් මුජේ යුන්" (පග්ලා කේයින් කා), "ආජේ රූත් කාර් කහාන්" (අර්සු) වැනි ගීත ද ඒ අතර වේ.

ලතා මංගේෂ්කාර් බොලිවුඩයේ දැවැන්ත සිනමාකරුවෙකු වන රාජ් කපූර් සමඟ සුසංයෝගය ද සුවිශේෂිය. එම එකතුවේ ආරම්භය ලෙස රාජ්ගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය වූ බර්සාත් (1949) චිත්‍රපටයට ලතා ගී ගැයුවාය. ඇය එහි ගැයූ 'හවා මේ උද්තා ජායේ' ගීතයට ඉහළ ජනප්‍රියත්වයක් හිමි විය. රාජ් කපූර් අධ්‍යක්ෂණය කර ශංකර් සහ ජායිකිෂන්ගේ සංගීතයෙන් ඔපවත් වූ බාර්සාත් (1949), ආහ් (1953), ශ්‍රී 420 (1955) සහ චෝරි චෝරි (1956) වැනි චිත්‍රපට සඳහා ලතා ගී ගැයුවාය. ලතා යනු රාජ් කපූර් හට නැතිවම බැරි වූ හඬක් විය. වරෙක රාජ් කපූර්ගේ සංගම් චිත්‍රපටයේ (1964 ) "මේන් ක්‍යා කරූන් රාම්" ගීතය ගායනා කිරීම ලතා ප්‍රතික්ෂේප කිරීම මුළු චිත්‍රපට කණ්ඩායම තුෂ්ණිම්භූත කරවන්නට සමත් විය. ඇය ලවා ගීතය ගායනා කරවා ගැනීම වෙනුවෙන් එය සුදුසු පරිදි රූගත කරන බවට සහතිකයක් ලබා ගැනීමට රාජ් කපූර් හට විශාල වෙහෙසක් දැරීමට සිදු වීම බොලිවුඩයට සොඳුරු මතකයකි. සිත්ගන්නා කරුණ නම්, ඇය කිසි විටෙකත් තමා ගී ගයන චිත්‍රපටය හෝ ගීතයේ රූගත කිරීම් නැරඹීමට නොපැමිණීමයි.

චාන්ද්නි (1989), ලම්හේ (1991), ඩාර් (1993), යේ දිලගි (1994), දිල්වාලේ දුල්හානියා ලේ ජායේංගේ (1989), දිල්තෝ පාගල් හේ (1997) මෙන්ම පසුකාලීනව මොහබතීන් (2000), මුජ්සේ දෝස්ති කරෝගී (2002) සහ වීර් සාරා (2004) ඇතුළුව යෂ් චොප්රාගේ චිත්‍රපට සියල්ලටම පාහේ ඇය ගායනා කළාය. ඇය දීදාර්(1951), බයිජු බාව්රා (1952), අමර් (1954), මදර් ඉන්දියා (1957) වැනි චිත්‍රපටවල සංගීතඥ නවුෂාඩ් වෙනුවෙන් ගීත රාශියක් ගායනා කළාය. සාසා (1951), හවුස් නම්බර් 44 (1955) සහ දේව්දාස් (1955) චිත්‍රපට ගීතවත් කිරීම සඳහා සංගීතඥ එස්. ඩී බර්මන්ගේ තේරීම වූයේ ද ලතා ය. 1957 දී ඇය සහ බර්මන් අතර විරසකයක් ඇති වූයෙන් 1962 දක්වා ඔහුගේ නිර්මාණවල ඇය ගීත ගායනා කළේ නැත.

"ආයේ මේරේ වතන් කේ ලොගොන්" නම් දේශප්‍රේමී ගීතය කිසිදු චිත්‍රපට ගීතයකට සම කළ නොහැකි තරමට ජාතිය සසල කළ ගීතයකි. 1962 වසරේ පැවති යුද්ධයේදී චීනයට එරෙහි සටන් වැදුණු ඉන්දීය සොල්දාදුවන් හට උපහාරයක් ලෙස ප්‍රදීප් නම් කවියා විසින් රචනා කරන ලදුව චිතල්කර් රාමචන්ද්‍රන් විසින් සංගීතවත් කරන ලද්දකි. සොල්දාදුවාගේ පරිත්‍යාගයන් ගැන පවසන සංවේදී ගීතයක් වූ එය 1963 වසරේ ජනරජ දිනයේදී ලතා විසින් ගායනා කළේ ඉන්දීය පළමු අගමැති ජවහර්ලාල් නේරුගේ දෑස් තෙත් කරමිනි.

තම හඬින් ලොව වසඟ කිරීමට සමත් වූ ලතා මංගේෂ්කාර් උපත ලැබුවේ, 1929 සැප්තැම්බර් 28 වැනි දින වර්තමාන මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ඉන්දෝර් නගරයේ ය. ඇය ශුද්ධමතී මංගේෂ්කාර්ට සහ සුප්‍රසිද්ධ සම්භාව්‍ය සංගීතඥයෙකු වූ පණ්ඩිත් දීනානාත් මංගේෂ්කාර්ට දාව උපන් දරුවන් පස්දෙනාගෙන් වැඩිමලා වූවාය. ඇයගේ සොහොයුරියන් වන මීනා, ආශා, ඌෂා සහ එකම සොයුරා වන හෘදයානාත් ද සංගීතඥයෝ වෙති. ලතා සිහින දුටුවේ කෙදිනක හෝ ඔවුන් වෛද්‍ය, ඉංජිනේරු වෘත්තීන්වල නිරතවන අයුරුය. මංගේෂ්කාර් පවුල අතීතයේදී සමෘද්ධිමත් වූ අතර පියා ඇයගේ පළමු සංගීත ගුරුවරයා විය. කුඩා වියේදී ලතා නාට්‍ය කිහිපයක රඟපෑමෙන් එක් වු නමුත් දීනානාත් මංගේෂ්කාර් තම දියණියන් හට වේදිකාවේ පෙනී සිටීමට ඉඩ දීමට අකමැති විය. ලතාගේ අධ්‍යාපනය ද කඩාකප්පල් විය. දිනක් කුඩා නැඟණිය ආශා පාසලට රැගෙන ගිය ඇයට දඬුවම් විඳීන්නට සිදු විය. එදා එම දඬුවම ඇයට පාසල් දිවිය එපා කරවන්නට විය. කුඩා ලතා ඇගේ ළමා කාලයෙන් වැඩි කාලයක් ගත කළේ තම පියාගේ නාට්‍ය සමාගම සමඟ සංචාරය කරමිනි.

1930 දශකයේ අගභාගයේදී, දීනානාත් මංගේෂ්කාර් නිෂ්පාදනය කළ චිත්‍රපට කිහිපයක් අසාර්ථක වීමෙන් පසු පවුල දුෂ්කර තත්ත්වයකට වැටුණි. නාට්‍ය සමාගමේ හවුල්කරුවන් එය මඟහැර යන්නට විය. 1940 දී නාට්‍ය සමාගම වසා දැමූ මංගේෂ්කාර් පවුලට සිය විශාල නිවෙස විකුණා පූනේ වෙත යාමට සිදු විය. ලතා, පවුලේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත් වූ ශාස්ත්‍රීය සංගීත ප්‍රසංගවල තම පියා සමඟ නිතර ගැයීමට පටන් ගත්තාය. සියල්ල කණපිට පෙරළෙන්නේ දීනානාත් මංගේෂ්කාර් ලෙඩ ඇඳට වැටීම සමඟිනි. ඒ වන විට ඔවුන් සතු ඉඩකඩම් විකිණී රන් භාණ්ඩ උකස්කර හමාරය. මංගේෂ්කාර් පවුලේ එකම බලාපොරොත්තුව වූයේ වැඩිමලා වූ ලතාය. 1941 වසරේදී 'ඛසාන්චා' චිත්‍රපටය වෙනුවෙන් පැවති ගීත ගායනා තරගය වෙනුවෙන් ලතා ඉදිරිපත් වුයේ පියාට හොරෙනි. ඔහු එයට විරුද්ධ වූයේ තම දියණිය දෙවැනි වේ යැයි බියෙනි. වාසනාවකට එය එසේ වූයේ නැත. තරගයේ පළමු තැන හිමි වූයේ ඇයටය. ඒ හේතුවෙන් 'කිති හසල්' නම් මරාති චිත්‍රපටයේ ගීතයක් ගැයීමට අවස්ථාව ලද නමුත් එය චිත්‍රපට ගත කිරීම වෙනුවෙන් ඇයට පැමිණීමට නොහැකි වූ නිසා එම ගීතය චිත්‍රපටයෙන් ඉවත් කර තිබුණි. 1942 දී, 42 හැවිරිදි වියේ පසු වූ දීනානාත් මිය ගියේ මංගේෂ්කාර් පවුලේ බර ලතා පිට පටවමිනි. ඇයට පියාගෙන් දායාද වූයේ තාන්පුරාව සහ ස්වර ප්‍රස්තාර පොත පමණි. එවිට ලතාගේ වයස අවුරුදු 13 ක් විය. පවුල රැකබලා ගැනීම වෙනුවෙන් ඇයට තිබුණේ එකම මඟකි. එනම් ගායනයයි. මිහිරි කටහඬ දෙවියන්ගෙන් ඇය ලද වටිනාම ත්‍යාගය විය.

පවුල නඩත්තු කිරීම සඳහා ඇය නව්යුග් චිත්‍රපට සමාගමට බැඳුණු අතර මරාති සහ හින්දි භාෂා චිත්‍රපටවල සුළු චරිත රඟපාමින් සුළු මුදලක් උපයා ගත්තාය. නව්යුග් චිත්‍රපට සමාගමේ හිමිකරු මාස්ටර් විනායක් ලතාගේ පියාගේ මිතුරෙකු විය. 1945 දී මාස්ටර් විනායක් ගේ පළමු හින්දි චිත්‍රපටය වන 'බාදි මා' හි බාල සොහොයුරිය ආශා සමඟ සුළු චරිතයක් නිරූපණය කිරීමට ලතා හට අවස්ථාව ලැබුණි. ඇය කවදත් මේකප් දමා කැමරාව ඉදිරිපිට වැඩ කිරීමට කැමති වූයේ නැත. "මම පටන් ගත්තේ රංගන ශිල්පිනියක් විදියට. ඒත් මම කවදාවත් රංගනයට කැමති වුණේ නැහැ. මම මාස්ටර් විනායක් එක්ක වැඩ කළා. චිත්‍රපටවල රඟපෑවා. කැමරාව ඉදිරියේ හිනාවෙලා අඬනවා. මේ හැම දෙයකටම වඩා මම ප්‍රිය කළේ ගායනයට. මම පොඩි කාලේ ඉඳන්ම ඒකට ආසා කළා," ලතා 2008 දී සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවාය.

මාස්ටර් විනායක් තැනූ සෑම චිත්‍රපටයකම පාහේ ගීත ගැයීමට ලතා හට අවස්ථාව ලැබුණි. රුපියල් 80ක මාසික වේතනයක් ඇය අතට ලැබුණි. 1945 දී, සමාගම බොම්බාය වෙත ගෙන ගිය අතර මංගේෂ්කාර් පවුල එක් නිදන කාමරයක් සහිත මහල් නිවාසයකට මාරු විය. 1947 වන විට ලතාගේ බැංකු ගිණුමේ රුපියල් පහළොස් දහසක මුදලක් ඉතිරි විය. නමුත් අවාසනාව ඇය පසුපස හඹා එන්නාක් මෙනි. සිදු වූයේ කිසිවෙකු නොසිතූ දෙයකි. මාස්ටර් විනයාක්ගේ අභාවය සිදු වන විටදී රට ද දෙකඩ වී බැංකුවද බංකොලොත් විය. සංගීත අධ්‍යක්ෂ හරිශ්චන්ද්‍ර වාඩේ ඇයට හමු වන්නේ මේ හේතුවෙන් සිත් තැවුලෙන් පසුවන විටදීය. ඒ සමඟ 'ලව් ඊස් බ්ලයින්ඩ් 'සිනමාපටයට ගීත දෙකක් ගැයීමට අවස්ථාව ලැබුණද සිනමාපටය තිරගත වූයේ නැත. පකිස්තානයේ සිට පැමිණි ගුලාම් හයිදර් ලතාගේ ගීතයක් පටිගත කර සුප්‍රකට අධ්‍යක්ෂවරයෙකු වූ සෂාධර් මුඛර්ජි හට අසන්නට සැලසූ නමුත් හඬ සිහින් වැඩි බව පවසමින් ලතාගේ ගීතය ප්‍රතික්ෂේප විය. නමුත් 1948 වසරේ 'මජ්බූර්' චිත්‍රපටයේ ගීත පහක් ගායනා කිරීමට ලතා හට අවස්ථාව ලැබුණි. එහි පළමු යුග ගීය වූ "අංග්‍රේසි චෝරා චලා" ලතා ගැයුවේ මුකේෂ් සමඟිනි.

ජනප්‍රිය ගායිකාවන්හට සහය ගායනයට මොහොමඩ් රාෆි ද තවත් අයෙකු කිෂෝර් කුමාර් ද නොඑසේ නම් කේ. ජේ යේසුදාස් හෝ එස්. පී බාලසුබ්‍රමනියම් තෝරා ගත හැකිය. නමුත් එම ගායකයන්ගෙන් බහුතරය තෝරා ගත් කාන්තා හඬ හිමි වූයේ ලතාටය. 1940 ගණන්වල සිට 1970 දශකය දක්වා ඇය මොහොමඩ් රාෆි, මන්නා ඩේ, තලාත් මහමුද්, කිෂෝර් කුමාර්, මහේන්ද්‍ර කපූර් සමඟ යුග ගායනා කළාය. පසු කාලීනව ඇය ශෛලේන්ද්‍ර සිං, ෂබීර් කුමාර්, නිතින් මුකේෂ් (මුකේෂ්ගේ පුත්‍රයා), මන්හාර් උදාස්, අමිත් කුමාර් (කිෂෝර් කුමාර්ගේ පුත්‍රයා), මොහොමඩ් අසීස්, සුරේෂ් වඩ්කාර්, එස්.පී. බාලසුබ්‍රමනියම්, විනෝද් රාතෝඩ් සමඟින් ද ගායනා කළාය. 1990 දශකයේ දී ඇය යුග ගීත ගායනා කළේ රූප් කුමාර් රාතෝඩ්, හරිහරන්, පන්කජ් උදාස්, අභිජීත්, උදිත් නාරායන්, කුමාර් සානු වැනි ගායකයන් සමඟිනි. උදිත් නාරායන් සහ සෝනු නිගම් 2000 දශකයේදී ඇගේ යුග ගායනා වෙනුවෙන් එක් වීමට වරම් ලැබූහ. නර්ගීස්, වෛජයන්තිමාලා, මීනා කුමාරි, සධානා, රේඛා, හේමාමාලිනි, ශ්‍රී දේවි, මධුරි ඩික්සිත්, මීනක්ෂි ශේෂාද්‍රි, රවීනා තන්දන්, ජුහි චව්ලා, මනීෂා කොයිරාළ, වැනි බොලිවුඩ් නිළියන් ඇයගේ මිහිරි ගී හඬ ලදහ.

ලතා පළමු ෆිල්ම්ෆෙයාර් සම්මානයට හිමිකම් කීවේ 1959 වසරේ මධුමතී චිත්‍රපටයේ "ආජා රේ පර්දේසි" ගීතය වෙනුවෙනි. 1956 දී ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ හොඳම ගීතය වෙනුවෙන් "චෝරි චෝරි" ගීතය වෙනුවෙන් ශංකර් සහ ජායිත්‍රිෂන් සම්මානයට පාත්‍ර වූහ. සම්මාන උලෙළේ පසුබිම් ගායනය වෙනුවෙන් අංගයක් වෙන් නොවීම හේතුවෙන් ලතා එය එම අවස්ථාවේ සජීව ලෙසින් ගායනා කිරීම ප්‍රතික්ෂේප කළාය. හොඳම පසුබිම් ගායනය වෙනුවෙන් සම්මානයක් වෙන් කෙරුණේ 1959 දී ය. 1959 සිට 1970 දක්වා හොඳම ගායිකාව වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් සම්මානයට පාත්‍ර වූ ඇය නිහතමානීව එම සම්මානය අතහැරියේ නවකයන්ගේ දක්ෂතා ඇගයීම වෙනුවෙනි.

1972 දී මීනා කුමාරිගේ අවසන් චිත්‍රපටය වන පකීසා තිරගත විය. මංගේෂ්කාර් විසින් ගායනා කරන ලද සහ ගුලාම් මොහොමඩ් විසින් රචනා කරන ලද "චල්තේ චල්තේ" සහ "ඉන්හි ලොගොන් නේ" ඇතුළු ජනප්‍රිය ගීත එහි ඇතුළත් විය. මීනාගේ විශිෂ්ට රංගනය සමඟින් යෙදුණු ලතාගේ මියුරු හඬ ප්‍රේක්ෂකයන් මී පැණියේ ගිල්වන්නක් විය. 1974 දී ලොව වැඩිම ගීත ගණනක් පටිගත කළ ගායිකාව ලෙස ඇයගේ නාමය ගිනස් වාර්තාවක් බවට පත් වූ අතර 2011 දී එය බිඳ හෙළන ලද්දේ ඇයගේම සොයුරිය ආශා විසිනි. 90 දශකයේ ඇයගේ වඩාත්ම කැපී පෙනෙන නිර්මාණය වූයේ "මේරේ ක්වාබොන් මේන් ", "හෝ ගයා හේ තුජ්කෝ තෝ ප්‍යාර් සජ්නා", "තුජේ දේඛා තෝ යේ ජනා සනම්" සහ "මෙහෙන්දි ලගා කේ රක්නා" වැනි ගීත සමඟින් 'දිල්වාලේ දුල්හානියා ලේ ජායේංගේ' චිත්‍රපටය යි. ඇය ඉන්දියානු භාෂා තිස් හයකට අධික සංඛ්‍යාවකින් සහ විදේශීය භාෂා කිහිපයකින් ගීත ගායනා කළාය. 1955 වසරේදී තිරගත වූ සැඩ සුළං චිත්‍රපටය වෙනුවෙන් ආනන්ද සමරකෝන් විසින් රචිත "ශ්‍රී ලංකා මාතා", "ඉදිරියටම යමු" ගීත ගායනා කළේ ලතා ය.

ලතා මංගේෂ්කාර්ගේ අවසන් වරට පටිගත කරන ලද ගීතය වූයේ ඉන්දීය කෝටිපති ව්‍යාපාරික මුඛේෂ් අම්බානිගේ දියණිය වන ඉෂා අම්බානිගේ විවාහ මංගල්‍යය සඳහා ගැයූ ගයත්‍රි මන්ත්‍රයයි. ඉෂා අම්බානි සහ ආනන්ද් පිරමාල්ගේ විවාහ මංගල්‍යයට විශේෂ සුබපැතුම් පණිවුඩයක් සමඟින් ලතා ගයත්‍රි මන්ත්‍රය පටිගත කළාය.

ලොවම ප්‍රේමයෙන් මුසපත් කරමින් පෙම් ගී ගැයුවද ඇගේ ඉරණම ඇය තනිකඩ කිරීම වෙනුවෙන්ම ලියැ වී තිබුණි. ලොවටම ආදර ගී ගැයූ ලතාගේ ජීවිතයේද ආදර කතාවක් විය. විවාහයක් දක්වා යාමට පෙර ඒ ආදරයට එල්ල වූ මාපිය විරෝධය නිසා ඇය සිය ජීවිතය තනිකඩව ගෙවීමට තීරණය කළාය. ලොවක් පෙම් කළ ඇගේ ප්‍රේමය දිනා ගත්තේ ප්‍රවීණ සංගීතඥ චිතල්කර් රාමචන්ද්‍රන්ය. ඒ ආදර කතාව පළ නොදැරුවද ලතා ඔහු නිර්මාණය කළ ගී තනු වෙනුවෙන් මියුරු හඬින් ගැයුවාය. ඔහු ලතා සමඟ " කිතනි හසීන මෝසම්" (අසාද් -1955), " ශෝලා ජෝ භාද්කේ" (අල්බේලා -1951) වැනි අමතක නොවන යුග ගී ගායනා කළේය.

බොලිවුඩ් ප්‍රේක්ෂක පරම්පරා ගණනක් කුල්මත් කළ ආදරණීය ලතා පිළිබඳ කනගාටුදායක පුවතක් සවන වැටුණේ පසුගිය ජනවාරි 8 වැනිදාය. එදින මෘදු රෝග ලක්ෂණ සහිතව ලතා මංගේෂ්කාර් කොවිඩ් 19 සඳහා ආසාධිත බව පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව මුම්බායි හි බ්‍රීච් කැන්ඩි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණි. නියුමෝනියාව සහ කොවිඩ් 19 සඳහා දින 28 ක නිරන්තර ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු ඇය බහු අවයව අක්‍රිය සින්ඩ්‍රෝමය හේතුවෙන් පෙබරවාරි 06 වැනිදා අවසන් හුස්ම හෙළුවාය. ඒ වන විට ඇය 92 වැනි වියේ පසු වූවාය. වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඇයගේ වියෝව ඉන්දීය ජාතිය තුළ පිරවිය නොහැකි රික්තකයක් තබන බවයි. මීට දෙවසරකට පෙර ලතා මංගේෂ්කර් විසින් රක්‍ෂා බන්ධන් සුබ පැතුමක් අගමැති නරේන්ද්‍ර මෝදිට ඉදිරිපත් කර සිටියේ රට ඉදිරියට ගෙන යන බවට පොරොන්දු වීම ඇයට අවශ්‍ය බව දන්වමිනි. තවත් වරෙක මාසික ගුවන් විදුලි දේශනයක් අතරතුර අගමැති මෝදි විසින් ලතා මංගේෂ්කර් වැඩිමහල් සහෝදරියක් ලෙස හඳුන්වා දුන්නේ ඇයගේ නිහතමානිකම පැසසුමට ලක් කරමිනි.

බ්‍රිතාන්‍ය කතුවරියක සහ රූපවාහිනී වාර්තා චිත්‍රපට නිෂ්පාදිකාවක වන නස්රීන් මුන්නි කබීර්ගේ චරිතාපදානයක් වන ඹ්චබච ර්චදඨඥඵඩඬචප ...ඪද ඩ්ඥප ර්‍ණඹද ඍධඪජඥ කෘතියට පසුබිම් වූයේ ලතා මංගේෂ්කාර්ගේ ජීවිත කතාවයි. "මම උදේ ගීත දෙකක්, දවල් ගීත දෙකක්, සවස ගීත දෙකක් සහ රාත්‍රියේ ගීත දෙකක් පටිගත කළා. උදේ ගෙදරින් ගිහින් ආපසු එන්නේ පහුවෙනිදා පාන්දර 3ට. එතකොට තමයි මම කෑම කන්නේ. පැය කිහිපයක නින්දෙන් පසු යළිත් හයට අවදි වී ඇඳ පැලඳ දුම්රියට ගොඩ වී එක් පටිගත කිරීමේ මැදිරියක සිට තවත් ස්ථානයකට යන්නවා. සංගීතය මගේ ජීවිතය සහ දෙවියන්. මගේ යාච්ඤාව සංගීතයයි" ඇය නස්රීන් මුන්නි කබීර්ගේ පොත වෙනුවෙන් පැවසුවාය. ලතා මංගේෂ්කාර් හට ආචාර්ය උපාධිය පිරිනමමින් කොලහපූර් චත්‍රාපති ශිවාජි විශ්වවිද්‍යාලයේ උපකුලපති පවසා සිටියේ "ස්වර රාජිණිය ලතා ගැන මා කුමක් කියන්නද? ඇයගේ හඬ ඇසෙන විට මොනර පිලක් අමෘතයේ ගිල්වා ඇයගේ කටහඬ තනනු ලදැයි මට සිතේ" යනුවෙනි.