ජෝති එදා සුරතලීට ගී ගැයුවේ මෙහෙමයි

ස්වර්ණා අබේරත්න ඉද්දමල්ගොඩ
පෙබරවාරි 10, 2022

දෛවය නම් මහා පුදුමාකාරය. විටෙක කෙනෙකුගේ ගමනට ඉනිමං තනන්නේ අප කිසිදාකත් නොසිතන තව කෙනෙකි. ඒ වෙනුවෙන් ඉනිමං තනන්නා බොහෝ සටන් කරනු ඇත. දුක් විඳීනු ඇත. එයින් ඉහළට ගිය පුද්ගලයාට ඉන් එහාට ඇත්තේ තම ගමනේ ඉදිරිය බලන්නට විනා ඉනිමග දෙස බලා සිටීම නොවේ. වෙසෙසින් ජනප්‍රියත්වය යනු ජීවිතය තමන්ගෙන් උදුරාගෙන අනුන්ට බාරදෙන්නක් නිසා අතිශයින් ජනප්‍රිය වන්නෙකු යනු තමන්ට තමන් අහිමි වන්නකු බවට පත්වීම වැළැක්විය නොහැකිය. එවිට ආ මඟ දෙස හැරී බලන්නට ඉසිඹුවක් නොලැබෙන්නටත් පුළුවන. ඇතැම් දේ මඟහැරෙන්නටත් පුළුවන. එය සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයයි.

මේ සියල්ල මා පවසන්නේ ලබන 12 වැනිදාට යෙදෙන එච්. ආර්. ජෝතිපාලයන්ගේ 86 වැනි ජන්ම දිනය නිමිති කොටගෙනය. ජෝතිපාල නම් අසහාය ගායකයා බිහි වන්නේ ඕපපාතිකව නොවේ. ඔහු ගායකයකු වීමේ ආශාවෙන් මුල් කාලයේ බොහෝ කම්කටොලුවලට, අපහාස උපහාසවලට මුහුණ දුන්නෙකු බව නොරහසකි. චිත්‍රපට නිෂ්පාදකයන් ඔහුගේ හඬ ප්‍රතික්ෂේප කළ වාර අනන්තය. අද අපේ කතා නායිකාව නොවන්නට ඇතැම් විට අපට කතා කරන්නට ජෝතිපාලකෙනකුද නොසිටින්නට ඉඩ තිබිණි. ගායිකාවක වීමේ අප්‍රමාණ අපේක්ෂාවෙන් දැඩි සටනක යෙදුණු ඇය ස්වර්ණා අබේරත්නයි. අපි ඇගේ කතාව අසමු. එවිට ජෝතිපාලයන්ගේ කතාව ද එතුළින් ඇසෙනු ඇත.

"මම දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ තුෂාරි දුවත් එක්ක. ලංකාවට එනවා අවුරුද්දකට සැරයක්. මේ පාරත් ඒ ආව ගමන තමයි තාම" සිනාවකින් මුව සරසාගෙන ස්වර්ණා අබේරත්න ඉද්දමල්ගොඩ මහත්මිය අප පිළිගත්තේ ඇගේ බාල පුතු දිනේෂ් ඉද්දමල්ගොඩගේ නිවෙසේ සිටය. තේජා ඉද්දමල්ගොඩ සහ රොෂාන් ඉද්දමල්ගොඩ ඇ‌ගේ දෙටු සහ මද්දුම පුතුන්ය.

අපි මුලින්ම ජෝතිපාලයන් පිළිබඳ ඇගේ මතක විමසුවෙමු.

"ජෝති හරිම අහිංසක, හොඳ ළමයෙක්. චිත්‍රපටවලට හරි ආසයි. අපේ ඩැඩීගේ (ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සිරිල් පී. අබේරත්න) චිත්‍රපටවල චාන්ස් එකක් ඉල්ලමින් හිටියා ගාල්ල පැත්තෙන් ආපු එම්.පී.ගැමුණු කියලා ළමයෙක්. (පසුකලෙක යළි ඉපිදේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ) එයාට ජෝති 'අනේ මාව අබේරත්න මාස්ටර්ට අඳුන්නලා දෙන්න' කියලා.

ඒ වෙද්දි ජෝති කොහේවත් සින්දු කියලා නැහැ. දවසක් පාන්දර ගැමුණු අපේ ගෙදරට ජෝතිව එක්කගෙන ආවා. තලාත් මෙහෙමුද්ගේ සින්දුවක් කොහොම හරි ජෝතිගේ හඬින් රෙකෝඩ් කරගෙන ආවේ.

ඩැඩී ඒක අහලා පැත්තකින් තිබ්බා. ටිකක් විතර හිතටත් ඇල්ලුවා. ඒ කාලේ ජබීර් ඒ කාදර් එක්ක 'සුරතලී' චිත්‍රපටය කරන කාලෙ. අපි ඔක්කොමලා ඉන්දියාවේ යන්නත් තියෙනවා. කොල්ලුපිටියේ ලිබර්ටි ඔෆිස් එකට එන්න කීවා දවල්ට, ජබීර් ඒ කාදර් මුණ ගස්සලා අවස්ථාවක් අරන්දෙන්න. ඊට පස්සේ ජෝති නිතර අපේ ගෙදර එන්න යන්න ගත්තා.

අපේ මමී (ගර්ට්රූඩ් අබේරත්න) වෙන්නප්පුව කොන්වන්ට් එකේ ඉංග්‍රීසි ටීචර් කෙනෙක්. හරි එකතුයි ඒ කාලේ නළු නිළියන් ගායක ගායිකාවන් එක්ක. ජෝති ඒ අයගේ විස්තර අහගන්නේ මමීගෙන්. අපේ ගෙදර දේවලට උදවු වෙනවා, හරි හොඳ ගතිගුණ නිසා අපට එයාට අවස්ථාවක් නොදී බැරි ගාණට හිත හැදිලා තිබුණේ. මමී දවසක් කීවා ඩැඩීට 'අනේ පවු මේ ළමයාට චාන්ස් එකක් දෙන්න' කියලා.

ඒ වන විට ස්වර්ණා අබේරත්න සිය පියාගේ 'සුරංගනී' චිත්‍රපටය සඳහා ගී ගයා ජනප්‍රියව සිටි යුගයයි.

"කාන්ති ගුණතුංග වෙනුවෙන් 'සේයාවේ ඇඳේ රූපේ' කියද්දි මට අවුරුදු 11යි. අලෝකේ සන්ධ්‍යාවේ,

ජී.එස්. බී. රාණි පෙරේරා අක්කා සමඟ කියුව දීපේ ශ්‍රී ලංකා සින්දුත් ජනප්‍රියයි. ඒත් ඩැඩී කීවා ලොකුවෙලා ඉගෙනගෙන එනකල් එතනින් එහාට සින්දු කියන්න දෙන්නේ නෑ කියලා. ඩැඩී ෆිල්ම්ස් කළාට කෑගල්ලේ පාසලේ ගුරුවරයෙක්. උගත් කමට තමයි හිත. ඒත් මට සින්දු කියන්න මිසක් ඉගෙනගන්න වුවමනාවක් තිබුණේ නැහැ.

'සුරතලී' ඩැඩීගේ දෙවැනි චිත්‍රපටයට ඉන්දියා යන්න ඉද්දි මට තහංචි දැම්මාම මම ඔළුවට වතුර දාගන්නවා වැස්සට තෙමෙනවා, මැරෙන්න කියලා. අන්තිමට මට ටයිපොයිඩ් හැදුණා. හුඟක් අමාරු වුණා. ඉතින් ජෝතිත් යනවා හාමුදුරුවන්ගෙන් තෙල් ගේනවා, ගානවා ඔය වගේ උදවු කළා. එතකොට මගේ වයස 13ක් විතර. ඇග්‍රිමන්ට් ඔක්කොම අත්සන් කරලා නිසා චිත්‍රපටයේ හැමෝම ඇවිත් වැඳ වැඳ කියනවා අනේ බබා ඉංජෙක්ෂන් ගහන්න ඉඩ දෙන්න කියලා. අන්තිමට ඩොක්ටර් ඩැඩීට කීවා සුරතලී එකේ සින්දු කියන්න දෙනවා නම් මම ඉංජෙක්ෂන් ගහන්න දෙනවා කියනවා කියලා. ඒ පාර ඩැඩී සුරතලී එකේ සින්දු කියන්න දෙන්න පොරොන්දු වුණා. සනීප වුණාම ඩොක්ටර්ස්ලත් කීවා ඉන්දියාවේ මදුරාසියේ දේශගුණය හොඳයි එහෙ යන්න කියලා. සුරංගනී කරන කාලේ ඉඳන් අපි එහෙ යන්නේ. මමයි මල්ලියි විතරයිනෙ පවුලේ. මම ඉන්දියාවේ ගුඩ් ෂෙපර්ඩ් කොන්වන්ට් එකේ ඉගෙන ගත්තේ. ධර්මදාස වල්පොලයි, රාණි අක්කයි මායි තමයි සින්දු කියන්න ගියේ. ටී. ආර්. පාපා තමයි සංගීත අධ්‍යක්ෂ.

'ප්‍රේමයේ මෝරන කාලයේ' සින්දුව අපි තුන්දෙනාම කියන්නේ ඒකේ පොඩි පේළි දෙකක් ජෝතිට දුන්නා 'ආදරෙයි මගෙ සුරංගනී' කියලා. ඒක තමයි ඉස්ඉස්සල්ලාම ජෝති ගැයුවේ.

නිෂ්පාදකවරු දෙමළ නිසා ඉන්දියාවේ වෙම්බු කියලා දෙමළ ඩිරෙක්ටර්‌ කෙනකුත් ඒ අය අරගෙන තිබුණා. වෙම්බු ජෝතිගේ සින්දු කොටස අහලා 'හාපෝ මේක ප්ලේ බැක් සිංගර් කෙනෙකුට හරියන වොයිස් එකක් නෙවෙයි, මේක අයින් කරන්න මෙයා සින්දු කියන්න හොඳ කෙනෙක් නෙවෙයි' කියලා සවුත්තු කළා. නිෂ්පාදකවරුත් ඒ අයගේ පැත්තටනෙ. ඩැඩීට කරගන්න දෙයක් නෑ. අපේ ඩැඩී මමීට හැම දේම කියන නිසා මේ ගැනත් කියලා එවුවා.

දැන් ජෝති මෙහෙ අඬනවා, "අනේ බබා ඩැඩීට කියන්න බබා මම බදුලු කෝච්චියට ටකස්. මට කොල්ලො ගල් ගහල මරණවා. මට බෑ සින්දු නොකියා ලංකාවට යන්න" කියලා.

මම ජෝතිට කීවා අපේ මමීට විස්තරේ කියන්න කියලා. මමී ඩැඩීට කිව්වා 'ඔයා මේ ළමයාට සින්දු කියන්න දෙන්නේ නැත්නම්, මේ ළමයාගේ ජීවිතේට වගකියන්න බලාගෙන එන්න. ඔයයි ලංකාවට එන්නේ ෆිල්ම් එක අරගෙන වෙම්බුලා නෙවෙයි. ඔයා ඒ වගකීම බාරගන්න."කියලා. ඒ වචනෙ නිසා ඩැඩී අර ප්‍රඩියුසර්ස්ලාට කිව්වා 'කමක් නෑ මම ඒ වගකීම බාරගන්නවා. මගේ දුවත් එක්ක ඩුවට් එකකුත් දෙනවා' කියලා. ඔකෙස්ට්‍රා එක 40ක් විතර සර්පිනාම තුන හතරක්. ගිටාර්ස් නම් හතඅටක් වයලීන් දහයක් විතර. අපි පුහුණුවීම් කරලා ගිහින් වුණත් ටේක් තුනහතරක් ගන්නවා. මගේ පළමුවැනි ගීතෙම ටේක් තුනෙන් ඉවර කළා.

ආලෝකේ දේය මා හදේ' සින්දුව මතකද? (ඇය ගයා පෙන්වයි.) 'මා එක්ක ඒකේ මැදට 'ටරරම්පම්පම්' කියන්නේ ජෝති. ජෝතියි මායි සින්දු කියද්දි ජෝති ගොඩක් උසයි මම පුංචියි. පස්සේ ගල් දෙකතුනක් ගෙනත් මාව උස්සලා තිබ්බා. ඒ තමයි ජෝතිගේ පළමු ඩුවට් එක. (යුගගීය). ඒක හරියට නැඟලා ගියා. ඔබේ තීරයට ඉල්ලන්නෙම ඒක. ප්‍රේමයේ මෝරන කාලයේ, පුදුමේකි ලෝකේ මැවුවා වූ ප්‍රේමේ තමයි ට්‍රිප්ලට් දෙක. 'සිරියා මේ සාරා' තමයි ජෝති තනියම කියුවේ. එදා ඉඳන් ඉතින් ජෝති තමයි. හැබැයි සතයක්වත් ජෝති ගන්නේ නෑ. ඩැඩීට වඳී...නවා. අනේ ඒ අහිංසකයාට හරියට අපහාස කළා ඒ කාලේ ප්‍රසිද්ධ ගායිකාවනුත්. කරුණාරත්න අබේසේකර තිස්සේම ජෝතිට අවවාද දෙනවා, 'මේ පවුලට හැමදාම සලකපන්. මතකයිනේ අනිත් අය කළ අපහාසේ' කියලා.

ජෝතිපාලයන්ගේ කතාවට විරාමයක් තබා අප ඇයගේ කතාවට යොමු වෙමු.

"දැවුණා ප්‍රේම ගිනිදැල් සින්දුවත් මම ගැයුවා. ඩැඩීලා මට ගොඩක්ම ආදරේ නිසා කොහොම හරි රණ්ඩු කරලා සින්දු කියන්න හදා ගත්තා. හැබැයි ඒකෙන් මගේ අධ්‍යාපනය කඩාකප්පල් වුණා. සුරංගනී, සුරතලීට පස්සෙ කළ සුභද්‍රා චිත්‍රපටයේ 'පතිවත මා රැකී' සින්දුව හරි ජනප්‍රියයි. සමහරු කියනවා ඒගීතය අහලා ඉවර වුණාම භාවනාවකට සමවැදිලා නැගිට්ටා වගේ කියලා. ලොකු පුතා තේජා ඉද්දමල්ගොඩගෙ සින්දු තුනක් එක්ක මම ළඟදි ඒ සින්දු 12ක් ආයෙ රෙකෝඩ් කළා. ඩුවට් කීවෙ නලීන් පෙරේරා." ඇය සීඩී පටය සොයා ගෙනවිත් සතුටින් අපට දක්වන්නීය.

"සුමුදු භාර්යා ඊළඟ චිත්‍රපටයටත් එක සින්දුවක් විතරයි ඩැඩී කියන්න දුන්නෙ. ඊට පස්සේ මම විවාහ වුණා. මගෙ මහත්තයා (රෝයි සෙබෙස්තියන්) ඉරිගේෂන් එකේ ඉංජිනියර් කෙනෙක්. ඒකනෙ කලාව පැත්තට ගෑවිලාවත් නැත්තෙ. හැබැයි එයා පල්ලියේ කොයාර් එකට එහෙම සින්දු කියකවා, ඕගන් ප්ලේ කරනවා. එයාගෙ සහෝදරයන් එහෙම ෆාදර්ස්ලා. ඒත් එයා පොඩ්ඩක්වත් කැමැති වුණේ නැහැ මම සින්දු කියනවාට. අපි දෙන්නා පොරොන්දුවකට ආවානෙ බඳීද්දි. මම සින්දු කියන්නෙ නැහැ. එයා බොන්නෙ නෑ කියලා. ඒත් මම විතරයි පොරොන්දුව රැක්කෙ."

ඒ වගේ පොරොන්දුවකට ආවෙ ඇයි ? ඔච්චර සටන් කරලා දිනා ගත්ත දේ පරදුවට තියලා? මගේ පැනය සාධාරණ යැයි ඔබටද සිතෙනු ඇත.

"මම ඇඬුවා. ඒත් ඩැඩීලා ඉඩ දුන්නේ ම නැහැ පවුල් කඩාකප්පල් කරගන්න ඕනෙ නැහැ සින්දුවක් නිසා කියලා. ඩැඩී සංගීතය කළ චිත්‍රපටයකටත් මම අඬලා අඬලා කොහොම හරි සින්දුවක් කළා. ඒකත් අන්තිමට කපලා දාන්න වුණා. මට වෙන චිත්‍රපටවල සින්දු කියන්නත් ආරාධනා ලැබුණට ඩැඩීලා අකැමැති නිසා ඒවත් ක්‍රමයෙන් නැතුව ගියා. ශ්‍රීමති රසාදරී එහෙම කීවා මම රඟපෑවානම් හොඳයි කියලා. සුරංගනී එකේ ඩාන්ස් එකකටත් හිටියා. අපරාදේ ඒ කෑල්ලම කපන්න වුණා. දවසක් මගේ පින්තූරයක් පත්තරේ ගිහින් අපේ අංකල් කෙනෙක් ඇවිත් බනිනවා 'ලැජ්ජාවේ බෑ අපටත් එක්ක පාරෙ පත්තරකඩවල එල්ලිලා ඉන්නවා' කියලා. මට ඒ වගේ බලපෑම් හරියට තිබුණා. තව චිත්‍රපට දෙකකට සින්දු කීවා ඒ දෙකම කෙරුණෙත් නෑ. ජෝතිත් දෙතුන් සැරයක් හොරෙන් කීවා අනේ බබා සින්දුවක් කියමුකො කියලා. ඒත් අපේ ගෙදරටවත් එන්න ලැබෙන එකක් නෑ කියලා පස්සෙ ඇහුවෙ නෑ ඒගැන. හිත අස්සෙ දුක දරාගෙන කොහොම හරි මම හිටියා ඉතින් බබාලා හතර දෙනෙක්ගෙ වැඩ තිබුණ නිසා. මම සංගීතය ඉගෙන ගත්තෙ නැතුවාට පියානෝව වාදනය කරන්න ඉගෙන ගත්තා. ඕස්ට්‍රේලියාවේ එකක් තියෙනවා. තනිකමක් දැනෙන වෙලාවට ප්ලේ කරනවා."

මට නැවත පැනයකි. ඒකියන්නෙ මේක යෝජිත විවාහයක්ද?

අපෝ නෑ ලව් මැරේජ් එකක්. මට 16දි යාළු වුණේ. අවුරුදු හතරකට විතර පස්සෙ බැන්දේ. ඒකටත් ඩැඩීලා අකමැති වෙලා හිටියා මට තව ගෙදර සැප විඳීන්න කල් තියෙනවා කියලා. මගෙ මෝඩකමට අර වගේම යුද්ධයක් කරලා ඒකටත් කැමැත්ත ගත්තෙ. එයා ඩැඩීගෙ සුභද්‍රා ෆිල්ම් එකට ෂෙයාර්ස් දාන්න ආවා. මට වඩා සෑහෙන්න වැඩිමල්. එයා සින්දු කියුවත් මම කියන නිසා සංගීතයට වෛර කළානෙ ඉරිසියාකාරයා. (ඇය කොළොප්පමට මෙන් සිනාසෙයි.) එයා මට හුඟාක් ආදරේ කළා. මමත් එහෙමයි. ඒනිසා සින්දු පැත්තක තියලා අපි එක්වෙන දවස ගැනයි එවෙලෙ හිතුවෙ. අපි බැන්දෙ 1961 මහත්තයා නැති වුණෙ 1993 විතර. ඒත් ඉතින් දැනටත් කොහොම හරි බලන්නෙ අවස්ථාවක් ලැබුණොත් සින්දුවක් කියන්නමයි. මම තාමත් හිතන්නෙ මගෙ වොයිස් එක වයසට ගිහින් නෑ කියලයි. දැන් ලොක්කා (තේජා ඉද්දමල්ගොඩ) චිත්‍රපටයක් කළානෙ. මම එයත් එක්ක තරහ වෙලා ඉන්නෙ ඒකෙ මට සින්දුවක් දුන්නෙ නැති නිසා."

(ඇය දඟකාර සිනාවක් සමඟ මට රහසින් කීවේ එය එසේ ලියන ලෙසය.)

සිරිල් පී.අබේරත්න මහත්මයාගේ චිත්‍රපට ගැනත් ටිකක් කතා කරමු?

"නැතුව. කොච්චර වටින කෙනෙක්ද ඩැඩී. මට මතකයි සුජාතා චිත්‍රපටයට ඩැඩී ඉන්දියාවේ ගියාම එහෙ දෙමළ අය එතතු වෙලා අර පියෙහි විප්පයෝගෝ කියන සින්දුවට සාදු ඉස්සරහ නරක විදිහෙ ඩාන්ස් එකක් දාන්නම හදලා. ඩැඩී කීවලු මම කතෝලික වුණාට සාදු කෙනෙක් ඉස්සරහ ඔය විදිහෙ අපහසාත්මක නැටුමක් කරනවට විරුදධයි මට ඒක කරන්න නම් බෑ කියලා. දෙමළ ප්‍රඩියුසර්ලත් ඒ අයගෙ පැත්තෙලු. සිනමාස්ලාට සුජාතා චිත්‍රපටය හරි ලස්සනට අධ්‍යක්ෂණය කරලා දුන්නට ඩැඩීගෙ නමක්වත් තිබුණෙ නෑ ඒ ප්‍රශ්නෙ නිසා. ඒක ඩැඩීගෙ පළමුවැනි චිත්‍රපටයනෙ, අත්දැකීම් නෑනේ. ඒ ගැන හරියට දුක් වුණා ඩැඩී. පත්තරවලිනුත් හරියට කතා කළා ඩැඩීගෙ පැත්තට.

පස්සෙ සිලෝන් තියටර්ස්ලා ඒ බව දැනගෙන තමයි 'ඔයා කැමැති විදිහකට සිංහල පිළිවෙළට චිත්‍රපටයක් කරන්න' කියලා සුරංගනී නිෂ්පාදනය කළේ.

සුරංගනී එකට තමයි අපි ඉස්ඉස්සල්ලාම ඉන්දියාවේ ගියේ. අපි වෙනම ගෙයක්වගේ අරගෙන හිටියා. සුප්‍රසිද්ධ ඉන්දියානු නර්ථන ශිල්පිනී රාගිනී ඒ චිත්‍රපටයට ඩාන්ස් එකක් කළා. අපි එක්ක ඒ යන එන නළුනිළියන් කතා කරනවා. සිවාජි ගනේෂන් නම් ටිකක් අහංකාරයි. ලතා මංගේෂ්කර් දවසක් ආවා. මමත් හරි ආසාවෙන් ගියා බලන්න. කතා කරන්න වෙලාවක් තිබුණෙ නෑ. එයා කලබලෙන් ඇවිත් සින්දුවක් රෙකෝඩ් කරලා ගියා. සුරංගනී කරද්දි අපි හිටපු නවාතැන් පොළේ හොල්මන් හිටියා දන්නවාද? ගෑනු ළමයි පාරෙ විකුණන මල් අරගෙන ඔළුවෙ එහෙම ගහගෙන හරි සතුටින් හවස බැල්කනියෙන් පාර බලාගෙන හිටියා. එකපාරට අළුපාට ඇඳගත් මනුස්සයෙක් එතැන කණ්ණාඩියෙන් අතවනාගෙන පාවෙලා ගියා. අපි ඔක්කොමලා කෑගැහුවා. ඒත් අපට කියාගන්නත් බෑ. රෑට ගෑනු ළමයින්ව කකුලෙන් ඇදලා දානවා වගේ දේවල් වුණා. පර්ල් (වාසුදේවි) ඇන්ටි ඉලපතකුත් අරගෙන සැර වචන කිය කිය රෑ තිස්සේ ඇවිදිනවා අපව ආරක්ෂා කරන්න. අපි එතැනින් වෙන තැනකට ගියා. පස්සේ දවසක යද්දි ඒ ලොජ් එකේ පුහුල් ගෙඩියක් එල්ලලා තියෙනවාත් දැක්කා. ඒකෙන් තමයි අපි හොල්මන් ගැන දැනගත්තේ.

සුරතලී එකට ආනන්ද ජයරත්න, ලීනා ද සිල්වා රවීන්ද්‍ර රූපසිංහ, එල්. එම් පෙරේරා, ජෝති ඔක්කොමලා අලුතෙන් දාලා කලින් දෙමළ ස්ටයිල් එකට තිබුණු ඒවා ඩැඩී වෙනස් කළා. ඩැඩී හුඟක් අලුත් අයට අවස්ථාව දුන්නා. ඊට පස්සේ සුරතලී. සුභද්‍රා කරද්දි ගම්පහ රණතුංගලා නිෂ්පාදනයට සම්බන්ධ වුණා. සුසී කරද්දි මාලනී ෆොන්සේකා, එඩී ජූනියර් සම්බන්ධ කරගත්තා. සැලී එකට මාලනී චරිත පහක් කළා. සජා චිත්‍රපටයට රුක්මනී දේවි පවා හිටියා. මට මතකයි අපි පොඩි කාලේ ඩැඩී ටවර් හෝල් නාට්‍ය කරනවා. පස්සේ තමයි චිත්‍රපට කළේ. ඩැඩීගේ චිත්‍රපටවල උදවුවට ආව අය බොහෝ දෙනෙක් අධ්‍යක්ෂවරුත් වුණා. රෝයි ද සිල්වාත් අපේ ගෙදර බයිසිකලේ පැදන් නිතර ආවා. ශාන්ති අබේසේකරලා තව නළු නිළියෝ ඔක්කොම වගේ ඉරිදට අපේ ගෙදර හරි විනෝදයි. ඉස්සර ඇක්ටර්ස්ලා හරි හොඳයි. දැන් අය ටිකක් අහංකාරයි."

ඇයගේ හඬ බිඳී මොහොතක් කල්පනා ලෝකයට යයි.

"සිංහල සිනමාවේ මුල ඉතිං අපි තමයි නේද? සිංහල ගායිකාවන්, නළු නිළියන් අරගෙන සිංහල සිනමාවක් කරන්න හරියට ඩැඩී මහන්සි වුණා. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නලාත් මහන්සි වුණා තමයි. ඒත් ඒ අයගේ නැටුම් එහෙම දෙමළ විදිහටනේ. ඩැඩී ඒ ඔක්කොම සිංහල විදිහටම කළා. ඩැඩී කළ සේවය අගයලා ඕසීඅයිසී සම්මානය දෙනවා කියුව දවසෙ ඩැඩීගෙ ඇස්වලින් කඳුළු බේරුණා. උත්සවයට ගිහින් ආවාට පස්සේ සතුට වැඩිකමටමයි හාට් ඇටෑක් එක ආවෙ. ඩැඩී නැති වුණු වෙලාවේ ජෝති ආවේ නෑ. එල්. එම්. පෙරේරලා කෑ ගැහුවා. අපි ඔක්කොම බලන් හිටියත් ජෝති ආවෙම නෑ. එතකොට ජෝති අපෙන් හුඟක් ඈතයි."

මම ඇය දැහැනෙන් මුදවන්නට සිතුවෙමි. ආපසු හැරිලා බලද්දි ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?

"මම දේවමෑණියන්ට ආදරෙයි ජේසුට ආදරෙයි. මම වැඩිය සින්දු කියලත් නැතිව මගේ සින්දු ඔක්කොම හුඟක් ජනප්‍රිය වුණෙත් දෙවියන්ගේ කැමැත්තට අනුව වෙන්න ඇති. අදටත් මගේ සින්දු වක් ගියොත් හූඟක් අය කෝල් කරනවා. ඒ නිසා මම වැඩිය දේවල් ඉල්ලන්නෙ නෑ. මට, දූවයි පුතාලා තුන්දෙනයි, මුනුපුරු මිනිබිරියන් අටකුයි ඉන්නවා. එහෙ ළමයි ආස නෑ සිංහල චිත්‍රපට බලනවාට. ඉතින් මම තනියම ඉන්න වෙලාවට තමයි ඩැඩීගේ චිත්‍රපටයක්වත් බලන්නේ. මම හින්දි චිත්‍රපටවලට තමයි වැඩිය කැමැති. ලතා මංගේෂ්කර්ට, තලාත් මෙහෙමුද්ටත් ආසයි. ලංකාවේ නම් ඉතින් ජෝති තමයි ආසම ගායකයා. ධර්මදාස වල්පොලටත් ආසයි. ජී. එස්. බී. රාණි පෙරේරාට තමයි වැඩියෙන් ආදරේ. රොෂාන් සහ දිනේෂ් පුතාලා සුසී චිත්‍රපටයෙ විජය මාලනී දෙන්නා එක්ක රඟපෑවා. (ඇය පරණ සේයා රූ පෙන්වා කියයි) සීයාගෙ ආරෙනෙ. තේජා චිත්‍රපට කරන්නෙත් ඒ ආරෙටනෙ. රන්ජන්ගේ ආශාවරී චිත්‍රපටයත් ඩැඩිලගේ චිත්‍රපටවල වගේ දුක සතුට හිනාව ඔක්කොම මිශ්‍රවුණු ලස්සන එකක්. ඩැඩිත් හරිම ආදරෙන් හිටියෙ තේජා පුතාට. මගේ 'ඕබඩබඩේ කෝ' කියලයි ලොකු පුතා හුරතල් කරන්නෙ. සංගීත් ඉද්දමල්ගොඩ මගේ ලොකුම මුනුපුරා සින්දු කියනවානේ. මමත් ලංකාවෙ හිටියා නම් සමහර විට ආයෙ අවස්ථාවක් ලැබෙන්නත් තිබුණා. දුවට කියලා බලන්න ඕනෙ මෙහෙ පදිංචි වෙන්න. පුතාලා තුන්දෙනාගාව මාරුවෙන් මාරුවට ඉන්න බැරියැ. මම පොඩි වැඩසටහනකට ගියත් තවමත් කෝල්ස් එනවා. මම අන්තිම මොහොත දක්වා උත්සාහ කරනවා සින්දුවක් කියන්න. ඒක තමයි මගේ එකම ආසාව. ජීවිතේ ගැන හැරිලා බලද්දී දෙවියන් වහන්සේගේ කැමැත්තට හැමදේම සිද්ධ වුණා කියලා හිතනවා. ජේසු ආදරේ නම් මට ඒ ඇති."

සේයාරූ - තිලක් පෙරේරා