2019 ජූලි මොකද වුණේ රාජිත දිසානායක‍ෙගන් විමසමු

පෙබරවාරි 3, 2022

යුවළක් කාමරයක වයින් පානය කරමින් සාමීචියක යෙදී සිටින අතර ඒ මහල් නිවාස සංකීර්ණයේ බෝම්බකරුවකු සැඟවී ඇති බැවින් හමුදා සෝදිසි මෙහෙයුමකට ලක් කෙරෙන බවට ආරංචියක් එයි. එයින් තම බිරිය සහ දරුවන් කලබල වනු ඇතැයි සිතා තමන්ගේ මහල් නිවාසයට යන්නට පිරිමියා සැරසෙයි. කාන්තාවට අවශ්‍ය තමන් ඔහු හමුවීමට පෙරුම්පුරාගෙන ආ කාරණය කෙසේ හෝ කියන්නටය. මොවුන් දෙදෙනා හමු වූයේ දුර ගමනක් ගිය හිතවතෙකුගේ හිස් වූ මහල් නිවාසයේය. කාන්තාව පාළු නිවෙසේ අගුළු ලා පිරිමියා සිය පවුල වෙත යයි. එහිදී අහල පහළ හිතවතුන්ද සිය නිවෙසට පැමිණ බෝම්බකරු පිළිබඳ විවිධ තොරතුරු පවසන අතර ජනමාධ්‍ය හා නව මාධ්‍ය ඔස්සේ ද විවිධ ආරංචි පැතිර යයි. සෝදිසි මෙහෙයුමට සම්බන්ධ නිලධාරීන්ගේ අදහසට අනුව මේ වන විට බෝම්බකරු රිංගාගෙන ඇත්තේ තමන් කාන්තාව සමඟ හොර රහසේ වයින් පානය කරමින් සිට යතුරද රැගෙන ආ මහල් නිවෙසට බව 'බ්‍රේකිං නිවුස්වල' දකින විට ප්‍රතිපත්තිගරුක මිනිසකුට, ස්වාමිපුරුෂයකුට, පියෙකුට කළ හැක්කේ කුමක්ද?

'2019 ජූලි මාසයේ දවසක්' නාට්‍යයෙන් කියැවෙන්නේ මේ කතාවයි. ප්‍රවීණ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ රාජිත දිසානායක විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද මෙහි පාත්‍රවර්ගයා ලෙස ජයනි සේනානායක, නලීන් ලුසේනා, සම්පත් ජයවීර, අනුරාධ මල්ලවආරච්චි, සුලෝචනා වීරසිංහ, ප්‍රසාදිනී අතපත්තු, ගිහාන් ද චිකේරා සහ අනුක් ප්‍රනාන්දු ප්‍රධාන භූමිකාවලට ලෙනින් ලියනගේ සහ දේවින්ද වික්‍රමසිංහ සහාය චරිතවලින් පණ පොවමින් ද සංගීතයෙන් මහිරා දිසානායක, වේදිකා පසුතල නිර්මාණයෙන් ධර්මප්‍රිය ඩයස් සහ අනුරාධ මල්ලවආරච්චි, අංගරචනයෙන් ප්‍රියන්ත දිසානායක, රංගාලෝකය නිර්මාණයෙන් රංග සමරකෝන් සහ අනුරාධ මල්ලවආරච්චි, ඇඳුම් නිර්මාණයෙන් සමදරා මාබුළුගේ සමඟ නලීන් ලුසේනා, වේදිකා පරිපාලන සහායෙන් චරිත් මධුරංග, අෂාන් පෙරේරා, තේජිත සෞභාග්‍ය ලෙනින් ලියනගේ සහ දේවින්ද වික්‍රමසිංහ දායක වෙති.

මේ කතාව නිර්මාණය වීමේ පසුබිම සහ සංකල්පය පිළිබඳ අධ්‍යක්ෂ රාජිත දිසානායකගෙන් මෙලෙස අප විමසුවෙමු.

නාට්‍යයේ නම ඈත මෑත යුග දෙකක් සිහිකරවනවා?

ඔවු. 2019 ජූලි මාසයේ දවසක් පිටපත මම ලියන්න පටන්ගත්තේ 2019 මැයි මාසයේ අවසානයේ පමණ. විශේෂයෙන් 2019 අප්‍රේල් 21 ‌පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසු අපේ සමාජය තුළ ඇති වුණු බිය සැකය සමඟ මිනිසුන්ගේ හැසිරීම්වලට ඇති කළ බලපෑම වගේම දේශපාලනික වශයෙන් සමහර කණ්ඩායම් එය උපයෝගී කරගෙන තිබුණු ආකාරයත්, විය හැකිව තිබුණු කරුණක් පිළිබඳ මට දැනුණු තත්ත්වයත් තමයි ප්‍රබන්ධයට පාදක වුණේ. ඇත්තෙන්ම මට ඒ මොහොත විශාල කම්පනයක්. ඒ සමඟ ඇති වූ සමහර අත්දැකීම්, නිරීක්ෂණ, වේදනාවන් වැනි කරුණු සමඟයි නාට්‍යය රචනා වුණේ. අපි ගතකරමින් සිටින මේ දශකය තුළ සිදුවෙමින් තිබෙන දේශපාලන හා සමාජ වෙනස්වීම්වල මූලාරම්භයක අවස්ථාවක් තමයි මේ නාට්‍යයෙන් මතු කරන්න උත්සාහ කරන්නේ.

ජූලි මාසය විශේෂයෙන් යෙදීමටත් හේතුවක් තිබිය යුතුයි?

යම් පමණකට. ජූලි මාසය කියන විටම ජාතිවාදය තුළ ඉතාම නරකම විදිහකට අපේ සමාජය හැසිරුණු, මැකිය නොහැකි කළු පැල්ලමක් ඇති කළ, චින්තනය, ප්‍රචණ්ඩත්වය දරුණු විදිහට මුදාහළ සිදුවීමක් තිබෙනවා. අප්‍රේල් බෝම්බ ප්‍රහාරය කියන්නෙත් ඉතාම ම්ලේච්ඡ දරුණු සිදුවීමක්. ඉන් මාස කීපයකට පසු ඇතිවුණු තත්ත්වය මීට පෙර 83 ජූලි මාසයේ ඇතිවුණු තත්ත්වයන්වලම වෙනත් ස්වභාවයන් අපේ සමාජය තුළ ඉතිරිව තිබෙනබව, ඒවා වෙනත් ක්‍රමවලින් මිනිසුන් තුළ ක්‍රියාත්මක වන බව නැවත සිහි කැඳවන්නත් ජූලි මාසය යොදාගත්තා. පාස්කු ප්‍රහාරයට මාස තුනකට පසුව සහ 2019 නොවැම්බරයේ ජනාධිපතිවරණයට මාස හතරකට කලින් රටේ ඇති වුණු තත්ත්වය තමයි ඒ මාසයටම නාට්‍යය පිහිටුවන්න මූලික වුණේ.

නූතන මාධ්‍යවල හැසිරීම සහ ඒ සමඟ සමාජ මතය ගොඩනැඟෙන ආකාරයත් තරුණ පරපුර එයට නතුව ඇති අයුරුත් ඔබ මෙහි හුවා දක්වනවා?

සඟ- වෙද -ගුරු -ගොවි -කම්කරු පංචබලවේගය ආදිදේවලට අමතරව මෑත කාලේ තරුණ බලවේගත් ඔවුන්ගේ සීමිත තේරුම් ගැනීම්, අඩු අත්දැකීම් එක්ක සමහර දේශපාලන තීන්දුවලට බලපෑම් කළා. විශාල ලෙස දේශපාලන බලවේගවලට නතු වෙමින් හැසිරුණු අයුරු අපට දකින්නට ලැබුණා පසුගිය කාලවල. ඒ වැනි තරුණ නියෝජනයන්ද ඇතුළුව ජාතිය ආගම මුල්කරගෙන තමන්ගේ ව්‍යාපාරික අරමුණු සහ වෙනත් අවශ්‍යතා ඉටු කරගන්න උත්සාහ කරන පුද්ගලයන් වගේම ඊට වඩා පොදු යහපත වෙනුවෙන් තරමක් හෝ කල්පනා කරන මිනිසුන්ට ජීවිතේ මඟ හැරුණු, තමන්ට නිවැරැදි කළ නොහැකි සමහර තත්ත්වයන්හිදී ඇතැම් බලවේගවලට නතුව ක්‍රියා කරන්නට සිදු වීම ගැනත් මෙහි කතාවෙනවා. බොහෝ වෙලාවට ඔවුන්ගේ හඬ ඔවුන්ටම අහිමි වෙනවා. මේ සමාජයේ ජීවත්වන අප මෙන්ම අප සමඟ ජීවත්වන අය තුළ තිබෙන තත්ත්වයන් කැඩපතකින් මෙන් අපටම පෙනෙන්න ගත්තාම ජීවිතය දිහා නැවත සිතා බලන්න ලැබෙනවා. ඒ කැඩපත අපේ ඇතුළත ස්වභාවයන්, ආකල්ප, හැසිරීම් ආදිය පෙන්වද්දි එය හොඳීන් නැවත දකින්න ඒ ගැන සිතන්න අවබෝධයක් ලබන්න කලාවෙන් ඉඩ හදනවා. අපේ සමාජය තුළ අමතකය වැඩියි, සිතීම අඩුයි. අපට කලාව උපයෝගී කරගෙන මතකය අලුත් කරන්න පුළුවන්. ඒ වගේම සිතීම දල්වන්න පුළුවන්.

කතාව ලියා අවසන් වන විට එළැඹෙන්නේ කොරෝනා සමය?

අපේ සැලැස්ම තිබුණේ 2020 අගෝස්තුවල නාට්‍යයේ මංගල දර්ශනය පවත්වන්න. ඒත් මාස අටක් පුරා වරින් වර කල්දැමීම් නිසා අධ්‍යක්ෂවරයකු ලෙස මමත්, නළුකණ්ඩායමත් විශාල අපහසුතාවලට මුහුණ දුන්නා. මොකද ලයනල් වෙන්ඩ්‌ට් රඟහල ඒ වෙද්දි ප්‍රවේශපත්‍ර අලෙවියත් අරඹා තිබුණෙ. අනෙක ඒ කාලය තුළ කණ්ඩායමේ සමහර අය විවාහ වුණා, සමහරු පදිංචිය වෙනස් කළා, විදෙස්ගත වුණා, සමහරුන්ට කොවිඩ් වැලඳුණා. ඇත්තෙන්ම නාට්‍යයක් නිම නොවී දිගු කාලයක් පවත්වාගැනීම හරිම අසීරුයි. පසුගිය දෙසැම්බරයේ පුහුණුවීම් ආරම්භ කළ පසුත් කීපදෙනකුට කොවිඩ් ආසාදනය වුණා. ඒ නිසා අවසන් සති දෙක තුළ දෙදෙනෙකු අලුතෙන් කණ්ඩායමට එක් කරගන්න පවා සිදුවුණා. එවන් විවිධ අසීරුතා රැසක් සමඟ වුවත් අපි බලාපොරොත්තු වුණ තත්ත්වයට නාට්‍යය රැගෙන එන්න හැකි වුණා කියලා පසුගිය 21දා සිට 23දක්වා දර්ශනවලට ලැබුණු ප්‍රතිචාරවලින් පැහැදිලි වෙනවා. ඒ වෙනුවෙන් කණ්ඩායමටත් මම ස්තූතිවන්ත වෙනවා.

මේ අර්බුද අතරත් ප්‍රවේශපත්‍ර සියල්ල විකිණී අවසන් වුණ බව ආරංචි වුණා?

එය ඇත්ත. ඒ වගේම එය අපට විශාල දිරියක්. අපට ඇති වුණු බාධක සමඟ නාට්‍යය පිළිබඳ ප්‍රමාණවත් ප්‍රචාරයක් ලබා දෙන්නවත් අවස්ථාවක් ලැබුණේත් නැහැ. ඒත් මේ වගේ කාලෙක, කොවිඩ් අවදානම තිබියදී සහ ආර්ථික වශයෙන් තිබෙන ප්‍රශ්න අනුව විනෝදාස්වාදය වෙනුවෙන් කෙරෙන වැය කපාහරින පසුබිමක ශාලාව පිරෙන්න රසිකයන් එක්රොක්වීම පිළිබඳව අපට තිබෙන්නේ විශාල සතුටක්.

ඒ කියන්නේ රසිකයන් තවම වේදිකා නාට්‍ය සමඟ ඉන්නවා?

වේදිකා නාට්‍ය සමඟ මම රසිකයකු විදිහට සම්බන්ධ වන්නේ 1980 දශකයේ මැදභාගයේ. නිර්මාණකරුවකු ලෙස සම්බන්ධ වන්නේ 90 දශකයේ මැද. එදා සිට අපේ රටේ නාට්‍ය කලාව පිළිබඳ ඇල්මක් උනන්දුවක් දක්වන ප්‍රේක්ෂාගාරයක් නොවෙනස්ව තිබුණා. එය අති විශාල සංඛ්‍යාවක් නොවුණත් පොදුවේ නාට්‍යවලට අඩුවක් නොවී පැවතුණා. අපේ නාට්‍යවලට එහි යම් වර්ධනයක් දකින්නත් ලැබුණා. පරම්පරා වෙනස් වුණත් ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව එක ලෙස පැවතීම රංගකලාවට ඉතාමත් හොඳයි. මොකද සිනමා කෘතියකින් හෝ නවකතාවකින් හෝ වෙනත් මාධ්‍යයකින් ලබන්න බැරි සජීවී අත්දැකීමක් වේදිකා රංගයකදි අත්විඳීන්න පුළුවන් බව හඳුනන පිරිසක් ඉන්න බව එයින් පැහැදිලි වන නිසා. ඒ අය වේදිකාව මඟහරින්නේ නෑ. එය ඉදිරි කාලයේදී තවත් වර්ධනය කරගන්න අප නාට්‍යකරුවන් විදිහට උත්සාහ දැරිය යුතුයි. ඒ කෙසේ වෙතත් මෙවන් දුෂ්කර මොහොතකදී නොවෙනස් ප්‍රේක්ෂාගාරයක් තිබීම ගැනත් සතුටු විය හැකියි.

මෙහි ඉදිරි දර්ශන කෙසේද සංවිධානය වන්නේ?

අපි ආපසු පෙබරවාරි මස 27 කොළඹත්, මාර්තු 6 ගාල්ලෙත් දර්ශන පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය මත පදනම්ව ප්‍රධාන නගරවල පමණක් හෝ දර්ශන සංඛ්‍යාවක් රඟදක්වන්නයි සාකච්ඡා කරමින් ඉන්නෙ.

සේයාරුව - නිශ්ශංක විජේරත්න