තව කෙටි චිත්‍රපටයක් හදලා තමයි දිගු චිත්‍රපටයක් හදන්නෙ

හොඳම කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ චාරිත ධීරසිංහ
ජනවාරි 13, 2022

මෙවර රාජ්‍ය යොවුන් චිත්‍රපට සම්මාන උලෙළේ හොඳම කෙටි චිත්‍රපට හිමි සම්මානය දිනා ගත්තේ චාරිත ධීරසිංහ නිර්මාණය කළ the crimson smile චිත්‍රපටයටයි. මේ එහි අධ්‍යක්ෂවරයා සමඟ කළ කෙටි කතා බහකි.

ඔබ නිර්මාණකරණයට පිවිසෙන්නේ කොහොමද සහ මේ සම්මානයට පාත්‍රවූ කෙටි චිත්‍රපටය නිර්මාණය කරන්නට හිතුණු අන්දම ගැන කතා කළොත්?

මම මුලින්ම ආස කරන්නේ චිත්‍රකතා අඳීන්න. මගේ තාත්තා හිටියේ ඇමරිකාවේ ඉතින් අවුරුදු දාසයේදී මම ඇමරිකාවට යනවා වැඩිදුර ඉගෙනුම් කටයුතු සඳහා. එහිදී චිත්‍රකතාවලට යොමු වෙන්න බැරි වුණා. මම චිත්‍රපටවලට වඩාත් ඇලුම් කරන්න පටන් ගන්නේ seven samurai චිත්‍රපටය නැරඹුවායින් ඉන්පස්සෙ. මට ඇත්තටම ඒක විස්මය ගෙන දෙන චිත්‍රපටයක් වුණා.

මටත් හිතුණා කවද හරි මමත් නිර්මාණකරුවෙක් විදිහට වෙනස් චිත්‍රපට ප්‍රේක්ෂකයන්ට ගෙන එනවා කියලා. ඔය අතරතුරදී මම චිත්‍රපට නිර්මාණකරණය ඒ පිළිබඳ ඩිප්ලෝමාවක් හැදෑරුවා. ඊට පසුව newyork film academy  එකේ ලලිත කලාවේදී විශේෂ උපාධිය හැදෑරුවා. ඒත් එක්කම තමයි මම කෙටි චිත්‍රපට දෙකක් නිර්මාණය කරන්නේ. ඉන් එකක් තමයි the crimson smile කියලා කියන්නේ. ඒකේ රඟපෑවේ විදේශිකයො. මම ඒක රාජ්‍ය යොවුන් චිත්‍රපට සම්මාන උලෙළට ඉදිරිපත් කරනවා. එහිදී හොඳම අධ්‍යක්ෂ විදිහට කෙටි නාට්‍ය අංශයෙන් සම්මානය ලැබෙන්නෙ මට. ඒ වගේම චිත්‍රපටයට විශේෂ කුසලතා ඇගයීමකුත් ලැබුණා. චිත්‍රපටයේ රූපගත කිරීම් කළේ ඇමරිකාවේ.

The crimson smile  චිත්‍රපටයට පාදක වන්නේ මොන වගේ කතා පුවතක්ද?

මම ඒ සඳහා යොදා ගත් තේමාව නිර්මාණකරුවන් කාන්තාවන්ට කරන බලපෑම කොහොමද කියන. ඒ ගැන කෙටි විග්‍රහයක් තමයි එකේ දෙන්නේ. ඒ කියන්නේ ඔය තත්ත්වය දිගු කාලයක් තිස්සේ තිබෙන දෙයක්. අමරිකාවෙ රංගන ශිල්පිනියන්ට නිර්මාණකරුවන් විශාල වශයෙන් යම් යම් අවස්ථාවලදී බලපෑම් කළා. මම ඒක දැකලා තියනවා. ඉතින් මම එකේ මූලාශ්‍ර පදනම් කරගනිමින් තමයි මේ කෙටි චිත්‍රපටය ඔස්සේ මම කියන්නට උත්සහ ගන්නේ.

මෙම සම්මානයෙන් අනතුරුව ඔබ තවත් කෙටි චිත්‍රපට නිර්මාණය කරන බලාපොරොත්තු වෙනවාද?

මගේ ඊළඟ බලාපොරොත්තුව තමයි දිගු චිත්‍රපටයක් නිර්මාණය කිරීම.නමුත් ඒ සඳහා මට අත්දැකීම් මදි නිසා සිංහල තව කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරන්නට මම බලාපොරොත්තු වෙනවා. වෘත්තාන්ත චිත්‍රපටයක් කරන්න හොඳ නිෂ්පාදන කණ්ඩායමක් ඉන්න ඕනේ. මම සිංහල කෙටි චිත්‍රපටය හරහා එවන්වූ කණ්ඩායමක් හදා ගන්නටත් මම බලාපොරොත්තු වෙනවා. ඒ පිරිස සමග තමයි වෘත්තාන්ත චිත්‍රපටය නිර්මාණය කරන්නේ

සේයාරූ - මාලන් කරුණාරත්න