‘එදා රෑ’ චිත්‍රපටයේ රඟපෑ මොනරතැන්නේ රජ්ජුරුවෝ

ජේ.එච්.ජයවර්ධන
නොවැම්බර් 18, 2021

 

මීට වසර අසූවකට එපිට කොළඹ ආනන්ද විද්‍යාලයේ සිංහල සාහිත්‍යය ඉගැන් වූ ගුරුවරයෙක් සැළලිහිණි සන්දේශය උගන්වමින් සිටියේය. එකල ආනන්දයේ ගැහැනු ළමයි ද ඉගෙනුම ලැබුහ. ගුරුවරයා සැළලිහිණියේ කවිවල පදාර්ථ තේරුම් කරමින් සිටියේය.

සී.සී. වන වුවන ඉඟ සුඟ ගත හැකි මිටි න
නිසි පුළුලුකුළ රිය සක යුරු තිසර ත න

ගුරුවරයා පන්තියේ සිටි කාල වර්ණ මුහුණක් ඇති මුඛරි ශිෂ්‍යයකුට නැඟිටීමට කීවේය.

“හොඳයි ජයවර්ධන, කියමු බලන්න, රිය සක යුරු තිසර තන’ කියන්නේ මොකක්ද කියලා.”

ජයවර්ධන ශිෂ්‍ය යට ඇසින් අනික් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෙස බැලීය. ගැහැනු ශිෂ්‍යයාවන් බිම බලා ගත්තේ ලැජ්ජාවෙනි.

‘රිය සක යුරු තිසර තන කියන්නේ.... කියන්නේ ‘කරත්ත රෝද වැනි පියයුරු ඇති’ කියන තේරුමට....’

ශිෂ්‍යයෝ සිනාසුණාහ.

‘ඔව්. ජයවර්ධන කියන පදර්ථයෙනුත් කියන්න පුළුවන්. ඔව්, බලන් යනකොට එහෙම වෙන්න පුළුවන්.’

පසු කලෙක ගුවන් විදුලි හඬ නළු ශිල්පියකු, ගුවන් විදුලි නාට්‍ය රචකයකු, නිෂ්පාදකවරයෙකු වූ වේදිකා, සිනමා නළුවකු වූ ජේ. එච්. ජයවර්ධන විසින් මේ කතාව කියා තිබුණේ ප්‍රවීණ හඬ නළු ශිල්පියකු, භාෂා විශාරදයකු, පරිවර්තන ලේඛකයකු වූ කරුණාරත්න අමරසිංහයන්ටය. ජේ.එච්. කියා ඇති ආකාරයට එදා ආනන්දයේ තම සිටි පන්තියේ සිටි ශිෂ්‍යාවක් වුයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරියක් ව සිටි ආචාර්ය තිලෝක සුන්දරී කාරියවසම් ය.

ජනදාස හරිශ්චන්ද්‍ර ජයවර්ධන නම් ඔහු 1921 අප්‍රේල් 15 වෙනිදා කඩුවෙල කොතලාවල උපත ලැබුවේ මතායස් පෙරේරා නාඹරයෙකි. පසුව නම වෙනස් කොට ජයවර්ධන විය. නොතාරිස් රාළහාමි කෙනෙකු වූ එල්.එම්.පී. ජයවර්ධන හා චාලට් කරන්නාගොඩ යුවළගේ පස්දෙනෙකුගේ යුත් දරුවන්ගේ දෙවැනියා ලෙසය. ‘ජේ.එච්’ යන කෙටි නාමයෙන් කලා ලෝකයේ දිලුණුය. කුඩා කල සිට දුටුවේ තම පියා එකල සිටි දේශප්‍රේමී නායකයන් වූ ඇෆ්.ආර්. සේනානායක හා ඩී.එස්. සේනානායක විසින් ඇරඹු ස්වදේශීය ව්‍යාපාරය සමඟ ක්‍රියා කරන අයුරුය. තාත්තා කඩුවෙල සිට කුරුණෑගල පදිංචියට ගිය පසු ජේ.එච්. මලියදේව විද්‍යාලයට මූලික අධ්‍යාපනය සඳහා ගියේය. ඒ කාලයේ එහි විදුහල්පතිව සිටියේ හිටපු මුදල් ඇමතිවරයකු වූ යු.බී.වන්නිනායක මහතාය. පුංචි කාලයේ සිට ම නාට්‍ය රඟපෑමට ඇල්මක් දක්වා අමාරුවේ වැටුණු අවස්ථා එමට තිබේ.

ජේ.එච්.ගේ වැඩිමහල් දියණිය වූ තුසිතා ජයවර්ධන පෙරේරා කියන ආකාරයට තාත්තා පුංචි කාලයේ අවට සිටි ළමුන් එකතු කොට නාට්‍යයක් කළා ලු. ඒ නාට්‍යයට පසුබිම් වී ඇත්තේ තාත්තා දුටු ගංවතුරක අත්දැකිමකි.

‘ඒ නාට්‍යයේ රචනය හා නිෂ්පාදන තාත්තාලු. ‘ගංවතුර’ නම් මේ නාට්‍යයේ එක් දර්ශනයක ගංවතුරක් පෙන්වන්න තිබූ නිසා තාත්තා අම්මගේ ලා නිල්පාට සාරියක් ඉල්ලගෙන ඒක නවලා මුහුදේ රැළි නැගෙන ආකාරයට ළමයි දෙන්නෙකුට දෙපැත්තේ ඉඳලා ලතාවකට සොලවන්න කියලා. ඒ අසල ලත්තෑරුමක් තිබිලා තියෙනවා. සාරිය ලන්තෑරුමේ ගිනි දැල්ලට හසු වී ගිනිගෙන තිබෙනවා. එදා ආච්චිගෙන් තාත්තා හොඳ දඬුවමක් ලැබිලා තියෙනවා.’

ජේ.එච්.ට රඟපෑමේ පිස්සුව වැලඳී ඇත්තේ පුංචි කාලේ කුරුණෑගල කුඩාරම් ජංගම සිනමාහලක දුටු ‘චින්තාමනී’ නම් දෙමළ චිත්‍රපට කිහිපවතාවක්ම නැරඹීම නිසාය. ඔහුගේ කලාවට තිබූ ඇල්ම වැඩි වී ඇත්තේ මලියදේව විද්‍යාලයේ එකම පන්තියේ සිටි මිතුරා වූ පී. වැලිකල නිසාය. (වැලිකල පසුව ගුවන් විදුලියේ මුල් කාලයේම නාට්‍ය නිෂ්පාදකවරයෙකු විය.) වැලිකල හා ජේ. එච්. අසිමීත ලෙස විශ්ව සාහිත්‍ය කෘති කිය වූහ.

පසුව කොළඹ ආනන්දයේ් ඹ්ධදඤධද ර්චබපඪජභතචබඪධද විභාගයෙන් සමත් වී මුලින්ම රැකියාවට ගියේ මහජන සෞඛ්‍ය නිලධාරියකු (ර්‍ථ.ඩ්.ධ්) හැටියටය. මේ තනතුරේ හැටියට ඔහුට බාල්දි වැසිකිළි පරීක්ෂා කිරීම මිතුරන් ඔහුව ‘කුණු ඉන්ස්පෙක්ටර් නමින් හැඳින්වීම නිසා එම රැකියාවෙන් ඉවත් වී රජයේ ලිපිකරුවෙකු ලෙස බැඳී ඇත. ඒ අතර ජේ.එච්. ගුවන් විදුලියට බැඳීමට මඟ පෑදී ඇත්තේ අයි.ඇම්.ආර්. එඒ. ඊරියගොල්ල මහතා නිසාය. එකල තාත්තාගේ මිත්‍රයෙක් නිසා ජේ.එච්. ට ආනන්දයට යන කාලේ ඊරියගොල්ල මහතාගේ නිවෙසේ නවාතැන් හිමිවිය. ඊරියගොල්ල මහතා ගුවන් විදුලියේ කතා පෙළක් ඉදිරිපත් කර ඇත. වරක් ඔහුට කතාව කිරීමට ගුවන් විදුලියට යාමට නොහැකි වූයේ තම බිරිය වූ රාණි මැණිකේගේ පියාගේ හදිසි අභාවය නිසාය. ඊරියගොල්ල මහතා තමා විසින් කරන කතා පිටපත ජේ.එච්.ට ඉදිරිපත් කරන ලෙස කීය. ජේ.එච්.ගේ කටහඬ මුල්වරට ගුවන් ගත විය.

මලිදේවයේ එකට ඉගෙනගත් වැලිකල ජේ.එච්. ව ගුවන් විදුලි නාට්‍යවලට සම්බන්ධ කර ගත්තේය. පනහ දශකයේ ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ ‘විසිපැන’ වැඩසටහන අතිශයින් ජනපි‍්‍රය වී ඇත. මේ වැඩසටහනට ජී.ටී.වික්‍රමසිංහ, ට්‍රිලිෂියා අබේකෝන් (පසුව ගුණවර්ධන) අමරදාස ගුණවර්ධන, පියසිලී ගුණසේකර සහභාගී වූහ. මීට අමතර ‘පද පෙරළිය’ වැඩසටහන ඔහු මෙහෙයවා ඇත. ජේ.එච්. ගුවන් විදුලියට සම්බන්ධ වීමට වැලිකල මෙන්ම ඇම්.ජේ.පෙරේරා හා තේවිස් ගුරුගේ අනුබල දුන්හ. ‘රේඩියෝ රඟමඩල’ හා ‘විශ්ව සාහිත්‍යය’ යන ගුවන් විදුලි නාට්‍ය හඬ නළුවෙකු හා නාට්‍ය රචකයෙක් ලෙස ප්‍රතිභාව දැක්විය. තමාට ම ආවේණික ගැඹුරු කටහඬක් ඔහුට තිබුණේය. වැලිකඩ මහතා ‘සන්දේශය’ වැඩ සටහන මෙහෙයවීම බ්‍රිතාන්‍යයට ගිය පසු ගුවන් විදුලියේ නාට්‍ය අංශය භාර දී තිබුණේ ජේ.එච්.ටය.

ජේ.එච්. මුලින්ම චිත්‍රපටයක රඟපෑවේ 1953 තිරගත වූ ‘එදා රෑ’ චිත්‍රපටයේ බිලියඩ් මාකර් ගේ චරිතය නිරූපණය කිරීමෙනි. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ශාන්ති කුමාර් සෙනෙවිරත්න කුරුණෑගල ලිහිනිගිරි වලව්වේ පදිංචිව නාට්‍ය නිෂ්පාදනයට යොමුව තිබූ කාලයේ සිටම ජේ.එච්. හොඳින් දැන සිටි නිසාත් දෙදෙනාම එක ගමේ එකට හැඳී වැඩුණු නිසා තද මිත්‍රයෝ වූහ.

තම පියා වූ ජේ.එම්.ගැන දියණිය තුසිතා අපට අමතක නොවන සිද්ධීන් සිනාසෙමින් මෙසේ පැවසුවාය.

‘මගේ තාත්තා තමාටම සිනාවුණු චරිතයක්. තාත්තා උපදින විට පිරිමි දරුවෙක් කියලා වින්නඹූ මාතාව සීයාට කියා ඇත්තේ ‘නොතාරිස් රාළහාමි, මේ දරුවා අඟුරු වගේ කළුම කළු කොලු පැටියෙක්.’ කියලා. නෑයෝ සිංහල අවුරුද්දට අපේ ගෙදරට ආවාම තාත්තා මේවා කියලා හිනා වෙනවා. ඒ විතරක් නෙවෙයි තාත්තා ඩී.ඇස්.සේනානායක, බණ්ඩාරනායක මහත්තුගේ කටහඬ අනුකරණය කරලා විනෝදය සපයනවා. තාත්තාට අමුතු කතා තියෙනවා. අපි පුංචි කාලේ තාත්තා රේඩියෝ නාට්‍යයක් ලියන කොට අපෙන් නිශ්ශබ්දතාවය බලාපොරොත්තු වෙනවා. මමත්, මල්ලිත් පුුළුවන් තරම් නිහඬ වෙලා ඉඳලා අපිට අමතක වෙලා රණ්ඩු කරන විට තාත්තා ‘විසිරෙනු - විසිරෙනුු’ කියනවා. තාත්තා මට කියලා තියෙන්නේ ‘තමුන්ගේ වැඩ තනිනම කර ගන්න. එඩිතරව අභියෝග වලට මුහුණ දෙන්න’ කියලා. තාත්තා අපිට කිව්වේ ‘සල්ලි නෙවෙයි ඉගෙනීමයි ධනය’ කියලා. තාත්තා තද නීති කාරයෙක්. අපි බොරු කියලා තිබුණොත් දඬුවම සැරයි. තාත්තාට පිරිත් කියන්න විශේෂ දක්ෂතාවයක් තිබුණා. කටපාඩමින් තුන් සූත්‍රය කියනවා අහන්න අපේ නෑයෝ හරි කැමතියි.’

ජේ.එච්. විවාහ වී ඇත්තේ 1959 වසරේ ජනවාරි 12 වැනිදා ස්වර්ණා සුමේධා සෙනෙවිරත්න මෙනෙවිය සමඟය. ඔවුන්ගේ වැඩිමහල් දියණිය තුසිතාය. එකම පුතා ඥණ ශ්‍රීය.

ජේ.එච්. ‘කාලගෝල’ වේදිකා නාට්‍ය තේවිස් ගුරුගේ සමඟ නිෂ්පාදනය කළේය. නාට්‍යය පුහුණු කළේ ජේ.එච්. විසිනි. ඒ අතර චිත්‍රපටවල ඇතැම් නළුවන්ට හඬ කවා ඇත. ‘සත් සමුදුර’ චිත්‍රපටයේ එඩ්මන් විජේසිංහට ඔහු හඬ දුන්නේය. ගුවන් විදුලි නාට්‍ය රැසක් රචනා කළ ඔහු හඬ නළු ශිල්පියකු ලෙස ගුවන් විදුලි නාට්‍ය දහසකට පමණ දායක වී ඇත. ඔහු රචනා කළ මුල්ම ගුවන් විදුලි නාට්‍යය ‘සීගිරි නළඟන’ ය. ඔහු රඟ පෑ දීර්ඝ ගුවන් විදුලි නාට්‍ය අතර ‘මොණරතැන්න’ හී රජ්ජුරුවෝ චරිතය ඉතාමත් ජනපි‍්‍රය විය.

ටෙලි නාට්‍යවල ද ජේ.එච්. රඟපෑවේ විවිධ චරිතය. සුසිරන් ද සිල්වා ගේ ‘පිළිම වහන්සේ’ ටෙලි නාට්‍යයේ ලොකු හාමුදුරුවන් ගේ චරිතය ද, හර්බට් රංජීත් පීරිස් ගේ ‘ඉරුට මුවාවෙන්’ ටෙලි නාට්‍ය ලොකු අප්පච්චි, චරිත මෙන්ම ‘ගම්පෙරළිය,’ ‘සංගිලි පාලම’ ‘තුන් බිය’ ලොක්කේ මාමා’ නාට්‍යවල රඟ පෑ චරිත කෙසේ අමතක කරන්නද?

භික්ෂූන් වහන්සේලා ගේ චරිත රඟපෑමේ දී ජේ.එච්.ට තිබුණේ අපුරු ප්‍රතිභාවකි. සතිස්චන්ද්‍ර එදිරිසිංහ අධ්‍යක්ෂණය කළ දයා ආනන්ද රණසිංහ තිර රචනා කළ අධිෂ්ඨාන චිත්‍රපටයේ ලොකු හාමුදුරුවෝ අති විශිෂ්ට රංගනයක් ලෙස කැපී පෙනෙයි. 1983 වසරේ ර්‍ණඛ්ධ්ඛ් උත්තමාචාර සම්මාන උළෙලේ දී නිර්මාණශීලි රංග කුසලතා (පුරුෂ) උත්තමාචාරය වෙනුවෙන් හිමි වූයේය. එහි හේතුපාඨය වුයේ

‘උග්‍ර මතභේදයකට තුඩු දුන් ප්‍රබල සාමාජයීය හා සංස්කෘතික ගැටුමක දී මනා සංයමකින් ද, අවබෝධයකින් ද එයට මුහුණ දුන් සමාජයත්, සංස්කෘතියත් රැක ගැනීමෙහි ලා නිහඬ වූත්, උත්කෘෂ්ඨ වූත් මෙහෙයක යෙදුණු ගැමි ජීවන රටාවක මුදුන් මල්කඩ බඳු වූ සුපේශල උදාර භික්ෂූ චරිතයක උත්කෘෂ්ට ලෙස රැඳී සිටිමින් තීක්ෂණ රංග කුසලතාවක් උදෙසා 1982 වර්ෂයේ නිර්මාණශිලී රංග කුසලතා (පුරුෂ) උත්තමාචාර සම්මානය පිරිනැමෙන්නේ ‘අධිෂ්ඨාන’ චිත්‍රපටයේ ලොකු හාමුදුරුවන්ගේ චරිතය රඟ පෑ ජේ.එච්. ජයවර්ධනටය.

1983 ජනාධිපති සම්මාන උලෙළේ දී දක්ෂතම සහය නළුවාට හිමි ජනාධිපති සම්මානය හිමි වුයේ ජේ.එච්.ජයවර්ධන රඟ පෑ මේ ලොකු හාමුදුරුවන්ගේ චරිතටයමය.

‘අධිෂ්ඨාන’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ සතිස්චන්ද්‍ර එදිරිසිංහ ජේ.එච්. ට ලැබුණු සම්මාන දෙක ගැන අදත් ආඩම්බරයෙන් කතා කරයි.

‘අධිෂ්ඨාන චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන විට මම ‘සැඩොල් කඳුළු’ හා ‘හරි මඟ’ චිත්‍රපටවල හිස මුඩු කොට භික්ෂූන් වහන්සේගේ චරිත රඟපාල තිබුණා. අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතය රඟපෑමට කැමති වුණේ නෑ. මෙහි එන නායක භික්ෂූන් වහන්සේ ගේ මට බර වැඩියි කියලා මම හිතුවා. පණ්ඩිත බව, ගම්භීර බව, කටහඬ, බුද්ධිමත් යන මේ ගුණාංග වලින් පිරුණු බුද්ධාගම අතැඹුලක් සේ දැන සිටින බව චරිතයෙන් මනා ලෙස නිරූපණය කළ හැකි එකම නළුවා ජේ.එච්. බව තීරණය කළා. මේ චරිතයේ දී ඔහු නිතර සජ්ඣායනා කරන ගාථා තෝරා ගැනීමේ නිදහස මම දුන්නා. මම ජේ.එච්. ව මේ චරිතයට තෝරාගන්න ගියාම මුලින්ම අකමැති වුණා.

‘සතිස් ඕකට හොඳ නැද්ද අඩි පුඩි ගහණ, සිගරැට් බොන මට වඩා නිර්මාශ, අඩි පුඩි , සිගරට් නොබොන ධර්මදාස කුරුප්පු වගේ කෙනෙක් ගත්තොත්’ කියලා.

පසුව මගේ කැමැත්තට එකඟ වූ ජේ.එච්. ව මම පැල්මඩුල්ලේ පන්සලට ගෙන ගිහින් නායක හැමුදුරුවන්ට කියලා භික්ෂූන් වහන්සේ කෙනෙකුගේ වත් පිළිවෙත් ගැන අධ්‍යයනයක් ලබා දුන්නා. ඒ නායක හාමුදුරුවෝ ශ්‍රී පාද විහාරස්ථානයේත් භාරකාරත්වය දැරුවා. උන් වහන්සේ ජේ.එච්.ට සිවුර අඳින හැටි, වත් පිළිවෙත් කරන හැටි කරුණාවෙන් කියලා දුන්නා. පස්සේ ජේ.එච්. තමා පදිංචිව සිටින කඳානේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙනුත් උපදෙස් ගත්තා. ‘ අධිෂ්ඨාන චිත්‍රපටය ජර්මනියේ මෑන්හයිම් අන්තර් ජාතික සම්මාන උලෙළේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ අවස්ථාවේ ජේ.එච්.ගේ රඟපෑම ගැන විචාකරයන් අගය කළා.

චිත්‍රපට නළුවෙකු ලෙස ඔහු රඟ පෑ ‘හඳයා’හි, මාෂල් මුදලාලි, ‘හංස විලක්’ හි දේශනාකාරයා ‘දඩයමේ’ බොරු විවාහ රෙජිස්ට්‍රාර්, සහ ‘අයෝමා’ හී බොරු චීවරධාරියා, චරිත කැපී පෙනෙයි. මීට අමතරව ඔහු ‘ලක්සෙට කොඩිය’ සොල්දාදු උන්නැහේ,’ ‘පියා සහ දරුවෝ’ (වාර්තා චිත්‍රපයකි) තුන්වැනි යාමය, සති පූජා, මොනරතැන්න,සුද්දිලාගේ කතාව, මල්දෙණියේ සිමියෝන්, සත්‍යග්‍රහණය, කැඩපතක ඡායා, පාලම යට, සප්ත කන්‍යා, ජුරිය මමයි, මී හරකා, සෙයිලම, බව දුක, බව කර්ම, චිත්‍රපට වල ද ඊඩඥ ඉනධධඬඥපඵ, ඵඩචඤධඹ ධට බඩඥ ජධඡපච චිත්‍රපටවල ද රඟපෑවේය.

ජේ.එච්. වේදිකාවේ ද ප්‍රබල චරිත රඟ පා ඇත. ‘කැලණි පාලම හී මැම්බර් මහත්තයා, චරිතය කෙසේ අමතක කරමු ද? හිරු තනි ලොව,ඉඩම, මකරාක්ෂයා ඔහු රඟ පෑ සෙසු වේදිකා නාට්‍ය අතර ප්‍රබලය.

ඔහුගේ ප්‍රියතම වාහනය වී ඇත්තේ ඕඉඒ වර්ගයේ මෝටර් බයිසිකලයයි. එම්.ජේ.පෙරේරා මහතා ගුවන් විදුලියේ සිටිය දී ඔහුට කාර් එකක් ගැනීමට ණයක් ලබා දුන්නේය. එයින් පරණ බග් ෆියට් කාර් එකක් මිල දී ගත්තත් ඊට වඩා මෝටර් බයිසිකලයට ඔහු ආදරය කළේය.

ජීවිතයේ අවසාන භාගයේ ඔහු ඇස් අන්ධව සිටියේය. 2019 අපේ‍්‍රල් 01 වෙනිදා ඔහු මිය ගියේ 90 වැනි වියේ සිටියදීය.

ජේ.එච්.ගේ ළබැඳි මිතුරෙකු වූ කරුණාරත්න අමරසිංහයන් මට කීවේ -’ජේ.එච්. යනු බහුශ්‍රැත, බොහෝ ඇසූ පිරූ තැන් ඇති කලාකරුවෙක් බවය. ඔහු හැම විට මා ඔහුගේ ඕනෑම ප්‍රශ්නයකට විසඳුමක් ලබා දී විනෝදකාමී ලෙස ජීවත් වූ සරල මිනිහෙක් ලෙසිනි.. ඉංගී‍්‍රසි හා සිංහල උගතෙකු වූ ඔහු වයසට ගියත් තරුණයකු සේ විමෝදකාමීව සිටි රසවතෙක් බවය. ‘කරු උඹ මගේ ගෝලයෙක් කියලා මට ආඩම්බරයෙන් හඳුන්වල දෙන්න පුළුවන්’ කියලා මට නිතරම කීවා. මීට වඩා සහතිකයක් මට කොයින් ද?’ අමරසිංහයෝ පැවසූහ.