58‘ මහ ගංවතුරට නළු නිළියන් ආධාර එකතු කළ හැටි

නොවැම්බර් 4, 2021

එකදාස් නවසිය පණස් අට වසර ලබා තිබුණේ ලංකාවේ කිසිම කලෙක නොවූ විරූ අන්දමේ මහ ජල ගැල්මකට අසු වීමෙන් ජනතාව අනාථ වීමෙනි. තම සහෝදර සහෝදරියන් වෙනුවෙන් ආධාර ලබා දීමට ලාංකීක නළු නිළියන්, රැගත් නිෂ්පාදකයින්, සිනමා පුවත් පත් කලාවේදීන් එක් වී මුළු කොළඹ සිසාරා සිඟයාවේ පුවතක් එකල (1958) ප්‍රධාන සිනමා සඟරාවක් වූ ‘චලන චිත්‍ර‘ මේ සඳහා පුරෝගාමී වී ඇත. ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය වූ ‘කඩුවුණු පොරොන්දුව‘ නිෂ්පාදනය කළ එස්.එම්. නායගම්ට අයිති ‘චලන චිත්‍ර‘ සිනමා සඟරාවේ සංස්කාරකව සිටි මාතර කේ.ජී.එම්.සමරවීර මේ ගංවතුර ආධාර ලබා ගැනීමේ ව්‍යාපාරය සංවිධානය කර තිබුණි.

ඒ අතර ‘චලන චිත්‍ර ගංවතුර අනාථාධාර අරමුදලක් ද එම සඟරාව අරඹා තිබුණි. එහි මෙසේ සඳහන්ව තිබුණි.

‘චලන චිත්‍ර‘ ගංවතුර අනාථාධාර අරමුදල ඇරඹේ.

දයාබර චලන චිත්‍ර පාඨකයිනි, ලංකා මාතාවගේ දූ පුතුන් ලක්ෂ ගණන් අනාථ භාවයට පත් කරමින් මහ සයුර ගලන්නාක් මෙන් දෙගොඩ තලා ගැලූ මහ ජලගැල්ම ගැන ඔබ දන්නවා ඇති. පුවත්පත් හා ගුවන් විදුලි මගින් ඒ ඛේදවාචකය රට පුරා පතළ වූ මොහොතේ සිට ජල ගැල්මෙන් විපතට පත් වූවන් සඳහා වහාම අරමුදලක් අරඹන ලෙස අපෙන් ඉල්ලා සිටි අතර මෙරට චිත්‍රපටි නිෂ්පාදකයින් මෙන්ම නළු නිළියන් ද වූහ. එමෙන්ම මේ අදහසට අප වෙත ඉදිරිපත් කළ අපේ ඒජන්ත මහතුන් හා අපේ පාඨකයින්ට ද අපේ කෘතඥතාව හිමි වේ. ආධාර එවන භවතුන්ගේ නම ලබන පත්‍රයේ පළ වේ. සියලුම මුදල් එවන විට කූපනය පුරවා එවන විට කුපනය ද පුරවා අප වෙත එවන්න. චලන චිත්‍ර කළමනාකරු සුන්දර චිත්‍රාගාරය කඳන.

ගංවතුර ආධාර මුදල ඒවා තිබුණේ ‘චලන චිත්‍ර‘ පාඨකයකු වු වැලිගම ගුරුබැවිල පී.ඩී.මාලිස් සිල්වාය. මුදල රුපියල් 16යි. ශත 50කි. එදා එයා ලොකු මුදලකි. අනිත් පාඨකයින් රුපියල් 2.50, 2.00, 1.00, ශත 50 ශත 25 බැගින් ඒවා තිබුණි. ඒ අතර ජනප්‍රිය නළු නිළියන්, කාර්මික ශිල්පීහු ද වූහ.

1958 ජනවාරි 15 වෙනිදා ‘චලන චිත්‍ර‘ චිත්‍රපටි සඟරාවේ කවරය සැරසී තිබුණේ චිත්‍රපට නිෂ්පාදක නායගම් රථයක නැගී තමා නිෂ්පාදනය කළ චිත්‍රපටවල රඟ පෑ අය සමඟ ආධාර එකතු කරන විශාල ඡායාරූපයකින්. එහි ප්‍රධාන ශිර්ෂපාඨය වූයේ ‘නළු නිළියන් මහමඟ සිඟයති‘ යන්නය.

ගංවතුරෙන් අනාථ වූවන් සඳහා ආධාර ලබා ගැනීමට මුළු කොළඹ නගරය පුරා හිඟමනේ යෙදුණ චිත්‍රපට නිෂ්පාදකයින් ඇතුළු නළු නිළි පෙරහැර ගමන් ගත් ඡායාරූප එම පත්‍රයේ පළ ව තිබිණි. එම සඟරාවේ ‘ජාතිය වෙනුවෙන් හිඟමනේ ගිය සිංහල නළු නිළි පරපුර‘ නම් ලිපියක් එවකට ‘ලංකාදීප‘ කර්තා මණ්ඩලයේ ධර්ම ශ්‍රී කල්දේරා (පසුව චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි. කතා හා දෙබස් රචකයෙකි) විසින් ලියා තිබුණි. එය ආරම්භ කොට තිබුණේ මෙසේය.

‘ලංකාවේ කිසිම කාලක නොවූ විරූ අන්දමේ මහාජල ගැල්මකට අසු වී ජාතික විපතකට මුහුණ පා සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සුගතිය පිණිස උදාරතර ජාතික ව්‍යාපාරයකට සහයෝගය දක්වමින් ගංවතුර අනාථාධාර මුදල තර කිරීම සඳහා සුප්‍රකට චිත්‍රපටි නළු නිළි පරපුර මහ මඟට බැස ජාතිය වෙනුවෙන් හිඟමනේ ගිය අවස්ථාවක් මට පෙර කිසි දිනෙක දක්නට ලැබී නැත.

උසස් පෙළේ චිත්‍රපටි නළු නිළියන්, අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකයින් ගුවන් විදුලි ශිල්පීන්, සංගීත ශිල්පීන් ආදී චිත්‍රපට කර්මාන්තයේ යෙදී සිටින නොයෙක් තරාතිරම් කලාකරුවන් කිසිම ජාති භේදයක්, ආගම් භේදයක්, පුද්ගලික එදිරිවාදීකමක්, අමනාපයක් නොතකා එක් සිත්ව, එක්සත්ව හුදු ජාතියක් ඉටු කිරීමේ පරම පවිත්‍ර පරමාර්ථයෙන් වීදියක් වීදියක් පාසා, ගෙයක්, ගෙයක් කඩයක්, පිලක්, පාසා යමින් අනාථයන් වෙනුවෙන් ආධාර එකතු කිරීමට ඔවුන් දැක් වු වෙහෙස එම ලියුම්කරු විස්තර කර තිබුණි.

කිසිම මහන්තත්වයකින් හෝ පැකිළීමකින් තොරව ජාතිය වෙනුවෙන් ජනතාව අතර ගිය නළු නිළියන් අතර රැස්ව සිටි කොයි කාගේත් සැලකිල්ලට ලක් වී ඇත්තේ සිය සැමියා වන එඩී ජයමාන්න සමඟ මහ මඟට බැස ජාතිය වෙනුවෙන් මුදල් සම්මාදමේ ගිය රුක්මණී දේවියයි. මේ පිරිසට අයත් වූ ක්ලැරිස් ද සිල්වා, ලීනා ද සිල්වා, මේබල් බ්ලයින්, දිස්නා රංජනී, උදුලා දාබරේ. රත්නා රණසිංහ, සේනාධීර කුරුප්පු, පිටිපන සිල්වා, එඩී යාපා, ධර්ම ශ්‍රී රණතුංග,ආනන්ද වීරකෝන්, හර්බට් එම්. සෙනෙවිරත්න, ඔස්ටින් අබේසේකර, ශාන්ති අබේසේකර, ලැඩී රණසිංහ, ඇල්ප්‍රඩ් එදිරිමාන්න, චාල්ස් පෙරේරා, රිචඩ් ඇල්බට් යන නළු නිළියන් ද පී.එල්.ඒ. සෝමපාල, චිත්‍රා මොහිදීන් බෙග්, ආර්.ඒ චන්ද්‍රසේන යන ගායක ගායිකාවන් ද, ප්‍රේමනාත් මෙරායස්, ග්‍රොඩෆි විල්ලේ, මාටින් පෙරේරා (ස්ඩිටිල් මාටින්) අය ගැන ද ලිපියේ සඳහන්ව තිබුණි.

‘චිත්‍රපට නිෂ්පාදනයේ යෙදී සිටින අධ්‍යක්ෂවරුවන් වන බී.ඒ. ඩබ්ලිව්.ජයමාන්න, එස්, එම්. නායගම්, ශාන්ති කුමාර් සෙනෙවිරත්න, ඒ.එස්. නාගරාජන් යන මහතුන් ද මේ ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වෙමින් දුන් දිරිය පැසසුම් කටයුතුය. ධර්ම ශ්‍රී කල්දේරා ස්තුති පූර්කව සඳහන් කර තිබුණි.

කඳානේ ශ්‍රී මුරුගන් නවකලා චිත්‍රපටි සමාගම, කිරිබත්ගොඩ නව ජීවන චිත්‍රපට සමාගම, සිලෝන් ස්ටුඩියොස් සමාගම, සිනමාස් සමාගම මඟින් සපනය ලද වෑන් රථවල සහ වෙනත් පුද්ගලික රථවල නැගී මේ කලාකරුවන් පාර්ලිමේන්තුව අසළින් ගමනාරම්භ කොට රථ පෙරහරින් කොටුව, පිටකොටුව, මරදාන, ඩාර්ලි පාර, ඇස්වාට්ටුව හන්දිය බොරැල්ල, දෙමටගොඩ දක්වා ගිය අතර ඒ ඒ ස්ථානවල දී රැස් වු දහස් ගණනන් ජනකාය මේ පිරිසගේ ජාතික සේවය පසසමින් අත්පොළසන් දී, මල්වර හඬ නංවා සම්මාදන් දුන් බව එම ලිපියේ සඳහන් වෙයි.

‘ජල ගැල්මෙන් අනාථ වී සිටින්නන්ට අද ඉන්නට තැනක් නැහැ. අඳීන්න වස්ත්‍රයක් නෑ. අතේ මුදලාලි මහත්තයෝ මේ දුක ගැන හිතලා කරුණාකර හැකි පමණි ආධාර කරන්නයි‘ ක්ලැරිස් ද සිල්වා හා ලීනා ද සිල්වා පිටකොටුවේ රෙදි සාප්පුවකට ගොඩ වැදී එහි අයිතිකරුට බැගෑපත් ලෙස කී විට අයිතිකරු රෙදි කච්චියක් ක්ලැරිස්ට හා ලීනාට ද දී ඇත.

‘අපි මේ අව්වේ වේලී වේලී දුක් විඳීන්නේ අපේ ජනතාව නිසා.‘ ලීනා කියා ඇත.

ඇගේ ඉල්ලීමට ලය උණුව මහජනයා වැඩි වැඩියෙන් මුදල් දුන්නේය.

සේනාධීර කුරුප්පු හා ධර්ම ශ්‍රී රණතුංග මහජනයා ඉදිරියට ගොස් ඇත්තේ ඇඬු කඳුලෙන් බව ද එය අතිශයින් ඵල දරා දෝත පුරා ජනතාව ආධාර දුන් බව ද එම ලිපියේ සඳහන්ව තිබිණ.

ධර්ම ශ්‍රී කල්දේරා මේ සිද්ධි කෙටි කතාවක ආකාරයෙන් පෙළ ගස්වා තිබුණේ මෙසේය.

ෂර්ලි බ්ලයින් හා මේබල් බ්ලයින් අක්ක නගෝ දෙදෙනා මහජනයාට දැන් ඔසවා වඳීමින් සම්මා කැට පුරවන ලෙස කන්නලව් කර සිටියහ.

‘අර බලන්න! රුක්මණී දේවි! ඒත් මවක් සිය සම්මාදම් පෙරහැර ගිය රුක්මණී පෙන්නුවාය.

‘අනේ අම්මේ අර ඩාදිය පෙරාගෙන ඉන්නේ අසහාය නිළිය රුක්මණී දැයි ඇසූ දියණිය මවිතය පළ කළාය.

‘අන්න! ලීනා! අන්න ක්ලැරිස්! මෙන්න සූරයා! මෙන්න සූරයා! මෙන්න ෆෝෆ්‍රෝටිවන්! ආදී වශයෙන් නළු නිළියන් දැකගත් මහජනයා ගෙන් නැගුණු ඝෝෂා බොහෝය. මහ දෙපස රැස්ව සිටි මහජනයා විසින් රථ වාහන වටකර ගැනීම නිසා බොරැල්ල හන්දියේ සිට බේස්ලයින් පාර ඔස්සේ සම්මාදම් පෙරහැර ගමන් ගත්තේ මහත් අසීරුවෙනි.

දෙමටගොඩ මංසන්ධිය එකම හිස් ගොඩක් වී තිබුණි. සම්මාදම් පෙරහැර එහි ළඟා වූ විගය සිව් දෙසින් දුව ආ මහ ජනකාය රථ වාහන වට කර ගත්හ. ඇඳීරි වැටෙනතුරුත් එතැනින් නික්ම යාමට ඉඩ සලසා දුන්නේ ඒ පිරිස නම් නොවේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අඳුරේ තවත් ඉදිරියට යාගත නොහැකි වී පෙරහැර යාගත නොහැකි වී පෙරහැර අතරමඟ දී නතර කිරීමට සිදුවිය.‘

මීට වසර හැට ගණනකට එපිට 1958 ජනවාරි මාසයේ මහ ගංවතුරින් සිදු වූ විපතට එකල නළු නිළියන් තම දායකත්වය දුන් අයුරුය. ඒ. ධර්ම ශ්‍රී කල්දේරා විසින් ලියන ලද එම ලිපියෙන් ස්වකීය ප්‍රයන්තය සිතූ පරිදි සාර්ථක වුවත් නොවුවත් එක දිනකටවත් ජාතිය වෙනුවෙන් මහ මඟට බැස හිඟමනේ ගිය මේ චිත්‍රපටි නළු නිළි පරපුරේ උදාරතර ජාතික සේවය එදා සිටි හැම පුරවැසියෙකුගේ ම හද පත්ලේ අමරණීයව රැඳී පවතිනු ඇත යැයි දැක්වේ.

‘චලන චිත්‍ර‘ සිනමා සඟරාව 1954 දී සෝමපාල රණවීර සංස්කරණයෙන් ආරම්භ විය. ඔහු සහ සඟරාවේ අයිතිකරු චිත්‍රපට නිෂ්පාදක එස්.එම්.නායගම් අතර වූ මතභේදය නිසා එම සඟරාව 1957 වසරේ කේ.ජි.එම්. සමරවීර විසින් සංස්කරණය කරන ලදි. සෝමපාලයන් ‘ලංකා චලන චිත්‍ර‘ නමින් ඇරඹු ඒ සඟරාව හැඳීන් වුයේ ‘සිංහලයකුට අයිති එකම පත්‍රය‘ලෙසය. ‘චලන චිත්‍ර‘ හා ‘ලංකා චලන චිත්‍ර‘ සඟරා අතර පැවතියේ සීතල යුද්ධයකි. එය අපහාස උපහාස මට්ටමට ගිය අවස්ථාව ද නැතිවා නොවේ. කෙසේ වෙතත් ‘58 මහ ගංවතුරේ දී නළු නිළියන් සම්මාදන් ගිය අවස්ථාවේ ‘ලංකා චලන චිත්‍ර‘ සඟරාව ද එය සත්භාවයෙන් අනුග්‍රහ දැක් වූ බවට තොරතුරු වර්තා වේ.

1958 ජනවාරි 15 වන බදාදා (අග දෙසතිය / 1= 17) ‘ලංකා චලන චිත්‍ර‘ සඟරාවේ මුල්පිටුවේ එඩී ජයමාන්න ක්ලැරිස් ද සිල්වා, රුක්මණී දේවි, දිස්නා රංජනී, මේබල් බ්ලයින් කැට අරගෙන මෝටර් රථයක යන සමීප රූපයක් පළ වී තිබුණි. එහි ශීර්ෂ පාඨය මෙසේය.

‘නළු - නිළියන් මහ මඟ සිඟිති

ඇඩී - ක්ලැරිස් - රුක්මණී - දිසනා - ෂර්ලි පොදු - ජනයා සමඟ

මේ අනුව කලාකරුවන්, කාර්මික ශිල්පීන් සිනමා සංස්කාරකවරුන් තරහ මතභේද ඉවත ලා මෙසේ එක්වීම.අපට කොතරම් සතුටක් ද?