හයසින්ත් මතක සතිස්චන්ද්‍ර ඇසින්

ඔක්තෝබර් 28, 2021

 

 

හයසින්ත් විජේරත්න දයාබර රංගන ශිල්පිනිය අප අතරින් වෙන්ව තෙමසක් ගතවන මෙහොතේ ඇගේ ගුණ සුවඳ මෙනෙහි කරමින් කෘතවේදී සටහනක් තැබීම අපගේ යුතුකමයි.

 

දස වසරක් ලබන වකුගඩු සංගමයේ ප්‍රකාශනයක් වන වකුගඩුව පුවත්පතෙහි මීට ඉහතදී ඇය ජීවමානව සිටිද්දී ඇගේ ගුණ යහපත්කම් ගැන ලිපි පළ කර ඇත. අද විශේෂ පිටුවකින් ඇයට උත්තමාචාරය පිරිනමමි. අප මෙසේ ඇයගේ ගුණ ගයන්නේ මන්ද? මෙතුමිය අප සංගමයට සම්බන්ධ වන්නේ මාගේ ආරාධනයෙනි. එපමණක් නොව පුළුල් තිරයේත් පුංචි තිරයේත් වැඩි වාර ගණනක් බිරිඳ ලෙසින් හයසින්ත් නැඟණිය මා සමඟින් චරිත නිරූපණය කළාය. අප අතර පැවැති සහෝදරත්වය අති උතුම් එකක් විය. එමෙන්ම ඇය මාගේ බිරිඳ ශි‍්‍රයාගේ කලණ මිතුරියක් ද වූවාය.

තමා සමඟ සිටින අය සමඟ ඉතා සුහදශීලිව හා ළෙන්ගතුව පිළිසඳරේ යෙදුණ මේ යහපත් කාන්තාව අන්‍යයන්ගේ අවශ්‍යතාවයන් හඳුනා ගෙන තම යුතුකම් ඉටු කිරීමට දෙවරක් හිතුවේ නැත. 'මා පමණක් සිනාසිසී සිටියාට වැඩක් නැත. අනිත් අයත් සතුටින් කල් ගත කළ යුතුය' යන පරාර්ථකාමී උතුම් ගුණාංගය ඇය මත දිදුලන ස්වර්ණාභරණයක් බඳුය. ඒ නිසාම මෙතුමිය මානව හිතවාදී කලා ශිල්පිනියක් ලෙසින් හැඳීන්වීමට මා පැකිළෙන්නේ නැත. මෙතුමිය අද අප අතර නොමැති නිසා ඇයගේ හිඩැස අපට වැඩියෙන් දැනෙයි. ඒ හිඩැස පිරවීමට වත්මන් සමාජයෙන් වෙනත් අයෙක් සොයාගැනීමට උත්සුක වීම කළුනික සොයන්නා සේ දුෂ්කර ක‍්‍රියාවක් වැනි යැයි මම සිතමි.

මෙතුමිය හැම විටම හොඳ දේ ගැන සිතුවාය. හොඳ දේ ගැන පමණක් කතා කළාය. හොඳ දේ කිරීමට ප්‍රමුඛත්වය දුන්නාය. වකුගඩු සංගමයේ අසරණ රෝගීන්ගේ යහපත වෙනුවෙන් ඇය තම ධනය පරිත්‍යාග කළේ ඉමහත් සතුටිනි.

සංගමයේ අරමුදල් තර කිරීමට අන් කලා ශිල්පීන් හා ශිල්පිනියන් සමඟ ‘වකුගඩුව’පුවත්පත අලෙවි කිරීමට පෙරමුණ ගත්තේ අභිරුචියකිනි. ප්‍රතිපත්ති ගරුක කිතුනු බැතිමතිනියක් වූ හයසින්ත් විජේරත්න මහත්මිය අප සමඟ බෞද්ධ ආගමික කටයුතුවලටද හැකිළීමකින් තොරව සතුටින් අත්වැල් බැඳගත්තාය. ජීවිතය යනු උපත හා විපත අතර කාල පරාසයකි. එම කාලය අර්ථවත්ව ගත කළ යුතුය යන අදහස ඇය තුළ තැන්පත්ව තිබුණු විශේෂ ලක්ෂණයකි.

මෙතුමිය පවුලේ සහෝදර සහෝදරියන්ට යුතුකම් ඉටු කළ දයාබර සහෝදරියක්, ස්වකීය ස්වාමීපුරුෂයාට ආදරණීය බිරිඳක්, තම එකම පුතුට සෙනෙහෙවන්ත මවක්, තම ලේළියට ලෙන්ගතු මවක් වැනි නැන්දනියක්, මුණුපුරාට සහ මිණිබිරියට ආදරණීය ආච්චි අම්මා කෙනෙක්, මිතුරු මිතුරියන්ට කලණ මිතුරියක්, සහෝදර කලා ශිල්පීන්ට සහ ශිල්පිනියන්ට හිතැති හිතවතියක් සහ අසරණයන්ට පිහිටවන යහපත් සමාජ සේවිකාවක් යන ඥාති මිත‍්‍ර භූමිකාවල යුතුකම් අකුරටම ඉටු කිරීමට තරම් කාරුණික වූවාය. ප්‍රවීණ රංගන ශිල්පිනියක ලෙසින් තමාට පිළිබිඹු කිරීමට නියමිත වූ චරිතය ආනන්දනීය අයුරින් නිරූපණය කළ නිසා සම්මානයටද පාත්‍ර වූවාය. “පුංචි තිරයේ ආදරණීය අම්මා” යන විරුදාවලිය ලත් මෙතුමිය සාමාන්‍ය සාමාජයේත් දයාබර මාතාව යන නම දිනා ගැනිමට සමත් විය. ඇගේ ගුණ සුවඳීන් අප හදවත් පිරී ඇත්තේ ඒ නිසාය. නිරන්තරව නිර්ව්‍යාජ සිනහවකින් මුව සරසා ගෙන සිටීම සාමාන්‍ය ලක්ෂණයක් විය.

හදවතේ පිරී තිබුණේ කරුණාව හා දයාවයි. දෑතේ වූයේ දන් දීමේ ගුණයයි. ඊර්ෂ්‍යාව, කපටිකම, අන්‍යයන්ට චෝදනා කිරීම්, පළිගැනීම්, රිදවීම් හා අපහාස කිරීම් ඇය සතුව පැවතියේ නැත. එමෙන්ම ඇය කාන්තිමත් කාන්තාවක් හා ජනපි‍්‍රය කලාශිල්පිනියක් ලෙසින් හඳුන්වමි. මනුස්සකම නැමැති කිරුළින් ඇයගේ හිස සැරසී තිබුණි. ‘වකුගඩුව’පුවත්පතක් ලබා ගැනීමටත්, ඇය සමඟ ඡායාරූපයක් ලබා ගැනීමටත් රසික රසිකාවන් කැලණි විහාර පරිශ්‍රයේදී රොද බැඳගත් අයුරු දැනුදු අපට මැවී පෙනෙන්නේය. ආදරය හා ගෞරවය යන කරුණු දෙකින්ම රසික රසිකාවන් ශිල්පිනියක වැලඳ ගැනීම දුර්ලභය. එසේ වන්නට තමා ශිල්පියාගේ හෝ ශිල්පිනියගේ හදවත් හඳුනාගත යුතුය. හැම මලක්ම ලස්සනයි. හැබැයි හැම මලක්ම සුවඳ නැත. එසේම මනුස්සකම නැමැති ගුණ සුවඳ හැම කෙනෙකුගෙන්ම ලැබෙන්නේ නැත. මිනිසාගේ වටිනාකම ඇත්තේ ධන බලයේ නිලබලයේ හෝ රූපයේ හෝ නොව අවංක කරුණාවන්තකම තුළ බව සනාථ කළ චරිතයක් ලෙසින් හයසින්ත් විජේරත්න මානව හිතවාදිනිය හැඳීන්වීමට කැමත්තෙමි.

මිනිස් මනස, කිලේශයන් තැන්පත් කරන ගබඩාවක් නොවේ. එය ආදරය, කරුණාව, පරිත්‍යාගය සතුට යන සුන්දර මතකයන් ගබඩා කර තබන ස්වර්ණමය මංජුසාවකි. හයසින්ත් ශිල්පිනිය සතුටින් ජීවත් වූ නිසා ඇගේ අනුග්‍රහය ලත් වකුගඩු රෝගිහු ද සතුටට පත්වූහ.

බහ තෝරන කාලයේම හයසින්ත් විජේරත්න නම් වූ අප ආදරණීය ශිල්පිනිය තමා සතු කරගත් සියලු සම්පත් මරණය සමඟ ඇයට අහිමි විය. එහෙත් ඇය අන්‍යයන් වෙනුවෙන් කරන ලද පරිත්‍යාග හා කැපවීම් ඇගේ නාමයත් සමඟ රැඳී තිබේ. නිසි කල්ගත වී නටුවෙන් වැටීමට තිබුණ ලස්සන සුවඳ හැමූ මලක් හිරුගේ කර්කශ රශ්මිය නිසා අකලට මිලින වූවා සේය. එහෙත් ඒ ගුණ සුවඳ අප දිවි තිබෙන තුරා මැකීයන්නේ නැත. මිනිසුන්ට කිරීමට ඇත්තේ එකම වැඩකි. ඒ මිනිසුන්ට සේවය කිරීමයි. එම අගනා සේවය කලා ශිල්පිනියක් ලෙසන් ඇය ඉටු කළාය. ඇගේ මේ උතුම් ගුණාංගයන් අන්‍යයන්ටද ආදර්ශයක් වේවායි යන්න මාගේ පැතුමයි.

දයාබර හයසින්ත් විජේරත්න මාතාවනි! ඔබ ඇදහූ දහමට අනුව මොක්සුව ලැබේවායි යන්න, විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා ප්‍රධාන සමස්ත ලංකා වකුගඩු රෝගින්ගේ සංගමය වෙනුවෙන් මම ප‍‍්‍රාර්ථනා කරමි.