රණවිරු මාතා නුඹයි සුජාතා

සුජාතාට අමරණීය උපන්දින තෑග්ගක්
ඔක්තෝබර් 7, 2021

 

ඈ අපේ රටේ ගීත ක්ෂේත්‍රයේ මිහිරිම කටහඬ හිමි ගායිකාවකි. මේ මිහිරි හඬින් පුරා දශක ගණනාවක් ඈ අපේ රටේ ගීත ශ්‍රාවකයන් පිනවූවා. මේ ඒ ගීත ගැන කියන්නට කරනා උත්සාහයක් නොවේ. රටේ ශ්‍රාවකයන් හඬින් නැළවූවා සේම ඇගේ ආදරබර ඇකයේ නැළවුණු දයාබර පුතෙකු රට ජාතිය වෙනුවෙන් පරිත්‍යාග කළ ඇය අභිමානවත් රණවිරු මාතාවකි. ඇය සුජාතා අත්තනායක. ඈ ගැන කතා බහකට අපේ අවධානය යොමු වූයේ පසුගියදා අහන්නට ලැබුණු ඇය වෙනුවෙන් රචනා කරන ලද උපහාර ගීතය නිසාය.

 

රමණීය මිහිරි ගී නාදය ඔබගේ

මනහර වී සිතුවිලි හද සයුරේ

සවනට වැටුණොත් කෝකිල නාදේ

සුවහසක් දනමන ගෙනේවි මිහිරි

ශූර වීර හෙළ විරුවකු බිහිකළ

රණවිරු මාතා - නුඹයි සුජාතා.....

 

සවන් කොනට මී බිඳු වැටුණාසේ

සිත් අහසට මල් වැහි වැටුණාසේ

පා කරවයි සිත රස සාගරයේ

නුඹයි වීණාව හෙළ සංගීතේ

ශුර වීර හෙළ විරුවකු බිහිකළ

රණවිරු මාතා - නුඹයි සුජාතා.....

 

කලා ලොවේ මං සලකුණු තබවා

හෙළ සිනමාවට රස ගී පුරවා

මධුර ගී හඬින් සිරිලක නළවා

නොමියෙන ඒ හඬ නුඹෙයි සුජාතා

ශුර වීර රණවිරුවකු බිහිකළ

රණවිරු මාතා - නුඹයි සුජාතා.......

 

 

මේ ගීතය පසුගිය අප්‍රේල් මාසයේ පැවැති ඇගේ ජන්ම දිනය නිමිති කොට ගෙන නිර්මාණය වූවක්. කලා ලොවේ ඇගේ මං සලකුණු මේ රටේ බහුතරයක් ගීත ශ්‍රාවකයන් හොඳීන් දන්නා කරුණක්. මේ ගීතයෙන් වැඩිදුරටත් ඉස්මතු කර ඇත්තේ ඇය මේ රටට ජාතියට අභිමානයක් ගෙන දුන් රට රකින්නට ජීවිතය පරිත්‍යාග කළ ශූර වීර පුතෙකුට ජන්මය දුන් මාතාව වීමයි.

මේ ගීතය රචනා කොට ඇත්තේ ගීත රචනා ක්ෂේත්‍රයේ නව මං සොයමින් පිබිදෙන ගීත රචකයෙකුයි. ඔහු දිනේෂ් විජේසිංහයි.

‘‘ මම මේ ගීතය රචනා කළේ සුජාතා අත්තනායක මහත්මියගේ උපන්දිනය නිමිතිකර ගෙනයි. මේ ගීතය රචනා කරලා ඇයට පෙන්වපුවාම ඇය ඉතාම සතුටට පත් වුණා. මම දන්නා හැටියට ඇය එහෙම එක පාරින් සතුටට පත් කරන්න පුළුවන් කෙනෙක් නොවේ. ඇයට තිබෙන අත්දැකීම් , දැනුම , පරිචය ආදිය සමඟ යම් නොගැළපීමක් තිබෙනවා නම් ඇය ඒ බව ඉතාම කාරුණිකව මුහුණටම ප්‍රකාශ කරන කෙනෙක්. එහෙත් මේ ගීතයෙදි මට ඇයගෙන් එවැනි ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. ඇය වඩාත්ම සතුටු වුණේ රණවිරු මාතාවක් වශයෙන් ඇය මේ ගීතය තුළ ඉස්මකු කර තිබීම නිසයි. සුජාතා මහත්මියට මේ රටේ ගීත ශ්‍රාවකයන්ගේ ගෞරවය සේම ලැබිය යුතු සියලු සම්මානයන්ද ඇය ලබා තිබෙනවා. එහෙත් දැන් ඇයට හිමි උසස්ම සම්මානය ලෙසින් ඇය සලකන්නේ රණවිරු පුතෙකුගේ ආදරණීය මවක වීමයි. අපේ රටේ කලා කෙත අස්වද්දන්නට ඇයගෙන් ලැබුණු දායකත්වය අපමණයි. මේ රටේ සිනමා ගීතාවලිය ඇගේ මේ මිහිරි හඬින් කොයිතරම් නම් ගීතවත් වෙලා තිබෙනවද?

මම ඇයව පෞද්ගලිකව හඳුන්වන්නේ ‘ නාදේශ්වරී‘ කියලා. කොහොම වුණත් මම වැනි ගීත රචනා ක්ෂේත්‍රයට අලුතින් එකතු වුණු නව පද රචකයෙකුගේ ගීතයකට ඇය කැමැති වුණා කියන එකම මට සම්මානයක් ලැබුණා හා සමානයි. ඇය ගැන මගේ හිතේ විශාල ගෞරවයක් , ආදරයක් තිබෙනවා. ඈ වැනි කාන්තාවක් ජීවත් වෙලා ඉන්දැද්දි මේ වගේ අගය කරන්නට ලැබීම ගැන මම සතුටු වෙනවා.‘‘

දිනේෂ්ගේ කලා ජීවිතය ඇරඹෙන්නේ කුඩා අවදියේ සිට යැයි මට හැඟුණේ ඔහුගේ මව්පියන්ද සාහිත්‍යයට කලාවට ප්‍රිය කරනවුන් බව දැන ගැනීමෙන් පසුවය. මේ උනන්දුව තව දුරටත් ඔහු තුළ වර්ධනය වන්නට හා ඔප මට්ටම් කර ගන්නට ඔහුට හේතුවක් වූයේ සංගීතය හදාරන සිසුවෙකු ලෙසට ඔහු විශාරද චන්ද්‍රිකා සිරිවර්ධනගේ සෙවණේ ශිල්ප ලබන්නට පැමිණීමෙන් පසුවය. දිනේෂ් ගීත රචනා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ද උපහාර ගීතයක් රචනා කිරීමෙනි. ඒ ආචාර්ය මාලිනී ෆොන්සේකා ගේ සිනමා දිවියට 50 වසරක් සපිරීම වෙනුවෙන් ‘ රන් රුවක්දෝ මා දුටුවේ‘ නම් මාලිනී ෆොන්සේකා උපහාර ගීතය රචනා කිරීමෙනි. ඉන් පසුව ඔහු ගීත කෝකිලාව ලතා වල්පොල වෙනුවෙන් ‘ කෝකිල නාදෙන් සිරිලක නැළවූ‘‘ නම් ගීතය රචනා කළේය. නර්තනාචාර්ය චන්න විජේවර්ධන වෙනුවෙන් ‘ තාත්වික අභිනය ඉඟි පා ‘ නම් ගීතයද විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන වෙනුවෙන් ‘ නිලුපුල් නයනින් කැලුම් විදා ‘ ගිතයද, විජේරත්න වරකාගොඩ වෙනුවෙන් ගීතයක්ද රචනා කළේය.

‘‘ ඇත්තටම සුජාතා අත්තනායක මහත්මිය වෙනුවෙන් ගීතයක් රචනා කරන්න ඕනෑ කියන අදහස මගේ ඔළුවට දැම්මේ විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියයි. සුජාතා මහත්මියව ඇයත් දේවත්වයෙන් අදහන කෙනෙක්. ඇගේ කටහඬ හරියට 'මී පැණි වක්කරන්නා වගේ කියලා අපි කියන, ඒ අදහසට සම කරන්න පුළුවන්. ඒ අනුව මම මේ ගීතය ලියලා විශාරද ජගත් වික්‍රමසිංහට දුන්නා සංගීතය නිර්මාණය කර ගන්න. සුජාතා මහත්මියම තමයි කිව්වේ චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියවත් මේ ගීතය ගායනා කරන්න ලැස්ති කර ගන්න කියලා ‘‘

දිනේෂ් ගිත රචනා කලාවට පැමිණෙන්නේ කිසියම් අධ්‍යයනයකින් පසුවය. ඔහුගේ සිංහල ගුරුවරයා වන්නේ ජනප්‍රිය සිංහල දේශක උපුල් ශාන්ත සන්නස්ගලය. ඔහුගේ ඇසුර ද බොහෝ විට නිර්මානකරණයට පිවිසෙන්නට බලපෑ බව දිනේෂ් විශ්වාස කරන්නේය. එසේම පසුව ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ උපාධියක්ද ලබා ගන්නේය. මේ සියල්ලත් සමඟ සංගීතය ඉගෙනීමෙන් රසභාවයන් උද්දිපනය විමෙන් හා නියම රසවින්දනයක් ලැබීමට හුරු වීමෙන් කලා කෙත අස්වැද්දීමේ හැකියාව ඔහුට පිහිටියේය.

දිනේෂ් වෘත්තියෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ මීගමුව ශාඛාවේ පාලන සම්බන්ධීකාරකයෙකු වශයෙන් කටයුතු කරන්නේය.

දිනේෂ් ගේ මේ ගීතය අසා සුජාතා අත්තනායක මහත්මියද සිය සතුට සහ ප්‍රසාදය පිරිනැමුවාය.

‘ මේ ගීතය රචනා කළේ චන්ද්‍රිකා සිරිවර්ධන ළඟින් සංගීතය හදාරන ළමයෙක්. ඔහු මට වචන ටික එව්වම මගේ හිතේ වැඩි කැමැත්තක් ඇති වුණේ ඒ ගීතයෙන් රණවිරු මාතාවක්ය කියන කාරණාව ඉස්මතු කර දැක්වීම නිසා. මගේ ජිවිතේ මට ලැබුණු ලොකුම සම්මානය තමයි මේ. අභීත රණවිරුවෙක් හදලා වඩලා දැයට තිලිණ කරලා රට වෙනුවෙන් දිවි දෙන්නට පරිත්‍යාග කරනවා කියන එක අද මට විශාල ආඩම්බරයක්. ඉතින් මලේ කලා ජීවිතේ වගේම මගේ පෞද්ගලික ජීවිතේ ‘ අම්මා‘ කියන සංකල්පය තුළ මම රණවිරු මාතාවක්. ඒකට මම කැමතියි.‘‘

නව ගී පද රචකයෙකු වශයෙන් දිනේෂ්ට තවත් යා යුතු දුර බොහෝය. ඒ දුර ගෙවා දමන්නට මේ ප්‍රවීණයන්ගෙන් ඔහුට ලැබෙන අත හිත සුවිශේෂීය. ඒ දුර යන්නට ඔහුට අපේ ආශීර්වාදයද නිබඳවම හිමි වන්නේය.

 

සේයාරූ - දයාන් විතාරණ