ජීවිතේ පී‍්‍රති සංචාරෙකි ලොවේ

ශාන්ති අබේසේකර සමුගනී
ඔක්තෝබර් 7, 2021

 

‘මඳ සීත නල රැල්ල දැගලිල පා
කැලඹිල්ල වී දසත විසිරී ගියා
සැනසිල්ල ඉතිරී දුක කැල්ම නැති වි
පෙම් ලෝකයේ සුවඳ විසිරී ගියා
ඔය බැල්ම දෙන කැල්ම සුර ගීත පා
සුරතල්ම බව පේන රහසක් කියා
සැනසිල්ල ඉතිරී දුක කැල්ම නැති වී
පෙම් ලෝකයේ සුවඳ විසිරී ගියා

 

මේ නොමියන යුග ගීතය ඇතුළත් වන්නේ ශාන්ති අබේසේකර අධ්‍යක්ෂණය කළ ‘වහල් දූපත‘ චිත්‍රපටයේය. සරත් සන්දනායක සහ දයා හේමන්ත අබේසේකර ගැයූ මේ ගීතය ගීත රචනය තිහාරියේ මානෙල් පෙරේරා ගෙනි. සංගීතය ආර්. මුත්තුසාමි ගෙනි.

මේ ගීතයත් සමඟම අපේ මතකයට එන්නේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක, සම නිෂ්පාදක, ප්‍රධාන නළු චරිතය රඟ පෑ ශාන්ති අබේසේකර ය. ඔහු වයස අවුරුදු 87ක් ආයුවලඳා පසුගිය සතියේ දිවි මඩලෙන් සමුගත්තේය. ශාන්ති සිනමාවට පිවිසෙන්නේ 1953 තිරගත වූ ‘පුදුම ලේළි’ චිත්‍රපටයේ සුළු චරිතයක් රඟපාමිනි.

‘ව්‍යාපාරිකයෙක් වීමට සිතූ මට සිනමා නළුවෙකු වීමට සිතුණේ ‘සුජාතා’ චිත්‍රපටයේ ප්‍රේම් ජයන්ත් ගේ රඟපෑම දැකලා. ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ පෑ ෆ්ලොරිඩා ජයලත් මා උපන් මාරවිල උපන් නිළියක්. මම සුජාතා දසවරක් පමණ බලලා ‘කවදා හෝ ප්‍රේම් ජයන්ත් කෙනෙකු වීමට සිහින මැව්වා. මම නළුවෙක් වෙන්න හිතාගෙන මාරවිල සිට කඳානේ සුන්දර චිත්‍රාගාරයට බස් එකෙන් ආවා. මට අවශ්‍යව තිබුණේ ඒ වන විට එහි රූප ගත කරන ‘පුදුම ලේළි’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ඒ.එස්.නාගරාජන් හමු වී රඟපෑමේ අවස්ථාවක් ලබාගන්න. ඔහු මට කිව්වා ‘ඔබ උත්සාහවන්ත තරුණයෙක්. දැන් ගිහිල්ලා චිත්‍රාගාරයේ රූපගත කරන චිත්‍රපටයේ නළු නිළියෝ රඟපානව බලා ගන්න’ කියලා. මම චිත්‍රාගාරයට යන විට ප්‍රේම් ජයන්ත්, ධර්ම ශ්‍රී රණතුංග සමඟ ළමා නිළියක් රඟපාන දර්ශනයක් රූ ගත වෙනවා. කුඩා නිළිය මර්ටල් ප්‍රනාන්දු. ඇය ප්‍රේම ජයන්ත්ගේ නහය මිරිකන දර්ශනය කීප වරක් රූ ගත කළා. කුඩා මර්ටල් පසුව ‘රේඛාව’ චිත්‍රපටයෙන් රඟ පෑවා. රඟපෑම් උනන්දුවෙන් සිනාමුසුව බලා සිටි මා අසලට පැමිණි අධ්‍යක්ෂකවරයා චිත්‍රපටයේ එන රෝහල් දර්ශනයක දොස්තර කෙනෙකුගේ කුඩා චරිතයක් රඟපෑමට දුන්නා. ශාන්ති තම අතීත කතාව වරක් මට කීවේය.

1934 මැයි 27 වෙනිදා කුරුණෑගල උපන් ශාන්ති මෙන්ඩිස් අබේසේකර හැදී වැඩුණේ හලාවත මාරවිලය. හලාවත ආනන්ද විද්‍යාලයේත්, මාදම්පේ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් ඉංග්‍රීසි හා සිංහල ජ්‍යෙෂ්ඨය දක්වා ඉගෙන ගත් ශාන්තිගේ හිත ගියේ සිනමා රඟපෑමත් චිත්‍රපටයක කාර්මික අංශය ගැන දැන ගැනීමටය. ‘පුදුම ලේළි’ තිරගත වීමෙන් පසු තව දුරටත් සිනමා නළුවකු වීම සිතූ ඔහු මාරවිලට ගොස් ෆ්ලෝරීඩා ජයලත් හමුවීමට සිතුවේය. ඔහු ගමේ තරුණයෙක් බව සිතා අත හිත දීමට සිතු ඇය මෙසේ කීවාය.

‘අපි මේ දවස්වල ‘සැඩසුළං’ කියලා චිත්‍රපටයක් කරනවා. එකේ අධ්‍යක්ෂක මිස්ටර් සෝමසේකරන්. මම එයාට කියලා අවස්ථාවක් ලබා දෙන්නම්.‘

ශාන්තිව දුටු සෝමසේකරන්, ෆ්ලෝරිඩාගේ රෙකමදාරුව නිසා චිත්‍රපටයේ එන ෆ්ලෝරිඩා රඟපෑමට බැඳෙන නාට්‍ය ආසනයේ අධ්‍යක්ෂවරයාගේ චරිතයට තෝරා ගත්තේය. ලතා මංගෙෂ්කර් හා මොහිදීන්බෙග් විසින් පසුබිම් ගී ගැයු නැටුම් දර්ශනවල ශාන්ති හා ෆ්ලෝරිඩා නැටුම් පෑ මේ ඒ ගීත දෙකයි.

‘ඉදිරියට යමු සැවොමා

නිදහස ලබනට බැමි සිඳලා’

ශ්‍රී ලංකා මාතා -

මා ප්‍රියාදර ජය භුමි

ජය භුමි - ජය භුමි ශ්‍රි ලංකා‘

ඉන්පසු සිරිසේන විමලවීර ගේ ‘සිරකරුවා‘ චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයක් රඟ පෑ ශාන්ති අබේසේකරට ජ්‍යෙතිෂ් සිං (‘කඩවුණු පොරොන්දුවේ‘ අධ්‍යක්ෂ) අධ්‍යක්ෂණය කළ ‘දස්කම‘ චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාව ලැබිණ. ‘දස්කම‘ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ බ්‍රර්ටම් ප්‍රනාන්දුට ශාන්තිව හඳුන්වා දුන්නේ ගීත රචක කරුණාරත්න අබේසේකර විසිනි.

සිංහල චිත්‍රපට නළුවෙකුට අයිති එකම චිත්‍රපට පුවත්පත‘ නමින් හැඳීන් වූ ‘කලා රැජින‘ 1961 වසරේ දී ශාන්ති විසින් ප්‍රකාශයට පත් කළ අතර එහි සංස්කරණය ඩීමන් ආනන්දය. 1962 දී ඔහු විසින්ම ප්‍රකාශයට කළ ‘සීගිරි ලාලිනී‘ සඟරාව නිකුත් වි ඇත. මේ සඟරා ඩීමන් ආනන්ද, මානභරණ ඩී.මහවෙල, ඩී.බී.ඒ. සූරසේන විසින් සංස්කරණය කළ බව වාර්තා වේ.

1959 දී දේශපාලනයට පිවිසි ශාන්ති 1960 මාර්තු 19 වෙනිදා පැවති මහ මැතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් විය.

‘1959 අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසු අගමැති වූ දහනායක මහතා මගේ මිත්‍රයෙක්. හිතවතෙක්. එතුමා මට කිව්වා ‘මම අලුත් දේශපාලන පක්ෂයක් හැදුවා. ශාන්ති වාරියපොළ ආසනයට මගේ පක්ෂයෙන් ඉදිරිපත් වෙන්න‘ කියලා. ඒ කාලයේ කුරුණෑගල මම ව්‍යාපාරයක් කරමින් හිටියේ. මම අදිමදි කළා.

ශාන්ති බය නැතිව ඉල්ලන්න. අපි දිනවා. වියදම් පැත්ත බලා ගන්නම් කියලා.

මම වාරියපොළ ආසනයට දහනායක මහත්තයාගේ ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඉදිරිපත් වුණා. මගේ ඇපත් රාජසන්තක වුණා. මට ලැබුණේ ඡන්ද 271 ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ.අධිකාරී මහත්තයා ලෙහෙසියෙන්ම වාරියපොල ජය ගත්තා. මොනව වුණත් මැතිවරණයකට ඉදිරිපත් වූ දෙවෙනි නළුවා මම. පළමුවැනිය. රාජකීය වික්‍රමය. නිහඬ චිත්‍රපටයේ රඟ පෑ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා.

ශාන්තිට දේශපාලනය මෙන්ම ව්‍යාපාර කේෂ්ත්‍රයත් එපා වී කොළඹ පැමිණ සිනමාව ගැන සිතුවේය. චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරලා තමාම නිෂ්පාදනය කිරීම ඔහුගේ සිහිනය විය. පළමුව කළ යුත්තේ චිත්‍රපටයක කාර්මික අංශය ගැන අධ්‍යයනය කිරීමය. මේ අතර රොලන්ඩ් අමරසිංහ අධ්‍යක්ෂණය කළ ‘කොළඹ හාදයෝ’ ගිජු ලිහිනියෝ චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාව ලැබුණු නිසා ඔහු රඟපෑම කරන ගමන්ම කාර්මික අංශය ගැන සිත යොමු කළේය.

‘මට අවශ්‍ය වුණේ අඩු වියදමින් චිත්‍රපටයක් හදන හැටි ඉගෙන ගන්න. එහි මුල් පියවර මම ඉගෙන ගත්තේ සිරිසේන වීමලවීර මාස්ටර්ගෙන් ‘සිරකරුවා’ රඟපෑමට ගිය අවස්ථාවේ. මාස්ටර්ගේ කිරිබත්ගොඩ නවජීවන චිත්‍රාගාරයේ දී එහි කැමරා ශිල්පී ඩබ්ලිව්.ඒ.බී. ද සිල්වාගෙන් ද චිත්‍රාගාර එවකට පාලක (මේ වන විට මාස්ටර් මිය ගිහින්) හෙන්රි මාස්ටර් ගෙන් ගුරු හරුකම් ලැබුණා.‘

ශාන්ති චිත්‍රපට නළුවෙක් ලෙස රඟ පෑ චිත්‍රපටවල දී සිනමාවේ ප්‍රායෝගික පැත්ත හැදැරුවා. රෝලන්ඩ් අමරසිංහ ගේ ‘කොළඹ හාදයෝ‘ (1966) චිත්‍රපටයේ ඔහු ප්‍රධාන චරිතය රඟපෑවේ ලයනල් දැරණියගල, සේනාධීර රූපසිංහ සමඟය. ඔහුගේ පෙම්වතී ලෙස කුමාරි ලක්ෂමි අත්තනායක රඟපෑවාය.

‘රඟපෑවත් මගේ හිත චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න. ‘සිළුමිණ‘ පත්‍රයේ 1967 දී විතර ප්‍රවෘත්තියක් ද පළ වී තිබුණා. කරවල වාඩියක සිරගතව ඉන්න තරණයෙක් ගැන. මේ ගැන විශේෂාංග කීපයක් ද පළ වුණා. මේ කතාව ඇසුරෙන් මම වහල් දුපත නම් තිරනාටකය දෙබස් ලියලා, මගේ අතේ තියෙන මුදල් ටික දාල අඩු වියදම් චිත්‍රපටයක් හැදුවා. පස්සේ සම නිෂ්පාදකයෙක් හැටියට එම්.එස්. බෙලිඅත්ත සම්බන්ධ වුණා. මමත් චන්ද්‍රකලා ප්‍රධාන චරිත රඟපෑවා. ඔස්ටින් අබේසේකර රැල්ෆ් විජේසේකර, පියදාස විජේකෝන්, ක්ලෙමන්ට් විජේසිංහ ශාන්ති ලේඛා රඟපෑවා. පසුව ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ සුනිල් සෝම පීරිස් මුලින්ම රඟ පෑවේ වහල් දූපතේ. මේ චිත්‍රපටය 1968 දෙසැම්බර් 01 තිර ගත වූ වහල් දුපතේ ප්‍රධාන චරිතය රඟ පෑ චන්ද්‍රකලාට 1969 සරසවි සම්මාන උළෙලේ දී කුසලතා සම්මානයක් හිමි වුණා.‘ ශාන්ති කියා තිබුණි.

1970 වසරේ ශාන්ති අධ්‍යක්ෂණය කළ ‘සිදාදියෙන් හයක්‘ චිත්‍රපටයේ ශාන්ති සමඟ පද්මා සිරිවර්ධන, රැල්ෆ් විජේසේකර සතිස්චන්ද්‍ර එදිරිසිංහ, අශෝක හේවාවිතාරණ, එම්.පී.ගැමුණු, ජෝ ලිවේරා, කලේමන්ට් විජේසිංහ, නීලා ලියනගෙදර, ජෝ මයිකල්, සරණපාල සූරියආරච්චි රඟ පෑහ. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ශාන්ති සමඟ ගුණදාස රාජපක්ෂය. ශාන්ති අවසන් වරට රඟපෑවේ රෝලන්ඩ් අමරසිංහගේ ගිජුලිහිනියෝ‘ චිත්‍රපටියේය. ශාන්ති අධ්‍යක්ෂණය කිරීමට චිත්‍රපට දෙකක් සැලසුම් කර තිබුණි. හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වූ සෝමවීර චන්ද්‍රසිරි නිෂ්පාදනය කිරීමට සිටි ඔහු විසින්ම තිර නාටකය ලියූ ‘ජන ශක්ති‘ චිත්‍රපටය ඔහුගේ අභාවය නිසා නතර වි ඇත. අනික් චිත්‍රපටය නම් චාල්ස් පෙරේරා නිෂ්පාදනය කිරීමට චිත්‍රපටයයි.

ශාන්තිට අනාගත බිරිය හමුවන්නේ මංගල උත්සවයක ඇය ගීත ගැයීමට පැමිණි අවස්ථාවකය. දයා හේමන්තා සන්දනායක නම් මේ සුරූපී තරුණියක් ඇගේ සොහොයුරා වූ සරත් සන්දනායකත් එවකට ජනප්‍රිය ගායක ගායිකාවන් වූහ. මේ දෙදෙනාගේ මව වසන්තා සන්දනායක ද ජනප්‍රිය ගුවන් විදුලි ගායිකාවකි. ‘මහවැලි නදියේ‘ දෙළළඟ ගුරු පාර දිගේ‘ ගීත ගැයූ ඕ ‘බණ්ඩා නගරයට පැමිණීම‘ ‘සරදියෙල්‘ හා ‘සුනීලා‘ චිත්‍රපට වල පසුබිම් ගැයුවාය.

එදා මංගල උළෙලේ ශාන්තිගේ සිත ගීත ගැයූ දයා හේමන්තා ගැන පිළිබඳ සිතක් ඇති විය. දෙදෙනාගේ නෙත් ගැටිණ. 1962 වසරේ ඔවුන් විවාහ වුහ. දයා හේමන්ත ද චිත්‍රපට පසුබිම් ගායිකාවක් ලෙස ‘සුනිලා‘ (මිලිමීටර් 16) චිත්‍රපටයේ මොරිස් දහනායක සමඟ යුග ගීයක් ගයා තිබුණි. මේ ගීතයේ රචනය විමලදාස පෙරේරා ගෙනි. තිලක් කරුණතිලක සංගීත අධ්‍යක්ෂණවරයා ය.

‘රස මිහිරි කතා -

සිඟිති සිනා

සුදාගේ මුහුණේ

අද නම් හොඳටම පාට වැටී

පුන් සඳ වාගේ‘

ශාන්ති හා දයා හේමන්තාට දරුවන් හත් දෙනෙකි. සුප්‍රියා අද ජනප්‍රිය ගායිකාවකි. සංගීත් නිපුන් සධානා රණතුංග (ඇය විවාහ වී සිටින්නේ ආචාර්ය දයාරත්න රණතුංග හා අමරා රණතුංග ගේ පුත් සාරද රණතුංග සමඟය. සෙසු දරුවන් වූයේ ෂර්මිලා, සුදේව්, සංජය, සජානා, සජිනිය. පන්නිපිටියේ කලල්ගොඩ ග්‍රාමෝදය මාවතේ අංක 73/33 දරණ නිවසේ පදිංචිව සිටි ශාන්ති අබේසේකර මිය යන විට මුණුපුරු මිනිබිරියන්ගේ ආදරය ලබමින් සිටියේය.

 

සේයාරූ - දයාන් විතාරණ