ඉහළම ජගත් සම්මානයකින් පිදුම් ලැබූ වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි

සැප්තැම්බර් 30, 2021
‘අත්කම් ගෙත්තම් හා කැටයම්’ අධ්‍යක්ෂණය කරමින්

 

‘ඔබ දන්නවා ද අන්තර්ජාතික සිනමා උලෙළක දී ඉහළම සම්මානයෙන් පිදුම් ලැබූ ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයා කවුද කියලා.’

2006 වසරේ අගෝස්තු මාසයේ දිනක ආචාර්ය ඩී.බී.නිහාල්සිංහ මගෙන් ඇසීය.

මම කල්පනා කළෙමි. 1957 සිට 2006 දක්වා අන්තර්ජාතික සිනමා උලෙළකින් ඉහළම සම්මානය හිමි කර ගත් විශිෂ්ට ලාංකිකයන් කවුදැයි මම සිතුවෙමි.

ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ විසින් 2006 වසරේ ප්‍රකාශයට පත් කරන ලද Public Enterprise in Film Development Success and Failure in sri lanka නම් ග්‍රන්ථයේ මේ කරුණ ගැන අවධානය යොමු කර ඇත. මේ ග්‍රන්ථය එම්.ඩී.එච්. සෙනෙවිරත්න විසින් ‘රාජ්‍ය ව්‍යාපාරයක් තුළින් චිත්‍රපට සංවර්ධනය ශ්‍රී ලාංකික ජය හා පරාජය’ කෘතියේ ද එයි. සිංහල සිනමා ඉතිහාසය නිවැරැදි විය යුතු යැයි ආචාර්ය නිහාල්සිංහ 2006 අගෝස්තු 13 ඉරිදා ‘ලක්බිම ඉරිදා සංග්‍රහයේ’ මා සමඟ කළ සංවාදය සහිත ලිපියක පළ වී ඇත. ඔහු එහි දී මෙසේ ද සඳහන් කළේය.

‘අන්තර්ජාතික සම්මාන උලෙළවල තරාතිරම් තියෙනවා. ‘ඛ්’ ශ්‍රේණියේ චිත්‍රපට උලෙළක දී ලැබෙන උපරීම සම්මානය ‘ඒ’ ශ්‍රේණියේ සම්මාන උලෙළක සාමාන්‍ය’ සම්මානයට වඩා ඉහළයි කියලා තර්ක කරන්න පුළුවන්. ඕකයි ඔතන තියෙන ප්‍රශ්නය. ලෝකයේ උසස් ම චිත්‍රපට උලෙළ ලෙස සලකන්නේ ඉතාලියේ වෙනිස් චිත්‍රපට උලෙළයි ((The Film Festival in the city of Venice in Italy) ) අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ දී ගෝල්ඩන් මර්කරි’ ( Golden Mercury) ‘‘ස්වර්ණ දූත’ සම්මාන දෙකක් ශ්‍රී ලාංකීක චිත්‍රපට අධ්‍යක්ෂවරයකු දිනා ගැනීම සුවිශේෂී අවස්ථාවක්.

මේ කලාකරුවා ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි ය. ඔහු මේ සම්මානය දිනා ගත්තේ 1969 දී ටෙනිස් අන්තර්ජාතික සම්මාන උලෙළේ දී පළමු තෑග්ග දිනා ගත් වර්ණ චිත්‍රපටයේ නම Makers, Motifs and Materials (අත්කම්, ගෙත්තම් හා කැටයම්) ය. හෙට්ටිආරච්චි මේ ලැබූ ගෞරවය සලකන්නේ එය අර්වින් දසනායක හා තමාගේ කුසලතාව පිළිබඳ සාධකයක් බවය. ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි විසින් 1970 දී වෙනිස් අන්තර්ජාතික සිනමා උලෙළේ දී ‘ලංකා තේ සංවත්සරය’ Century of the People  වර්ණ විත්ති චිත්‍රපටයට ද ගෝලඩන් මර්කරි සම්මානය දිනාගත්තේය.

ප්‍රවීණ සිනමා ලේඛයකු, සිනමා විචාරකයකු හා අන්තර් ජාතික සිනමා සභිකයකු වන ඈෂ්ලි රත්න විභූෂණ විසින් රජයේ චිත්‍රපට අංශයේ ප්‍රභවය, වර්ධන ගැන සංස්කරණය කළ ‘ප්‍රතිබැහැදැක්ම් කෘතියේ ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි නම් සම්භාවනීය වාර්තා සිනමාකරුවා ගැන විශේෂ ලිපියක් ලියා තිබුණි. මෙහි පැවත සියලු ඡායාරූප හා ඇතැම් දත්ත ඔහු ලිපියෙන් උපුටා ගත් ඒවාය.

ප්‍රඥාසෝම රජයේ චිත්‍රපට අංශයට එක්වීමට මඟ පැදුණේ එවකට ලන්ඩන් නුවර Times of Ceylon  පුවත්පතේ ලන්ඩන් කාර්යාලයේ කර්තෘ මණ්ඩලයේ සේවය කළ ලෙස්ටර් ජේම්ස් පීරිස් හා ඔහුගේ මුණ ගැසීමෙනි. එවකට ලන්ඩන් නුවර ඡායාරූපාගාරයක සේවය කළ ප්‍රඥාසෝම සිනමාවට ඇලුම් කොට ඇති බවත්, ඔහු රජයේ චිත්‍රපට අංශය බිහි කිරීමට මූලික වූ ජූලියෝ පෙට්‍රෝනී හා ෆේඩිරීකෝ සේරා ශ්‍රී ලංකාවට ගෙන් වූ විශ්වරංග මූවිටෝන් සමාගමේ සාමාජිකයෙකු වූ බව ඔහු ලාලිත්‍ය පල්ලේගම්ගොඩ කළ සම්මුඛ සාකච්ඡාවක දී (සිනෙසික් අංක 05 /1986) පවසා තිබුණි.

ඈෂ්ලි රත්නවිභූෂණ පවසා ඇත්තේ ලෙස්ටර්ගේ මිතුරෙක් කුඩා චිත්‍රාගාරයක (merton Park Studios)) කෑමරාකරුව සිටි අතර, ආධුනිකයෙකු ලෙස ප්‍රඥාසෝමව එහි සේවයට යෙදවීමට ලෙස්ටර්ට හැකි වූ බවය. ප්‍රඥාසෝමගේ දක්ෂතා චිත්‍රාගාර කළමනාකරුට අවබෝධ වීම නිසා එවකට රජයේ චිත්‍රපට අංශයේ ප්‍රධාන නිෂ්පාදකවරයා වශයෙන් සේවය කළ සුප්‍රකට බ්‍රිතාන්‍ය වාර්තා සිනමාකරුවෙකු වූ රැල්ෆ් කීන්ට රෙකමදාරු කොට ඇති බවය. ඇෂ්ලි මෙසේ ද සඳහන් කර ඇත.

‘රජයේ චිත්‍රපට අංශයට සහාය අධ්‍යක්ෂවරුන් අවශ්‍ය බව පුවත්පත් මඟින් ප්‍රසිද්ධියට පත් කර තිබුණි. ප්‍රඥාසෝම මේ සඳහා ඉල්ලුම් පත්‍රයක් යවන ලද්දේ ඔහු සේවය කළ චිත්‍රාගාරයේ කළමනාකරුගේ සහතිකයක් සමඟිනි. පුදුම එළවන කරුණක් වූයේ රැල්ෆ් කීන් ද එම චිත්‍රාගාරයේ කලක් සේවය කර තිබීම යි. ඔහු ගේ නිර්දේශය මත ප්‍රඥාසෝම සේවයට ගැනීමට රැල්ෆ් කීන් පසුබට නොවීය. ඔහු සිය ප්‍රථම විවාහයේ බිරිය වන කොලට් සමඟ 1952 මාර්තු මස 08 වැනිදා මව්බිම බලා ආවේය. ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ‘රේඛාව‘ චිත්‍රපටය 1957 වර්ෂයේ කාන් සිනමා උළෙලේ තිර ගත කිරීම සඳහා එහි දෙබස් ප්‍රංශ බසට පරිවර්තනය කරන ලද්දේ කොලට් විසිනි.’

ලංකා තේ ශත සංවත්සරය සඳහා ප්‍රඥාසෝම 
වෙනිස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී ගෝල්ඩන් මර්කරි සම්මාන දිනා ගනී.

1928 ජනවාරි 10 වෙනිදා උපත ලැබූ ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබා පාකිස්ථානයේ ලාහෝර් පංචෝලි ආර්ටි පිකචර්ස් සමාගමේ සහකාර කැමරා ශිල්පියකු ලෙස පුහුණුව ලබා එතැනින් එංගලන්තයේ ලන්ඩන්, මර්ටන් පාක් චිත්‍රාගාරයේ ද සේවය කළ බව ඔහු මා සමඟ පැවසුවේ ‘සරසවිය’ පුවත්පත සඳහා (1980 දී) කළ සම්මුඛ සාකච්ඡාවක දී ය. මා සරසවිය කර්තෘ පදවිය දැරූ 1994 වසරේ පැවත් වූ 22 වැනි සරසවිය සම්මාන උලෙළේ විනිශ්චය විනිශ්චය මණ්ඩලයට ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි මහතා යෝජනා කළෙමි. ‘ගුරුගෙදර’ චිත්‍රපටය හොඳම චිත්‍රපටය වූ එම උලෙළේ විනිශ්චය මණ්ඩලයට ඊ.එම්.ජී. එදිරිසිංහ (සභාපති) මාලිනි ගෝවින්නගේ, දයාරත්න රණතුංග, එස්.ජේ. මොහිදීන්, ඒ.පී.ගුණරත්න (ආනන්ද විදුහල්පති), සීතා කුලතුංග ඇතුළත් වූහ.

රජයේ චිත්‍රපට අංශයට මුලින්ම බැදුණු කණ්ඩායමට ලෙස්ටර් ජේම්ස් පීරිස්, ජෝර්ජ් වික්‍රමසිංහ, ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි, අර්වින් දසනායක, අබේකෝන් සෙනෙවිරත්න ඇතුළත් වූහ. ප්‍රඥාසෝම මුලින්ම ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟ සම්බන්ධ වන්නේ රැල්ෆ් කීන්ගේ Heritage of Lanka (ලංකා උරුමය) චිත්‍රපටයට ය. කීන් ගේ චිත්‍රපට සඳහා සහාය අධ්‍යක්ෂවරුන් ලෙස ලෙස්ටර්, ප්‍රඥාසෝම, අර්වින් දසනායක ද එක් වූහ.

1950 මුල් හරියේ රජයේ චිත්‍රපට ආයතනය අංග සම්පුර්ණ වූ කාලයේ තමාට සිදු වූ අත්දැකීමක් ප්‍රඥාසෝම ‘රිවිරැස’ පුවත්පතේ උප කතුවරයකුව සිටි යසසිරි ජනක කුමාරට විස්තර කර තිබුණි. (‘චිත්‍රපට මාධ්‍යය’ සිව්වැනි කලාපය 1969)

‘1950 වසරේ සිනමා වෑන් වලින් සෑම පළාතකටම ගොස් චිත්‍රපට පෙන්වීම ද ඇරඹිණි. සේවක සංඛ්‍යාව ද ‘තවත් පණහකින් වැඩි කරන ලදී. මේ කාලය වන විට ජුලියෝ පෙට්‍රොනි චිත්‍රපට කිහිපයක් සහ වාර්තා චිත්‍රපට හයක් නිපදවා තිබුණි. ‘මිනිහා වැඩ කිරීමට මරුවෙක්’ පෙට්‍රෝනි සමඟ වැඩ කළ අය ඔහු හැඳින්වුයේ එසේ ය. දවල් කාලය තිස්සේ සංස්කරණය හා ශබ්ද කැවීමේ කටයුතු වල යෙදී සිට ‘නවදිවිය’ චිත්‍රපටයේ වැඩ සඳහා එළිවන විට පොළොන්නරුවට යෑම ඔහුට සුළු දෙයක් විය. රෑ කෑමෙන් පසු ඔහු ගමන් ඇරඹුවේය. ජීවිතයට ආදරයක ඇති කෙනෙක් ඉර බැසීමෙන් පසු හබරනින් එහා නොයන අවදියකි. එම අඩවිය රැයට අලින්ගේ රාජධානියක්ව තිබුණි. පෙට්‍රෝනිගේ කල්ලිය අනූ නවයෙන් බේරුණ අවස්ථා එමටය. දිනක් කාදර් නම් රියදුරාගේ නුවණ නිසා කාගේත් ජීවිත ගැලවුණි. අලි වංගුව යන අභිධානය එක් තැනක් ලබා තිබෙන්නේ එතැන රැයට අලි ගැවසෙන නිසාය. වංගුව ගත් සැටියේම අලි දුටු කාදර් ලෑල්ලට පාගා ගියෙත් කාගේත් පපුව ගැනීම මඳ වේලාවකින් නතර විය. පපුව ගැහෙන්නට පටන් ගත්තේ අලියෙකුගේ ක්ෂණික පහර නිසාය. වාසනාවකට මෙන් හොඩවැල් පහර වැදුනේ රථයේ පිටුපස අඹරා රෙද්දට නිසා ඔහුට ජය අත්විය.

සහකාර චිත්‍රපට අධ්‍යක්ෂවරුන් වශයෙන් සිටි ලෙස්ටර් අර්වින් හා තමා ද ස්වතන්ත්‍ර නිර්මාණයන් කෙරෙහි සිත යොමු කරන්නට පටන් ගත් බවත්, තුලීනතාවයෙන් යුත් චිත්‍රපට නිපදවීමට ලාංකීක අධ්‍යක්ෂවරුන් තුළ හැකියාවක් තිබුණු බව ඔවුන්ගෙන් යස රහට ඔප්පු කළ බව ප්‍රඥාසෝම පවසා තිබුණි.

ප්‍රඥාසෝම විසින් මුලින්ම අධ්‍යක්ෂණය කළ (1955) වාර්තා චිත්‍රපටය වූයේ ‘සංචාරක මසුන් මරන්නෝ’ ((Migrant Fishermen) ) ය. එතැන් සිට අධ්‍යක්ෂණය කළ විත්ති චිත්‍රපට අතර ‘ජනලීලා (Rhythms of People) ) ලංකාවේ කලා හා කලා ශිල්ප’ ((Art and Architecture of Ceylon) ) බුදුන් වැඩි මඟ ((In the Steps of the Buddha) ) කොළොම්තොට ((Port of colombo) සංචාරක මසුන් මරන්නෝ ((Migrant frisher men)) ටෙක්නිකල් ට්‍රේනිං ((Technical Training) ) වෙයි.

අන්තර්ජාතික සම්මාන රැසකින් පුද ලත් ප්‍රඥාසෝම හෙට්ටිආරච්චිගේ සුවිශේෂී වාර්තා චිත්‍රපටය වුයේ Century of Ceylon  (තේ ශත සංවත්සරය) නම් ලංකාවේ තේ වගාවට වසර 100ක් පිරීම නිමිත්තෙන් තැනූ චිත්‍රපටයයි.

ඩී.එම්.පොරස්ට් ගේ පිටපත අනුව මේ චිත්‍රපටයට විවරණය රචනා කළේ රෙජී සිරිවර්ධනය. කැමරා කරණය යූ.බී.ඇල්කඩුවගේ ය. 1970 දී ප්‍රඥාසෝම මහාචාර්ය සෙනරත් පරණවිතාන නමින් විනාඩි 10ක විත්ති චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කර ඇත.

ප්‍රඥාසෝම 1974 රජයේ චිත්‍රපට අංශයේ අධ්‍යක්ෂවරයා විය. ඔහු 1996 ඇමරිකාවට යන්නේ ගී‍්‍රන් කාඩ් ලොතැරැයියක් දිනීම හේතුවෙනි. ඔහුගේ දෙවෙනි විවාහයේ බිරිය වුයේ උප විදුහල්පතිනියක්ව සිටි සිසිලි සමඟය. ඇය දක්ෂ ඉංගී‍්‍රසි ගුරුවරියක් ද වූවාය. විවාහයෙන් හෙට්ටිආරච්චි යුවළට නන්දන හා ප්‍රසන්න නම් පුතුන් දෙදෙනෙක් වූහ. ලෙස්ටර් ජේම්ස් පීරිස් 1976 වසරේ අධ්‍යක්ෂණය කළ ‘මඩොල් දුව‘ චිත්‍රපටයේ කුඩා උපාලි ලෙස රඟපෑවේ එවකට කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබූ නන්දන හෙට්ටිආරච්චිය.

2001 වසරේ ජූනි 21 වෙනිදා ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි නම් සම්භාවනීය වාර්තා සිනමාකරුවා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර දී මියගියේය.