අධ්‍යක්ෂගේ ප්‍රථම ප්‍රේමය

සංදේශය මැද්දේ උණු වතුර ගඟක්
සැප්තැම්බර් 16, 2021

 

යොං හෑලි

 

සමහර යාං හෑලි ලියලාත් බෑ. නොලියත් බෑ. නොලියා බැරි රසවත් හින්දා. ලියලා බැරි ඒවට සම්බන්ධ අයට නම් ගම් ඇතිව මේවා ලියලා ඇති විය හැකි ප්‍රශ්න නිසා. මේ කතාවට සම්බන්ධ යාළුවෝ දෙන්නා අද අපේ සිනමාවේ, ටෙලිවිෂනයේ, වේදිකාවේ යන ත්‍රිවිධ මාධ්‍යයේම දැවැන්තයෝ දෙන්නෙක්. දෙන්නාම ලබා ඇති ජනප්‍රියත්වය බොහොම ඉහළයි. ලබා ඇති සම්මාන තියා ගන්න රාක්කත් මදි. ඒ වගේම මේ යාළුකමත් දැන් අවුරුදු පනහකට වැඩියි. කොටින්ම හීන් එවුන් සන්දියේ ඉස්කෝලේ යන කාලේ ඉදන් ආරම්භ වුණ යාළුකමක්. මේ දෙන්නාම වේදිකාවට ආවේ එකට. මුලින්ම සිනමාවට ආවේත් එකට. එයට වඩා ලියන්න බැහැ. කොහොම වුණත් කතාව කියන කොට මේ කියන්නේ කාගැනදැයි දන්නො දනිති. මේ දන්නෝ දනිති කියන කතාව ගැන අපට මතක් වුණෙත් අයි.එන්. හේවාවසම් කියපු කතාවක් නිසා. අපේ සම්මානනීය චිත්‍රපටයක් වූ මීහරකා හදපු, ලංකාවේ සහාය අධ්‍යක්ෂණයට වෘත්තිය මුහුණුවරක් හදපු අයි. එන්.හේවාවසම් උන්නැහේ දන්නෝ දනිති ගැන අපූරු කතාවක් කියලා තියෙනවා. හේවාවසම් උන්නැහේ එහෙම කිව්වේ තමන්ගේ වෘත්තිය ගැන පබ්ලිසිටි පම්පෝරි වුවමනා නැහැ. වැඩ කරන කොට ඒ ගැන දන්නවා කියලා. ඒකට කිව්වේ දන්නෝ දනිති කියලා. හේවාවසම් ලා ඉන්න ගාල්ලේ වැඩිපුර ඉන්නේ මුස්ලිම් ජනතාව. ඒ අය කොහොමටත් සූකර මාංශ පරිභෝජනයෙන් තොරයි. හැබැයි හේවා අය්යාලා ඉන්න ගෙවල් පැත්තට ඌරු මස් වෙළෙන්දෙක් එනවා. ඒ මනුස්සයා වෙන වෙළෙන්දො වගේ 'මාළු මාළු' කියා කියන්නේ නෑ. ඒ වෙනුට කියන්නේ 'දන්නෝ දනිති' කියලා. මේ කතාවට දන්නෝ දනිති සම්බන්ධ කර ගත්තේ අපේ කතාවේ යාළුවන් ගැනත් අටුවා ටීකා ටිප්පනී නොලිව්වට ඒ දෙන්නා ගැනත් දන්නෝ දනිති නිසා.

ඉතින් මේ යාළුවෝ දෙන්නාගෙන් එක් අයෙක් නළුවෙක්. අනිත් එක්කෙනා සිනමාකරුවෙක්. ඉතින් වැලි කෙළියේ ඉඳන් යාළුවෝ. කොහොම වුණත් අපේ නළු මහත්තයාට පාසැල් යන අවදියේ ඉදන් සිකුරු දසාව වුවමනාවටත් වඩා තිබුණා කියලා තමයි ඒ අයගේ පරණ නෑදෑයෝ එහෙම කිව්වෙත්. ඉතින් අර කියමනකුත් තියෙනවානෙ ලැබෙන එකාටමයි ඔක්කොම නැති එකාට මුකුත් නෑ කියලා. අනේ ඒ අතින් අධ්‍යක්ෂ මහත්තයාට එහෙම නෑ. දැන් මේ කතාව කියන අවදියේ මේ දෙන්නාගෙන් එකෙක් වත් රටේ තොටේ කවුරුවත් දන්නා අවදිය නොවෙයි. ඩිරෙක්ටර්ලා නළුවෝ වෙලා නෑ. කොටින්ම ගාමිණී වීරයා කාලේ, විජයලා තිස්සලා කොල්ලාට අඳීන කාලේ. මාලිනි ගීතා සුමනලා කෙල්ලො කාලේ. පිච්චර් හෝල් හවුස්ෆුල් කරපු කාලේ කතාවක්. ඉතින් අපේ මිත්‍රයෝ දෙන්නාගෙන් අධ්‍යක්ෂ මිත්‍රයාට ටිකක් දුකයි. ඊරිෂායවයි. ඇයි යකෝ අර ඉස්කෝලේ ගෑනු ළමයින් මේ ඉස්කෝලේ ගෑනු ළමයින් ඔක්කොම නළු මිත්‍රයාටම තමයි. හැබැයි ඉතින් නළු මිත්‍රයාගේ පෙම් කතන්දරවලට ලව්ලෙටර් ලියන්නේ ඩිරෙක්ටර්. ජෝතිපාලගේ ඉඳන් මිල්ටන් මල්ලවආරච්චි මිල්ටන් පෙරේරාගේ සින්දු කෝටියයි. පන්තියේ ඉගෙන ගන්නා සිංහලෙන් භාගයයි. තමයි මේ ලව් ලෙටර්වල ලිව්වේ. අද වගේ එස්. එම්.එස්. ආදර නෑ. ඒ මොනවා කළත් ඩිරෙක්ටර් මිතුරාට කොපමණ ට්‍රයි කළත් කිසිම ගැහැනු ළමයෙක් ආසාවටවත් බලන්නේ නෑ. හැබැයි ඉතින් හැමදා නියං එකදා වැහි වලාවේ කියනා සේ ලොකු ඉස්කෝලෙක හොඳ බ්‍රයිට් කෙල්ලෙක් අපේ ඩිරෙක්ටර් මිතුරාට ඇහැ වැටිච්චි. ඒකත් වැඩේ කියන්නේ කෙල්ලගේ සිරියාවන්තකමටයි බ්‍රයිට් කෙල්ලෙක් කියලා ප්‍රසිද්ධ නිසා කිහිප දෙනෙක් උත්සාහ කළත් අන්තිමට සිද්ධ වුණේ ඒ අයට මිදි ඇඹුලයි කියලා හිත හදාගන්න විතරයි. කොහොම වුණත් අපේ ඩිරෙක්ටර් මිත්‍රයාට නම් වැඩේ හරි යන ලකුණු පහළ වුණා. ඒ වගේ වෙලාවට ලොකුම උදවුකාරයා වන්නේ යාළුවනේ. ඉතින් අපේ ඩිරෙක්ටර් මිත්‍රයාත් තමන්ගේ නළු යාළුවාගෙන් උදව් ඉල්ලුවා. අපරාදේ කියන්න බෑ. නළු මිත්‍රයාත් ඔක්කොම පැත්තකින් දාලා මේ වැඩේට සපෝට් කළේ. අපි බොක්කෙන් අපිට බොලෙක්කෙන් න්‍යාය පවා අමතක කරලා දාලා. ඉතින් යාළුවා වෙනුවෙන් මුල්ම වචනේ දැම්මෙත් නළුවා. කොහොම හරි දැන් ඔන්න වැඩේ සෙට්. දැන් කාලේ හෑන්ඩ් ෆෝන් තියෙන හින්ද පරණ වෙච්ච සිංදු කිහිපයක් තියෙනවා‌නේ . මඟ බල බලා ඇතිය මගේ සුදා සහ දෑස රිදෙනවා පාර බලා ඉඳලා වගේ සිංදු. අද ඉතින් මඟ බලා ඉන්න ඕනෙ නෑ. ෆෝන් එක අතේ නේ. එහෙම වුණත් ඒ කාලේ එහෙම නෙමෙයි. ඉතින් ඩිරෙක්ටර් මිතුරාත් මේ කට්ට ඔක්කෝම කමින් දැන් ආදර කතාව දලුලා ගෙන යනවා. හැබැයි ඉතින් පන්තියේ කොනක, බස් හෝල්ට් එකක මිසක් හීන් හිනාවකින් තොදොල් වෙවී කතා මිසක් එයට වඩා දියුණුවක් නෑ. මුදු පරම සුපිරිසුදු ආදරයෙන් වෙලී දෙඩූ පසු ගෙදර ගියත් ඇගේ හිත ඔහු සමඟ ගිහින්. හැබැයි දැන් චිත්‍රපටවල ඩිරෙක්ටර් හැටියට පස්සෙන් පසු නළු මිතුරා ආම්බාම් කළාට මෙතැන ඩිරෙක්ටර් වෙන්නේ නළුවා. එයා තමයි ඩිරෙක්ටර්ගේ ප්‍රේමයේ න්‍යායාචාර්යවරයා. ඉතින් නිතරම ඩිරෙක්ටර්ගේ වැඩේ 'දැන් ඉතින් මොකක්ද කරන්නේ කියලා' අහන එක.

මෙන්න මෙහම උපදේසයක් ලැබෙනවා. 'මෙහෙමයි වැඩේ. උඹ දැන් මචං හරිනේ. දැන් ෆිල්ම් එකක් බලන්න එක්ක අරං පලයං'

අද මෙන් නොව එකල එය ද මහා වැඩක් බව මතක් කරන්න ඕනෑ. ඉතින් කොහොම හරි ඩිරෙක්ටර් යාළුවත් දෑසෙන් කතා කරල වචනෙත් දාලා හීන් සැරේ වැඩේ යන කොටම පපුව ඉස්සරහට දාලා මේ යෝජනවා කරාපි. අනේ කිසිම ප්‍රශ්නයක් නෑ ගෑනු ළමයා හිස වනා හා කියාපි.

ඒක අපේ ඩිරෙක්ටර් බලාපොරොත්තු වුණ දෙයක් නෙවේ. බලාගෙන යන කොට කෙල්ලෙක් යාළු කරගන්න එක හිතන තරම් අමාරු වැඩක් නෙවේ වගේ. ඉතින් ඒ අනුව ඊළඟ ඉරිදා පික්චර් එකක් බලන්න යන්න තීන්දුයි. වැඩේ හරි.

'මචං උඹත් එනවද?' අපේ ඩිරෙක්ටර් යාළුවාගෙන් ඇහුවා.

උඹ කියනවා නම් එන්නම්.

නළු මිතුරාත් පැවසුවා. අපේ නළු යාළුවාටත් හරි සතුටුයි. මොනවා වුණත් තමන්ගේ හොඳම යාළුවා නේ. ඉතින් මනුස්සයාත් පන්තිය කට් කරලා පිච්චර් එක බලන්න එන්න වැඩේ බාර ගත්තා . හැබැයි කොල්ලො දෙන්නා චිත්‍රපට බලන්න පන්ති කට් කළේ මේ පුරුදු වෙන්න නෙවෙයි. හැබැයි ගෑනු ළමයා නම් එහෙම නෙමේ. ඒ විතරක් නෙමේ සිනමාහලකට ගැහැනු ළමයෙක් එක්ක ගෙන ගියාම තමන්ගේ අත්දැකීම් එකින් එක විස්තර කරන්නටත් අපේ නළු මිතුරා කියලා දුන්නා.

'හෙමින් සැරේ. උඹ අතින් අල්ලපං'

නළුවා පළමු උපදේශය දුන්නා.

'මුකුත් කියයිද?'

'මුකුත් කියන්නේ නෑ. දැන් උඹේ අතේ තමා වැඩේ තියෙන්නේ . පොඩි කිස් එකක් එහෙම දීපං. බෑ කියන්නේ නෑ.'

යාළුවාට යෝධබල ධෛර්යය සපයමින් නළුවා පැවසුවා. ඉතින් හරියටම උදේ දහයහමාරේ දර්ශනයට තුන් දෙනා සෙට් වුණා. ගැහැනු ළමයා නම් කොච්චර ඔළුව වනලා කැමැති වුණත් මේ වෙලාවේ නම් ආවේ පිස්සු බල්ලෙක් නාවන්න ගිය තරම් අමාරුවෙන්. පන්තිය කට් කරන්නත් කැමති නෑ. ගෙදරට අහුවෙන්න කැමතිත් නෑ ඔය වගේ දාහක් කතන්දර. කොහොම හරි සිනමාහලට ගිහින් ටිකක් පෝලිමෙත් හිටියා. ඔන්න ඔය වේලාවේ ඔතැනට ආවේ ටේස් කඩල කාරයෙක් දුම් දමමින්. අපේ නළු මිත්‍රයා කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නෑ. ගත්තා ගොටු දෙකක්ම. ඔහු වැඩි කැමති කමට මිරිස් ටිකකුත් දම්ම ගත්තා. ඔය කාලේ එයිට වඩා දෙයක් ගන්න සල්ලිත් නෑ. ඊළඟට එයාම ගිහින් ටිකට් තුනක් ගත්තා. ටිකට් එකට සල්ලි දුන්නේ ඩිරෙක්ටර්. කොහොමටත් ඒ කාලේ ඉරිදා උදේ මැටිනි ෂෝ එකට පට ගාලා සීට් පිරෙනවා. නළු මිතුරා ගත්තේ බැල්කනි දෙකයි. ඕ.ඩී.සී එකයි. ඕ.ඩී.සී එක නළුවාට.

දැන් සිනමාහලේ දී ජෝඩුව උඩට ගියා. නළුවා පහළට ගියා.

'මචං මේකත් බෙදාගෙන කාපන්.'

ඔහු කඩල ගොටු පාර්සලයත් ජෝඩුව අතරින් සිය මිතුරා අතට දුන්නා.

හරියටම දහය හමාරට චිත්‍රපටය පටන් ගත්තා. ටිකක් වේලා බයෙන් හිටපු යුවතිය හීන් සැරේ අපේ ඩිරෙක්ටර්ගේ ආලිංගනයට සමීප වුණේ පූස් පැටවෙක් වගේ. නළු මිත්‍රයා හොඳට පික්චර් එක බලන්න ගත්තා. ගාමිණී ෆොන්සේකා තිරයට ආවා. ඇඟිලි කටේ දමලා විසිල් එකක් ගැහැව්වා. ඔන්න පැය භාගයක් විතර ගියා. එකපාරට අපේ නළු මිත්‍රයාට ඇහෙනවා කවුරු හරි තමන්ගේ නම කියනවා. හීන් සැරේ බලන කොට සිනමාහලේ කොරිඩෝවේ එකෙක් තමන්ගේ නම කිය කියා ඇවිදිනවා. අඳුරේද මැණික අඳුනන ඇස් දෙකක් මට තියේ කියන සිංදුවේ ආකාරයටම මේ නම් තම ඩිරෙක්ටර් මිත්‍රයා බව ඔහුට වැටහුණා. ඉතින් පික්චර් එක බැලීම පැත්තක දමලා යාළුවා ළගට ගියා.

'ඇයි ඇයි ?'

'හරි වැඩේ බං. උඹ කිව්ව විධියට වැඩේ කළා බං. ඩිරෙක්ටර්ගේ ඉහින් කනින් දාඩිය දානවා. ඔක්කොම පැත්තක තියෙද්දී නළුවා බැල්කනියට දිව්වේ මොකක්දෝ විපත්තියක සේයාවක් හිතට වැටුණ නිසාම. බලනකොට ඉස්සරහට වෙලා කෙල්ල අඩනවා.

'අනේ අපි යං'

කෙල්ල කෙදිරි ගානවා. මුහුණත් රතු වෙලා. කඳුළු වැක්කෙරෙනවා. දැන් අපේ නළුවාට පුදුම ප්‍රශ්නයක්. තමන් දන්නා ශිල්පය අනුව මෙහෙම වෙන්න කිසිම හේතුවක් නැහැ. ඒ වුණත් දැන් කරන්න දෙයකුත් නෑ. චිත්‍රපටය බලන්න විධියකුත් නෑ. ඉතින් වැඩේ අතරමඟ නතර කරලා ගැහැනු ළමයාව ගෙදරට යැව්වා. අසනීපයි කියලා හරි ගෙදර යන්නැතැයි සිතාගෙන. එයටත් පස්සේ නළුවා ඩිරෙක්ටර්ගෙන් ඇහැව්වා මොකද උනේ කියලා.

'අනේ මචං මං බොහොම අමාරුවෙන් මේ කෙල්ල යාළු කරගත්තේ. උඹ කිව්ව විධියට කරලා තමයි මට මෙහෙම වුණේ. උඹ කිව්ව විධියට මම ඔක්කොම කළා. ඉතින් අපි කඩල ගොට්ටත් බෙදා ගත්තා. ඒත් උඹ මොකට ද අපිට කඩල අරන් දුන්නේ.'

ඩිරෙක්ටර් මීහරකෙක් වගේ අඩන්න ගත්තා.

මේ මොන හතරබීරි කතාවක්දැයි නළුවාට ගැටලුවක්.

'යකෝ විලාප දෙන්නේ නැතිව කියහං කෝ.'

'උඹ කඩල දුන්නේ නැත්නම් මේ මුකුත් වෙන්නේ නෑ බං'

දැන් නම් නළුවා අන්දමන්ද වෙලා.

'මම කඩල ගොට්ටත් බෙදා ගත්තා.'

ඩිරෙක්ටර් කියනවාට වඩා විලාප දෙනවා. දැන් අපේ නළු මිත්‍රයාගේත් රතු කට්ට පනින්න ඔන මෙන්න.

'ඉතින් කියහං'

'අපි කඩල ගොට්ටත් බෙදා ගත්තා. ඊට පස්සේ මං ඒ ළමයගේ අතින් ඇල්ලුවා.'

කතාව අසා සිටි අපේ නළු මිත්‍රයා හුස්ම ආපහු හෙළන්නේ නැතිව හිටියා.

'ඒ කඩලවල යහමින් මිරිස් තිබුණා.'

'ඔව් බං. ඉතින් බං අපි වෙනදත් කන්නේ. රහයි'

නළුවානන් පැවසුවා. ඩිරෙක්ටර්ගේ මුහුණේ ඊළඟට අබ පුපුරනවා වගේ.

ඊළඟට හෙළිදරව් වුණු කතාව ඇසුණු නළු මිත්‍රයා මුකුත් නොකියා ගල් ගැහුණේ වචනයක්වත් පිට කරගන්න නොහැකි වූ නිසා. සිදුවුණේ මෙයයි. කඩල සහිත මිරිස්වල දැවටුණු අත ඇගේ සුන්දර සිරුර පුරා ගියේ ප්‍රේමයේ සීමාමායිම් නොමැතිව. එහෙත් මිරිස් ප්‍රේමය හඳුනන්නේ නැහැනේ. ප්‍රේමයේ සියලු අත්දැකීම් ගැන කිව්වත් මිරිස් ගැන නළුවා කියලා දුන්නේ නෑ. අපේ ඩිරෙක්ටර්ගේ මුල්ම ප්‍රේම කතාව එතැනම ඉවරයි. හැබැයි පස්සෙන් පස්සේ කාලයක අපේ මිත්‍රයන් නළුවන් අධ්‍යක්ෂවරුන් හැටියට රටේ නමක් දිනද්දී ඇය සුපතළ වෛද්‍යවරියක වුණා. එයටත් වඩා මිරිස් පරිභෝජනය නිසා ග්‍රෑස්ට්‍රයිටීස් හදාගත්තු අපේ නළුවාත් ඩිරෙක්ටරුත් දෙන්නාම බේත් ගත්තේත් ඇයගේ උපදෙස් අනුව.

සිනමාහලක කතාවක් ගැන කියන්න ගිය හින්දම සිනමාහලක අපේ නළුවෙකුට පොඩි කාලයේ සිදුවුණ දෙයක් ලියන්න ඕනෑ . ඒ සංදේශය බලන්න ගිහින්. දැක්කානේ ලෝකයේ පූජිත සිනමාකරුවෙකුගේ සිනමා කෘතියකට කරලා තිබුණ දේ ගැනත් මතක් කළ යුතුයි. පසුගිය දවසක රූපවාහිනියේ විකාශය වුණේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කළ සංදේශය චිත්‍රපටය නොවේ. වෙන එකක්. ආචාර්ය ලෙස්ටර් තැනූ සංදේශයේ තේමා ගීතය කෝ හතුරෝ, කෝ හතුරෝ . හැබැයි රූපවාහිනියේ විකාශය කළ සංදේශයේ තේමා ගීතය හැටියට නාමාවලියෙ සමඟ ඇසුණේ පෘතුගිසි කාරයා ගීතය. ආචාර්ය ලෙස්ටර්ටත් ඉහළින් ගිහින් සංදේශය සංස්කරණය කළ එකා හොයන්න වටිනවා. අපේ ජනාකර්ෂණීය සිනමාවේ මුල්වරට ඉන්දියානු අනුකරණයක් නොකළ ජනප්‍රියම චිත්‍රපටය රේඛාවෙන් පසු ආචාර්ය ලෙස්ටර් හදපු සංදේශය ජනාකර්ෂණීය සිනමාවේ හැරවුම් ලක්ෂයක්. ඉතින් කොහොම වුණත් මේ කතාව සංදේශය බලන්න ගිය අපේ මිත්‍ර ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ මතකය ගැන. ඒ කාලේ ශ්‍රියන්ත ගිහින් තියෙන්නේ තාත්තාත් එක්ක. තාත්තා සංදේශයට වහ වැටුණත් ඉන්ටවල් එකේ දී තාත්තා අරන් දුන්න ඔරෙන්ජ් බාර්ලි බෝතලේ කට තියාගෙන බීපු වේලාවේ ඉදන් පුංචි ශ්‍රියන්තට වෙන බරක් වෙලා. දැන් ඒ බරෙන් සැහැල්ලු වෙන එක තමයි ලොකුම වුවමනාව. හැබැයි තාත්තාට ලොකු සංදේශය. දැන් ඉතින් පොඩි එකා කිහිප වාරයක්ම කරදර කළත් තාත්තා නෙමෙයි සංදේශය මොහොතක්වත් අතඅරින්න කැමැති වුණේ. බැරිම තැන තාත්තා පොඩි එකාට මෙහෙම උපදේශයක් දුන්නා.

හීන් සැරේ ඔහොම ඔතැනම ඔය වැඩේ කරන්න. ඉතින් කීකරු දරුවෙක් වුණ පොඩි එකාත් තාත්තාගේ ඉල්ලීම උඩ එහෙම කළා. සිනමාහලේ තිරයෙන් විටින් විට අලෝක වන ශාලාවේ තිරය පැත්තට ශ්‍රියන්ත හදපු ගංගාව ගලා බසිනවා.

එකපාරටම ඉදිරි අසුනේ එකෙක් කෑ ගැහැව්වා.

මොනවද යකො මේ ගලන්නේ.

ආං ඔරේන්ජ් බාර්ලි බෝතලයක් හැලුණා.

නිහඬව නොසිටි තාත්තා උත්තර දුන්නා.

ඔරේන්ජ් බාර්ලි ? රස්නෙට

මිනිහා ඇහුවාම ඒකට නම් උත්තරයක් ලැබුණේ නෑලු.