මයික් විල්සන් සත්‍යජිත් රායි අතින් නොකෙරුණ ගාමිණී- බ්‍රැන්ඩෝ හමුව

සැප්තැම්බර් 2, 2021

 

සරසවිය කතු මඬල යනු සැබැවින්ම සරසවියක් බඳුය. වරෙක රස ගුලාවකි. වරෙක දැනුම් සාගරයකි. ඒ සම්ප්‍රදාය කතුවරයාගෙන් කතුවරයාට උරුම වූවෙකැයි පුවත්පතේ වැඩිකල් සේවය කළෝ කියති. අප ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් වරෙක සඳහන් කළ ආකාරයට මෙරට බිහි වූ සිනමා කලා පුවත්පත් 122ක් අතරින් වසර 57ක් සපුරන එකම කලා පුවත්පත සරසවිය වන්නේ ද ඒ නිසා විය හැකිය. ඇතැම් විට අප කුමන බරපතළ ලිපියක් ලියමින් සිටියද කතුවරයාගේ කතාවට සවන් දිය යුතුය. ඒසේ නොවුවහොත් නමින් අමතා කතාව අසන්නට සැලැස්වීම ඒ කතු පරපුරේ සිරිතකි. අපේ වත්මන් කර්තෘ අරුණ (ගුණරත්න) සොයුරා‌ගේ ද ඒ පුරුද්ද නිසා සිය ලිපි සඳහා නව තොරතුරක් ලද විගස එහි අලගිය මුලගිය තැන් මුල මැද අග කලණ වූ ආකාරයෙන් විස්තර කිරීම ද අප අසා සිටිය යුතු වේ.

'අපේ සිනමා වත' ලිපි පෙළ වෙනුවෙන් අරුණ සොහොයුරා පුස්තකාලය පීරමින් පරණ පුවත්පත්වල තොරතුරු අවුස්සද්දී ඔහු දුටු ප්‍රවෘත්තියක් මෙසේ විය. 'ගාමිණි ජෝ බ්‍රැන්ඩෝ මයික් රායි චිත්‍රපටයේ'. 1967 නොවැම්බර් මස 15 වැනි දින සරසවිය පුවත්පතේම පළ වී තිබූ ඒ ප්‍රවෘත්තියෙන් කියැවුණේ අපේ සිනමා සක්විති ගාමිණි ‌ෆොන්සේකා සහ ප්‍රවීණ නළු ජෝ අබේවික්‍රම, මාලන් බ්‍රැන්ඩෝ නම් සුපිරි හොලිවුඩ් රංගන ශිල්පියා සමඟ එකම චිත්‍රපටයකට රංගනයෙන් දායක වන බවයි. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඉන්දීයාවේ බෙංගාලි සිනමාවේ කිරුළ දැරූ සත්‍යජිත් රායි ය. එහි නිෂ්පාදක එමෙන්ම රන්මුතුදූව, ගැටවරයෝ වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ සරසවිය සම්මාන දිනූ සිනමාවේදී මයික් විල්සන් කෘතියේ පූර්ව නිෂ්පාදන කටයුතු සඳහා කල්කටාව බලා ඒදින පිටත් වීම ප්‍රවෘත්තිය පළ කිරීමට නිමිත්තයි. එහිදී මයික්ට එකතුවන රායි හොලිවුඩය බලා පිටත් වනුයේ 'අවතාර්' නම් වූ සිය තිර පිටපත හොලිවුඩ් නිෂ්පාදනයක් ලෙස අධ්‍යක්ෂණය කරමින් සංගීතය ද සැපයීමේ අරමුණෙනි. ලියා ඇති ආකාරයෙන්ම ප්‍රවෘත්තියේ ඉතිරි කොටස ඉදිරිපත් කළ හොත් මෙසේය.

'මයික් හා සත්‍යජිත් රායි නිෂ්පාදනය කරන අවතාර් චිත්‍රපටිය නිෂ්පාදනය වන සමාගම 'ඉන්ඩස් ජාත්‍යන්තර' නමින් හැඳීන් වෙයි. මිලි මීටර 70 වේ ප්‍රමාණයෙන් හා වර්ණයෙන් නිෂ්පාදනය වන මෙම චිත්‍රපටිය ලොව පුරා නගරවල තිරගත කරනු ඇත.

ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ටයිටස් තොටවත්ත, ශේෂා පලිහක්කාර, අනුර දිසානායක, හෙන්රි මල්දෙණිය ආදීහු මෙම චිත්‍රපටියට සම්බන්ධ වන ලාංකික පිරිස වනු ඇත්තාහ. ටයිටස් තොටවත්ත 'අවතාර්' සංස්කරණය කිරීමෙන්ද ජෝ හා ගාමිණි එහි රඟපෑමෙන්ද ශේෂා, අනුර සහ හෙන්රි එහි නිෂ්පාදන අංශයෙන්ද එයට සහභාගී වන්නාහ.

ජීවරාණි කුරුකුලසූරිය හා ලිස් විල්සන් ද මෙම චිත්‍රපටියේ ප්‍රධාන චරිත දෙකක් රඟපානු ඇතැයි ඉතා විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්නට ලැබී තිබේ.

හොලිවුඩ් සුප්‍රකට නළුවෙකු වන මාලන් බ්‍රැන්ඩෝ මෙහි ප්‍රධාන චරිතය රඟපායි. නොබෝදා මාලන් බ්‍රැන්ඩෝ කල්කටා නගරයට පැමිණියේ මේ පිළිබඳ අවසාන තීරණයකට බැසීම පිණිසය. මාලන් බ්‍රැන්ඩෝ, සත්‍යජිත් රායි හා මයික් විල්සන් අතර සාකච්ඡා මාලාවක්ම පැවැත්වූයේය. පසුව සියල්ලට එකඟත්වය දැක් වූ මාලන් බ්‍රැන්ඩෝ චිත්‍රපටියේ වැඩ ආරම්භ කරන ලෙස මයික්ට හා රායිට දන්වා හොලිවුඩ් බලා ගියේය.

මෙම සැප්තැම්බර් මස මුල් භාගයේදී පමණ චිත්‍රපටියේ වැඩ ආරම්භ කිරීමටද 1968 වර්ෂය තුළදී එය නිම කොට තිරගත කිරීමටද අදහස් කරන බව මයික් විල්සන් පැවසුවේය.

ශාන්ති නිකේතනය ඇතුළු ඉන්දියාවේ හා හොලිවුඩ් හි දර්ශන පටිගත කෙරෙන මෙම චිත්‍රපටියේ කැමරාව මෙහෙයවීම මයික් විල්සන් අතින් කෙරෙනු ඇත.'

ප්‍රවෘත්තිය පවසා නිම වූ පසු ඒ ඒ චරිත පිළිබඳ තොරතුරු හා රසකතාවලින් කර්තෘ මණ්ඩලය පිරී ගියේය.

"කොහොමද මාලන් බ්‍රැන්ඩොයි ගාමිණි ෆොන්සේකායි එකම ෂොට් එකට එනකොට?" එකෙකු අසයි. "එක්කො බ්‍රැන්ඩො ඉගෙන ගනී. නැත්නම් ගාමිණි." ලැබුණු එක් පිළිතුරකි. මේ අතර ලෝක සිනමා නාමාවලියේ අවතාර් නමින් බිහිවූයේ 2009 දී සජීවීකරණ කෘතියක් පමණක් බැවින් රායිගේ අවතාර් ට සිදු වූයේ කුමක්දැයි සෙවීම කතුවරයා විසින් මට පවරන ලදී. ඒ සොයාගත් කරුණු මෙසේය.

සත්‍යජිත් රායි අවතාර් නමින් තිර රචනයකට පරිවර්තනය කර න්නේ 1962 වසරේ ඔහු විසින්ම බන්කුබාබූර් බන්ධු නමින් ලියූ විද්‍යා ප්‍රබන්ධයයි. එය නවසිය හැටේ දශකයේ බෙංගාලීන් අතර අතිශය ජනප්‍රියත්වයට පත් වූයේ රායි පවුලේම ළමා ප්‍රකාශනයක් වූ සන්දේශ් සඟරාවේ පළ වීමත් සමඟය. රායිගේ මිත්‍ර කවියකු වූ සුභාෂ් මුඛෝපාද්‍යාය සමඟ සංස්කරණය කළ එය 1913 උපේන්ද්‍රකිෂෝර් රායි චවුද්‍රි නම් රායිගේ මුත්තනුවන් ආරම්භ කෙරූවකි. බන්කු බාබුගේ මිතුරා ලෙස නම් කළ හැකි එය පාදක වනුයේ බෙංගාලයේ ඈත ගම්මානයක නෙළුම් පොකුණකට වැටුණු අභ්‍යවකාශ යානාවකි. ගැමියෝ එය පොළෝ ගැබෙන් මතු වූ පුදබිමක් යැයි සලකා වැඳුම් පිදුම් කරති. යානයේ සිටි මිස්ට ඇන්ග් නම් පිටසක්වල ජීවියා තමන් මෙහි සිටින කෙටි කාලය තුළ ගමේ කුඩා කොළු ගැටයකු වූ හබා ( බෙංගලි බසින් මැට්ටා හා සමාන තේරුමකි) සමඟ සිහිනයෙන් සම්බන්ධ වී ගම්මුන් හට විගඩම් කරයි. මේ පිළිබඳ උනන්දු වන ඉන්දීය ව්‍යාපාරිකයකු, කල්කටාවෙන් පැමිණි මාධ්‍යවේදියකු සහ ඇමෙරිකානු ඉංජිනේරුවරයකු කතාවට සම්බන්ධ වේ. ඇඟිලි තුනක් ඇති මේ පිටසක්වලයා සිය යානයෙන් එළියට එන අවස්ථාව විස්තර කරන ආකාරය රායිගේ අපදානය ලියූ ඇන්ඩෘ රොබින්සන් උපුටා දක්වන්නේ මෙසේය.

නෙළුම් පත් මත ඉතා වේගවත් කෙටි පියවර කීපයක් තබමින් ඉවුරට එන පිටසක්වලයා එහි පහළ පැතිරුණු තෘණ යායේ තියුණු පත්‍ර පරීක්ෂා කර බලා උණ පඳුරට පැන ගනී. එහි දී පිටසක්වලයාට කුඩා පැළයක් පෙනේ. ඔහුගේ ඇස් කහ පාට එළියකින් බැබළෙන්නට ගනී. ඔහු ඒ පැළය මතින් සිය අත්ල ගෙන යත්ම පැළය මලින් බර වී යයි. සිහින් මෘදු ඉහළ ස්වරයකින් ඇසෙන සිනා හඬ පිටසක්වලයාගේ සතුට නිසාය.

මේ තරම් සවිස්තර තිර රචනයක් රායි ඉංග්‍රීසි බසින් ලීවේ ලන්ඩනයේදී ස්ටැන්ලි කුබ්‍රික් 'ස්පේස් ඔඩිසි' සිනමා පටය රූපගත කරනු බැලීම‌ට ගිය ආතර් සී. ක්ලාක් හමු වීමෙන් අනතුරුවය. ක්ලාක්ගේ උනන්දු කිරීම මත සිය පිටපත කොලොම්බියා පික්චර්ස් වෙත එවන රායිට සමාගම සහාය දැක්වීමට තීරණය කළේ, අඩුම තරමින් පීටර් සෙලර්, මාලන් බ්‍රැන්ඩො සහ මැක්ක්වීන් වැනි සුපිරි තරු තුනක්වත් කෘතියට සම්බන්ධ කරගත යුතු බවද පවසමිනි. එසේම අවතාර් වෙනුවට එය දි ඒලියන් ලෙස නම් කිරීමටද සමාගම රායිව එකඟ කර ගත්තේය. එහෙත් ව්‍යාපෘතිය නොසිතූ අයුරින් ඇණහිටියේය.

වසර පහළොවකට පසු, 1982 එක්තරා උදෑසනක රායිට සිය මිත්‍ර විද්‍යා ප්‍රබන්ධක ආතර් සී. ක්ලාක්ගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. ශ්‍රී ලාංකික පුරවැසියකු බවට පත් වී සිටියද කීර්තිමත් ස්ටීවන් ස්පීල්බර්ග් ගේ නවතම සිනමා කෘතිය නැරඹීමට ආරාධනා ලැබ ලන්ඩනයට ගිය ක්ලාක්, ඊටී හෙවත් එක්ස්ට්‍රා ටෙරස්ට්‍රියල් චිත්‍රපටය නැරඹීමෙන් පසු ඇති වූ කැලඹීම නිසා මෙසේ රායි අමතා තිබිණි. ඉන්ඩියා ටුඩේ සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් මේ දුරකථන ඇමතුම පිළිබඳ හෙළි කරන රායි පවසන්නේ ක්ලාක්ගේ රෙකමදාරුව මත හොලිවුඩයට තම පිටපත යැවූ බවත්, ක්ලාක්ගෙන්ම රායිට අසන්නට ලැබුණේ ස්පීල්බර්ග්ගේ ඊ.ටී තමන්ගේ අවතාර්ට බෙහෙවින්ම සමාන බවත්ය. ඒපමණක් නොව 1977 ස්පීල්බර්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලද ක්ලෝස් එන්කවුන්ටර්ස් ඔෆ් ද තර්ඩ් කයින්ඩ් කෘතිය පවා රායිගේ අවතාර් නොවූවා නම් ස්පීල්බර්ග්ට කළ නොහැකි වනු ඇති බවද රායි පවසා තිබිණ. එසේම දි ඒලියන් බවට පත් වූ අවතාර් පිටපත ඇමරිකාව පුරා ඇති තරම් රෝනියෝ පිටපත් ලෙස බෙදා හැරී තිබුණු බවටද රායි චෝදනා කළේය.

කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පාසලේ ශිෂ්‍යයකු වූ අසීම් චබ්රා ස්පීල්බර්ග් කෘතිවලට මෙන්ම රායිගේ සිනමාවට වසඟ වූවෙකි. ඉන්ඩියා ටුඩේ සඟරාවේ කතාව ඔහුගේ කුතුහලය වැඩි කළේය. ඔහු බ්‍රිතාන්‍ය ජාතික මාරි සෙටොන් විසින් රචිත පෝර්ට්‍රේට් ඔෆ් අ ඩිරෙක්ටර්: සත්‍යජිත් රායි ග්‍රන්ථය ගෙන රායිගේ පිටසක්වලයාගේ කටුසටහන් චිත්‍ර පරීක්ෂා කළේය. එය ඊටී හි පිටසක්වලයාට දක්වන සමානකම් සෙව්වේය. ආතර් සී. ක්ලාක් නිවැරැදි බව ඔහුට වැටහුණි. රේ ගේ පිටසක්වලයාට හෙමීට චලනය වන ඇඟිලි තුනකි. ස්පීල්බර්ග්ගේ පිටසක්වලයාට හෙමීට චලනය වන ඇඟිලි හතරකි. දෙදෙනාටම ලෙඩ සුව කිරීමේ ශක්තිය ඇත්තා සේම ගසක මල් පුබුදන්නටද පුළුවන. තවත් සමානකම් බොහෝය. ඔහු ක්ලාක්, රායි සහ ස්පීල්බර්ග් තිදෙනාම ඇමතීමට ගත් උත්සාහයෙන් සාර්ථක වූයේ ක්ලාක් සහ රායි ඇමතුම් පමණි. ක්ලාක් පවසා තිබුණේ තමන් රායිට ඔන්නොහේ පාඩුවේ ඉන්න, ඔ්නෙම නම් තර්ජන ගර්ජන නැති වැදගත් ලිපියක් ස්පීල්බර්ග්ට ලියන්න, නඩුහබවලට යන්න එන්නම කාලේ අපතේ යයි යැයි කී බවය. දැඩි උත්සාහයකින් පසු රායි දුරකථනයෙන් සම්බන්ධ කර ගත් අසීස්ට අසන්නට ලැබුණේ රායි ඊටී නරඹා නැති බවය. එහෙත් ඇතැමුන් පවසන්නේ වැනිස් සිනමා උලෙළේදී රායි ඒය නැරඹූ බවයි. නිර්මාණ මංකොල්ලය සම්බන්ධව රායි කල්කටාවේ නීතීඥයකු සමඟ ස්පීල්බර්ග්ට එරෙහිව නඩු මඟට බැසීමට කතාබහ කරගත්තද කොලොම්බියා පික්චර්ස් රායිගේ පිටපත දුසිම් ගණනින් පිටපත් කර බෙදා හැරීම අවාසිදායක කරුණක්ව තිබිණි. ඒසේම ස්පීල්බර්ග් අවශ්‍ය වෙනස්කම්ද කර තිබීම නිසා බේරී යාමට ඇති ඉඩකඩ වැඩිය. මොනවා හරි කළ යුතුම යැයි සිතුවත් තවත් චිත්‍රපටයක් කරමින් සිටින නිසා රායිට ඒ සඳහා කාලය වැය කිරීමටද අපහසු බව පවසා තිබිණි. ස්පීල්බර්ග් කළේ තමන්ට ඒ කෘතිය කිරීමට තිබූ අවස්ථාව අහිමි කිරීමක් බව පැවසූ රායි කෙසේ වෙතත් ස්පීල්බර්ග් හොඳ චිත්‍රපට හදලා තිබෙන හොඳ අධ්‍යක්ෂවරයෙක් බවද පිළිගත්තේය. ස්පීල්බර්ග් කිසි දිනෙක කට ඇරියේම නැත. එහෙත් කැලිෆෝනියාවේ ඔහුගේ චිත්‍රාගාරයේ සේවකයකු මාධ්‍යවේදියාට කතා කොට මේ ලිපි නිසා ස්පීල්බර්ග් දැඩි පසුතැවීමකින් පසුවන බව පවසා තිබිණි.

සන්දීප් රායි, සත්‍යජිත් රායිගේ පුතුනුවන් ද තම පියාණන් මේ චිත්‍රපට දෙක නැරඹීමෙන් පසුව දැඩි කම්පාවකින් පසු වූ බව පුවත්පත් සාකච්ඡාවකට හෙළි කළේය. කෙසේ වෙතත් නිර්මාණකරුවකු වන සන්දීප් සිය පියාගේ අවතාර් ඉන්දියාවේ රූපවාහිනී තිරයට ගෙනාවේය.

එහෙත් ස්පීල්බර්ග් රායි සමඟ සාම සාකච්ඡා පවත්වා ඇතැයි සමහරු පවසති. එයට හේතුව මාර්ටින් ස්කෝර්සෙසේ, ස්පීල්බර්ග් ඇතුළු මර්චන්ට් අයිවරි ටීම් ආයතනය 1992 දී සත්‍යජිත් රායි වෙනුවෙන් ඔස්කා යාවජීව ගෞරව සම්මානය පිදිය යුතු බව පැවසූ ප්‍රධාන චිත්‍රපට නිෂ්පාදක කණ්ඩායම වීමයි.

ඒ කරුණු සියල්ල අපට වැදගත් වන්නේ ගාමිණි, ජෝ, ජීවරාණි ඇතුළු නිර්මාණයට නම් කර තිබූ ශ්‍රී ලාංකික ශිල්පීන් පිරිසට හොලිවුඩ්- ‌බොලිවුඩ් සංකලනයෙන් එන නිර්මාණයකට දායක වීමේ අවස්ථාව ගිලිහී යාම නිසාය. සියලු කරුණු කනගාටු දායක ලෙස පෙළ ගැසුණද මේ කතාව නිම වූයේ කර්තෘ මණ්ඩලයේ කොක් හඬලා සිනාසීමකිනි. ඒයට හේතුව මයික් විල්සන්ය. මයික් මෙහි පූර්ව නිෂ්පාදන කටයුතු සඳහා ඇමෙරිකාවට ගිය බව අපි දනිමු. ක්ලාක්, රායි, ස්පීල්බර්ග් මෙන්ම පාඨක ඔබ අප සියලු දෙනා මේ වෙනුවෙන් සුසුම්ලද්දී, නිසගයෙන්ම විනෝදකාමියකු වූ මයික් චිත්‍රපටය හැදුණත් නැතත් ඒ පූර්ව නිෂ්පාදන කටයුතු සඳහා ලද ඩොලර්වලින් නිව්යෝක් නගරයේ තරු පහේ හෝටලයක අධිසුඛෝපභෝගී නිවසක් පිටින්ම කුලියට ගෙන කාජ්ජ බෝජ්ජයෙන් ද නේක සම්පත්වලින්ද රිසි සේ වැජඹී ඒ කෙටි කාලය අහෝ සැපයි කියා ගත කළේලු.