සිනමාව ගැන හීන දැකපු කාලේ දැන් ඉවරයි

බුද්ධි කීර්තිසේන
අගෝස්තු 26, 2021
බුද්ධි කීර්තිසේන

 

 

මෙරට ජනප්‍රිය සිනමා නිර්මාණ ගණනාවක් නිෂ්පාදනය කළ චිත්‍රපට නිෂ්පාදකවරයෙකි බුද්ධි කීර්තිසේන. කලක් ජාතික ශිල්ප සභාවේ සභාපති ධූරය හෙබවූ ඔහු චිත්‍රපට ප්‍රදර්ශකයින්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා ද වේ. දශක ගණනාවක් මෙරට සිනමාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ නිෂ්පාදකවරයෙකි ඔහු. කොරෝනා වසංගත තත්ත්වයට පෙර සහ පසු දේශීය සිනමාවේ පවතින අර්බුද පිළිබඳව කතාබහකට අපි මෙවර බුද්ධි කීර්තිසේනව එකතු කරගත්තෙමු.

 

කොරෝනා වසංගතයත් එක්ක මෙරට සිනමාව තිබුණු තැනින් තවත් පහළටම වැටිලා නේද?

 

අනිවාර්යනේම සිනමාව තිබුණාට වඩාත් සෑහෙන්න පහළට වැටිලා. සිනමාවටත් වඩා සිනමා ප්‍රදර්ශනය සහ සිනමා නියාමනයත් පහළටම වැටිලා. සිනමා අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු,ප්‍රදර්ශකයන් මේ ඔක්කොම වසංගත තත්වය නිසා පසු බැහැල තියෙනවා. නමුත් ලංකාවේ සිනමාව නැති වෙලා නැහැ, සිනමාව තියෙනවා. නමුත් සිනමාව පවත්වාගෙන යාමේ ගැටලු තියෙනවා. කොරෝනා වසංගතය විශේෂයෙන් දේශීය සිනමාවට තමයි ලොකුම බලපෑම වුණේ. අපට සිනමාහල් වහන් වුණා. රජය විසින් සිනමා ප්‍රදර්ශකයින්ට සහ සහ නිෂ්පාදකයින්ට විශේෂ බදු සහන ලබාදීමේ පසුගාමී තත්ත්වයක් තියෙන්නේ. ඒ අවාසිය විශාල වශයෙන් දැනෙනවා. අපිට අද නෙමෙයි මේ ගැටලු හෙටත් තියනවා. කොරෝනා වසංගතය අවසන් වුණත් සිනමා කර්මාන්තය සශ්‍රික වන්නේ නැහැ.

 

සිනමාශාලා සීඝ්‍රයෙන් වැහෙමින් පවතිනවා.

 

කොරෝනා වසංගතයට කලින් සිනමාශාලා සියයකට වැඩි ප්‍රමාණයක් ලංකාවේ තිබුණා. එතනින් දැන් ඉතිරිව තියෙන්නේ සිනමාශාලා හැත්තෑවකට වැඩි ප්‍රමාණයක්. සිනමාශාලා බොහෝමයක් වැහුණා. මේ නිසා සිනමා කර්මාන්තයට සිදුවන හානිය වැඩියි. වසංගතයට කලිනුත් ලංකාවේ සිනමා කර්මාන්තය ඉතාම පහළ මට්ටමක තිබුණේ. දැන් ඊටත් වඩා පහළ මට්ටමකට වැටිලා.

නමුත් මේ වසංගත මධ්‍යයේ වුණත් තවමත් සිනමාපට හැදෙනවා?

 

මේ වගේ ව්‍යසන තත්ත්වයකදී වුණත් මේක අල්ලගෙන අමාරුවෙන් හරි අපේ කලාව රැකගෙන ඉන්න ඒ සියලුම සිනමාකරුවන්ට ආචාරය පුද කරනවා. ජැකසන් ඇන්තනී මේ ළඟදි චිත්‍රපටයක් හදන්න පටන්ගත්තා. මේ දිනවල මහාචාර්ය සුනිල් ආරියරත්න, සෝමරත්න දිසානායක, උදයකාන්ත වර්ණසූරිය ප්‍රවීණ සිනමාකරුවෝ වගේම තරුණ ළමයි පවා සිනමා නිර්මාණ හදනවා. මේ හැමෝටම ඕනේ සිනමාව රැකගන්න. ලක්කාවේ සිනමාව නැති වෙලා නැහැ. නමුත් සිනමා කර්මාන්තය සංවර්ධනය කිරීමේ කිසිම වැඩපිළිවෙලක් නැහැ. මේ වගේ ව්‍යසන තත්ත්වයකදී නිෂ්පාදකවරුන්ට, ප්‍රදර්ශකයින්ට රජය සහන ලබාදෙන්න ඕනේ. නමුත් ඒවා කිසිවක් වෙන්නේ නැහැ.

 

ලංකාවේ සිනමාවේ අර්බුද පටන්ගත්තේ අද ඊයෙ නෙමෙයි?

 

මේ ශතවර්ෂය පටන්ගත්ත වෙලේ ඉඳලා ලංකාවේ සිනමාව අර්බුදයක තිබුණේ. ලංකාවේ සිනමාව කඩා වැටිලා කියලා කවුරු හරි කියනවා නම් මම ඒක පිළිගන්නේ නැහැ. ලංකාවේ සිනමාව කඩා වැටිලා නෙමෙයි, කඩා වට්ටලා. ජාතික මට්ටමින් සිනමා කර්මාන්තය සංවර්ධනය කරන්න චිත්‍රපට සංස්ථාවක් තියෙනවා. වසර ගණනාවක් තිස්සේ නොයෙකුත් සභාපතිවරුන් එකේ පත්වුණා. 2015 ඉඳලා මේ වන තෙක් චිත්‍රපට සංස්ථාව භාරව භාරව සභාපතිවරුන් පස්දෙනෙක් පත් වුණා. ඒ පත් වුණු අයට කිසිම දැනුමක් නැහැ. එයාලා කළේ වැඩ කරන හැටි ගැන ඉගෙන ගත්ත එක විතරයි. එක්කෙනෙක් ඉගෙනගෙන වැඩ පටන් ගනිද්දී තවත් සභාපති කෙනෙක් පත් වෙනවා. චිත්‍රපට සංස්ථාවෙන් භාර නිලධාරීන්ට සිනමා කර්මාන්තය දියුණු කරන්න අවබෝධයක් නැති එක සිනමා කර්මාන්තය වැටෙන්න එක ප්‍රධාන හේතුවක්. සිනමා කර්මාන්තය දියුණු කරන්න චිත්‍රපට අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු, ප්‍රදර්ශකයන් සෑහෙන්න මහන්සි වෙනවා. කෝ එයාලට බදු සහන? එහෙම සහන නැතිව කොහොමද සිනමාව දියුණු කරන්නේ. දැන් බලන්නකො ඉන්දියාවේ මේ දැනුත් චිත්‍රපටි හැදෙනවා. කොරෝනා වසංගතය නිසා චිත්‍රපට ප්‍රදර්ශනය නොකළත් වසංගත තත්ත්වය අවම වුණාම නැවතත් නතර කළ තැනින් ඔවුන්ට පටන් ගන්න පුළුවන්. ඒත් අපිට එහෙම පුළුවන්ද? සිනමාව තිබුණාට කෝ සිනමාපට පෙන්වන්න සිනමාශාලා?

 

ඔබ කියන විදිහට මේ මොහොතේ චිත්‍රපටි සංස්ථාවේ මැදිහත් වීම අවමයි?

 

චිත්‍රපටි සංස්ථාව තිබුණාට සිනමාවට ඒකෙන් අවශ්‍ය දේ වෙන්නේ නැහැ. චිත්‍රපටි සංස්ථාවක් ලෙස සිනමාව දියුණු කරන්න අවශ්‍ය දේවල් ඔවුන් මැදිහත්වෙලා කරන්න ඕනේ. මිනිස්සු හිටියා කියලා බිල්ඩිමක් තිබුණා කියලා ඒක සංථාවක් වෙන්නේ නැහැ. ලංකාව සිනමා කර්මාන්තය යළි තිබුණු තැනට ගෙන එන්න චිත්‍රපට සංස්ථාව සතුව සංවර්ධන වැඩපිළිවෙලවල්, යෝජනා තියෙන්න ඕන. ලංකාවේ සිනමාව සංස්ථාවක් පාලනය කිරීම ඉතාම අසාධාරණයි. 1970දී චිත්‍රපට සංස්ථාව පිහිටුවීම සඳහා අපි සම්පූර්ණ සහයෝගය ලබා දුන්නා. නමුත් අද අපි ඒ ගැන පසුතැවෙනවා. චිත්‍රපට සංස්ථාව ආරම්භ කරපු මුල් කාලය තුළ එය හොඳීන් ක්‍රියාත්මක වුණා. නමුත් එහි ක්‍රමයෙන් නිලධාරීන් සහ සභාපතිවරු මාරු වන විට ඔවුන් විවිධ මතවලට ක්‍රියා කරන්න පටන් ගත්තා. විවිධ සභාපතිවරුන් විවිධ මත දරන්නේ. ඒ සභාපතිවරු බහුතරයක් සිනමා කර්මාන්තය ගැන කිසිම අවබෝධයක් නැතුව නිලධාරීන් කියන දේවල් අහගෙන වැඩ කළේ. චිත්‍රපට සංස්ථාවෙන් වැඩක් කරනකොට ලෙඩ අදින එකයි කරන්නේ. මම හිතනවා චිත්‍රපටවල බලතල පෞද්ගලික අංශයට ලබා දුන්නා නම් දුන්නා නම් සිනමාව මීට වඩා හොඳ තැනක තියෙයි කියලා. ඒ වගේම වසර ගණනාවක් තිස්සේ චිත්‍රපට සංස්ථාව තිබුණා. ඔවුන්ට එක සිනමා ශාලාවක් වත් හදාගන්න බැරි වුණා. චිත්‍රපට සංස්ථාවට අයත් සිනමා මණ්ඩලයක් තියෙනවා "රිද්මා" කියලා. ගාමිණී සිනමාහල පිච්චුවා. සිනමාහලක් ඉවත් කළොත් ඒ සිනමාහල වෙනුවට තවත් සිනමහලක් ඉදි කරන්න භූමියක් ලබා දෙන්න ඕන කියලා නියමයක් තියෙනවා. ඒ අවශ්‍ය ඉඩමවත් ලබාගන්න චිත්‍රපට සංස්ථාව ක්‍රියා කළේ නැහැ.

 

ඔබ චිත්‍රපට සංස්ථාව පිහිටුවන්න සහයෝගය දුන්නා කිව්වා. දැන් ඒ ගැන කණගාටු වෙනවාද?

 

අනිවාර්යයෙන්ම ඔව්. මේ තත්ත්වය ඇති වුණාට මම කනගාටු වෙනවා. ඒ කාලේ හිටපු සභාපතිවරුන් චිත්‍රපට ප්‍රදර්ශකවරු සමඟ එකතුවෙලා වැඩ කළේ. මේ වනවිට විශාල සිනමා සංකීර්ණ හැදිලා නිෂ්පාදකවරුන්ට සිනමා කර්මාන්තය තව දියුණු කරන්න තිබුණා සිනමාව පෞද්ගලිකකරණය වුණා නම්. නමුත් අද යෝජනා කරන පෞද්ගලික ක්‍රමය මම හිතන්නේ නැහැ සුදුසුයි කියලා.

මොකක්ද විකල්පය?

 

මම ඇතුළු සිනමා ප්‍රදර්ශකයින්ගේ සහ නිෂ්පාදකයින්ගේ යෝජනාව "සිනමා සංවර්ධන අධිකාරියක්" පිහිටුවන එක. චිත්‍රපටි සංස්ථාව සිනමා සංවර්ධන නියාමන අධිකාරියක් බවට පරිවර්තනය කරන එක.

 

එහෙම කළොත් සිනමාවේ පවතින අර්බුද ටික විසඳෙයිද?

 

සිනමා සංවර්ධන අධිකාරියට සිනමාව සංවර්ධනය කරන්න සියළුම බලතල තියෙනවා. නමුත් ඒක සිනමා නිර්මාණ ප්‍රදර්ශනය කිරීම පාලනය කරන්න දෙන වරමක් නෙමෙයි. ඒක මෙහෙයවන්න දෙන වරමක්. පසුගිය කාලේ සිනමා නිර්මාණකරුවන් ප්‍රදර්ශකයන් සහ ආනයනකරුවන් එකතුවෙලා සිනමාව සංවර්ධනය කරන්න සැලසුමක් හදලා එක චිත්‍රපට සංස්ථාවට බාර දුන්නා. ඒක ඔවුන් පිළිගත්තා. ඒ සැලසුමට අනුව චිත්‍රපට බෙදා හැරීමේ ක්‍රමය, චිත්‍රපට නිෂ්පාදනය කිරීමේ ක්‍රමය, බදු සහන, සිනමා සංවර්ධන අධිකාරියක් පිහිටුවීම මේ සියලු කරුණු කාරණා අඩංගුයි. අපි බලාපොරොත්තු එහිදී චිත්‍රපට සංස්ථාව විසින් සහ බෙදාහැරීමේ සමාගම් විසින් ප්‍රදර්ශනයට දැවැන්ත මුදලක් අය කිරීම නෙමෙයි. චිත්‍රපට ප්‍රදර්ශකයින්ගෙන් සියයට දහයක් ඔවුන් අය කරනවා. ව්‍යාපාරයක් කරගෙන යද්දි අධික බදු ගෙවන්න වුණාම කොහොමද ඒ ව්‍යාපාරය දියුණු කරන්නේ? ඒකට විසඳුම විදිහට අපි යෝජනාවක් කළා. වසරකට හින්දි, දෙමළ, ඉංග්‍රීසි චිත්‍රපට දෙසීයකට නොඅඩු ගණනක් වාර්ශිකව ලංකාවට ආනයනය කරනවා. ඒ සඳහා සිනමා සංවර්ධන නියාමන අධිකාරිය විසින් බද්ධක් අය කරන්න ඕනේ. ලංකාවේ ආනයනය කරන හැමදෙයකටම බලපත්‍රයක් මගින් මුදල් අය කරනවා. නමුත් ආනයනික සිනමාවට එහෙම කෙරෙන්නේ නැහැ. චිත්‍රපට පවා රජය විසින් බෙදාහැරීමේ මණ්ඩලවලට බෙදලා දුන්නා.

දැන් මණ්ඩල පහක් තියෙනවා. රජයේ ව්‍යාපාරයක් පෞද්ගලික අංශය සමග කරනවා නම් ඒකට මුදලක් අය කරගන්න ඕන. ඒ මුදල මේ වෙන තෙක් අය කරගෙන නැහැ. චිත්‍රපට නිෂ්පාදකයින්ට, ප්‍රදර්ශකයින්ට කිසිම සහනයක් ලබාදීලා නැහැ. චිත්‍රපට ආනයනය කරන්න කැමති ඕනෑම කෙනෙකුට අවස්ථාව ලබා දීලා නියාමන අධිකාරිය මඟින් එයට බදු අය කරලා හරියට නියාමනය කරන්න. එහෙම කළොත් වසරකට මිලියන ගණනක් අය කරගෙන ඒ මුදල් සිනමා කර්මාන්තය වෙනුවෙන් යොදවන්න පුළුවන්. සැලසුම් සහගතව ඒක කළොත් රාජ්‍ය වශයෙන් සිනමාව සංවර්ධනයට මැදිහත් වෙන්න පුළුවන්. එහෙම නැතිව "අපි තමයි මේක කරන්න ඕනේ, අපි තමයි චිත්‍රපටි ටික පෙන්වන්න ඕනේ" කියලා ඒකාධිකාරියක් තියාගෙන එක නෙවෙයි. චිත්‍රපට සංස්ථාව පිහිටුවාට පසුව චිත්‍රපට සමාගම්වලින් චිත්‍රපට බෙදාහැරීම පවරා ගත්තා. නමුත් අවසානයේ 2019 වසර වන විට සිනමාව කඩා වැටුණා. චිත්‍රපට සංස්ථාවට කරගන්න බැරි නිසා පෞද්ගලික අංශයට දුන්නා. දැන් ඒ අය කඩා වැටිල තියෙන්නෙ.

 

එයට කලාන්තරයක් තිස්සේ චිත්‍රපට සංස්ථාවට පත්වුණු විවිධ නිලධාරීන්ගේ අත්තනෝමතික අවිධිමත් ක්‍රියා හේතුවක් වුණා කියලා සමහරු චෝදනා කරනවා.

 

නිලධාරීන් අතින් අත්තනෝමතික දේවල් වෙනවා තමයි. නමුත් ඒවා පාලනය කරන්න තමයි අධ්‍යක්ෂ මණ්ඩලයක් සහ සභාපතිවරයෙක් ඉන්නේ. ජාතික ශිල්පසභාවේ අවුරුදු එකොළහක් මම සභාපතිවරයා වෙලා හිටියා. හැබැයි අපි පාලනය කළේ කලාශිල්පීන් සහ කර්මාන්තකරුවන්ගේ අදහස් අරගෙන. චිත්‍රපට සංස්ථාවට සභාපතිවරුන් පත් වුණේ චිත්‍රපට ගැන අවබෝධයක් නැතිව. ඒ නිසා නිලධාරීන් විසින් ඒ සභාපතිවරුන්ව ගොනාට ඇන්දවීමේ ගැටලුවක් තියෙනවා.

 

මෙරට කර්මාන්ත සියල්ලක්ම පාහේ තාක්ෂණයත් සමග දියුණු වුණා. නමුත් සිනමාශාලා තවමත් යාවත්කාලීන වෙන්නේ නැහැ.

 

සිනමාශාලා නඩත්තු කරන්න කෝ සල්ලි? කෝ ආදායම්? සිංහල සිනමාවේ විශාල ආදයම් කඩාවැටීමක් තියෙනවා. ඉස්සර සිනමා ප්‍රදර්ශකයන් සිනමාශාලා අලුත්වැඩියා කළා. සිනමාව ගොඩගන්න උත්සාහ කළා. නමුත් ඒවාට බැංකු ණය ලබාදෙනකොට අධික පොලියක් අය කළා. සියයට විස්සක පොලියකට ණය දුන්නේ. මේ රජයෙන් තමයි ඒ පොලී ප්‍රතිශතය අඩු කළේ. මේක හරියට දම්වැලක පුරුක් වගේ. එකක් වැටෙද්දි අනෙකත් කඩාගෙන වැටෙනවා. අවසානයට වෙන්නේ කැඩිලා විසිරිලා යන එක. ඒ නිසා නියාමන අධිකාරියක් පිහිටුවන්න ඕනේ කියන මතයේ මම ඉන්නවා.

රූපවාහිනිය සහ අන්තර්ජාලය සිනමාවට තර්ජනයක් කියලා සමහරු කියනවා.

නැහැ. මම ඒක අනුමත කරන්නේ නැහැ. මොකද පසුගිය වසර පහ දිහා බැලුවම අපිට පේනවා හොඳ චිත්‍රපටි සහ ජනප්‍රිය රැල්ලේ චිත්‍රපටවලට හොඳ ආදායමක් ලැබුණා. ඒ නිසා චිත්‍රපට නිෂ්පාදකවරු දෙවෙනි තුන්වෙනි හතරවෙනි වතාවටත් චිත්‍රපට නිෂ්පාදනය කළා. ඒ නිසා රූපවාහිනිය සහ අන්තර්ජාලය තර්ජනයක් යන මම පිළිගන්නේ නැහැ. මොකද මිනිස්සු අදටත් පුළුල් තිරයේ ලබන සිනමා අත්දැකීම් අත්දැකීම විඳීන්න කැමති. යම් ප්‍රමාණයක් රූපවාහිනියෙන් හෝ අන්තර්ජාලයෙන් චිත්‍රපට නරඹලා සිනමාහල්වලට නොගිහින් ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් මේ කාලයේ කෙටි චිත්‍රපටි සහ ටෙලි චිත්‍රපටි කියලා ජාතියක් ටෙලිවිෂන් නාළිකාවල හදලා පෙනවනවා. ඒවාට මිනිස්සු පුරුදු වුණොත් සිනමාවෙන් ඈත් වෙන්න පුළුවන්. චිත්‍රපට සංස්ථාවට නීති රාශියක් තියෙනවා. නමුත් ටෙලිවිෂන්වලට කිසිම නීතියක් නැහැ. ඕනේ ජාතියක් පෙන්වන්න පුළුවන්. අපි කියන්නේ නැහැ ටෙලිවිෂන් එකට වාරණ දාන්නෙ කියලා. ඒත් චිත්‍රපට සංස්ථාවට දාලා තියෙනවා වාරණ ඉවත් කරන්න කියලයි මම කියන්නේ. මේ ප්‍රශ්නෙට හොඳම උදාහරණේ ඉන්දියාව. ඉන්දියාවේ මිනිස්සු දැවැන්ත තිරවල චිත්‍රපට බලනවා වගේම ගෙදර ඇවිත් ටෙලිවිෂන් එකේ ඉන්දියානු නාට්‍යත් නරඹනවා.

 

චිත්‍රපට බෙදාහැරීමේ මණ්ඩලවල තියෙන අවිධිමත් බවත් සිනමා අර්බුදයට හේතුවක්?

 

සිනමාවේ පසුබෑමට ඒකත් විශාල හානියක්. මේක ඇතුළේ තියෙන ඇත්ත ප්‍රශ්නේ චිත්‍රපට සංස්ථාව සමඟ සිනමා මණ්ඩල ගිවිසුම් ගත වුණාට ඒ ගිවිසුම් අනුව වැඩ කටයුතු සිදුවෙලා නැහැ. චිත්‍රපට මණ්ඩල විසින් වාසටකට චිත්‍රපටි තුනක් හදන්න ඕනේ. ඒක වෙන්නේ නැහැ. චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා සහයොගය ලබාදෙන්න ඕනේ. චිත්‍රපට ප්‍රචාරණ කටයුතු මෙහෙයවන්න ඕනේ.ඔවුන් විසින් සිනමා ශාලා හදන්න ඕනේ. මේ කිසිදෙයක් කෙරෙන්නේ නැහැ. නමුත් ඒවා වෙන්නේ නැහැ කියලා සංස්ථාව ඒවාට එරෙහිව කටයුතු කරන්නෙත් නැහැ.

 

ලංකාවේ සිනමාවත් ජනප්‍රිය සහ විකල්ප ධාරාව කියලා කොටස් දෙකකට බෙදිලා.

 

මිනිස්සුන්ට බලන්න බැරි චිත්‍රපට ගොඩක් පහුගිය කාලේ ලංකාවේ හැදුණා. ඒවායේ කිසිම සාරයක් නැහැ, පිළිවෙලක් නැහැ. එත් ඒවා පෙන්වන්න කියලා නිෂ්පාදකවරු ලෝක යුද්ධයක් කළා. (සිනාසෙමින්) බෙදාහැරීමේ මණ්ඩල කොහොමද ඒ වගේ චිත්‍රපට පෙන්වන්නේ. චිත්‍රපටය පෙන්වනවා නම් ඒත් ඒවායෙන් හොඳ ආදායමක් ලැබෙන්න ඕන. නිෂ්පාදකවරු රවට්ටගෙන සමහර අධ්‍යක්ෂවරු තමන්ට ඕනේ විදිහට චිත්‍රපට හැදුවා. ඒවා තිරගත කරන්න බැරි මට්ටමේ චිත්‍රපට. දැන් පසුගිය කාලේ සමහර චිත්‍රපටි තිරගත කළා. සතියක්වත් ඒ චිත්‍රපටි තිරගත වුණේ නැහැ. ඒ වගේ තත්ත්වයක් උඩ සිනමාව හදන්න බැහැ. ඒවාට වැය කරන මුදල් පවා අපරාදේ. ඒ අන්තර්ජාතික චිත්‍රපටවලට සම්මානත් ලැබෙනවාලු. ඒත් මිනිස්සු සම්මාන බලන්නේ නැහැ. ලංකාවේ හැදෙන චිත්‍රපට නරඹන්න හට ප්‍රිය විය යුතුයි කියන මතයේ මම ඉන්නේ. ඒ නිසයි මිනිස්සු විදේශ චිත්‍රපට බලන්න පෙළඹෙන්නේ. නෙට්ෆ්ලික්ස් එකෙන්, යූටියුබ් එකෙන්, ටෙලිවිෂන් එකෙන් කුමක් හෝ විකල්පයකින් මිනිස්සු විදේශ චිත්‍රපට බලනවා. ඒ නිසා ලංකාවේ නිසි ප්‍රමිතියට ප්‍රේක්ෂකයාට ප්‍රිය චිත්‍රපටයක් හැදුවොත් ඒවායෙන් ආදායම් වාර්ථා තියන්න පුළුවන්.

සීනේසිටි වෝටර් ෆ්‍රන්ට් ව්‍යාපෘතියට මොකද වුණේ?

 

පිටකොටුවෙන් බිහිවුණු මෙරට චිත්‍රපට හා සිනමා රසික සංස්කෘතිය නැවතත් පිටකොටුවෙ නගරයේම ස්ථාපිත කරන අරමුණෙන් තමයි මේ ව්‍යාපෘතිය අපි ආරම්භ කළේ. ෆ්ලෝටින් මාර්කට් එක අපි අලුතින් නම් කරන්නේ සිනේසිටි වෝටර් ෆ්‍රන්ට් (ඛ්ඪදඥජඪබර එචබඥප ජ්පධදබ) කියලා. මෙය සිනමා උයනක්. මේ තුළින් අපගේ සැලසුම සිනමා සංස්කෘතියක් බිහි කරන්නයි. මීට වසර දෙකකට පෙර එහි මුල්ගල තැබීමේ කටයුතු සිදු වුණා. කොරෝනා වෛරසය සමඟ ඉදිකිරීමේ කටයුතු නතර කරන්න සිදු වුණා. මේ සඳහා මිලියන 80ක පමණ මුදලක් වියදම් කරන්න සිදුවෙනවා. ෆ්ලෝටින් මාර්කට් එකේ වෙළඳ සංගමය අපෙන් ඉල්ලීමක් කළා ඉදිකිරීම් කටයුතු කරන්නෙ නැත්නම් කඩ සාප්පු ඔවුන්ට නැවත ලබා දෙන්න කියලා. මේ වගේ වාතාවරණයක එතරම් එතරම් ලොකු මුදලක් වැය කරන එක තේරුමක් නැති වැඩක් කියලා අපිට හිතුණා. ඒ නිසා අපි එය තාවකාලිකව නතර කළා.

 

මෙවැනි මොහොතක කලාකරුවන්ගේ කාර්යභාර්ය කුමක්ද?

 

කොයි තරම් අපහසුතාවයන් තිබුනත් කලාකරුවන් තමන්ගේ වගකීම ඉටු කරන බව පේනවා. ඔවුන්ට මුදල් ලැබෙන්නේ රඟපෑවොත් විතරයි. ඒ නිසා ඔවුන් මේ වගේ වසංගත තත්වයකදී වුණත් අවම ගෙවීම් යටතේ වුවත් තමන්ගේ රංගන කාර්යයභාරය ඉටු කරනවා. ඒ වගේම කලාකරුවන්ගේ වගකීම රජයෙන් ලබාගත් ණය මුදල් තිබෙනවා නම් ඒවා නිසි ලෙස ගෙවන්න. තිස්ස අබේසේකර මහත්මයා චිත්‍රපටි සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන කාලයේ බොහොම සුබවාදී ලෙස මේ රටේ හොඳ චිත්‍රපට හදන්න අධ්‍යක්ෂවරුන්ට කෝටි 14ක ණය මුදලක් ලබාදුන්නා. නමුත් ඕනෑම රාජ්‍ය ආයතනයකින් ණයට මුදලක් ලබා දුන්නොත් ඒ මුදල නැවත අය කර ගන්න ඕනේ. පසුව චිත්‍රපට සංස්ථාවට ආපු නිලධාරීන් ඒ ණය මුදල ලබාදුන්නේ බොහොම ප්‍රබුද්ධ ප්‍රවීණ කලාකරුවන්ට කියලා ඒ ණය සඳහා පනවපු නඩු ඉල්ලා අස් කරගත්තා. නමුත් ගැටලුව වෙන්නේ එය ණය මුදල් ලබාගත් සමහර කලාකරුවන් චිත්‍රපට හදනවා වෙනුවට ඒ මුදල් තමන්ගේ පෞද්ගලික දේවල්වලට වියදම් කළා. ඒ නඩු ඉල්ලා අස් කරගැනීම තුළින් නැවත කිසිම ණය මුදලක් අය කරගන්න හැකියාවක් ලැබෙයි කියලා මම හිතන්නේ නැහැ.

 

සිනමාවේ අනාගතය ගැන ඔබ කොයිවගේ හීනද දකින්නේ?

 

මම සිනමාව ගැන හීන දැකපු කාලේ දැන් අවසානයි. මගේ පුතා බූඩි කීර්තිසේන විවිධ වැඩ සලසුම් කරනවා. සිනමාවේ නව අත්හදාබැලීම් කරනවා. තරුණ පරපුරට මට කියන්න තියෙන්නෙ ධෛර්යවන්තව සිනමාව වෙනුවෙන් වැඩ කරන්න කියලා. අපට වඩා තරුණ කණ්ඩායම සහ ක්ෂේත්‍රයේ නවකයෝ සියල්ලම එකතු වෙලා දේශීය සිනමා කර්මාන්තය ඉහළම තැනකට ගෙන එන්න කටයුතු කරන්න ඕනේ. ඒ වගේම ඔවුන් මතක තියාගන්න ඕන ප්‍රේක්ෂකයාට ප්‍රියජනක සිනමා නිර්මාණ හදන්න. දැන් ඉන්න තරුණ පිරිස හරිම දක්ෂයි. ඒත් ඔවුන් පමණට වඩා සිනමාව තුළින් යථාර්ථය පෙන්නන්න උත්සාහ කරන නිසා ඔවුන්ගේ නිර්මාණ ප්‍රේක්ෂකයන් වැළඳගන්නේ අඩුවෙන්. ඒ නිසා ප්‍රේක්ෂකයන් ප්‍රිය කරන සිනමාව නැවත රැගෙන එන්න සියලුම දෙනා කටයුතු කරන්න ඕන.