“නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස”

නමස්කාර පාඨය ග්‍රැමොෆෝන් ගීයට නැඟුණු අයුරු
අගෝස්තු 19, 2021

මෙරට පූර්ව සිනමා ග්‍රැමොෆෝන් ගීත ඉතිහාසය (1906-30) තුළ බෞධාගමික තේමා රැගත් ගීත වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මුල් 1906-27 කාලයේ පාලි ගාථා සහ සූත්‍ර බොහොමයක් තැටියට නංවන ලද්දේ එවකට සුප්‍රසිද්ධ යතිවරුන් වූ, බත්තරමුල්ලේ සුභූති, කරඳන ජිනරතන, ඉසුරුමුණියේ සරණංකර ආදී යතිවරුන් විසිනි. පැවිදි පාර්ශ්වය විසින් පමණක් නොව, ආර්. ජෝන් පෙරේරා (ඡත්ත මානවක ගාථා), අල්විස් නෝනා මහත්මී (නරසීහ ගාථා) ආදී ගිහියන් විසින් ද ගාථා -සූත්‍රාදිය එවකට ග්‍රැමොෆෝන් තැටි වලට නඟන ලදී. වර්ෂ 1939 සිට හිස් මාස්ටර්ස් වොයිස් සහ කොළොම්බියා තැටි සඳහා ගායක ගායිකාවන් සහ සංගීතඥයන් වෙනවනම ලියා පදිංචි වූ පසු, මෙකී ගීත තැටි සමාගම් දෙක මගින් ද වරින් වර ගාථා සූත්‍ර ඇතුළත් තැටි මෙන්ම, පාලි ගාථා පාඨ ඒවායේ තේරුම් ද සහිතව ගීතයන්ට ඇතුළත් කළේ ශ්‍රාවකයන් වෙත නවමු අත්දැකීමක් ලබා දෙන අටියෙනි.

 

පාලි ගාථා පාඨයන් සිංහල ග්‍රැමොෆෝන් ගීත සඳහා ඇතුළත් කිරීමේ ප්‍රවණතාවය හිස් මාස්ටර්ස් වොයිස් සහ කොළොම්බියා සමාගම් දෙකේම තරඟකාරීත්වයෙන් එවකට සිදුවූ බවට නිදසුන් ලෙස පෙන්වාදිය හැකි සාක්ෂි කීපයකි. හිස් මාස්ටර්ස් වොයිස් ලේබලයෙන් වර්ෂ 1941 දී ඇම්. කේ.වින්සන්ට් සහ චන්ද්‍රාවතී ගැයූ ඡත්ත මානවක ගාථා ඇතුළත් “ මගේ ස්වාමි ශාක්‍යසිංහ” ගීතයත්, කොළොම්බියා ලේබලයෙන් වර්ෂ 1941 දී නිකුත් කළ සී. වීරසේකරයන් විසින් රචිත ග්‍රේටා ජැනට් ද සිල්වා සහ සෙල්සි ද සිල්වා බාලිකාව ගායනා කරන "පුංචි නංගී එයි දැන් තාත්තා අපේ” (“වුද්ධිකාරෝ ආලිංගිත්වා” පාලි ගාථාව ඇතුළත් ) සහ “ආලේ පානා අක්කේ” (“දස මාසේ උරේ කත්වා” පාලි ගාථාව ඇතුළත් ) දෙමාපිය වන්දනාවන් ද, යු.ඩී පෙරේරා මහතාණන් විසින් වර්ෂ 1940 දී රචනා කරන ලද, වසන්තා සන්දනායක ගායිකාව විසින් ගායනා කරනු ලබන “පුජෙමි බුද්ධං” සහ “බෝධි වන්දනාව” නොහොත් “ඉන්දනීල වණ්න පත්ත” ගීත යුගලයත් නිදසුන් ලෙස දැක්විය හැකි ය. මෙම ලිපියෙන් මා අද ඔබ වෙත ගෙන එන්නේ එවැනි පාලි ගතා පාඨයක් මූලික කරගෙන ප්‍රබන්ධ කරන ලද, සිංහල ග්‍රැමොෆෝන් ගී යුගයේ බිහිවූ ස්වතන්ත්‍ර තනුවක් රැගත් ගීතයක ඉතිහාසයයි.

වර්ෂ 1942 දී කොළොම්බියා තැටි ලේබල අංක ට්ඡ් 15104 අංකයට යූ.ඩී.පෙරේරා මහතා විසින් ප්‍රබන්ධ කරනු ලදු ව, කේ. කේ. රාජලක්ෂ්මී ගායිකාව සහ යූ.ඩී.පෙරේරා මහතා විසින් මොහොමඩ් ගවුස් මාස්ටර් ගේ ස්වතන්ත්‍ර තනුවකට ගැයූ “නමෝ තස්ස“ යන ගීතය “නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුධස්ස” යන පාලි නමස්කාර පාඨය මුල් කරගෙන තැනු කර්ණරසායන තනුවක් රැගත් ග්‍රැමොෆෝන් ගීතයකි. මෙම ගීතය නිර්මාණය කිරීමට යූ. ඩී. පෙරේරා මහතා මුල්කරගත්තේ පහත සඳහන් පාලි ගාථාවයි.

“සාතාගිරෝ නමෝ යක්ඛෝ -තස්ස ච අසුරින්දදො

භගවතෝ මහා රාජා - සන්තෝ අරහතො තථා

සම්මා සම්බුද්ධස්ස මහා බ්‍රහ්මා -එතෙ පඤ්ච පතිට්ඨිතා”

මෙම ගාථා පාඨයෙන් කියැවෙන්නේ අප සම්මා සම්බුදු රජාණන්වහන්සේ හට නමෝ- තස්ස- භගවතෝ- අරහතෝ සහ සම්මා සම්බුද්ධස්ස යනුවෙන් අමතා නමස්කාර කළ පිරිස් පිළිබඳව ය. එනම්, බුද්ධත්වයෙන් දෙවැනි දින ශ්‍රී මහා බෝමැඩදී සමවත් සුවයෙන් වැඩහිඳීනා කල්හි, සාතාගිරි නම් යක්පතියා “නමෝ” ලෙසද, වේපචිත්ත නම් රාහු අසුරේන්ද්‍රයා “තස්ස” යනුවෙන්ද , සතරවරම් දෙවිවරු “භගවතෝ” ලෙසද , ශක්‍ර දේවේන්ද්‍රයා විසින් “අරහතෝ” යනුවෙන්ද , සහම්පති මහා බ්‍රහ්මයා “සම්මා සම්බුද්ධස්ස” ලෙසද අමතමින් තිලෝගුරු ශාන්ති නායක බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී පා පද්මය අර්ථ සහිතව වන්දනා කළ අයුරුත්, එලෙස සුරාසුරයන් ගේ වන්දනාවට පාත්‍ර වූ සම්බුදු පා පද්මය සැදැහැ සිතින්, යෝනිසෝමනසිකාරයෙන් (එළඹ සිටි සිහියෙන් යුතුව) වන්දනය කළ යුතු ආකාරය, ස්වකීය රසික ජනයා වෙත විනාඩි තුනක් වැනි කෙටි කාලයකින් බුද්ධාලම්බනය ජනනය වන අභිරමණීය වදන් වැලකින් ගෙත්තම් කිරීමට යූ . ඩී පෙරේරා නම් අසහාය ගීත රචකයා සමර්ථ වූ ආකාරය අතිශයින් ප්‍රශංසනීය ය.

 

බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන ආකාරයට බුධාත්වය ලබා සිරිමා බෝමැඩ මුල සමවත් සුවයෙන් සිටි බුදුරදුන්ට “නමෝ” කියා පළමුව වැන්දේ සාතාගිර නම් යක්පතියා ය. තම කක්ෂ සමාගමය වෙත අහසින් යාමට බුදුරදුන්ට ඉහලින් තෙවරක් ඉහළින් ඵමන් ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වූ ඔඅසු, බුදු රදුන් වෙත පැමිණ “නරමා“ යනුවෙන් වන්දනා කළේ ය. මෙහි “න” යන්නෙන් පාපයන් ගෙන් වැළකීමත්, “මො” යන්නෙන් මොක්පුර/ නිවන් පුර නොහොත් දුකින් මිදීමේ මාර්ගයත් දැක්වෙයි. එනම්, “නමෝ“ යන්නෙන් “සියලු දුකින් මිදීමේ නිර්වාණ මාර්ගය පෙන්වා දුන්” යන අදහසින් නමස්කාර කරනු ලැබේ. “තස්ස“ යන්වෙන් වේපචිත්ත නම් අසුරේන්ද්‍රයා වන්දනා කළේ “සියලු ලෝ වැසි සත්ත්වයනට හිත -සුව පිණිස උතුම් වූ නිර්වාණ මාර්ගය පෙන්වා දෙන” යන අදහසිනි. එසේම, ජය ශ්‍රී මහ බෝමැඩ අභියස දී, දස මර සෙන් පරාජයට පත් කර, සම්බුද්ධත්වයට පත් වූ අවස්ථාවේ, ධෘතරාක්ෂ, විරූඪ, විරූපාක්ෂ සහ වෛශ්‍රවණ යන සතරවරම් දෙවිවරු “භගවතෝ“ ( නොහොක් “භාග්‍යවතුන්වහන්සේ”) යනුවෙන් වන්දනා කළේ, ධනය, ඤාණය, යසස, කීර්තිය, වර්ණ, සීල, සමාධි, ප්‍රඥා ආදී ගුණ යන සියල්ලෙන් සම්පූර්ණ වූ හෙයින්ද, උන්වහන්සේ දැන උගත් සියලු ධර්මය මුල - මැද - අග නිසි ලෙස බෙදා වෙන්කිරීමට සමර්ථ වූ බැවින් ද, සංසාර ගමන දුරු කළ බැවින්ද යන අදහස ලේරදරී කරගෙන ය. තවද, “අරහතෝ“ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත, බෝධි මූලයට පැමිණ ශක්‍ර දේවෙන්ද්‍රයාණන් නමස්කාර කළේ රහසින්වත් පව් නොකොට, සියලු ක්ලේශයන් නසා, සියලු පූජාවන් ලැබීමට සුදුසු වූ බැවිනි. සහම්පති මහා බ්‍රහ්මයා විසින් “සම්මා සම්බුද්ධස්ස“ යනුවෙන් තථාගතයන් වහන්සේ නමස්කාර කළේ, කිසිඳු ගුරුවරයෙකුගේ පරෝපදෙශයකින් තොරව, තමාගේ නුවණින්ම අවබෝධ කරගෙන තිබෙන චතුරාර්ය සත්‍ය ධර්මය ලෝක සත්ත්වයාගේ හිත සුව පිණිස සඳහා දේශනා කරනු මැනව යනුවෙන් නමස්කාර කොට ඇරයුම් කිරීමෙනි.

මෙකී සුවිශේෂී අර්ථසම්පන්න නමස්කාර පාඨය විනාඩි තුනකට ආසන්න කාලයක් තුළදී ගැයිය හැකි, සුමිහිරි ගීයක් බවට පරිවර්තනය කිරීම ද ප්‍රශංසනීය කටයුත්තකි. කොළොම්බියා ගීත තැටි සමාගමේ ප්‍රධාන ගීත ප්‍රබන්ධකයාණන් වූ යු. ඩී. පෙරේරා සිරිමතාණන් 1937-1945 වකවානුව තුළ බහුලවම අනුකාරක හින්දි, දමිල සහ වංග (බෙංගාලි) ගීත තනු සදහා වදන් යොදා සිංහල ගීත නිෂ්පන්න කිරීමේ කර්තව්‍යයෙහි නියමුවාණන් විය. එනමුදු, එතුමා අතින් ගවුස් මාස්ටර් ගේ ස්වතන්ත්‍ර ගී තනු සදහා ද ගීත රාශියක් නිර්මාණය විය. ගාථා පාඨ අඩංගු වූ වන්දනීය වූ සහ අවවාදාත්මක වූ ගීත සහ “පලතුරු වෙළෙන්දි සහ ළමෝ“, “ රං තොටිල්ලේ”, “මුහුද“, “සමනළයා“ ආදී ළමා ගීත (බාලාංශ ගීත) රාශියක් ද ඒ අතර විය. ඊට අමතරව “ලංකා ෆිල්ම් කොම්පැණි රැකෝඩ්ස්” නම් ලේබලයෙන් නිකුත් වූ "නිල් අහස් තලේ ", "මේ ගසේ බොහෝ පැණි දොඩම් " වැනි ස්වතන්ත්‍ර නිර්මාණද 1940 දශකය තුළ එතුමාණන් අතින් බිහිවිය.

එසේම, ග්‍රැමොෆෝන් ගීත ඉතිහාසය තුළ 1937-1945 වකවානුවේදී මොහොමඩ් ගවුස් නාදෙශ්වරයාණන් විසින් සම්පාදිත ගීත බොහොමයක් ම පාහේ, සුප්‍රකට බෙංගාලි ,හින්දි, මරාතී, තෙලුගු හෝ ද්‍රවිඩ ගී තනු වල අනුකාරක ගීතයන් විය. මේ කාලය තුළ එතුමා විසින් නිර්මාණය කළ ස්වතන්ත්‍ර තනු ප්‍රමාණය ඉතා අතළොස්සකි. එකී අතළොස්සක් වූ ස්වතන්ත්‍ර නිර්මාණ අතුරින්, මෙම ගීතය සංගීතඥ මොහොමඩ් ගවුස් මාස්ටර් ගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් වීම ද එක්තරා විශේෂත්වයකි. වර්ෂ 1943 නිකුත් කරන ලද කොළොම්බියා ගීත කැටලොග් පොතේ මේ ගීතයේ තනුව පිළිබඳව සඳහන් වූයේ මේ අයුරිනි: “ලංකා බිමේ නිපැදුණු මින් පෙර නෑසූ ඉතා ම සුමිහිරි වෘතයක්” යනුවෙනි.එමගින් ද මෙය ස්වතන්ත්‍ර තනුවක් බව ශ්‍රාවකයන්ට ඒත්තුගන්වා දී ඇත. මෙහි වාදය භාණ්ඩ ලෙස බට නළාව, පියෑනෝව, තබ්ලා, හාර්මෝනියම් සහ ක්ලැරීනට් භාවිත කර ඇත.

මෙම “නමෝ තස්ස” ගීතය ගායනා කිරීමට ගීත රචක සහ සංගීතාචාර්ය යූ.ඩී. පෙරේරා මහතා හට සහාය වූයේ එවකට මොහොමඩ් ගවුස් මාස්ටර් ගායක කණ්ඩායමේ සිටි ප්‍රධානම ගායිකාවක වූ කේ.කේ. රාජලක්ෂ්මි මහත්මියයි. යාපනයේ පදිංචිකාරියක වූ දකුණු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි තැනැත්තියක බවද, එවකට මරදානේ පොලිස් ස්ථානයේ නිලධරයෙක් සමග විවාහප්‍රාප්තව සිටි බව ද සඳහන් වේ. මොහිදීන් බෙග් මහතා ස්වකීය පළමු යුග ගීය වූ “කරුණා මුහුදේ නාමු ගිලීලා” ගීය ගායනා කළේ ද මෙතුමිය සමග ය. යූ. ඩී. පෙරේරා, මොහිදීන් බෙග්, සහ එඩී. ජුනියර් සමගින් යුග ගී ගැයූ මෙතුමිය, “කෝප වෙන්නේ ඇයි පෙම්බර ස්වාමි”, “භව දුක වේවා තුනී”, “සාධු සීල රකිනා” ආදී කේවල ගායනා ද කොළොම්බියා තැටි වෙනුවෙන් ගයනා කළා ය. එසේම, යූ. ඩී. පෙරේරා මහතා සමගින් වැඩිම ප්‍රමාණයක් යුග ගී ගැයූ ගායිකාව වූයේ ද කේ.කේ.රාජලක්ෂ්මි මහත්මියයි. “ස්වාමී ශ්‍රී සිද්ධාර්ථ”, “පූජා පා තුති පූජා පා“,”ශ්‍රී මහා බෝධි සුබෝධි මූලේ”, “රුවින් සුරම් ගුණෙන් උතුම් සෝමා දේවී”, “ශාන්ත වූ සයුරෙහි පාවී” ආදී ගීත එම දෙපළ විසින් කොළොම්බියා ලේබලය වෙනුවෙන් තැටිගත කළ ගීත ය. “නමෝ තස්ස” ගීතය රාජලක්ෂ්මි මහත්මිය විසන් තැටි ගත කළ අවසන් ගීත කීපය අතුරින් එකකි. වර්ෂ 1943 දී දෙවැනි ලෝක සංග්‍රාමයේ සෙවණැලි මෙරටට ද පැතිර යද්දී රාජලක්ෂ්මි මහත්මිය නැවතත් ඉන්දියාව බලා පිටත් වූ බව සඳහන් වෙයි. වර්ෂ 1939-43 කාල වකවානුවේ රාජලක්ෂ්මි මහත්මි කොලොම්බියා ලේබලය සඳහා ගීත 24 ක් පමණ තැටිගත කළා ය.

උක්ත “නමෝ තස්ස භගවතෝ” ගීතය ප්‍රබන්ධ කොට ගායනා කළ යූ. ඩී පෙරේරා මහතා බෞධාගමිකයෙකි. ගායනයෙන් සහාය වූ රාජලක්ෂ්මි මහත්මී දමිළ හින්දු කාන්තාවකි. තනු නිර්මාණය සහ සංගීත අධ්‍යක්ෂණය කළ මොහොමඩ් ගවුස් මාස්ටර් ඉස්ලාම් ලබ්ධිකයෙකි. එබැවින්, මෙම සුවිශේෂී බෞද්ධ ගීතය මෙරට ගීත ක්ෂේත්‍රයේ මුල් යුගයේ බොදු- හින්දු - ඉස්ලාමික සබැඳීයාව පෙන්වන කදිම නිදර්ශනයකි. දශක ගණනාවක් පුරාවට ශ්‍රාවක සිත් සතන් මනෝරංජනය කිරීමට සමත් වූ මෙම ගීතය තිළිණ කළ එකී සියලුම කලාකරුවනට මෙම සටහන උපහාරයක් ම වේවා !

මූලාශ්‍ර : කොළොම්බියා කැටලොග් පොත (1943), ඇන්. පොරෝලිස් සමාගම, මරදාන; සඳහම් මඟ - නාරද හිමි (1967)

 

විශේෂ ස්තූතිය : ගීත තැටි සංරක්ෂක එච්.එම්. ගුණතිලක මහතා සහ ටී. ඇන්. විජේසිංහ මහතා