අඟමලේ උපන් අඟමලේ මාවතේ වෙසෙන පොඩිරත්න

අගෝස්තු 12, 2021

 

 

 

ලාංකේය ගීත සාහිත්‍යයට මෙන්ම කෙටි කතා හා කාව්‍ය ක්ෂේත්‍රයට ද අගනා නිර්මාණ රැසක් දායාද කරමින් සාහිත්‍යකරුවෙකු , ජනශ්‍රැති පර්යේෂකයෙකු වශයෙන් පුරා දශක ගණනාවක් කටයුතු කරන ඔහු විධිමත් අධ්‍යාපනයකින් තොරව තම අභිප්‍රායන් මුදුන් පමුණුවා ගත්තෙක්. ගල්ගමුවේ ඈත දුෂ්කර ගම් ප්‍රදේශයක ඉපිද ග්‍රාමීය ජීවිතයේ රිද්මය කාව්‍යකරණයටත්, ගී පද සාහිත්‍යයටත් එක්කළ ඔහු පොඩිරත්න අඟමලේය.

 

‘ පොඩිරත්න නමින් මුල් නාමය ලද ඔහු සිය ගම් පියසට දැක්වූ අසීමිත ආදරය නිසාම එය තම නමේ අගට එකතු කර ගත්තේය. ඉන්පසු හේ පොඩිරත්න අඟමලේ විය. මෙරට ගීත සාහිත්‍යයේ පෝෂණය වෙනුවෙන් කළා වූ මහඟු මෙහෙවර අගයමින් , දැනට රෝගීව හෝ ජිවන උපායක් නොමැතිව සිටින ගීත රචකයන් වෙනුවෙන් ශ්‍රීලාංකේය ගී පද රචකයන්ගේ සංගමය පිරිනමන කැපකරු දිවි ශක්ති දීමනා ක්‍රමයේ ප්‍රතිලාභ ලබන්නට පසු ගිය දිනෙනෙපොඩිරත්න අඟමලේ ගීතරචකයාට අවස්ථාව හිමිවිණ. මෙමඟින් මාස්පතා රුපියල් පන්දහසක දිමනාවක් ඔහුට හිමවන අතර මේ පරිත්‍යාගය ලාංකේය ගීත රචකයන්ගේ සංගමයට කරනුයේ දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ඉරංගගේ චානක ජයනාත් පෙරේරා විසිනි.

 

සාහිත්‍ය කෙත පෝෂණය කිරීමෙහිලා ලබා දුන් දායකත්වය පිළිබඳ අගයමින් වයෝවෘද්ව , අසනීපව , ජිවන උපාය මාර්ගයක් නොමැතිව පසු වන ගී පද රචකයන් වෙනුවෙන් ලාංකේය ගී පද රචකයන්ගේ සංගමය කරන්නා වූ මෙම අනුග්‍රහය සැබැවින්ම විශිෂ්ටය. මෙම ප්‍රතිලාභය මීට ප්‍රථම ප්‍රවීණ ගී පද රචක, පසුගියදා අප අතරින් වියෝ වූ කැමිලස් පෙරේරා මහතා වෙත ද පිරිනමා තිබුණු බව අපට මතකය. මේ සත්කාරය වෙනුවෙන් අපේ ප්‍රණාමය පුද කරන අතරම , පොඩිරත්න අඟමලේ සාහිත්‍යකරුවාගේ , ගි පද රචකයාගේ නිර්මාණ පිළිබඳ විමසීමද මේ මොහොතේ වැදගත් යැයි අපට සිතුණි.

 

පොඩිරත්න අඟමලේ මේ වනවිට ගීත 30-40 ට ආසන්න සංඛ්‍යාවක් රචනා කර ඇති අතර , ඔහු මුලින්ම අපේ සමාජය තුළ මතු වනුයේ විශිෂ්ට ගණයේ කවියෙකු වශයෙනි. ඔහුගේ උපන් ගම ගල්ගමුව අඟමලේ වුවද වර්තමානයේ ඔහු පදිංචිව සිටිනුයේ මහව ලියනගම , පොඩිරත්න අඟමලේ මාවතේය. ඒ මහව ප්‍රාදේශීය සභාව ඔහුට සිය ප්‍රණාමය දැක්වූ ආකාරයයි.

මෙරට සාහිත්‍ය කෙත අසවැද්දූ මේ අපූරු මිනිසා පාසල් අධ්‍යාපනය ලබා ඇත්තේ තුනේ පංතියට පමණක් බැව් සඳහන් කළහොත් ඔබ පුදුමයට පත්වේවි. ඒත් ඔහු සාහිත්‍යකරුවකු ලෙසට 2013 සහ 2014 වසරවලදී සාහිත්‍ය අනු මණ්ඩලයද නියෝජනය කළේය. ඔහුගේ කාව්‍ය නිර්මාණ සේම ී පද රචනාවලද , කෙටි කතා හා අනෙකුත් ග්‍රන්ථවලද භාෂා භාවිතය අති විශිෂ්ටය. නිසි පාසල් අධ්‍යාපනයක් නොලද ඔහු වැන්නකු මෙසේ විශිෂ්ට ලෙස භාෂාව භාවිත කරන්නේ කෙසේද?. එය ඔබ අප හැම දෙනාටම එක්තරා අන්දමකට ආදර්ශවත් කතාන්දරයකි. ‘ හිත ඇත්නම් පත කුඩාද‘ යන පැරැණි ගැමි වහර අප කාගේත් සිත්හි මේ මොහොතේ වඩ වඩාත් තැන්පත් විය යුතුය. පොඩිරත්න අඟමලේ ගේ ජිවිත අන්දරයද අප කාටත් ආදර්ශවත් සොඳුරු කතා පුවතකි. දුක් සෝ සුසුම් , කම්කටොලු මැද්දෙන් අභියෝග ජයගත් ධෛර්යමත් මිනිසෙකුගේ ජීවන ගීතයකි.

1951 වර්ෂය වනවිට ගල්ගමුවේ අඟමලේ ග්‍රාමය යනු අතිශයින්ම දුෂ්කර හද්දා පිටිසර ගම් පියසකි. දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලක හතරවැනි දරුවා ලෙසින් පොඩිරත්න උපන්නේය. ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ මඩදොඹේ ප්‍රාථමික විද්‍යාලයෙනි. ඒ තුනේ පන්තිියදක්වා පමණි.

‘‘ අපේ තාත්තා අපිව රක්ෂා කළේ ගොවිතැන් කරලා. මම තුනේ පන්තියේ ඉන්නකොට තාත්තට සර්පයෙක් දෂ්ට කරලා ඔත්පල වෙනවා. ඊට පස්සේ අම්මා ආප්ප පුච්චලා , කඩයප්පන් හදලා තමයි අපිට කන්ඩ බොන්ඩ දෙන්නේ. එතැනින් පස්සේ මගේ ඉස්කෝලෙ ගමන නවතිනවා. මම හේනේ කුඹුරේ වැඩට අයියලට උදව් වෙනවා. අම්මගේ කඩයප්පන් ටික කඩේට ගෙනියනවා. හැබැයි ඒ කාලේ ඉඳලම මට ලස්සනට කවි කියන්න පුළුවන්. ඒ හින්ද මම කවිවලට හරි ආසයි. අපේ අම්මා අකුරු දන්නෙ නැති වුණාට කලාවට හරි ඇල්මක් තිබුණා. ඇය ගල්ගමුවේ පොළට ගිහින් එනකොට මට කවි කොළයක්, පොතක් ගෙනත් දෙනවා..‘‘

පොඩිරත්නයන්ගේ කවි සිත මෝරනුයේ ඔහු ඉතා කුඩා කොලු ගැටයකුව සිටියදීය. එකල ඔහු අම්මා ගෙනෙන කවි කොළය කාටත් ඇසෙන්නට කියවූයේය. මේ අතරම ඔහු ඔහුට හැකි අයුරින් කුඩා කුඩා රැකියාවන්වලද යෙදුණේය. වරක් ඔහු මාන්කුලමේ ඉඩමක් එළිකරන්නන්ට උදව්වට ගියේය. තව වරක් යාපනය ප්‍රදේශයේ දෙමළ මහතකුගේ ගෙදර උදව්වට ගියේය. මේ කුමන රැකියාව කළත් ඔහු තුළ නිරන්තරයෙන්ම සාහිත්‍යය කෙරෙහි මහත් ආදරයක්, භක්තියක් ඇති වූයේය. වරක් ඔහු කඩයක කැෂියර් කූඩුවක වැඩට ගියේය. විවේකයක් ලද පමණින් ඔහු කළේ පොත් පත්තර බලන එකය. ඔහු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ , ඩබ්ලිව් . ඒ සිල්වාගේ නව කතා කියවූයේ ඒ කාලයේදි බව ඔහු පිළිබඳ ලියැවී ඇති ‘ යුගාලෝකය ‘ පොතේ සඳහන් වේ.

‘ මේ කාලේ තමයි මමත් ලියන්න පටන් ගත්තේ . මම ‘ ගීතාංජලී‘ පත්තරේට කවි සිය ගණනක් ලිව්වා. ඒත් එකක්වත් පළවුණේ නෑ. අන්තිමට ‘ පාළු දෙවොල‘ කියන කවිය තමයි මුලින්ම පත්තරේ පළවුණේ. මම තරුණයෙක් වෙනකොට මට ඕෑ වෙනවා රියැදුරෙක් වෙන්න. ඒත් ඒකට මට අධ්‍යාපන සුදුසුකම් නෑ. මට පන්සලේ හාමුදුරුවෝ උදව් කළා. සාමාන්‍ය පෙළ ලියන්න. ස්වඋත්සාහයෙන් පාඩම් කරලා සාමාන්‍ය පෙළ විභාගය මම විශිෂ්ට ලෙස සමත් වුණා. ධම්මපදයේ ගාථා 424 ම මට කට පාඩම්. මේ වෙනකොට මම විවාහ ජීවිතේටත් ඇතුළත් වෙලා. ඊට පස්සේ මම ලංගමයේ බස්රථ රිදුරෙක් විදියට සේවයට බැඳුණා. රැකියාවත් මම ඉතාම කැපවීමෙන් කළා. කීපවරක්ම වයඹ හොඳම රියදුරා බවටත් පත්වුණා. ඊට පස්සේ රියදුරු උපදේශකවරයෙක් බවටත් පත් වුණා. පසුව ලිපිකරුවෙක් විදියටත් සේවය කළා. ‘‘

පොඩිරත්න අඟමලේ සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය එළි දක්වන්නේ රියැදුරෙකුව සිටියදී. ඒ සිය රියදුරු රැකියාව කරන අතර තුර රචනා කරන ලද කවි එකතුවකිනි. එය ‘මාතලීගේ සිහින ‘ නම් විය.

‘ඉඩකඩ ඇහිරීමෙන්

බස්රිය ඇතුළු ගැබේ.

තෙරපෙන උණුසුමෙන් සතුටක්

සිතට ලැබේ

පවනට මුසුව එන නැහැපුඩු ළඟට ඉබේ

දහඩිය සුවඳ සුවඳක් ලෙස සිතමි ඔබේ

 

1987 දී ‘ මාතලීගේ සිහින ‘ ප්‍රකාශයට පත්වීමෙන් පසු 1991 දී ඔහු ‘ ගඟ පාරුව සහ අපි‘ කාව්‍ය සංග්‍රහය ප්‍රකාශයට පත් කළේය. එම කෘතිය සඳාහා ඔහුට වයඹ පළාත් රාජ්‍ය සාහිත්‍ය සම්මානයද හිමි විණ. 1993 දි ඔහු ‘ ද්‍රෝහියකුගේ පියෙක් ‘ නමින් තෙවැනි කාව්‍ය සංග්‍රහය එළි දක්වන අතර එම කාව්‍ය සංග්‍රහයටද වයම පළාත් රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි විය. 2006 වර්ෂයේදී ‘ අසිරිමත් පාලම‘ නමින් සහ 2015 වර්ෂයේදී ‘ හඳ රඹහ‘ නමින් කාව්‍ය සංග්‍රහ ප්‍රකාශයට පත් කළේය.

 

කවියට පමණක් නොව ළමා කෘති හා කෙටි කතා විෂයයෙහි ද ඔහු දක්ෂතා ප්‍රකට කළේය. 1997 දී ‘ හේතුහාමිලාගේ අහේතුව ‘ සහ 2006 වර්ෂයේදී ‘ සොල්දාදුවකුගේ සිහිනය‘ නමින් කෙටි කතා සංග්‍රහ ද්විත්වයක්ද පාඨකයාට තිලිණ කළේය. ‘කෝම්පිට්ටු ඉදියන්, රන් පාත්තයා සහ රිදී කාප්පයා‘ යන ළමා කෘති මෙන්ම ‘සත් කෝරළයේ ජන වහර හා ප්‍රස්ථාව පිරුළු‘යන ජනශ්‍රැති පර්යේෂණ කෘතියද ඔහු විසින් රචනා කරන ලදී.

 

ගීත රචනා විෂයයෙහි ඔහු අතින් ලියවුණු ගීත 40 ක් පමණ වේ. ඒ අතරින් සුනිල් එදිරිසිංහයන් ගේ හඬින් ගැයෙන පහත ගීතය ග්‍රාමිය කාන්තාව විසින් විවාහ සංස්ථාව වෙනුවෙන් කරනු ලබන්නාවූ අසීමිත කැප කිරීම පිළිබඳ කරනු ලබන විවරණයකි.

‘‘ හඬන පොඩි පුතු නළව ගන්නට

නිදන මට රහසින්

රැයේ තුන්යම නිදි මරා නුඹ

නොවිඳීනා දුකකින්....

ඔහුගේ ගීත රචනා අතර ‘ නිදි නැති රෑ පහනක් වී‘( පණ්ඩිත් අමරදේව) ගල්කිරියා කඳු මුදුනේ (විශාරද මාලිනි බුලත්සිංහල) ඉර තනිවට ඉරවට යන ( ඩබිලිවි. ඩී ආරියසිංහ) නෙත් ඉමෙන් එහා (විශාරද චන්ද්‍රා රණතුංග) ආදිය ද වේ.

පොඩිරත්න අඟමලේ වේදිකා ටෙලිනාට්‍ය හා චිත්‍රපට නළුවෙකු වශයෙන්ද සිය දායකත්වය කලා කෘති රැසකට පිරිනැමූවෙකි. සරත් ධර්මසිරිගේ ‘ මල් පිපී දැයි බලන්න ‘ සුදත් රෝහණගේ ‘ කටු ඉඹුල‘ , ක්‍රිස්ටි ෂෙල්ටන්ගේ ‘ සිහිනයකි ඔබ‘ , සුනිල් රත්නායකගේ ‘ භවාත්‍රා‘ බට්ටි ඇතුළු නාට්‍ය 40 ට පමණ රංගන දායකත්වය සපයා ඇත. ජාතික රුපවාහිනියේ විකාශය වූ ‘ ගැබ්බර සිරියාව‘ වාර්තා වැඩසටහනේ ප්‍රධාන චරිතය නිරූපණය කළ අතර එම වාර්තා වැඩසටහනට අන්තර්ජාතික සම්මානයක්ද හිමි විය. ඔහු කථකයෙකු වශයෙන් වාර්තා වැඩ සටහන් රැසකට මෙන්ම ‘ අපේම ‘, හේලංකඩ ‘ ඇතුළු සංස්කෘතික වැඩසටහන් රැසකටද දායකත්වය පිරිනමා ඇත.

වර්තමානයේ ඔහු විශ්‍රාම සුවයෙන් සිය නිවෙසට වී සිටින අතර කාලයෙන් වැඩි කොටසක් සාහිත්‍යකරණය වෙනුවෙන වැය කරමින් මුණුපුරු මිණිබිරියන් නව දෙනෙකුගේ ආදරය මැද ජිවත් වෙයි.