“ රන් මුතු දුවේ” ගාමිණී සමඟ මුහුදු පතුලේ සටන් කළ මුහුදු පත්ල ගවේෂකයා

රොඩ්නි ජොන්ක්ලාස් (1925- 1989)
අගෝස්තු 12, 2021

 

ඒ 1961 වසරය. මීට වසර 60 කට පෙරය. ත්‍රිකුණාමලයේ මුහුද අසල හීන්දරී තරුණයෙක් කිමිදුම් කට්ටලයක් ඇතිව බලා සිටියේය. නැගී බිඳී, නැගී බි‌දෙන මුහුදු රළ පෙළ, නවතම රිද්මයකට නැ‌ඟෙන රැඟුමක් වැන්න. දූපතේ සිටි කිහිපදෙනෙකු රැඳී සිටි අතර, අර තරුණයා බලාපොරොත්තුව සිටියේ කිසිවකුගෙන් සංඥාාවක් ලැබෙන තුරුය. සංඥාාව ලැබිණ. තරුණයා ගැඹුරු මුහුදට පැන නොපෙනී ගියේය. මේ තරුණයා ගැඹුරු මුහුදට පැන්නේ මුහුදු පතුලේ සැඟවුණු නිධාන සොයා මුහුදේ ගවේෂණය කරන තවත් තරුණයකු විනාශ කිරීමටය.

මුහුදු පතුලේ සිටියේ් චිත්‍රපට තිරයෙක සම්පූර්ණ වර්ණයෙන් මතු දිනක සිනමා පේ‍්‍රක්ෂකයන් දකින “ රන් මුතු දූව“ චිත්‍රපටයේ දර්ශනයක් සඳහාය. මුහුදු පතුලේ ගවේෂණය කරමින් සිටි තරුණයා ගාමිණී ෆොන්සේකාය. ඒ වනවිට ගාමිණී "පිරිමියෙක් නිසා", “දෛවයෝගය”, “ සන්දේශය” චිත්‍රපටවල රඟපා තිබුණි.

අනෙක් කිමිදුම්කරුවා රොඩ්නි ජොන්කලාස්ය.

රොඩ්නි ජොන්ක්ලාස් මුහුදු කිමිදෙන්නෙකු, ජීව විද්‍යාඥයකු මෙන්ම පුවත්පත් කලාවේදියකු, නවකතාකරුවකු, වෘත්තීය ඡායාරූප ශිල්පියකු ද විය. කොළඹ ලංකා විශ්වවිද්‍යාලයේ බී.එස්.සී උපාධිධරයකු වන ඔහු දෙහිවල සත් උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂවරයකු හා උප අධිපති ධූර ( 1949 සිට 1955) දැරුවේය.

1962 තිරගත වූ “ රන් මුතු දූවේ” ආධුනික නළුවකු ලෙස රඟපෑවත් ඔහු චරිතාංග නළුවෙකු ලෙස රඟ පෑ චිත්‍රපටය වූයේ 1967 වසරේ තිරගත වූ මයික් විල්සන් අධ්‍යක්ෂණය කළ “ හොරුන්ගෙත් හොරු” චිත්‍රපටයයි. එහදී ද රොඩ්නි රඟපෑවේ දුෂ්ට චරිතයකි. ඔහුගේ ප්‍රතිවාදියා වූයේ රහස් පරීක්ෂක ජේම්ස් බණ්ඩා ලෙස රඟ පෑ ගාමිණී ෆොන්සේ්කාය. “ සීතාදේවි” ( 1978) චිත්‍රපටයේ් ද ගාමිණී සමඟ දිය යට කිමිදුම් කළ ඔහු reincarnation ඉංගී‍්‍රසි චිත්‍රපටයේ ද රඟපෑවේය.

රොඩ්නි ලියා පළ කළ එකම නවකතාව වූ “ වාලම්පූරි” නවකතාව 1970 වසරේ පළ කළ අතර 1971 වසරේ එය කෘතහස්ත පරිවර්තකයකු වූ ඒ.පී. ගුණරත්න විසින් පරිවර්තනය කරන ලදුව හංස ප්‍රකාශනයක් ලෙස නිකුත් විය. 1958 වසරේ රොඩ්නි, ආතර් සී ක්ලාක් හා මයික් විල්සන් සමඟ එක්ව Blue water white Death Beneath the seas of ceylon නම් මිලි මීටර් 16 ප්‍රමාණයේ කෙටි චිත්‍රපටයක් නිපදවීීය පසු කලෙක “ රන් මුතු දුව“ නිපදවීමට නිෂ්පාදන ශේෂා පලිහක්කාරට අනුප්‍රාණය ලැබු් අර කෙටි චිත්‍රපටය නැරඹීමෙන් පසුය.

රොඩ්නි විසින් ලියන ලද “ වාලම්පූරි” නවකතාව ඇසුරෙන් ඔහු විසින්ම තිර නාටකය රචනා කළ 1981 වසරේ තිරගත වූ “ වාලම්පූරි” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ බර්මින් ලියිලි ප්‍රනාන්දුය. මොරටුවේ වෙළෙඳ ව්‍යාපාරිකයන් ලෙස ප්‍රකටව සිටි සරත් ආර්. ප්‍රනාන්දු, නුවන්සිරි සිල්වා, සිරිසේන ප්‍රනාන්දු, එම්.ඊ සිල්වා නිෂ්පාදනය කළ මේ චිත්‍රපටයේ විජය කුමාරතුංග, ගීතා කුමාරසිංහ, ටෝනි රණසිංහ, සොමී රත්නායක, ලීනා ද සිල්වා, සෝමසිරි දෙහිපිටිය ඇතුළු පිරිසක් රඟපෑහ. වර්ණ මි.මි. 35 රූ ගත වූ (ඇතැම් දර්ශන මි.මි. 16 ප්‍රමාණයෙන් රූ ගත කොට මි.මි. 35 ට විශාල කර තිබේ.) මෙහි රොඩ්නි ජොන්කලස් ද චරිතයක් රඟ පෑවේය. ඔහු රඟ පෑ අවසාන චිත්‍රපට වූයේ ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ “ කොටි වලිගය” චිත්‍රපටයේ 1986 ඇන්ජලා සෙනෙවිරත්නගේ සැමියා වූ පීටර්සන් ලෙස රඟ පෑ චරිතයයි.

රොඩ්නි ජොන්ක්ලාස් කිමිදීමෙන් ලෝක වාර්තා 4 ක් තැබූ ශූරයකු සංගීතඥයකු, උසස් කලා රසිකයකු, චිත්‍ර ශිල්පියකු, දක්ෂ ඉලක්ක වෙඩික්කාරයකු බව වාර්තා වේ. ඔහු තුළ ඇති විනෝදකාමී විකට බව “ රන් මුතු දූවේ“ තිරයට නඟන්නට නොහැකි වීම ගැන කණගාටු වන බව එම චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය අපට කීවේය. එහෙත් නිෂ්පාදනයට සහභාගි වූ කවුරු කවුරුත් රොඩ්නිගේ විහිළුවලට ඉල ඇදෙන තුරු සිනා සුණ බව තිස්ස විස්තර කළේ ද සිනාසෙමිනි.

1981 මාර්තු 12 නවයුගය පුවත්පතේ පළ වූ “ චරිත හමුව“ විශේෂාංගය සඳහා ඡායාරූප ශිල්පි මුදිත කාරියකරවන, වාලම්පූරි චිත්‍රපටයේ අධ්‍යක්ෂ බර්මින් සමඟ මා රොඩ්නි ජොන්ක්ලස් හමු වීමට ජා ඇල කුරුඳුවත්තේ නිසංසල භූමි භාගය පිහිටි නි‌වෙසහිත “ මින් මැදුරට” ගිය අවස්ථාව සිහි වෙයි. එම නිවසේ පසෙකින් නොයෙක් වර්ගවල ක්රෝටන් පැළ සහිත භූමි ප්‍රදේශයකි. ඔහුගේ නිවෙවෙතුළ නානාවිධ මසුන් සහිත ටැංකි රැසක් විය. නිවෙස පුරා ඇත්තේ රොඩ්නි විසින් ගත් මසුන්ගේ ඡායරූපය.

“ අපි ගේ ඇතුළට යමු ඉඳගන්න. අපි කුරුම්බා වීදුරුවක් බීලම කතා කරමු.” ඔහු අප පිළිගනිමින් කීවේය.

“ මාළුන් ගැන මගේ හිත ඇදිා ගියේ ඉතාම පුංචි අවදියේ සිටයි. මම වයස අවුරුදු 3, 4 දී මුලින්ම ඇන්ද චිත්‍රවල තිබුණේ විශාල මාළුවන්ගේ රූප. ඒත් අම්මා මම මුහුදු යනවාට අකැැති වුණා.

“ කවදා හරි මම මුහුදේ කිමිදෙනවා” මම තරයේම අම්මාට කියා හිටියා.

“ උඹට කවදාවත් මුහුදේ කිමිදෙන්න ලැබන එකක් නෑ”

“ අම්මාට ඕනෑ වුණේ මගේ ආශාව මැඩපවත්වන්න. මොකද ඒ කාලේ ළමයෙක් මුහුදෙ නාන්න ගිහින් මැරුණා. ඒක අම්මගෙ හිතේ රැදිලා තිබුණා.

මම උපන්නේ 1925 ජූලි මාසයේ මහනුවර. මගේ සම්පූර්ණ නම රොඩ්නිලුඩොවීසි ජොන්ක්ලාස්. ඉගෙන ගත්තේ මහනුවර ට්‍රිනිටි විද්‍යාලයයේ. මම පිහිනන්න ඉගෙන ගත්තේ 1942 උඩවත්ත කැලේ වැවක. මුහුදේ ඉගෙන ගත්තේ 1945 දී. කොළඹ ලංකා විශ්වවිද්‍යාලයේ මම ඉගෙන ගන්න කාළේ ලෝක වාර්තා 4 ක් තැබුවා. මුහුද යටට ගිහින් මසුන් මැරීමේ තරගයකින්. 1953 -56 “මසුන් මැරීමේ” ශූරයා ලෙස මම තෝරා ගත්තා. රොඩ්නි අතීතයට එබිකම් කරමින් කීවේය.

ලෝකයේ මසුන් ගැන අද ලොව ලියැවී ඇති පොත්පත්වලින් බහුතරයකින් යුත් පුස්තකාලයක් තිබුණි. ඔහු කුඩා කල එකතු කළ බෙල්ලන්ගේ ප්‍රමාණය විශාලය. මේ බෙල්ලන් අතර තිබී ඔහු කුඩා පෙට්ටියක බහාලූ අගනා විශාල බෙල්ලෙකු අපට පෙන්නුවේය.

“ මේක වාලම්පූරියක් ලක්ෂ 2 ක් ( 1981 වසරේ) විතර වටිනවා. ඉන්දියාවේ යාළුවෙකුගෙන් මට ලැබුණේ.”

වාලම්පූරියක් කියන්නේ අඩි සියයක් ගැඹුරු මහ මුහුදේ හක් බෙල්ලන් කිමිදීමෙන් ලබා ගත් මාහැඟි දුර්ලභ වස්තුවක් වූ දක්ෂිණ වෘත සංඛයට බවයි, රොඩ්නි අපට කීවේ “ වාලම්පූරි” කියන තමා ලියූ ප්‍රථම නවකතාව සිනමාවට නැගීමේදී ඔහු තිර නාටකයක් ලියලා මුහුදු දර්ශන රූපගත කිරීමෙනුත් නවක තරුණ අධ්‍යකවරයෙකුට සහාය දුන් බව අි දැන සිටියෙමු.

රොඩ්නි තමා ලියූ “ වාලම්පූරි” නවකතාවට පසුබිම් වූ කතාව අපට විස්තර කිරීමට හරි බරි ගැසී සැප පුටුවට බර දුන්නේය.

“ 1955 වසරේ මන්නාරමේ හා නයිනතිවූ දූපතේ ද වසන හක්බෙල්ලන් කිමිදෙන්නේ ඔවුන් අතරෙන් කීපදෙනකු ධීවර දෙපාර්තමේන්තුව මඟින් මෙහෙයවුණ ලෝක ප්‍රකට ලංකාවේ මුතුපර පිළිබඳ පරීක්ෂණයක සහාය සඳහා එව්වා. වයස්ගත තර බණ්ඩා මොවුන් අතර සිටියා. බණ්ඩාත්, මමත් එතැනින්ම මිත්‍ර සම්බන්ධයකින් බැඳුණේ දෙදෙනාම හොඳම සිංහලෙන් කතා කළ, කඳුරටින් ආවවුන් වූ හෙයින්. මුළු කාලය ඒ සඳහා යොදවා වෘත්තියක් හැටියට මුහුද කිමිදීම කළ එකම සිංහලයා බණ්ඩා. මෙහිදී මම බණ්ඩාට “ ෆේස් මාස්ක්” නමින් හැඳීන්වෙන මුහුණු වැස්මක් තෑගි කළා. මේ උපකරණය උතුරුකරයේ කිමිදි් විසින් මෙතෙක් අසා දැන තිබුණේ නැහැ. මේ හේතුවෙන් උතුරුකරයේ හක්බෙල්ලන් කිමිදීමේ ලොකු විපර්යාසයක් ඇති වීම පමණක් නොව වයස් ප්‍රමාණයෙන් මහත් පරතරයක් ඇතිව සිටි අප දෙදෙනා අතර මිත්‍ර සම්බන්ධයක් ඇති වීමද හේතුවක් වුණා. නවකතාව බිහි වූණේ ඔය ආකරයෙන්.”

රොඩ්නි අපට පැවසුවේ කුඩා දරුවන් අද වෙනතුරුත් ( 1981) පැහැර ගෙන යනු ලැබ, මා දැල් වාඩිවල වහල් මෙහෙයට යොදවනු ලැබූ බවය. 1969 දී ජා ඇල බෙනඩික්ට් නම් එවකට දස හැවිරිදි ළමයෙක් වහලකුට බෙහෙවින් සමාන ජීවිතයක් ගත කිරීම ගැන අපූුරු සිද්ධීන් රැසක් ඇසූ බවය.

“ ලේල්ලුන් පොකුණ සැබැවින්ම එහි ඇති අලංකාර පොකුණකි. එය සොයා ගත්තේ 1964 වර්ෂයේදීයි. 1968 අවුරුද්දේ ප්‍රදර්ශනයකදී වාලම්පූරි සොරකමක් ද සිදු වුණා. එම හක්ගෙඩිය සොයා ගත හැකි වුණේ නැහැ. මේ සියලු අත්දැකීම් සියල්ල කැටි කොට “ වාලම්පූරි” නවකතාව ලිව්වා. එහි කතාව විකාශනය වන්නේ මෙසේය.

හීන් බණ්ඩා රත්නපුරයට නොදුරු වන බද කුඩා ගමක උපන් දරුවෙකි. ගස්වැල්, වන සතුන්, කුරුල්ලන් වැනි ස්වභාව සෞන්දර්යය ගැන ඇල්මක් සහජයෙන්ම ඇති කොට ගෙන සිටි දස හැවිරිදි වියේ වූ මේ ළමයා කඳුකර වනයෙන් වැසී තිබූ ලේල් මසුන්ගෙන් පිරුණ සිහිල් දිය පොකුණක් සොයා ගත්තේ එහි බැස පිහිනීමෙන් හා මසුන් හීලෑ කොට ගැනීමෙන් ජයලත්, ජලයේ ජීවිතයත් ඇසුරට වැටුණේය.

මෙසේ ජලය හා සම්බන්ධ වූ මේ දස හැවිරිදි දරුවා දහ අට හැවිරිදි වයස් වනවිට අඩි සියයක් ගැඹුරු මහ මුහුදේ හක්බෙල්ලන් කිමිදීමේ වාර්තාවක් පිහිටු විය. වාලම්පූරි නමින් හැඳීන්වෙන්නේ ඔහු එසේ කිමිද ලබා ගත් මහැඟි දුර්ලභ වස්තුවක් වූ දක්ෂිණාවාර්ත සංඛයයි.

“ වාලම්පූරි” කෘතිය සිංහලයට නැඟූ ඒ.පී. ගුණරත්නයන් පවසා ඇත්තේ මුහුදත්, මුහුදේ ජීවියන් පිළිබඳවත් පාඨකයා නුදුටු, දැක දැක රිසි නොයන ඉතා වටිනා දර්ශනයක් මේ පොතින් දැකිය හැකි බවය.

අම්ල වැස්සට තෙමෙන කටුනායක වෙළෙඳ කලාපය ගැන 1982 ඔක්තෝම්බර් 30 “ දෙසතිය” සඟරාවේ පළ වී තිබුණ ලිපිය සාක්ෂියකි. ශ්‍රී ලංකාවේ ඇතැම් පළාත් ද කාර්මික අපද්‍රව්‍ය නිසා කිලිටි වී ඇති බව සමහර විද්‍යාඥයන්ගේ මතය පෙන්වා ඔහු ඇතුළු ජාතික ජලජ සම්පත් නියෝජිතය් විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ කටුනායක නිදහස් වෙළෙඳ කලාපය අවට ජල මාර්ග දූෂණය වී ඇති අන්දමය. මේ අධ්‍යයනය සඳහා ආයතනයේ අවධානය යොමු කරවූයේ සුප්‍රකට කිමිදුම්කරුවෙකු වන රොඩ්නි ජොන්ක්ලාස් බව “ දෙසතිය” සඟරාව සඳහන් කර තිබුණි. රොඩ්නි ගැන “ දෙසතිය” සඟරාවේ ගාමිණී විජේතුංග, නාලක ගුණවර්ධන හා සනී නවගත්තේගම විසින් ලියා තිබිණි. රොඩ්නි “ දෙසතියට” තම අදහස් දක්වමින් මෙසේ කියා තිබුණි.

“ මේ කාලයේ මම ජා ඇල ඒකල පදිංචියට ඇවිත් හිටියා. ඒකල ප්‍රදේශයේ ජල මාර්ගවල ලස්සන මාළු වර්ග දක්නට ලැබුණා. ලේතිත්තයා, මල් පුලුන්නා, උඩ හඳයා, කහ කොරලි වැනි මාළු වර්ග. මල් පුලුන්නා, කොළ පාට උඩ හඳයා ශ්‍රී ලංකාවට පමණක් ආවේික මාළු දෙවර්ගයක්. එහෙත්, මෙවැනි මාළු වර්ග අද දක්නට ලැබෙන්නේ නෑ. මේ මාළුන්ට ජීවත් විය හැක්කෙ පිරිසුදු වතුරේ පමණයි. පසුගිය අවුරුදු දෙක තුන තුළ සිට මේ ජල මාර්ග කාර්මික අපද්‍රව්‍ය නිසා අපිරිසුදු වෙන්න පටන් අරන්.”

රොඩ්නි ජොන්ක්ලාස් යමක් විස්තර කරන විට ඔහුගේ නළුකම මතු වෙයි. ඔහු කතාව චමත්කාරයෙන් ඉදිරිපත් කරයි.

මම 1953 සිනමාවට සම්බන්ධ වුණේ. කැමරා ශිල්පියෙක්, සහාය අධ්‍යක්ෂවරයකු ලෙස ලංකාවේ රූ ගත වූ විදේශීය චිත්‍රපට ගණනකට මම සහාය වුණා. 1962 “ රන් මුතු දූව“ චිත්‍රපටයේ මුහුදු යට දර්ශන රූ ගත කිරීම් කළා. ඒ චිත්‍රපටයේ සටන් කරන්නේ මම. “ සීතාදේවි” “වාලම්පූරි” චිත්‍රපටවලත් මම මුහුදු යට දර්ශන රූපගත කළා. රන් මුතු දූවේ විිවිධ වර්ගයේ දුර්ලභ මාළුන් බහුල ත්‍රිකුණාමලයේ මම රූපගත කළේ ඉතාමත් පී‍්‍රතියෙන්. මේ විසිතුරු මාළුන් අතරින් මාත්, ගාමිණීත් මුහුද යට සටන් කළා. මම අදත් සොබා දහමට සෞන්දර්යයට ආදරෙයි. මම කිහිප වතාක්ම හෙලිකොප්ටර්වල නැගී ලංකාවේ කඳුකරයේ විසිතුරු දර්ශන රූපගත කළා.

රොඩ්නිගේ නි‌‌වෙසේ පුස්තකාලය මැදි කොට තිබූ මේසයේ ඔහු විසින් ලියූ “ ඝර්ම කලාපීය සමුද්‍ර ජීවීන්” නම් ඇමරිකාවේ ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථයත්, මන්සුන් ( වාරකන්) ත්‍රාසජනක අත්දැකීම් කියන ග්‍රන්ථයක් කැපී පෙනුණා.

“ මම ලේඛන කලාවට කැමතියි. මුහුදු පත්ලට ගියත් ලිවීමට ඇති ඇල්ම වැඩියි. මගේ අලුත්ම නවකතාවට පසුබිමි වන්නේ අතුරේ යන රා මදින මිනිසුන් ගැන කතාවක්. අද ලංකාවේ ඉන්න ලස්සන වටිනා මාළුවන්ටත් මම ආදරෙයි. මේ වටිනා සම්පත නැතිව යයි කියලා මට බයක් තියෙනවා. “ මුහුදු ඌරා” කියන මාළුවා ටොන් එකක් බරයි. ඉස්සර මුහුදු ඌරෝ 100 ක් විතර ඉඳල තියෙනවා. අද ඉන්නේ දෙන්නයි. අපේ යාල විල්පත්තුව වැනි අභය භූමි වගෙ, මාළුන් රකින තටාකයක් අවශ්‍ය යයි. මම මුලින් කිව්වා වගේ සොබා සෞන්දර්ය මුළු ලෝකයේම නැතිව ඇති. ජනවාසයෙන් තොර අලංකාර මුහුදු වෙරළ බොහෝයි. එහෙත් මිනිසා විසින් මේ වැනි නිශ්චල ස්ථාන විනාශ කරන කාලය එතරම් ඈත නෙවෙයි. රොඩ්නි කණගාටුවෙන් එදා ( 1981) අපට කීවේය.

අවිවාහකව ජා ඇල නි‌වෙසට වී නිසංසල ජීවිතයක් ගත කළ ඔහු මෙහි වෙසෙන්නේ තනියම දැයි මා එදා ඇසූ පැනයට ඔහු දුන් පිළිතුර මෙයයි.

“ මම තවම අවිවාහකයි. මට මගේ සහකාරිය හමු වුණේ නැහැ. මගේ වෘත්තිය හැකියාවත් තේරුම් ගත් කාන්තාවක් ළඟදීම හමුවේවි කියල මම හිතනවා.”

මේ අසිරිමත් විශිෂ්ට පුද්ගලයා 1989 වසරේ දී ජීවිතයෙන් සමු ගත්තේය.