බන්සාලිගේ පද්මාවතීට පාදක වුණු අපේ දැක්කොත් පද්මාවතී

අගෝස්තු 12, 2021

 

ශ්‍රී ලාංකේය නාටක ඉතිහාසයේ “නුර්ති යුගය” ගැන සලකා බලන විට එහි පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ සී.දොන් බස්තියන්, ජෝන් ද සිල්වා සහ ඔහුගේ අනුප්‍රාප්තිකයන් වූ ආර්. ජෝන් පෙරේරා, චාර්ල්ස් ඩයස් අමරතුංග ආදී නාටක කතුවරයන් අමතක කළ නොහැකිය. එකී නාටක කර්තෘවරුන් විසින් විරචිත ඇතැම් නාටකවලට අන්තර්ගත වූ ගීත සියවසක් ඉක්මවා ගියද, අදටත් ශ්‍රාවක ජනයා අභිරුචියෙන් වැලඳ ගන්නේ ඒවායේ සංගීතයේ තිබු කර්ණරසායනභාවය නිසාවෙනි. එදා යුගයේ සිට අද දක්වා මෙසේ ජනප්‍රිය වූ ගීත අතුරින් නීතීඥ චාල්ස් ඩයස් සූරීන්ගේ පද්මාවතී (1914) නුර්තියේ එන “දැක්කොත් පද්මාවතී - ආලේ නොකර බැරී” යන ගීතය ලොකු- කුඩා, බාල- මහළු කොයි කවුරුත් හොදින් දන්නා හඳුනන අද දක්වාම විවධ ගායක ගායිකාවන් විසින් ගායනා කරනු ලබන ගීතයකි. මේ ලිපියෙන් අද මා ගෙන එන්නේ ඒ මුල් ගීතයේ ඉතිහාසයයි. ලිපිය කියැවීමේ පහසුව තකා කොටස් තුනකින් පිඬු කොට දක්වමි.

 

(1) ජෝන් ද සිල්වා ගේ “පද්මිණී” නාටකය සහ චාල්ස් ඩයස් ගේ “පද්මාවතී“ නාටකය

(2) “දැක්කොත් පද්මාවතී” මුලින්ම ග්‍රැමොෆෝන් තැටියට ගැයූ බංටා මාස්ටර් (බී. බර්නාර්ඩ් ද සිල්වා)

(3) “පද්මාවතී” නුර්තිය හා බැඳුණු අතුරු කථා

 

(1) ජෝන් ද සිල්වා ගේ “පද්මිණී” නාටකය සහ චාල්ස් ඩයස් ගේ “පද්මාවතී“ නාටකය :

සුප්‍රකට නාටක කතුවර නීතීඥ ජෝන් ද සිල්වා විසින් නිර්මාණය කළ එක් ඓතිහාසික කථා පුවතක් වූයේ “පද්මිණී” නම් නාටකයයි. නාටක කතුවර ඇල්.ඩී.ඒ. රත්නායක සූරීන් ඔහුගේ “ජෝන් ද සිල්වා නාටක ඉතිහාසය” ග්‍රන්ථයේ (1963) සඳහන් කරන පරිදි මෙම නාටකය ජෝන් ද සිල්වා මහතා වර්ෂ 1910 දී ප්‍රබන්ධ කළේ එවකට ඇතුගල්පුර රාජධානියේ කථාවක් ඇසුරිනි. එනම්, අංක 4 කින් සහ ජවනිකා 22 කින් , ගීත 34 කින් සහ වාසගම් ( සංවාද / දෙබස්) 275 කින් සමන්විත මෙම නාටක පිටපතේ දැක්වුණේ ක්‍රි.ව. 1305 දී ලංකාවත්, භාරතයත් සම්බන්ධ කථාවකි. භාරතයේ රාජස්ථානයේ චෞහාන් ගෝත්‍රික “හමීර් සිං” නැමැති රාජ්පුත් කුමරෙකුට දාව සරස්වතී නම් කුමරියක ලද පුත් කුමරෙක් ඇතුගල් පුරයෙහි රජ කළ සිවු වැනි බුවනෙකබා රජු විසින් පුත්‍ර ස්ථානයේ තබා ඇතිදැඩි කළ බවත්, ඔහු පසුව බලඇණි ගෙනඇවිත් බුවනෙකබා මරා සිංහලය අත්පත් කොට රාජ්‍ය විචාළ බවත්, පසුව ඒ කුමරුගේ සුන්දර රූ සපුවකින් යුත් දියණිය වූ “පද්මිණිය” රාජ්පුත්හි චිට්ටෝර් නගරයේ භීම සිං රජුගේ බිසව වූ බවත්, කොඩ්‍රිංටන් මහතා ලියා ඇති බව රත්නායක මහතා ඔහුගේ ග්‍රන්ථයේ සඳහන් කරයි. නළු- නිළියන් හතළිහකගේ පමණ සහභාගීත්වයෙන් විජය රංග සභාවේ ආධාරයෙන් වේදිකාගත කිරීමට නියමිතව තිබු ජෝන් ද සිල්වාගේ මෙම “පද්මිණී” නාටක පිටපත කිසිවෙකු විසින් සොරාගත් බැවින්, මෙම නාටකය වේදිකා ගත කිරීමේ උත්සාහය ව්‍යර්ථ වී යයි.

වර්ෂ 1914 දී නීතීඥ චාල්ස් ඩයස් අමරතුංග මහතා විසින් ඔහුගේ “පද්මාවතී” නම් සුප්‍රකට නාටකය වේදිකා ගත කරයි. එම නාටකයේ එන්නේ ද මෙකි කතාවට ආසන්න සන්දර්භයක්මය. එහෙත් එය ඉන්දීය “පද්මාවතී” නොහොත් “රාණී පද්මිණී” ගේ කථා පුවත අලළා සකස්වූවකි. එබැවින් එය ජෝන් ද සිල්වා ගේ වේදිකාගත නොවූ “පද්මිණි කුමරිය” නාටකයේ සන්දර්භයෙන් තරමක් අපගමනය වන්නේය. අංක 03 කින්, චිත්‍රවස්ත්‍ර 29 කින්, ගීත 35 කින් සහ වාසගම් ( දෙබස් / සංවාද ) 338 කින් සමන්විත මෙහි කථා සාරය මෙසේය : භාරතයේ මෞගල් වංශික අලවුදීන් ඛිල්ජී රජ තෙමේ ක්‍රි.ව. 1294 දී පතිව්‍රතාවෙන් අගතැන්පත් පද්මිණී නම් කුමරිය (නාටක කතුවරයා පද්මිණී කුමරිය “පද්මාවතී” ලෙස නම් කළේය.) ලබා ගන්නා දැඩි ආශාවෙන් චිට්ටෝර්හි රාමචන්ද්‍ර රජු හා යුධ වැද, එරට විනාශ කරන අයුරු දැක්වේ. අලවුදීන් රජුගේ කාමාශාවට ගොදුරු නොවන පද්මාවතී කුමරිය සෙසු කාන්තාවන් සමග සිය දිවි පූජා කරනු මෙහි දැක්වේ.

චාල්ස් ඩයස් මහතාගේ මේ පද්මාවතී නාටකයේ ගීත සඳහා රාග- තාල ලබා දෙන ලද්දේ ඉන්දීය ජාතික මහාචාර්ය අමීර් ඛාන් සංගීතඥයා විසිනි. පිටු තිස් අටකින් යුත් මෙම නාටකය ටවර්හෝල්හි ආර්ය සිංහල නාට්‍ය සභාව විසින් වර්ෂ 1921 දී මරදානේ සුධර්මාධාර යන්ත්‍රාලය මගින් මුද්‍රණය කරවා පිටපත් 8000 ක් බෙදාහරින ලද බව සඳහන් වේ. පද්මාවතී මුල් වරට ටවර්හොල්හි ආර්ය සිංහල නාට්‍ය සභාව මඟින් ටවර්හි වේදිකාගත කළේ වර්ෂ 1914 දෙසැම්බර 19 දින ය. “පද්මාවතී” ලෙස මුල්වරට පෙනී සිටියේ ස්ත්‍රී භූමිකා නිරූපණයෙහි ඇති දක්ෂ නළුවෙක් වූ ඇන්ඩෘ පෙරේරා (අන්දරේ අප්පු) මහතා ය. අලවුදින් රජු ලෙස කේ.ඩී. මාටින් ඕදිරිස් අප්පුහාමි ද, දිල්ලියේ වෙළෙන්දා ලෙස බංටා මාස්ටර් (බී. බර්නාර්ඩ් ද සිල්වා) ද පෙනී සිටියහ. ජෝන් ද සිල්වා මහතා සමගින් නාටක තරගයක යෙදී සිටි චාල්ස් ඩයස්ගේ එම නාටකය ජෝන් ද සිල්වාගේ අස්ථාන ගතවූ “පද්මිණී” නාටකය අනුසාරයෙන් නිපදවුණු නිසා ජෝන් ද සිල්වා මහතාගේ දැඩි වාග් ප්‍රහාරවලට එවකට චාල්ස් ඩයස් මහතා ලක් වූ බව පැවසේ. එසේම ජෝන් ද සිල්වා මහතා සමඟ නාටක නිෂ්පාදනයේ තරගයේ ‌යෙදී සිටි චාල්ස් ඩයස් මහතා, ටවර්හෝල්හි අයිතිකරු වූ තම මාමණ්ඩිය වූ එඩ්මන් සෙනෙවිරත්න මහතා සමඟින් බොම්බායට ගොස්, අලුත් ඇඳුම්- පැළඳුම් සහ තිර රෙදි ආදිය ද, ඉන්දීය සංගීතඥ අමීර් ඛාන් ද රැගෙන පෙරළා ලංකාවට පැමිණි බව සඳහන් වේ. වර්ෂ 1914 නොවැම්බර් මස 17 දින “සිංහල බෞද්ධයා“ පුවත්පත අලුතින් වේදිකාවට ඒමට නියමිත “පද්මාවතී” නාටකය ගැන සඳහන් කළේ මෙසේ ය : "පද්මාවතී" (ආර්ය සිංහල නාට්‍ය සභාව, මරදාන) අලුත් තාල, අලුත් තිර හා අලුත් ඇඳුම් සහිත මෙම අලුත් කථාන්තරය මන පිනවනාකාරයෙන් රඟදක්වනු ලැබේ. මෙම නාට්‍ය සභාවට විශේෂයෙන් ඉන්දියාවෙන් ගෙන්වන ලද දක්ෂ ඉන්දියානු සංගීතඥයන් විසින් සංගිත පවත්වනු ලැබේ”.

 

(2) “දැක්කොත් පද්මාවතී” මුලින්ම ග්‍රැමොෆෝන් තැටියට ගැයූ බංටා මාස්ටර් (බී. බර්නාඩ් ද සිල්වා):

මෙම පද්මාවතී නාටකයේ සුප්‍රකට “දැක්කොත් පද්මාවතී” ගීතය ගායනා කරනු ලබන්නේ දිල්ලියේ වෙළෙන්දාගේ චරිතය විසිනි. "පද්මාවතී" කුමරියගේ රූප ශ්‍රීය එයින් අලවුදීන් රජු වෙත වර්ණනය කෙරේ. ගීතයට පෙර අලවුදීන් රජු සහ දිල්ලියේ වෙළෙන්දාගේ සංවාදය ඉතා රසවත් ය.

 

වෙළෙන්දා : රාජස්ථානයේ වෙළෙඳාමේ ‌යෙදී සිටි මම සිය රටට ආමි. ඒ රටේ තොරතුරු ඔබ වහන්සේට කියා දෙන්ට ලැහැස්ති වෙමි.

අලවුදීන් : ඒ රටේ මැණික් තිබෙනවා ද?

වෙළෙන්දා : ලොවෙහි ඉතා අගනා මණික ඒ රටේ ය.

අලවුදීන් : මිල කීය ද?

වෙළෙන්දා: මුළු ලොවම වටී.

අලවුදීන් : නව විධ රත්නයන් ගෙන් කවර රත්නයක් ද?

වෙළෙන්දා: ඒ දශවිධ රත්නයන් ගෙන් එකකි. ස්ත්‍රී රත්නයකි !

 

දිල්ලියේ වෙළෙන්දාගේ ගීතය :

 

ආලේ නොකර බැරී ....

දැක්කොත් පද්මාවතී ආලේ නොකර බැරී

 

ලලාටේ චන්ද්‍රයා සේ පෙනේ //

දැක්කොත් පද්මාවතී ආලේ නොකර බැරී

 

මේඝ සේ කේසා වේ -

ඇගේ ග්‍රීව සක් සේ වේ

අහෝ ..ඈගේ ග්‍රීව සක් සේ වේ //

ළමැද හංසයින් සේ පෙනේ

 

ආලේ නොකර බැරී .....

දැක්කොත් පද්මාවතී ආලේ නොකර බැරී

 

මුක්තා සේ දන්තා වේ -

ඇගේ වර්ණ ස්වර්ණා වේ

රූපේ වර්ණ ස්වර්ණා වේ //

ළමැද හංසයින් සේ පෙනේ

 

ආලේ නොකර බැරී .....

දැක්කොත් පද්මාවතී ආලේ නොකර බැරී

 

නිල්වන් මේඝයන් බඳුවූ ගණනීල කේශ කල්‍යාණයකින් හෙබි, මුතුවන් දත් පෙළින් සුසැදි, ශංඛයක් බඳු ගෙලකින් යුත් වූ, හංසයන් බඳු පයෝධර සහිත ළමැදක් ඇති, පද්මාවතී නම් කනකලතාව දැක කෙසේ ආලය නොකරා ඉන්නද යනුවෙන් වෙළෙන්දා අලවුදීන් රජු වෙත පවසන්නේ මෙකී කර්ණ රසායන ගීතයෙනි.

මේ ගීතය හින්දුස්ථානි රාගධාරී සංගීතයේ අල්හෛයා බිලාවල් රාගය මත සහ තීන්තාල් තාලය මත පදනම් වී ඇති බව පෙනේ. එසේම, ගීතයේ පංචමය ෂඩ්ජය ලෙස යොදාගෙන ඇත. වේදිකාවේ මුල් වරට මේ ගීතය රඟපාමින් ගායනා කළේ බී. බර්නාර්ඩ් ද සිල්වා මහතා ය.

 

 

දිල්ලියේ වෙළෙන්දාගේ චරිතය එවකට ජනප්‍රිය ටවර්හෝල් නළුවන් මෙන්ම නිළියන් විසින් ද නිරූපණය කරන ලදී. කේ. රොමානිස් පෙරේරා, එච්.ඒ.ලෝරන්ස් පෙරේරා, බී. එඩි ද සිල්වා (ඇඩී මාස්ටර්), එන්. රොමියුලස් ද සිල්වා, ලක්ෂ්මී බායි, ඇනී බොතේජු සහ සුසිලා ජයසිංහ යන නළු-නිළියන් වරින් වර නිරූපණය කර ඇත. මුල් වරට වේදිකාවේ දිල්ලියේ වෙළෙන්දා ලෙස චරිත නිරූපණය කළ බී.ඩී ද සිල්වා (බි. බර්නාර්ඩ් ද සිල්වා) නොහොත් බංටා මාස්ටර් විසින්ම මෙම ගීතය ග්‍රැමොෆෝන් තැටියක් සඳහා තැටිගත කළේ ය. වර්ෂ 1874 කොළඹ දෙමටගොඩ දී උපන් මෙතුමා වර්ෂ 1905 මරදානේ සිංහල නාට්‍ය සංගමයෙහි ප්‍රධාන නළුවෙක් විය. අකුරු ලිවීම හෝ කියවීමෙහි ශාස්ත්‍රයක් නොදත් මුත් මෙතුමා එවකට සිට ඇති විශිෂ්ට නළුවෙක් වූයේ එතුමාගේ තිබු නිසර්ග හැකියාව නිසාම ය. හින්දුස්තානි මෙන්ම කර්ණාටක රාග තාල නොබිඳා නෘත්‍ය ශාලාව දෙදරා යන තරමේ වූ ප්‍රබල හඬකින් ගී ගැයීමේ සමතෙක් බව සඳහන් වේ. මෙතුමාගේ කනිටු සොයුරා වූයේ සුප්‍රකට සංගීතඥ , නළු සහ ගායක බී. එඩ්වින් (ඇඩී) මාස්ටර් ය. වර්ෂ 1921 දී මෙතුමා කාලයාත්‍රා කළේ ය. මෙතුමාගේ සොයුරා වූ ඇඩී (එඩී) මාස්ටර් ද, ඇඩී මාස්ටර් ගේ පුත්‍රයා වූ එඩී ජුනියර් මහතා ද මේ දිල්ලියේ වෙළෙන්දාගේ චරිතය වරින්වර නිරූපණය කිරීම එක්තරා විශේෂත්වයකි. බංටා මාස්ටර් වඩාත් ජනප්‍රිය වූයේ චාල්ස් ඩයස් ගේ ධර්මාශෝක නුර්තියේ දේ ඇස උගුල්වා දෙන කුණාල කුමරු ලෙස “දෑස නිසා කරති” යන ගීතය වේදිකාව මත තාත්වික ලෙස දෙඇස් උගුල්ලා දෙන අයුරින් නිරූපණය කරමින් ගැයූ නිසාවෙන් බව පැරැන්නෝ පවසති. එසේම HEYWA , GRAMOPHONE CONCERT සහ HMV  ලේබල වෙනුවෙන් 1917-1920 කාල වකවානුවේ ධර්මාශෝක, විදුර, උම්මග්ග ජාතකය, පද්මාවතී, සිරිසඟබෝ ආදී නුර්ති රැසකම ගීත මෙතුමාගේ හඬින් තැටිගත කර ඇත. වර්ෂ 1915 දී පමණ  GRAMOPHONE CONCERT  ලේබලයට (අංකට්ඛ් 13-12658) තැටිගත කළ “දැක්කොත් පද්මාවතී” මේ ගීතය නැවත 1918 දී HMV  ලේබලයෙන් ද එතුමාගේ හඬින් ම නිකුත් විය. එසේම, පද්මාවතී නුර්තියේ එන තවත් ජනප්‍රියම ගීයක් වන “ගොසින මාළිගෙටා - මම පද්මාවතී ගේ රූපේ“ යන ගීතයත් මෙතුමාගේ හඬින් ම තැටිගත විය.

(3) “පද්මාවතී” නුර්තිය හා බැඳුණු අතුරු කථා:

පද්මාවතී නුර්තියේ පළමුවරට පද්මාවතී වූයේ නළුවෙකි. ඒ එවකට ස්ත්‍රී භූමිකා නිරූපණය කොට රන් පදක්කම් දිනා සිටි නළුවෙක් වූ ඇන්ඩෘ පෙරේරා ය. නිළියක ලෙස පළමු වරට පද්මාවතී ලෙස පෙනී සිටියේ ඇනී බොතේජු ය. ඒ 1919 දී ය. වර්ෂ 1927 සිට වසර ගණනාවක් පද්මාවතී ලෙස පෙනී සිට ඉහළම ජනප්‍රසාදය දිනාගත් නිළිය වූයේ ලක්ෂ්මී බායි ය. ලක්ෂ්මි බායි වෙළෙන්දා ලෙස ද අලවුදීන් රජු ලෙසද පුරුෂ භූමිකා ද නිරූපණය කළා ය. මීට අමතරව සුසිලා ජයසිංහ, සෝම කාන්තා ආදී නිළියන් ද පද්මාවතී ලෙස වරින් වර චරිත නිරූපණය කළෝ ය. වර්ෂ 1936 පමණ වන විට පාර්සි නෘත්‍ය සමාගම ඉදිරියේ “පද්මාවතී” නුර්තිය ප්‍රදර්ශනය කළ අයුරු 1936 අප්‍රියෙල් මස 21 දින “දිනමිණ” පුවත්පතේ මෙසේ ප්‍රචාරය කොට ඇත : "පාර්සි නෘත්ය සංගමයේ දක්ෂයන් ඉදිරිපිට සිංහල ගෞරවය රැකෙන රාත්‍රියයි. ලක්ෂ්මි බායි නෝනා පද්මාවතී ලෙස; ඇඩි මාස්ටර්ගේ හා ලෝරන්ස් ප්‍රේරා ගේ සින්දු. පර්සි පෙරේරා ගේ නැටුම්. රොම්ලස් සිල්වාගේ ඇක්ටිං , රු.50,000 කට පව‍ා මිල නියම කර ඇති පාර්සි නාට්‍ය සමාගමේ විසිතුරු තිර හා අද්භූත දර්ශනයන් ද විදුලි ආලෝක ආදී විස්මයජනක දේ ද ඇත”.

වර්ෂ 1967 අචාර්ය සිරි ගුණසිංහයන්ගේ “සත් සමුදුර” චිත්‍රපටයට ද, මෙම “දැක්කොත් පද්මාවතී” ගීතය ඇතුළත් විය. සිරිල් වික්‍රමගේ මහතා ඇතුළු පිරිස රංගනයේ යෙදුණු එකී ජවනිකාව සඳහා සෝමදාස ඇල්විටිගල මහතාගේ සංගීතයට ඇම්.ඩී. චන්ද්‍රපාල මහතා ඇතුළු පිරිස එම ගීතය ගායනා කර ඇත. පසුකලෙක ඉන්දීය සිනමාවේ දැවැන්ත නිර්මාණයක් වූ සංජේ ලීලා භන්සාලි 'පද්මාවත්' සිනමාපටයේ තිර කතාව ලියා ඇත්තේ මලික් මුහම්මද් ජයසි කවියාගේ "පද්මාවත්" කාව්‍යය (1540) මගින් ලද ආභාසය මතය. එසේම, සංජේ ලීලා භන්සාලි ගේ 'පද්මාවත්’ කථාවේ තේමාව වන්නේ ද, චාල්ස් ඩයස් වර්ෂ 1914 දී වේදිකාවේ ප්‍රදර්ශිත පද්මාවතී නුර්තියේ සන්දර්භයම ය. රාජස්ථාන් ප්‍රාන්තයේ රණකාමී වංශයක් වන 'රාජ්පුත්'වරුන්ගේ ගෞරවය ලබන මිත්‍යාමය වීර චරිතයක් වන පද්මාවත් රැජන, දිල්ලින්සුල්තාන් රාජ්‍යයේ අලවුදීන් විසින් අල්වා ගැනීමට තැත් කරන පුවත බන්සාලි ගේ චිත්‍රපටයේ ද, ඩයස් ගේ නුර්තියේ ද දැක්වේ. එසේම, මලික් මුහම්මද් ජයසි කවියාගේ “පද්මාවත්” කාව්‍යයේ ද සීහල දීපය පිළිබඳව වර්ණනයක් කෙරේ. ජෝන් ද සිල්වා ගේ වේදිකාගත නොවූ “පද්මිණි කුමරිය” නාටකයේ සිංහල දීපයේ “පද්මිණි කුමරිය” ගැන සඳහන් වුවද, චාල්ස් ඩයස් ගේ සහ සංජේ ලීලා භන්සාලි “පද්මාවත් “ චිත්‍රපටයේ සන්දර්භයන් හි එන පද්මාවත් නම් මිත්‍යා චරිතය හා පැහැදිලි සහ සම්බන්ධයක් නොපෙනේ.

සියවසකට ආසන්න කාලයක් ශ්‍රාවක පරපුරු ගණනක් සන්තර්පණය කළ මේ මුල් ගීතය නිර්මාණය කළ සියලුම කලාකරුවන්ට මෙම සටහන උපහාරයක් ම වේවා !

 

මූලාශ්‍ර : ටවර්හෝල් නාටක ඉතිහාසය (1957), ඇල්.ඩී .ඒ. රත්නායක; ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව (2001), මහාචාර්ය සුනිල් ආරියරත්න; ජෝන් ද සිල්වා නාටක ඉතිහාසය (1963) ඇල්.ඩී .ඒ. රත්නායක; සංගීත ඉතිහාසය (1946) ඇල්.ඩී .ඒ. රත්නායක; ටවර්හෝල් නාට්‍යයෙහි චාල්ස් ඩයස්ගේ දායකත්වය (1999); එම්.සමන් සොයිසා ; 'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ?,ඕඕඛ් සිංහල පුවත්. 13/නොවැම්බර් / 2017The 78 rpm Record Labels of India , Michael Kinnear (2016)
 

 

විශේෂ ස්තූතිය : ගීත තැටි සංරක්ෂක ඩබ්ලිව්. ටි. ඇන්. විජේසිංහ මහතා, ගීතයේ රාග- තාල පිළිබඳව දැනුම්වත් කළ අසංක පෙරේරා මහතා, පැරණි සිංහල චිත්‍රපට තොරතුරු සංරක්ෂක කපිල සිරිමාන්න මහතා

 

ඉසුරු උදයංග කාරියවසම්

කථිකාචාර්ය,

උද්භිද විද්‍යා අධ්‍යයනාංශය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය