පුණ්‍යාට සිනමාවේ පියා වූ ඉස්කෝලේ මහත්තයා

එස්.ඒ.ජේම්ස් (1912-1984)
අගෝස්තු 5, 2021

 

 

බොනී මහත්තයා ගාමිණී ෆොන්සේකා කොහිල කොටුවේ ගෙදරට එන විට සවස හතරට පමණ විය. කමලාගේ (පුණ්‍යා හීන්දෙනිය) පියා (එස්.ඒ. ජේම්ස්) ගොරෝසු මුහුණින් බොනී මහත්තයා පිළිගත්තේය. නොසන්සුන්කම් කාගේත් මුහුණවල පිළ විය.

“මං මේ බොහොම වැදගත් ඕනෑකමකට තමුසේ හොයා ගෙන ආවේ“ යි බොනී ධෛර්යයෙන් කතා කළේය.

“ඒ මොකක් ගැනද?“

“තමුසෙගෙ දුව ගැන.“

පියාගේ මූණ රළු විය. ඔහු වෙව්ලුවේය.

“රාළහාමිගෙ කරුණාව මට ඕනෑ නෑ“ හේ කීය.

“මෙහාට කතා කරනව කමලට“

“මහත්තය, මහත්තය එක අතකින් අපේ හැටියට ධන කුවේරයෙක්. අපි ඒ අතින් පුදුමෙට සලකනවා. ඒ උණාට මහත්තයගෙ ඔය නරකාදි චරිතය පේන මූණට මගෙ ළමය පෙන්නන්නෙ නෑ. තරහ වෙන්න එපා.“ යි ඔහු කීවේය.

“මට ඕවට තරහ එන්නේ නැහැ. මං මගේ වැරදි සේරම නැති කරලා....“

“ඒ කියන්නේ හෝදලද“ යි පියා තදින් ඇසීය.

“කොහොම හරි මගේ දේපළ කමලට ලියලා ඇයව විවාහ කර ගන්න කැමති“ යි බොනී කියාගෙන කියාගෙන ගියේය.

“සමාවෙන්නැ“ යි කමලාගේ පියා හිස නැමුවේ ද තරහෙනි.

“කෙල්ලව කපල පෙති ගහලා කොහිල කොටුවේ වළලනවා. රටට පේන්න. ඕවගේ කෙනෙකුට අපි දෙන්නෙ නැහැ. සිරිසේනයට (ටෝනි රණසිංහ) දෙතත් මහත්තයට දෙන්නෙ නැහැ. ආයෙ මොටද ඌට දෙනව කියන කතා හෙම නෙවෙයි මේ. මං කියන කතා මගෙ දුවට විශ්වාස නැහැ. එයා සිරිසේන අද ආවොත් පිළිගන්නවා. මං එන්න ඉඩ තියන්නේ නෑ.“ යි කමලාගේ පියා කෑ ගැසීය.

ගාමිණී ෆොන්සේකා 1966 අධ්‍යක්ෂණය කළ “පරසතු මල්“ චිත්‍රපටයේ පුණ්‍යා හීන්දෙනියගේ පියා ලෙස රඟපෑ එස්.ඒ. ජේම්ස් ඔබට මතකද? ගැමි ජීවන සුවඳ හැමූ කලාත්මක චිත්‍රපට කිහිපයක රඟපෑ ඔහු අව්‍යාජ ගැමි වැඩිහිටියකු, පියකු ලෙස රඟපෑ අපූරු ප්‍රතිභාව මොනවට කැපී පෙනෙයි.

එස්.ඒ. ජේම්ස් සිනමාවට පිවිසෙන්නේ තිරගත වූ “කුරුලු බැද්ද“ චිත්‍රපටයේ සියදෝරිස් නම් ගැමි ගෙදරක ප්‍රධානියාගේ චරිතය නිරූපණය කරමිනි. ඔහුගේ එකම දියණිය රන් මැණිකා ලෙස රඟපෑවේ පුණ්‍යා හීන්දෙනිය ය. ඔහුගේ බිරිය (රන් මැණිකාගේ මව) ලෙස රඟ පෑ රම්‍යා හීන්දෙනිය පුණ්‍යාගේම වැඩිමහල් සොහොයුරිය වීම තවත් විශේෂයකි. එදා රන් මැණිකාගේ පියා ලෙස රඟපෑ එස්.ඒ. ජේම්ස් සිනමාවට පිවිසෙන්නේ තම ප්‍රාණ සම මිත්‍ර “කුරුලු බැද්ද“ කතාව ලියූ පී.කේ.ඩී. සෙනෙවිරත්නගේ ඉල්ලීම මතය.

ජේම්ස් මහතාත්, සෙනෙවිරත්නයන් කීර්තිමත් ගුරුවරුන් මෙන්ම එකම ගම් පළාතේ ඉපද හැදී වැඩුණු මිතුරෝ වූහ. හක්ගල්ලේ පී.කේ.ඩී. සෙනෙවිරත්න නමින් කොළඹ යුගයේ කවියකු ලෙස ප්‍රකටව සිටි තම මිතුරා රස කවි ලියන විට පවා මුලින්ම රසවින්දේ මිතුරු ජේම්ස්ය. අවිවාහකයෙකු වූ දෙමිතුරෝ ගමේ ලන්දේ, ඉපණැල්ලේ, ඇල දොල, ලිඳ ලන්දේ, බඩවැටියේ ඇවිදිමින් ගැමි පරිසරයෙ ආස්වාදය විඳ ගනිමින්, කුරුල්ලන්ගේ ගී අසමින් ස්වභාව ධර්මයේ රස උරා බිව්වෝය. මෙවැනි නිසංසලේ සිටි අවස්ථාවකය පී.කේ.ඩී විසින් ලියූ මේ කවි දෙක ලියවී ඇත්තේ.

වත්තේ වැටුණු පොල් අතු ටික නවම් ඔහේ

පොඟවා විලේ ගම් දැරියන් සමඟ මෙහේ

ගොඩ ඇද වියන අතරේ සෙල්ලමට පහේ

ඇය දුන් හිනා කිංකිනි හඬ තවම ඇහේ

 

වැඩිහියනට කීකරුකම නොම බින්ද‍

දීගෙක ගියා ඇය හිමියකු හා බැන්ද

දෙමාපියන් නිදහස් මුත් ඉන්ද

පාළුයි ගමේ ඇල දොල වෙල ලිඳ ලන්ද

 

පී.කේ.ඩී. ලියු මේ කවිවලිනි, ඔහුගේ “කුරුලු බැද්ද“ කතාව ඉපදී ගුවන් විදුලි නාට්‍යයක් ලෙස 1953 සිට 1957 දක්වා ලංකා ගුවන් විදුලියේ සිංහල අංශයෙන් සතිපතා ප්‍රචාරය වූයේ. මේ කතා පිටපත පී.කේ.ඩී ලියන ලද්දේ තම මිතුරු ජේම්ස් ගුරුවෘත්තියේ යෙදෙමින් පල්ලේවෙල තැපැල් ස්ථානාධිපති මහතාගේ නිවෙසේ නැවතී සිටි කාලයේ ඔහුගේ කාමරයේදී ය. එපමණක් නොව නාට්‍යය පටිගත වන දින පී.කේ.ඩී. කොළඹ ගුවන් විදුලියට ගියේ ද තම මිතුරා සමඟය. නාට්‍යයේ ඇතැම් චරිතවල පී.කේ.ඩී. ගේ පෙරැත්ත කිරීම නිසා අකමැත්තෙන් වුවද රඟපෑමට මිතුරාට සිදුවිය.

එස්.ඒ.ජේම්ස් නම් නවක නළුවා බිහිවන්නේ 1960 වසරේ මීරිගම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා “කුරුලු බැද්ද“ ගුවන් විදුලි නාට්‍යය ආදරයෙන් අසා එය චිත්‍රපටයක් කිරීමට ගිය විටය. චිත්‍රපට කතාව පී.කේ.ඩී ලියුවේ චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂ ආරියවංශ වීරක්කොඩිගේ ගෙදරදීය. මේ කතාව ලියද්දී ජේම්ස් මිතුරාගෙන් උපදෙස් ලැබිණ. කතාව ලියන අතරේ “සියදෝරිස්ගේ චරිතයට ජේම්ස් තමයි හොඳ යයි“ පී.කේ.ඩී කියා ඇත. ජේම්ස් ඒ ආරාධනය පිළිගෙන ඇත.

එස්.ඒ. ජේම්ස් ගැන මුල්වරට හඳුන්වා දීමේ ලිපිය “සරසවිය“ පත්‍රයට 1964.08.19 ලියා තිබුණේ ලංකා විශ්ව විද්‍යාලයේ විමල නයනා විසිනි. එය සිංහල සිනමාවේ දස්කම් දක්වන අලුත් මුහුණ රසිකයන්ට හඳුන්වා දෙන ලිපි පෙළක මුල් ලිපිය ලෙස හඳුන්වා තිබුණි. එහි ප්‍රධාන ශීර්ෂය වූයේ “පොලේ බිඳීන්න බැරි කොප්පරා මුදලාලි“ යන්නය. එහි මෙසේ ද සඳහන්ව තිබුණි.

හාපිටිගම මහා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සේවය කරන (එදා) ඔහු ඉතා දක්ෂ එමෙන්ම ජනප්‍රිය ගුරුවරයෙකු බව මම දැන සිටියෙමි. එකම විෂයයක් ගැන විශේෂඥ දක්ෂතාවයක් නැතත් හැම විෂයයක්ම වාගේ සෑහෙන තරම් හොඳීන් දන්නා ඔහු පැරණි ගුරු පරපුරක් අතර පුරුකක් බඳුය. චිත්‍රපටයක තමා සතු චරිතය කොතරම් හොඳීන් නිරූපණය කළත් පාසලේ ශිෂ්‍යයන් ඉදිරිපිට දී ජ්‍යෙෂ්ඨ උප ගුරුවරයා ලෙස මිස කුරුලු බැද්දේ චිත්‍රපටයේ සියදෝරිස් කෙනෙකු හෝ කොප්පරා මුදලාලි කෙනෙකු වීමට ඔහු කැමති නැත. ඔහු හමුවීමට පෙර මා දැන ගත් කරුණුවලට අමතරව ඔහු හමුවීමෙන් පසු මම තවත් කරුණක් දැන ගතිමි. එනම් ඔහු හොඳ ගුරුවරයෙක් මෙන්ම ඉතා හොඳ නිහතමානි මහත්මයෙකු බවය.

ජේම්ස් මහතා “කුරුලු බැද්ද“ චිත්‍රපටයේ තිර නාටකය රූපගත කිරීම් සඳහා සුදුසු තැන් සෙවීමට පී.කේ.ඩී වීරක්කොඩි, අමරතුංග මහතා හා ඩී.ආර්. නානායක්කාර සමඟ වතුපිටිවල, නයිවල, මාවනැල්ල, කල්රළිය, මිරිගම, විල්වත්ත, බැබිලපිටිය වත්ත, කඳන්ගමුව, කන්ඩලම ආදි ප්‍රදේශවලට ගියේය.

කුරුලු බැද්දේ රන්මැණිකාට “දුවේ“ කියා පුණ්‍යාට කතා කරන්න මොනම විදිහකින්වත් හරියට අඬගහන්න බැරි වුණා. කවදාවත් කාටවත් “දුවේ“ කියලා කතා කරල පුරුද්දක් මට තිබුණේ නැහැ. මේ නිසා දුවේ කියන ශබ්දේ පිටකර ගන්න මම කොච්චර මහන්සි වුණා ද?

ජේම්ස් මහත්තයා රඟපෑ දෙවැනි චිත්‍රපටයේ චරිතය වූයේ පී.කේ.ඩී.ගේ තිර කතාවක් අනුව නිෂ්පාදනය කළ “සිකුරු තරුව“ චිත්‍රපටයේ පියා ලෙසය. දුවට රගපෑවේ පුණ්‍යාය. පුතාට රඟපෑවේ සරත් ප්‍රේමතිලකය. පුවත්පතේ හිටපු ක්‍රීඩා කර්තෘ දුවගේ මවට රඟපෑවේ මිලී කහඳවලය. මේ චිත්‍රපටයේ රඟපෑමට ගොස් අමාරුවේ වැටුණු අවස්ථාවක් ද වෙයි. සිකුරු තරුවේ මල් පැලේ පාන තියන කොට පොලේ බිඳීන දර්ශනයේ දීය. ඒ පොලක් බිඳලා කොහොමත් හුරු නැති මේ අවිවාහකයාට කිහිප වරක්ම පොලේ බිඳීන්නට සිදු විය. ඔහු සිකුරු තරුවේ රඟපෑවේ කොප්පරා මුදලාලිගේ චරිතයකි.

“ජේම්ස් මහතාගේ (කොප්පරා මුදලාලි) පුතා ලෙස රඟපෑ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරත් ප්‍රේමතිලක අපට කීවේ ජේම්ස් මහතා චිත්‍රපටයේ දී මෙන්ම සැබෑ ජීවිතයේ යහපත් ගති ඇති පුද්ගලයෙක් බවය. චිත්‍රපටයේ ද ඔහු කාරුණික පියෙකු ලෙස පුණ්‍යාගේත්, මගේත්, දඟකාරකම් දෙස උපේක්ෂාවෙන් බලා සිටියා. රූපගත කිරීම්වලින් පසු පුණ්‍යාත්, මමත්, අඹ ගස්වලට ඔට්ටුවට ගල් ගසා කරන රණ්ඩු බේරුවේත් ජේම්ස් මහත්තයා. ඔහු මගේ පියා මීමන ප්‍රේමතිලකගේ (සරසවිය ආරම්භක හිටපු කර්තෘ ප්‍රකට කවියෙකි) හොඳ මිතුරෙක් ජේම්ස් මහත්තයා“ කීවේය.

සේකර ආරච්චිගේ ජේම්ස් 1912 නොවැම්බර් 14 වෙනිදා දිවුලපිටියේ මුද්දරගම උපත ලබා ගම්පහ උඩුගම්පොල ආණ්ඩුවේ පිරිමි පාසලේ අධ්‍යාපනය ලබා ගුරුවෘත්තියට එක් වී ඇත. ගොඩිගමුව මරඳගහමුල විද්‍යාලය යන විද්‍යාල වල ගුරුවරයකු ලෙස සේවය කළ ඔහු හාපිටිගම මහා විද්‍යාලයේ උප විදුහල්පති ලෙස විශ්‍රාම ලබා ඇත. චිත්‍රපට නළුවකු වූ පසු කවුරුත් ඔහු ඇමතුවේ “ජේම්ස් මහත්තයා“ ලෙසය.

එස්.ඒ. ජේම්ස් මහතාගේ තොරතුරු සොයා යාමේ දී අපට ඒ සඳහා කිහිපවරක් ඒ මහතාගේ ඥාති සොහොයුරියගේ දූ පුතුන් සම්බන්ධ කර තොරතුරු සොයා දෙමින් උපකාර කළේ අප කළ්‍යාණ මිත්‍ර සම්මානනීය කලා අධ්‍යක්ෂ ධර්මසේන හේමපාල බව කෘතඥතා පූර්වකව සඳහන් කරමි. අපේ කරදර නොතකා ඉතා කැමැත්තෙන් ආදරණීය ධර්මේ කළ උපකාරය සුළු පටු නොවේ. ධර්මේගේ නිවෙසත් ජේම්ස් මහතාගේ ඥාතීන් පදිංචිව සිටියෙත් වේයන්ගොඩ කුඹල්ඔළුවේ නිසා පයින් දුර ගෙවා මේ සඳහා තම සෙනෙහෙවන්ත මිතුරා වූ ජේම්ස් මහතාගේ තොරතුරු කිහිපවතාවක්ම සපයා දුන්නේය.

ජේම්ස් මහත්තයා මා කලා අධ්‍යක්ෂණය කළ “පරසතු මල්“ මඩොල් දූව, වසන්තේ දවසක්, රන්සළු, ඇතුළු චිත්‍රපට කීපයක රඟ පෑවා. ලෙස්ටර් මහතා ජේම්ස් මහත්තයාට කතා කළේ “ කරුණාවන්ත තාත්තා“ කියලා. අත් කොට බැනියම, සිනිඳු සරම ඇඳගෙන සරල චාම් ගමේ ගොවිරාල කෙනෙකු මෙන් ගමේ කරන රඟපෑමටයි ජේම්ස් මහත්තයා ප්‍රිය කළේ. ඔහුගේ ප්‍රාණසම මිතුරා පී.කේ.ඩී සමඟ හැකි සෑම අවස්ථාවකම කතරගම වන්දනාවේ යෑමෙන් ලොකු සතුටක් වින්දා. මේ දෙන්නාම අවිවාහකයෝ මත්පැන් සිගරට් බිව්වේ නෑ. දවසක් මීමන ප්‍රේමතිලක කවියා ජේම්ස් මහත්තයා ඒ කාලේ නවාතැන් ගෙන සිටි පල්ලෙවෙල තැපැල් මහත්තයාලගේ කාමරයට ආවා පී.කේ.ඩී මහත්තයත් එක්කම තැපැල් මහතාගේ ගෙදර කාමරයක මේ දෙන්නා ලියපු කවි ගැන කතා කරනවලු. ඒක රසවතුන්ගේ සන්ධ්‍යාවක් වුණාලු. මීමනයි, හක්ගල්ලෙයි තරඟෙට කවි කියලා තියෙනවා. රාත්‍රී කෑම කාලා ඉවර වෙලා එළිමහනේ තරු බල බලා ඉන්න කොට හක්ගල්ලේ ගමේ රස කතා කියනවා. හඳ තියෙන මාසේ පෝයක මීමන කවි පොතක් ලියලා තියෙන බව ජේම්ස් මහත්තයා මට කියලා තියෙනවා. පොතේ නම “කුමුදුණි“ ය. මීමන කවි කිහිපයක් ලියලා ජේම්ස් මහත්තයට කතා කරලා කියනවලු.

“බලන්න ජේම්ස් මහත්තයා එළියට ගිහින් කොච්චර ලස්සන රාත්‍රියක් ද කියලා“ ය.

ජේම්ස් මහත්තයා පී.කේ.ඩි යි අහස දිහා බලලා චමත්කාරය විඳීනවා.

“කොළඹ ආව දවසක සිළුමිණ පැත්තේ එන්නකෝ. හක්ගල්ලේ ජේම්ස් මහත්තයාවත් එක්ක අපි මහත්තයා ගැන පත්තරේට ලියමු.“ මීමන යෝජනා කර තිබුණා.

“මීමන මහත්තයෝ මම ගැන මොනව ලියන්නද? මම පත්තරේකට ලියන්න තරම් මිනිහෙක් ද? මම නිකම්ම ඉස්කෝලේ මහත්තයෙක්නේ, ගැමියෙක් නේ. ඔය පින්තූර දෙක තුනක හිටිය තමයි...“ නිහතමානිව ඔහු කියලා තියෙනවා.

ධර්මසේන හේමපාල කියා ඇති පරිදි ජේම්ස් මහත්තයා ගමේ ගැමියන්ගේ ගෞරවාදරය පාත්‍ර වූ නිතර පොත්පත් කියවමින් අහිංසක ජීවිතයක් ගත කළ චරිතයකි. චිත්‍රපටයක වැඩ කරන්න අහිංසක ජීවිතයක් ගත කළ චරිතයකි. චිත්‍රපටයක වැඩ කරන්න ආවාම පැත්තකට වී තිර නාටකය ඉල්ලගෙන තමන්ගේ දෙබස් කට පාඩම් කරගෙන තිබේ. මීමන අසාධ්‍යව අසනීපව රත්නම් රෝහලේ ඉන්න කොට ජී.කේ.ඩී සමඟ ජේම්ස් මහත්තයාත් රෝහලට ගියාම මීමන කදුළු පිරි දෙනෙතින් මිතුරන්ගේ අත අල්ලා ගෙන හක්ගල්ලේ මට යන්න දැන් කාලේ හරි කියලා“ මීමන කියන විට ජී.කේ.ඩී ත් ජේම්සුත් අඬල තියෙන බවත් ධර්මසේන අපට කීය.

එස්.ඒ. ජේම්ස් අමරනාත් ජයතිලකගේ “තිලක හා තිලකා“ චිත්‍රපටයේ තිලකගේ මාමා ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ රන්සළු, මඩොල් දූව(පොඩි ගමරාළ), සුනිල් ආරියරත්නගේ සිරිබෝ අයියා (බිසෝගේ පියා), ලෙසද සිරිපාල සහ රන් මැණිකා, මුවන්පැලැස්ස, බැද්දේගම, තනිතරුව, යහළුයෙහෙළි, අරුණට පෙර, මිහිඳුම් සළු, සූර සරදියෙල් ආදී චිත්‍රපට රැසක රඟපෑවේය.

හෘදයාබාධයකින් පීඩා විඳීමින් සිට මීගමුවට පයින් ගොස් පාරේ ඇද වැටී මීරිගම රෝහලට ඇතුළත් කොට ඇති ජේම්ස් මහතා එහිදී මියගොස් ඇත. ඔහු මිය ගියේ 1984 මාර්තු 07 වෙනිදාය.

ජේම්ස් මහතාට ඇස්.ඒ.ලැසිනෝනා නමින් සොහොයුරියක් වූවාය. තම සියළු දේපළ ජේම්ස් මහතා ලියා තිබුණේ තම නංගීටය. මේ නැගෙණියට දූ පුතුන් හතර දෙනෙකි. දියණිය කුසුමා වීරරත්නය. පුතා ජස්ටින් ව්‍යාපාරිකයෙකි. වෝල්ටර් පුතා ඉන්ජිනේරුවෙකි. ඔහු ඇස්.ඩබ්ලිව්.එස්. හෝල්ඩිං හි සාමානාධිකාරිව සිටියෝය. හර්බට් පුතා කුලියාපිටියේ ලංකා ගමනාගමන මණ්ඩලයේ කුලියාපිටිය කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරුවරයාය.