සිනමාවට “අම්මා” එන්නට පෙර තැටියට නැඟුණු “ධර්මපතිනී”

අගෝස්තු 5, 2021

ටීටර් යුගයේ සිට මෙරට සිංහල වේදිකාවේ පතාක යෝධයෙක් වූ තංගල්ලේ සිරිසේන විමලවීර මහතා සිංහල සිනමාවේ සවැනි සිංහල චිත්‍රපටය වූ “අම්මා” චිත්‍රපටය වර්ෂ 1949 අගෝස්තු මස 19 දින ඔහුගේ නවජීවන චිත්‍රපට සමාගමේ නිෂ්පාදනයක් ලෙස මෙරට ප්‍රදර්ශනය කළේය. චිත්‍රපට අධ්‍යක්ෂක බී.ඒ. ඩබ්ලිව් ජයමාන්න මහතාගේ ඒවනවිට චිත්‍රපටයට නඟා තුබූ කඩවුණු පොරොන්දුව (1947), කපටි ආරක්ෂකයා (1948) සහ වැරදුණු කුරුමාණම (1948) ආදී චිත්‍රපට මෙන් ම, විමලවීර මහතාගේ “අම්මා“ චිත්‍රපටයත් ඔහු චිත්‍රපටයක් ලෙස ප්‍රදර්ශනය කිරීමට පළමුව වේදිකා නාටකයක් නොහොත් “ටීටර් එකක්” අතිශය ජනප්‍රසාදයක් දිනා සිටියේ ය. වර්ෂ 1927 දී “ප්‍රතාප් සිං” නම් නාටකය රචනා කළ මෙතුමාගේ නාටක අතුරින් ඉතා ජනප්‍රිය නාටක වූයේ “ලංකා යක්ෂණි”, “ මායාදුන්නේ”නොහොත් “වෙඩි බෝම්බය”, “රොඩී කෙල්ල”, “රොඩී කොල්ලා“ ,”හෙළදිව පුරඟන” නොහොත් “රෝදය”, “ගංවතුර” , “පිටිසර කෙල්ල”, “සීදේවී”, “සිංහලේ නොහොත් සිංහල වීරයා” සහ “අම්මා” ආදී නාටකයි. සෝමකාන්තා, ටී.විල්බට් පෙරේරා, ලක්ෂ්මී බායි , ඇනී බොතේජු, සුමනා රණසිංහ, ඩේසි පීටර්ස්, වයලට් වීරකෝන්, සිසිලියානා ඩයස්, විමලා කාන්තා, රොමියුලස් සිල්වා, එඩී ජූනියර්, පර්ල් වාසුදේවී, විමලා විජේසිංහ (බේබි නෝනා) , රොසලින් පියසීලි, නෝනා සුබෙයිදා, පර්සි පෙරේරා, සුසිලා ජයසිංහ, ඇන්.ආර්. ඩයස්, ලිලී ගුණවර්ධන ආදී නළු නිළියන් රැසක් මේ කාලය වන විට සිරිසේන විමලවීරයන්ගේ නාටක කණ්ඩායමට සම්බන්ධව සිටියහ. එසේම භාරතයේ සිට පැමිණි රාම් ප්‍යාරි, සරස්වතී බායි, පාලී කුමාරී ආදී නාටිකාවන් ද විමලවීර මහතාගේ නාට්‍යවල වරින් වර රංගනයේ යෙදුණහ.

වර්ෂ 1941 දී පමණ විමලවීර මාස්ටර් විසින් රචිත “අම්මා” නාටකය, කතාවක් ලෙසින් මුද්‍රණය කළේ 1943 දී ය. එහි මංගල දර්ශනය වර්ෂ 1943 ජනවාරි 15 දින ටවර්හෝල් හි ප්‍රදර්ශනය කළේ ය. වර්ෂ 1943 අප්‍රියෙල් මාසයේ “නවීන නාටක ක්‍රම ගැබ් කොට නවකතාවක් වශයෙන් ද, නාටකයක් වශයෙන් ද කියවිය හැකි පිළිවෙලට” යනුවෙන් සඳහන් කොට පිටු 86 ක මුද්‍රිත පිටපතක් ලෙසින් මරදානේ මුද්‍රණාලය මගින් විමලවීර මාස්ටර් ගේ මෙම “අම්මා” සමාජ නාටකයේ පිටපත් මුද්‍රණය කර බෙදාහරින ලදී. “අම්මා” සමාජ නාටකය එවකට අතිශය ජනප්‍රිය වූ අතර, “අම්මා” නොහොත් “නීලා” ගේ චරිතය පර්ල් වාසුදේවී, සුසිලා ජයසිංහ, විමලා විජේසිංහ ආදී නිළියන් විසින් වරින්වර නිරූපණය කරන ලදී. ඒ අතුරින් වැඩිම වාර ගණනක් තිරයේ “අම්මා” ලෙස රංගනයේ යෙදුණු පර්ල් වාසුදේවී “අම්මා” සිනමාවට නැඟුªණු විට එම චිත්‍රපටයේ ද “අම්මා” ගේ චරිතය නිරූපණය කළා ය.

පළමු වේදිකාගත කළ දිනයෙන් පසු වසර දෙකක් ඇතුළත වර්ෂ 1945 ජනවාරි 24 දින දර්ශනවාර සියයක් මුළු ලක්දිවේ බොහෝ පළාත් වල ප්‍රදර්ශනය කළ නාටකයක් වූ “අම්මා“ නාටකය එහි ස්වර්ණ ජයන්තිය ටවර්හෝල් හි දී වේදිකාගත කළ බව එවකට පුවත්පත් සහ ප්‍රචාරක පත්‍රිකාවල සඳහන් වේ. සමාජ ශෝධනය සහ සාධුචරිත ඇසුරින් ප්‍රේක්ෂකයාට ආදර්ශයක් ගෙන දීමේ අරමුණ පෙරදැරි කොට, පති භක්තිය අලළා නිර්මාණය වූ “අම්මා” නාටකයේ මුද්‍රිත පිටපතෙහි (1943) “මෙය ආදර්ශවත් චරිත ශෝධන නාටකයක් වනු ඇතැයි මගේ කල්පනාවයි” යනුවෙන් විමලවීර මාස්ටර් සටහනක් එහි සංඥාපනයෙහි සඳහන් කර ඇත. අම්මා නාටකයේ බොහෝ ගීත තනු හින්දි හෝ දෙමළ චිත්‍රපටවලින් උපුටාගෙන තිබුණි. එහි සංගීතය මොහොමඩ් ගවුස් මාස්ටර්ගෙනි. අම්මා සිනමාවට නැගීමේ දී එහි සංගීත අධ්‍යක්ෂ ධූරය දැරුවේ “කඩවුණු පොරොන්දුවේ” සංගීත අධ්‍යක්ෂ ධූරය හෙබවූ සී. එන්. පණ්ඩු රංගන් විසිනි.

නමුත් වර්ෂ 1941-42 කාලයේ “අම්මා” නාටකයේ / “අම්මා” චිත්‍රපටයේ කථා සාරයෙන් එක්තරා කොටසක් එකී නාටකයේ චරිත නාමයන් ම භාවිත කරමින්, ග්‍රැමොෆෝන් තැටි තුනකින් එනම් කාණ්ඩ හයකින් යුත් ග්‍රැමොෆෝන් ගීත නාටකයක් ලෙස ශ්‍රාවකයන් වෙත ලබා දී තිබුණේ “අම්මා” නාටකය වේදිකාවට නැඟීමටත් ප්‍රථමවය. එනම්, 1941 දී පමණ ඛ්ර්‍ණඹ්උර්ඕධ්ඒ ග්‍රැමොෆෝන් තැටි අංක ට්ඡ් 15041-43 දක්වා තැටි අංක තුනකින් (කාණ්ඩ 6කින්) “ධර්මපතිනී“ නොහොත් “පතිවෘතාව” යනුවෙන් සඳහන් කොට නිකුත් කළ මෙහි “විමලා විජේසිංහ තරුණ නෝනා ඇතුළු පිරිස“ (ර්ඪඵඵ එඪථචතච එඪණඥඵඪදඨඩඥ ) ර්‍ථචපබර) යනුවෙන් සඳහනක් මුද්‍රණය වී තිබුණි. මෙහි සංගීතය මොහොමඩ් ගවුස් මාස්ටර්ගේ වූ අතර නාටකය සහ එහි ගීත රචනය පිළිබඳව සඳහනක් තැටි ලේබලයේ මුද්‍රණය වී නොමැත. එහෙත් මෙම නාටකයේ පළමු තැටියේ පළමු කාණ්ඩයේ මුල් කොටස් ශ්‍රවණය කළ විට වර්ෂ 1943 දී සිරිසේන විමලවීර මාස්ටර් විසින් මුද්‍රිත “අම්මා නාටකයේ” සඳහන් දෙබස් බොහෝ දුරට ඒ අයුරින් ම තිබෙනු ශ්‍රවණය කළ හැකි විය. ඒ අනුව මෙම ග්‍රැමොෆෝන් ගීත නාටකය විමලවීර මාස්ටර්ගේ ම රචනයක් බව අනුමාන කළ හැකිය. කතා සාරය බොහෝදුරට එකම වුවත්, නාටකයේ අවසානය ද එකම වුවත්, නාටකයේ සහ චිත්‍රපටයේ දැක්වෙන තිලක සහ ස්වර්ණාගේ පෙම් පුවත මෙහි ඇතුළත් නොවේ.

ග්‍රැමොෆෝන් නාටකය සඳහා අම්මා නොහොත් “නීලා” ලෙස ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ එවකට ටවර්හෝල් හි “විමලා විජේසිංහ” නොහොත් “බේබී නෝනා” ලෙස එවකට ප්‍රසිද්ධ වූ නිළි ගායිකාව ය. එවන විට විමලවීර මාස්ටර්ගේ නාට්‍ය කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකාවක් වූ විමලා විජේසිංහ “ලංකා යක්ෂණි” (1934), “හෙළදිව පුරඟන” (1939) , “ගං වතුර” (1941) ආදී නාටකවල රංගනයේ යෙදීමෙන් ප්‍රසිද්ධියක් දිනා සිටියා ය. කර්ණාටක සහ හින්දුස්ථානි වෘත්ත/ තාල නොබිඳා ගායනා කළ හැකි ගායිකාවක ලෙස ද ඇය එවකට හඳුන්වාදී තිබුණි. පර්ල් වාසුදේවී මෙකල ඩ්ර්ඍ සමාගම සමගින් ගිවිසුම් අත්සන් කොට එකී තැටි සමාගමේ පමණක් ගීත ගායනා කළ බැවින් මේ ගායනා සඳහා සම්බන්ධ කිරීමට නොහැකි වූවා විය හැකි ය.

ග්‍රැමොෆෝන් තැටියට නැඟුණු මෙම “ධර්මපතිනි” ගීත නාටකයේ ද, විමලවීර මාස්ටර්ගේ “අම්මා“ නාටකයේ මුද්‍රිත පිටපතේ ද මෙසේ එකම දෙබස් කොටසක් එහි පළමු ජවනිකාවේ දැක්වේ.

දෙබස : “..........ප්‍රාණේශ්වර ප්‍රියතම ස්ත්‍රියකගේ මෙලොවත් පරලොවත් දෙකෙහිම එකම ගහිතවතා වූ ඉටු දෙවියා වූ මා සැමියාණන්ගේ ආරක්ෂාව ගඔබගේ ආරක්ෂාව ඔබගේ දියුණුවඝ ලෝක ග සංරක්ෂක දෙවි දේවතාවුන් ට පාලක දෙවියන්ට අද දින මම භාර කරන්නෙමි. දවසෙහි වැඩ අවසානයෙන් පසු කිසිම දුකක් හිරිහැරයක් නොමැතිව අපේ මේ මනරම් නිවසට (අපේ මේ සමාදාන ගෘහයට) ඔබ ළඟා කරවීමට අප ආරක්ෂක ඉෂ්ට දේවතාවන්ගේ පිහිට ආරක්ෂාව ඔබට ලැබෙන සේක්වා!

(වරහන් තුළ දැක්වූයේ මුල් නාටක පිටපතින්, ග්‍රැමොෆෝන් නාටක පිටපත වෙනස්වන අයුරු ය.)

 

කුඩා දියණිය හඬයි .......චී ..චී ...

දුව හඬන්ට එපා...

ගීතය :

නාඩා...නාඩා. සැතපෙනු යහනේ

මා ප්‍රිය දෝණි

සිරිලක් දීපේ - සිහළ සිහසුනේ

සිංහල රාජා -

රජ වෙන දිනෙහී

මා ප්‍රිය දෝණී - ඔබ අග දේවී

ගාමිණී මාතා සේ වෙනු දෝණී

රකිනා සේ රට

ජාති මේ .....නාඩා ......

 

මෙලෙසින් දැක්වූ දරු නැළවිලි ගීතයකින් නාටකය ආරම්භ වේ. අම්මා චිත්‍රපටය (1949) සඳහා මෙකී ජවනිකාවට පර්ල් වාසුදේවී ගැයූ “හර්ද විමානේ මිණි පහනක් සේ පාලන මා දෝණී” යන ගීතය ඇතුළත් විය. “ධර්මපතිනී” නාටකයේ කථාව සැකෙවින් මෙසේ ය.

නීලා විවාහ වී සිටින්නේ සරණපාල නැමැත්තෙකු සමගිනි. නීලා සරණපාල සහ විවාහ වීමට පෙර සබඳතාවක් පැවැත්වූ සැම්සන් නැමැත්තෙක් නීලා විවාහ වී සිටින නිවෙසට පැමිණෙ යි. මේ අතරතුර සරණපාල ට, සිය නිවෙස අසලදී ඔහු රැකියාව කළ කම්හලෙහි මිනිසුන් පිරිසක් විසින් පහරදෙනු දුටු නීලා සිහිසුන් වෙයි. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා කපටි සැම්සන් නීලා හොවාගෙන සිටිනු දුටු සරණපාල නීලා කෙරෙහි වැරදි අවබෝධයක් ඇති කරගෙන නීලා සහ ඇයගේ බිළිඳු දියණිය නිවසින් පන්නා දමයි. සිඟමන් යදින නීලාට බොහෝ කරදර වලට මුහුණ පාන්නට වන අතර සිය දරුවාද රෝගී වෙයි. රෝගී දියණියට ප්‍රතිකාර සඳහා මුදල් සිඟමින් යන ලීලාට කොළුවෙකු හමු වී, එක්තරා බංගලාවක මෙහෙකාර සේවයට නීලා රැගෙන යයි. දරුවා රෝහලක නැවතූ නීලා නව රැකියාවට පිටත්ව යයි. මේ අතර සැම්සන් විසින් කූට උපායකින් තමා හඳුනන අභිසරු ලියක වූ ජෙමිලා සරණපාල වෙත යවා ඇයගේ මායමින් සරණපාල සුරාවට සහ සූදුවට ඇබ්බැහි කොට ඔහු සතු වස්තුව විනාශ කරවයි. සරණපාල වස්තුව විනාශ වී පාරක් පාරක් ගානේ ඇවිදියි. ඒ අතර නව රැකියාවට බංගලාවට ගිය නීලා දැනගන්නේ එය සැම්සන්ට අයත් එකක් බවයි. සැම්සන් නැවතත් ඔහුගේ ආශාවන් මුදුන් පමුණුවා ගැනීමේ අදහසින් නීලා වරදෙහි පොළඹවා ගැනීමට තැත් කරයි. ඒ අතර ජෙමිලා පැමිණ සැම්සන්ට වෙඩි තබයි. සරණපාල ද මෙතනට පැමිණෙයි. ජෙමිලාගේ වෙඩි පඅහරින් මරුමුවට පත්වන සැම්සන් අවසාන මොහොතේ ඔහු කළ වරද සරණපාලට පවසා ඔහුගෙන් සමාව ඉල්ලා නීලාගේ නිරෝදොෂී භාවය තහවුරු කරයි.

 

 

ඉසුරු උදයංග කාරියවසම්

කථිකාචාර්ය,

උද්භිද විද්‍යා අධ්‍යයනාංශය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය