සිහින හතක් සැබෑ කර ගැනීමට සිහින දුටු ගීත රචක අධ්‍යක්ෂක

ශ්‍රී නිහාල් ඒ. ජයසිංහ (1942 - 1998)
ජූලි 29, 2021

 

තම වැඩිමහල් සොහොයුරා පාඩම් කරමින් පැරණි නූර්ති ගීතයක් තාලයට මුමුණන අයුරු බාල සොහොයුරු අසා සිටියේ කුහුලෙනි. ඔහු අයියා ගයන නූර්ති ගීවලට නූතන වචන යොදා ගීත ලිව්වේය. එකල අචඤඪධ ඛ්ඥරතධද එකෙන් ඇසෙන හින්දි වැඩසටහන නොවරදාම ඇසූ බාලයා ජනප්‍රිය හින්දි ගීතවලට ද වචන යොදා තනිවම ගැයුවේය. ඔහු සිංහල හා හින්දි චිත්‍රපට මිතුරන් සමඟ නරඹා රසවිඳීමින් චිත්‍රපට හදන සැටි කතා කළේය. තමා කෙදිනක හෝ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට සිහින මැව්වේය.

කැලණියේ පදිංචිව සිටි ඇල්ෆ්‍ර‍්‍රඩ් අල්විස් ජයසිංහ සේවය කළේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවේය. ඔහු විවාහව සිටියේ කළුතර ඊඩිඩ් (ඡ්ච්ධ්ච්) මනෙවිය සමඟය. ඇල්ෆ්‍රඩ් හා ඊඩිඩ් යුවළට දරුවන් පස් දෙනෙක් වුහ. වැඩිමලා මානෙල්ය. ශ්‍යාමන් දෙවැන්නාය. සුවිනීතා නිහාල්, ඩිලානි ඊළඟ දරුවෝ වුහ.

මරදානේ සාන්ත ජෝසප් විද්‍යාලයයේ ඉගෙනුම ලැබූ ඔහුගේ සම්පුර්ණ නම ලක්ෂමන් නිහාල් අල්විස් ජයසිංහ ය. ඔහු උපන්නේ 1942 ජනවාරි 25 වැනිදාය. පාසලේ ඔහු හැඳීන්වුයේ ‘ලක්ෂමන්’ නාමයෙනි. පාසලින් අධ්‍යාපනය අවසන් වී නීති විද්‍යාලයට බැඳුණේය. මේ වන විට ඔහුගේ වැඩිමල් සොහොයුරා ශ්‍යාමන් ජයසිංහ ශාන්ත ජොසප් විදුහලෙන් පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයේ දර්ශනය ගෞරව උපාධිය ලබා පරිපාලන නිලධාරියෙක් වී සිටියේය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මුල්ම ‘මනමේ’ නාට්‍යයේ පොතේ ගුරා ශ්‍යාමන් ය. ‘කදා වළලු’ හා පෙමතෝ ජායතී සොකෝ’ නාට්‍යවල රඟ පෑ පසුව ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ ශ්‍යාමන් කම්කරු හා වෘත්තීය පුහුණු අමාත්‍යංශයේ ස්ථිර ලේකම්ව සිට විශ්‍රාම ගෙන ඈ වෙසෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරය.

නිහාල් පාසලේ ඉගෙන ගන්නා සමයේ 'සිසුමත’ නමින් පුවත්පතක් ප්‍රකාශ කරන කාලයේ ආනන්දයේ දයාවංශ ජයකොඩි විසින් ‘හෙළබිම’ පත්‍රය පිට කළේය.

නිහාල් ජයසිංහගේ පියාට අයත් ‘ජයසිංහ වෙන්දේසි පොළ පිහිටා තිබුණේ මරදානේ ටෙක්නිකල් හන්දියෙන් උසාවියට යන පාරේ වම් පැත්තට හැරෙන ස්ථානයේ ය. තාත්තාගේ අනුබලය නිසා 1965 වසරේ නීති විද්‍යාලයට ගිය නිහාල්ගේ සිත ගියේ කෙටි කතා ලිවීමට ය. පුවත්පත් කලාවේදියකු වීමටය. නාට්‍ය පිටපත් ලියා වේදිකා නාට්‍යය කිරීමටය. ඔහු ලියූ කෙටිකතා ‘ලංකාදීප’ පත්‍රයේ පළ විය. නිහාල් රචනා කොට නිෂ්පාදනය කළ මුල්ම වේදිකා නාට්‍යය වූ ‘අවිගත්තෝ’ ශෛලිගත නාට්‍යයේ රඟ පෑ නළු නිළියන් වුයේ මියගිය දේවබණ්ඩාර සේනාරත්න, වික්ටර් බණ්ඩාර, චිත්‍රා ජයසිංහ (ගායන ශිල්පී වික්ටර් රත්නයන්ගේ මියගිය බිරිඳ) ආදීන්ය. ෂෙල්ටන් ප්‍රේමරත්න මේ නාට්‍යයේ සංගීතය මෙහෙයවා ඇත. නීතිඥයකු වීමට වඩා කලාකරුවකු වීමට සිතූ ඔහු නොතිත් ආසාවෙන් පොතපත කියවීය. කලක් පන්සලක නේවාසිකව සිට පාලි සංස්කෘත භාෂා හදාරා ඇත. ඉංග්‍රීසි හා සිංහල පොත් රැසක් සහිත අගනා පුස්තකාලයකට වී ඔහු වැඩිකාලයක් පොත් කියවමින් කවි ලියමින් ගත කළ නිසා පවුලේ සාද, මංගල උත්සව, කිසිවකට සහභාගි නොවූ බව ඔහුගේ වැඩිමහල් සොහොයුරික වූ සුවිනීතා ජයසිංහ අභයවංශ මහත්මිය අපට කීවාය.

‘මගේ මල්ලී හුදෙකලාවට කැමති, අහිංසක චරිතයක්. සින්දු ලියමින් හිටිය එයා සිනමාවට සම්බන්ධ වෙන්න සිහින මැව්වා. වරක් අපේ තාත්තාගේ මිතුරෙකු වූ ගුණසේන සමාගමේ සභාපති සේපාල ගුණසේන මහතාට කථා කරලා ගුණසේන සමාගමේ බම්බලපිටියේ ශාඛාවේ කළමනාකරු ලෙස සේවයේ යෙදෙව්වා. නිහාල් මේ රැකියාවට ආසා කළේ හොඳට පොත් කියවන්න අවස්ථාවක් ලැබෙන නිසා. හිටපු ගමන් නිහාල්ව රැකියාවෙන් ඉවත් කරලා. මෙයා පොත් කියවන අතරේ පොත් ගන්න ආව මිනිස්සු මහ තොගයක් පොත් හොරකම් කරගෙන ගිහිල්ලා’

නිහාල්ගේ මුල්ම නාට්‍ය අසාර්ථක විය. ඊළඟට ඔහු සිනමා නළු ෂේන් ගුණරත්නගේ මඟ පෙන්වීමෙන් ටී.ජී.ඩබ්ලිව්. ද සිල්වා සමඟ එක් වී ‘මහ රෑ හමු වූ ස්ත්‍රීය’ නවකථාවේ තිර නාටකය ඉංග්‍රීසි බසින් ලිවීය. දෙබස් රචනය හා තිර නාටක රචනය, ගීත රචනය නිහාල්ටත්, සංගීත අධ්‍යක්ෂණය සුනිල් සාන්තටත් හා කැමරා අධ්‍යක්ෂණය එම්.ඩී. සුමනසේකරටත් තෝරාගෙන වැඩපටන් ගත් අතර නිෂ්පාදකගේ මත ගැටුම මට ඒ උත්සාහය ‘ගඟට කැපූ ඉනි’ මෙන් විය. පසුව ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ කේ. වෙන්කට් ය. දෙබස් රචනය කළේ ආරියරත්න කහවිටය. සංගීත අධ්‍යක්ෂණය රොක්සාමිට පැවරිණි.

සිනමාවට පිවිසීමට තිබූ මේ නවකයාට බාධක, වැටකඩුලු පැමිණි නමුත් උත්සාහය අත හැරියේ ඔහු නොවේ. චිත්‍රපටයක හා පුරා කියා ගීතයක් රචනා කිරීමට හා දෙබස් රචනය කිරීමේ අවස්ථාව ලබා දෙන්නේ කැමරා ශිල්පී සුමනසේකර විසිනි. ඩග්ලස් කොතලාවලගේ ‘කිංකිණි පාද’ චිත්‍රපටයෙනි. ඒ චිත්‍රපටයට මොහිදීන් බෙග් හා සුජාතා අත්තනායක ගැයූ ගීතය වෙසක් උත්සව සමයේ නිතරම ඇසෙන හැම පන්සලකම, ආගමික උත්සවයකම ඇසෙන ජනප්‍රිය ගීතයක් විය. මෙහි සංගීත අධ්‍යක්ෂණය පී.එල්.ඒ. සේමාපාල ගෙනි.

‘මල් සුගන්දේ දම් සුගන්දේ සිහිල් සුළං රැල් පාවෙලා

සම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා

මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි

කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි.’

‘කිංකිණි පාද’ චිත්‍රපටයේ එන ඇන්ජලින් ගුණතිලක ගැයූ ‘දුර ඈත පටන් මම ආමි සොයන්.’ හා 'පෑදේ ගී රස පෑදේ' ගීත දෙකේ රචනය ද නිහාල්ගේ ය. නිහාල් හදිසි අනතුරකට පත්ව රෝහල් ගතව සිටියදී චිත්‍රපට තිර නාටකයක් රචනා කළ අතර එහි ප්‍රධාන චරිත වෛද්‍යවරියකු හා හෙදියක වටා ගෙතී යාම ඔහුගේ අදිටන වුයේ ‘සිහින හතක්’ නම් ඒ තිර නාටකය තමා විසින්ම අධ්‍යක්ෂණය කිරීමටය. ඒත් නිෂ්පාදකයෙක් කෝ? චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා ටෝනි රණසිංහ, ශ්‍රීමා අබේරත්න, දයානන්ද ගුණවර්ධන, ෂේන් ගුණරත්න, රූබි ද මැල්, තලතා ගුණසේකර ගැන ඔහු සිතුවේය. එවකට විද්‍යා ගුරුවරයකු ලෙස සේවය කළ තරමක සල්ලිකාරියෙකු වූ රංජීත් සෙනවීර (පසුව ඔහු ‘බඩුත් එක්ක හොරු චිත්‍රපටයේ අධ්‍යක්ෂක විය) සිනමාවට ලැදි මිතුරාට තම සිතැඟි පැවසු පසු තම දෙමාපියන්ගෙන් මුදල් ලබාගත හැකි පැවසීය.

ඒත් රංජිත්ට මුදල් දීමට ඔහුගේ දෙමාපියෝ අකැමැති වූහ. රංජීත් තමා සිතූ දෙයක් අතරමඟ නතර කරන්නෙකු නොවීය. මුදල් ලැබෙනතුරු ආහාර වර්ජනය කළ ඔහුට දෙදිනකට පසු රු.25,000ක් ලැබිණ. ඒ කාලේ 1965 දී රුපියල් 75,000කින් පිරිමසා චිත්‍රපටයක මුලික වැඩ කටයුතු නිම කිරීමට නිහාල් සැලසුම් කර තිබුණි. නිහාල් චිත්‍රපටය ඇරඹුවේය. රු. 25,000 මදිවිය. එවකට කොළඹ නගර සභාවේ දකුණු ග්‍රෑන්ඩ්පාස් කොට්ඨාසයේ නාගරික මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි (පසුව අමාත්‍ය) රු.25,000ක් ද නිහාල්ගේ ලොකු අම්මාගේ පුතා වූ කපිතාන් ගාමිණී නානායක්කාර ද (පසුව කෙළිමඩල හා ජුලියට්ගේ භූමිකාව චිත්‍රපට නිෂ්පාදක) රු.25,000ක් ‘සිහින හතක්’ චිත්‍රපටය සඳහා යෙදවූහ.

‘සිහින හතක්’ 1966 මැයි 02 වෙනිදා තිර ගතවිය. ෂෙල්ටන් ප්‍රේමරත්නගේ ස්වතන්ත්‍රී ගී තනු සහිත මේ චිත්‍රපටයේ සියලු ගීත නිහාල් ඒ. ජයසිංහ (පසුව ශ්‍රී නිහාල් ජයසිංහ) නම් අධ්‍යක්ෂකවරයා කතා රචකයා / තිරනාටක රචකයා හා දෙබස් රචකයා විසින්ම රචනය කිරීම විශේෂයකි. මේ චිත්‍රපටයේ එන මේ ගීත ජනප්‍රිය ගීත විය.

‘සුපුන් සඳක් නැගීලා

කිරි බැබළෙන පාරුවේ

රිදී කඳක් ගලලා

පළිඟු පුලින තලාවේ

 

නළවන තුරුල්ලටයි

රළ පෙළ ඇදෙන්නේ

සුව දෙන කැදැල්ලටයි

අත් තටු සලන්නේ

 

ආදර දියඹ යටයි

මිණි මුතු දිලින්නේ

දිවි රස තාලයටයි

පෙම් රළ රඟන්නේ

මිල්ටන් පෙරේරා සහ සුජාතා අත්තනායක ගැයූ මේ ගීතය ගැන දැනට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි සංගීතඥ ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්න පවසන්නේ මෙවැනි අදහසකි.

‘නිහාල් ගැන කියන්න අපි පරක්කු වැඩියි. ඔහුට පුදුම ශක්තියක් තිබුණා තනුවක් හදලා දුන්නාම වචන ලියන්න. චිත්‍රපටයකට අපි සමහර වෙලාවට තනු හදලා ඒවාට වචන දානවා. එහෙම නැතිනම් ලියපු පදමාලාවලට තනු දානවා. නිහාල්ට මේ දෙකටම හොඳ ශක්තියක් තිබුණා. තනුව ඇහුණ ගමන්ම ඒකට වචන දාන්න. භාෂා ඥානය, ඉංග්‍රීසි දැනුමත් එයාට තිබුණා. ‘සුපුන් සඳක් නැගීලා’ ගීතය තනුවට හදන කොට නිහාල් වචන දාපු ගීතයක්. ඒක ලිව්වේ ‘සුපුන් සඳක් නැගීලා කිරි බැබලෙන පාළුවේ.’ කියලා. සින්දුවෙන් කියැවෙන්නේ ‘පාරුවේ’ කියලා. ඒ දවස්වල රෙකෝර්ඩ් කරන කොට සෑහෙන වාදක පිරිසක් සම්බන්ධ වෙලා ඉතින් ඒ වගේ වැරදි වෙනවා. සමහර ගායකයන්ට ඒ වගේ ගොඩාක් වැරදුණු තැන් තියෙනවා. ‘පුෂ්ප මකරන්දය’ මාගේ ගීතය අපි දෙන්න ඉඳගෙන මම තනුව දාන ගමන් නිහාල් ලිව්වා. නිහාල් ලිව්ව සුජාතා ගැයූ ‘රන්තරු පුන් සඳ’ අදත් මගේ පුංචි මිනිබිරිය ගයන්න කැමති ගීතයක්. ඒ ගීතය අමරණීයයි.’

නිහාල් ඒ. ජයසිංහ නමින් ප්‍රකට වූ ඔහු 1968 වසරේ තිරගත වූ ‘ඇමතිකම’ චිත්‍රපට කථාව, දෙබස්, තිරනාටකය හා අධ්‍යක්ෂණය කළේය. මේ චිත්‍රපටයේ ජෝ අබේවික්‍රම, හියුගෝ ප්‍රනාන්දු, ඩී.ආර්.නානායක්කාර, සන්ධ්‍යා කුමාරි, එච්.ආර්.ජෝතිපාල, මිල්ටන් ජයවර්ධන රඟපෑහ. මේ චිත්‍රපටයේ විකට රසයෙන් පිරි චිත්‍රපටයක් විය. එහි ආ මොහිදීන් බෙග් හා එච්.ආර්. ජෝතිපාල ගැයූ ‘ගමටම මවමෙන් සලකන’ ගීතයත් බෙග් හා මිල්ටන් පෙරේරා ගැයූ ‘ඉපදුණේ මේ ගම්මානේ’ ඔහු රචනා කළ ගීතය. සංගීතය ආර්.මුත්තුසාමිගෙනි. 1968 තිරයට ආ රෝහිණි ජයකොඩි අධ්‍යක්ෂණය කළ ‘හැංගි හොරා’ චිත්‍රපටයට ෂෙල්ටන් ප්‍රේමරත්නගේ ස්වතන්ත්‍ර තනුවලට නිහාල් ගීත සියල්ලම රචනා කළ අතර හරූන් ලන්ත්‍රා හා සුජාතා අත්තනායක ගැයූ මේ ගීතය අතිශයින්ම ජනප්‍රිය විය.

‘හංස රාණී ආදරේ -

මදාරා පරසතු විලේ

මීවිතේ මදිරා බොනු -

මගේ සිත උදුරා ගනු’

මිල්ටන් පෙරේරා සුජාතා ගැයු ‘ගමන දුරයි කිරියෝ වෙහෙස වැඩියි බැරියෝ - කරත්තේ ළඟ එනවෝ පෙරැත්ත ඇයි සෝපියෝ’ මේ ගීතය ද එදා නරඹන්නන්ගේ තුඩග රැව් දුනේය. තමාගේ චිත්‍රපට ප්‍රවිශ්ඨවීමට අඩිතාලම දැමූ රංජිත් සේනාධීර මුලින්ම අධ්‍යක්ෂණය කළ ‘බඩුත් එක්ක හොරු’ චිත්‍රපටයේ ද (1969) ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීත අධ්‍යක්ෂණයට ‘අන්ද මන්දව අන්ධකාරේ (ගායනය චන්ද්‍රානි රුද්‍රගෝ (ගුණවර්ධන) හා ‘නුරා උඳුන් සුරා බඳුන් වගේ’ (ගායනය සුජාතා අත්තනායක හා පිරිස) ගීත දෙක රචනා කළේය. නීල් රූපසිංහගේ ‘දැන් මතකද?” චිත්‍රපටයේ පී.එල්.ඒ. සෝමපාලගේ සංගීතයට ජෝතිපාල සහ සුජාතා ගැයූ ‘අකල් වැස්ස තුරල් වෙලා’ ගීතය රචනා කළ නිහාල් විසින් ලියූ තවත් ජනප්‍රිය ගීතයක් සෙල්වරත්නම්ගේ ‘ඔහොම හොඳ ද’ චිත්‍රපටයේ රොක්සාමිගේ සංගීතයට ජෝතිපාල හා ඇන්ජලින් ගැයුහ.

‘කියන්නම් කතාවක්

පාන්නද සිනාවක්

තවත් නෑ වෙලාවක්

හිතේ නැ නිදහසක්

ඇන්ටන් ජෝන්ස් ගැයූ ‘කොමළල පපා මුකුළු පපා අපේ ළඟට එන්නකෝ' ගීතයේ රචනය කළේ නිහාල් ය.

නිහාල්ගේ සමීපතම මිතුරෙකි. යසපාලිත නානායක්කාර. ඔහු හා පුරා කියා අධ්‍යක්ෂණය කළ ‘තුෂාරා’ (1973) චිත්‍රපටයට ලියූ ගීත සියල්ලම අතිශයින්ම ජනප්‍රිය විය. මෙහි සංගීතය පී.එල්.ඒ. සෝමපාල ගෙනි. මේ ගීත ජෝතිපාල තනිව ගැයු ගී තුනකි.

‘කලක් තිස්සේ සිතක් පතුලේ

පිපී රන්වන් මලක් දිලුණේ

‘මා හද ඔබෙයි දයාවී

ආදරේ නෙත කියාවී’

 

‘එපා වුණාත් හෙට ඕනෑ වේ.

නාවොත් ඔයාට තරහ හිතෙයි

ආඩම්බර වී තැවෙන්න වෙයි. -ඔව්

අඬා නොරොක් වී හිටින්න වෙයි

උඩ පැන්නොත් බිම වැටෙන්න වෙයි

හිතා මතා මේ කියන්නේ මං

හෝ... හෝ.... තුෂාරා’

 

මීට අමතරව ජෝතිපාල හා

ඇන්ජලින් සමඟ ගැයූ මේ යුග ගීත

දෙකකි.

‘මීදුම් ගලා කන්දේ

ඉවසන්න බෑ සීතේ

උණුසුම් දැනේ දැතේ

ළං වී මට දැන් කියන්න

ආදරේ දෝ මට ආදරේ දෝ ’

 

‘එක් වී රඟා රැඟුම් - අතීතේ කතාවේ

පෙම් දම් කැඩී බිඳී’

 

‘ජීවනයේ මී වනයේ පෙම් රස

පල ලඹ දෙයි නිබඳේ

ඇසේවී සුරන් ගීතිකා -

මමයි රූපිකා’

සුජාතා අත්තානයක ගැයූ රන්තරු සේ පුන් සඳසේ’

හා සුජාතා සමඟ ඇන්ජලීන් සමඟ ගැයූ ජීවනයේ මී වනයේ යුග ගීත ද ‘තුෂාරා’ ට ඇතුළත් විය.

කේ. වෙන්කට් ගේ ‘ගොපලු හඬ’ (1973) චිත්‍රපටයේ මුත්තුසාමිගේ සංගීතයට මල්ලිකා කහවිට හා මල්ලිකා පෙරේරා ගැයූ ‘පුංචි පුංචි මල් වගේ - රංචු රංචු වී’ ගීතයත්, ‘මමයි රජා’ චිත්‍රපටයේ ජෝතිපාල ශ්‍රේෂන් ආනන්ද හා ඇන්ජලින් ගැයූ නිල්ල මැදින් යං. (සංගීතය - සරත් ද අල්විස්) යසපාලිත නානායක්කාරගේ ‘නැවත හමුවෙමු’ චිත්‍රපටයට ජෝතිපාල හා ඇන්ජලින් ගැයූ ‘සෙනෙහස පෑවා - යළි හමුවුවා’ (සංගීතය - සරත් දසනායක) කවුද රජා චිත්‍රපයට ජෝතිපාල ගැයූ රන්වන් පහන කෝ (සංගීතය - රොක්සාමි) යසපාලිතගේ මොණරතැන්න’ චිත්‍රපටයේ ඩී.එම්.ජයරත්න ගැයූ ‘අම්බරේ දිලී දිලී තාරකා මිලාන වී ටී.එම්. ජයරත්න හා ඇන්ජලින් ගැයූ’සෙවණේ කුඹුක් සෙවනේ සංගීතය (ප්‍රේමසිරි කේමදාස) සුනිල් සෝම පිරිස්ගේ ‘ජය අපටයි.’ චිත්‍රපටයේ ජෝතිපාල ගැයූ ‘දිලි දිලි දිලීසෙවී මා දෑසේ ආලෝකේ.’ (සංගීතය සරත් ද අල්විස්) නිහාල් පබැඳූ ගීතය. මීට අමතරව ‘දුප්පතාගේ හිතවතා, සහායට ඩැනී, රොඩීගම, ගිජු ලිහිණියෝ, දමයන්ති, ප්‍රදීපේ මා වේවා, නිලුකා, ඇගේ ආදර කතාව, ටිකිරා, අප්සරා ටක් ටික් ටුක්, සබීතා, සාරංගා, සුදු අයියා, ඒක දිග කතාවක්, මිස් මල්ලිකා, සනසන්න මා, හිතත් හොඳයි වැඩත් හොඳයි. නාමල් රේණු, ජය සිකුරුයි, රත්තරන් කන්ද, රෝසි, රස රහසක් වලව්වේ හාමු, අලි බබා සහ හොරු හතළිහ, ජයශ්‍රී වේ කුමරිය ජූරිය මමයි, ඇගේ වෛරය චිත්‍රපටවල ගී ලියා ඇති බව ශ්‍රී නිහාල් ජයසිංහ කලාකරුවානන්ගේ කලා දිවිය ගැන විවරණයක් 2015 වසරේ ලියූ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වෙසෙන ඥාතියෙකු වූ, බාලයේ සිටම ඥාති ඇසුරෙන් පසු මිත්‍රයෙකු සේ කල් ගෙවු උදේනි ලක්ෂමන් මල්ලවාරච්චි විසින් ලියා ඇති ‘පුෂ්ප මකරන්දය මාගේ’ කෘතියේ එයි. 1977 සිට නිහාල් ලියූ චිත්‍රපට ගී ගැනත් පළ වී ඇති කරුණු අනුව මේ ලේඛනය සකස් විය. නිහාල් මුල් කාලයේ සිට 1976 දක්වා වසර තුළ ලියු ගීත රචනාවල නිවැරැදි වචන අප විසින් මෙහි ලියා ඇත්තෙ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියූ ‘සිංහල චිත්‍රපට ගීතාවලිය’ කෘතියෙනි.

ශ්‍රී නිහාල් ජයසිංහගේ විවාහය සිදුවන්නේ 1976 වසරේදීය. 1975 වසරේ නිහාල් සුදර්ශි ශාලාවට ගියේ නැටුම් අධ්‍යක්ෂක රෝනල්ඩ් ප්‍රනාන්දු ‘නර්ථනය පුහුණු කළ ‘ආවා සොයා ආදරේ’ චිත්‍රපටයේ නැටුම් කණ්ඩායමේ සිටි දයා හෙට්ටිආරච්චි කෙරෙහි පිළිබඳ සිතක් ඇති විය. ඇය තම මිතුරියක මඟින් කළ යෝජනාවට දයා එකඟ වුවාය. මේ කාලයේ නිහාල් වේදිකා නාට්‍ය වූ ප්‍රොක්ටර් සිල්වා, කස පහර, මැණික් ගල් තුනක් නිෂ්පාදනය කරන වකවානුවයි මේ. දයා හෙට්ටිආරච්චි ‘ඔන්න මාමේ කෙල්ල පැනයයි, නයනා, සුරේඛා, ජය අපටයි චිත්‍රපටවල රඟ පෑ නිළියකි.

ශ්‍රී නිහාල් අවසන් වරට දෙබස්, තිරනාටකය, ගීත රචනය කර අධ්‍යක්ෂණය කළ චිත්‍රපය 1982 තිරගත වූ බැස්ටිස්ට් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ඒක දිග කතාවක් චිත්‍රපටයයයි. 1983 එම චිත්‍රපටය ඇසුරෙන් නිර්මාණය කළ ඔරුතලෙයි කාද්ල් දමිළ චිත්‍රපටිය යාපනේ රාණි සිනමාහලේ දින 50ක් තිරගත වී ඇති අතර ඒ චිත්‍රපටය සඳහා ර්‍ණඛ්ධ්ඛ් සම්මාන සහතිකයක් ද හිමි වී ඇත.

නිහාල්ගේ තවත් සෙහොයුරියක් වූ ලිලානි විවාහ වුයේ මෝටර රථ ධාවන ශූර, ව්‍යාපාරිකයකු වූ ජිම් රත්නම් සමඟය. නක්ෂත්‍රය ගැන මනා වැටහීමක් තිබූ නිහාල් තම සමීප මිතුරා වූ යසපාලිත නානායක්කාර අඩු වයසින් මිය යනවායැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරිකහවලට රහසින් කියා තිබුණේ දිනවාකවානු ද සහිතවය. සිරි ඒ රහස රැක ගත්තේය. සිරි විසින් අපට පැවසුවේ අනුනට අනාවැකි කී නිහාල් 1998 ජූලි 19 වෙනිදා අකාලයේ මිය යන බව දැන නොසිටියා ද යන පැනයයි.

මට නිහාල් ජයසිංහ මුලින් හමුවන්නේ සිනමාස් සමාගමේ ‘කලා’ සඟරාවේ සංස්කාරක ආරියරත්න කහවිටගේ කාමරයේදිය.

එකල ‘බඩුත් එක්ක හොරු’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ රංජිත් සේනාධීර හා නිහාල් එහිදී හඳුනා ගන්නට ලැබිණි. මා උසස් පෙළ හදාරමින් ‘කලා’ සඟරාවට ලිපි ලියන 1969 වසරේ සිටි කාලයේය. ඔහු අවසන් වරට හමුවුයේ වත්තල පැනමා හෝටලයේදී බැස්ටියන් ප්‍රනාන්දු සමඟය. ඒක දිග කතාවක් චිත්‍රපටය තිර නාටකය රචනා කරන කාලයේය. මේ ලිපිය ලිවීමේ දී නිහාල්ගේ සමීප ඥාතියකු වූ ග්ලොබ් ප්‍රින්ටින් වර්ක් හිමි මියගිය ප්‍රවීණ පත්‍ර‍්‍රකලාවේදී රාජා තිලකරත්නටත් කෝසල තිලකරත්නටත් දැක් වූ අනුග්‍රහයට ස්තුතියි.