“කපටි වින්ටෝ” (1907) නාටකයට ජෝගී පෑලිස් අප්පුහාමි ගැයූ “සැන්ඩි ද ජින්”

ජූලි 29, 2021

 

මෙරට සිංහල නාටක කලාවේ ප්‍රගමනයට දායක වූ නාටක කතුවරුන් අතුරින් නීතීඥ ජෝන් ද සිල්වා සහ නීතීඥ චාල්ස් ඩයස් අමරතුංග මහත්වරුන්ට අමතරව පසුගිය ශතවර්ෂයේ මුල් වකවානුවේ මෙරට පහළ වූ තවත් විශිෂ්ටතම නාටක රචකයෙක් වන්නේ ආර්. ජෝන් පෙරේරා (1884-1914) මහතාය. ඉතා තුරුණු වියේදීම සාහසිකයන් පිරිසක් අතින් දිවි තොර වූ මේ ශ්‍රේෂ්ඨ නාටක කතුවරයා අතින් නිමැවී වර්ෂ 1907 දී පළමු වරට කොළඹ “පැවිලියන් හෝල්” (නොහොත් “බෙලෙක් හෝල්”) හි වේදිකාගත කෙරුණු “කපටි වින්ටෝ” නම් සුප්‍රකට නාටකයට අන්තර්ගත වූ, එවකට සුප්‍රසිද්ධ නාඩගම් සහ නුර්ති නළුවකු මෙන්ම අතිදක්ෂ ජිම්නාස්ටික් ශූරයෙකු වූ ජෝගී පෑලිස් අප්පුහාමි නම් නළු ගායකයා විසින් ගැයූ “සැන්ඩි ද ජින්” නම් ග්‍රැමොෆෝන් තැටියට නැගුණු හාස්‍යෝත්පාදක ගීතයේ විස්තර මෙම ලිපියෙන් ගෙන එන්නට අදහස් කරන්නෙමි. ඔබගේ කියවීමේ පහසුව සඳහා මෙම ලිපිය ප්‍රධාන කොටස් තුනක් යටතේ පිඬු කොට දක්වමි.

(1) ආර්. ජෝන් පෙර්රා මහතා ගේ “කපටි වින්ටෝ” නාටකය (1907) හා සබැඳී තොරතුරු

(2) බෙල්ජියමේ නිෂ්පාදිත  PATHÉPHONE  (පැතේෆෝන්) නම් අප්‍රකට ග්‍රැමොෆෝන් තැටි ලේබලයට තැටිගත වූ “කපටි වින්ටෝ” හි “සැන්ඩි ද ජින්” ගීතය

(3) ගීතය ගායනා කළ නළු- ගායක නාවල එච්. ඒ. ජෝගී පෑලිස් අප්පුහාමී (1854-1918) නම් සුප්‍රකට නළුවා පිළිබඳ තොරතුරු

 

(1) ආර්. ජෝන් පෙර්රා මහතා ගේ “කපටි වින්ටෝ” නාටකය (1907) හා සබැඳී තොරතුරු:

නාටක කතුවර ආර්. ජෝන් පෙරේරා නාටක ලොවට හඳුන්වා දෙන්නේ නීතීඥ ජෝන් ද සිල්වා මහතා විසිනි. තුරුණු වියේදී එනම් වයස 13 සිට 20 දක්වා රත්මලානේ ධර්මාරාම හිමි යටතේ “සරණපාල හිමියන්” නමින් පැවිදිව සිටි ජෝන් පෙරේරා මහතා වර්ෂ 1902 දී උපැවිදිව, භාරතයට ගොස් නාට්‍ය ශාස්ත්‍රය හින්දි, වංග ආදී ප්‍රාචීන භාෂා හදාරා ලක්දිවට පැමිණ ඔහුගේ පැවිදි කල හිතවත් වූ ජෝන් ද සිල්වා මහතාගේ ඇරැයුමින් නාට්‍යකරණයට පිවිසියේ ය. ආර්. ජෝන් පෙරේරා මහතා විසින් නාටක 44 ක් සහ නාඩගම් 04 ක් වසර එකොළහක (1903-1911) කාලය තුළ ප්‍රබන්ධ කොට වේදිකාගත කරන ලදී. එසේම වර්ෂ 1905 දී මරදානේ සුප්‍රසිද්ධ “පැවිලියන් හෝල්” නම් නෘත්‍යශාලාවේ “අභිනව සිංහල නෘත්‍ය සමාගමෙහි” අධිපති ධුරය ද මෙතුමා විසින් දරන ලදී. එසේම 1906-1914 වකවානුවේ GRAMOPHONE CONCERT, සහ INTERNATIONAL TALKING MACHINE “ODEON”  යන ශබ්දවාහිනී තැටි ලේබල මගින් මෙතුමාගේ ගීත, බණ දහම් (පාලි ගාථා, සූත්‍ර සහ පිරිත්), දේශනා, විරිඳු සහ නාටක ජවනිකා ඇතුළත් ගී තැටිගත විය. ලංකාවේ ග්‍රැමොෆෝන් තැටි සඳහා ගීත ගායනා කළ මුල්ම ගායකයන් කීප දෙනා අතුරින් ආර්. ජෝන් පෙරේරා ප්‍රමුඛ තැනක් ලබා ගනී. මෙසේ දශකයකට අධික කාලයක් එතුමා විසින් සිංහල නාටක සහ සංගීත කලාවේ ප්‍රගමනයට කළ විසල් සේවය අගයනු වස් වර්ෂ 1914 පෙබරවාරි මස 28 දින රත්රන් පවුම් 14ක් බරැති ස්වර්ණ මුද්‍රිකාවක් එවකට සිටි සියලුම නාටක කතුවරුන්, ප්‍රභූන් ඇතුළු නොයෙකුත් කලාකරුවන් එක්ව ප්‍රදානය කරන ලදී. සමාජ සේවකයෙකු ලෙසද කැපී පෙනුණු චරිතයක් ලෙස සඳහන් වන ජෝන් පෙරේරා මහතා බොහෝ සමාජ අසාධාරණයන් වෙනුවෙන් නැඟී සිටි එඩිතර තරුණයෙකු බව ද සඳහන් වේ. වර්ෂ 1914 මාර්තු මස 14 වැනි සෙනසුරාදා කොළඹ පංචිකාවත්තේ “කුරුප්පන්” සහ “කුට්ටපන්” යන කොච්චීන් දෙදෙනෙක් විසින් හිසට පහරදීමෙන් කාලයාත්‍රා කළ බව සඳහන් වේ. මෙතුමාගේ අවමංගල්‍යය බොහෝ කලාකරුවන්, ප්‍රභූන් සහ රසිකයන් මධ්‍යයේ සිදු වූ බව එවකට පුවත්පත් කිහිපයක් ම වාර්තා කළේ ය.

ආර්. ජෝන් පෙර්රා විසින් විරචිත නාටක අතුරින් එවකට වේදිකාවේ බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගත් නාටකයක් වූයේ “කපටි වින්ටෝ“ නම් නාටකයයි. ඉංගිරිසි ගත්කතුවරයෙකු වූ මැතිව් ග්‍රෙගරි ලුවී ගේTHE MONK  (“ද මන්ක්”) කතාවේ කථා සාරය සහ චීන ඔපෙරා නාටකයක ආභාසය ලබා මෙම නාටකය නිර්මාණය කළ බව ආර්.ජෝන් පෙරේරා මහතාගේ ජ්‍යෙෂ්ඨ ගෝලයෙකු වූ ටවර්හෝල් හි සුප්‍රසිද්ධ නාටකම්කතුවර ඇල්.ඩී.ඒ. රත්නායක මහතා ඔහු විසින් විරචිත ආර්. ජෝන් පෙරේරාගේ චරිතාපදානයේ සඳහන් කරයි.

කපටි වින්ටෝ නාටකයේ කථා සාරය සැකෙවින් මෙසේ ය. අප්‍රිකාවේ වෙසෙන වින්ටෝ නම් කපටි මන්ත්‍රකරු චීනයේ රජුගේ දියණිය වූ පිං සිං නම් කුමරිය රාක්ෂස වෙසක් මවා පැමිණ පැහැරගනී. දඩකෙළියේ ගිය ඉතාලියේ රජුගේ පුත්, ඇල්ටරින් කුමරු ද, බෙල්ජියමේ රජුගේ පුත් ලින්ටන් කුමරු ද මඟින් ඩෙන්මාර්කයේ රජ පුත් ඇස්ටර් කුමරුට පිං සිං කුමරිය නැති වූ තොරතුර සැළ වී කුමරිය සොයා චීනයට යයි. එසේම ඩෙන්මාර්කයේ මහ ඇමති පුත් වින්සර් නම් කුමරු ද, පිං සිං කුමරිය සොයා චීනයට පිටත් වේ. මේ දෙදෙනාට පෙර චීන දේශයට ගිය තියෝඩර් නම් තවත් කුමරෙක් ද කුමරිය සොයනු වස් කුමරිය සිරකළ මැලීබා නම් වනයේ සැරිසරයි. මේ අතර කපටි වින්ටෝ විවිධ උපක්‍රම යොදමින් පිං සිං කුමරිය තම බිරිය කරගැනීමට උත්සාහ ගත්තද ඒ සියල්ල ව්‍යර්ථ වේ. අනතුරුව තියෝඩර් කුමාරි අතින් කපටි වින්ටෝ මරණයට පත් වේ. මේ අතර කුමරිය සොයා වෙන වෙනම යන ඇස්ටර් සහ වින්සර් කුමාරවරු දෙදෙනා එක්තරා අම්බලමකදී ගිමන් නිවන විට ඔවුන් දෙදෙනාගේ ආභරණ ආදිය සොරෙකු පැහැර ගනී. අනතුරුව ඇස්ටර් සහ වින්සර් කුමාරවරු දෙදෙනා එක්තරා තීරණයකට ගිවිසුමකට එළඹේ. එනම් දෙදෙනා විසින්ම කුමරිය සොයාගෙන චීන රජුට භාර දී, රාජ්‍ය පාලනය කිරීමට තීරණය කරගැනීමයි. මේ අතර තියෝඩර් කුමරු පිං සිං කුමරිය සමඟින් වනයේ වෙසෙමින් කුමරියගේ පිය රජතුමා සොයා යන්නට පිටත් වන අතරතුර දී, කුමරා පල වැල සොයා ගිය නිමේෂයක ඇස්ටර් සහ වින්සර් කුමාරවරු දෙදෙනා විසින් නිදා සිටි පිං සිං කුමරිය පැහැර ගනිති. අතරමඟදී නින්දෙන් අවදි වන කුමරියට තමන් දෙදෙනා සමගින් රාජ්‍ය බෙදා ගෙන පාලනය කිරීමේ අදහස පවසා මේ පිළිබඳව තතු දැනගැනීමට සුදුසු වැඩිහිටියෙකු ඔවුහු සොයති. මේ අවස්ථාවේ ඔවුනට පළමුව හමුවන්නේ ඔල්මාද කාරයෙකි. කතුවරයා නාටකයේ හාස්‍යය මතු කරන විශේෂිතම චරිතය වන්නේ මෙම ඔල්මාද (උමතු) පුද්ගලයා ය. කෙසේ හෝ තාපසයෙක් ලෙස වෙස්වළා පැමිණෙන තියෝඩර් කුමරු, ඇස්ටර් හා වින්සර් කුමාරවරුන්ට උපදෙස් දෙන මායමින් ඔවුන් දෙදෙනා සමඟ සටන් කොට ඔවුන් මරා දමා කුමරිය රැගෙන චීන මහරජ හමුවට යයි. අනතුරුව තියෝඩර් සහ පිං සිං විවාපත් වන අතර, තියෝඩර් කුමරුට රාජකීය කිරුළ ද හිමි වේ.

ජෝන් පෙරේරා මහතාගේ මෙම නාටකය චිත්‍ර වස්ත්‍ර 23 කින්, ගීත 42 කින් සංවාද 107 කින් සමන්විත වූ අතර, ගීත සඳහා රාග- තාල සැපයුවේ එවකට සුප්‍රසිද්ධ සංගීතඥයෙක් වූ එච්. ඩී සයිමන් පතිරාජ මහත්මා විසිනි. සංගීතය සයිමන් පතිරාජ සහ සංගීතාචාර්ය ඩබ්ලිව්. ඒබ්‍රහම් පෙරේරා (සංගීතඥ ඇම්.ජී පෙරේරා ගේ ගුරුතුමා) විසින් ලබා දෙන ලදී. හින්දුස්ථානි සහ ගුජරාති වෘත භාවිත කරමින් මෙහි ගීත නිර්මාණය කරන ලද බව දැක්වේ. මුල් නාටකයේ කපටි වින්ටෝ ලෙස ඩේවිඩ් පෙරේරා මණ්ඩාවල ද, නාටකයේ ප්‍රධාන විකටයා නොහොත් ඔල්මාද කරු ලෙස ජෝගී පෑලිස් අප්පුහාමි ද, පිං සිං කුමරිය ලෙස ඇන්ඩෘ පෙරේරා (අන්දරේ අප්පු) ද, තියෝඩර් කුමරු ලෙස විනී සිල්වා ද, ඇස්ටර් කුමරු ලෙස කේ.ඩී. මාටින් ඔද්‍රිස් අප්පුහාමි ද, වින්සර් කුමරු ලෙස ජෝන් සිංඥෝ ද, චීන අග රජ ලෙස වී.කේ.ටි. පුල්ලේ ද, ඇල්ටරීන් කුමරු ලෙස ඇන්ඩි ඩෙප් ද, ලින්ටන් කුමරු ලෙස දියෝනිස් පෙරේරා ඇතුළු නළුනිළියෝ රාශියක් රංගනයේ යෙදුණහ. මෙම නාටකය වර්ෂ 1907-10 දක්වා පැවිලියන් හෝල් හි මරදානේ “අභිනව සිංහල නාටක සභාව” මගින් ද, වර්ෂ 1910-11 වකවානුවේ, “සිංහල නාට්‍ය සභාව” මගින් ද, වර්ෂ 1911-14 වකවානුවේ මරදානේ ටවර්හෝල් හි “කොළඹ ආර්යසිංහල නාට්‍ය සභාව” මගින් ද වේදිකාගත කරන ලදී. ජෝන් පෙරේරා, අහ්තාගේ අභාවයෙන් පසු ද මෙම නාටකය කිහිපවරක් ම වේදිකාගත කරන ලදී.

 

(2) බෙල්ජියමේ නිෂ්පාදිත  PATHÉPHONE  (පැතේෆෝන්) නම් අප්‍රකට ග්‍රැමොෆෝන් තැටි ලේබලයට තැටිගත වූ “කපටි වින්ටෝ” හි “සැන්ඩි ද ජින්” ගීතය

මෙම නාටකයේ ගීත අතුරින් ප්‍රේක්ෂක ජනතාවගේ වඩාත්ම ආකර්ෂණය දිනා ගත්තේ , නාටකයේ 19 වැනි චිත්‍ර වස්ත්‍රයේ ඇතුළත්, නාටකයේ ප්‍රධාන කවටයා වූ “ඔල්මාදකරු ගේ ගීතය” යි. මෙම චරිතය මඟින් නාටක කතුවරයා එවකට තත්කාලීන ශ්‍රී ලාංකික ජනසමාජයේ පැවැති සංකර සිරිත් ( සුරා පානය, මස් මාංශවලට ලොල් බව, පරගැති සිරිත් අනුකරණය කිරීම ) ආදිය නිර්දය උපහාසයට භාජනය කළේ ය. මෙම නාටකයේ ඇස්ටර් සහ වින්සන් කුමරුන් දෙදෙනා පිං සිං කුමරිය පැහැරගෙන යාමේදී ඔවුනට උපදෙස් දීමට එන ඔල්මාදකරු සහ කුමාරවරුන් අතර ඇතිවන සංවාදය සහ, ඔල්මාදකරු ගායනා කරන “සැන්ඩි ද ජින්” නම් හාස්‍යෝත්පාදක ගීතය ද, ශබ්දවාහිනී තැටි සඳහා තැටිගත කරන ලද්දේ මේ ගීතය සඳහා එකල ශ්‍රාවක ජනතාව වඩා ප්‍රිය කළ බැවින් යයි සිතිය හැකිය. ග්‍රැමොෆෝන් තැටියට අන්තර්ගත වූ සංවාදය සහිත ගීතය පහත පරිදි වේ.

පිං සිං කුමරිය කරතබාගෙන යන වින්සර් සහ ඇස්ටර් ඔල්මාදකරුට හමු වීම

 

ඔල්මාදකරු : ආයුබෝවන් -ආයුබෝවන්, මේ බෑරක් ම ද?

වින්සර් : මේ නඩුවක් විසඳා ගැනීම සඳහා අපි ආවෙමු

ඔල්මාදකරු : ඕ .... ලෝකෙට ලොක්කා රැවුළා...එම නිසා මා හට කියනු මැනවි. එය විසඳීමට මම සූදානම් වෙන්නෙමි.

ඒ නිසා මෙන්න මෙහෙම අපේ සොඳුරී කියලා තියෙනවා

ගීතය : සැන්ඩි ද ජින්, සැන්ඩි ද ජින්, බ්‍රැන්ඩි,

හැම් - හැම් , කේජු- කේජු //

කෑම වර්ග මාගේ ගෑනී කන්ට යෝදී වේ //

කන්නේ ජාඩි මයි, බොන්නේ පොල් රා මයි //

රම්ට රම්ට රම්ට රම්ට රම්ට රම්ට රම් (හික්)

හි ....හි.....මේවා තමයි ලෝකෙට විපරියාස....

වින්සර් : අයුබෝවන්ඩ...මේක විසඳාලා දෙන්නේ නැද්ද මට?

ඇස්ටර් : මේ ස්ත්‍රියාව කාටද අයිති යැයි කිව හැකිද?

ඔල්මාදකරු : ඕ ...මේ ස්ත්‍රියාව තොප දෙදෙනාටම අයිති නැහැ ..මටයි අයිති හා.....හා ....හා ....හා !

ඇස්ටර්: මේ කොහේදෝ යන පිස්සෙක්

ඔල්මාදකරු: මම ද පිස්සා ? මේ කොහේදෝ යන ගෑනියෙක් අරගෙන යන තොපි දෙදෙනා නොවේ ද පිස්සෝ ?

වින්සර් : පල පල ඉවතට. පල ජඩයා....පරට්ටා....

ඔල්මාදකරු : හීහී ...... සැන්ඩි ද ජින් .....(ගීතය නැවත ගායනා වෙයි)

 

 

 

මේ ගීතය ගායකයා විසින් නාඩගම් ශෛලියෙන් ගායනා කෙරේ. තීව්‍ර මධ්‍යමය සහ ශුද්ධ මධ්‍යමය යන ස්වර දෙක යෙදීම සහ ගීතයේ යම් කණ්ඩවල ගාන්ධාරය ප්‍රබල වීම නිසා හින්දුස්ථානි යමන් කළ්‍යාණ රාගයෙහි වර්ණය ඇතැම් ස්ථානවලදී ඉස්මතු වුවත්, සමස්තයක් ලෙස මේ ගීතය රාගධාරී පදනමකින් නිම වී ඇති බව පැවසීම අපහසු වේ. තාලය නාඩගම් තාලයක් වන “තංගපාට තාලය” මත නිර්මාණය කර ඇත. එහෙත් ආර්.ජෝන් පෙර්රාගේ අත්පිටපතෙහි මේ ගීතය සඳහා ආශ්‍රේය වෘත්තය/තාලය “වොල්කීන“ ලෙස නම් කර ඇත. මෙය බොහෝවිට එක්කෝ එවකට ජනප්‍රිය ගීතයක භාවිත කළ වෘතයක් හෝ ගුජරාති වෘතයක් විය හැකි ය. ගීතයේ ෂඩ්ජය කෝමළ ධෛවතය ලෙස පිහිටුවා ඇත(Ab major). වාද්‍ය භාණ්ඩ ලෙස ෆුට්බැලෝ හාර්මෝනියම්, ඇකෝඩියන් සහ තබ්ලාව ලෙස උපයෝගී කර ඇත.

 

මෙම ගීතය වර්ෂ 1912-13 කාලයේ දී තැටිගත කරන ලද්දකි. මෙම ගීතය අඩංගු වන්නේ මෙරට මුල්වරට බෙල්ජියානු හෝ ප්‍රංශ ජාතික ඉංජිනේරුවන් විසින් තැටිගත කළ PATHE නම් ගීත තැටි වර්ගයට ය. ජර්මනියේ නිෂ්පාදිත ඩ්ඡ්කඑඒ ලේබලය මෙන්ම මේ PATHE ලේබලය ද අප්‍රකට ලේබල ගණයට ගැනේ. වර්ෂ 1890-98 කාලයේ ප්‍රංශ ජාතික සොහොයුරන් වන චාල්ස් සහ එමිලි පැතේ විසින් ආරම්භ කරන ලද මෙම PATHEPHONE තැටි සමාගම 1898-1908 දක්වා සිලින්ඩර ලෙසද, වර්ෂ 1908 සිට පරිභ්‍රමණ තැටි ලෙසද නිකුත් කරන ලදී. වර්ෂ 1903 සිට බෙල්ජියම, ප්‍රංශය, රුසියාව ආදී රටවල ශාඛා සමාගම් පිහිටු වූ මේ සමාගම් මඟින්, බෙල්ජියානු සමාගමේ ශාඛාවක් වර්ෂ 1907 දී ඉන්දියාවේ කල්කටාවේ ස්ථාපනය කරන ලදී. වර්ෂ 1911 දී පමණ බෙල්ජියානු / ප්‍රංශ ජාතික ඉංජිනේරුවන් විසින් ලංකාවේ ද PATHE තැටිගත කිරීම් කරනලද බව සැලකේ. මෙම ග්‍රැමොෆෝන් තැටි සුදුර්ලභ මෙන්ම ඉතා විශේෂිත තැටි වර්ගයක් වීමට හේතු කිහිපයක් ඇත. මෙම PATHE තැටි වාදනය කිරීම සිදු වන්නේ මධ්‍යයේ සිට පර්යන්තය දෙසටය (අනෙක් සියලු ග්‍රැමොෆෝන් තැටි වාදනය වන්නේ පර්යන්තයේ සිට මාධ්‍ය දෙසටය). PATHE තැටිවල ධාවන වේගය මිනිත්තුවට පරිභ්‍රමණ 90 (90 පනථ) කි (අනෙකුත් ග්‍රැමොෆෝන් තැටි වල ධාවන වේගය මිනිත්තුවට පරිභ්‍රමණ 78 කි). PATHE තැටිවලට කඩදාසියෙන් මුද්‍රණය කොට ඇලවූ ලේබලයක් නොමැත. එහෙත් ගීතයේ සියලු විස්තර තැටියේ අච්චුවක් භාවිතයෙන් කොටා (ඥදඨපචමඥඤ) කොට ඇත (අන් කිසිදු ග්‍රැමොෆෝන් තැටි ලේබලයක තැටියේ අංක හැරෙන්නට එහි අඩංගු ගීත වල විස්තර තැටියේ කොටා නොමැත). එසේම, PATHE තැටි වාදනය සඳහා විශේෂිත වූ PATHE සමාගමෙන් නිෂ්පාදිත ධ්වනික පෙට්ටි (SOUND BOX)  භාවිත කිරීමෙන් තැටි නිවැරදි ශ්‍රව්‍ය තත්ත්වයකින් ඇසිය හැකිය. වර්ෂ 1908-1913 කාල සීමාවේ ඉන්දියාවේ මෙම ලේබලයේ ගීත තැටි 100 පමණ නිකුත් වී තිබේ. එසේම ඉන්දියාවේ නිකුත් වූ තැටි සඳහා 45000, 46000 සහ 49000 අංක ශ්‍රේණි ත්‍රිත්වය ලබා දී ඇති අතර ලංකාවේ දී කපන ලද තැටි සඳහා 48000 අංක ශ්‍රේණිය ලබා දී ඇත. එක් එක් තැටියේ දෙපසට අනුයාත අංක දෙකක් ලබා දී ඇත. ලංකාවට 1911-13 වකවානුවේ අසන්න වශයෙන් PATHE ගීත තැටි 50 -75 අතර ප්‍රමාණයක් නිකුත් කර ඇති බව විශ්වාස කෙරේ. (මෙරටට නිකුත් කරන ලද මුල්ම PATHE තැටියෙහි අන්තර්ගත වන්නේ ඉසුරුමුණියේ සරණංකර ස්වාමිපාදයාණන්ගේ දේශනා ද්වයකි.). ජෝගී පෑලිස් අප්පුහාමි විසින් ගායනා කරන ලද කපටි වින්ටෝ නාටකයට ඇතුළත් “සැන්ඩි ද ජින්” යන මෙම ගීතය PATHE තැටි අංක 48008 යටතේ තැටි ගත කර ඇති අතර, එම තැටියේ ම අනෙක් පස පෑලිස් අප්පුහාමිම ජෝන් පෙරේරාගේ තවත් නාටකයකට ගැයූ “මදනකාම ශාස්ත්‍රය” නොහොත් “ආස්මී- කළු දොදොල්” යන හාස්‍යෝත්පාදක ගීතය ඇතුළත් වේ. පළමු ලෝක සංග්‍රාමයේ සෙවණැලි ලොවපුරා වැටෙත්ම මෙමPATHE තැටි නිෂ්පාදනය වර්ෂ 1913 දී පමණ ඇණ හිටි බව පෙනේ. දැනට ලංකාවේ මෙම දුර්ලභ සිංහල ගීත ඇතුළත් PATHE තැටි ඇත්තේ ඉතාමත් සීමිත සංඛ්‍යාවකි. පිටපත් සීමිත සංඛ්‍යාවක් නිකුත් කළ බැවින් සහ ප්‍රතිනිකුතු නොමැති බැවින් ද, ඇතැම් විට ලෝක සංග්‍රාම කාලයේ නෞකා මගින් ප්‍රවාහනය අදාළ වූ බැවින් ද මෙරට වෙළෙඳපොළට පැමිණි PATHE තැටි පිළිබඳව නිවැරදි තක්සේරුවක් ලබා ගැනීම මඳක් දුෂ්කර කාර්යයකි.

 

(3) ගීතය ගායනා කළ නළු- ගායක නාවල එච්. ඒ. ජෝගී පෑලිස් අප්පුහාමී (1854-1918) නම් සුප්‍රකට නළුවා පිළිබඳ තොරතුරු :

සාමාන්‍ය ව්‍යවහාරයේ “ජෝගී නටනවා“ යනුවෙන් සඳහන් කරන යෙදුමේ නියම භාවිතය “ජිම්නාස්ටික්/ සරඹ ක්‍රීඩා ” යන්න ය. එවකට සුප්‍රකට ජිම්නාස්ටික් ශූරයෙකු වූ ජෝගී පෑලිස් අප්පුහාමි මහතා සියවසකට පෙර මෙරට සිංහල වේදිකාවේ අතිශය දස්කම් පෑ නළුවෙකි. නළු චරිත මෙන්ම නිළි (කාන්තා) චරිත ද මනා සේ රංගනයේ යෙදුණු මෙතුමාගේ හිසකෙස් දණහිසෙන් පහළට තරම් වවා තිබුණු බව සඳහන් වේ. ටවර්හෝල්හි මුල්වරට ප්‍රදර්ශිත පණ්ඩුකාභය (1911) නුර්තියේ දාසිය සහ නාටිකාව යන චරිතද්විත්වයම නිරූපණය කළේ මෙතුමා විසිනි. වර්ෂ 1854 දී නාවලදී උපන් හෙට්ටිආරච්චි ගේ (ජෝගී) පෑලිස් අප්පුහාමි මහතා වර්ෂ 1864 දී කොළඹට පැමිණි අබ්දුල් ලතීෆ් බායි සහ කොම්පඤ්ඤ වීදියේ තුවාන් අද්‍රායන් නම් ගුරුවරුන් වෙතින් පෙරදිග නැටුම් ශාස්ත්‍රය හදාරා පසුව වර්ෂ 1876 දී පමණ මරදානේ බි.ජේ. පෙරේරා මහතාගේ නාඩගම් කීපයකටම නර්තනයෙන් දායක වූයේ ය. ජෝන් ද සිල්වා මහතා ගේ “ආර්ය සුබෝධ නාට්‍ය සභාවේ” (1901 සිට 1913 දක්වා) සහ එතුමාගේ “විජය රංග සභාවේ” (1913-1918 දක්වා) පෑලිස් අප්පුහාමි ප්‍රධාන නළුවෙක් විය. එසේම, ටවර්හෝල් හි “ආර්ය සිංහල නාට්‍ය සභාවේ” (1911 -1918) ද, ආර්.ජෝන් පෙරේරා ගේ “අභිනව සිංහල නෘත්‍ය සමාගමේ” ද (1903-1914) ප්‍රධාන නළුවෙක් ලෙස කටයුතු කළේ ය. මොහුගේ නැටුම් සහ විස්මිත ජවනිකා නැරඹීමට එවකට ප්‍රේක්ෂකයා තදින් ඇදුණේ ය. වරෙක මේසයක් මත බෝතල් හතරක් තබා, ඒමත පුටුවක කකුල් හතර තබා පුටුව මත නැගී සිට මෙතුමා නර්තන ඉදිරිපත් කළ බව සඳහන් වේ. එසේම, ඉන්දියාවේ මදුරාසිය, මැලේසියාවේ ක්වාලාලම්පූර්, සිංගප්පුරුව ආදී රටවලට ගිය ප්‍රසිද්ධ නළඟනන් සමඟින් කරට කර නැටුම් ඉදිරිපත් කර ජයග්‍රහණ රාශියක් ලබා ගත්තේ ය. එසේම වරක්, ඉන්දියාවේ කොචින් ප්‍රදේශයට ගොස් සුප්‍රසිද්ධ නාටිකාවන් සමඟින් නර්තන ඉදිරිපත්කොට ස්වර්ණමුද්‍රිකාවක් දිනාගෙන පැමිණි එකම නළුවා වූයේ ද, ජෝගී පෑලිස් අප්පුහාමි මහතා ය.

 

වරෙක ශූර - වීර චරිත ද, තවත් වරෙක ස්ත්‍රී භූමිකා ද, තවත් වරෙක කවට සහ හාස්‍යෝත්පාදක චරිත ද මැවීමට සමත් මෙතුමා වර්ෂ 1908-13 සමයේ  PATHE , GRAMOPHONE CONCERT,  සහ INTERNATIONAL TALKING MACHINE “ODEON” යන සියලුම ලේබල සඳහා ගීත තැටිගත කළේ ය. එඅතුරින් PATHE ලේබලයට “මදන කාම ශාස්ත්‍රය”, “සිංහල බෑන්ඩ්” වැනි ගීත ද, GRAMOPHONE CONCERT ලේබලයට “බමුණු යකා - කියපු නිසා” (පණ්ඩුකාභය), “ඇඹුම් කවි” (බලි ඇඹීම), INTERNATIONAL TALKING MACHINE “ODEON”  ලේබලය ට “මාළු වෙන්දේසිය” වැනි ගීත ද, තැටිගත කළේ ය. වසර 62ක් ආයු වැලඳු මෙතුමා 1918 දී අභාවප්‍රාප්ත විය.

 

මෙරට ප්‍රාසංගික නාටක ඉතිහාසයේ ප්‍රාරම්භක යුගයේ මුල් පුරුක් වූ, සියවසක පමණ කාලයක් කාලයේ වැලිතලාවෙන් ගියා වූ නාටක කතුවර ආර්. ජෝන් පෙරේරා (1884-1914) සහ දෙස් විදෙස්හි කීර්තිධර නළුවෙක් වූ ජෝගී පාලිස් අප්පුහාමි (1854-1918) නම් කලාකරුවාට මෙම සටහන උපහාරයක් ම වේවා!

 

විශේෂ ස්තූතිය : මෙම සුදුර්ලභ ග්‍රැමොෆෝන් තැටිය පිළිබඳ විස්තර සොයා ගැනීමට උපකාර කළ ගීත තැටි සංරක්ෂක ජයරත්න ප්‍රනාන්දු සහ එච්. එම් ගුණතිලක මහත්මාවරු, ගීතයේ සංගීතමය අගය පිළිබඳව දැනුම්වත් කළ අසංක පෙරේරා මහතා.

 

මූලාශ්‍ර : The Gramophone Company’s First Indian Recordings (1898-1908) , Michael Kinnear (1991); The 78 rpm Record Labels of India , Michael Kinnear  (2016) සංගීත ඉතිහාසය - 1 වැනි කාණ්ඩය (1946) ඇල්.ඩී .ඒ. රත්නායක; විසි වසරක සිංහල නාට්‍ය හා රංග කලාව ග1912-1931ඝ- මහාචාර්ය තිස්ස කාරියවසම් (2012); ආර්. ජෝන් පෙරේරා ගේ “කපටි වින්ටෝ” නාටකය. ඇල්.ඩී .ඒ. රත්නායක (නැවත මුද්‍රණය , 2008)



ඉසුරු උදයංග කාරියවසම්
කථිකාචාර්ය,
උද්භිද විද්‍යා අධ්‍යානාංශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය