ජෝන් ද සිල්වා සූරීන්ගේ “පරංගි හටන” ග්‍රැමොෆෝන් තැටියට

ජූලි 22, 2021

 

මෙරට සිංහල නාට්‍ය වංසකතාවේ ආදිකතුවරයෙක් ලෙස සැලකෙන ජෝන් ද සිල්වා සූරීන් විසින් වර්ෂ 1914 දී ප්‍රබන්ධ කරන ලද “පරංගි හටන” නොහොත් “දෙවැනි රාජසිංහ චරිතය” නම් නුර්තිය එතුමාගේ නාටක අතුරින් වේදිකාවේ ඉතා සීමිත වාර ප්‍රමාණයක් ප්‍රදර්ශනය වූ අප්‍රකට කෘතියකි. ජෝන් ද සිල්වා මහතා විසින් මෙම නාටකය රචනා කිරීමේ දී සීතාවක යුගයේ රචිත පද්‍ය 214 කින් සමන්විත “පරංගි හටන“ නම් ප්‍රශස්ති කාව්‍යය ඇසුරු කොට ඇත. මෙම කාව්‍යය “පරංගි හටන” ලෙස නම් කෙරුණත් එහි හටන් කාව්‍යයක තිබිය යුතු මූලික ලක්ෂණ අන්තර්ගත නොවන අතර, “ප්‍රශස්ති කාව්‍යයක“ ගැබ් විය යුතු මූලික ලක්ෂණ විද්‍යමාන කරයි. මෙම මුල් “පරංගි හටන” කාව්‍ය ග්‍රන්ථයේ කර්තෘත්වය විවාදාසම්පන්න ය. ඇතැමෙක් එය රචනා කළේ අලගියවන්න මුකවෙටිතුමා බව පවසති. එහෙත් මේ කෘතිය කොටස් දෙකකින් සමන්විත වන අතර, මුල් කොටස වේවැල්දෙණියේ මොහොට්ටාල නම් කවියෙකු විසිනුත්, එහි දෙවැනි කොටස ගංගොඩ මොහොට්ටාල නම් කවියෙකු විසිනුත් විරචිත බව මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල මහතා පෙන්වා දී ඇත. කෙසේ හෝ මේ කාව්‍ය ග්‍රන්ථයේ කර්තෘත්වය පෙන්වා දෙන කවියක් සඳහන් නොවන බැවින්, මෙය ඇතැම් විට එවකට කවිකාර මඩුවේ සිටි කවීන් කීපදෙනෙකු විසින් ගයන ලද ප්‍රශස්ති ගායනාවල සංග්‍රයක් ලෙස ඇතැම් සාහිත්‍ය විචාරයන් හි සඳහන් වේ. ජෝන් ද සිල්වා සූරීන් මෙකී මුල් පිටපතෙහි ආලෝකය ලබා වේදිකාවට උචිත අන්දමින් එතුමාගේ අනන්‍ය නාට්‍යමය අනුභූතින් සහිතව මේ “පරංගි හටන” නොහොත් “දෙවැනි රාජසිංහ චරිතය” නුර්තිය නිර්මාණය කළේ ය.

වර්ෂ 1913 දී ජෝන් ද සිල්වා මහතා ගේ නාටක නිෂ්පාදන බොහොමයක් ප්‍රදර්ශනය කළ “ආර්ය සුබෝධ නාට්‍ය සභාව“ ඔහුගේ “විජය රංග සභාව” වෙත ඈඳා අභිනවයෙන් විජය රංග සභාවේ ශීර්ෂය යටතේ නාටක පෙන්වීම ආරම්භ කළේ ය. එවකට ආර්ය සුබෝධයේ සිටි ජනප්‍රියම නළු නිළියන් වූ මීගමුවේ ඩබ්ලිව්. ඩී සිමෝනා පෙරේරා, සේදවත්තේ එච්. ඩබ්ලිව් (වෙළුම්) පෙරේරා, මරදානේ ඇවන්ඩල් පාරේ ජේ.බී. රාජපක්ෂ, කොම්පඤ්ඤ වීදියේ මාටින් ඕදිරිස් අප්පුහාමි, මරදානේ ඇන්ඩෲ පෙරේරා (අන්දරේ අප්පු), ජෝගී පෑලිස් අප්පුහාමි, පාවුළු අප්පු, චාර්ල්ස් රණවක, ඇඩ්වින් ජයවර්ධන, මර්තේලිස් පෙරේරා, ජුවන් අප්පු, බ්‍රිටෝ සිඤ්ඤෝ ආදී නළු-නිළියෝ රැසක් 1914 වනවිට ජෝන් ද සිල්වාගේ විජය රංග සභාවෙහි වූහ. වර්ෂ 1914 දී ජෝන් ද සිල්වා විසින් රචනාකොට වේදිකාගත කළ නාටක දෙකකි. එකක් මතු දැක්වූ “පරංගි හටන” නොහොත් “දෙවැනි රාජසිංහ චරිතය"යි, අනෙක “දේවානම්පියතිස්ස චරිතය” යි. ජෝන් ද සිල්වා මහතා අභිනවයෙන් රචිත මෙම පරංගි හටන නාටකය වර්ෂ 1914 අප්‍රියෙල් මස 20 දින සිට “සිංහල සමය“ පුවත්පතේ කොටස් වශයෙන් පළ විය. වර්ෂ 1914 අග භාගයේදී වේදිකාගත කෙරුණු මෙම “පරංගි හටන” නුර්තිය අංක පහකින්, ජවනිකා විසි එකකින්, සින්දු තිස්තුනකින් සහ දිගු කවි / විරිඳු හයකින් සමන්විත විය. මෙම නුර්තිය සඳහා සම්බන්ධ වූ නළු නිළියන් සංඛ්‍යාව හැත්තෑවකි. වර්ෂ 1915 දී “ස්වජාතික නාට්‍ය සමිතිය“ මගින් අප්‍රියෙල් 12,13,14,17 දිනයන් හි කොළඹ ටවර් නෘත්‍ය ශාලාවේ මේ පරංගි හටන නාටකය ප්‍රදර්ශනය කළේය. මෙහි මුල් ප්‍රදර්ශනය සඳහා සිමෝනා පෙරේරා, ඇඩ්වින් ජයවර්ධන, ජෝගී පෑලිස් අප්පුහාමි සහ ඇන්ඩෲ පෙරේරා ආදී නළු නිළියෝ සම්බන්ධ වූහ.

ජෝන් ද සිල්වා මහත්මා විසින් විරචිත ඓතිහාසික නාටකයක් වූ මෙහි සෙනරත් රජුගේ යුද්ධ කථා, ටිකිරි කුමරු නොහොත් දෙවැනි රාජසිංහ රජතුමා ප්‍රතිකාල් හමුදා සමඟ සටන් කොට ජය ලැබූ අයුරු, ආදිය විස්තර කෙරෙන අතර, නාටකයේ ප්‍රාසංගික බව වැඩි කරනු වස්, නාටක කතුවරයා විසින් කල්පිත “විකට ජෝඩුවක ගේ චරිත” ද නාටකයට ඇතුළත් කළේ එහි අනුභූතියට හානි නොවන පරිද්දෙනි. එසේම, වර්ෂ 1889 සිට ජෝන් ද සිල්වා මහතාගේ නාටක ආරම්භයේ දී, එකී නාටක රචනයට හේතු වූ ප්‍රස්තුතය සහ/ හෝ කතුවරයාගේ නාටක ආධ්‍යාශය “සුත්‍රධාරී” චරිතය මඟින් ප්‍රේක්ෂකයාට විග්‍රහ කෙරුණු නමුදු, පරංගි හටන නාටකයේ දී කතුවරයා සුත්‍රධාරීට අමතරව ඔහු සමඟින් සල්ලාපයේ යෙදීමට උඩරට නාටිකාවන් දෙදෙනෙක් ද ඇතුළත් කළේ ය. ගැදියෙන් සහ පැදියෙන් කෙරුණු මෙම සුත්‍රධාරී - නාටිකා සංවාදයේ දී, කතුවරයා ප්‍රේක්ෂකයාට පෙන්වා දුන්නේ පසුගිය වසර සියයක කාලය තුළ ( එනම් 1815-1914දක්වා) ඉංගිරිසින් මෙරට අල්ලාගත් පසු මෙරටට ලැබුණු සංකර සිරිත්, රට වැසියා තුළ දැන් දක්නට ලැබෙන පර ගැති සිරිත් සහ කාම සැපයට මුල්තැන දී බුදු සමය අමතක කිරීමත් නිසා සිංහල ජාතිය පරිහානියට පත්ව සිටින අයුරුත්, අතීතයේ අපේ සිංහල රජවරු රට-දැය- සමය රකිනු වස් විදේශිකයන් සමඟ යුද කොට ජයලැබූ අයුරුත් ය. මෙමඟින් නාටකය නරඹන ප්‍රේක්ෂකයා තුළ දේශාභිමානී හැඟීමක් ජනිත කිරීමට කතුවරයා උත්සාහ ගත් බවක් පෙනේ.

“පරංගි හටන” නාටකයේ ප්‍රධාන ජවනිකා ලෙස සෙනරත් රජුගේ මාළිගය, වීථියක් - මහාමන්ත්‍රී සහ ඔහුගේ භාර්යාවගේ සල්ලාපය, මල්වානේ ප්‍රතිකාලුන්ගේ මාළිගය, සියනෑ කෝරලයේ ගම්බද නිවෙසක්, නුවර වීථියක්- රාජසිංහ කුමරු වෙස්වළාගෙන රබන් කරුවෙකු සේ ගයන විරිඳු, ගන්නොරුව යුදපිටිය, ආදී වශයෙන් අලංකෘත චිත්‍රවස්ත්‍ර රාශියකින් සමන්විත විය. මේ නාටකයේ රාජසිංහ කුමරු ලෙස රංගනයේ යෙදුණේ එවකට සුප්‍රකට නාඩගම් සහ නුර්ති නළුවෙකු වූ ඇඩ්වින් ජයවර්ධන මහතා ය. මේ නුර්තියේ තුන්වැනි අංකයේ තුන්වැනි ජවනිකාවේ දැක්වෙන්නේ මූඩම් රබන්කරුවෙකු ලෙස වෙස්වළාගෙන සිටින රාජසිංහ කුමරු සහ ඔහුගේ සහකරු විසින් ගයන විරිඳුවකි . මෙහිදී රාජසිංහ කුමරුන් තමාටම කියාගන්න දෙබස පහත ආකාර වේ.

“ ශ්‍රී ලංකාද්විපයට හතුරුකම් කරන පරංගියාගේ බලකොටු මූදුබොඩ සාදා තිබේ. ඔත්තු බලාගැනීමට උන් කඳවුරු බැඳගෙන සිටින ස්ථානවලට පැමිණෙමි. යම්තාක් බුද්ධධර්මය ලෝකේ පවතී ද ඒ තාක් සිංහල ජාතිය ඇති වන්නේය. එබැවින් මිත්යාක් දෘෂ්ටිය වැලඳගෙන සිටින පරසතුරන් රටෙන් පිටුවහල් කර දැමිමට ඕනෑ උපකරණ සුදානම් කර ගන්නෙමි”.

අනතුරුව රාජසිංහ කුමරු මූදම් රබන්කරුවෙකු ලෙස සිය අභිලාශය පෙන්වමින් ගැයෙන මේ විරිඳුව පහත අයුරු වේ.

 

දියට නැඟු කටුව සේම මතුවට පවතිඤ්ඤයි

නයාට ගුරුළිඳු විලසින් සතුරට මූණ දෙඤ්ඤයි

ඇතාට සිහනද සේම රබාන හඬවඤ්ඤයි

දෑතට ගෙන රබන් දෙකක් ලක්දිව වට යඤ්ඤයි

ඒක සැබැයි ....සැබැයි ..සැබැයි

 

සුරංගනා සදිසි ළියන් ද දී මෙරට වැසියා

පරංගියා ගෙන් නිලතල ගැණුමට සිත රිසියා

පරම්පරා සිංහල රට පාතට දැන් බැසියා

මොවුන් මරා සිරි ලක්දිව මුදා ගුණුම් නිසියා

 

ඒක සැබැයි ....සැබැයි ..සැබැයි...

 

බඩ ගෙඩියට ‍ලොබින් අපේ මුනිඳු සමය ඇරලා

කඩ කර කුල සිරිත් දුවති සමහරු උඩ පැනලා

දිඩ තර ගොර දුකට ගොදුර වෙති සදහම් නොබලා

ඉඩ තව මම නොදෙමි පරංගින් සිඳලමි මෙක ලා

 

ඒක සැබැයි ....සැබැයි ..සැබැයි....

 

වර්ෂ 1925 දී පමණ ඩබ්ලිව්. ඇඩ්වින් ජයවර්ධන මහතාගේ එනම් නුර්තියේ මුල් ගීතය ගැයූ නළුවාගේ හඬින් ම ජර්මනියේ නිෂ්පාදිත ර්‍ණච්ඡ්ර්‍ණව් ග්‍රැමොෆෝන් තැටි සමාගම විසින් තැටි අංක ඒ 141167 අංකය යටතේ “දියයට නැඟු කටුව සේම (කවි)” යන උදෘතය සහිතව මෙම ග්‍රැමොෆෝන් තැටිය නිකුත් කර ඇත. මෙම ගීතයේ සහාය ගායනයෙන් එක්වන ශිල්පියාගේ නම තැටි ලේබලයේ සඳහන් නොවන අතර, හාර්මෝනියම් වාදනය ජේ.ඩී. මාෂල් පෙරේරා මහතා විසින් ද, තබ්ලා වාදනය පවුලිස් පෙරේරා සහ එච්.ඩබ්ලිව්. රූපසිංහ යන මහත්වරුන් විසින් ර්‍ණච්ඡ්ර්‍ණව් තැටි සමාගම වෙත මෙම වකවානුවේ ලබා දුන් බව සඳහන් වේ. මෙහි සංගීත භාණ්ඩ ලෙස තබ්ලාව සහ ෆුට්බැලෝ හාමෝනියම් භාවිත කර ඇති බව පෙනේ. විරිඳුවක් ලෙස හඳුනාගත හැකි ලක්ෂණ මෙම ගායනයේ දැක්වුණ ද, රබාන අත්‍යවශ්‍ය වාද්‍ය භාණ්ඩයක් ලෙස මෙහි වාදනය නොවේ. මෙහි , රබානක් වෙනුවට තබ්ලාවේ පිත්තල සම් බැන්ද කොටස භාවිත වන බවක් ගීතය ශ්‍රවණය කරන විට දී දැනේ. එසේම, මේ ගීතය කවිපෙළක් ආකාරයට ගැයීමක් සිදුවේ. හින්දුස්ථානි ඛේම්ටෝ තාලයෙන් ගැයෙන මෙම ගීතය නුර්තියක ඇතුළත් වූ කවි පෙළක් ග්‍රැමොෆෝන් ගීත තැටියක් සඳහා තැටිගත කෙරුණු මුල් අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය.

 

ජෝන් ද සිල්වා මහතාගේ අප්‍රකට නාටක වූ, අලකේශ්වර චරිතය, මරණානුස්මෘති ප්‍රකරණය, පරාභව ප්‍රකරණය, මහානාම චරිතය ආදී නාටක රැසකම ගීත එකී මුල් නාට්‍යකරුවන් විසින් ර්‍ණච්ඡ්ර්‍ණව් ග්‍රැමොෆෝන් තැටි ලේබයේ ඒ 14100 අංක ශ්‍රේණිය යටතේ මෙකල තැටිගත කරන ලදී. මෙම ගීත තැටියේ අනෙක් පස ඇතුළත් වූයේ මෙකී “පරංගි හටන” නාටකයට ම ඇතුළත් වූ, ඩබ්ලිව්. ඇඩ්වින් ජයවර්ධන මහතා විසින් ම ගැයූ “ බඩේ ගින්න නිවපන්” යනුවෙන් දැක්වෙන තවත් ගීතයකි. මෙම ගීතය ඇතුළත් වූයේ, වෙස්වළාගත් රාජසිංහ කුමරු නුවර තොරතුරු දැන ගැනීමට මූඩම් රබන් කරුවෙකු සේ ගීත ගයා අවසානයේ කුසගින්නෙන් ඔහු නවාතැන් ගත් සියනෑ කෝරළයේ මැහැල්ලගේ නිවෙසට පැමිණ කෑමට යමක් ඉල්ලන ජවනිකාවයි. එම ගීතය පහත පරිදි වේ.

 

 

රාජසිංහ : බඩේගින්න නිවපන් දියන් කන්ට බත් අනේ

ඊයේ රෑ නොකෑවෙන් කුසේගින්න බෝ දැනේ

ඉසේ කැක්කුමා ක්ලාන්ත වෙන්නා නොකාලා

ම‍ගේ දෑත ‍සොල්වා ගැසුම් බෑ රබානටා

 

මැහැල්ලි : තිබේ තැම්බු හුනුසාල් බතකි මා පුතණ්ඩියේ

කාපන් ඒ අනාල හොදින් එක්ක සිත් ප්‍රියේ

මොකුත් මාලු නෑ හොද්ද සෑදු රස බෝ

කෙසෙල්පත්රු ගෙන්නා බෙදා දෙන්න ඉන්ඩකෝ

 

ගැටිස්සී : මගේ පංගු කවපන් අනේ අම්මේ

සන්තෝසේ දීලා බත් නිවාපන් කුසේ ගින්න

මුන්දැගේ පලා හොද්ද බත් දෙන්ඩ වාඩි වෙයන්කෝ

අපේ කෑම මස් නෑ පලාබත් ද කන්ඩකෝ

 

නාටකයේ දී රාජසිංහ, මැහැලිය සහ තරුණිය යන චරිත තුනම විසින් ගායනා කරන ලද ගීතයක් වුවද, ග්‍රැමොෆෝන් තැටිය සඳහා මේ ගීතයේ එකී චරිත තුනේම කොටස් ගායනා කරන්නේ ඇඩ්වින් ජයවර්ධන විසිනි. මෙම ගීතය ඉහත ගීතය ඇතුළත් වූ ර්‍ණච්ඡ්ර්‍ණව් තැටියේම අනෙක් පස ඒ 141166 අංකය යටතේ තැටිගත විය. මෙම ගීතය ඛේම්ටෝ (6/8) තාලයෙන් ගායනා කර ඇත. තබ්ලාව සහ ෆුට්බැලෝ හාර්මෝනියම් ප්‍රධාන වාද්‍ය භාණ්ඩ ලෙස භාවිත කර ඇත.

එවකට ජෝන් ද සිල්වා මහතාගේ විජයරංග සභාවේ මෙන්ම ආර්ය සුබෝධ නාට්‍ය සභාවේ ද මුල්පෙළ නළුවෙකු සහ ගායකයෙකු වූ ඇඩ්වින් ජයවර්ධන මහතා ගේ ජීවන තතු සොයා ගැනීම ඉතා දුෂ්කරය. වර්ෂ 1925-27 වකවානුවේ මෙතුමා විසින් ර්‍ණච්ඡ්ර්‍ණව් ග්‍රැමොෆෝන් තැටි ලේබලය සඳහා නුර්ති ගීත රාශියක් තැටිගත කර ඇත.

ඒ අතුරින් “මගේ මන්ද්‍රි නම් බිසෝගේ”, “දන්නෝ බුදුන්ගේ“, “ඒ දසබලධාරී”, “ලක්දිව ඒ සිංහලුන් ගේ”, “දානේ දෙව්ලෝ ශාන්ති දේ“, “පුත එන්ට කියා මා ඇරියේ“ ආදී වශයෙන් වෙස්සන්තර, සිරිසඟබෝ, දේවානම්පියතිස්ස චරිතය ආදි නුර්ති ගීත බොහොමයක් තැටිගත කර ඇත.

වර්ෂ 1922 ජනවාරි 28 දින දිවංගත වූ ශ්‍රේෂ්ඨ නාටක කතුවර ජෝන් ද සිල්වා මහතාගේ, ඉතා අවම වශයෙන් වේදිකාගත වූ නාටකයක් ලෙස “පරංගි හටන” නොහොත් “දෙවැනි රාජසිංහ චරිතය” නුර්තිය පෙන්වා දිය හැකිය. වර්ෂ 1914-1922 වකවානුවේ මෙම නාටකය ප්‍රදර්ශනය වී ඇත්තේ ඉතා සීමිත වාර සංඛ්‍යාවක් පමණි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එතුමාගේ “ජෝන් ද සිල්වා නුර්ති නාටක එකතුව” ග්‍රන්ථයෙහි දක්වා ඇති පරිදි, මෙම නාටකයේ දැනට ඉතිරිව ඇති මුද්‍රිත පිටපතේ ද ඇතැම් කොටස් අස්ථානගතය. එසේම, එතුමාගේ අනෙකුත් නාටකවල මෙන් මෙහි ගීත සඳහා භාවිත කළ රාග- තාල ගැන සඳහන් නොවේ. එහෙත් මෙම වසරේම, ඔහු විසින් විරචිත / මුද්‍රණය කළ “දේවානම්පියතිස්ස චරිතය” නාටකයේ ගීත සඳහා ආශ්‍රේය රාග /තාල/ වෘත සඳහන් කොට ඇත. එසේම නාටකයේ රාග-තාල ලබා දුන්නේ කවුරුන්ද යන්න පිළිබඳවද සඳහනක් නොමැත.

ඓතහාසික අතින් වැදගත් කතාවක් වූද, එසේම සිංහල නාටක ඉතිහාසයේ මුල් වකවානුව නියෝජනය කරන අප්‍රකට ගීත ඇතුළත්, කාලයේ වැලිතලාවෙන් සම්පූර්ණයෙන්ම වැසි ගිය නාටකයක දැනට ශේෂව පවතින එකම සජීවී ශ්‍රව්‍ය මාධ්‍යය වන ශබ්දවාහිනී තැටි (ග්‍රැමොෆෝන් තැටි) මඟින් සියවසකට පමණ පෙර, මුල් නාටකයේ ම රංගනයේ යෙදුණු ශිල්පියාගේ එකී ගීත ශ්‍රවණය කිරීමට ලැබීම ඉතා විරල ගණයේ අවස්ථාවකි. එබැවින් ශ්‍රී ලාංකේය නාටක ඉතිහාසයේ එක්තරා යුගයක ගීත කලාවේ ක්‍රම විකාශනය ගෙනහැර පාන මේ ග්‍රැමොෆෝන් ගීත සංරක්ෂණය කොට මතු පරපුරට ද දයාද කිරීම කාලීන අවශ්‍යතාවයකි.

 

විශේෂ ස්තූතිය : ගීත තැටි සංරක්ෂකයන් ටී. ඇන්. විජේසිංහ මහතා, ජයරත්න ප්‍රනාන්දු මහතා. ගීතයන් හි සංගීතමය අගය පෙන්වා දුන් විශාරද නිහාල් ගම්හේවා මහතා, ජාතික ලේඛනාගාරය

 

මූලාශ්‍ර : ජෝන් ද සිල්වා නුර්ති නාට්‍ය එකතුව-(චතුර්ථ භාගය) - මහාචාර්ය සුනිල් ආරියරත්න, (2008); සංගීත ඉතිහාසය - අල්.ඩී .ඒ රත්නායක (1946) ; විස වසරක සිංහල නාට්‍ය හා රංග කලාව ////ග1912-1931ඝ- ////මහාචාර්ය තිස්ස කාරියවසම් (2012); සිංහල හටන් කාව්‍ය සාහිත්‍යය සහ පරංගි හටන - ආචාර්ය ස්වර්ණා ඉහළගම (2019); සිංහල සාහිත්‍ය වංශය - මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල (1994)

 

ඉසුරු උදයංග කාරියවසම්

කථිකාචාර්ය,

උද්භිද විද්‍යා අධ්‍යානාංශය

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයය