විනාඩි පහෙන් ලියපු කස පුපුරණ හඬ අදත් ගැයෙනවා

මයිකල් පීරිස්
ජූලි 15, 2021

 

කස පුපුරන හඬ, ළඟම ඇසෙන විට,

පාර දෙපස සෙනඟ පිරෙනවා.

සාර බුලත් විට, නඟන පුරුදු හඬ, පෙරහැර එන බව පවසනවා.

 

ඔබ අනිවාර්යයෙන්ම මේ ගීතය අසා ඇති. එතරම්ම එය ජනප්‍රියයි. හැබැයි ගීතය තරමටම එහි ගායකයාගේ රුව ඔබ හඳුනනවාදැයි කියා පුංචි සැකයක් තියෙනවා. සාමාන්‍යයෙන් බහුතරයක් ගායක ගායිකාවන්ගේ ගීත සහ ඔවුන්ගේ හඬ සංගීත ලෝලීන්ගේ සිත් සතන් තුළ තැන්පත් වුවත් ඒ ගායක ගායිකාවන්ගේ රුව එතරම්ම මතකයේ රැඳී නොතිබෙන්න පුළුවන්. කස පුපුරන හඬ ගීතය ගායනා කරන මයිකල් පෙරේරාද එවැනි අයෙක්.

එකී ගීතය මෙන්ම සමනල රෑන වගේ, සිත සීත කඳුරටේ, ආදරේ මල් පිපිලා වැනි තවත් ජනප්‍රිය ගී රැසක් ඔහු ගායනා කොට තිබෙනවා. වසර 50ක් සංගීත ක්ෂේත්‍රය සිටි ඔහු කෝට්ටේ රජමහා විහාර මාවතේ නිස්කලංකව ජීවිතය ගෙවන්නේ අතීතාවර්ජනයක් එකයි. ඉතින් ඒ සුන්දර කලාකරුවා අප මෙලෙස සොයා ගියා.

 

ආයුබෝවන් කියා ඔබට දීර්ඝායුෂ පතනවා?

බොහොම ස්තූතියි.

 

කස පුපුරන හඬද ඔබේ පළමු ගීතය?

ඔව්. ඒක තමයි. ඊට කලින් මම වෙනත් අයගේ ඒ කියන්නෙ, ඔය එම් එස් අයියලාගේ වගේ අයගෙ සින්දු මම කිව්වා. මගෙම ගීයකට කියලා පටිගත කළේ කස පුපුරන හඬ ගීතය. ඒ එක්දහස් නවසිය හැත්තෑ එකේ.

 

සිංදුව ලිව්වේ ප්‍රේමකීර්ති ද අල්විස්?

එතකොට ප්‍රේම් අයියා හිටියේ අපේ ගෙවල් කිට්ටුව. සුනිල් ධර්මසේන තමයි සින්දුවේ තනුව සහ සංගීතය නිර්මාණය කළේ. ඔන්න දවසක් සුනිල් සහ මම ප්‍රේම් අයියාව හම්බ වෙන්න ගියා. ගෙදරට ගියාම එයා කිව්වා 'ඔක්කොම හිටපල්ලා මට වැඩට යන්න තියෙනවා අපි යන ගමන් කතා කරමු කියලා.' අපි තුන්දෙනාම තට්ටු දෙකේ බස් එකක උඩ තට්ටුවේ නැඟලා වාඩි වුණා. ඔය යන අතරතුරදී ප්‍රේම්, සුනිල්, මම එක එක දේවල් ගැන කතා කරමින් සිටියට සින්දුව ගැන වචනයක්වත් කතා කළේ නැහැ. බස් එකෙන් බහින්න විනාඩි පහක් විතර තියෙද්දි ප්‍රේම් අයියා සුනිල්ගෙන් කොළයක් ඉල්ලගත්තා, එතකොට ඔහු මෙලඩිය අහල හිතට දාගෙනයි තිබුණේ. ප්‍රේම් කොළේ අරගෙන මොන මොනවද ලිව්වා විනාඩි පහක් ඇතුළත. ඒ සම්පූර්ණ කරපු ගීතය මගේ අතට දුන්නා. සුනිල්ටයි මටයි දෙන්නටම පුදුමයි. හරියට සින්දුව ලියන්න ගියේ විනාඩි පහක් විතර. මං වසර 50ක් තිස්සේ සින්දුව කිවුවා. පටිගත කරලා ප්‍රචාරයට භාර දුන් මොහොතේ ඉඳන් එය එක ලෙස ජනප්‍රියත්වයට පත් වුණා.

මං දවසක් ප්‍රේම් අයියාගෙන් ඇහුවා මේ වගේ අදහසක් ලියලා දුන්නේ කොහොමද කියලා. උඹ ඉන්නේ කෝට්ටේ රජමහ විහාරය මාවතේනේ, ඉතින් මට පෙරහැර මතක් වුණා. ඒ අදහස එකතු කරල තමයි මේ සිංදුව ලිව්වේ කියලා.

 

ඔබගේ ඒ ගීතය ඉතාම ජනප්‍රියයි. නමුත් ඔබේ රුව ඇයි ඒ එතරම් ප්‍රචලිත නැත්තෙ?

මම මේ ආඩම්බරකාර චරිතයක් එහෙම නෙමෙයි. නමුත් මම ඉල්ලගෙන කිසිම මාධ්‍යයක් පස්සේ ගිහිල්ලා නැහැ. මට සින්දු කියන්න අවස්ථාවක් දෙන්න කියලාවත් කාගෙන්වත් ඉල්ලලා නැහැ. ලැබෙන ෂෝස් සහ ඉසව්වලට මම ගියා. දැන් මේ ඔබ කතා කළේ මගේ වටිනාකම දැනගෙනනේ. ඉතිං මාව වැඩිය මිනිස්සු රූපෙන් හඳුනා නොගත්තේ ඒක හින්ද වෙන්න ඇති.

ඉස්සර සංගීත ප්‍රසංගවලට යන්නේ සියලුම ගායක ගායිකාවන් එක බස් එකක. ඒක හරිම සුන්දර කාලයක් කියල මම අහල තියෙනවා?

අනේ ඇත්තට කොච්චර සුන්දර මතකයක්ද? අපි සියලුම දෙනා යන්නේ ඒක බස් එහෙක. යන තැන ඉඳලා ගිහින් එන තැනට වෙනකම්ම එක එක දේවල් විහිළු තහළු. ඉවරයක් නැහැ. ඔය අපේ හේමසිරි හල්පිට තමයි යාන්ස් කියන්න දක්ෂයා. හැබැයි කාගෙවත් හිතේ රිදෙන්න දේවල් කියා ගන්නේ නැහැ. කොච්චර ගායක ගායිකාවො හිටියට බස් එකේ යනකොට කවුරුත් සින්දු කියන්නෙම නැහැ. ඔය වගේ කතන්දර කිය කිය තමයි යන්නේ. අපේ ඔය පැරැණි සමකාලීන කණ්ඩායමේ අය කොහේ සංගීත ප්‍රසංගයක දැක්කත් ටක් ගාලා ළඟට ඇවිත් කතා කරනවා. එක ප්‍රදේශයක ප්‍රසංග තිබුණොත් එකට යන්නෙ. ඒත් අලුත් ගායක ගායිකාවෝ අපිත් එක්ක වැඩිය කතා කරන්න එන්නේ නැහැ. ඔවුන් තමන්ගේ සින්දුව කියලා යනවා. මුහු වෙන්න ඔවුන් අකැමැතියි. අනේ එහෙම වෙන්ඩ ඕනේ නැහැ. අපි ඔක්කොම එකම ක්ෂේත්‍රයේ කට්ටියනේ. ඔක්කොම එකට සුහදව ඉන්න ඕනේ කියලා තමයි මම විශ්වාස කරන්නේ.

 

එක්තරා අවස්ථාවකදී ඔබගේ ජීවිතය නැති වෙන්න ගිහිල්ලා ඔන්න මෙන්න බේරුණා...ඒ සිදුවීමත්?

එක්තරා ප්‍රසංගයකට ගියා මමයි, නිහාල් නෙල්සනුයි, ප්‍රියන්ත ප්‍රනාන්දුයි. නිහාල් මත්පැන් එහෙම භාවිත කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඔහු තමයි වාහනය පැදෙව්වේ. ඔය ටිකක් කඳුකර ප්‍රදේශයක තමයි අපි ගමන් කරමින් සිටියේ. ප්‍රියන්ත ඉස්සරහ සීට් එකේ මම පිටිපස්සේ සීට් එකේ. මේ අතරතුරදී ප්‍රියන්ත මහ හයියෙන් කෑ ගහමින් වාහනයේ බ්‍රේක් එක ගැහුවා. එතකොට තමයි අපි දැනගත්තේ පල්ලමකට වැටෙන්න යන ගමන් තමයි ඔහු මෙම නවත්තගෙන තියෙන්නෙ කියලා. ප්‍රියන්ත තිරිංග තද කරගෙනම ඉන්න ගමන් මම වාහනෙන් බැස්සා. හතර වටේම කට්ට කරුවලයි කිසි කෙනෙක් පේන්න නෑ. මං ඉක්මනට ටිකක් එහෙට මෙහෙට යන ගමන් දැක්කා ළඟ තිබුණ නිවසක ට්‍රැක්ටර් එකක් නවත්තලා තියෙනවා. මම ගිහින් දොරට තට්ටු කරලා ඒ මිනිස්සුන්ව ඇහැරගෙන ට්‍රැක්ටරය ඉක්මනට ගෙනල්ලා වාහනේ උඩට ගත්තා.

 

කස පුපුරන හඬ ඇතුළු ඔබේ ජනප්‍රිය ගීත රීමේක් කරන්න කවුරුත් ඉල්ලලා නැද්ද?

තියෙනවා එක්තරා වෙඩින් එකකදි මුණ ගැහුණා රජීව් සෙබස්තියන්. රජිව් මම ඔය අපේ පවුලේ අය එහෙම එක ටේබල් එකක වාඩිවෙලා හිටියේ. ඔහු කිව්වා මට කස පුපුරන හඬ සින්දුව දෙන්න අපි නැවත ඒක ගයමු කියලා. ඒත් මට හිතුණා ඒක එහෙම නොකර තියෙන විදිහට සින්දුව තිබිච්චාදෙන් කියලා. මං යෝජනාවට එකඟ වුණේ නැහැ.

 

ඔබේ සමනල රෑන වගේ සිංදුවත් ඉතාම ජනප්‍රිය වුණා?

ඔව්. ඒ සිංදුව හල්පිට අතින් ලියැවුණේ වෙළෙඳ කලාපයේ රැකියාව කරපු තරුණියන් ඉලක්ක කරගෙන. ඒ වන විට ඔවුන් පිළිබඳ ගීතයක් ගායනා කළ තිබුණේ නැහැ. ඒ හින්දමදෝ ඒ සින්දුව ඉතාම ජනප්‍රිය වුණා.

සමනල රෑන වගේ,

යන විට හරිම හැඩයි,

හිමිදිරි අරුණ නැඟෙන වෙලාවේ.

දැක්කම ආස හිතෙයි,

නංගිලා නිසා තමයි,

ලස්සන වුණේ වෙළෙඳ කලාපේ.