රන්වන් පහන කෝ දැල්ල නිවී ගියා

ජූලි 8, 2021

1950 දශකයේ - එක්තරා ප්‍රබෝධමත් උදෑසනක, හෙළ සිනමාවේ පුරෝගාමී චරිතයක් වන සිරිල් පී. අබේරත්න නම් ප්‍රකට සිනමාකරු, කොළඹ සිනමා හිමිකරු වන ජබීර් ඒ. කාදර් මහතා හමු වීමට ගියේ උත්තුංග දේහධාරී කඩවසම් තරුණයකු ද කැටුවය.

දුර-දක්නා නුවණින් කටයුතු කරන අබේරත්න මහතා ඉවෙන් මෙන් හඳුනාගත්, මෙම තරුණයාට හිමි සුවිශේෂත්වය, කාදර් මහතා ඉදිරියේ ගෙන හැර පෑමට යුහුසුළු විය.

ඒ තරුණයා වෙනින් කවුරුවත් නොව, ඔබත්-මාත් හඳුනන එච්. ආර්. ජෝතිපාල නම් - එදා මෙදා තුර සුවහසක්

ප්‍රේක්ෂක ජනතාව පිනවීමට-පින්කළ,මහා ගායකයානන්ය...!

මනුස්සකම්වලින් පොහොසත් වූ සුන්දර කඩවසම් මිනිසාය...!

අසල්වැසි සහෘදයාය...!

සසරේ පින්වතාය...!

ඔහු - ජෝතිමත් ගී ගයන ජෝති ය...!

එදා සිරිල් පී. අබේරත්න මැතිඳුන්, ජබීර් ඒ. කාදර් මහතාට හඳුන්වා දෙන්නේ, මෙම තරුණ ගායකයා පුදුමාකාර ගායන කෞශල්‍යයක් නිරන්තරයෙන් ම දෙවියන්ගෙන් රැගෙනවිත් ඇති බව පසක් කරමිනි.

අබේරත්න මහතාගේ යෝජනාවක් පරිදි ‌මේ ගමන වෙනුවෙන්ම නිර්මාණය කරන ලද එක් අලුත් ගීතයක් පමණක් ඩ්ර්ඍ තැටියකට, තැටිගත කොට, ජෝති තරුණයා විසින් රැගෙන පැමිණවිත් ඇති අතර, කාදර් මහතා ලිබර්ටි සිනමාහලේ උදේ 10.30 දර්ශනය අතර-මැද, විවේක කාලයේදී ජෝති-ගීත තැටිය චිත්‍රපටය නැරඹීමට පැමිණි රසිකයන්ට ඇසෙන්නට වාදනය කළේය.

ඒ මොහොතේ, ලිබර්ටි සිනමාහල තුළ ජෝති හඬ රැව් පිළිරැව් දෙන්නට විය...!

එම විභාගයෙන් - අත්වුණු ඉරණම් ප්‍රතිඵලය වූයේ... ජබීර් ඒ. කාදර් නිෂ්පාදනය කරන සිරිල් පී. අබේරත්න දෙබස් හා තිර රචනය කරන 'සුරතලී' නම් අලුත්ම සිංහල චිත්‍රපටයට, එහි අධ්‍යක්ෂක කේ. වෙම්බු ගෙරාසංගීත අධ්‍යක්ෂණය, ටී. ආර්. පාපා නිර්මාණය කරන ලද, ඩේ. විල්ෆ්‍රඩ් සිල්වා අතින් ලියැවුණු, 'සිරියමෙ සාරා... නැගේවි හද මෝරා... ගීතය තුළින් එච්. ආර්. ජෝතිපාල නම් මහා පසුබිම් ගීත ගායකයා අප සිනමාවට බිහිවීමය...!

ජෝතිගේ තාරුණ්‍යයේ හඬට රංගනයේ යෙදෙන්නේ ආනන්ද ජයරත්න නම් සුප්‍රකට රංගධරයාය.

1956 වසරේ සැප්තැම්බර් 19 වෙනි දින හාහා පුරා කියා සුරතලිය තිර-ගත වෙමින්, ප්‍රථම වතාවට රිදීතිරය සිසාරා, රංගන ශිල්පියා වෙනුවෙන් සමාන්තර වූ, ජෝති හඬ නැඟෙද්දී එච්. ආර්. ජෝතිපාල නම් නවක චිත්‍රපට පසුබිම් ගායකයා මොන තරම් සතුටකින් ඉපිල ගියේද යත්, තම කුළුපග මිතුරන් හා සමඟ "සුරතලී නැරඹූ වාර ගණනද මට මතක නෑ මල්ලී, ඒ තරමට නැරඹූවා..." යනුවෙන් - දිනක මා සමඟ පැවසුවේ නිහතමානීත්වය එළිදරව් කරමිනි.

එච්. ආර්. ජෝතිපාලයන් පිළිබඳ අතීතාවලෝකනයක යෙදෙන සෑම මොහොතකම මට මතකයට නැඟෙන එක්තරා සිදුවීමක් ඇත.

ඒ, 1978 කාලපරිච්ජේදයයි....

ශ්‍රී ලංකාවේ පළමු වෘත්තාන්ත කාටූන් චිත්‍රපටය වන - මාගේ සහෝදර ගිවන්ත අර්ථසාද් ගේ දුටු ගැමුණු නිෂ්පාදන කටයුතු ලහි-ලහියේ පැවති කාලයයි.

චිත්‍රපට සංස්ථාව විසින් නිෂ්පාදන අවදියේම දුටුගැමුණු, *

*නුදුටු ගැමුණු * කිරීමට තීන්දු කොට දළ සේයාපටල ලබාදීම පවා අත් හිටුවා දමමින් සාමාන්‍යධිකාරී පියසිරි ගුණරත්න අත්සන් තබා තිබිණ.

එකී තහනම් නියෝග සියල්ලද දුටුගැමුණුට එරෙහි වූ සියලු අවහිරතා ද කඩා බිඳ දැමූ ගාමිණි ෆොන්සේකා මහතා දුටුගැමුණු නිර්මාණය උදෙසා ඔහුගේ බලවත් හස්තය දිගු කළේය.

ඒ වන විට, ගාමිණි ෆොන්සේකා මහතාණන් සමඟ ඉතා සමීප ඇසුරක්, සිරිමල් උයනෙදි ඇරැඹුයේ - මා හිරිමල් වියේ පසුවෙන කෙසඟ, කොළු - ගැටයෙකුව සිටියදීය.

මගේ යෝජනාවක් පරිදි - දුටුගැමුණු නිෂ්පාදක, අධ්‍යක්ෂ ගිවන්ත අර්ථසාද් මහතාට කියා සිටියේ, ගීත හතෙන් එක් ගීතයක් ජෝතිපාලයන් ලවා ගායනා කරවා ගමු යනුවෙන් ය.

නමුත් අධ්‍යක්ෂවරයාගේ පිළිතුර වූයේ, ජෝතිපාලයන් හට ලොකු ගෙවීමක් කළ යුතුව ඇති බැවින්, මේ මොහොතේ එය කළ නොහැකි බවයි.

ඒ මොහොත වනතුරු - විජය කුමාරතුංග මහතා සහ එච්. ආර්. ජෝතිපාල මහතාණන් සමඟ ඇසුරකට වැටීමට මා කෙතරම් මාන බැලුවද.. නොයෙකුත් ක්‍රමවේදයන් භාවිත කළද.... ඔවුන් දෙදෙනාව නම් - මගේ දැලට හසුකර ගැනීමට නොහැකි විය.

ලංකා චිත්‍රගාරයේ දී හෝ හැඳල විජය චිත්‍රගාරයේ දී හෝ විජය - ජෝති දෙපළ සමඟ කථා බහ කිරීමට කෙතරම් වැර දැරූවද... වචන දෙක - තුනකින්... "ආ.. කොහොමද මල්ලී... ගිහිල්ල එන්නං.. ආයෙ අපි හම්බවෙමු..." කියමින්, කථාව නිමකර, ඔවුන් දෙපළ- ඔවුන්ගේ රාජකාරී කටයුතුවල නිරත වෙති.

ඔවුන් පසු-පස හඹා යන මා, ඔවුන්ගේ රංගනය හෝ ගායනය හෝ දෙබස් කැවීම් හෝ කාලය කා දමමින් - ශබ්ද කුටියට දර්ශන තලවලට රිංගා බලා සිටි වාර අනන්තය.

එවන් නළු-නිළියන් හට මා තුළ පැවති සංග්‍රහශීලී ගෞරවාදරය සහ සිනමා උන්මාදය අපමණය.

එකල මාගේ ගෞරවාදරයට පාත්‍ර වුණු ගාමිණි, විජය, ජෝ, රවින්ද්‍ර, ටෝනි, ඔස්වල්ඩ්, තිස්ස ද... මාලිනි, ගීතා, ශ්‍රියාණී, අනුලා මෙන්ම ජෙනීටා ද ශිලා- ලිපියක් වැනි නම් ලැයිස්තුවේ සිනමා අධ්‍යක්ෂවරු ගණනාවක් ඇතුළුව,

එච්. ආර්. ජෝතිපාලයන් ගේ නාමයද සදා නොමැකෙන අයුරින් කොටා ගෙන ඇත.

දුටු ගැමුණු චිත්‍රපටයේ රූප-රාමු චිත්‍රණය කරන වැඩ-මුරයේ චිත්‍රාගාරයක් වැනි අප නිවෙස තුළ, තරුණ ගැටවර ශිල්පීන් හත්-අට දෙනකු තම කාර්යයේ නිරතවී සින මොහොතේ - එක් ශිල්පියකු තම කාර්යයේ යෙදී සිටියදී ම - මා හට ඇසෙන පරිදි ජෝතිපාලයන් උපහාසයට ලක් කරමින් සිටියත්, එය නෑසුණාක් මෙන් මම මගේ කාර්යයේ නිමග්නව සිටියෙමි.

එහෙත්, ගත වූයේ ස්වල්ප කාලයකි... සීමාව ඉක්මවා යවන ගැටවරයා ජෝති නාමයට පරිභව වන අයුරින්, වචන දෙක තුනක් මුදා හළ මොහොතේ, මාගේ රතු කට්ටද සීමාව පසු කර ගොස් ක්ලික් විය..

මාගේ දෑස් නීලංකාර විය.. පැන්න ගමන්, මේසය උඩින් - දුන්නා උගේ හොම්බට, ගාමිණිගේ ෂොට් එකක්, ජෝති වෙනුවෙන්...

එහෙත්, මගේ අත ඔහුගේ මුනත්තහඩුවේ නොවැදුණු බව, මට සක් - සුදක්සේ පැහැදිලි ය.

එහෙත්, එකී ගැටවරයා මගේ ප්‍රබල පහරින් බේරීමට පසු-පසට නැමෙද්දී පුටුව සමඟ පෙරළී - මහපොළොව වැලඳ ගත්තේය.

ඔහු නැඟිට එකෙණෙහිම පළාගියේය... 2021, වසරේ අද වෙනතුරුත් ඔහු, මට මුණ නොගැසිණ.

මා තුළ පැවැති එවන් වූ , ධර්මිෂ්ඨකම, අධර්මිෂ්ඨ හදිසි කෝපය විසින් මකා දමමින් - මා ජෝති වෙනුවෙන් නැඟී සිටි බව, පසක් කර සිටියේ ජෝති අයියාත් මමත් සුහද ඇසුරකට වැටුණු, 1983 කාලයේ සරසවි චිත්‍රාගාරයේ දී, පෙරළිකාරයෝ ගීත පටිගත කරන අතරතුර විවේක වේලාවකය.

තමා වෙනුවෙන් කළ - එම ප්‍රහාරාත්මක ජවනිකාව ඇසීමෙන්, ජෝති අයියා කෙතරම් චිත්තප්‍රමෝදයට පත්විණි ද කිවහොත්... ඒ සතුට - මට ද නොහඟවා සියල්ලන් ඉදිරියේ මට දොස් පැවරුවේ...

"යකෝ.. උඹ මාර මිනිහෙක්නෙ බං ... තමන්ගේ වහල යටට ආපු එකාට, ඔහොමත් ගහනවද..." කියමිනි...!

කෙසේ වුවත් තමාට විරුද්ධව කිසිවෙකු, එක වචනයකින් හෝ එරෙහි වුවහොත්, ඊට විරුද්ධව සුවහසක් ප්‍රේක්ෂක ජනතාවක් තමා වෙනුවෙන්, එකා මෙන් නැඟී සිටින බව ඔහු හොඳීන් දැන-හැඳීන සිටියේය.

එදින පටිගත කළ ජෝති ගීත හයෙන් එක් ගීතයක විශේෂත්වය වන්නේ කරුණාරත්න අබේසේකර මහතාණන් අවසන් වරට ලියූ චිත්‍රපට ගීතය වීමය. එය - ජෝති ගැයූ 'ජයමංගලම් සුබ මංගලම් යුග ජීවිතේ වාසනා' ගීතයයි. අද වන විටත්, එම ගීතය අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති අතර - ගීතය පබැඳූ කරු අයියා, "මේ සිංදුව, මංගල අවස්ථාවන්වලට නැතුවම බැරි සිංදුවක් වේවි" කියා... කොඳුරමින්, ගීතය සහිත ලියුම් කවරය මා අත පත් කළේය.

ගාමිණි - විජය - රවින්ද්‍ර - තිස්ස,

ඔස්වල්ඩ්ට පමණක් නොව, ෆ්‍රෙඩී - ටෙනී,

දොන් බී.එස්. වැනි හාස්‍යෝත්පාදක චරිත සඳහාද ජෝතිගේ තිර හඬ අධ්‍යක්ෂවරුන් හට අත්‍යවශ්‍යම සිනමායුධයක් විය.

විවිධ චරිත සඳහා තම කටහඬ රිදී තිරය මත හසුරුවමින්, අප සිනමාවේ නළු පරපුරට පමණක්ම නොව, ලෝක වාර්තාවක් තබමින්, එතුමා නිළියකටද පසුබිම් ගීත දෙකක්ම ගැයුවේය... ඒ, කේ. ඩී. නික්ලස් ගේ ‘වෙස්වලාගත් තරුණිය’ චිත්‍රපටයේ අනෝජා වීරසිංහටය.

මගේ සිනමා භාවිතය දෙස තුන් වෙනි ඇසකින් බලාසිටි විජය කුමාරතුංග මහතා පෙරළිකාරයෝ අවදියේදි ම කතා කොට,

මෙහි වැඩ අවසන් වූ වහාම - තව චිත්‍රපටයක් පටන් ගන්නා ලෙස ආරාධනා කරමින් - "සියලු මුදල් මං සොයා දෙන්නම්" යනුවෙන් ප්‍රතිඥා දුන්නේය.

විජය නිෂ්පාදනය කළ 'වරදට දඬුවම්' මගේ තුන්වෙනි අධ්‍යක්ෂණයයි. එහි, ජෝති ගීත පහක් ඇතුළත් ය.

වරදට දඬුවම් සිනමා ප්‍රේක්ෂකයාට නවමු අත්දැකීමකි...! විජය කුමාරතුංග නිර්මාණ කටයුත්ත වෙනුවෙන් මා හට ලබා දුන් සුවිශේෂිත වූ නිදහස - මා වුවමනාවටත් වැඩියෙන් ප්‍රයෝජන ගනිමින් චිත්‍රපටය පුරාටම පර්යේෂණ පැවැත්වීමි.

ඒ අතර, වින්සන්ට් වාස් ගිනිතබා ගැනීම, ට්‍රක් රථ - මෝටර් රථ ලුහුබැඳීම්, පුපුරවා හැරීම් සහ මෝටර් සයිකල් ක්‍රියාදාමයන් මුල් තැන ගනී.

එමෙන්ම, මේ චිත්‍රපට නිර්මාණය තුළින් මා හට අවශ්‍ය වූයේ ශබ්ද පටයේ දී ජෝතිපාලයන් ද පරීක්ෂණයකට ලක් කර ගැනීමයි.

ඒ සඳහා කළ පර්යේෂණයේ ප්‍රතිඵලය වුයේ 'වීරවිජය' චිත්‍රපටයේ - ධර්මදාස සහ ලතා වල්පොල ගැයූ පැරණි ගීතයක් වන 'ඉරණමට සැවොම ගැති වේවි..' නැවත ජෝති සහ ලතා ලවා පටිගත කිරීමයි.

එකී පර්යේෂණ උපරිමය ළඟා කර දෙමින් ජෝතිපාලයන් ඔහු විසින් නිර්මාණය කරන ලද විජයට සුදුසු - නිවැරැදිව ගැළපෙන හඬින් ගායනා කිරීමත් සහ එම මුල් ගීතයේ එකදු වචනයක් හෝ වෙනස් නොකර, නව අරුතක් ගෙන ඒමටත් සමත්වූ බව, එක හෙළාම පැවසිය යුතුව ඇත.

එකල, චිත්‍රපටය නැරඹූ බොහෝ පිරිස් කියා සිටියේ 'ජෝතිගේ ඉරණමට හින්දා අප හත් අට වතාවක් වරදට දඬුවම් නැරඹූ' බවයි.

මාගේ ක්‍රියාදාම පර්යේෂණ මෙන්ම හඬ පටයේ ජෝති සමඟ කළ පර්යේෂණ අති සාර්ථක ප්‍රතිඵල ගෙනදුන් අතර,

සෝමපාල රත්නායකගේ ස්වතන්ත්‍ර ඉතිරි ගීත හතරෙන් එක් ගීතයක් වන 'අනේ දවසක් බැටළු වෙස් ගත් සිංහ රජීඳෙක්.'ගීතය ද චිත්‍රපටයේ, තවත් පර්යේෂණාත්මක කොටසකි.

එම ගීතය පටිගත කළේ මර්වින් බෙන්ස්ගේ නුගේගොඩ නෙලූ ශබ්දාගාරයේ දී හිමිදිරි පාන්දර හය හමාරටය. නිෂ්පාදන කළමනාකරු පද්මසිරි කොඩිකාර මහතා ජෝතිපාලයන්ව වඩම්මවා ගෙන ආයේ පාන්දර හයට පෙරය.

ජෝති මයික්‍රපෝනය අසල සීරුවෙන් සිටියේ හිස් බඩම ගීතය ගයා අවසන් කිරීමට ය.

එක් වතාවක් පුහුණු වීමේදී - පළමු අන්තරාවට පසු - ජෝති යටිගිරියෙන් කෑගැසීය....

මා එය අතින් අනුමත කළේ ගීතයට සුදුසු බව කියා පාමිනි.

එහෙත්, ගීතය පටිගත වන මොහොතේ දී ජෝති යටිගිරි හඬ අමතක කර දැමීය.

මම ගීතය නවතා දමා... ජෝති අයියා අසලට ගියෙමි..."කෝ ජෝති අයියා .. අර කෑගහන කෑල්ල.. දැම්මේ නෑනෙ?"

"උඹට ඒකත් ඕනදැ"යි ඇසීය..

"ඔව්... ජෝති අයියා රිහර්සල් එකේ කෑගහනකොට.. සීන් එකට උචිත රූප නිර්මාණය මං මෙතැනදීම හදල ඉවරකර ගත්තා.... ඒක හින්ද අලුත් ටේක් එකේ..එතනම කෑ ගහන්න...!"

ජෝති සමඟ වැඩ කිරීමේදී එයයි පහසුව, නිර්මාණකරුගේ අදහස අසුරු සැණින් වටහා ගැනීමේ සුපිරි ශක්තියක් ජෝති සතුව ඇතැයි කීවොත්, අතිශයෝක්තියක් නොවේ.

මගේ චිත්‍රපට ගීත 14,කට හෝ ජෝතිපාලයන්ගේ විශිෂ්ට සේවය ලබාගැනීමට හැකිවීම මා ලද මහත් අභිමානයකි...!

1987 වසරේ ජූනි 28,වෙනි ඉරුදින, ලංකා චිත්‍රගාරයේ දී මගේ චිත්‍රපටයක් සඳහා ගීත තුනක් ජෝති හඬින් පටිගත වූයේ... ලාල් දිසානායක ශබ්ද හා මර්වින් බේන්ස් ඉංජිනේරුවරයා අතිනි.

එදින, එවකට උසස් පෙළින් පසු පාසලෙන් සමුගෙන සිටි වර්තමාන සරසවිය කර්තෘ අරුණ ගුණරත්න ද - අප හා එක් වූයේ ජෝතිපාලයන්ගේ ගීත ගායනය නැරඹීම මූලික අරමුණ කරගෙනය.

සෝමපාල රත්නායක හැදූ ස්වතන්ත්‍ර තනුවලට ජෝති අනුයුක්ත වන සැටි අධ්‍යයනය කළ අරුණ - ජෝතිගේ ගායන විලාසය පිළිබඳ කුල්මත්ව - මටත්, සෝමපාල රත්නායකටත් කියා සිටියේ, "මෙවන් වූ තිර - හඬක් නම් අනාගතයේ දී බිහිවේද යන්න සැක සහිත" බවය. එදින, එලෙස ප්‍රකාශ කළ මාධ්‍යවේදී අරුණ ගුණරත්නගේ ප්‍රකාශය අද වනවිට, සැබැවින්ම - සැබෑවක් වී ඇත...! එදා ජෝතිපාල ලතා වල්පොල සමඟ ගැයූ අවසන් ගීතය වූයේ රමණික කමණිය අපේ ආදරේ ගීතයයි. එය ඩබ්ලිව්.බෙනඩික්ට් ප්‍රනාන්දු විසින් රචනා කරන ලදී. සෝමපාල රත්නායක සංගීතවත් කළ එම ගීතය බෙනඩික්ට් මාස්ටර්ගේ අවසන් ගීත රචනය ද විය.

කිසිවෙකු නොසිතූ - නොපැතූ අයුරින් එදිනට දින නවයකට පසු - අසූ හතේ, හත්වෙනි මස හත් වෙනිදා ජෝතිමත් ගායකයා අප අතැ'ර ගියේය.

එච්. ආර්. ජෝතිපාල නම් රිදීතිර මහා හඬ පෞරුෂය සදාතනිකව බැබළෙන්න යනු මගේ අහිංසක හැඟීමත්, පැතුමත් වන්නේය...!

අද නූපන් - හෙට උපදින අනාගත සිංහල සිනමාවේ සුපිරි වීරයාටත්, තව විසි පස් වසරක් ඇවෑමෙන් ජෝති පසුබිම් ගීත ගයනු ඇත.

34,වෙනි වතාවට ‘ජෝති ගුණ සමරන මේ මොහොතේ

එච්. ආර්. ජෝතිපාල නම් පුරාවෘත්තය ලොවට දායාද කළ, අපට කිසිදා අමතක කළ නොහැකි සිරිල් පී. අබේරත්න මැතිඳුන් හට, සියලු ස්වර්ගීය සැප-සම්පත් ලැබේවා'යි පතන අතර...!

එලෙසම,

ජෝති මිතුරු හමුවේ සභාපතිනි,

ක්‍රිෂාණි ජෝතිපාල මහත්මියටත්...

ලේකම්, ප්‍රියන්ත උදය කුමාර මහතාටත්,

ජෝති සදාකාලිකව ජීවත්කරවීමට, දිවිහිමියෙන් ඇප-කැප වී සටන් වදින, බහරෙන් රාජ්‍යයේ සුමල් මල්ලිටත්...

නිරෝගී සැප-සම්පත සමඟ දීර්ඝායු වේවායි, පතමි...!

මා - ජෝති හිතවත් දිනේෂ් ප්‍රියසාද්

2021 ජූලි 08, වෙනිදා.