මිනිසුන් බිය ගැන්වීමට මාරක නවකථා මෙන්ම චිත්‍රපට කථා ලියූ ඩීමන් ආනන්ද (1933 - 2007)

ජූලි 1, 2021

 

“ අන්ත්‍රාවයි - අන්ධකාරයේ ඇවිදින භයානක සත්වයන් ගැන ලියැවුණු මේ කතාවෙන් ඇඟ ලේ සෙලවෙන රෝමෝද් ගමනය කරවන සිද්ධීන් ඔබේ නෙත් හමුවට එයි. මෙහි සමහර සිද්ධී කියවන්නාගේ හිතට රුචිකර නොවනු ඇත. එසේ වන්නේ අවස්ථානුකූලවය.

එබැවින් මේ පොත රාත්‍රී කාලයේ තනිවම හෝ පාළු තැන්වලදී හෝ කියවීම තහනම්ය. ලාමක සිත් ඇති උදවිය කියවනවා නම් දහවල් කාලය ඒ සඳහා තෝරාගත යුතු බව අනතුරු අඟවා සිටිමු.

පසළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු වූ මා මගේ පාසල් මිතුරන් සමඟ මරදානේ ලිංගම් පොත් හලට ගොස් මිලදී ගත් මාරක කථා පොත් එකිනෙකා අතර බෙදාගෙන කියවීමු. මේ පොත් ලියූ කතුවරයා ඩීමන් ආනන්දය. මා කියවූ ඔහුගේ මුල්ම මාරක කතාව වූයේ “ ඩේන්ජර් සිග්නල්” ය. ඉහතින් සඳහන් වූයේ එක මාරක නවකතාවක ඔහු ලියා තිබූ අවවාදයකි. පන්තියේ ප්‍රජාචාරය ඉගැන් වූ සිඩ්නි වනසිංහ ගුරුවරයා පාඩම කියා දුන් එක් අවස්ථාවක මා ඩීමන් ආනන්ද විසින් ලියූ “ ගංතෙර හොල්මන” හොරෙන් බලමින් සිටියේය. ගුරුවරයා මගේ කණින් අල්ලා කියවමින් සිටි පොත අරන් බලා සිනාසුණේය. මම ඉඳ ගතිමි. විවේක කාලයේ මට “ ස්ටාෆ් රූම්” එන ලෙස ඔහු පැවසුවේය. ඔහු අත වූ “ විරාගය” නවකතාව දී “ මෙය කියවන්නැයි” කීවේය. මම “ විරාගය” මෙන්ම ඒ කාලයේම නිකුත් වූ “ ගොළු හදවත” ද ආශාවෙන් කියවුව ද ඩීමන් ආනන්දවත් අමතක නොකළෙමි. මා තුළ කතා රසය ඇති කිරීමට මුල් වූයේ ඔහුය.

අග්නිදිග ආසියාවේ නවකතා 1000 ක් ලියූ ලේඛකයකු ගැන අප අසා තිබුණේ නැත. ලංකාවේ වැඩිම පොත් ගණනක් ලියූ ලේඛකයා ඩීමන් ආනන්දය. එහි විශේෂය නම් ඒවා ප්‍රමාණයෙන් කුඩා ඒවාය. ඩීමන් ආනන්ද සිනමාවට ආදරය කළ රසිකයෙකි. හින්දි සිනමාවට, හින්දි ගීයට ඇලුම් කළ රසිකයකු විය. සිනමා ලේඛකයකු වූ ඔහු සිනමා සඟරාවක සංස්කාරකවරයා විය. එපමණක් නොව චිත්‍රපට කතා රචකයකු හා දෙබස් රචකයකු විය. ඉංගී‍්‍රසි හා හින්දි චිත්‍රපට නැරඹූ දිනම රාත්‍රියේ ඒ චිත්‍රපට කතා ඇසුරෙන් මාරක කතාවක් හෝ පේ‍්‍රම කතාවක් ලියා පසුදාම පිටු 100 ක පොතක් මුද්‍රණයෙන් පිට කරන බව අපි අසා ඇත්තෙමු.

ඩීමන් ආනන්ද මා මුලින්ම හඳුනා ගත්තේ සරසවිය පත්‍රයේ උප කතුවරයකුව සිටි මා 1972 දී මගේ හිතවතෙකු වූ එවකට ජනපි‍්‍රය චිත්‍රපට නළුවකු වූ සේනාධීර රූපසිංහ මාර්ගයෙනි. ඒ දිනවල සේනාධීර ප්‍රධාන චරිතය රඟපෑමට තෝරාගෙන සිටි “ යළි ඉපිදේ” චිත්‍රපටයේ නිෂ්පාදන සාකච්ඡාවලට මට ද ආරාධනයක් ලැබිණ. චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වූ සුමිත් දිද්දෙණියට අයත් මෝටර් රථ අමතර කොටස් අලෙවි කළ “ සුමිත් එන්ටර්ප්‍රයිස්” පිහිටා තිබුණේ පංචිකාවත්තේ අලහකෝන් ගොඩනැගිල්ලේය. සාකච්ඡාව පැවැත්වූයේ එහිය. චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට සිටි ඇම්.පී. ගැමුණු (චිත්‍රපට නළුවෙකි) , කැමරා ශිල්පි දයා විමලවීර, සේනාධීර හා නිෂ්පාදක ද මේ සාකච්ඡාවට එක් වූහ. ටික වේලාවකින් තවත් අමුත්තෙක් එහි පැමිණියේය.

“ මේ තමයි අපේ චිත්‍රපට කතාව ලිව්ව ලංකාවේ මාරක කතා චක්‍රවර්තී” ගැමුණු මට අමුත්තා හඳුන්වා දුන්නේය.

“ ඩීමන් ආනන්ද කවුද මෙයාව නොදන්නේ. ඩීමන් අයියාගේ පොත් කියවල මම ගුරුවරුන්ගෙන් දඬුවම් විඳලා තියෙනවා. මම ඔහුට අත දිගු කරමින් කීවෙමි.

එදා ඩීමන් ආනන්ද මගේ මිතුරෙකු විය. දෙවැනි වර මට හමු වූයේ චිත්‍රපට අධ්‍යක්ෂ ලෙතින් මොරායස් මා කැඳවා කොළඹ කෞතුකාගාරය අසළ තිබූ සනෝරාමා හෝටලයට ගිය අවස්ථාවේදීය. එම හෝටලයත් මරදානේ සන්රයිස් මුද්‍රණාලයේ ද සන්රයිස් ක්‍රීඩා සමාජයේද අධිපති “ රෙඩිමන් අයියා” ලෙස කා අතරත් ජනපි‍්‍රයව සිටි එච්.එම්.ආර්. ජයසුන්දර මේ චිත්‍රපටයේ නිෂ්පාදකයාය. චිත්‍රපටයේ නම “ සූරයා සූරයාමයි” ය. චිත්‍රපටයේ කතාව හා දෙබස් රචකයා ඩීමන් ආනන්දය. මේ චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ, ස්වර්ණා කහවිට ප්‍රධාන චරිත නිරූපනය කළහ. එදා එහි පැමිණි ඩීමන් ආනන්ද සමඟ මම කතා කිරීමට හැකි වූ අතර නිවිහැනහිල්ලේ ඔහුගේ අතීත කතාව අසන්න ලැබිණ. මේ සියලු සනිතම එම චිත්‍රපටයේ කථා සාරාංශය සහිත විශේෂාංගයක් පින්තූර සමඟ “ සරසවිය” පත්‍රයේ මැද පිටුවේ පළ කිරීමට හැකි විය.

“ මම මාරක නවකතා වගේම ප්‍රේම කතාද ලිව්වාය. 1962 මා ලිව්ව “ මේ දෑස කුමටද?” නවකතාව 1972 වසරේදී තිමති වීරරත්න සිනමාවට නැඟුවාය. මේ චිත්‍රපටයේ කතාවට මා දුටු හින්දි චිත්‍රපටයක් වූ “ ඩීඩාර්” චිත්‍රපටයේ කතාව බලපෑවා. මේ චිත්‍රපටයේ විජය කුමාරතුංග, මාලිනී ෆොන්සේකා, රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ ප්‍රධාන චරිත රඟපෑවා. 1974 තිරගත වූ ඇන්ඩර්සන් අල්ගම අධ්‍යක්ෂණය කළ “දාමරිකයෝ” චිත්‍රපටයේ මම කතාව හා දෙබස් ලිව්වා. ෂේන් ගුණරත්න, විමලා ජයවර්ධන, ශ්‍යාමා අල්ගම, ප්‍රධාන චරිත රඟපෑවා.”

ඩීමන් ආනන්ද ලියූ මාරක කතා, රහස් පරීක්ෂක කතා, ත්‍රාස්‍යජනක කතා අතර ලෝන් රේන්ජර්, මිනී කාමරේ, පොලිස් බල්ලා, සාර්ජන්ට් වීරකෝන්, මරණ වරෙන්තුව, ට්‍රන්ක් පෙට්ටියේ මිනීමැරුම යකඩ විලී, මිනී හතයි පෝරකයයි. රතු මකරා, හොරු හත්දෙනා, මහාසෝනා, ලේ බැම්ම, ලේ මාපිලා, විලිස්ස, හිස් කබල, සිරකරුවා නො 99, කළු කපා එළිය, තව ඩොලර් කිහිපයක් සඳහා , යන නවකතා මට මතක් වන නම්ය.

එසේම ඩීමන් ආනන්ද විසින් ලියූ පේ‍්‍රම කතා අතර පරාජිත පේ‍්‍රමවන්තයා, සඳ ගලන පෙම් කදුළු වැසි දා රාත්‍රිය, ගොපලු ආදරය, ප්‍රේම සංතාපය, පේ‍්‍රමයේ ලේ... කඳුළු, පෙම් මල් පරවුනු දා, ඇගේ ආදරය ඔබ ළඟයි. දිව්‍යමය පේ‍්‍රමය, පෙම් මලේ බඹරෙක් , සදේ මාගේ පි‍්‍රයයා කොහිද, කෝ මගේ සුපෙම්බරා, ඔබ සදහටම මගේ කැපී පෙනෙන නවකතාය.

කවුද මේ ඩීමන් ආනන්ද?

1933 මාර්තු 30 මාතර බණ්ඩත්තර සුන්දර ගමක ඩීමන් ආනන්ද යමක් කමක් ඇති පියකුගේ හා මවගේ වැඩිමහල් පුතා ලෙස උපත ලැබුවේය. ඔහුට සහෝදර සහෝදරියන් පස් දෙනෙක් වීලු. ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ මාතර වටගෙදර සිංහල පාසල හා ගාල්ලේ ශාන්ත ඇලෝසියස් විද්‍යාලය හා කොළොන්නාව ආනන්ද විද්‍යාලවලිනි. තමාගේ ඉංගී‍්‍රසි දැනුම වඩා පෝෂණය වූයේ ඇලෝසියස් විද්‍යාලයෙන් බව කියා ඇත.

“ මම ඉංගී‍්‍රසි නවකතා රාශියක් කියෙව්වා. රුසියානු ලේඛක ලියෝ ටෝල්ස්ටෝයි මගේ පි‍්‍රයතම ලේඛකයා වුණා. ඔහුගේ “ යුද්ධය හා සාමය” මම කිහිපවතාවක්ම කියවලා ඒක පරිවර්තනය කළා. එතකොට මම යෞවන වයසේ හිටියා. මේ පරිවර්තනයත් අරගෙන ගුණසේන සමාගමට, සමන් මුද්‍රණාලයට ගියත් මගේ පොතවත් නොබලා ප්‍රතික්ෂේප වුණා. එදා මම හිතුවා “ ලංකාවේ වැඩිම පොත් ලියන ලේඛකයා වෙමි”. කියලා. මේ කාලේ මගේ මාමා කෙනෙක් එක්ක කොළඹ ඇවිත්, විවේක තියෙන අවස්ථාවල අලුත් කඩේ උසාවියට ගිහින් මිනීමැරුම් නඩුවලට කන්දෙනවා. ඒ කාලේ “ සතාසිවම් නඩුවට” හරි ප්‍රසිද්ධියක් තිබුණා. කොල්වින් ආර් ද සිල්වා නම් ශූර අධි නීතිඥයාගේ කෙස් පැලෙන තර්ක මම කුතුහලයෙන් අසා සිටියා. අන්තිමට සතාසිවම් නෝනා මැරුවේ මෝල ගහලා ඔප්පු වුණානේ. මම එදා හිතුණා මිනීමැරුම් අදාල නවකතා ලියන්න. ඉංගී‍්‍රසි රහස් පරීක්ෂක චිත්‍රපට බලන්න ගියා. පොත් ලිව්වා. ලිව්වාට ලිව්වාට ඩීමන් වරක් කියාගෙන ගියේය.

මුලින්ම ඩීමන් ආනන්ද කවි ලියා “ සිංහල ජාතිය” පත්‍රයට යැව්වේය. එහි උප කතුවරයන් වූ සිසිර කුමාර මානික්ක ආරච්චිත්, රොබට් ජයවර්ධන ඒ කවි පළ කර දුන්නේය. පසු කලෙක රොබට් ජයවර්ධන සංස්කරණය කළ “ සිනමා” නම් ලංකාවේ පළමුවන සිනමා පුවත්පතට සිනමාව ගැන ලිපි ලියූ ඔහු ජී.ඩබ්ලිව්. සුරේන්ද්‍ර විසින් සංස්කරණය කළ “ මේලා” සඟරාවටත් විශේෂාංග ලිව්වේය. ඔහු තනිවම 1953 වසරේ සංස්කරණය කළ “ රිදී තිරේ” සිනමා පත්‍රය එකල ජනපි‍්‍රය වී ඇත. ඔහු චිත්‍රපට ගීතයට පෙම්බැඳි රසිකයෙක්ව සිටි නිසා සිංහල චිත්‍රපට ගීත ඇතුළත් ගීත පොත් සංස්කරණය කළේය. එකල සිංදු පොත් මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කළ මරදානේ ලිංගම් පොත් සාප්පුව වෙනුවෙන් ඩීමන් ආනන්ද සිංදු පොත් රැසක් සංස්කරණය කර දුන්නේය. ඒ පොත් පෙළ මුද්‍රණය කළ එස්.එම්. ලිංගම් තමාගේ ජීවිතයේ බෙහෙවින් උපකාර කළ බව ඩීමන් ආනන්ද වරක් සරසවිය හිටපු කතුවරයකු වූ සුනිල් මිහිඳුකුල පවසා තිබුණි.

ඩීමන් ආනන්ද නවකතා ලිවීමට ආරම්භ කළේ “ ගංතෙර හොල්මන” ලිවීමෙනි. එය හින්දි චිත්‍රපටයක් වූ “ නදියා කේ ප්‍යාර්” කතාව අනුව ලියූවකි. ඩීමන් ආනන්දගේ මාරක කතා කිය වීමට අලුත් පාඨක පිරිසක් සැදී පැහැදී සිටිය්ය. “ මිනිසුන් බිය ගැන්වීම මගේ විනෝදයයි” ඩීමන් ආනන්ද ගේ තේමා පාඨය විය. ඒ අතරම පේ‍්‍රම කතා ලිවීමට පෙළඹුණේ “ අනංග කෙල්ල” ලියමිනි. එහෙත් මාරක කතා පේ‍්‍රමකතා අතික්‍රමණය කරමින් නැගී සිටියේය. කලේමගල් සමාගමේ අධිපති මයිකල් රාජේන්ද්‍ර ඔහුගේ පොත් වැඩිම ගණනක් මුද්‍රණය කළේය. අලුත් මුද්‍රණ නැවත නැවත මුද්‍රණය කළේය. පොතක මිල ශත 75 කි. එක් මුද්‍රණයෙන් රු. 150 ක් කර්තෘ භාගය ලැබූ බවත් එය එකළ විශල මුදලක් බව ඔහු මිහිඳුකුලට වරක් කියා තිබුණි.

ඩීමන් ආනන්ද විසින් 1963 ලියූ “ විලිස්සන හිස කබල“ (ඊඩඥ ට්පඪදදඪදඨ ඵඬභතත) පොතේ ආරම්භයේදීම අවවාදයක් කරයි.

“ ලේ උරා බොන අමනුෂයකු පිළිබඳ ලියැවුණු මෙම කතා පුවත රාත්‍රී කාලයේ පාළු හුදකලා තැන්වල සිට නොකියවන ලෙස අනතුරු අඟවා සිටිමු.“

ඩීමන් ආනන්දගේ තම රහස් පරීක්ෂ නවකතාවල රහස් පරීක්ෂකවරයා වූයේ ඩිකී වීරකෝන්ය. ඔහු ලියූ “ මිනීමරු ජාවාරම“ මේ චරිතය හඳුන්වා දුන්නේය. තමා විසින් ලියූ “ බෝදිලිමා“ නවකතාව ගැනත් රහස් පරීක්ෂක කතා ගැනත් ඔහු වරක් මෙසේ විස්තර කළේය.

“ මම රහස් පරීක්ෂක කතා ලියන්න මුලින්ම ආසාවක් ඇති වුණේ පියදාස සිරිසේන මහත්තයා ලියුව්ව කෝන්ගොඩ වික්‍රමපාල නම් රහස් පරීක්ෂකයාත්, සර් ආතර් කොනන් ඩොයිල්ගේ නවකතාවල එන ෂර්ලොක් හෝම්ස් නම් රහස් පරීක්ෂකයාත්ගේ ගවේෂණ ගැන කියවීමෙන්. මා ලියූ “ බෝදිලිමා“ නවකතාව ලිව්වේ ඈත පිටිසර ගම්වාසීන් අතර බොහෝ කාලයක පටන් සුලභව ප්‍රචලිතව තිබුණ මතිමාතාන්තර හා අන්ධ විශ්වාසයන් ආශ්‍රිතවයි. “ බෝදිලිමා“ කියන්නේ ශ්‍රී ලාංකේය ගැමි ජනතාව විශ්වාස කරනු ලබන අමනුෂ්‍ය ස්වරූපයකට. එහි උපත විලි රුදාවෙන් මියැදෙන ගැහැනියක් මුල් කොට ගෙනය. සෑම දිනකම මැදියම් රාත්‍රීයේදී මෙම ප්‍රාණකාරියගේ විලි වේදනාත්මක අදෝනාවක් මේ “ බෝදිලිමා“ විසින්ම මුළු මහත් පරිසරයම බියෙන් ත්‍රස්ත කරමින් හොල්මන් කරන බව ගැමියන් විශ්වාස කළා. මහසෝනා, ඊරියකාට මෙන්ම මෙම “ බෝදිලිමා“ නම් භූතයාට ද ගැමි ජනතාව ඉමහත් බියක් දක්වනවා. සෙසු යක්ෂ භූතයින්ට වඩා මෙම “ බෝදිලිමා“ නඟ ඇඟ කිලිපොලා යන වේදනාත්මක මර ලතෝනි හඬ සිරුර බියෙන් සලිත කරන සුළුයි.

පසු කාලෙක ඩීමන් ආනන්දට ඉයන් ජලෙමින්, ජේම්ස් හැඩ්ලි චේස්, ආදීන්ගේ නවකතා ඇසුරෙන් “ ජේම්ස් බණ්ඩා 019“ , ඩ්‍රැක්‍යුලාගේ ආරය තව ඩොලර් කීපයක් සඳහා“ “ෆ්‍රැන්කස්ටීන්ගේ පළිගැනීම“ නවකතා රචනා කළේය. මේ හැම පොතකම එකල මිල ශත 75කි.

ඩීමන් ආනන්ද සමීපව ඇසුරු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදී සිරි කනවල අපට පැවසුවේ මේ කතාවය.

ඩීමන් කරුණාවන්ත කෙනෙක්. ඔහු පොත් කියවීම මෙන්ම ලිවීමට පැරණි හින්දි ගීත අහන්නත් රුසියා. ඔහුගේ ප්‍රියතම සංගීතඥයා ඉන්දීය ජාතික නෞෂාද් අලි. “ සිරි මම කවද හරි නෞෂාද් හම්බවෙන්න බොම්බායට යනවා. වරක් මට කිව්වා. අපි දෙන්නා හින්දි චිත්‍රපට ගැන සින්දු ගැන පැය ගණන් කතා කරලා තිබුණා. කරුණාසේන ජයලත්ගේ “ ගොළු හදවත“ නවකතාව උණු උණුවේ විකුණි දෙවන මුද්‍රණය පළවු අවස්ථාවේ ජයලත් දෙවෙනි මුද්‍රණයට තමාට ලැබුණු පාඨක ලිපි ගැන මෙහෙම ලියලා තිබුණා. “ විරාගයෙන් පසු මා කියවූ පොත ගොළු හදවත“. තව පාඨකයෙක් ලියලා එව්වලු. “ ඩීමන් ආනන්දගේ පොත්වලට පසු කියවූ හොඳම ගොළු හදවත කියලා. ජයලත් ලියලා තිබුණ. “ ගොළුහදවතේ“ දෙවැනි මුද්‍රණය පළ වුණාට පස්සේ ඩීමන් ආනන්ද ජයලත් සොයා “ ලංකාදීප“ කාර්යාලයට ඇවිත් තිබූ බව ජයලත් මට කිව්වාය. එදා ජයලත් හමු වීමට ආවිට ඔහු සිතා ඇත්තේ ඩීමන් ආනන්ද තමාට පහර දීමට ආවදෝ යන සිතුවිල්ලය. ජයලත් ළඟට ආ ඩීමන් ඔහු අතට අතට දී සිනාසෙමින් පිටවී ගියාලු.“

සිරි කහවලයන්ගේ උනන්දුව මත ඩීමන් ආනන්ද ඉන්දියාවේ බොම්බායේ බන්ද්‍රාහි පිහිටි කෞෂාද්ගේ “ අශියානා“ (කැදැල්ල) ගියේ 2002.10.15 දිනය. ඒ ගැන ඩීමන් ආනන්ද මෙසේ පවසා තිබුණි.

එය සදානුස්මරණීය අවස්ථාවකි. වේලාව පෙරවරු 11 ය. පුරාවෘත්තයක් බදු මේ ශ්‍රේෂ්ඨ භාරත පුත්‍ර රත්නය පෙරට පැමිණෙත්ම මම දණින් වැටී ඔහුගේ දෙපා සිප වැළඳ ගත්තෙමි. දහස් සංඛ්‍යාත මධුර ගී තනු නිර්මාණය කිරීමට උපයෝගි කර ගත් එම භක්තිපූර්වකව සිප වැළඳ ගත් මොහොත මගේ ජීවිතයේ අවසන් මොහොතේ පවා සිතට සැනසිල්ලක් ගෙන දුන්නා.

මා කුඩා අවදියේ පටන්ම හින්දි සිනමා මෝගල් අධිරාජ්‍ය යේ ජය කෙහෙළි නැංවූ දිලිප් කුමාර්, මධුබාලා, නුර්ජෙහාත්, සුරෙයියා, දේවි ආනන්ද, නලනී ජයවන්ත්, නිම්මි ආදී සුපිරි තාරකාවන්ගේ ඡායාරූප පුවත්පත් ලිපි මහාර්ඝ වස්තුන්ගේ එකතු කළ ආකාරය එදා බොම්බායට ගිය විට මතක් වුණා. මා ලංකාවට පැමිණි පසු නෞෂාද් නම් සංගීතඥයා ගැන පොතක් ලිවීමට හිතුවා.“

ඩීමන් ආනන්ද විසින් ලියූ “ ස්වරදේව නෞශාද් (ඉඹචපචඤධඹච ව්චභඵඩචඤ) කෘතිය 2004 මාර්තු මාසයේ ප්‍රකාශයට පත් විය. මේ පොත එළිදැක්වීමට සිරි කහවල, රෝහණ සිරිවර්ධන, සුනිල් චන්ද්‍රකුමාර, අරුණ ප්‍රේමචන්ද්‍ර, රසික පෙරේරා, සෑම් සමරසිංහ උදව් කළ ඔහු සඳහන් කර තිබුණි.

ඩීමන් ආනන්දගේ සමීප මිතුරෙකු වූ ගායන ශිල්පි වර්නත් පෙරේරා සිය මතකය අවදි කරමින් මෙසේ කීවේය.

“ මම තර්ස්ටන් විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලේ ඩීමන් ආනන්දගේ පොත් කියවා රසවින්දා ද යත් ලිංගම් පොත් සාප්පුව ළඟට ගිහින් ඔහු කොයි මොහොතේ එනවාදැයි බලා සිට හමු වී ඇති කරගත් මිත්‍රත්වය කොතරම් දුර ගියාද යත් පසුකලෙක සෑම දිනකම උදෑසන අනිවාර්යනේම ටෙලිෆොන් කිරීමට පුරුද්දක් කර ගත්තා.

“ ඩීමන් අයියා, අපි ඔයා ලියපු පොත් ටික ආයෙත් මුද්‍රණය කරමු.“

“ පිස්සුද මල්ලී කවුද ඕව දැන් කාලේ කියවන්නෙ.“ අනික එක පොතක්වත් මා ළඟ නෑ. ඉල්ල ගෙන ගිය පොත් මට ලැබුණෙත් නෑ.“

“ නෑ අපි යමු. මියුසියම් ලයිබ්‍රරි එකට ගිහින් සොයමු.“

අපි දෙන්නා කෞතුකාගාර දෙපාර්තමෙන්තුවට ගිහින් එහි අධ්‍යක්ෂවරයකුව සිටි සිරි නිමල් ලක්දුසිංහ මහත්තයා හම්බ වුණා. ඩීමන් අයියාව දැක්ක අඳුන ගත්තට පස්සේ ලක්දුසිංහ මහත්තයා ආසනයෙන් නැගිටලා හැම උදව්වක්ම කළා. කෞතුකාර පුස්තකාලයේ ඩීමන් අයියාගේ පොත් ඔක්කෝම දැකලා සතුටු වුණා. අපි පොත් තුනක් ෆොටෝ කොපි අරගත්තා. මම මේ පොත් තුන අරගෙන “ නිල්වලා ව්‍යාපාරයේ අධිපති උපුල් ජයසිංහ මහතාව සොයා ගෙන ගියා. එයත් ඩීමන් අයියගේ හොඳ පාඨකයෙක්. “ අපි පොත් තුනම ගහමු.“ කිව්වා. ඒ අනුව “ ඩීමන් ආනන්ද“ කියන නම නැවත පාඨක ලෝකයේ උපන්නා. මම සුපුරුදු විදිහට දවසක් උදේ ඩීමන් අයියාට කතා කළා. එදා ටෙලිෆෝනයෙන් ඉකිබිඳුමක් ඇසුණා.

“ අනේ... අපේ තාත්ත අද පාන්දර නැති වුණා.“

මම ඉක්මනට ඩීමන් අයියාගේ ගෙදර ගියා. එයා නිදි ඇඳේම මිය ගිහින්. නින්දේදීම වූ නිහඩ හෘදයාබාධයකින් මිය ගිය ඩීමන් අයියා මුහුණේ අර සුපුරුදු මද සිනාව තිබුණා.“ වර්නන් කීවේය.

දිනය 2007 පෙබරවාරි 15 ය. “ මාරක කතා චක්‍රවර්ති“ නමින් පොත් දහසක් එළිදැක්වූ ලේඛකයා පාඨක ලෝකයෙන් සමු ගත්තේය. මේ ලේඛකයාගේ දියණියක් වූ වරුණි මෙසේ අදහස් දැක්වූවාය.

“ තාත්තාගේ සම්පූර්ණ නම බණ කියනගේ සීමන් ආනන්ද. තාත්තා සිනමා ලේඛකයෙක් ලෙසත් මාරක කතා ලියන්න, ගත්තට පස්සේ “ ඩීමන්“ කියන නම යොදා ගත්තා. තාත්තා ඒ නම ගත්තේ යක්ෂ කතා ලියන්න වෙනන ඇති. මොන භයානක කතා ලිව්වත් තාත්තා අපිට කාරුණික පියෙක්. අපට ඉගෙන ගන්න උනන්දු කළා මිස පොත් ලියන්න, චිත්‍රපට බලන්න උනන්දු කළේ නෑ. මගේ අම්මා කුසුම් ජයසුන්දර. අම්මාගේ තාත්තා චිත්‍රපට නිෂ්පාදකයෙක්. “ හිතට පිපුණ මල්“ හා “ සූර්යා සුරයාමයි“ චිත්‍රපට නිෂ්පාදනය කළ මරදානේ සත්රයිස් මුද්‍රණාලය හිමි එච්.එම්.ආර්. ජයසුන්දර සීයා හම්බවෙන්න මරදානේ අභයසිංහරාම පාරේ නිවසට නිතර එන මගේ තාත්තා ( ඩීමන් ආනන්ද) අම්මා ( කුසුම්) ගැන ආදරයක් තිබිලා. සීයාගේ බලවත් අකමැත්ත මැද තනි කැමැත්තට විවාහ වෙලා තියෙනවා. පස්සේ සීයා තම දුවට සමාව දුන්නලු.

ආනන්ද හා කුසුම් යුවළට දරුවන් තිදෙනෙක් වූහ. වැඩිමල් පුතු සුනෙත් ආනන්ද, දෙවැනි පුතු ක්‍රිෂාන් ආනන්ද අද ඉතාලියේ රැකියා කරති. බාල දියණිය වරුණිය. ඩීමන් ආනන්දගේ බිරිය කුසුම් නුගේගොඩ ඇඹුල්දෙනියේ ලේලියකගේ නිවසේ පදිංචිව සිටින්නීය.

“ ඩීමන්“ යන නම ආරුඪ නාමයකි. ච්ඥථධද යන්නේ යක්ෂයා, රකුසා, පිසාචයා, යකා ලෙස “ සරසවි ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂයේ අර්ථ ගන්වා ඇත. ර්‍ණයටධපඤ ච්ඪජබඪධදචපර යේ එහි අරුත ඤඥමඪත, ඥමඪත, ඉනඪපඪබ, ජපභඥත ධප ටධපඥටභත නඥපඵධද ලෙස දක්වා ඇත.

“ යක්ෂ“ නමක් ආරූඪ කරගත් ඩීමන් ආනන්ද යහපත් මනුෂ්‍යයකි. දයාබර සැමියෙකි. සෙනෙහෙබර පියෙකි. කල්‍යාන මිත්‍ර යෙකි. විනෝදකාමියෙකි. රසවතෙකි. හින්දි ගීත රසිකයෙකි. මානව දයාවෙන් සපිරි මනුෂ්‍යෙයකි.